Sunday 7 May 2017

විදු පත් ඉරුව 2015  මාර්තු 25  බදාදා

රුවන්පුරය නැතිනම් රත්නපුරය කියපුවා ම අපට මතක්‌ වෙන්නේ ලොව සුපතළ මැණික්‌ පිළිබඳව. ලෝකයේ අවසාදිත නිධිවලින් හොද ම මැණික්‌ ලැබෙන රටක්‌ තමා අපේ රට. නමුත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැණික්‌ ගැන නම් නොවෙයි. ඔබ අහලා තියෙනව ද "ප්‍රාග් ජීවධාතු" පිළිබඳව. ඒ කියන්නේ "ෆොසිල" ගැන. ඔන්න දැන් නම් දන්නවා කියා වි. රත්නපුරය කියන්නේ පැරැණි ජීවීන් ගේ ශරීර කොටස්‌ සහ සටහන් ලැබෙන ප්‍රදේශයක්‌. මේවා බොහොමයක්‌ ලැබෙන්නේ මැණික්‌ පතල්වලින්. ඒකට හේතුව වෙන්නේ මැණික්‌ ගරන අය තමයි මේ ප්‍රදේශයේ පොළොව හාරන්නේ. ඒ වගේ ම මේ පතල් බොහොම ගැඹුරට හාරන එකත් බලපානවා.

ඉතින් මේ වග රටට මුලින් ම සොයා බලා විස්‌තර සැපයුවේ සුප්‍රකට විද්‍යාඥයෙක්‌ වන පී. ඊ. පී. දැරණියගල මහත්මයා. ඔහු කලෙක පුරාවිද්‍යා කොමසාරිස්‌ වෙලත් හිටියා. ඔහු සදහන් කරන ආකාරයට සිංහයන් ගේ, රයිනෝල ගේ, හිපෝල ගේ, ගවරා ගේ සහ පැරැණි අලින් ගේ ප්‍රාග් ජීව ධාතු රත්නපුරයේ මැණික්‌ පතල්වලින් ලැබිලා තියෙනවා. මේ හමු වන සතුන් ගේ ස්‌වරූපය සහ අවසාදිතවල භූ ලක්‌ෂණ අනුව මහාචාර්ය කුරේ මහතා පවසලා තියෙනවා කලෙක දී මේ ප්‍රදේශය විශාල මඩ ගොහොරුවක්‌ හැටියට තියෙන්න ඇති කියලා. ඒ හොලොසින යුගයේ දී.

දැනටත් එවැනි සතුන් ගේ පැරැණි ශරීර කොටස්‌ මේ ප්‍රදේශයෙන් හමු වෙනවා. ඒ විතරක්‌ නො වෙයි ඒ කාලේ තිබුණ ගස්‌වල කඳන්, ඇට ජාති එහෙමත් හමු වෙනවා. නමුත් ගැටලුවක්‌ වෙලා තියෙන්නේ ඒවා පිළිබඳව බොහෝ දෙනෙක්‌ දැනුවත් නැහැ. ඒක නිසා ගොඩ දාන සැණින් විනාශ වීමට හේතු යෙදෙනවා. සමහර වෙලාවට උදලු පහරවල් නිසා කුඩු වෙලා යනවා පහසුවෙන් ම. මොකද මේවා ගොඩාක්‌ පැරැණි නිසා. අනිත් කරුණ තමයි මේ වගේ දේවල් ලොව බොහොම දුර්ලභයි. ඉතින් අපිට මේ හමු වන ෆොසිල එකතු කරගන්න පුළුවන් නම් පැරැණි ජීවීන් සහ පැරැණි පරිසරය පිළිබඳව ගොඩාක්‌ කරුණු එක්‌රැස්‌ කරගන්න හැකි වෙනවා. ඒක නිසා මේ ෆොසිල මැණික්‌ වගේa ම අපට වටිනා දෙයක්‌. විද්‍යාත්මක අධ්‍යයනවලට බොහෝ ම වැදගත් වෙනවා. එනිසා රත්නපුර ප්‍රදේශයේ ඉන්නා අපේ දුවා දරුවන් සහ මේ විද්‍යාවට ආදරය කරන සියලු දෙනා මේ පිළිබඳව තම තමන් ගේ වැඩිහිටියන්, ඒ වාගේ ම ඥාතීන් දැනුවත් කරන්න ඕනේ. විශේෂයෙන් ම පතල් කර්මාන්තයේ යෙදෙන පිරිස දැනුවත් කිරීම තමයි ඕනෙ ම කරන්නේ.

ලෝකයේ මේ "ප්‍රාග් ජීවධාතු" පිළිබදව උගන්වන විෂයක්‌ තියෙනවා. ඒක හඳුන්වන්නේ "ප්‍රාග් ජීවධාතු විද්‍යාව" (Paleontology) කියලා. සමහරු "පාෂාණීභූතධාතු" විද්‍යාව කියලත් හඳුන්වනවා. නමුත් මම හිතන්නේ වඩාත් සුදුසු පදය තමයි මුල් එක. මොකද පාෂාණ බවට පත් නො වන ෆොසිලත් හමු වෙනවා නේ. උදාහරණයක්‌ හැටියට ගත්තොත් සයිබීරියාවේ අයිස්‌වල හමු වන මැමත්ල ගේ ෆොසිල. ඒවා සීතලට හොඳට ම මිදිලා තියෙන්නේ. ඊට අමතරව ෆොසිලවල සටහනුත් මේ කොටසට වැටෙනවා. ලංකාවේ මේ විෂය පාසල් තුළ ඉගැන්වෙන්නේ නැහැ. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ භූ විද්‍යාව හදාරන සිසුනට නම් මේ පිළිබඳව හදාරන්න අවස්‌ථාව ලැබෙනවා.

