Thursday 26 January 2017


විදුපත් ඉරුව
2017, 25 වැනි බදාදා
පෘථිවියේ ජිවය පවත්වාගෙන යන්නට ජලයෙන් ලැබෙන්නේ නොමද සහයෝගයකි. ඒ බව ඉතා හොඳින් දැනෙමින් පවතින කාල වකවානුවකයි අප මේ ගත කරන්නේ. මෙවර නියඟයක් ඇති විය හැකි බව අනතුරු අඟවා ඇති මොහොහතක ජල සංරක්ෂණය සහ බිමට සුදුසු පිරිසිදු ජලය ලබා දීම සඳහා වහ වහා විධිමත් ක්‍රියා දාමයක් සකස් විය යුතුය. නියඟයේ බලපෑම පෙන්වමින් මේ වන විට විවිධ ගැටළු පැන නැගෙමින් පවතින පෙනී යයි. මහවැලි ගඟේ අවම ජල මට්ටමවත් මේ වන විට පවත්වාගෙන යා නොහැකි බව  අන්තර් ජලාශ දිය දහරවල් නිරීක්ෂණයෙන් ඉතා හොඳින් පැහැදිළි වේ. ජලාශ වල ජල මට්ටම අඩු වීම විද්‍යුතය නිපද වීම සඳහා පොසිල ඉන්ධන දහනයට වඩ වඩාත් යොමු විය යුතු බවට ඉඟි කරයි.

නියඟය ගංගා තුලට මුහුදු ජලය කාන්දු වීමට හේතුවක් වෙයි. එනිසා ඒ අවට පිරිසිදු ජල මුලාශ්‍ර මුහුදු ජලය හා මිශ්‍ර වී බීමට ගත නොහැකි තත්වයට පත් කරයි. මෙම තත්වය පසු ගිය විවිධ කාල වකවානු වල  ඇති වූ නියඟ වලදී කැළණි ගඟේ ද කළු ගඟේ ද ඇති විය. මෙවරත් කළු ගඟේ මේ තත්වය ඇතිවෙමින් පවතින බව පෙනී ගොස් ඇත. මුහුදු ජලය ගංගා ජලය හා මිශ්‍ර වීම ජලයේ දිය වී ඇති අයන මට්ටම ඉහල නංවා ලන්නට හේතු වෙයි. එනිසා අයනික සාන්ද්‍රණය ඉහල යයි. අයන ගෙන එන්නේ ජලයෙහි දියවූ ලවණයි. මුහුදු ජලයේ අයන සාන්ද්‍රණය සලකු විට එහි බොහෝවිට වඩා ප්‍රමුඛව දිය වී ඇත්තේ සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වැනි ධන අයන මෙන්ම ක්ලෝරීන්, සල්ෆේට් වැනි ඍන අයන ද වෙයි. සෝඩියම් සහ ක්ලෝරීන් සාන්ද්‍රණ අධිකව ඇති නිසා එමගින්  නිර්මාණය වන සෝඩියම් ක්ලොරිඩ් ලවණය මුහුදු ජලයේ ප්‍රමුඛ ලවණ ය ලෙස හැඳින්විය හැක. මුහුදු ජලයට ලුණු රසයක් එක් වී ඇත්තේ එනිසායි.

විද්‍යුතය සන්නයනය කරන්නට අවැසි වන්නේ ඉල්ක්ට්‍රොන වන අතර ධන සහ සෘණ අයන ඇත්නම් ඒ ද විද්‍යුතය සන්නයනය සදහා කදිමය. ජලීය ද්‍රාවන තුලින් විද්‍යුතය ගලා යන්නේ මෙම ධන සහ සෘණ අයන වල ක්‍රියාකාරිත්වයෙනි. යම් ලවණයක් ජලයේ දියවී අයන වලට වෙන්වීම මේ කාරිය සදහා බෙහෙවින් හේතු වෙයි. අධික ලවණතාවය නිසා මුහුදු ජලය ඉතා හොඳින් විද්‍යුතය සන්නයනය කරයි. එනිසා මුහුදු ජලය ඉතා හොඳ විද්‍යුත් සන්නායකයක් ලෙස හැඳින්විය හැක. පිරිසිදු ජලය ඉතා අඩු ලවණ ප්‍රමාණයකට හිමිකම් කියයි. එනිසා ලුණු රසයක් ගෙන දෙන්නේ නැත. විද්‍යාගාරයේ භාවිතා කරන සංශුද්ධ ජලය නිපද වෙන්නේ එහි ඇති බොහොමයක් අයන ඉවත් කිරීමෙනි. ප්‍රති ආසෘතියෙන් නිපද වෙන්නේ ද ලවණ හෝ අයන අඩු ජල යයි.

ද්‍රාවණයක ගැබ් වී ඇති හෝ දියවී ඇති ලවණ හෝ අයන ප්‍රමාණය නිශ්චය කිරීම සදහා භාවිතා කෙරෙන එක් මිනුමක් වන්නේ එහි සන්නායකතාවය මැනීමයි. සන්නායකතාවය යනුවෙන් හැඳින්වෙන්නේ යම් ද්‍රාවනයක් තුලින් ගමන් කරවිය හැකි විද්‍යුත් ප්‍රමාණයයි. “ඒකීය දුරක් ගමන් කරන විද්‍යුත් ධාරාව” ප්‍රකශ කෙරෙන ඒකකය වන්නේ “සිමන්ස්” (Siemens) නම් වේ. “සීමන්ස්” යනු ඒකීය විභය අන්තරයක් (1V) ඇතිවිට නිපදවෙන ඒකීය විද්‍යුත් ධාරාව (1A) ලෙස හැඳින්විය හැක. සම්මතයන්ට අනුව එවිට සන්නායකතාවය ප්‍රකාශයට පත් කෙරෙන්නේ  “මීටරයට සිමන්ස්” (m/S) ලෙසයි. මෙම සම්මතයෙන් බිඳී “මීටරයට මිලි සීමන්ස්” (mS/m) ලෙස හෝ “මීටරයට මයික්‍රෝ සීමන්ස්” (μS/m) ලෙසද යෙදෙන අවස්ථා ඇත. “ප්‍රතිරෝධකතාවය” සන්නයකතාවයේ පරස්පරය වේ. කෙසේවෙතත් අප හොඳින් සිහි තබා ගත යුතු කරුණ වන්නේ සන්නායකතාවය වැඩි වීම යනු කිසියම් හෝ ද්‍රව්‍යයක් හෝ ද්‍රාවනයක් තුල විද්‍යුත් ශක්තිය ඒක රාශි වීමක් නොවන බවයි. නැතහොත් වැඩි සන්නයකතාවයකින් යුක්ත ද්‍රාවන යනු විද්‍යුතය ගැබ් වූ ද්‍රාවන නොවන බවයි. අත්‍යන්තයෙන්ම ඉන් හැඟෙන්නේ එහි පවතින අයන හෝ ලවණ සාන්ද්‍රණය පිලිබඳ මිනුමක් පමණි.

සංශුද්ධ ජලයේ සාමාන්‍ය සන්නායකතා අගය වන්නේ 5.5 μS/m වන අතර බීමට ගන්නා ජලයේ එය 5-50 mS/m අතර පමණ වූ අගයක් ගනී. එම ප්‍රමාණය සංශුද්ධ ජලයේ සන්නායකතාවය මෙන් දහස් ගුණයක් වෙයි. මුහුදු ජලය සැලකු විට සන්නායකතාවය 5 S/m පමණ වන අතර එම ප්‍රමාණය සංශුද්ධ ජලයේ මෙන් මිලියන ගුණයක් පමණ වේ. මුහුදු ජලයේද එක් එක් සාගර වල සන්නායකතාවය වෙනස් වෙයි. වැඩිම සන්නායකතාවයක් පෙන්විය හැක්කේ මල මුහුදෙහිය. ගංගා වල වුවද සන්නායකතාවය අඩු වැඩි වෙයි. ගංගාවක පටන් ගැන්මේ ඇති ජලයෙහි සන්නයකතාවයට වඩා වැඩි සන්නායකතාවක්  එහි පහලට යත්ම නිරීක්ෂණය කල හැකි වේ.  

