Friday, 13 January 2017


විශ්ව සංචිතය; මහා පිපිරුමෙන් ඔබ්බට

මෙම විද්‍යා ප්‍රබන්ධය මවිසින් 2015 වසරේදී ලියන ලද්දකි. මෙය ද විදුසර පුවත් පතෙහි පල විය.
----------------------------------------------------------------------------------------------------



මෙතරම්ම පසුබෑමකට මෙම ව්‍යාපෘතිය මෙතෙක් කලක් ලක් නොවුණි. වරින් වර විවිධ බාධක පැමිණියද ඒ සියල්ල සාර්ථකව විසඳාගැනීමට ආචාර්ය අරවින්ද සමත් විය. නමුත් මෙකල එය එසේ නොවේ. අභ්‍යවකාශ ව්‍යාපෘතියේ මූලිකත්වය රාජ්‍ය අනුග්‍රහය සහිතවම ආචාර්ය අරවින්ද ට ලැබුනේ ඔහු කෙටි කාලයකදී දක්වන ලද සාර්ථකත්වය ද පර්යේෂණ වලට දැක වූ ශුරතවය ද හේතුවෙනි. සිසිර තරණයේ දී යානා දියත් කිරීමේදීත් නැවත ගොඩ බැසීමේදීත් ඇතිවන කාල පමාව මෙයට අවුරුදු පහකට පෙර කිසිවක් දැන සිටියේ නැත. එනිසා අභ්‍යවකාශ සේවයේ නියතු සියලු දෙනාගේම ආයු කාලයෙන් සියයට පහක් අතුරුදහන් විය. එය ගණනය කිරීම සිදු කල හැකි වුයේද එයට හේතුවද විසඳුමද ආචාර්ය අරවින්ද සොයාගැනීමෙන් අනතුරුවය.

පාරභෞතික පරාමිතීන්ට අනුව මෙම දින කිහිපයේදී ඒකක 0.045 පමණ වූ මනෝකායික ක්ෂයවිමක් ඇති බව අද උදෑසන කරන ලද පරීක්ෂණයෙන් ඔහුට පැහැදිලි විය. නමුත් එය එතරම් සැලකිය යුතු දෙයක් නොවේ. දින කිහිපයක් නිදි නොමැති වූ විට එලෙස ශරීරයේ දීප්තිය අඩු වේ. නමුත් උදෑසන තමා යන්ත්‍රයට අතුලුවන විට යන්ත්‍රය දැක්‌ වූ ඒකක සමග ඔහුට එකඟ විය නොහැකි බව පසක් වූයේ ඒ අවස්ථාවේ තිරයේ දුටු වර්ණ රටාව නැවත සිහි කරන විටය. බාහිරයෙන්ම වූ කහ පැහැති තීරය දෙපොළකින්ම ඛණ්ඩණය වී තිබු අතර එම ස්ථාන වලින් දම් පැහැති වර්ණ දළු එලියට පැන තිබුණි. ශිශිර තරනයේ කාල පමාව නිවැරදිකරණයේ දී   භාවිත වන ක්ෂුද්‍ර තරංග ත්වාරකය කිහිප වතාවක්ම විසන්ඳි වීම මේ සදහා හේතුවක් විය හැකිදැයි යන සිතුවිල්ල ඔහුට පහළ විය. යාබද  කාමරයේ වූ ක්ෂුද්‍ර තරංග ත්වාරකයේ තැන්පත් වූ මෘදුකාංග දත්ත පරික්ෂා කිරීම සඳහා අරවින්ද නැගී සිටියේය.

නමුත් එළියෙන් ඇසෙන්නට වූ ඝෝෂාව  හේතුවෙන් අරවින්ද ප්‍රධාන දොර වෙත වේගයෙන් ගියේය. කාල තරණ යානයක් එළියේ වූ යානා ගොඩ බසින අංගනයට බැස තිබුනේය.

අරවින්ද අපේ සංඥා පද්ධතියේ ගැටළුවක් වගේ. මේ යානය එන බව දන්නේ නැහැ. තව පොඩ්ඩෙන් විශාල විනාශයක් වෙනවාප්‍රධාන සංඥා ඉංජිනේරු ජූඩ් වේගයෙන් පවසා සිටියේ අතිශය තැති ගත් විලාශයෙනි.

මොකද මේ එක පාරටම..” අරවින්ද ද විශ්මයට පත් විය.

ඒක තමයි මටත් හිතාගන්න බැහැ. අද උදෙනේ මේ යන්ත්‍ර සියල්ල මම පරික්ෂා කරලා බැලුවේ. කිසිම වැරද්දක් අහුවුනේ නැහැ

එය එසේ විය නොහැක. සංඥා පද්ධතියේ නිවැරදිතාවය මේ දක්වා සීරුවට තිබුණි. හදිසියේම කුමක් වන්නේ ද යන්න වටහා ගත නොහැක. සංඥා පද්ධතිය සම්පුර්ණයෙන්ම ගොඩ නැගී තිබුනේ අධි තාක්ෂණික සුක්ෂම සර්වකාලින කාලමාන දෘඩකාංගයෙනි. ක්වන්ටම් තාක්ෂණය අභිබවා ගිය මෙම නවතම තාක්ෂණයේ නිවරැදි බව පිලිබඳ අමුතුවෙන් සිතිය යුතු නොවේ. විශ්වයේ ප්‍රසාරණයේ අවස්ථා නමයකදිම ඇතිවූ වේග සංකෝචනය මනාව සනිටුහන් කරගන්නට හැකි වුයේ ද මෙමගිනි. එකිනෙක වෙතින් ඈත් වෙන මන්දාකිණි පද්ධති වෙත සිදු කරන්නාවූ සිසිරතරණ චාරිකාවල කාලදිගුවේ නිත්‍ය බව පවත්වාගෙන යන්නට හැකි වුයේද මෙම තාක්ෂණය යොදා ගැනීමෙනි.

නරකද සමැන්තා එක්ක ගිහින් මේ ගැන අයෙත් හොයා බලන එක... මම ඒ අතරේ මෘදුකාංග දත්ත ගැන බලන්නං.”

පැවසු අරවින්ද ආපසු හැරුණේ ක්ෂුද්‍ර තරංග ත්වාරක යේ මෘදුකාංග දත්ත පරික්ෂා කිරීම සදහායි.