මේ ප්‍රාග් ජීවධාතූ තියෙන්නේ රත්නපුරේ විතරක්‌ නො වෙයි. ජුරාසික කාලේ ෆොසිල, තබ්බෝව ප්‍රදේශයේත්, මයෝසින කාලයේ ඒවා පුත්තලම, මන්නාරම සහ යාපනය ප්‍රදේශයේත් ඇති පාෂාණවල පිහිටලා තියෙනවා. මේ පිළිබඳව අධ්‍යයනය කිරීම උනන්දු කිරීම සදහා පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මූලිකව 2007 වසරේ "පුරා ජෛවවිවිධත්ව උපදේශන කමිටුව" පිහිටෙව්වා. මේ පිළිබදව අධ්‍යයනයන් කරන විවිධ ක්‌ෂේත්‍රවල විශේෂඥයන් රැසක්‌ මේ කමිටුවට ඇතුළත්. ආරම්භක පියවර තබන්න මූලික වුණේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන ගාමිණී ගමගේ මහත්මයා. ඔබ ප්‍රදේශයෙන් ලැබෙන ෆොසිල පිළිබඳ තොරතුරු මේ කමිටුවට දෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව වැදගත් වන තොරතුරු අහගන්නත් පුළුවන්.

රත්නපුර ප්‍රදේශය පිළිබඳව අප වැඩි අවධානයක්‌ යොමු කරන්නේ මේ ෆොසිල සමග පැරැණි මානවයන් ගේ නෂ්ටාවශේෂ ලැබිය හැකි නිසා. මොකද මේ දේවල් මානවයා ආරම්භ වූ කාලයෙන් පසු ජීවත් වූ සතුනට අයත් නිසයි. ඉතින් බොහෝ දුරට එවැනි මානව අවශේෂ සහ ඔවුන් භාවිත කළ මෙවලම් ද හමු වෙන්න පුළුවන්. ඒක නිසා මානව ඉතිහාසය හැදෑරීමේ දී ඔහු ආශ්‍රිතව වූ දේවල් සහ සතුන් හැදෑරීමත් වැදගත් වෙනවා.

රත්නපුරය, කුරුවිට ප්‍රදේශවල මේ පිළිබදව උනන්දුවක්‌ දක්‌වන අයට ඔබ ප්‍රදේශයේ ම ඉන්නා අයකු ගෙන් වුණත් විස්‌තර දැනගන්නත් පුළුවන්. ඒ තමයි දැනට දශක දෙක තුනක ඉඳලා ප්‍රදේශයේ දුවා දරුවන් අතර විද්‍යාව ප්‍රචලිත කරන්න වෙහෙස වන, පරිසරය ආරක්‌ෂා කරන්න උත්සාහ කරමින් ඒ වෙනුවෙන් වැඩ කරන ග්‍රාම නිලධාරී මහතකු ලෙස සේවය කරන කමල් අබේවර්ධන මහත්මයා. ඔහු සතු කදිම ෆොසිල එකතුවක්‌ ද තියෙනවා. කෙනෙකුට යම් ෆොසිලයක්‌ හමු වුණොත් ඔහුට ලබා දෙන්නත් පුළුවන්. ඔහු ගෙන් විස්‌තර ලබාගන්නත් පුළුවන්. ඔබේ පැත්තේ ම හින්දා බොහොම පහසුවක්‌ වේ වි.

කොහොම වුණත් රත්නපුරය අවට සහ ශ්‍රීපාද අඩවිය ප්‍රාග් ජීවධාතූන් ලැබිය හැකි පැති. අවධානයෙන් සිටීම තමයි වැදගත්. කෙනකුට මේ පිළිබඳව දේශන හෝ ප්‍රායෝගික දැනුවත් වීමක්‌ අවශ්‍ය නම් ලබා දෙන්නත් පුළුවන්. ඒ සදහා විදුසර හරහා ඉල්ලීමක්‌ කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේ ම තමයි මේ ලැබෙන ෆොසිල අරක්‌ෂා කරගන්නත් අපේ දුවා දරුවන් හිතට ගන්න ඕනේ.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 6 May 2017

විදුපත් ඉරුව
2017 මැයි 03 බදාදා

'අවදානමට පෙර සූදානම' අද දිනයේ කෙතරම් ප්‍රායෝගිකව යෙදවෙනවා ද යන්න විමසා බැලිය යුතු ය. නො දන්වා පැමිණි සුනාමිය දහස්‌ ගණනක්‌ ජීවිත බිලිගත්තේ පෙර සූදානම නො තිබූ කාලයේ වුව වර්තමානයේ දිනෙක එලෙස වුව හොත් කිසිදු සමාවක්‌ හිමි නො වන බව ඔබ කියනු ඇත. එහෙත් වසරකට (අවම) අධික කාලයක්‌ තිස්‌සේ පැහැදිලි සාක්‌ෂි ඇස්‌ පනාපිට පෙනි පෙනී තිබිය දී අවදානම නො සලකා හැරීම මීතොටමුල්ලේ ජීවිත 32ක්‌ බිලි ගැනීමට ඉඩ හරින විට ඔය කියනා 'පෙර සූදානම' පෑල දොරින් පලා ගියා දැයි සිතේ.