ගංගාවක ජල මට්ටම අඩුවන්නට නියඟය ප්‍රභල ලෙස බලපායි. එමෙන්ම ගඟෙහි ගැඹුර වැඩිවීමද එම තත්වය වර්ධනය කරන්නට හේතුවෙයි. මෙනිසා මුහුදු ජලය රට තුලට කාන්දු වීමේ හැකියාව වැඩි වෙයි. වර්තමානයේ ගංගාවල ගැඹුර වැඩි කරන්නට හේතු වී ඇත්තේ ද අධික ලෙස වැලි ගොඩ දැමීමයි. ඒ හා සමගාමිව ගංගා ජලයේ වේගය අඩු වීමද මුහුදු ජලය රට තුලට ගෙන ඒමට හේතුවන බව පැවසිය යුතුය. එපමණක් නොව දිගු කාලීනව ගත් කල මුහුදු මට්ටම ඉහල යාමද මේ සදහා හේතු වෙයි. ඉඩෝරය නිසා ජලයේ සාන්ද්‍ර ගත වීමද, ලවණ මිශ්‍රිත ඛණිජ නිධි ජලයේ දියවිමද මතුපිට සහ භූ ගත ජලයේ සන්නායකතාවය වැඩි කරන්නට හේතු විය හැක.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 25 January 2017

විදු පත් ඉරුව
2015  ඔක්‌තෝබර් 21 බදාදා

කාලගුණ විපර්යාසයන් නම් මහ ම හිසරදයකි. කෙලෙසක හෝ ඉතා දරුණු හානි සිදු කර මිනිස්‌ ජීවිත සහ දේපල අනතුරේ හෙළන්නට ඒ සමත් ය. මේ, මිනිසා ස්‌වාභාවික පරිසරය ජයගැනීම උදෙසා කළ මෙහෙයුම්වල අතුරු ප්‍රතිඵලයන් ය. සැමට ම සැම විට ම කාරුණික වූ පරිසරයට රිදවීම නම් කොහෙත් ම කළ යුත්තක්‌ නො වේ. මන්ද යත් බිත්තියක වැදී පොලා පනින්නා වූ රබර් බෝලයක්‌ සේ එහි පලවිපාක අප වෙත ම එන බැවිනි. එහෙත් තවමත් බොහෝ පිරිසක්‌ මේ බව අවබෝධ කරගෙන නොමැති බව පෙනී යයි. එසේ හෙයින් දෝ දිනෙන් දින පරිසරයට සතුරු වූ කටයුතු නිරතුරුව සිදු වෙමින් පවතී.

එහෙත් විද්‍යා ක්‌ෂේත්‍රයේ පර්යේෂකයෝ මේ පිළිබඳව අවදියෙනි. ඔවුහු වර්තමානයේ සිදු වන්නා වූ පාරිසරික වෙනස්‌කම් මොනවා ද යන්න ග්‍රහණය කරගනිමින් තම පර්යේෂණ සිදු කරති. එසේ පර්යේෂණ සිදු කළ පර්යේෂකයන් ගේ සොයාගැනීම් පිළිබඳ වූ කදිම විද්‍යාත්මක සාකච්ඡාවක්‌ පසුගිය සතියේ පැවැත්විණි. එය "හරිත අනාගතයක්‌ උදෙසා දැනුම් හුවමාරු කිරීම" තේමාව වූ විද්‍යාත්මක ශාස්‌ත්‍රීය සම්මන්ත්‍රණයකි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ "වන හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුව" මගින් මෙය සංවිධානය කර තිබිණි. මේ මාසයේ 16 සහ 17 වැනි දිනවල පැවැති මේ විද්‍යාත්මක සම්මන්ත්‍රණයට ලංකාවේ සියලු ම විශ්වවිද්‍යාලවල ද, බොහොමයක්‌ රාජ්‍ය ආයතනවල ද, පෞද්ගලික ආයතනවල ද නියෝජිතයෝ තම පර්යේෂණ හා ඒවායේ ප්‍රතිඵල ඉදිරිපත් කළ හ. එමෙන්ම ඉන්දියාව වැනි රටවලින් ද පර්යේෂකයන් මෙයට සහභාගී වීම කැපී පෙනෙන සිද්ධියකි. විසිවැනි වතාවට පැවැත්වූ මේ විද්‍යාත්මක සැසිය සංවිධානය කිරීම සදහා ඇපකැප වී මෙවැනි අවස්‌ථාවක්‌ පර්යේෂකයන්ට ලබා දීම පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මියට ද, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මියට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හිරාන් අමරසේකර මහතාට සහ ආචාර්ය දහම් ජයවර්ධන මහතාට ද බෙහෙවින් ම ස්‌තුතිවන්ත විය යුතු ය.

මෙවැනි විද්‍යාත්මක සැසි පැවැත්වීම ඉතා වැදගත් වන්නේ ආධුනික පර්යේෂකයන්ට ය. ඒ ඔවුන් ගේ පර්යේෂණවල ද, ඉදිරිපත් කරන ආකාරයේ ද වූ අඩුපාඩු හඳුනාගැනීමට මහඟු අවස්‌ථාවක්‌ වන බැවිනි. එක්‌ එක්‌ ක්‌ෂේත්‍රයන්හි විශේෂඥයන් ගේ ඉතා ම අගනා වටිනා අදහස්‌ දැක්‌වීම් එනිසා එහි ලා දැනගන්නට ලැබේ. නිසි පරිදි සැලසුම් කළ පර්යේෂණ නිසි කල්හි සිදු කිරීම යහපත් සහ ප්‍රතිඵලදායක කරුණු අනාවරණය කරගැනීමට ද ආර්ථික ලාබ උදා කරගැනීමට ද හේතු වේ.

පෙර කී ආකාරයට කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීම සහ හැඩගැසීම නම් ඉතා අසීරු ය. මේ නිසා මිනිසාට අත්‍යවශ්‍ය වූ ආහාර බෝග මෙන්ම ජලයට ද බොහෝ හානි සිදු වේ. කෘෂිකාර්මික කටයුතු අඩාළ වීම මානව වංශකතාවේ අනාගතය තීරණය කරනු ඇත. බෝග වගාව මත බෙහෙවින් ම යෑපෙන නිවර්තන කලාපීය රටවල පැවැත්ම දරුණු කාලගුණික විපර්යාසයන්හි ක්‌ෂණික බව නිසා ම අනතුරට ලක්‌ වේ. එහි දිගුකාලීන රටාවන් හඳුනාගැනීම ද කාලීනව ඉතා වැදගත් ය. කාලගුණික විපර්යාසයන්හි දරුණු ව්‍යසනවලට මුහුණ දුන්න ද ශ්‍රී ලංකාව වැනි සමකාසන්නයේ පිහිටි දූපතකට එම තත්ත්වයන් සමනය කරගැනීම එතරම් අපහසු කාරියක්‌ නො වේ. මේ සදහා ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරගත යුතු ය.

කාලගුණික බලපෑමෙන් මෙන්ම වෙනත් සාධක මඟින් ද කෘෂිකර්මාන්තයට හා ආහාර සුරක්‌ෂිතතාවට එල්ල වන තර්ජන අපමණ ය.

වර්තමානයේ ඉතා දියුණු ක්‍රමවේද භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙයි. එනමුත් ලෝක මට්‌ටමින් ද, මෙරට ගැන සැලකුව ද ප්‍රමාණවත් ලෙස ආහාර නිෂ්පාදනය කිරීමට හැකි වී නැති බව ය පෙනී යන්නේ. එක්‌ එක්‌ කාලවල දී විවිධ බෝග වර්ගවල අතිරික්‌තයන් ඇති වීම සම්බන්ධයෙන් අපට නිරන්තරයෙන් දැනගන්නට ලැබෙයි. මෑත කාලීනව සැලකූ විට වී ගොවීන් ගේ මැසිවිල්ල වූයේ ඔවුන් ගේ වී නිෂ්පාදන මිල දී ගැනීමට රජයේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ නොමැති බවයි. මෙවැනි ම තත්ත්වයන් ට අපේ එළවළු ගොවීන් ද මුහුණ පාන බව නොරහසකි. අවසානයේ දී හැම දා මෙන් සිදු වන්නේ මේ අතිරික්‌තයන් අපතේ යැමයි. මෙවැනි තත්ත්වයන් උද්ගත වන්නේ කුමන හේතුවක්‌ නිසා ද? මේ හා සම්බන්ධිත රාජ්‍ය ආයතන මෙවැනි තත්ත්වයන් ඇති වීම සම්බන්ධව කිසියම් හෝ අධ්‍යයනයක්‌ සිදු කර ඇත් ද? එම තත්ත්වයන් සමනය කරගැනීම සදහා කුමන ක්‍රියාමාර්ග යෝජනා හෝ අනුගමනය කරන්නේ ද?

ආහාර අපතේ යෑවීම ද ඉතා ම අපරාධයකි. ආහාර සුරක්‌ෂිතතාව පිළිබඳව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය ය. පොහොර සහනාධාර සහ බීජ වර්ග ලබා දෙමින් ද උපදේශනයෙන් සහ පර්යේෂණ මගින් ද සිදු කරනු ලබන්නේ කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධියයි. එහෙත් තවමත් අප ප්‍රතිඵල නිසි පරිදි මෙහි නෙළා නො ගන්නා බව අමුතුවෙන් කිව යුතු නො වේ. සැම ප්‍රදේශයකට ම කෘෂිකර්ම නිලධාරීන් පත් කර ඇත. ඒ අතර සමෘද්ධි නිලධාරීහු ද ග්‍රාමසේවක නිලධාරීහු ද වෙති. මෙරටට වාර්ෂිකව අවශ්‍ය ම වන ආහාර බෝග ප්‍රමාණාත්මකව නිර්ණය කිරීම එතරම් අපහසු කාර්යයක්‌ නො වේ. එමගින් එක්‌ කන්නයක දී කොපමණ ප්‍රමාණයක්‌ අදාළ බෝග වගා කළ යුතු ද යන්නත් එමගින් එක්‌ ප්‍රදේශයකින් වෙළෙඳපොළට යෑවිය යුතු ප්‍රමාණයත් නිර්ණය කළ හැකි ය. එය ආහාර අතිරික්‌තයන් ඇති වීම වළක්‌වයි. එමෙන් ම ගොවීන් හට වෙළෙඳපොළ තරගකාරිත්වයක්‌ ඇති නො වේ. නිශ්චිත අචල මිලක්‌ පවත්වාගැනීමට හැකි වීමෙන් පාරිභෝගිකයන් ද ආරක්‌ෂා කළ හැකි ය. එපමණක්‌ නො වේ. අනවශ්‍ය පරිදි පොහොර භාවිතය ද, කෘමිනාශක සහ වල්නාශක භාවිතය ද අඩු කළ හැකි ය. එය රටෙහි ආර්ථිකයට මෙන්ම පරිසරයට ද හිතකර වේ. කාලගුණික රටාව මනාව අධ්‍යයනය කිරීමෙන් ද බෝග වගාවන්වල විවිධත්ව සංකලනයෙන් ද ව්‍යසනයන්ට මුහුණ දීමට හැකි වේ. මේ සදහා දැන් අවශ්‍ය වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමත් එය දියත් කර පවත්වාගෙන යැම සදහා බුද්ධිමත් නිලධාරීන් පිරිසකුත් පමණි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 24 January 2017