-------------------------------------------------------
මහා පිපුරුමත් සමග ඒක රාශි වූ ශක්තිය වේගයෙන් පදාර්ථ බවට පත් වීමේ ක්‍රියාවලියේ දී ශක්ති හානියක් වන්නේද යන්න මෙතෙක් කලක්  ගැටළුවක් ව තිබුණි. විසි එක්වන ශතවර්ෂයේ අග බාගයේ දී නිව්ටන්ගේ නියමයන් අනුගමනය නොකරන අවස්ථා ඇති බව සිසිරතරණ චාරිකා වලදී සොයාගත හැකිවුවද පැහැදිලි කිරීම් ඉතා මතබේදාත්මක විය. මහා පිපිරුම ආරම්භයේ ඉතා අධික තාපයක් පිටවීම එක් හේතුවක් ලෙස දැක්‌ වුවද ඒ සදහා විද්‍යාත්මක සාක්‍ෂි අපැහැදිලි විය. විසිවන ශතවර්ෂයේ මුල ආරම්භ වූ දරුණු කාලගුණික වෙනස්කම් විසිඑක්වන ශතවර්ෂයේ අගබාගය වන විට ස්ථායි වීම ද ශක්ති හානියේ ප්‍රතිපලයක් විය හැකි බව ලෝක කාලගුණික කේන්ද්‍රය ප්‍රකාශයට පත් කලද භෞතික විද්‍යාඥයින් එය පිළිගැනීමට මැලි කමක් දැක් වීම ලෝක බලවතුන්ගේ දේශපාලනික බිඳවැටීම් වලට පවා හේතු විය. අවසානයේ ආසියාතික රටවල පාරභෞතික විද්‍යාඥයින්ගේ එකමුතුව මේ සදහා විසඳුමක් ලෙස සංකීර්ණ පර්යේෂණ පද්ධතියක අවශ්‍යතාවය පෙන්නුම් කල අතර සියල්ලන්ගේ ම ආශිර්වාදයෙන් සර්වකාලින කාල පර්යේෂණ ව්‍යාපෘතියස්ථාපිත කෙරුණි. ඒ සඳහා සෑම රටකින්ම මුදල් ආධාර සහ විශේෂ ප්‍රගුන්‍යයෙන් හෙබි විද්වතුන් ගේ සහායද ලබා දීමට එකඟ වීම එක්තරා ආකාරයකට ලෝක සාමය පවත්වා ගැනීම සම්බන්දව නව ප්‍රවනතාවයක් ඇති විය. එහිදී සුවිශේෂි කාර්යබාරයක් ඉටු කරන ලද්දේ ශ්‍රී ලංකික විද්‍යාඥයෙකු වූ ආචාර්ය අරවින්ද රාජසිංහ විසිනි. ශ්‍රී ලංකික විද්‍යාවේ මෑත කාලයේ ඇතිවූ අතිශය දියුණුව මෙමගින් ලෝකයට පැහැදිලි වූ අතර එය බොහොමයක් ලාංකික විද්වතුන්ට මෙම ව්‍යාපෘතිය හා සම්බන්ද වීමට හේතුවක් විය. විසි දෙවන ශතවර්යේදී ආචාර්ය අරවින්දට ලෝක සාමය උදෙසා වූ නොබෙල් ත්‍යාගය හිමි වුයේද සර්වකාලින කාල පර්යේෂණ ව්‍යාපෘතිය යෝජනා කිරීමේ මූලිකයා වීම ම පමණක් නොවේ. එම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේදී සිදු කල ඉතා වැදගත් සොයාගැනීම් මගින් ලෝකය නව මාවතකට යොමු කිරීමද ඒ සඳහා බෙහෙවින් ම බල පෑ බව නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සව මහා සමුළුවේදී පැහැදිලි කරන ලදී.

ශ්‍රී ලාංකේය භුමි භාගය සහ ඒ අවට ඉතා අධික ප්‍රති ආකර්ෂිත බල ක්ෂේත්‍රයක් ඇති ව තිබීම නිසා අභ්‍යවකාශයට අජීවී භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීම සදහා වඩාත් යෝග්‍ය ස්ථානය ශ්‍රී ලංකාව බව ට තහවුරු වූයේ මේ අතරතුරය. අනතුරුව සියල්ලන්ගේම ඒකමතික කැමැත්තෙන් ඒ සඳහා වූ අභ්‍යවකාශ ප්‍රවාහන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටවුණි. එනිසාම එක්සත්ජාතීන්ගේ සංගමය ශ්‍රී ලංකාව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ගත් තීරණය ප්‍රශංසා සහගත විය. එය පළමු වතාවට රටක් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණ අවස්ථාව වීමද තවමත් එලෙස නම් කෙරුණ එකම රට වීමද සුවිශේෂී කාරණයකි.මේ සියල්ලට හේතු වූ බුදු දහමින් සුපෝෂිත ජනතාවක්‌ බිහිවීම, ශ්‍රී ලංකාව ලෝක ජනතාව අතර දිදුලන්නට මං පෑදූ බව ලොවට නොරහසක් විය.

විසිවන ශතවර්ෂයේ දී සංකල්පයක්ව පැවති දූරප්‍රවාහක තාක්ෂණය බලාත්මක වීම අජීවී භාණ්ඩ ප්‍රවාහනය පහසු කර විය. පදාර්ථය ශක්තියටද නැවත පදාර්ථයට ද පත්කිරීමේ මූල ධර්මය මූලික කරගත් මෙම තාක්ෂණය බලගැන් වුයේ  ප්‍රබල ක්‍ෂුද්‍ර අංශු ත්වරකයකිනි. එමනිසා භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ නැව් දියත් කිරීම අනවශ්‍ය විය. එනිසා බොහොමයක් අභ්‍යවකාශ නැවතුම් පළවල් සහ පර්යේෂණ මද්‍යස්ථාන ගොඩනැගීම පහසු විය. විසිවන ශතවර්ෂයේ තැනුණ හබල් දුරේක්ෂය වැනි දුරේක්‍ෂ දහස් ගණනක් අභ්‍යවකාශයේ රඳවන්නට මේ නිසා හැකි විය. එම දුරේක්‍ෂ හබල් මෙන් දහස් ගුණයකින් ප්‍රබල විය. ඉතා දුරින් පිහිටි පරමාණු වලින් තැනුණු සිලිකන් වාෂ්පයෙන් මෙම දුරේක්‍ෂ වල කාච නිර්මාණය වූ අතර එනිසා ඉතා පහසුවෙන් නාභිගත කිරීමට ද සමමිතික සේයා රූ ලබා ගැනීමටද හැකි විය. කොටින්ම විශ්වයේ තත් කාලින චලන මැනවින් ග්‍රහණය කරගන්නට හැකි විය.