සුනාමිය කරළියට පැමිණ ගත වී ඇත්තේ දශක දෙකකට අඩු කාලයක්‌ වුව නාය ආපදාව ගැන නම් අප බොහෝ කලක සිට දන්නා බව සැඟවිය නොහැකි කරුණකි. ගංවතුර ඊටත් වඩා හොඳින් අපට සමීප අත්දැකීමකි. සුළි සුළං ඉඳහිට වුව ආපදාවන් ඇති කරන බව අපි දනිමු. මෙලෙස හොඳින් දන්නා ආපදා අවම කරගැනීම උදෙසා අප ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන ඇත් දැයි යන්න ගැටලුවකි.

දිනෙන් දින වර්ධනය වන නාය ආපදා නිසා අනතුරට පත් වන ජනතාව ද ප්‍රමාණාත්මකව වැඩි වෙයි. අධි අවදානම් කලාප ඇතුළු මිනිසාට ජීවත් වන්නට අයෝග්‍ය භූමි හඳුනාගෙන ඇති මෙවැනි කලෙක ජනතාව නැවත නැවතත් අවදානමට ලක්‌ වන්නේ මන්ද? නාය අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වෙද්දී ද ජනතාව මේ ආපදාවන් පිළිබඳව නිරන්තරව ඉතා පුළුල් ලෙස දැනුවත් කරද්දී එවැනි ජීවිත හානි සිදු වන්නට හැකියාවක්‌ ඇත් ද? 'පෙර සූදානම' නම් වූ වට්‌ටියේ හිදැස්‌ ඇත්තේ කොහේ ද යන්න සොයා බැලිය යුතු ය.

ඉතා හොඳින් දැනුවත් වී ඇති ආපදාවන් කෙරෙහි පෙර සූදානම ක්‍රියාත්මක වන්නේ මෙලෙස නම්, නො දන්නා ආපදාවක්‌ ඇති වන කල ගැලවීම උදෙසා සුදුසු ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ ද යන්න කෙතරම් අපැහැදිලි ද යන්න සිහි වේ. මිනිසකු මරණයට පත් වීම සදහා ලොව වැඩි ම අවදානම ඇත්තේ උල්කාපාත වැටීමෙන් බව කියෑවේ. එහෙත් එයින් මිනිසුන් අනතුරට පත් නො වන්නේ පොළොවට පතිත වීමට පළමු ඒවා බොහොමයක්‌ ගිනිගෙන විනාශ වන හෙයිනැයි ද පැවසේ. උල්කාවක්‌ (ග්‍රහකයක්‌) වැටීම කලින් හඳුනාගැනීමට අපට නොහැකි වුව දියුණු තාක්‌ෂණික පහසුකම් ඇති ඇමෙරිකාව වැනි රටකට බොහෝ විට හැකි වේ. එසේ නම් හදිසියේ හෝ එවැනි තත්වයක්‌ ඇති වුව හොත් අප ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව මෙරට තවමත් කතාබහට ලක්‌ වී නොමැත.

විකිරණශීලී මූල¹ව්‍ය සහ කාර්මික රසායනික ද්‍රව්‍යයන් සාමාන්‍ය ජනතාව නිතර ම නො ගැටෙන වපසරියක පැවතිය ද ආපදා ඇති කිරීමේ දී පෙරගමන්කරුවන් බව අප අමතක නො කළ යුතු ය. වසර කිහිපයකට පෙර ජපානයේ සිදු වූ සුනාමි ෙ€දවාචකය අවසාන වන්නේ විකිරිණශීලී මූලද්‍රව්‍ය භාවිත වන විදුලි උත්පාදකාගාරයක්‌ අනතුරට පත් කරමින් බව ඔබට මතක ඇති. එහි දී ඔවුන් ගත්තා වූ ක්‍රියාමාර්ග මොනවා දැයි විමසිල්ලට ගත යුතු ය. මිලියන ගණනක ගේ යහපත උදෙසා විකිරණවලට නිරාවරණය වූවන් ගේ සංචරණය එරට සීමා කළ බව වාර්තා වෙයි. එය ඔවුන් ගේ පෙර සූදානමේ ප්‍රතිඵලයකි.

මහා පරිමාණයෙන් සිදු වන එවැනි ආපදා, ව්‍යසන පමණක්‌ නො ව ග්‍රාමීය සහ ස්‌ථානීය මට්‌ටමේ දී ද, පුද්ගල මට්‌ටමේ දී ද පෙර සූදානම ක්‍රියාත්මක විය යුතු බව සිහි තබාගත යුතු ය. සර්ප දෂ්ටනයන්, ගස්‌වලින් ඇද වැටීම්, බඹර, දෙබර ප්‍රහාර පමණක්‌ නො ව රිය අනතුරු ද, ජලයේ ගිලී අනතුරට පත් වීම් ද ආදි එකී නො කී සියලු ආපදා සැලකිල්ලට ගත යුතු ය. ඒ සදහා වූ පෙර සූදානම ගැන ජනතාව දැනුවත් කළ යුතු ය. මෙවැනි කාර්ය සම්පාදනයේ දී ජනතාව ගේ සාම්ප්‍රදායික දැනුම අතිශය වැදගත් වෙයි.

