Saturday, 9 January 2021

පැල්ලම්දෙනිය හැඩකරන චානෝකයිට් පැල්ලම්......!!!

භූ සංචාරිතය 40

This article is originally published in Vidusara 06.01.2021.

මාගේ මතකයේ හැටියට අප විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන අවධියේ කුරුනෑගල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදුනේ ශෛලවිද්‍යාවේ දී හමුවන සුවිශේෂ පාෂාණ වර්ගයක් අධ්‍යනය කිරීම උදෙසායි. මේ සුවිශේෂී පාෂාණය පිහිටියේ A10 මාර්ගයේ කුරුණෑගල සිට මිනුවන්ගොඩ දෙසට යද්දී හමුවන පැල්ලම්දෙනිය නම් වූ ප්‍රදේශයේ යි. ඔය කියනා පාෂාණ ඉතා හොඳින් ඉස්මතුව හමුවන්නේ පාෂාණ කනින්නාවූ පතල් වලය. නැතහොත් ‘ගල්වලවල්’ වලය.  එවන් වූ පාෂාණ පතල් ගණනාවක්ම මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයෙන් දකුණෙන් වූ කලාපයේ හඳුනාගත හැක.

මෙම පාෂාණ පතල්වල අලුතින් මතුවූ මුහුණත් වලින් සමන්විත වන්නේ ජීර්ණයට ලක් නොවූ අලුත්, නැවුම් පාෂාණ වලිනි. බොහොමයක් ස්ථානවල එනිසා අපූරුවට මතු වූ ලා පැහැති පාෂාණය කදිමට දැකබලා ගත හැකිය. පැල්ලම්දෙනියේ හමුවන මෙවන් වූ ලා පැහැති අලුත් පාෂාණ මුහුණතේ තැනින් තැන් මතු වූ තරමක් අඳුරු පැහැගත් පුල්ලි දැක ගත හැකිය. මෙම පැල්ලම් තරමක් විශාලය. පුල්ලිය ඇතිකරනා පාෂාණය වෙනස්ම එකකි. එය ලා පැහැති පාෂාණ වර්ගය නම් නොවේ.  මෙවන් වූ පාෂාණ ‘චානොකයිට්’ පාෂාණය ලෙසින් හඳුන්වයි. පැල්ලම් දෙනියේ පැල්ලම් වලට හේතුවන්නේ මෙලෙස මතු වූ ‘චානොකයිට්’ පාෂාණය යි.

චානොකයිට් පාෂාණය විපරිත පාෂාණ විශේෂයකි. මෙම පාෂාණය විශේෂ වන්නේ නයිස් වැනි වූ අනෙකුත් විපරිත පාෂාණ වල දැක ගත හැකි කළු සුදු පැහැ වර්ණගත් ඛණිජ තීරුමය සොබාවය නොමති වීමයි. උච්ච විපරිතකරණයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවන මෙම චානොකයිට් පාෂාණය එනිසා ශ්‍රී ලංකාව වැනි වූ උච්ච් විපරිතකරණයට ලක් වූ භූ ස්කන්ධයන් සහිත ලෝකයේ බොහෝ රටවල දැක ගත හැකිය.  ලෝකය පුරාම පැතිරී ඇති මෙම පාෂාණය බොහෝවිට ප්රෝටෙරෝසොයික් අවධියේ නිර්මාණය වූ පාෂාණ කලාප වල හමුවේ.

මුලින්ම මෙම පාෂාණය වාර්තා වන්නේ ඉන්දියාවෙනි. දකුණු ඉන්දියවේ තමිල් නාඩු ප්‍රාන්තයේ පිහිටි කල්කටාවේ ශාන්ත ජෝන් නම් වූ පල්ලියේ සුසාන භූමියෙන් හමුවූ මෙම පාෂාණය “ජොබ් චානොක්” නම් වූ පුද්ගලයා මිහිදන් කල සොහොන නිර්මාණයට යොදාගෙන තිබේ. 1893 දී ටී. එච්, හොලන්ඩ් නම් වූ භූ විද්‍යාඥයාගේ අවධානයට ලක්වන මෙම පාෂාණ පුවරුව සුවිශේෂී බව නිසාම තම වැඩිදුර අධ්‍යනයට භාජනය කරයි.  ජොබ් චානොක් ගේ සොහොනෙන් හමු නිසාවට මෙම පාෂාණය ‘චානොකයිට්’ ලෙස නම් කර ඇත.

චානොකයිට් පාෂාණ වර්ග ගණනාවක් ඇති බව පර්යේෂණ පෙන්වා දෙයි. බොහෝවිට මෙම පාෂාණයේ මූලික ඛණිජ සංයුතිය වන්නේ තිරුවානා සහ ෆෙල්ඩ්ස්පාර් නම් වූ ඛණිජයි. එයට අමතරව කළු පැහැති ඛණිජ වන හෝන්බ්ලෙන්ඩ් නම් වූ ඛණිජය ද පයිරෝප් නම් වූ ගානට් විශේෂය ද පැවතිය හැක. චානෝකයිට් ලෙස සුවිශේෂීව හඳුනාගන්නට හේතු වන්නේ “ඕතෝ පයිරොක්සින්” කුලයට අයත් වන හයිපස්තීන් නම් වූ සිලිකේට ඛණිජයයි. තරමක් දුඹුරු පැහැගත්, මලකඩ මෙන් දිස්වන මෙම ඛණිජය හේතුවෙන් පෂණයට අඳුරු පැහැයක් ගෙන දෙයි. එමෙන්ම මෙහි පවතින තිරුවානා ඛණිජයට තරමක ග්‍රීස් කොළ පැහැයක් එක් කර ඇත. මෙම ඛණිජය හඳුනාගැනීමට නම් අලුතින් කැඩූ නැවුම් පෘෂ්ටයක් සහිත පාෂාණයක් තිබිය යුතුය. නැතහොත් දිරායන හෝන්බ්ලෙන්ඩ් ඛණිජය ද හයිපස්තීන් ඛණිජය ලෙස වරදවා හඳුනාගැනේ. නමුත් පාෂාණයේ තුනී කඩක් ගෙන අන්වීක්ෂය තුලින් අධ්‍යනය කිරීමෙන් නම් ඉතා හොඳින් හයිපස්තීන් හඳුනාගත හැක.