අජීවී භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදාගත් දූරප්‍රවාහක තාක්ෂණය ජීවින් ප්‍රවාහනය සදහා යොදා ගැනීම තරමක් අසාර්ථක වුයේ එසේ ප්‍රවාහනය කරන ලද ජීවින් හිටි හැටියේම අදාළ ගමනාන්තයට ලඟා නොවී අතුරුදහන් වීමයි. වඩාත් පැටලිලි සහගත වුයේ ඔවුන් යවන ලද්දා වූ මාර්ගයේ කිසිම තැනක නැවත හමු නොවීමයි. ගමනාන්තයට නොගියේ නම් නැවත මූලාරම්භයට පැමිණිය යුතු වුවද ප්‍රයෝගිකව එසේ නොවීම මෙම තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව වඩාත් ගැටළු සහගත විය. මේ නිසා ජීවී ප්‍රවාහනය පාර හෞතිකයේ නිම වළලු පුළුල් කල අගය වැඩි කල සිතුවිලි තරංග භාවිතයට ගත් අතර ඒ සදහා විශේෂ ප්‍රගුන්‍යයෙන් හෙබි මිනිසුන් අභ්‍යවකාශ නැවියන් ලෙස යොදා ගැනුණි.

----------------------------------------------------------------------
සස දුරේක්ෂයෙන් ලැබුණ විශ්ව චලිත රටා වල වෙනසක් තියෙනවා වගෙයිසමැන්තා ගේ ටෙලිපති තරංඟ ග්‍රහණයෙන් අරවින්දට හැඟුනි.

මොකද විශ්ව චලිත රැලි එක ළඟට වුනේ..?” අරවින්ද ද තමාගේ ටෙලිපතිය ක්‍රියාත්මක කළේය.

හිතා ගන්න බැහැ අරවින්ද..එත් මට හිතෙනවා අපි මෙච්චර කල් අත්විදපු නැති දෙයක් කියලා මේක. හැබැයි විශ්ලේෂණය කරන්න කලින් මම කියන්නේ ..විශ්වයේ ප්‍රසාරණ වේගය එකපාරටම වැඩි වෙලාද කියලා

ඇයි එහෙම කියන්නේ..? ඒක වෙන්නේ කොහොමද මේ වේගය අඩුවෙමින් යන වෙලාවේ

ඒක තමයි මටත් තියෙන ගැටලුව 

විශ්ව චලිත රැළි වල රටාව මගින් විශ්වයේ චලිතය මනාව අධ්‍යනය කිරීමට වර්තමානයේ දී සර්වකාලින පර්යේෂණ ව්‍යාපෘතියට හැකි වූ අතර එමගින් විශ්වය සංකෝචනය වන බව නිශ්චිතව සොයාගැනුනි.

විශ්ව චලිත රැළිවල පළල ක්‍රමයෙන් වැඩිවන බවත් එය සංකෝචනයේ පෙරනිමිත්තක් බවත් අරවින්දට මතක් වුයෙන් තත් කාලීන අවකාශය ද එසේ විය යුතු බව වැටහුණි. නමුත් මේ සිදුවන්නේ එයට ප්‍රතිවිරුද්ද සංසිද්දියකි. එකවරම අරවින්දට මෙනෙහි වුයේ පසුගිය කාලයේ හිතට වද දුන් ගැටලුව වන විශ්වය තනි වී ඇත්ද යන්නයි. ප්‍රසාරණයෙන් ආරම්භ වන විශ්වය සංකෝචනයෙන් නැවත තමා විස්ථාපිත පදාර්ථයේ වූ ශක්තිය ඒක රාශි කරමින් ගුලි ගසන්නට පටන්ගනී. අවසානයේ කාලය ද ශක්තිය තුල ම ගුලි ගැසෙන අතර කාලය පිලිබඳ දැනට අප තුල ඇත්තාවූ හැඟීම අවසාන වන බව පිළිගැනිම දුෂ්කර බව ඔහුට වරින් වර සිතුණි.  ප්‍රසාරණයේ දී ඇතිවන සහ සංකෝචනයේ දී නැතිවන කාලය ට අමතරව අප ග්‍රහණය නොකල යම් මානයක්‌ ඇති වා දැයි ක්ෂණිකව අරවින්දට හැඟුනේ මෙම විශ්ව චලිත රැළි වල වේගය වැඩි වීම පිලිබඳ දැන ගැනීමෙන් පසුවයි. මහා පිපිරුමට පෙර ඇත්තේ හෝ සංකෝචනයට පසු උදාවන්නේ විශ්වයේ කුමන තත්වයක් ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් සංකෝචනයෙන් පසු නැවත විශ්වය ප්‍රසාරණය වන බව නියතය. ඒ අතරතුර සිදුවන්නේ කුමක් ද..? හකුලුවාගත් ගත් කාලයත් සමග එක් ලක්ෂීය වූ ශක්තිය නැතිනම් හැකිලුන විශ්වය කෙසේ හැසිරේද යන්න  ගැටලුවකි. විශ්ව විනාශය අප හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි. 

අරවින්දට නැවත යානා අංගනය වෙත යාමට සිත් විය.

ජූඩ් ඔය පැත්තේ තත්වේ මොකද..?”
එලියට යාමට පෙර අරවින්ද ජූඩ් ගෙන් විමසීය.

ඔක්කොම පරික්ෂා කරලා බැලුවා. දැනුයි ඉවර උනේ. කිසිම වැරද්දක් හොයාගන්න බැහැ. සර්වකාලින දෘඩකාංගය ඉතා හොදින් වැඩ කරනවා.”

කිසිම වෙනසක් නැහැ ?”  

හැබැයි අපිට යානා මාර්ග ගවේෂණ මෘදුකාංගයහරහා ලැබුන පින්තුර වල අතර මැද ජීවින් ගේ රූ සටහන් කිහිපයක් සලකුණු වෙලා තියෙනවා.”  

මොනවා..?” අරවින්ද විශ්මයට පත් විය.