ව්‍යසනයට මුහුණ දීමට වඩා එය වළක්‌වාගැනීම යෝග්‍ය වේ. ගංගා අසබඩ ද, කඳුකරයේ ද අනවසර ඉදි කිරීම් ආපදා තත්ත්වය දෙගුණ තෙගුණ කරයි. විශේෂඥ උපදෙස්‌ පිළිපැදීම තත්ත්වය යහපත් කරගැනීමට විශාල පිටිවහලක්‌ ලබා දෙයි. වර්ෂාපතනයේ හිඟ බව කාලගුණ අනාවැකිවලින් සාර්ථකව ලබා දුන්න ද නියඟයට මුහුණ දෙන්නට කවරකු වත් සූදානම් වන්නේ නැත. ජලය නොමැති කල කෘෂිකර්මය බිඳ වැටෙන බවට අපට ඉහේ කෙස්‌ ගානට පමණ වූ අත්දැකීම් ඇත. ආහාර සුරක්‌ෂිතතාව පිළිබඳව හදිසියේ මතක්‌ වී පිටරටින් ආහාර ගෙන්වන්නට උපදෙස්‌ ලබා දෙන විට නියඟය හමාර ව වැසි කල ආරම්භ වී අස්‌වැන්න නෙළන කාලය වෙයි. එවිට මෙරට ගොවියාට තවත් ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදු වේ. තම අස්‌වැන්න තුට්‌ටුවකට වත් විකුණාගැනීමට නොහැකි වී වස බොන්නට ඔවුනට සිදු වෙයි.

දූරදර්ශී බව මෙරට ආපදා පෙර සූදානමේ නොමැති බව කිව යුතු ය. කොටින් ම ආපදා කළමනාකරණය තුළ ම එය නැත. අප මිනිසුන් ගලවාගැනීමට බෝට්‌ටු සොයන්නේ ගංවතුර ඇති වී මිනිසුන් ආපදාවට ලක්‌ වූ පසු ය. බැකෝ යන්ත්‍ර ඇති තැන් සොයන්නේ ඔවුන් වැළලී ගිය පසු ය. අප එතරම් ම හොඳින් සූදානම් වී ඇත.

මීතොටමුල්ලේ අහිමි වූ ජීවිතවලට නිලධාරීන් ගේ කඹ ඇදිල්ල ද හේතු වූ බව සමහර ජනමාධ්‍ය ගෙන ආ තොරතුරුවලින් පැහැදිලි වේ. දම්වැලක පුරුක්‌ සේ එකිනෙක බැඳෙන මේ ක්‍රියාදාමය ශක්‌තිමත් වන්නේ එක්‌ එක්‌ පුරුක්‌ තනිව ක්‍රියා කිරීමෙන් නො ව එක්‌ ව එකට බැඳීමෙන් බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. මෙරට ආපදා කළමනාකරණයේ දී සිටින සියලු ආයතන තම කාර්යභාරය නියමාකාරයෙන් වැටහාගත යුතු බවයි අප ගේ හැඟීම වන්නේ. තම සේවය අවශ්‍ය වන්නේ කොතැනට ද, කෙදිනක ද, කුමන මොහොතක ද යන්න වටහාගෙන ක්‍රියාත්මක වීම එහි දී වඩා යෝග්‍ය වේ.

කෙස්‌ වෙතත් අවසානයේ දී සිදු වූ ව්‍යසනය ආපදාවක්‌ නො කරගැනීමට වගබලා ගන්නට අප තවත් බොහෝ දේ ඉගෙනගත යුතු යෑයි සිතේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 4 May 2017

විදු පත් ඉරුව
2015  අප්‍රියෙල් 01  බදාදා

කාලය යන ඉක්‌මන. ඔන්න ආයෙත් බක්‌ මහේ සිංහල අලුත් අවුරුදු මංගල්‍යය ළඟ ළඟ ම එනවා. ඉස්‌සර නම් කොහා බක්‌ මහ ආසන්නයේ දී තමයි පණිවිඩේ ගෙනාවේ. ඒ වුණාට මේ ළඟ දි ඉඳලා කොහා ලංකාවේ ම පදිංචි වෙලා වගෙයි. ඒක හින්දා පසු ගිය මාස කිහිපයේ ම කොහා ගේ හඬ නිතර ම ඇහුණා. සතුනුත් බලාගෙන ගියා ම පදිංචිය මාරු කරනවා වගෙයි. කවුද ඉතින් ලංකාව වගේ රටකට අකැමැති.