විදු පත් ඉරුව
2017 ජනවාරි 18 බදාදා
ෆොසිල ඉන්ධන සොයාගැනීමත් සමග රාත්‍රිය ආලෝකවත් වූ බව අපි සැවොම හොඳින් දනිමු. එය වඩාත් තීව්‍ර කරමින් ෆොසිල ඉන්ධන විදුලි බලාගාර බිහි වුණු අතර පසුකාලීනව එමගින් ඇති වූ පාරිසරික දූෂණය නිසා හරිත තාක්‌ෂණය කෙරෙහි අවධානය යොමු විය. විදුලි උත්පාදනයේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් ජල විදුලි තාක්‌ෂණයෙන් විදුලිය උත්පාදනයට යොමු වූයේ පාරිසරික බලපෑම් අවම වන්නේ යෑයි උපකල්පනය කරමින් බව ඉතා මැනැවින් පෙනී යන කරුණකි. හොඳින් විපරම් කිරීමේ දී මෙරට පිළිබඳව නම් එය සත්‍යයක්‌ ද යන්න අපැහැදිලි බව පෙනී යයි. එසේ සිතීමට බොහෝ කරුණු කාරණා ඇත.

අද වන විට මෙරටෙහි බොහෝ ගංගාවල ද ඔයවල ද නිදහස්‌ ගලනයට මේ ජල විදුලි බලාගාර ව්‍යාපෘති බාධාවක්‌ වී ඇති බවට දෙස්‌ දෙවොල් තබනු අසන්නට ලැබේ. කිසියම් හෝ එවැනි ජල පහරක්‌ සැලකූ විට මුහුදට යැමට පෙර අවම දෙතුන් වතාවකට වත් එහි ජලය වේලි මගින් හරස්‌ වී බට තුළින් යෑවීමට සිදු වී ඇති බව නොරහසකි. මේ සැම අවස්‌ථාවක ම වේලි තැනීමේ දීත් අනෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීමේ දීත් නිරන්තරයෙන් ම අවට පරිසරයට හානි සිදු වේ. මේ සදහා බොහෝ උදාහරණ ඇත. ව්‍යාපෘතියේ විශාලත්වය අනුව පරිසරයට සිදු වන හානිය සමානුපාතික වන බව ද පෙනී යයි. ගංගාවේ දෙපස ඉවුරුවලට සිදු වන හානිය, ජල ප්‍රවාහන ව්‍යqහයන් තැනීමේ දී බෑවුම්වලට සිදු වන හානිය, ගංගා පත්ලට සිදු වන හානිය සහ මේ නිසා ජීවී පරිසරයට සිදු වන්නා වූ හානිය ද එමගින් පසුව ඇති වන හානි දාමය ද ගිණිය නොහැකි තරම් ය. ප්‍රදේශයට, රටට ආවේනික සත්ත්ව සහ ශාක සන්තතියට වන්නා වූ හානිය සහ එම නිසා අනාගතයේ සිදු විය හැකි පාරිසරික වෙනස්‌ වීම් තුළින් මිනිසාටත් පරිසරයටත් සිදු වන හානිය නිසි පරිදි පුරෝකථනය පවා කළ නොහැකි බව අප ගේ හැඟීමයි. කෙසේ වෙතත් සිදු වන්නා වූ හානිය අවම කිරීමට "පාරිසරික බලපෑම් වාර්තාවක්‌" කැඳවන අතර එමගින් යෝජනා කරන්නා වූ රෙකමදාරුවල නිසි පල නෙළා නො ගැනෙන බවට සජීවී උදාහරණ නොයෙක්‌ වෙයි. එම නිර්දේශයන් නිසි ලෙස නිසි කල්හි ක්‍රියාත්මක කරන්නේ නම් බොහොමයක්‌ ක්‌ෂණික පසු විපත් අවම කරගැනීමේ හැකියාව පවතී.

ජල විදුලි බලාගාර නිර්මාණය සදහා අවසර දීමේ දී සැලකිය යුතු සමහර කරුණු මගහැරී ඇති බව පැහැදිලි වෙයි. එය සිතාමතා ම සිදු කරන්නේ ද යන්න විටෙක සිතීමට තරම් කරුණු වෙයි. විශේෂයෙන් ම සමාජීය බලපෑම අධ්‍යයනය සහ විග්‍රහ කිරීම නිසි පරිදි සිදු නො වීම ක්‍රමයෙන් දාම ප්‍රතික්‍රියාවන් රැසකට හේතු විය හැකි ය. ජල පහර ප්‍රයෝජනයට ගන්නන් ගේ අවස්‌ථාවන් අහිමි වීම මූලිකව නිරීක්‌ෂණය කළ හැකි දෙයකි. ඉතා ළගින් විදුලි බලාගාර දෙකක්‌ ස්‌ථාපිත වීම මේ අවස්‌ථාව අහිමි වීමට ප්‍රධාන වන අතර ව්‍යාපෘතිය සදහා වෙන් වන කොටසෙහි එම ප්‍රදේශය ප්‍රයෝජනයට ගන්නන් සදහා ස්‌ථාන නිර්මාණය නො කිරීම ද ඒ අතර වෙයි. එයට අමතරව පාරිසරික බලපෑම් වාර්තාවෙන් එක්‌ එක්‌ ආයතන යෝජනා කරන නිර්දේශයන් එම වාර්තාවට පමණක්‌ සිමා වීම ද, වාර්තාව නිසි පරිදි ඉදිරිපත් නො කිරීම ද මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණු වෙයි. රටක්‌ ලෙස වැඩි වන ශක්‌ති භාවිතයත් සමග අවශ්‍ය වන විදුලිය ප්‍රමාණය දැනටමත් ගණනය කිරීම් කර ඇත. ඒ සදහා තවත් ගල් අඟුරු විදුලි බලාගාර දෙකක්‌ ස්‌ථාපිත කිරීමට නියමිත ව ඇත. සියලු ම ජල පහරවල් ප්‍රයෝජනයට ගෙන ජල විදුලි උත්පාදනය කළ ද වැඩි වන ඉල්ලුමෙහි ප්‍රමාණයට සැපයුම කළ නොහැකි බව පැහැදිලි කරුණකි. එම නිසා රටක්‌ ලෙස කිසියම් අධ්‍යයනයක්‌ සිදු කොට මෙවැනි කුඩා කුඩා ජල විදුලි බලාගාර ස්‌ථාපිත කිරීම මගින් බොහොමයක්‌ ජලවහන පද්ධති සහ ඒ හා බැඳුණු පරිසර පද්ධති දූෂණය නො කොට එකවර විශාල විදුලියක්‌ නිර්මාණය කළ හැකි වෙනත් ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම විටෙක සාර්ථක විසදුමක්‌ විය හැකි ය.

ජල විදුලි බලාගාර නිර්මාණයෙන් විදුලි උත්පාදනය මෙරටට හදුන්වා දෙන්නේ කීර්තිමත් ඉංජිනේරුවරයකු වන ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා ය. ඒ නානුඔය සහ නුවරඑළිය අතර "බ්ලැක්‌පූල්" නම් වූ ස්‌ථානයේ කුඩා ජල විදුලි බලාගාරයක්‌ නිර්මාණය කරමිනි. එය මෙරට ප්‍රථම ජල විදුලි බලාගාරය වන අතර එමගින් නුවරඑළිය නගරය ජල විදුලියෙන් බලාත්මක කරන්නට ඔහුට හැකි විය. පසුව 1918 දී ඔහු ඉදිරිපත් කළ මෙගාවොට්‌ 114.5ක්‌ ජාතික විදුලි බල පද්ධතියට එක්‌ කිරීමේ යෝජනව එවකට වූ පරිපාලනය අනුමත කරන්නේ 1932 දී වන අතර සැම දා සිදු වන්නා සේ මූලාරම්භකයා වූ ඔහු එම ව්‍යාපෘතියෙන් එළියට විසි විය. එය අතිදක්‌ෂයෙකු කලකට අහිමි වීමට හේතු වන්නේ ඔහු එයින් කලකිරීමට පත් ව එංගලන්තයට ගිය හෙයිනි.

