2015 මැයි 13 බදාදා
නේපාලයට පසුගිය අප්‍රේල් 25 වැනි දින අඳුරු දිනයක් වුණා. ඒ රික්‌ටර් පරිමාණයේ ඒකක 7.8ක් පමණ ප්‍රබල වූ භූ කම්පනයකට ලක් වීමෙන් ඇති වූ ව්‍යසනයයි. අට දහසක් පමණ වූ මිනිස් ජීවිත මෙයින් අහිමි වූ අතර එමෙන් දෙගුණයක් පමණ වූ මිනිසුන් සංඛ්‍යාවක් ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙය 1934ට පසු නේපාලයේ ඇති වූ දරුණු ම භූ කම්පනයයි. ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය එක් වන මායිමේ නේපාලය පිහිටා ඇති අතර එනිසා ම ඒ ආසන්නයේ නිරන්තරයෙන් සිදු වන භූ කම්පනවලට ගොදුරු විමට වැඩි නැඹුරුතාවයක් තියෙනවා.
සති තුනකට පමණ පෙර සිදු වූ මේ භූ කම්පනය තත්පර විස්‌සක් පමණ කාලයක් රඳා පැවැති අතර නේපාලයේ ලූර්ම්ජන්ග් නම් වූ ස්‌ථානයට කිලෝමීටර 15ක් පමණ වහා ම පහළින් වූ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ තමයි එය හටගෙන තියෙන්නේ. මේ හේතුවෙන් ඉන්දියාවේ ද, බංගලාදේශයේ ද, භුතානයේ ද, චිනයේ ද සමහර ස්‌ථානවලට භූ කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් තුවාල ලත් පුද්ගලයන් ද වාර්තා වුණා. ඒ වාගේ ම ප්‍රබලතාව අවම වශයෙන් රික්‌ටර් 4.5 ක් පමණ වූ තිස් පහකට වැඩි පසු කම්පන ප්‍රමාණයක් ද මේ ප්‍රදේශයේ සිදු වෙලා තියෙනවා.
ලෝකය සකස් වී ඇත්තේ ප්‍රධානව ගතික භූ තල 13කින් පමණ වන අතර ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය ඉන් දෙකක්. ඉන්දියානු භූ තලය දිගින් දිගටම යුරේසියානු භූ තලයේ වැදෙමින් ද එය උතුරු දෙසට තල්ලු කරමින් ද සිටිනවා. එහෙත් අති විශාල යුරේසියානු භූ තලය තල්ලු කිරීම එතරම් පහසු දෙයක් නො වේ. මෙහි දී ඇති වන ප්‍රබල තෙරපුම හේතුවෙන් හිමාලය කඳු පන්තිය දිගින් දිගට ම උස යමින් පවතින බව අප දන්නා දෙයක්. අවුරුද්දකට මිලිමීටර 40කට වැඩි ප්‍රමාණයකින් ඉන්දියානු භූ තලය උතුරු දෙසට තල්ලු වෙමින් පවතින බව භූ විද්‍යාඥයන් වර්තමානයේ ගණන් බලා තියෙනවා. කාලයක් තිස්‌සේ මේ විදියට ඇති වන මේ තෙරපුම එක් වර ම නිදහස් වීමෙන් තමයි මෙලෙස භූ කම්පන ඇති වන්නේ. පසුගිය දා සිදු වී ඇත්තේ ද කාලයක් තිස්‌සේ ඉන්දියානු භූ තලයේ තෙරපුම වළක්‌වාගෙන සිටි යුරේසියානු භූ තලයට තවදුරටත් එම තෙරපුම දරාගැනීමට නොහැකි වීමයි. මේ හේතු කොටගෙන තත්පර තිහක කාලයක් තුළ දී එක්‌වර ම කත්මන්ඩු ප්‍රදේශය මීටර් තුනක් පමණ දකුණු දිගට තල්ලු වෙලා තියෙනවා.