බක්‌මහ කියන කොට නිතැතින් ම මතකෙට එන්නේ අපේ පාරම්පරික සිරිත් විරිත්. දැන් නම් ඉතින් බොහොමයක්‌ අයට මේවා අමතක වෙලා ද කොහෙද. මුළු ලෝකය ම ගමක්‌ වෙද්දි අපේ ගම අමතක වෙලා. ඉතින් ඒ කොහොම වුණත්, පාරම්පරික සිරිත් විරිත් අමතක කරන එක නම් හොඳ දෙයක්‌ නො වෙයි. ඒ විතරක්‌ නො වෙයි, අපේ අවධානය යොමු කළ යුතුයි දේශීය ඥානය එහෙම නැතිනම් පාරම්පරික දැනුම කෙරෙහිත්. කාලාන්තරයක්‌ තිස්‌සේ පැවතුණ මේ දැනුම සැම විට ම කිසියම් සංස්‌කෘතියකට, ප්‍රදේශයකට, රටකට ආවේනිකයි. අපේ මුතුන් මිත්තන් තම ප්‍රත්‍යක්‌ෂයෙන් තහවුරු කරගත් දැනුම තමයි මේ ආකාරයට පැවතගෙන එන්නේ. ඉතින් බොහොමයක්‌ දේශීය දැනුම අපේ ජන ජීවිතය හා බැඳිලා තියෙනවා.

අප ඉගෙනගන්නා සහ භාවිත කරන බටහිර විද්‍යාවේ දැනුම තහවුරු වී ඇත්තේ බොහෝ විට කිසියම් සිද්ධාන්තයක්‌ මුල් කරගත් පර්යේෂණ මතයි. එහි දී අටවාගත් පරීක්‌ෂණය නිරීක්‌ෂණවලින් ලබාගත් දත්ත මත ඉදිරිපත් කළ සිද්ධාන්තය තහවුරු කිරීම (හෝ අසත්‍ය බව තහවුරු කිරීම) සිදු කෙරෙනවා. පාරම්පරික දැනුම සමාජගත වී ඇත්තේ ද මේ අකාරයට මයි. වෙනස ඇත්තේ බොහෝ විට එය කෙළින් ම එදිනෙදා ජන ජීවිතයේ භාවිතය තුළින් තහවුරු වීම තුළ කියලා මම හිතනවා. යම් ක්‍රමවේදයක්‌ භාවිතය තුළින් තහවුරු වීම යනු එහි භාවිතයේ නිවැරැදි බව ඉහළයි කියන එක.

අද මේ දැනුම ශීඝ්‍රයෙන් නැති වෙලා යන බවයි පේන්නේ. නවීන සමාජයේ ඒ පිළිබඳ අවධානය අඩු වීම හේතුවක්‌ වෙන්න පුළුවන්. නවීන ක්‍රම භාවිතය හින්දා කියලා කියන්නත් පුළුවන්. බටහිර විද්‍යාවෙන් සොයාගන්නා දැනුම සැම පරිසරයකට ම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එය වෙනත් පරිසරයක්‌ එහෙම නැතිනම් වෙනත් සංස්‌කෘතියක්‌ තුළ පැනනැගුණු හින්දා වෙන්නත් පුළුවන්. එනිසා කාලාන්තරයක්‌ තිස්‌සේ භාවිත කළ එහෙම නැතිනම් මුල් බැසගෙන තිබුණ දැනුම එක්‌වර ම හිතළු කියලා අප අයින් කිරීම හොඳ නැහැ. මන්ද යත් එය ද තවත් ශාස්‌ත්‍රයක්‌ වන නිසා.

ශ්‍රී ලංකාවේ පාරම්පරික දැනුම ඉතා විශාල ක්‌ෂේත්‍රයක්‌ පුරා පැතිර ඇති බව අපට පේනවා. කෘෂිකර්මය මුල් කරගත් සමාජ ක්‍රමයක්‌ මත ගොඩනැගුණ නිසා බොහෝ පාරම්පරික දැනුම ඒ හා සබැදුණ බවයි පෙනී යන්නේ. ඒ කොහොම වුණත් ශ්‍රී ලාංකික ජන සමාජය යහපත් ව පවත්වාගෙන යන්න එය මහඟු උපකාරයක්‌ වෙලා ඇති බව හොඳින් වැටහී යන්නක්‌. ලංකාවේ නම් අවුරුදු 2500කට වඩා පැරැණි සමාජයක තිබෙන දේශීය ඥානය අති විශිෂ්ට වූවක්‌ විය යුතුයි. සමහර කරුණු කාරණා සලකා බැලීමේ දී ඒ බව අපට මනාව තහවුරු වෙනවා. වර්තමානයේ අධික ලෙස රසායනික පොහොර භාවිතය නිසා මුළු ජන සමාජය ම අනතුරේ හෙළලා. එක්‌ උදාහරණයක්‌ වන්නේ රජරට වකුගඩු රෝගය. නමුත් පැරැණි ගොවියෝ වගා කටයුතු කිරීමේ දී කෘත්‍රිම පොහොර භාවිත නො කළ බව නොරහසක්‌ නේ. එනිසා ම බොහෝ ලෙඩ රෝගවලින් අපේ මුතුන් මිත්තන් වැළකුණා. ඒ විතරක්‌ නො වෙයි ඒක හින්දා පරිසරයත් බොහොම අපූරුවට රැකුණා. කුරුල්ලන්ට සමනළයන්ට රැකෙන්ට හේතුවක්‌ වුණා. ඇළේ දොළේ සිටි විවිධ වර්ගවල මාළු රැකුණා.