මෙවැනි ජාතික මට්‌ටමේ ක්‍රියාකාරකම්වල දී පවා ඇති වන කෙනෙහිලිකම් නම් තවමත් සිදුවීම බුද්ධිමත් සමාජයක්‌ ලෙස අනුමත කළ නොහැක්‌කේ මෙමගින් ඇති වන පාඩුව බලපාන්නේ මුළු රටට ම හෙයිනි. මේ විදු පත් ඉරුවෙන් ම මීට ඉහත අවස්‌ථාවක දී ද සදහන් කළ පරිදි බුද්ධිගලනයට එක්‌ හේතුවක්‌ වන්නේ නිරන්තරයෙන් ම සිදු වන මෙවැනි අසාධාරණකම් බව සැවොම අවබෝධ කරගත යුතු ය.

පාරිසරික සහ තාක්‌ෂණික වාර්තා සැලකිල්ලට නො ගැනීම බොහෝ ගැටලු නිර්මාණය වීමට බලපා ඇති එක්‌ ව්‍යාපෘතියක්‌ වන්නේ උමා ඔය ව්‍යාපෘතියයි. එපමණක්‌ නො ව දක්‌ෂිණ අධිවේගී මාර්ගයෙහි ගාල්ල මාතර කොටස මෙවැනි ම හේතු නිසා ගැටලුවකට මැදි කර ඇත. කොක්‌මාදූව ප්‍රදේශයේ මාර්ගය නිර්මාණය කිරීමේ දී වම් බෑවුමෙහි කැපුම නිසි පරිදි නො කිරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. පෙනී යන අනෙක්‌ කරුණ නම් බෑවුම ස්‌ථාපිත කිරීමේ දී භූ විද්‍යාඥයන් ගේ සහ භූ තාක්‌ෂණඥයන් ගේ උපදෙස්‌ ලබා නො ගැනීම ද එම ප්‍රදේශය අස්‌ථායි වීමට බලපෑ තවත් කරුණක්‌ බවයි. එය එක්‌තරා ආකාරයකට මෙරට භූ විද්‍යාඥයන් ගේ භුමිකාවේ වැදගත්කම හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ බව උදක්‌ ම පැහැදිලි වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පාෂාණ අතර සිර වූ ප්‍රාග් ජීවය

භූ පරිසරය තුළ හමු වන පැරැණි ජීවීන් ගේ පාෂාණිභූත වූ සාක්‌ෂි "ප්‍රාග් ජීව ධාතූන්" (fossil) ලෙස හැඳින්වේ. මෙවැනි බොහොමයක්‌ සාධක හමු වන්නේ භූ පරිසරයේ තිබෙන අවසාදිත පාෂාණ සහ අවසාදිත තුළ වන අතර සමහර ඒවා ධ්‍රැවාසන්න හිම තුළ සුරක්‌ෂිත වී ඇත. මේ සාධක භූ විද්‍යාඥයන් ගේ නිතැතින් ම ඇස ගැටෙන, අවධානයට යොමු වන පාෂාණමය ද්‍රව්‍ය වේ. මේ "ප්‍රාග්ජීව ධාතූන්" ගැන විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම "ප්‍රාග්ජීව ධාතු විද්‍යාව" (Paleontology) ලෙස හැඳින්වේ. භූ විද්‍යා ඉතිහාසයේ මුල් ම අධ්‍යයන කාලය දක්‌වා ම දිව යන මේ විෂය, ක්‍රිස්‌තු පූර්ව 5 වැනි සියවසේ දී "සිනොෆෙනිස්‌" (Xenophanes) නැමැත්තා තම පොත්පත්වල මේ පිළිබඳව සඳහන් කළ බව වාර්තා වේ.

භූ විද්‍යාවේ මනරම් අනු විෂයයක්‌ වන ප්‍රාග් ජීව ධාතු විද්‍යාව කිසියම් ප්‍රමාණයකට ජීව විද්‍යාව හා බැඳී පවතින අතර පසුකාලීනව "භූ ජීව විද්‍යාව" (geobiology) බිහි කිරීමට ද පුරෝගාමී වෙයි. වසර මිලියන 3800ක්‌ තරම් වූ ඈත අතීතයේ බිහි වූ අණුක ජීවය ගැන ද මානව ආරම්භය දක්‌වා වූ කාලයේ විකසනය වූ, පාෂාණ අවසාදිත සහ හිම තුළ සිර වී සැඟවී අරක්‌ෂා වූ ජීවීන් ගේ සාධක ගැන ද මේ විෂය යටතේ අධ්‍යයනය කෙරේ. මේ විෂය පුරාවිද්‍යාවෙන් වෙන් වන්නේ ඒ තුළ නූතන මානවයන් සහ ඔවුන් ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය නො කෙරෙන බැවිනි.

"ප්‍රාග්ජීව ධාතූන්" බිහි වීමේ දී අවසාදිතවල සිර වූ මැරුණු ජීවීන් සතු මාංශමය කොටස්‌ දිය වී එම දේහය ප්‍රති ඛනිජකරණයට ලක්‌ වන අතර අවසානයේ දී එම නිසා සිලිකා, හුණු, මලකඩ වැනි රසායනික ද්‍රව්‍යයවලින් සමන්විත වේ. මේ සදහා සැලකිය යුතු කාලයක්‌ ගත වන අතර ජීවී දේහය සම්පූර්ණයෙන් ම ප්‍රතිඛනිජකරණයට ලක්‌ වේ. මෑතකාලීනව ප්‍රාග් ජීව ධාතූන් බවට පත් වෙමින් පවතින දේහයන්හි මේ ක්‍රියාවලිය සම්පූර්ණ වී නොමැත. ඒවා අර්ධ ප්‍රාග් ජීව ධාතුන් ලෙස හැඳින්වේ. හොලොසින යුගයේ බොහෝ විට මුණගැසෙන්නේ මෙවැනි අර්ධ ප්‍රාග්ජීව ධාතුන් හෝ එලෙස නො වූ සාධක වේ. සමහර විටෙක සම්පූර්ණ ජීවියා හමු නො වී ඔහු ගේ සටහන් පමණක්‌ හමු වේ. පා සටහන්, ඔවුන් සිටි ගුල් ආදිය ද ජීවීන් සිටි බවට සාක්‌ෂි සපයන බැවින් ඒවා ද ප්‍රාග් ජීව ධාතුන් ලෙස හැඳින්වේ. සත්ත්ව දේහයන් පමණක්‌ නො ව ශාක කොටස්‌ ද මෙලෙස ප්‍රාග්ජීව ධාතුකරණයට ලක්‌ වේ.

භූ විද්‍යාවේ දී ප්‍රාග්ජීවී ධාතුන් අවසාදිත පාෂාණවල සාපේක්‌ෂ කාල නිර්ණය සදහා යොදා ගන්නා අතර එම සාධකවල විකසනය ද විවිධත්වය ද ඛනිජකරණය සහ භූ රසායනික විකසනය අධ්‍යයනය කිරීමේ දී ද නිතැතින් ම යොදාගනී. අප කවුරුත් හොඳින් දන්නා ලියනාඩෝ ඩාවින්චි, නූතන ප්‍රාග් ජීව ධාතු විද්‍යාවේ පියා ලෙස සැලකේ. ඔහු ගොඩබිම හමු වූ ප්‍රාග් ජීව ධාතුකරණය වූ මෝර දත් අධ්‍යයනය කර එකල එම ප්‍රදේශය සාගරය වන්නට ඇති බව නිගමනය කරමින් පැරැණි පාරිසරික තත්ත්වයන් නැවත ගොඩනැගීමට උත්සාහ දැරූවෙකි.

ශ්‍රී ලංකාවේ බහුතරයක්‌ පාෂාණ විපරිත පාෂාණ වන අතර විපරිතකරණය හේතුවෙන් පවතින ප්‍රාග් ජීව ධාතුන් විනාශ වී යයි. එහෙත් මෙරට ද මේ ප්‍රාග් ජීව ධාතුන් හමු වේ. ප්‍රධාන කොට ම ප්‍රදේශ තුනක්‌ භූ විද්‍යාඥයන් අතර මේ සදහා ප්‍රචලිත ය. වසර මිලියන 230ක්‌ පමණ වූ කාලයේ එනම් ජුරාසික යුගයේ පර්ණාංග වැනි ශාකමය කොටස්‌ සහිත ප්‍රාග් ජීව ධාතුන් නිධියක්‌ තබ්බෝව ආඬිගම ප්‍රදේශයේ හමු වේ. ජුරාසික යුගයේ ගොඩබිම පැවති විශාල ජලාශයක පත්ලේ තැන්පත් වූ එකල ගොඩබිම ප්‍රමුඛ වූ ශාකමය කොටස්‌ රැගත් අවසාදිත පාෂාණිභූත වී මේ පාෂාණ නිධිය නිර්මාණය වී ඇත. ඒ අතර පුත්තලම ප්‍රදේශයෙන් පටන්ගෙන මන්නාරම ඔස්‌සේ දිවෙන පටු පාෂාණ තීරුව පුනරින් සහ යාපනය ප්‍රදේශය පුරා පැතිරී යන අතර එම පාෂාණ තීරුව මයෝසින යුගයේ (වසර මිලියන 30ක්‌ පමණ පැරණි ය) බිහි වූ අවසාදිත පාෂාණයක්‌ වන "හුණුගල්" ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කාවරි ෙද්‍රdaණිය ඔස්‌සේ වෙන් වී යන අතරේ තැන්පත් වූ හුණු පාෂාණිභූත වී මේ පාෂාණය නිර්මාණය වී ඇත. එනිසා ම ඒ කාලයේ මුහුදේ විසූ විවිධ බෙල්ලන් ගේ ප්‍රාග් ජීව ධාතුකරණය වූ කවච විශාල වශයෙන් හමු වන අතර මේ ප්‍රදේශ ප්‍රාග් ජීව ධාතුන් අධ්‍යයනය කරන භූ විද්‍යාඥයන්ට කදිම තෝතැන්නකි. එයට අමතරව චාතුර්ථ අවධියේ නිර්මාණය වූ එකල වූ ක්‌ෂීරපායි සතුන් ගේ අවශේෂ රත්නපුරය ප්‍රමුඛ වූ කළුගඟ ප්‍රදේශයේ හමු වන අතර එකළ වූ අලින් ගේ ද, සිංහයන් ගේ ද, රයිනෝ සහ හිපොපොටෙමස්‌ ගේ ද අර්ධ ප්‍රාග් ජීව ධාතුන් හමු වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ජීව ධාතුන් එතරම් විවිධත්වයක්‌ නො පෙන්වුව ද මේ සදහා උනන්දුවක්‌ දක්‌වන පුද්ගලයන්ට නම් ප්‍රමාණවත් සාධක සමූහයකි. ප්‍රාග් ජීව ධාතු විද්‍යාව, විෂයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ උගන්වන්නේ භූ විද්‍යාවේ තිඹිරිගෙය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ පමණි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Sunday 22 January 2017