භූ තල එකිනෙක ගැටීම තමයි භූ කම්පනවලට හේතු වන්නේ. ඒ වාගේ ම මේ හේතුකොටගෙන තමයි විශාල කඳුකර ඇති වීම සිදු වන්නේ. කොහොම වුණත් අවුරුදු මිලියන 140ක් පමණ වූ කාලයේ සුපිරි මහාද්වීපය වන ගොන්ඩ්වානාලන්තයේ කොටසක් වූ ඉන්දියානු භූ තලය වසර මිලියන 100කට පමණ පෙර ඉන් බිඳී උතුරු දෙසට තල්ලු වීමට පටන් ගත්තා. අදින් අවුරුදු මිලියන 50ක් පමණ වූ කාලයකට පෙර ඉන්දියානු භූ තලය යුරේසියානු භූ තලය හා ඉතා සුළුවෙන් ගැටෙන්නට පටන් ගත් අතර මේ ඝට්‌ටනය ප්‍රබලව සිදු වන්නේ එයින් වසර මිලියන 25කට පමණ පසුයි. අවුරුදු මිලියන 10ක් පමණ වූ කාලය වෙන කොට තමයි හිමාලය කඳු පන්තිය බිහි වන්නේ. ඒ විතරක් නො වෙයි, එයට උතුරෙන් වූ ටිබෙට් සානුව ද සකස් වෙන්නේ. අතිවිශාල යුරේසියානු භූ තලය තල්ලු කිරීම එතරම් පහසු දෙයක් නො වන නිසා ඉන්දියානු භූ තලය තෙරපෙමින් ක්‍රමයෙන් පොළොව අභ්‍යන්තරයේ ගිලෙමින් තමයි තියෙන්නේ.
ඉන්දියානු සහ ඕස්‌ටේ්‍රලියානු භූ තලය එක් ව තිබෙන අතර එය අති විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බව පෙනී යන දෙයක්. යුරේසියානු භූ තලය හා ගැටීමෙන් ඇති වන තෙරපුම මේ හේතුවෙන් මුළු මහත් ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලය හරහා බලපාන බව අමුතුවෙන් විස්‌තර කරන්න ඕනේ නැහැ. මේ තලයේ දුර්වල කලාප කොතෙකුත් ඇති අතර ඒ ඔස්‌සේ ද මේ තෙරපුමෙන් ඇති වන පීඩනය නිදහස් වන්නට බොහොම ඉඩකඩ තියෙනවා. ශ්‍රී ලංකාව කලකට ඉහත දී (ජුරාසික කාලයේ දී) ඉනදියානු මහාද්වීපය හා එක් ව පැවැති අතර පසුව වෙන් වුවත් තාමත් ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලයේ ම කොටසක්. ශ්‍රී ලංකාවට ද මේ ඉන්දු-යුරේසියානු තල මායිම ඉතා වැදගත් වන්නේ ඉහත සදහන් කළ කරුණ හේතුවෙන්. පසුගිය කාලයේ විටින් විට අපට, එතරම් ප්‍රබල නො වූවත්, භූ කම්පන දැනේන්නට පටන් ගත්තා ඔබට මතක ඇති. ඒ වාගේ ම අපේ රටට දකුණු දෙසින් කිලෝමීටර පන් සියයක් පමණ ඈතින් වූ භූ තලයේ නව පැල්මක් ඇති වන බවත් නොරහසක්. ඉහත විස්‌තර කළ ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලයේ තෙරපුම මේ සදහා හේතු වන බව නොඅනුමානයි. එනිසා ඉදිරි කාලයේ භූ කම්පා සහ සුනාමි වැනි ව්‍යසනවලින් අප රට තවදුරටත් නිදහස් නො වන බවයි පැහැදිලි වන්නේ.
මෙවැනි වාතාවරණයක් හමුවේ ශ්‍රී ලංකාවට බොහෝ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙයි. එනිසා ඉදිරියේ දී සිදු කෙරෙන ආපදා කළමනාකරණයන්හි දී භූ කම්පන හේතුවෙන් ඇති වන්නා වූ අනතුරු අවම කරගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම මූලික අරමුණක් විය යුතුයි. දැනටමත් භූ විද්‍යා හා පතල් කාර්යංශය භූ කම්පා අධ්‍යයන වැඩපිළිවෙළක් සකස් කර තිබීම ප්‍රශංසනීයයි. භූ කම්පා හේතුවෙන්, නිර්මිත පරිසරයට බොහෝ අනතුරු ඇති විය හැකියි. එනිසා ඉදිරි කාලයේ දී ගොඩනැගිලි ඉදි කිරීමේ දී භූ කම්පනවලට ඔරොත්තු දිය හැකි ගොඩනැගිලි ඉදි කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බව පැහැදිලියි. ඒ විතරක් නොවෙයි හදිසි දරුණු භූ කම්පනයක දී ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. කොහොම වුණත් සැම විට ම තම පරිසරය පිළිබඳ අවධානයෙන් සිටීම අප හැමෝ ගෙ ම සුqබසාධනයට බොහොම හොඳයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