වගා කටයුතුවලට අවධානය යොමු කළ ගොවීන්ට, පැමිණෙන කාලගුණික වෙනස්‌කම් දැනගැනීමේ හැකියාව ද තිබුණු බව මේ දේශීය දැනුම පරීක්‌ෂා කළ විට හොඳින් පැහැදිලි වෙනවා. පරිසරයේ විවිධ සතුන් සහ ශාකවල ඇති වන වෙනස්‌කම් මූලික කරගත් නිරීක්‌ෂණ තුළින්a ඔවුන් නිගමනවලට එළඹුණා. එනිසා කල් ඇති ව තම භවභෝග ආරක්‌ෂා කරගන්නත්, පැමිණෙන කාලගුණයට ගැලපෙන වගා සිදු කරන්නටත් අපේ මුතුන් මිත්තන්ට හැකි වුණා. ආහාර සුරක්‌ෂිත කරගන්න හැකි වුණා. සමාජ පරිහානිය වැළකුණා.

එපමණක්‌ නො වෙයි අප හොඳින් දන්නා දේශීය වෙදකම ද තවත් එවැනි එක්‌ පෘථුල ශ්‍රී ලාංකීය දැනුම සම්භාරයක්‌. ලංකාවේ ද ඒ ඒ ප්‍රදේශවලට ආවේනික වූ බෙහෙත් වර්ග පැළ වර්ග යොදා ගනිමිනුයි මේ අපූරු වෙදකම සිදු කළේ. සැම අවස්‌ථාවක ම සමාජ යහපත උදෙසා ම පමණක්‌ භාවිත කළ බවයි පෙනී යන්නේ. විෂ වෙදකම ද, කැඩුම් බිඳුම් වෙදකම ද මෙහි ලා ප්‍රමුඛ බව අපට පැහැදිලියි. එනිසා ම තවමත් ගැමියෝ මෙවැනි ගැටලුවක දී සොයා යන්නේ එවැනි ජීවකයන්.

කොහොම වුණත් පැරැනි ශ්‍රී ලාංකීය සමාජය තුළ ඉතා මැනැවින් ස්‌ථාපිත වූ දේශීය විද්‍යාව දැනුමක්‌ වූ බවට අමුතුවෙන් විග්‍රහ කළ යුතු නො වන බවයි මට හිතෙන්නේ. ඉතින් එනිසා බටහිර විද්‍යාව ඉගෙනගන්නා දයාබර දූ දරුවන් ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව ද ඔයාල ගේ අවධානය යොමු කරන්න කියලා. තම පවුලේ, ගමේ, ප්‍රදේශයේ ඇති, දැනටත් භාවිත වන දේශීය දැනුම අරක්‌ෂා කරගන්න ඕනේ කියා එක හිතට ගන්න කාලය ඇවිල්ලා කියන එක. ඒක නිසා ඔබට පුළුවන් ඔබ දන්නා දැනුම ලියා තියන්න. තමන් ගේ වයසක සීයා ගෙන්, ආච්චි ගෙන් අහන්න, පැරැණි ඥාතීන් ගෙන් අහන්න. නවතම ක්‍රම ඇති නිසා පටිගත කරලා තියන්නත් පුළුවන්. උනන්දුව ඇති අයට පුළුවන් මේ ක්‍රම අත්හදාබලන්නත්. නො සලකා හැරීමෙන් අප විනාශ වීමට ඉඩ හරින්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ තහවුරු වූ තවත් වටිනා විද්‍යාවක්‌. ඒ බව තේරෙන විට අප බොහෝ ප්‍රමාද වී ඇති බව වැටහේ වි. එනිසා දේශීය දැනුම රැකගන්න නැවත භාවිතයට ගන්න හැකි සැම විට ම උත්සහ කළ යුතුයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 3 May 2017

විදු පත් ඉරුව
2015 අප්‍රේල්  15 බදාදා

"මගේ ෆොaන් එක හදන්න බෑ කිව්වා. දැන් ඉතින් අලුත් එකක්‌ ගන්න වෙනවා" මගේ මිත්‍රයෙක්‌ ගිය සතියේ කියාපු දේ නිසා එකවර ම මට සිතුනේ පරණ ෆොaන් එක කසළ ගොඩට නේ ද කියලා. මේ විදියට දිනකට ලංකාවේ කොපමණ දුරකථන ඉවත ලනවා ඇත් ද..? මගේ යාළු නම් කැඩුණු නිසයි අලුත් එකක්‌ ගන්නේ. එහෙම නැති ව කී දෙනෙක්‌ නම් නව පන්නයේ දුරකථනවලට මාරු වෙනවා ඇත් ද..? පත්තරේ බැලුවොත්, අන්තර්ජාලයේ හෙව්වොත් දිනෙන් දින නව මාදිලියේ දුරකථන කොපමණ නම් වෙළෙඳපොළට එනව ද කියලා අමුතුවෙන් විස්‌තර කරන්න ඕනේ නැහැ නේ. මෙවැනි නව පන්නයේ දුරකථන පාවිච්චි කරන්න අපි හැමෝ ම කැමතියි. හැබැයි කවුරු හරි හිතලා බැලුව ද පරණ දුරකථනයට මොකද කරන්නේ කියලා. මතක්‌ කරලා බැලුවොත් ගෙදර කොහේ හරි දාලා තිබිලා ටික දවසක්‌ යනකොට අස්‌පස්‌ කරන වෙලාවට එහෙම ම කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. ඊට පස්‌සේ මේ කුණු නගර සභාවෙන් අරන් යනවා. එහෙම බැලුවොත් නම් ඔන්න අපේ ප්‍රශ්නේ ඉවරයි.