පුදුම හිතෙන දේ නම් ඒවා සියල්ල ජීවී දූරප්‍රවාහකයෙන් යැවීමේදී නැතිවුන සතුන්ගේ ජූඩ් පැවසුවේය.

ඇත්තටම පුදුමයි තමයි. ඒ පින්තුර සහ ප්‍රවාහන වාර්තා සියල්ල මගේ දත්ත ගබඩාවට එවන්න.” පවසමින් අරවින්ද යානා අංගනය වෙත යාම පසෙක තබා නැවත තමාගේ විද්‍යාගාරය කරා ඉක්මනින් පා තැබුවේය.

------------------------------------------------------------------------
ගත වූ දෙසතිය නං ආචාර්ය අරවින්දට බොහෝ වෙහෙසකර එකක් විය. නිදානොගත් තරම්ය. වරින් වර ආතතිය නිදහස් කරන ව්‍යායාම වල යෙදීමෙන් පහසුවක් ලබා ගත් නමුත් සම්පුර්ණ ප්‍රතිපුරණය ලද්දේ ඛණිජලවන සහ ග්ලුකෝස් මිශ්‍රිත සුවිශේෂී පානයෙනි. භාවනායෝගීව ගත කල පැයක කාලය නිදාගැනීමේ අවශ්‍යතාවය බොහෝ දුරට අඩු කරන ලැබීය. 

ඔක්කොම සුදානම් ද..?”
අරවින්ද තම සහායක සඳරුවන්ගෙන් විමසුයේ සිදු කිරීමට නියමිත තමාගේ කතාව ප්‍රක්ෂේපන යන්ත්‍රයෙන්  හතරවෙනි වතාවටත් පරික්ෂා කරමිනි. කිසිම වැරද්දක් නැතැයි තහවුරු වූ පසු ප්‍රක්ෂේපන යන්ත්‍රය නිවා දැමු ඔහු රැස්වීම් ශාලාවට යාමට පිටත් විය. සහායක ද අරවින්ද අනුගමනය කළේය.

ශාලාව පිරි තිබුනේ සර්වකාලින පර්යේෂණ ව්‍යාපෘතියේ විද්‍යාඥයින්ගෙන් පමණක් නොවේ. විශ්වයේ සම්භවය පිළිබඳ උනන්දුවන විද්‍යාඥයින් ද, ජීවයේ සමභවය පිලිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් ගෙන්ද, අභ්‍යවකාශ තාක්ෂණ ඉන්ජිනේරුවන් ද පමණක් නොව විද්‍යා පුවත් සැණෙකින් ලොවට හෙළි කරන මාධ්‍යවේදින්ගෙන්ද රැස්ව සිටි පිරිස සමන්විත විය. එයට අමතරව ලෝ බලවතුන්ගේ රටවල් (පැරණි) නියෝජනය කරමින් තානාපතිවරු රැසක් එහි විය.

අරවින්ද ශාලාවට ඇතුළුවත්ම සියලු දෙනාම නැගී සිටි අතර උණුසුම් ලෙස අත්පොළොසන් දෙමින් ඔහුව පිළිගන්නට වුයේ නොබෙල් ත්‍යාගය ලත් ලාබාලතමයා වීම ම පමණක් නොවේ. ඒ ඔහු මානව සංහතිය කිහිපවතාවක්ම දරුණු ව්‍යවසන වලින් බේරා ගැනීමට ඇපකැප වූ නිසාවෙනි. සියල්ල සන්සුන් වීමටද මත්තෙන් ලෝක විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය නොයෙල් එඩ්ගාර් තම පර්යේෂණ සගයා වූ ආචාර්ය අරවින්ද වැළඳ ගෙන පිළිගත්තේය.

ලෝක ඉතිහාසයේ අද දිනය ඉතා වැදගත් දිනයක් නොඅනුමානයි. ඒ කවර නිසාද යත් ආචාර්ය අරවින්ද්ගෙන් අපට මෙතුවක් කල් ප්‍රශනයක් ව පැවති මහා පිපිරුමෙන් ඔබ්බට වන්නේ මන්ද යන්න සදහා වඩාත් තාර්කික පිළිතුරක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවිනි

සහතිකයි මේ පිළිබඳව ඔබ කිසිවක් නොදන්න බවයැයි මහාචාර්ය එඩ්ගාර් පැවසුවේ ශාලාව තුලින් විශ්මය පළ කිරීම හේතුවෙනි.

නැවතත් එකවරම ඉතා උද්වේගකර අත්පොලසන් නාදයක් මතුවිය.

එම සුභ දායක ආරංචිය පැවසීමට සහ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීමට ආචාර්ය අරවින්දට මා මෙතනට ආරාධනා කරනවා

පසෙකින් වූ ආචාර්ය අරවින්ද ප්‍රක්ෂේපන යන්ත්‍රය ක්‍රියාත්මක කරත්ම ශාලාව නැවතත් නිස්ශබ්ධ ද විය.

තිරයේ දිස් වුයේ තාරකා මණ්ඩල වල තිඹිරි ගෙය වන නෙබුලාවක සේයා රුවකි.

අපි දැනටමත් දන්නවා විශ්වය නැවත හැකිලෙන බව. පසුගිය වර්ෂයේදී පමණ අපට ලැබුන සමහර දත්ත වලින් මේ කතාන්දරය ට නොගැලෙපන අවස්ථාවන් ගණනාවක්ම නිරීක්ෂණය කළා. ඒ කියන්නේ නැවත විශ්වයේ ප්‍රසාරණ වේගය වැඩි වූ අවස්ථා ගැන. මේ බව අපි හොඳටම නිරීක්ෂණය කලේ සිසිරතරණ ගමන් වලදී සිදු වූ කාල පමාව ගැන කරපු පර්යේෂණ වලින්. හැබැයි ඒක ගමන් වලට ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් අපගේ එදිනෙදා වැඩ කටයුතු මේ නිසා කිසියම් ප්‍රමාණයකට අඩපණ වුණා කිව්වොත් නිවැරදියි.”

නමුත් අපි සැක කරපු දේ වඩාත් ප්‍රබලව අත් වින්දේ සති දෙකකට කලින් පමණ වූ සිදුවීමකින්. ඒ කාල තරණ යානාවක්‌ අප සිතුවාටත් වඩා කලින් ගමනාන්තයට ලං වීමෙන්. මෙවැනි සිදුවිම් ගණනාවක් ලෝකයේ අනෙකුත් අංගන වලින් පසුව අපට වාර්තා වුනා. අප සිතුවේ අපේ පද්ධතියේ දෝෂයක් කියලා.”