විදු පත් ඉරුව
2015  නොවැම්බර් 25 බදාදා

කැලණි ගඟ සබරගොමුව සරුසාර කරන එක්‌ ජල සම්පතකි. ඔබ අප සැවොම හොඳින් දන්නා පරිදි කුඩා ජල දහරක්‌ ලෙස ශ්‍රීපාද අඩවියෙන් පටන් ගන්නා මේ ගංගාවේ මුල් අවස්‌ථාව සීත ගඟුලයි. නමේ හැටියට ම සීතල වතුර පිරි මේ ජල දහර ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් ගේ වෙහෙස නිවන්නට බොහෝ උපකාරී වෙයි. එලෙස සලකන මේ දිය දහරට අප ජනතාව ගෙන් නම් එතරම් හොඳ ප්‍රතිඋපකාරයක්‌ නො ලැබෙන බව ය පෙනෙන්නේ. ඒ බැතිමතුන්

රැගෙන යන ආහාර සහ පොලිතින් ඇතුළු අප ද්‍රව්‍ය කිසිදු වග විභාගයක්‌ නොමැති ව එයට අතහරින බැවිනි. ශ්‍රී ලංකාවේ, පටන් ගැන්මේ පටන් ම දූෂණයට ලක්‌ වන ගංගාවලට කැලණි ගඟ ද හොඳ උදාහරණයකි.

අද සිට තවත් මාසයකින් එනම් ලබන දෙසැම්බරයේ පසළොස්‌වක දින මෙවරත් ශ්‍රීපාද වන්දනාව පටන් ගැනීමට නියමිත ය. මාස පහක පමණ කාලයක්‌ පුරා දිවෙන මේ වන්දනා මුරය අවසන් වන විට අවට පරිසරය බොහෝ දූෂණය වෙයි. බොහෝ දෙනකු මෙවර වන්දනාව සදහා දැනටමත් සැලසුම් සකස්‌ කර තිබෙනවා ඇත. ඒ අතර කෝඩුකාරයෝ ද පළපුරුදු ඇත්තෝ ද වෙති. පසුගිය වාරවල ඔබ කෙසේ ශ්‍රීපාදය වන්දනා කළ ද මෙවර නව මානයකින් යුක්‌ත ව ශ්‍රීපාද වන්දනාවට සූදානම් වන්නේ නම් ඉතා හොඳ ය. ඒ සදහා අවට පරිසරය දූෂණය නො කර තමන් ගෙන යන සියලු දෑ අතරමග නො දමා ආපසු ඒමට සිතට ගත යුතු ය. විශේෂයෙන් ම ලක්‌ෂ ගණනාවකට පානීය ජලය සපයන මේ දිය දහර දූෂණය නො කරන්නට වගබලාගත යුතු ය. සපයා ඇති පහසුකම්වලින් තෘප්ත ව ඔබ අප මෙන්ම වූ තවත් සිය දහස්‌ ගණනකට තම අභිලාෂයන් සපුරාගැනීමට අවස්‌ථාව සැලැස්‌වීමට මෙවර සිතට ගන්නේ නම් ඔබ සැබෑ බැතිමතකු වනවා නොඅනුමාන ය.

සීත ගඟුලෙන් පටන් ගන්නා මේ දිය දහර අවට නිම්නවලින් ගලා යන දිය දහරා ද එකතු කරමින් කැලණි ගඟ බවට පත් වන අතර වේගවත් බැස්‌මක්‌ ඔස්‌සේ විශාල ජල කඳක්‌

රැගෙන එයි. වේගවත් බැස්‌ම ද සමගින් තැනින් තැන පවතින විශාල ඇලි අපූරු දිය ඇලි නිර්මාණය කරන අතර එය මනරම් සංචාරක ස්‌ථාන බිහි කිරීමට හේතු වී ඇත.

එවැන් ස්‌ථානයක්‌ වන කිතුල්ගල ප්‍රදේශයේ දී හමු වන සුවිශේෂී භූ ලක්‌ෂණ ක්‌ෂණික වේගවත් ජල පහරවල් ද ජල පොකුණු ද නිර්මාණය කිරීම හේතුවෙන් ලෝ ප්‍රකට වික්‍රමාන්විත ජල ක්‍රීඩාවක්‌ වන "ශ්වේත ජල තෙප්පම් පැදීම" කිතුල්ගල ප්‍රදේශයේ ස්‌ථානගත වී ඇත. පරිසරයේ ස්‌වාභාවික පිහිටීම මේ ප්‍රදේශයේ ජනතාවට ධන උල්පතක්‌ පාදා දුන්න ද එම ස්‌වාභාවික සම්පත් රැකගැනීමට එම ප්‍රදේශවාසීන් තුළ ඇත්තේ ඉතා අඩු සැලකිල්ලක්‌ බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතු ය.

සංචාරකයන් ගේ පැමිණීම නව හෝටල් සහ අවන්හල් බිහි වීමට හේතු වුව ද එමගින් කැලණි ගඟේ සිදු වන දූෂණ නම් බහුල ය. හතු පිපෙන්නාක්‌ මෙන් මේ හේතුවෙන් දිනෙන් දින වැඩි වන ඉදිකිරීම් ද ක්‍රමානුකූල නැති බව පසුගිය දිනෙක අප කළ සමීක්‌ෂණයක දී ඉතා හොඳින් ගම්‍ය විය. ගඟ ද ඒ අවට රක්‌ෂිතය ද ආක්‍රමණය කරමින් සමහර ඉදිකිරීම් සිදු කර ඇති අතර ඒවා ගඟෙහි නිදහස්‌ ගලනයට බාධාවක්‌ වී ඇති බව බුද්ධියක්‌ ඇත්තකුට හොඳින් වැටහිය යුතු ය. මුදල් සහ බලය පමණක්‌ ම මූලික කරගෙන මෙවැනි සුන්දර ස්‌ථාන මේ ආකාරයට විනාශ වී යැමට ඉඩ දෙන බව හොඳින් පැහැදිලි ය. සංචාරක කර්මාන්තය රටෙහි ආර්ථික දියුණුවට කොතරම් වැදගත් වුව ද එමගින් පරිසරය ද සංස්‌කෘතිය ද අභියෝගයට ලක්‌ කරන බව පෙනී යන කරුණකි. මේ ප්‍රදේශයේ දරුවන් ගේ අධ්‍යාපන තත්ත්වය ක්‍රමයෙන් කඩා වැටෙන බව ද හොඳින් පෙනී යයි. බොහොමයක්‌ පිරිමි දරුවන් පාසල් යැම අතහැර පහසුවෙන් මුදල් සෙවිය හැකි "ජල ක්‍රීඩා" ප්‍රමුඛ සංචාරක කර්මාන්තයට යොමු වී ඇත. රටෙහි අනාගතය ද කැලණි ගඟෙහි අනාගතය ද විනාශ වන්නේ මේ ආකාරයට ය.