ඒත් මේ ගෙනියන දේ නිසි පරිදි බැහැර කළේ නැත්නම් ඔන්න ලොකු ප්‍රශ්නයක්‌ ඇති වෙනවා. ඔයාලා සමහර අය දන්නවා ඇති මේ දුරකථන හදල තියෙන්න මොනවයින් ද කියලා. වැඩි ප්‍රමාණයක්‌ තියෙන්නේ ප්ලාස්‌ටික්‌. එයට අමතරව ලෝහ වර්ග. මේ ලෝහ අතර ඊයම්, කැඩ්මියම්, බෙරිලියම්, රසදිය වැනි බොහෝ ම විෂ ලෝහ වර්ගත් තියෙනවා. ඒක නිසා ක්‍රමානුකූලව බැහැර කළේ නැත්නම් මේවා පසට, ජලයට වගේ ම වාතයටත් එකතු වෙන්න පුළුවන්. මේ සමහර විෂ ලෝහ වර්ග ජීවින් තුළ එක්‌ රැස්‌ වීමේ හැකියාව තියෙනවා කියලා ඔබ දන්නව නේ. ඒක හින්දා දිගුකාලීනව මේ විෂ දද්‍රව්‍ය පරිසරයේ රැඳෙන විට ආහාර ජාලයට එක්‌ වෙලා අවසානයේ දී කැරකිලා ආපසු එන්නේ අපිටමයි. මේ දේවල් නිසා වකුගඩු රෝග, අක්‌මා රෝග සහ අස්‌ථි පද්ධතියේ රෝග ඇති කරනවා. ඒ විතරක්‌ නො වෙයි ස්‌නායු පද්ධතියේ පවා රෝග ඇති කරන්න මේවා හේතු වෙනවා.

මෙවැනි ද්‍රව්‍ය එනම් "ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය", ලෝකයට අද විශාල ගැටලුවක්‌ වෙලා තියෙනවා. දුරකථන පමණක්‌ නො වෙයි මෙහි දී රුපවාහිනි, රේඩියෝ, ශීතකරණ, පරිගණක, විදුලි පංකා යනාදී ඉලෙක්‌ට්‍රොනික උපාංග සියල්ල ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ගොඩට අයිති වෙනවා. දළ ගණනය කිරීම්වලට අනුව නම් වාර්ෂිකව ටොන් මිලියන 50ක්‌ මුළු ලෝකයේ ම ගොඩ ගැහෙන බවයි සදහන් වෙන්නේ. එයින් 15%ක්‌ පමණ තමයි ප්‍රතිචක්‍රීරකරණය වෙන්නේ. ඉතිරි සියල්ල මහපොළොවේ කොහේ හරි වළ දානවා. එහෙම නැතිනම් පුළුස්‌සලා දානවා. ඒකෙන් පෙනී යන්නේ අපි වැඩි වැඩියෙන් පරිසර දූෂණයට දායක වෙනවා කියන දේ. ස්‌වාභාවික සම්පත් වන බොරතෙල්, තිරුවානා වැනි ඛනිජ සහ අනෙකුත් ලෝහ ඛනිජ භාවිත කරලා අපේ පහසුවට හදන කෘත්‍රිම නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක්‌ ආපසු පරිසරයට එකතු වෙන්නේ පරිසරය ලෙඩ කරන දේවල් හැටියට කියලා අමුතුවෙන් තේරුම් කරන්න දෙයක්‌ නෑ නේ. අනිත් ගැටලුව තමයි මේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යවල ඇති බහුතරයක්‌ වන ප්ලාස්‌ටික්‌ නො දිරා බොහෝ කාලයක්‌ පරිසරයේ රැඳීම.

එහෙම නම් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමේ වගකීම අප සතු බව ඔබට පැහැදිලි ඇති නේ. දැනට ලංකාවේ නම් මෙවැනි අපද්‍රව්‍ය බැහැර කරන්න නීතිමය අවසර නැති නිසා එවැනි ස්‌ථාන සුලබ නැති බවයි පෙනී යන්නේ. ඒ කොහොම වුණත්a දැනට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් වෙලා දිවයින පුරා ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්‌ථාන පිහිටුවලා තියෙනවා. ඔවුන් ගේ වෙබ් අඩවියේ ඒ පිළිබඳව විස්‌තර සදහන් කරලා තියෙනවා. ඔයාල ගේ ප්‍රදේශයේ එකතු කරන මධ්‍යස්‌ථානය පිහිටි තැන ඒකෙන් බලා ගන්න පුළුවන්. එකතු කරන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යවල සමහර කොටස්‌ පෞද්ගලික ආයතන හයක්‌ මගින් ප්‍රතිචක්‍රීය කරන අතර ඉතිරිය අපනයනය කරන බවයි කියන්නේ. ගෙදර ගොඩගැහෙන මෙවැනි අපද්‍රව්‍ය පරෙස්‌සමට එකතු කරලා මේ මධ්‍යස්‌ථානයට දෙන්න ඔයාලා වගබලාගන්න ඕනේ. ඒ විතරක්‌ නො වෙයි ඔයාල ගේ යාළුවන්ටත් අසල්වැසියන්ටත් මේ බව කියලා පහදලා දෙන්න පුළුවන් නම් කදිමයි.