ඒ වුනාට අපි දිගින් දිගටම පැරණි වාර්තා විශ්ලේෂණය කළා. වේගවත් විශ්ලේෂණයකට අප නිර්මාණය කල සර්වකාලින කාල චක්‍ර මෘදුකාංගය බෙහෙවින් ම ඉවහල වුණා.”

ඒ විතරක් නොවෙයි අප සිතුවෙත් නැති විදියට දූරප්‍රවාහක පර්යේෂණ සදහා යොදාගත්, එහිදී අන්තර්දාන වූ සතුන්ගේ සේයා රූ සමූහයක් අහම්බෙන් අපේ යානා මාර්ග ගවේෂණ මෘදුකාංගයේ සටහන් වී තිබුණා

මේ සියල්ල එකට බැඳී ඇතැයි මට සිතුන නිසා පසු ගිය සති දෙකක කාලයේ අපි ඉතා සුක්ෂම ව දත්ත විශ්ලේෂණය කරලා අවසන් නිගමනයකට ආවා”.

එමනිසා මම හිතනවා මහා පිපිරුමෙන් ඔබ්බටයාමට අපට හැකි වුනා කියලා

ශාලාවේ සියලුම් දෙනා නැවතත් විශ්මය දනවන ශබ්ද නිකුත් කල අතර සමහරු ඒ කෙසේදැයි මහා හඬින් විමසා සිටියා.

ඔවු මම ඒක කියන්න තමයි හදන්නේ ..ඒත් ඊට කලින් තවත් දෙයක් කියන්න තියෙනවා..ඒ තමයි අපට සත්‍ය ලෙසම පවතින අප කෙදිනකවත් නොසිතපු සමමිතික විශ්වයක් අප විශ්වය හා බැඳී පවතින බව

මොනවා සමමතික විශ්වයක්...! ඒ කොහොමද...??”

ඒ කියන්නේ අපේ විශ්වය හා චලනය වන මේ හා සමාන එකක් ද ? මහාචාර්ය නොයෙල් එඩ්ගාර් ද වික්ෂිප්තව විමසා සිටියා .

ඔවු ..! හරියටම හරි...!

නමුත් විශේෂත්වය තමයි එය චලනය වන්නේ ප්‍රතිවිරුද්ධ අතට...!  ඒ කියන්නේ මෙය ප්‍රතිවිශ්වය ලෙස හදුන්වන්න පුළුවන්”.

අපට පැහැදිලි නැහැ...! ශාලාව තුලින් බොහෝ කටහඩ නැගුණි.

බොහොම සරලව කිව්වොත් අපේ විශ්වය ප්‍රසාරණය වෙනකොට ප්‍රතිවිශ්වය සංකෝචනය වෙනවා. අපේ විශ්වය සංකෝචනය වෙනකොට ප්‍රතිවිශ්වය ප්‍රසාරණය වෙනවා”.

එක නිසා තමයි ප්‍රසාරණය වන් අවස්ථාවේ දී සමහර මන්දාකිණි මැරී යන්නේත්, ඒ වගේම සංකෝචනය වන විට සමහර මන්දාකිණි ආරම්භ වන්නේත්. ඒ විතරක් නොවෙයි ප්‍රතිවිරුද්ද චලන නිසා සමහර අවස්ථාවල විශ්ව චලන රැළිති වල රටාව බිඳ වැටෙන්නේ. අප දූරකාල ප්‍රවාහකයෙන් යවපු සමහර සතුන් සමමිතික ප්‍රතිවිශ්වයේ චලන රැළි වලට අහුවුන නිසයි අන්තර්දාන වුනේ . ඔවුන් ප්‍රතිවිශ්වයේ සමහර මන්දාකිණි වල මතුවෙලා ඇති

එතකොට මේක කොහොමද මහා පිපිරුමෙන් ඔබ්බට වෙන්නේ..? කොහොමද ප්‍රතිවිශ්වය ඒකට සම්බන්ද වෙන්නේ. ...??”

දෙතුන් දෙනෙකුම එකවරම ප්‍රශ්ණ කෙරුවෝය.

මේ ක්‍රියාවලිය නිසා මට තේරුණ දේ තමයි ප්‍රතිවිශ්වය පැවතීම යනු අප නොදන්නා මානයක් ඇති බව තහවුරු කිරීම.”

එය විශ්ව සංචිතයක් ඇති බවට පණිවිඩයක් ගෙනෙනවා..! ඒ කියන්නේ මහාපිපිරුමෙන් ඔබ්බට සහ සංකෝචනයෙන් පසු අප අද දකින කාලය සහ අවකාශය මෙන් වෙනස් මානයක බොහෝ විශ්වයන් පවතින බව. අප විශ්වය ඉන් එකක් පමණි

එනම් අපගේ විශ්වය ද තනි වී නොමැති බවයි  


----------------නිමි--------------------

Thursday, 12 January 2017

විදුපත්ඉරුව
2016 අගෝස්‌තු 24 බදාදා. www.vidusara.com

ප්‍රභාසංශ්ලේෂකයෝ ද, රසාසංශ්ලේෂකයෝ ද ස්‌වයං ශක්‌ති ජනකයෝ වෙති. එහෙයින් ප්‍රභාසංශ්ලේෂකයන්ට හිරු එළිය ලැබෙන තාක්‌ බිය විය යුතු නො වේ. රසාසංශ්ලේෂකයන් හට හිරු එළිය නොමැති වුව ද ජීවය පවත්වාගෙන යැමේ ගැටලුවක්‌ පැන නො නගී. පරිණාමය එතරම් ම විස්‌මයජනක ය. ප්‍රභාසංශ්ලේෂකයෝ රසාසංශ්ලේෂකයන් ගෙන් පරිණාමය වූවෝ වෙති. මේ හරිතප්‍රදධාරීහු ලොව හිරුඑළිය වැටෙන සැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම පැතිර ගියෝ වෙති. ඔවුහු ජලයේ ද ගොඩබිම ද එක සේ ව්‍යාප්ත ව අතීත පෘථිවියේ විවිධ යුගවල දී ප්‍රමුඛව තව තවත් පරිණාමය වී, අවසන අපුෂ්පකයන් වී "හෙලූ බීජ" තනා එයින් ද නො නැවතී තව තවත් පරිනාමිකව ලොව මලින් සරසන්නට සමත් වෙති. ඒ සපුෂ්පකයන් බිහි කිරීමෙනි. හෙලූ බීජ තැනූ අපුෂ්පකයන් ගෙන් දැන උගත් පාඩම් නිසා "පල බර" එමෙන් ම ලොව "උසස්‌ ම ශාක" බවට පත් වූ සපුෂ්පකයෝ තමා නිර්මාණය කළ ඵලයේ දරු බීජ සඟවා අපූරු ආරක්‌ෂාවක්‌ සලසා දුන්නෝ ය.