කැලණි ගඟෙහි වූ ගැඹුරු බැස්‌ම හේතුවෙන් වේගවත් ව ගලා යන ජලය යටියන්තොටට නුදුරෙන් වූ ඉහත්තාවේ දී සන්සුන් වන්නට පටන්ගනී. වේගයෙන් රැගෙන ආ ගංගාවේ අවසාදිත ඉවුර දෙකෙළවරේ තැන්පත් කරමින් දෙපස පෝෂණය කරයි. එහෙත් දශකයකට අධික කාලයක්‌ තිස්‌සේ ගංවතුර පිටාර නො දමන්නේ ගඟෙහි ගැඹුර වැඩි වූ බැවිනි. ගඟෙහි ගැඹුර වැඩි වූයේ ස්‌වාභාවිකව නම් නො වේ. ඒ ද මිනිසා ගේ ක්‍රියාකාරකමක්‌ හේතුවෙනි. ගොඩනැගිලි ඉදි කිරීම සදහා අවශ්‍ය වූ වැලි සැපයීම වෙනුවන් වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ තැන්පත් වූ වැලි සම්පත ඉතා සුළු කලෙකින් ගොඩ දැමීම මෙයට ප්‍රධාන හේතුවයි. ඉතා කෙටි කලකින් වැඩි වූ ගැඹුර ගඟෙහි දෙපස ඉවුර කඩා වැටෙන්න ද භූගත ජල නිධි වියළන්නට ද හේතු වී ඇත. ගඟ පත්ලේ වූ වැලි නිධි ගොඩ දැමීම තවත් ව්‍යසනයකට හේතු වෙයි. ඒ හංවැල්ල ප්‍රදේශයේ සිට ගඟ ක්‍රමයෙන් මුහුදු මට්‌ටමට වඩා පහත් වීමයි. එය ගඟෙහි නිදහස්‌ ගලනයට බාධාවක්‌ වන අතර මුහුදු ජලය ගඟ තුළට ගෙන ඒමට හේතු වේ. මුහුදු ජලය මිශ්‍ර වීමෙන් ජලයෙහි රසායනය වෙනස්‌ වන අතර එම නිසා ජලජ ජීවීන් නිසැකව ම අනතුරට පත් වේ. ඔවුන් ගේ බිත්තර ද පැටවුන් ද විනාශ වීම හේතු කොටගෙන වටිනා ජලජ පරිසර පද්ධතියක පැවැත්ම බිඳ වැටේ. මුහුදු ජීවීන් ගේ ආක්‍රමණ ද මේ සදහා හේතු වේ. නාගරීකරණයේ ප්‍රතිඵල ඉතා ප්‍රබලව අත්විදින්නේ කැලණි ගඟයි. කොළඹ හා ඒ තදාසන්නයේ වූ කර්මාන්ත ශාලා තම අපද්‍රව්‍ය බොහොමයක්‌ බැහැර කරන්නේ කැලණි ගඟට ය.

ශ්‍රී ලංකාවේ ජල සම්පත රැකගැනීම කෙරෙහි ඇත්තේ ඉතා අඩු උනන්දුවක්‌ බව ඒ හා සබැඳි අනේකවිධ ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීමෙන් මනාව පැහැදිලි වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 21 January 2017

විදු පත් ඉරු
2015  දෙසැම්බර් 02 බදාදා

විකෘතීන්ට අප කොහෙත් ම කැමැති නැත. මන්ද යත් එය සාමාන්‍යකරණයෙන් ඔබ්බෙහි වන දෙයක්‌ නිසා ය. එහෙත් විකෘතිය ස්‌වාභාවික ලෝකයේ අත්‍යවශ්‍ය ම අංගයක්‌ බව ඔබ ඇතැම් විට නො දන්නවා විය හැකි ය. ලෝකයේ ජීවය පවත්වාගෙන යැමේ දී වෙනස්‌ වන පරිසර තත්ත්වයනට මුහුණ දෙන්නට බොහෝ විට හැකි වන්නේ ජීවීන් තුළ සිදු වන්නා වූ විකෘතීන්වල ප්‍රතිඵලයෙනි. වෙනත් සාධක ද මේ සදහා බල නො පාන්නේ නො වේ. ඒ කෙසේ ද යන්න තරමක්‌ සංකීර්ණ වුවත් මෙසේ පැහැදිලි කරගත හැකි ය. ජීවයේ මතක පොත වන්නේ වර්ණදේහ ය. සෛල තුළ ඇති න්‍යෂ්ටියේ ගොනු වී ඇති මේ වර්ණදේහ අදාළ ජීවියා ගේ සියලු තතු ගබඩා කරගෙන ඇති බව ඔබ අප හොඳින් දන්නා කරුණකි. ප්‍රොaටීන සහ ඩිඔක්‌සිරයිබොන්‍යqක්‌ලෙයික්‌ අම්ලයෙහි නැත හොත් කෙටියෙන් හදුන්වන ඩී.එන්.ඒ (DNA) සුසංයෝගය වර්ණදේහවල මූලික ව්‍යqහය සකස්‌ කරයි. වර්ණදේහවල නා නා ප්‍රකාර ජාන ඇති අතර ජීවීන් ගේ විවිධ ලක්‌ෂණ එමගින් තීරණය කරයි. ජාන රටාව තීරණය වන්නේ ඩී.එන්.ඒ. රටාව අනුව ය. වර්ණදේහයක ඇති සියලු ඩී.එන්.ඒ., ජාන නිර්මාණයට දායක වන්නේ නැති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

1953 දී වොට්‌සන් සහ ක්‍රික්‌ හදුන්වා දුන් ඩී.එන්.ඒ.වල සර්පිලාකාර ද්විත්ව හෙලික්‌සය, ගුණනයේ දී ක්‍රමයෙන් දිගහැරෙමින් පිටපත්කරණයෙන් එවැනි ම වූ නව ඩී.එන්.ඒ. නිර්මාණය කරයි. රයිබොන්‍යqක්‌ලෙයික්‌ අම්ලය (RNA) පිටපත්කරණයේ ප්‍රමුඛයා වන අතර ඩී.එන්.ඒ.වල තැනුම් ඒකක එකලස්‌ කරන්නා ද වෙයි. සයිටොසින්, ඇඩිනින්, ගුඇනින් සහ යුරසිල් නම් න්‍යqක්‌ලියෝටයිඩ ද, මොනොසැකරයිඩ නම් වූ සීනි ද, පොස්‌පේට්‌ කාණ්‌ඩ ද ඩී.එන්.ඒ. නිර්මාණයට දායක වන මූලික තැනුම් ඒකක වන අතර විවිධ ක්‍රියා සදහා වැදගත් වන හෝමෝන ද සහිත න්‍යෂ්ටිය, ගුණනයේ දී සමගාමී ක්‍රියා රැසක්‌ සිදු වන අතිශය කාර්යබහුල කර්මාන්තශාලාවකි. දිගහැරුණ සර්පිලයේ දාම දෙකෙන් එකවර නව සර්වසම ඩී.එන්.ඒ. අණු දෙකක්‌ අවසානයේ දී නිපදවෙයි. මේවා දුහිතෘ ඩී.එන්.ඒ. වේ.

ගුණන ක්‍රියාවලිය එසේ වුවත්, එනම් සර්වසම ඩී.එන්.ඒ. නිපදවුවත් යම් යම් අවස්‌ථාවල දී විවිධ හේතුන් නිසා එසේ නො වන අවස්‌ථා ඇත. එම නිසා සර්වසම ඩී.එන්.ඒ. දාම වෙනස්‌ වෙයි. එය විකෘතියයි. පාරජම්බුල (UV), එක්‌ස්‌ (X) වැනි කිරණ ද සමහර ඔක්‌සිකාරක රසායනික ද්‍රව්‍ය ද විකෘති ඇති කිරීමට හේතු වෙයි. මේ නිසා විටෙක ඩී.එන්.ඒ. කොටස්‌ සම්පූර්ණයෙන් ම විනාශ විය හැකි ය. නැත හොත් වෙනස්‌ රටාවක්‌ බිහි කිරීමට හේතු විය හැකි ය. වෙනස්‌ රටාවක්‌ බිහි වීමේ දී අලුතෙන් ඩී.එන්.ඒ. කොටස්‌ එකතු විය හැකි ය. කෙසේ වුවත් ඩී.එන්.ඒ. රටාව වෙනස්‌ වීම නම් ජානය වෙනස්‌ කිරීමට ය හේතු වන්නේ. මෙය විටෙක ජීවීනට වාසිදායක වීමටත් විටෙක අවාසිදායක වීමටත් හේතු වන බව අද සොයාගෙන ඇත.

පරිණාමයේ දී සිදු වූ මෙවැනි විකෘතීන් එක්‌ ජීවී විශේෂයකින් නව ජීවී විශේෂයක්‌ බිහි කිරීමට බලපෑ ප්‍රධාන ම ක්‍රියාවයි. පරිණාමයේ දී දුහිතෘ ඩී.එන්.ඒ. දාමවල සිදු වන වෙනස්‌වීම් ජනිතයාට බලපාන්නේ ප්‍රජනක සෛලවල සිදු වන්නේ නම් පමණකි. නැත හොත් පිළිකා වැනි රෝගී තත්ත්ව ඇති කිරීමට එය හේතු විය හැකි ය. කෙසේ වෙතත් පරිණාමයේ දී දිගු පිනුම් පැන ඇත්තේ මේ විකෘතීන්වල පිහිටෙන් බව පැහැදිලි වන කරුණකි. වානරයා ගෙන් මිනිසා බිහි වීමේ දී සිදු වූ ජාන පරිණාමය සදහා බලපෑ එක්‌ සාධකයක්‌ වන්නට ඇත්තේ විකෘත වූ (ද්විගුණ වූ) ඩී.එන්.ඒ. දාම විය හැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති. වසර මිලියන ගණනක්‌ තිස්‌සේ ක්‍රමයෙන් ද්විගුණ වූ ඩී.එන්.ඒ. දාම සහිත ජාන සැකැස්‌මක්‌ ඇති වීම දියුණු ජීවීන් ඇති වීමට බෙහෙවින් බලපාන්නට ඇත.

