හෝර්ටන් තැන්නේ ජනාවාසකරණය .......!!!
භූ සංචාරිතය 43
This article is originally published on Vidusara, 27.01.2021.
මහවැලි, කැළණි සහ වලවේ යන ගංගාවන්ගේ පටන් ගැන්ම
හෝටන්තැන්නයි. එම ගංගාවල ශාකා ජල මාර්ග මෙහි දී පටන් ගෙන ගලා යන්නේ ශ්‍රී ලංකාවේ උච්චත්වයේ
සිට බව පවසමින්. උසින් මීටර 2100 සිට 2300 ක් පමණ දක්වා වූ උසකින් උක්තවන හෝර්ටන් තැන්න
අපූරු භූ පරිසරයකි. ප්රෝටෙරෝසොයික් යුගයේ බිහි වූ උච්ච විපරීතකරණයට ලක්වූ විපරීත පාෂාණ
ගණනාවකින් සමන්විත වන හෝර්ටන් තැන්න සුවිශේෂී වන්නේ එහි කදිම භූ රූපණය නිසාවෙනි.
අංශක 30ක් පමණ සාමාන්‍ය ආනතියකින් හෙබි මෙම සුන්දර තැන්න වඩා ප්‍රචලිත වන්නේ ශීතල දේශගුණයකින්
යුක්ත වන නිසා බව අප හොඳින් දනී.
ඒ කදිම ශීතල විඳින්නට මෙරටේ බොහෝ දෙනෙකු කැමැත්තක්
දක්වන බව නොරහසකි. නුවරඑළියේ සංචාරය කරනා බොහෝ දෙනෙකු ගේ අනිවාර්ය සංචාරක නැවතුමක්
වන්නේ හෝර්ටන් තැන්නයි. ක්වාර්ට්සයිට්, නයිස් සහ චානොකයිට් වැනි පාෂාණ වලින් සමන්විත
මෙම ප්‍රදේශය ජ්ර්ණයේ ප්‍රතිඵල වූ, මෙම පාෂාණ තැන්න මත බිහි වූ පෝෂ්‍ය පදාර්ථ සපිරි
පාංශු කලාප මත වැවෙනා කදිම ශාක සන්තතියකින් ද යුක්ත බව අප හොඳින් ම දනී.
මෙම ලියවිල්ලේ අරමුණ වන්නේ එවන් කරුණු සාකච්චා
කිරීම නොව අතීත ඵෙතිහාසික කරුණු කිහිපයක් පිලිබඳ ඔබගේ අවධානය යොමු කරන්නටයි. අදින්
වසර 22,000 කට පමණ පෙර කාලය වන විට පෘතුවි ගෝලයම හිමෙන් වසා ගත් බව විද්‍යාත්මක පර්යේෂණ
පෙන්වා දෙයි. එනම් සමකය ද ග්ලැසියරකරණයට නතු
වූ බවයි එයින් වැටහෙන්නේ. ඉන් පැහැදිලි වන අනෙක් කාරණය වන්නේ කඳුකර ප්‍රදේශ අධික ශීතලෙන්
යුක්ත වීම හෝ හිමෙන් වසා පැවති බවයි. එවන් වූ පසුබිමක කඳුකරයේ ශාක සහ සත්ත්ව ඝනත්වය
ඉතා සුපැහැදිලි ලෙස අඩුවන්නට ඇත. පවතින්නට ඇත්තේ ශීතලට ඔරොත්තු දිය හැකි විශේෂ පමණකි.
ලොව ශිත යුගයේ උපරිමයට ලඟා වීම මුහුදු මට්ටම
තවත් පහල හෙලන්නට හේතු වේ. ග්ලැසියරකරණයේ උපරිමයට පැමිණීම අවම මට්ටමක සාගර ජල මට්ටම්
පවත්වා ගැනීමකි. අවම ජල මට්ටමක් පැවතීම යනු මෙරට භූ වපසරිය පුළුල්වීමක් බව ද අප අමතක
නොකළ යුතුය. වසර ලක්ෂයට පමණ පෙර මුහුදු මට්ටම අද පවතිනවාට වඩා මීටර 100 ක් පමණ පහතින්
තිබු බව පර්යේෂණ පෙන්වා දෙයි. එලෙස වූ ජල මට්ටම ශිත යුගයේ උපරිමයේ දී, තව දුරටත් පහල
බසින්නට ඇති බව වැටහෙයි. මෙලස පවතින කාල වකවානුවේ දී මෙරට මානව ජනාවාස හෝර්ටන් තැන්න
කරා ඇදී යා හැකිද යන්න අපට පැන නගින ගැටලුවකි.
මෙරට ප්‍රාග් ඵෙතිහාසිකයෝ එනිසා කඳුකර භූමිවල
වාසය අත්හරින්නට ඇති බවයි මාගේ අදහස වන්නේ. අධික ශීතලෙන් යුක්ත වීමත් ආහාර සපයා ගැනීමේ
අපහසු තත්වයත් යන කරුණු මත පමණක් නොව වඩා හොඳ දඩබිම් සහ වාසයට ගැලපෙන ස්ථාන පහත් බිම්
වල කොතෙකුත් තිබීම ද මේ සඳහා හේතුවන්නට ඇත. එනිසා ශිත යුගයේ උච්චයේ දී නම් මෙරට ප්‍රාග්
ඵෙතිහාසිකයෝ කඳුකරය තම වාසය සඳහා යොදා නොගන්නට ඇත. කඳුකරයේ ශීතල නිසා සිමාකාරී වීමත්
සාගර ජල මට්ටම පහත වැටීම නිසා බිහි වූ නව තැනිතලා භුමි ප්‍රදේශය නිසාත් බොහෝවිට ප්‍රාග්
ඵෙතිහාසිකයෝ වෙරළට ආසන්න වූ තැන්නේ රැදෙන්නට ඇති බවයි මාගේ අදහස වන්නේ.