ඒ කෙසේ වෙතත් හිරු පවතින තාක්‌ ශක්‌ති අහේනියක්‌ සපුෂ්පකයන්ට නො දැනෙන්නේ වුව ද ඔවුහු පවතින්නා වූ පරිසරය විටෙක තම වර්ධනයට අකුල් හෙළන්නෝ ය. ඒ වර්ධනයට අවැසි ඛනිජ ලවණ ප්‍රමාණාත්මකව ලබා නො දීමෙනි. නයිට්‍රජන් අවශ්‍යතාව ඒ අතර ප්‍රබල සාධකයක්‌ වේ. මේ තත්ත්වය බොහෝ විට ඇත්තේ මඩවගුරුමය පහත් බිම්වල ය. නැත හොත් පසේ ඝනකම ඉතා අඩු මවු පාෂාණ තට්‌ටු මත ය. එනිසා මෙතරම් පරිණාමය වූවන් කෙලෙස නම් එම පරිසරය ජයගෙන ඇත්ද යන්න අප විමසා බැලිය යුතු ම ය.

බොහොමයක්‌ ශාක තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නේ පසේ නිපදවෙන නයිට්‍රජන් අඩංගු සංයෝග ඇසුරෙනි. විදුලි කෙටීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස භෞතිකව නිපදවී පසට එක්‌ වන නයිටේ්‍රට හෝ ක්‌ෂුද්‍රජීවීන් ගේ ක්‍රියාවෙන් මූලගැටිතිවල නිපදවෙන නයිට්‍රෙට ඉතා පහසුවෙන් උරාගැනීමේ හැකියාවක්‌ මොවුන් සතු ව ඇත. පොළොව මතුපිටට නිරාවරණය වූ මවු පාෂාණ තට්‌ටුවල ඛනිජ ලවණ රැෙදන්නට තරම් උපස්‌තරයක්‌ නිර්මාණය නො වීම නයිට්‍රජන් හිඟතාවට හේතු වේ. එමෙන් ම වගුරුමය පරිසරවල නයිට්‍රජන් හිඟ වන්නට ප්‍රධාන කාරණාව වන්නේ එහි පවතින නයිට්‍රජන් වායුව බවට පත් ව පද්ධතියෙන් ඉවත් වීමයි. එය ඔක්‌සිජන් රහිත පරිසරයේ ඉන්නා ක්‌ෂුද්‍ර ජීවීන් පසෙහි රැඳී නයිට්‍රජන් වායුගෝලයට මුක්‌ත කරන බැවිනි.

සජීවීන් ගේ අහිංසකයෝ මේ කරුණේ දී ඉතා රැඩිකල් තීරණයක්‌ ගෙන ඇති බව ඔවුන් ගේ දේහ විලාසය දෙස බැලීමෙන් තේරුම්ගත හැකි ය. ඒ කිසිවක්‌ නො ව තම ජීවය පවත්වාගෙන යැම සඳහා ම "මාංශභක්‌ෂණයට" හුරු වීමයි. විශේෂයෙන් ම මේ පරිසර පද්ධතිවල වෙසෙන සමහර ශාක කෘමි භක්‌ෂණයට පෙලඹී ඇත. එමගින් සතුන් ගේ දේහගත නයිට්‍රජන් උරාගැනීමට මං පාදාගෙන ඇත. මේ සදහා ඉතා සංවිධානාත්මකව විවිධ විකරණයන් සිදු කර ඇත. එහි දී ප්‍රධාන කාරණාව වී ඇත්තේ අදාළ ජීවියා අල්ලාගැනීමයි. විවිධ උගුල් අටවා සතුන් එම උගුලේ පටලා තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නට ඔවුහු බොහෝ සමත්කම් පාන්නෝ ය.

මේ මාංශභක්‌ෂකයන් සතුන් අල්ලාගැනීම සදහා සකස්‌ කර ඇති උගුල් විවිධ ය. සමහරක්‌ ඒ සදහා ම සුවිශේෂී මල්ලක්‌ නිර්මාණය කර ඇත. පත්‍රයේ කෙළවර "මරඋගුල" තැනීම සදහා විකරණය වී ඇති අතර එය අපූරු බඳුනක්‌ වීම විස්‌මයජනක ය. එලෙස සාදන බඳුනේ සතුන් ආකර්ෂණය සදහා ද, ජීර්ණය සදහා ද වැදගත් වන පැණි රසැති දියරයක්‌ පුරවා ඇත. මේ අප කවුරුත් හොඳින් හඳුනන බාඳුරා ශාකයයි. නිවර්තන කලාපයේ රටවල බහුලව දැකිය හැකි මේ ශාක විශේෂ (Nephenthus sp) ගොදුරු කරගන්නේ බොහෝ විට කෘමි සතුන් වන අතර "බාඳුරා පැණිය" වැස්‌සෙන් තනුක වීම වළක්‌වනු වස්‌ ඉහළින් පියනක්‌ ද නිර්මාණය වීම කෙතරම් හොඳින් තම කාර්යය සදහා අනුවර්තනය වී ඇත් ද යන්නට කදිම උදාහරණයක්‌ සපයයි. බඳුනේ කර මතට නගින කෘමි සතුන් ඉතා පහසුවෙන් බඳුන තුළට තල්ලු කරලීම සදහා කරගැට්‌ට සුමුදු කරන්නට ද වගබලාගෙන ඇත. එනිසා බඳුනට එබෙන කිසිදු කෘමියකු යහතින් ආපසු නො යන බව නම් නිසැක ය. විවිධ ලෙස මෙවැනි බඳුන් නිර්මාණය කර සතුන් අල්ලාගන්නා ශාක විශේෂ බොහොමයක්‌ ලොව පවතින අතර අප ගේ වාසනාවට ඔවුන් විශාල සතුන් අල්ලාගැනීම සදහා අනුවර්තනය වී නොමැති ය.