බැක්‌ටීරියා වැනි ක්‌ෂුද්‍ර ජීවීන් තුළ ඇත්තේ ඉතා අඩු වර්ණදේහ ප්‍රමාණයකි. එය සරල ජාන සැකැස්‌මකට හේතු වී ඇත. එනිසා ගුණනය එතරම් සංකීර්ණ නො වේ. පහසුවෙන් විකෘතිවලට ද භාජන විය හැක්‌කේ සරල දේහය නිසා පමණක්‌ නො ව ඉතා වේගයෙන් දුහිතෘන් බිහි කරන බැවින් ද වේ. මවු බැක්‌ටීරියාව ද්විඛණ්‌ඩනය වීම එහි සරල ම ප්‍රජනක ක්‍රියාවලියයි. වේගවත් සහ කෙටි ජීවන චක්‍ර ඇත්තෝ ඉතා ඉක්‌මනින් පරිසරයට හැඩගැසෙන්නෝ වෙති. මදුරුවන්, මැස්‌සන් වැනි සතුනට එනිසා ම පරිණාමයේ දී කිසියම් වාසිදායක තත්ත්වයක්‌ ඇති බව ය එයින් පැහැදිලි වන්නේ.

පරිණාමයේ දී ඉතා සිත්ගන්නාසුලු එමෙන් ම තරමක්‌ විමතිය ගෙන දෙන කරුණ නම් පාරිසරික සාධක හමුවේ දුහිතෘන් (දරුවන් ගේ) ගේ ලක්‌ෂණ වෙනස්‌ වීමයි. එය පරිසරයට හැඩගැසීම ලෙස සරලව හැඳින්විය හැකි ය. වෙනස්‌ වන පරිසර තත්ත්වවලට අනුව හැඩගැසීමට කාලයක්‌ ගත වේ. ඒ වෙනස්‌වීම් ක්‍රමයෙන් ජාන තුළට රිංගාගන්නා අන්දම ඉතා අපූරු ය. එසේ නො වීම නම් අප දන්නා පරිදි ජීවින් ගේ වඳ වීම ගෙන එයි. වර්තමානයේ සිදු ව ඇත්තේ දියුණු ජීවීන් යෑයි කියාගන්නා මානවයා සමස්‌ත පරිසරය ම බදාගෙන එහි විවිධ විකෘතීන් සිදු කිරීමයි. ස්‌වාභාවික පැවැත්ම අභියෝගයට ලක්‌ කරමින් සිදු කරන මේ වෙනස්‌කම් අද වන විට බොහොමයක්‌ ජීවීන් පරිසරයෙන් තුරන් කිරීමට හේතු වී ඇත. එක්‌ ශාක විශේෂයක්‌ ඇසුරු කරගෙන ජීවත් වන්නා වූ අනෙකුත් ජීව විශේෂ කොතෙකුත් වේ ද? ඉහත කී ශාකය මෙලොවින් තුරන් වූයේ නම් ඒ සියල්ල අනතුරට පත් වේ. විශේෂඥයන් ගණනය කර ඇති පරිදි ස්‌වාභාවික වරණයෙන් තුරන් වන ජීව විශේෂවලට වඩා දහසේ සිට දස දහස්‌ ගුණයකින් වර්තමානයේ ජීවීන් මෙලොවින් තුරන් වන බව වාර්තා වේ.

ස්‌වාභාවික විකෘතීන් පරිණාමයේ මිතුරකු වුවත් එහි ම ප්‍රතිඵලයක්‌ වූ දියුණු මානවයා ස්‌වාභාවික පරිසරයට සිදු කර අත්තා වූ ද සිදු කරන්නා වූ ද විකෘතීන් නම් සමස්‌ත පරිසරයට ම වින කටින බව අප තේරුම්ගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 19 January 2017

“පශ්චාත් ආපදා කළමනාකරණයක් අවැසි පශ්චාත් ආපදා කළමනාකරණය”


පශ්චාත් ආපදා කළමනාකරණය ගැන පහුගිය මැයි මාසේ සිට ඉතා පුළුල්ව සහ සංකිර්ණව බොහෝ අය කථා බහට ලක් කළා. පසුගිය වාර වල මෙන්ම මෙවරත් නිසි ප්‍රතිපත්තියක් සහ කාර්යක්‍ෂම වැඩපිළිවෙලක් සකස් වී නොතිබීම ඇත්තෙන්ම අප සැවොම කණගාටුවට පත් නකර කරුණක්. පසුගිය කාලය තුලදීම (පසුගිය දශක තුන ගනිමු) ස්වභාවිකව සංසිද්දීන් නිසා ආපදාවන් බොහොමයකට ශ්‍රී ලංකාව වරින්වර හසුවුණා කිව්වොත් නිවැරදියි. ඒ අතර නාය යාම් ආපදා ප්‍රමුඛයි. එයට අමතරව ගංවතුර, සුළිසුලං පමණක් නොවෙයි නියඟය ද අප රට ඉතා දුෂ්කර තත්වයකට අද දැම්මා කියන එකට ඔබ කවුරුත් එකඟ වේවි. එක් වරක් පමණක් සිදුවුනත් 2004 සිදුවූ සුනාමි ඛේදවාචකය අප රටේ ආපදා කළමනාකරණය කෙරෙහි ගැඹුරෙන් සහ වගකීමෙන් යුතුව බලන්නට සියලු පාර්ශවයන් පෙළඹු බව සත්‍යක්. නමුත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි මේ සියල්ල කිසියම් ස්ථානයක නතර වී ඇති බවත් නැවත නැවත පසුපසට සහ ඉදිරියට යමින් හෝ එකතැනක කැරකෙමින් සිටිනා බවයි මට නම් හැඟෙන්නේ. කෙසේවෙතත් මෙවර ලැබුණු අධික වර්ෂාපතනය නිසා, විශේෂයෙන්ම කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට බලපෑ නාය අනතුර සහ ගංවතුර උවදුර, පශ්චාත් ආපදා කළමනාකරණය ගැන උනන්දුවෙන් සිතා බැලීමට අවස්ථාවක් ලබා දුන්නා යැයි කිවොත් නිවරැදියි.

අනෙකුත් ආපදා හා සැලකීමේදී අධික වර්ෂාපතනය හේතුකොටගෙන නිතර නිතර සිදුවන නායයාම් ආපදා මෙරටට සිදුකරන හානිය සුළුපටු නැහැ. එනිසා දෛනික රාජකාරි වලට මෙන්ම මෙරටෙහි ආර්ථිකයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්. සෑම නායයාමේ ආපදාවක් සමගම කිසියම් ප්‍රමාණයකට ජනතාව එම ස්ථානයෙන් ඉවත් කරන්නට සිදුවීම විශාල අභියෝගයක් වාගේම මෙරට මුහුණපානා ක්ෂණිකවූත් අවීනිශ්චිතවූත් අනිවාර්යෙන් කලයුත්තක්ි. මේ ඉවත්කිරීම් වලදී නාය උවදුරු ප්‍රබලව දැනෙනා ස්ථානවල පදිංචි ජනතාව ඔවුන්ගේ ආරක්ෂාව සදහා ස්ථිරව එම ස්ථානවලින් ඉවත්කිරීමට සිදුවෙයි. ඒ වාගේම තාවකාලිකව කල යුතු ඉවත්කිරීම් වුවද අධික වියදම් සහිත ක්‍රියාවක්. එනිසා මේ සෑම අවස්ථාවකදීම ඉතා කල්පනාකාරිව සහ සුපරික්ෂාකාරිව තීන්දු තීරණ ගැනීමට සිදුවෙන බව අප වටහා ගතයුතුයි. පළමුව වැදගත්වන කරුණ වන්නේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීමයි. නාය යාම් ආපදා වලදී, නාය යාමේ අවදානම ඇතැයි යැයි කිසියම් හෝ සැක සංකාවක් පැන නැගී නම් ඒ සදහා ගත හැකි සුදුසුම් ක්‍රියාමාර්ගය වන්නේ ජනතාව එම ස්ථානවලින් වහාම ඉවත් කිරීමයි.

තාවකාලික ඉවත් කිරීම් වලදී කිසියම් ප්‍රමාණයකට පරිපාලනමය තීරණ ගැනීමේ පහසුවක් වන්නේ නාය යාමේ අනතුර පහව ගිය පසු (මධ්‍ය අවදානම් අවස්තාවලදී) නැවත ජනතාව ඔවුන්ගේ සුපුරුදු ස්ථානවලට යැවිය හැකි බැවිනි. නමුත් මේ තත්වය හාත්පසින්ම වෙනස්වන්නේ ස්ථිර ඉවත්කිරීම් වලදීය. මේ තත්වයට ලක්වන සෑම අයෙකුටම තමාගේ සුපුරුදු වාසස්ථාන වලින් සදහටම ඉවත්වන්නට සිදුවීම එම ජනතාවට එක්තරා ආකාරයකට විශාල මානසික පිඩාවක් ඇතිකරන බව නොඅනුමානයි. විනාශ වූ හෝ නැවත පදිංචිවීමට නොහැකි වූ අවස්ථාවලදී නව වාසස්ථාන ලබා දෙන තෙක් ඔවුන්ට සිදුවන්නේ තාවකාලික කඳවුරුවල ජිවත් වන්නටය. පවුලක් ලෙස තනිව ජිවත් වූ ජන කොටසකට මහා පිරිසක් සමග කිසියම් කාලයක් හෝ එක්ව ජීවත්වීමට සිදුවීම විවිධ සමාජමය ගැටළු ඇතිකරන්නට හේතුවෙන බව අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නැහැ. එපමණක් නොවේ මෙම කඳවුරු ජීවිතය නිසා ආපදාවට ලක්වුවන්ගේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි විවධ ගැටළු පැනනගින බව අප වටහා ගත යුතුයි. පශ්චාත් ආපදා කළමනාකරණය සදහා නිශ්චිත කඩිනම්ව ක්‍රියාත්මක කලහැකි වැඩපිළිවෙලක් අවශ්‍ය වන්නේ මේ නිසයි. ස්වභාවික සංසිද්දියක් නිසා මෙලෙස නාය ආපදාවන්ට ලක්වීමේ ස්වරූපය දෙආකාර බව පිළිගත යුතුය. කිසිත් නොදන්නා එමෙන්ම පරිසරයේ දීර්ඝකාලින ස්වභාවික ක්‍රියා නිසා ඇතිවන නාය යාමේ ආපදාවන්ට ලක්වීම ඉතා පැහැදිලිව සාධාරණිකරණය කල හැකිය. නමුත් අධි අවදානම් කලාප වල දැන දැන පදිංචිවූවන්, උපදෙස් අවවාද නොතකා තම ඉදිකිරීම් කල වූවන් සහ උපදෙස් සහ පරික්ෂාකිරීම් නොකරගෙන තම වාසස්ථාන ඉදිකළ වූවන් කෙරෙහි කෙලෙසක ක්‍රියාකළ යුතුද යන්න පැහැදිලි තීරණයක් ගත යුතුව ඇත. මන්ද යත් ඔවුන්ගේ නොමනා ක්‍රියා රටෙහි ආර්ථිකය සහ ජනජීවිතය අවුල් කරන්නට හේතුවන බැවිනි.

මා ලද අත්දැකීම් අනුව වර්තමානයේ සිදු වූ බොහොමයක් නායයාම් අනතුරට හේතුවී ඇත්තේ මිනිසාගේ නොමනා ක්‍රියාකලාපයන් බවද ඒවා අතිශය ආත්මාර්ථකාමී බවද කිවයුතුය. බොහෝ විට තම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී ස්වභාවික පරිසරය තුට්ටුවකටවත් මායිම් නොකර ඇති බව සිදුව ඇති සමහර ව්‍යවසන අධ්‍යනය කිරීමේදී පෙනී යන කරුණකි. කඳුකර කලාපයේ, විශේෂයන්ම දැනට නාය යාම් ආපදා සිදු වේයැයි ප්‍රකාශිත කඳුකර දිස්ත්‍රික්ක වල භුමි පරිහරණ රටාව කෙරෙහි ඉතා සුපරීක්ෂාකාරී විය යුතු බව මෙවර සිදු වූ ඛේදවාචකයෙන්වත් ජනතාව සහ පාලකයන් ඉගෙන ගත යුතුය (නමුත් අප උගත් පාඩම් කිසිත් නැත). අඩි 3500 කට වඩා ඉහල කඳුකරය මිනිස් බාධා කිරීම් වලට තහනම් වුවත් කඳුකරයේ විවිධ ස්ථාන සලකා බැලීමේදී මේ ස්ථාවරය වෙනස් වී වඩාත් සියුම් කරුණු සැලකිල්ලට ගෙන තහනම් කලාප නිශ්චය කල යුතුව ඇත. විශේෂයෙන්ම කඳුකරයේ පිහිටි යම් කන්දක් හෝ කඳුවැටියක් සැලකීමේදී එම කන්දේ පහළ සිට කිසියම් උසකින් මෙවැනි සංවේදී කලාප සටහන් කලයුතුය. එමෙන්ම මෙවැනි කලාප වල වගා කරනා බව බෝග පිළිබඳවද ඉතා සැලකිලිමත් විය යුතු අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා එක්ව නව නීති රීති මාලාවක් සම්පාදනය කල යුතු බව මෙහිලා අවධාරණය කල යුතුය. අවදානමට පෙර සුදානම ගැන වෙනම කතා කල යුතුවන්නේ එවැනි ලක ලැහැස්තිවීම් ආපදා හේතුවෙන් සිදුවන රටෙහි ආර්ථිකයේ ක්ෂණික කඩාවැටීම් වළකාලන්නට මහඟු පිටිවහලක් වෙන් බැවිනි.

පශ්චාත් ආපදා කළමනාකරණයේ ප්‍රභලම සහ තීරණාත්මක ක්‍රියා සාධකය වන්නේ ජනතාව නැවත පදිංචි කරවීමයි. ස්ථිරව ඉවත්කර වූ ජනතාව වඩා සුරක්ෂිත භූමින් වල ස්ථාපනය කරවීම අභියෝගාත්මකයි. එහිදී වඩා වැදගත්වන්නේ ආපදා වලින් සුරක්ෂිත භූමියක් තෝරාගැනීම මෙන්ම එහි පදිංචිකරවන ජනතාවගේ මුල් පදිංචියට සම වූ හෝ එයට වඩා හොඳ වූ ස්ථානයක් බවට තහවුරු කර ගැනීමයි. ඒ පිලිබඳ අදාල ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමයි. එම කඩුල්ල පැනගන්නට හැකිනම් මෙම ක්‍රියා පටිපාටිය 50% සාර්ථක වුවා වැනිය. වැදගත් දෙවන අදියර වන්නේ නිවාස තනා මනුෂ්‍ය වාසය සකස් කිරිමයි. එහිදී ද සැලකිය යුතු කරුණු කාරණා බොහොමයකි. අසූව දශකයේ සිට වරින් වර මෙම ක්‍රියාදාමය සිදුවුවද මෙහිදී සාකච්චා කෙරෙන සමහර කරුණු පිළිබඳව සැලකිල්ලක් දක්වා නොතිබීම ඇත්තෙන්ම කණගාටුදායක බව කිව යුතුය. මේ ක්‍රියා දාමයේදී ජනතාවගේ ජිවන තත්වය කලින් හා සම හෝ තිබුනාට වඩා ඉහල තත්වයකට නං වීමට මෙම ව්‍යාපෘතියට හැකි විය යුතුය, නැතහොත් සිදුවන්නේ ඔවුන්ගේ ජීවන තත්වය සුළුකලෙකින් කඩා වැටීමයි. මේ කරුණ තරයේ අප සිතට ගත යුතුය. එනිසා වාසස්ථාන ඉදිකිරීමේදී මෙරට අනුමත ක්‍රමවේද අනුගමනය කල යුතු අතර තනි ඒකකයක අවකාශීය සැකැස්ම එහි වෙසෙන්නවුන්ගේ මානසික පීඩනය සදහා හේතු නොවිය යුතුය. විධිමත් ඉංජිනේරු ක්‍රමවේද භාවිතය පිලිබඳ සැලකිලිමත් විය යුතු අතර කඩිනම් නිමාව කෙරෙහි අවධානය යොමු විය යුතුය. කඩිනම් නිමාව මෙහිදී ඉතා වැදගත් වන්නේ ආපදාවට ලක්වූ ජනතාව කඳවුරේ වෙසෙනා කාලසීමාව අඩුකරගැනීමට ඉවහල් වන නිසාත් එනිසා බොහෝ ගැටළු විසඳා ගැනීමට එය රුකුලක් වන නිසාත් වේ. කඩිනම් නිමාව කිරීම කෙසේවෙතත් අදාළ කාලසීමාවේදී නිම කිරීම පවා අදවනවිට විශාල ගැටළුවක්ව තිබෙන බව පෙනී යන කරුණකි.

වරින්වර පසුගිය දශක ගණනාව තිස්සේම අන්තර්ජාතිකවද ජාතික තලයේද සාකච්චා සම්මන්ත්‍රණ බොහෝ තිබුන බව සැබවි. නමුත් ඒ සියල්ල නමට පමණක් සිමා වී ඇත්තේ මන්ද යන්න ඔබ ඒවාට සහභාගී වූ අයෙක්නම් අමුතුවෙන් තේරුම් ගත යුතු නැත. නමුත් මෙම තත්වය වහ වහා වෙනස් වී ක්‍රමවත් වැඩපිළිවෙලක් ස්ථාපනය කල යුතුව ඇත්තේ ආපදා පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව බැවිනි. ඒ හදිසි අවස්ථාවන්ට සහ ඉන් පසුව පැන නගින ගැටළු සදහා අප මුහුණ දිය යුතුය. ජනතාව මුහුණ දිය යුතුය. පරිපාලනය මුහුණ දිය යුතුය. අවසානයේදී මෙරට ඒ සදහා මුහුණ දියයුතුය. ඒ සදහා අප සතුව ශක්තිමත් වැඩ පිළිවෙලක් සකස්විය යුතු බව අප සැවොම පිළිගනීවි.
නමුත් ..............?.!!!

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...