පැල්ලම් දෙනියේ පමණක් නොව මෙවන් වූ පාෂාණ ශ්‍රී ලංකවේ ප්‍රධාන පාෂාණ කලාප වල හමු වේ. චානොකයිට් පාෂාණය ඇතිවන්නේත් අනෙකුත් විපරිත පාෂාණ බිහිවන්නා වූ ලෙසම යි. නමුත් මෙහිදී වැදගත් වන්නේ අදාළ පරිසරයේ දී උෂ්ණත්වයේ සහ පීඩනයේ වෙනස් මත ඒ අදාල තත්ත්ව වලට ගැලපෙන ඛණිජ සමුච්චය ඇතිකරමින් මෙම -පාෂාණය බිහි වෙයි. පර්යේෂණ පෙන්වා දෙන ආකාරයට මෙම පාෂාණය බොහෝවිට බිහිවන්නේ ස්පර්ශ විප්රිතකරණයෙන් නොව ප්‍රාදේශීය විපරිතකරණයෙනි.

චානොකයිට් පාෂාණය බිහිවන්නේ අජල තත්වයේ පසුවන රසායනයන්ගෙන් බව පර්යේෂණ මගින් පැහැදිලි කර ඇත. එනිසා මෙම පාෂාණය සජල ඛණිජ හමුවන්නේ කලාතුරකින්. පැල්ලම් දෙනියේ පැල්ලම් බිහි වීම සඳහා විවිධ පැහැදිලි කිරීම් ශ්‍රී ලාංකේය භූ විද්‍යාඥයින් සිදු කර ඇත. විපරිත කරණයේ උච්චත්වයට පත් වීමේදී ඇතිවන තත්වය මත මෙම පාෂාණයේ සුවිශේෂී ඛණිජ බිහිවන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. පැල්ලම් දෙනියේ චානොකයිට් පැල්ලම් බිහිවන්නට භූ අභ්‍යන්තරයෙන් මතු වූ උණුසුම් කාබන්ඩයොක්සයිඩ් වායුව හේතුවන්නට ඇති බව පර්යේෂකයෝ පවසයි. එය විපරිතාකරණයේ සුවිශේෂී අවස්ථාවකි. පාෂාණයේ ඇති දුර්වල කලාප වන පැලුම්, කුස්තුර සහ දැදුරු ඔස්සේ ආ ඉහත කි උණුසුම් වායුමය ද්‍රව්‍යයන් හේතුවන් මවු පාෂාණයේ අදාළ ප්‍රදේශයක් පමණක් ඛණිජ සංයුතිය මෙලස වෙනස්කරන්නට ඇත. එනිසා මවු පාෂාණයේ පැල්ලම් මතුවන්නට ඇත.

චානොකයිට් පාෂාණය අධ්‍යනය කිරීමෙන් මෙරට භූ ඉතිහාසය පිලිබඳ යම් යම් සාක්ෂි සොයාගත හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙයි. ඒ අනුව මෙරට විපරීත භූ ස්කන්ධය විපරීතකරණයට ලක් වූ ආකාරය සහ එහි ගමන් මග සිතියම් ගත කල හැකි බව පර්යේෂණ මගින් පැහැදිලි වී ඇත. මෙරට භූ ස්කන්ධයේ පංච විපරිතකරණ ක්‍රියාවලියේ යම් යම් සුවිශේෂී අවස්ථාවන් විස්තර කිරීමට චානොකයිට් පාෂාණය මහඟු අත්වැලක් සපයන බව අමතක නොකළ යුතුය.

පැල්ලම්දෙනියේ පාෂාණ පතල් මගින් මෙවන් වූ පාෂාණය ගොඩනැගිලි ඉදිකිරිම සඳහා අවැසි ද්‍රව්‍යය සපයයි. ඔවුන්ගේ නිරන්තර එම ක්‍රියාවලිය භූ විද්‍යාඥයින් හට මහඟු සහයෝගයක් ලබා දෙයි. එනිසා නැවුම් පාෂාණ පෘෂ්ටයන් අධ්‍යනය කිරීමේ හැකියාව ලැබේ.

පැල්ලම්දෙණියට එම නාමය ගෙන එන්නට මෙලෙස භූ විද්‍යාව සමත් වී ඇති බව බොහෝ දෙනෙකු නොදනී. පැල්ලම් ඇතිකර ඇත්තේ චානොකයිට් පාෂාණයයි. ඒ සුවිශේෂී විපරීතකරණය නිසාවෙනි.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...