ඉතා වේගවත් චලනයකින් තම ගොදුර ඩැහැගැනීමට විශේෂණය වූ ශාක ද මේ අතර වෙයි. තම පත්‍රයේ කෙළවර බෙදී දෙපෙති තනා උගුල නිර්මාණය කර ඇත. උගුලේ රැඳෙනා කෘමියකු සිර කරගැනීමට මේ ශාකවලට ගත වන්නේ ඇසුරු සැණකි. පත්‍රයේ බාහිර දාරයේ ඇති ඝනකම් රෝම පත්‍රයේ දෙපෙති වැසුණු පසු කෘමියාට ගැලවී යැමට ඇති ඉඩ තවත් අසුරයි. කෘමි සතා ගේ ආගමනය සන්නිවේදනය සදහා පත්‍රය මධ්‍යයේ සියුම් කෙඳි නිර්මාණය වී ඇති අතර කෘමියා එහි ගැටුණු විගස රසායනික සංවේදනයෙන් ඉතා වේගයෙන් පත්‍ර දෙපෙති වසා දමනු ලබන්නේ කෘමියාට ක්‍රියාත්මක වීමට ඉඩක්‌ නො තබා ම ය. "වීනස්‌ ගේ මැසි උගුල" (Venus's flytrap- Dionaea muscipula) මේ බවට කදිම නිදසුනකි.

කෘමි සතුන් ග්‍රහණය කරන්නට ඇලෙනසුලු ද්‍රdව සහිත පෘෂ්ඨ නිර්මාණය කරන්නෝ ද මේ අතර වෙති. මේ සදහා වැදගත් වන මැලියම් වෑස්‌සෙන ග්‍රන්ථි පත්‍රයේ මතුපිට පෘෂ්ඨයේ ඇති අතර පෘෂ්ඨය මත වසන හෝ ගමන් කරන හෝ කෘමි සතා ගේ පාද ද ක්‍රමයෙන් දැඟලීම නිසා මුළු ශරීරය ද ඇලෙයි. එහෙත් විශාල කෘමි සතුනට මේ උගුලෙන් ඉතා පහසුවෙන් ගැලවී යා හැකි ය. කඳුලැස්‌ස (Droseracapensis) ශාකය මෙසේ ඇලෙනසුලු මැලියම් යොදා කෘමීන් අල්ලාගන්නා කෘමි භක්‌ෂකයෙකි. ජලයේ වෙසෙන මාංශ භක්‌ෂකයෝ ද (Utricularia sp) කදිම උගුල් සකසා ඇත. ආසෘතියෙන් ජලය ඉවතට විද රික්‌තයක්‌ තම උගුල් මල්ලේ ඇති කර ජලජ ජීවීන් අල්ලාගැනීමට ඔවුහු සමර්තයෝ ය.

මෙවැනි නානාප්‍රකාර අනුවර්තනයන් ගෙන් සපිරි මාංශභක්‌ෂකයන් මෙලෙස කදිමට පරිසරය ජයගෙන ඇත්තේ අප කවුරුත් සජීවීන් ගේ අහිංසකයන් ගෙන් කිසි දා බලාපොරොත්තු නො වන ක්‍රමවේදයන් ගෙන් වුව ද ඒ සියල්ල දුෂ්කර පරිසරයේ තම ජීවය ගැටගසා ගන්නට පමණක්‌ නො ව තම පරපුරේ අඛණ්‌ඩතාව පවත්වාගෙන යන්නට පමණක්‌ ම බව ද ඉතා හොඳින් මේ සියල්ල විශ්ලේෂණය කළේ නම් අපට පැහැදිලි වනවා ඇත. එය ආත්මාර්ථකාමී මිනිසා ගේ කුරිරු අරමුණුවලින් සදා වියුක්‌ත බව ද ඔබට පැහැදිලි වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදුපත් ඉරුව
2017 ජනවාරි 11 බදාදා        04 බදාදා

මෙම සති අන්තය අතිශය කාර්යබහුල එකක්විය. ඒ අන් කිසිවක් නිසා නොව ගංවතුර උවදුරට ලක් වූ කැළණි ගං මිටියාවතෙහි ජිවත්වන කොළඹ අවට ජනතාවට සිදු වූ හානිය තක්සේරු කිරීමේ දුෂ්කර කාර්යයක් කරන්නට සිදු වීමයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැම විටම මෙවැනි අභියෝගාත්මක කාර්ය සදහා උර දෙන්නට සැදී පැහැදී සිටිනා නිසාත් මෙවැනි දෑ පිළිබඳව ධනාත්මකව සිතනා පිරිසක් එහි ඇති හෙයිනුත් බොහෝ උද්යෝගිමත් ලෙස ද කාර්යශුර ලෙස ද මෙන්ම විනෝදාත්මකව ද එම සමීක්ෂණය සිදු කරන්නට හැකි වූ බව පැවසිය යුතුය.  

මෙම ගං වතුර උවදුර සිදු වී බොහෝ කල් වුවද පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදුකරන්නට කඩිනම් වැඩපිළිවෙලක් අදාළ වගකිවයුතු ආයතනවලට නොමැති වීම පිළිබඳව කනගාටු වියයුතුවාක් මෙන්ම ඉතා වගකිවයුතු ලෙස ඔවුන්ගේ අවධානය ද මේ කෙරෙහි යොමුවිය යුතු බව පැවසිය යුතුය. මෙවැනි ආපදාවන්ට ලක්ව අවතැන් වන ජනතාව උදෙසා බොහෝ ආධාර උපකාර මුල්ම කාලයේ ලැබෙනා මුත් කල්යත්ම ඔවුන් පිලිබඳ මතකය අමතක වන බැවින් ස්ථිරසාර විසඳුමක් ඉතා කෙටි කලකින් ස්ථාපනය කල යුතුය. එවැනි වැඩපිළිවෙලක් සැකසීම එතරම් අසීරු දෙයක් නොවේ. මන්ද යත් ගං වතුර උවදුර මෙරටට අලුත් දෙයක් නොවනා බැවිනි. සෑම ගං වතුර ආපදා අවස්ථාවකදී ම ලබා ගන්නා අත්දැකීම් ඊළඟ සිදුවීම කළමනාකරණය කර ගැනීම සදහා යොදා නොගැනීම ද මෙහි දී අවාසිදායක තත්වයන් නිර්මාණය කරන බව සිහි තබා ගත යුතුය.    