මෙම තර්කය අනිත් පසට ද වලංගු වෙයි. එනම් මුහුද
මට්ටම ඉහල ගියකල වෙරළබඩ තැන්නේ ඇතිවන සීමාකාරී බවත් ඇති වූ තත්වය මත හටගත් පාරිසරික
යහපත් බාවය නිසාත් එකල වූ ප්‍රාග් ඵෙතිහාසිකයෝ කඳුකරයට ඇදෙන්නට ඇති බවයි. උණුසුම් තෙත්
කාලගුණික තත්වය යටතේ කඳුකරයේ ආහාර සුලභ වීමත් ශීතල අවම වීමත් ආරක්ෂාව තහවුරු කරගත හැකි
වාසස්ථාන බහුල වීමත් හේතුකොටගෙන ඔවුන්ගේ කඳුකර ආක්‍රමණය සිදුවන්නට ඇත. මේ තත්වය ඇතිවන්නනේ අදින් වසර පමණ කාලයකට පෙර ද යන්න
අප විමසා බැලිය යුතුය.
වසර 22,000 ක පමණ කාලයේදී ශිත යුගයේ උච්චත්වය
සටහන් වන අතර ඉන් පසු ක්‍රමයෙන් ශීතල පසුබසින්නට විය තවත් වසර 10,000 ක් පමණ ගෙවුනකල
හොලොසීන යුගය ආරම්ඹ විය. ඒ කාලය වන විට සමකාසන්න ග්ලැසියර දිය වී ගොසින්. මුහුදු මට්ටම
අද පවතින මට්ටම සමාන වන්නට ඇත. නමුත් පර්යේෂණ වලට අනුව අදින වසර 5000 ක පමණ පෙර කාල
සීමාවේදී මුහුදු මට්ටම වැඩි වූ බවත් තරමක උණුසුම් කාල පරිච්චේදයක් ඇති වූ බවත් පැවසේ.
වෙරළාසන්න තැන්නේ ජිවත් වූ ප්‍රාග් ඵෙතිහාසිකයෝ
කඳුකරයට පලවා හරින්නට මේ තත්වය හේතුවක් වන්නට ඇත. දිනක හෝ දෙකක නොනවතින ගමනකින් නැවත
වෙරළට සමීප වන්නට ඔවුන්ට් හැකියාව තිබෙන්නට ඇත. ඒ ඔවුන්ගේ ප්‍රියතම මුහුදු ආහාර සහ
ලුණු ලබා ගැනීම සඳහායි. වසර 5000 ක කාලසීමාවේදී මෙරට විසුවෝ වගාකරුවෝ වූවානම් ඔවුන්ගේ
වගා බිම් පටන් ගන්නේ වෙරළබඩ තැන්නෙන් මිස හෝර්ටන් තැන්නෙන් නම් නොවේ.
ලෝක පර්යේෂණ වලට ආසියාව සහල් වගා කරමින් එම ධාන්‍යය
ගෘහස්ථකරණය කර ඇත්තේ වසර 9000, 8000 කට පමණ පෙරය. එයට මත්තෙන් වසර කොපමණ ගණනාවක් මේවායේ
“වල්දර්ශ” සමග සම්බන්ධකම් දැක්වුවද යන්න පැහැදිලි
නොමැත. කෙසේවෙතත් එක යායට හට ගන්නා වල් වී දර්ශ කොතෙකුත් මෙරටේ තියෙන්නට ඇත. ඒවා වෙනත්
රටකින් මෙහෙට සොබවිකව සංක්‍රමණය වුවා ද නැතහොත් සිතා මතා වගා කලාද යන්න පමණක් නොව සොබාවික
පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වුවාද යන්න පවා තවමත් අප පැහැදිලි කරගෙන නොමැත. වල්
දර්ශ පිලිබඳ යම් පර්යේෂණාත්මක ප්‍රතිඵල ලැබුන ද එමගින් අත්‍යන්තයෙන්ම වගා කළා ද යන්න
තහවුරු කල හැකි ද යන්න ගැටලුවකි. මානව සංස්කෘතිකාංග හමු නොවන තෙක් එවන් දෙයක් පැවසීම
ඉතා අපහසුය. උණුසුම් කාල ගුණික තත්වය යටතේ සොබාවික ලැවූගිනි ඇතිවන්නට බොහෝ දුරට ඉඩකඩ
ද ඇත. එවන් වූ තත්වයක් මත හේන් වගාවක් ගැන අපට පැහැදිලි අර්ථකතනයක් ද දිය නොහැක.
හෝර්ටන් තැන්නේ ජනාවාසකරණය සහ කෘෂිකාර්මික කටයුතු
පිළිබඳව තවමත් ප්‍රමාණවත් පර්යේෂණ සිදු වී නොමැති බවයි මාගේ අදහස වන්නේ. මේ සඳහා පරාග
විශ්ලේෂණය පමණක් නොව භූ විද්‍යාත්මක, භූ පුරාවිද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක සහ රසායන
විද්‍යාත්මක පර්යේෂණ සිදු විය යුතුය. සුන්දර හෝර්ටන් තැන්නේ විසු ප්‍රාග්
ඵෙතිහාසිකයන්ගේ අභිරහස හෙළි කරන්නට හැකි වන්නේ එවන් වූ පසුබිමක බව අප වටහා ගත යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment