විදු පත් ඉරුව
2015 අගෝස්‌තු 26 බදාදා
න්‍යෂ්ටික බලාගාරවල විදුලි උත්පාදනය සඳහා යොදාගන්නේ විකිරණශීලී මුලද්‍රව්‍ය. විකිරණශීලී මූලද්‍රව්‍ය විකිරණ පිට කරමින් වෙනත් මූලද්‍රව්‍ය බවට පත් වන අතර ඒවා "දාරක මූලද්‍රව්‍ය" ලෙස හදුන්වනවා. මේ විකිරණ ඇල්ෆා සහ බීටා වැනි විවිධාකාරයේ අධි ශක්‌ති කිරණ වන අතර, ගැටීම ඒ සතු තාපය තවත් ද්‍රව්‍යයකට මාරු කිරීමට හේතු වනවා. මෙලෙස විකිරණ පිට කිරීමේ දී ඇති වන තාප ශක්‌තිය මගින් ජලය උණු කර, ඇති වන ජලවාෂ්පයෙන් ටර්බයින ක්‍රියාත්මක කිරීමෙන් තමයි විදුලිය ජනනය කරනු ලබන්නේ. ජපානයේ විදුලි අවශ්‍යතාවෙන් 30%ක් පමණ ම සපුරාගත්තේ මේ ආකාරයටයි. ජපානයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිත වන්නේ ප්ලූටෝනියම් සහ යුරේනියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යවල මිශ්‍රණයක්.
පෘථිවියේ පවත්නා මූලද්‍රව්‍ය අතර විවිධ වූ විකිරණශීලී මූලද්‍රව්‍ය ඒ ඒ මූලද්‍රව්‍යයේ සමස්‌ථානික වනවා. ඒවා බොහෝ විට අපට ස්‌වාභාවික පරිසරයේ හමු වන්නේ ඛනිජ ලෙසයි. ඒ අතර මා මතකයට නැෙගන්නේ එක් සුවිශේෂී විකිරණශීලී මූලද්‍රව්‍යයක් අඩංගු වන ඛනිජයක්. ඒ "තෝරියනයිට්" නම් වූ පළමුව ලෝකයට ලංකාවෙන් හෙළි කළ විකිරණශීලී ඛනිජයයි. මෙයට වසර 111කට පමණ පෙර එනම් 1904 දී ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා විසින් ලංකාවේ සිදු කරන ලද ගවේෂණවල දී සොයාගන්නා ලදුව ලොවට මෙය ඉදිරිපත් කෙරුණා. මේ ඛනිජයෙහි තෝරියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යය අඩංගු වන අතර බොහෝ විට ලංකාවේ මැණික් ඉල්ලම් ආශ්‍රිතව හමු වන බව වාර්තා වනවා.
ආනන්ද කුමාරස්‌වාමි යන නාමය ඔබට සුපුරුදු එකක් බව නිසැකයි. ඔහු ගේ නාමය ලාංකික ජනතාව අතර නම් ප්‍රසිද්ධ වී ඇත්තේ කලා සහ ඉතිහාස ක්‌ෂේත්‍රයට සම්බන්ධ අයකු ලෙසයි. එහෙත් ඔහු වෘත්තීය වශයෙන් ඛනිජ විද්‍යාඥයකු වන අතර එවකට ලංකාවේ සිදු කළ ඛනිජ ගවේෂණ ව්‍යාපෘතියේ භූ විද්‍යාඥයකු ලෙස ඔහු සේවය කර තිබෙනවා. පසුව ඔහු ගේ එම වැඩකටයුතු ලංකාවේ භූ විද්‍යා සමීක්‌ෂණ දෙපාර්තමේතුව පිහිටුවීමට පුරෝගාමී වුණා. ඔහු එහි පළමු අධ්‍යක්‌ෂවරයා ද වනවා.
එංගලන්තයේ දී මූලික අධ්‍යාපනය ලැබූ ආනන්ද කුමාරස්‌වාමි මහතා තම උපාධිය සඳහා භූ විද්‍යාව සහ උද්භිද විද්‍යාව තමයි හදාරා තිබෙන්නේ. ඉන් තමා වඩාත් ප්‍රිය කළ භූ විද්‍යාව කෙරෙහි නැඹුරු වූ ඔහු ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ ඛනිජ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට ඉතා අගනා මෙහෙයක් ඉටු කළා. 1877 අගෝස්‌තු 22 දින ලංකාවේ දී දමිල ජාතික පියකුට සහ ඉංග්‍රීසි ජාතික මවකට දා ව උපත ලද ඔහුට වයස වසර දෙකක් වන විට තම පියා වූ සර් මුත්තු කුමාරස්‌වාමි මහතා අහිමි වුණා. එනිසා තම මව සමග ඔහු ගේ කුඩා කාලය ගත කරන්නේ එංගලන්තයේ.
තම භූ විද්‍යා පර්යේෂණ සදහා මෙරටෙහි ගවේෂණ සිදු කරන අතරවාරයේ අහඹු ලෙස ඇස ගැටෙන දඹුලු ලෙන් විහාරයේ සිතුවම්වලට වශීකෘත වන ආනන්ද කුමාරස්‌වාමි මහතා තම ගවේෂණ නවමු මාවතකට යොමු කරමින් සිංහල කලාකෘති අධ්‍යයනයට පෙලඹෙනවා. එනිසා සිංහල කලාව පිළිබඳ ඉතා උත්කෘෂ්ට පුස්‌තක ගණනාවක් ලොවට දායාද කරන්නට සමත් වන ඔහු වැනසී යන ස්‌වෙදේශීය සිංහල කලා ඉතිහාසය රැකගැනීමට මනා පිටිවහලක් වුණා. ඉන්දියාවේ දී ඉන්දියානු කලා ඉතිහාසය ද අධ්‍යයනය කරන්නට සමත් වන ඔහු එමගින් පෙරදිග වූ මනරම් සමාජ චින්තනය බටහිරට හෙළි කරන්නට සමත් වුණා. වර්තමානයේ ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් අතර ඒ මහතා ගේ කෘති අත්පොත් බවට පත් වී තිබීම මගින් ම ඔහු ගේ ගවේෂණ සහ පර්යේෂණ ශ්‍රී ලාංකේය විද්වතුන් හට කොපමණ බලපෑමක් කර ඇත් දැයි ඔබට සිතාගත හැකියි.
1947 සැප්තැම්බර මස 9 දින ඇමෙරිකාවේ දී මිය යන විට ඔහුට වයස වසර 70ක් වුණා. අද වන විට ඔහු මිය ගොස් වසර 68ක් ගත වී ඇති අතර ශ්‍රී ලාංකික ජනයාට නො මැකෙන සිහිවටන රාශියක් ඒ මහතා උරුම කර දී තිබෙනවා. මේ වසරේ අගෝස්‌තු 22 දිනට සමරන්නේ ඔහු ගේ 138 වැනි ජන්ම දිනයයි. ශ්‍රී ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට ඔහු සිදු කර ඇති අමිල මෙහෙවර අගය කරමින් සැම වසරක ම අගෝස්‌තු මාසයේ දී ලාංකික භූ විද්‍යාඥයන් එක් ව ඔහු ගේ ජන්ම දිනය සමරන අතර එය වඩාත් ආලෝකවත් කරන්නට වර්තමානයේ මෙරට භූ විද්‍යා ක්‌ෂේත්‍රයට අගනා වටිනා සේවයක් කළ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු හට ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා ගේ නමින් පදක්‌කමක් පිරිනමනු ලබනවා. "ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය" 21 වැනි වතාවටත් මේ මස 22 වැනි දින එම සැමරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විදයා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කළ අතර මෙවර ගරු බුහුමනට පාත්‍ර කරමින් එම පදක්‌කම පිරිනමනු ලැබුවේ දැනට ලාංකික භූ විද්‍යාඥයන් බිහි කරන්නා වූ තිඹිරි ගෙය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන එල්. ආර්. කේ. පෙරේරා මහතාටයි. මේ ලේඛකයා ගේ ද භූ විද්‍යා දැනුම පුළුල් කරන්නට සහාය වූ ගුරු පියකු වූ එතුමාට මෙවර විදු පත් ඉරුවෙන් සුභාශිංසණ පිරිනමන්නට ලැබීම අතිශය සතුටට සහ ගෞරවයට කරුණක්.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