පසුගිය වසර බොහෝ ආපදා ගෙන දුන් වසරක් විය. ස්වභාවික සංසිද්දීන් හේතුවෙන් හටගත් උපද්‍රව (Hazard) මෙම බොහොමයක් ආපදාවනට (Disasters) හේතු වූ බව පෙනී යයි. පසු ගිය මැයි මාසයේ ක්‍රියාත්මක වූ අසාමාන්‍ය කාලගුණික විපරියසයන් නිසා ගංවතුර උවදුර සහ නාය අනතුරු ද කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්ක බෙහෙවින්ම කළඹවාලන්නට හේතු වූ බව රහසක් නොවේ. ආපදා අවදානම අවම කිරීමේ (Disaster Risk Reduction) බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබුනද ස්වභාවික සංසිද්දීන් නිසා ඇතිවන උපද්‍රවයන් (Natural Hazard) හට අභියෝග කල නොහැකි බව වරින් වර සිදුවන ආපදා මගින් අපට පෙන්වා දෙනු ලබන බව සිතිය හැක.

ගං වතුර උවදුර පිළිබඳව පෙර සුදානමක් තිබුනද මෙවර අනතුරට ලක්වීම පිළිබඳව ජනතාවටද යම් තරමකට දොස් පැවරිය යුතුය. විද්‍යාත්මක ක්‍රමවේද භාවිතාකර සිදුකරනා අනුමානයන් (Predictions) පිළිබඳව ජනතාව සතුටු දායක ලෙස ප්‍රතිචාර දැක්විය යුතුය. මෙවර එලෙස නොකිරීමේ ප්‍රතිපල ඔවුන් පමණක් නොව අප ද බුක්ති විදිනා බව කිව යුතුය. යම් පිරිසකගේ අත්තනෝමතික තීරණ මහාජනතාවගේ මුදල්හදල් පමණක් නොව බොහෝ පිරිසකගේ කාලයද කා දමන බව කිව යුතුය. මෙවර සිදු වූ ගං වතුර උවදුරේදී අදාළ ආයතන ලබා දුන් අනතුරු ඇඟවීම් අනුව ජනතාව ක්‍රියාත්මක වුවා නම් බොහොමයක් අලාභ හානි අවම කරගන්නට තිබුණි.    

මේ තත්වය නාය උවදුර අවම කිරීමේ ව්‍යපෘති කෙරෙහිද ඉතා දරුණු ලෙස බලපාන බව පෙනී යයි. මේ වනවිටත් නාය අනතුර සිදුවිය හැකි යැයි අනුමාන කරන ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ අධි අවදානම්, මාධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙස කලාපකරණයට ලක් කොට ඇත. එම ප්‍රදේශ සිතියම් ගතකර ඇත්තේ භූ විද්‍යාඥයින්ගේ ප්‍රභල සහ කැපී පෙනෙන මැදිහත් වීම මත වන අතර ඔවුන් කැප කල කාලය පමණක් නොව වැය කර ඇති ධනය ද බොහෝ වෙයි.. ඒ සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලද ප්‍රමුඛ දායකත්වය  අතිමහත් බව කිව යුතුය. ඒ සියල්ල මහජනතාවගේ මුදල් වෙයි. යම් ප්‍රදේශයක පාෂාණ වර්ගය සහ එහි ව්‍යුහාත්මක ලක්ෂණ,  භුමියේ ආනතිය, ජලවහන රටාව යනාදී ප්‍රමුඛ කරුණු ගණනාවක් කේන්ද්‍ර කොට සකසන ලද මෙම සිතියම් සැකසීම සදහා භූ විද්‍යාත්මක දැනුම සහ ප්‍රයෝගික භාවිතය අතිශය වැදගත් වේ. ලංකාවේ මධයම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක 13ක් සඳහා නිර්මාණය කරන ලද මෙම සිතියම් සෑම අදාළ පළාත් පාලන ආයතනයක් වෙතම ලබා දී ඇති අතර අවශ්‍ය වේ නම් යම් අයෙකුට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය වෙතින් ද ලබා ගත හැක. නමුත් වැදගත් වන්නේ එම සිතියම් හමස් පෙට්ටියේ දමා පරිස්සම් කිරීම නොව භාවිතයට ගැනීමයි.

මැයි මාසයේ සිදු වූ නාය ආපදා සමීක්ෂණ කටයුතු වලදී පෙනී ගිය කරුණක් වන්නේ මෙම සිතියම් පිළිබඳව ජනතාවගේ ඇති අඩු දැනුවත්බාවයයි. එනිසාම බොහොමයක් ජනතාව නව නිවාස තැනීමේදී මෙම සිතියම් භාවිතාකර තම ඉඩම පිළිබඳව තොරතුරු විග්‍රහ කර නොගන්නා බව පෙනී යයි. නාය අවදානම ඇති දැනට නම් කර ඇති මෙම දිස්ත්‍රික්ක 13 හිම බොහොමයක් ජනතාව මේ පිළිබඳව දැනුවත් කර ඇතත් මෙවැනි දේ ඔවුන්ගේ ග්‍රහණයට හසු වී නොමැති බව විටෙක ප්‍රයෝගිකවම පෙනී ගිය කරුණකි. නමුත් පුදුමය වන්නේ සමහර පිරිසක් ඉතා හොඳින් මෙම තත්වය ග්‍රහණය කරගෙන තිබීමයි. මෙවැනි අනතුරක් සිදුවන අවස්තාවලදී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඉතා ප්‍රසංශනීය බව කිව යුතුය. මෙහි ලා භූ විද්‍යාඥයින්ගේ කාර්ය භාරය අතිශය තීරණාත්මක බව කිව යුතුය, භූ විද්‍යඥයින් හෝ ප්‍රභලව එම දැනුම ග්‍රහණය කර ගත්තෙකුට හැර අන් අයෙකුට නාය ආපදා පිළිබඳ වූ මූලික සිද්ධාන්ත සාමාන්‍ය ජනතාවට පැහැදිළි කල නොහැකි බව පිළිගත යුතුය. ඔවුනට ඉතා යහපත් ලෙස පවතින සහ ඇතිවන අවදානම පිළිබඳව ඔවුනට මනා අවබෝධයක් ලබා දිය හැක.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...