අලුත් අවුරුදු ළඟ නිසා මේ දවස්‌වල සැම තැනක ම පාහේ වෙළෙඳසල්වල භාණ්‌ඩ විකුණා ගන්න ලොකු තරගයක්‌ තමයි තියෙන්නේ. ගොඩක්‌ තැන්වල විශේෂ මිල අඩු කිරීම් එහෙමත් තියෙනවා. සමහර විට එකක්‌ ගත්තොත් තව එකක්‌ නොමිලේ දෙන්නත් ලෑස්‌තියි. ලොකු ප්‍රචාරයක්‌ දෙන්නේ ගෙදර දොරට අවශ්‍ය වන ඉලෙක්‌ට්‍රොනික බඩුවලටයි. අපට ඇදුම් පැළදුම්වලට අමතරව ඊළඟට ඉතින් අවශ්‍ය වෙන්නේ ඒවා නේ. සමහරු ඔන්න අලුත් මාදිලිවලට මාරු වෙන්න මේක අවස්‌ථාවක්‌ කරගන්නවා. අලුත් ඉලෙක්‌ට්‍රොනික්‌ උපකරණයක්‌ ගන්න ඔබත් සිතාගෙන ඉන්නවා නම් පොඩ්ඩක්‌ කලපනා කරලා බලන්න ඇත්තෙන් ම ඒ දෙය ඕනෙ ම ද කියලා. මොකද දැනට ඇති භාණ්‌ඩ හොඳින් ක්‍රියා කරනවා නම් ඔබට අවශ්‍ය කටයුත්ත එයින් කෙරෙනවා නම් අලුත් එකක්‌ ගැනීම අනවශ්‍ය දෙයක්‌ වේ වි. එක අතකින් මේ දේවල් අඩුවට දුන්නත් එය අප කරන අනවශ්‍ය වියදමක්‌. අනිත් දේ තමයි පරිසරයට හානියක්‌ කළ හැකි යමක්‌ අනවශ්‍ය ලෙස මිල දී ගැනීම. මොකද පරණ දේ ගබඩාවටත්, ඒකෙන් කුණු ගොඩටත් වැඩි කල් නො ගොසින් ම යන නිසා. ඉතින් මෙවැනි අවස්‌ථාවල අප බුද්ධිමත් ව සිතා බලා රැල්ලට හසු නො වී මෙවැනි භාණ්‌ඩ මිල දී ගන්නවා නම් හොඳයි. ඒක පොකට්‌ටුවට වගේ ම පරිසරයටත් කරන ඉතිරියක්‌.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 2 May 2017

විදු පත් ඉරුව

2015  අප්‍රියෙල් 22 බදාදා

උත්තර දේවි දුම්රිය එක හුස්‌මට යාපනය බලා දුවනවා. අපේ ගමනාන්තය කිලිනොච්චිය. වව්නියාවට ළං වෙන්න බොහොම කිට්‌ටුයි. දොර කවුළුවෙන් පරිසරය රසවිඳිමින් සිටි මගේ අවධානය එක පාරට ම යොමු වුණේ දුම්රිය මාර්ගය දෙපස එක යායට වැවිලා තිබුණු කුඩා පඳුරු සමූහයක්‌ වෙතට. අඩියක්‌ එක හමාරක්‌ විතර උස ඒ මත්තේ පිපිලා තිබුණේ කුඩා සුදු පෙති මලක්‌. බොහොම පුරුදු පෙනුමක්‌. "පාතිනියම්" පැළ. පාතිනියම් වව්නියාවට කිට්‌ටු වෙන්න දුම්රිය මාර්ගය දෙපස බොහොම සරුවට වැවිලා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ඉඩම්වල, ගෙවතුවලත් වැවිල ඇති කියල මට එක්‌වර ම හිතුණා.

"පාතිනියම්" කියන්නේ ආක්‍රමණික ශාකයක්‌. ආක්‍රමණික ශාක කියන්නේ මොනව ද? බොහොම සරලව මේවා පිටරටවලින් මෙරටට ආපු ශාක කියලා හදුන්වන්න පුළුවන්. එයින් ඇත්තට ම ගම්‍ය වන්නේ අපේ රටේ ස්‌වාභාවිකව පරිසරයේ හමු නො වන ආගන්තුකයෙක්‌ කියන එකයි. මේ ශාකවලට ආගන්තුක ශාක කියලා කියන්නත් පුළුවන්. මේ ආක්‍රමණික ශාක අපේ දේශීය පරිසරයට ආගන්තුක වුණාට බොහොම ඉක්‌මනට පැතිරෙන්න හැකියාව තියෙනවා. එහෙම ඉක්‌මනට පැතිරිලා දේශීය ශාකවල වර්ධනයට තර්ජනයක්‌ වෙන නිසා එහෙම නැතිනම් දේශීය ශාක වැවෙන භුමිය ආක්‍රමණය කරන නිසා තමයි එනමින් මේ ශාක හදුන්වන්නේ. මෙලෙස දේශීය ශාක වැවෙන භුමිය ආක්‍රමණය කිරීම නිසා අපේ ශාක වර්ග සදහට ම වඳ වී යැමේ හැකියාව පවතිනවා. ආක්‍රමණික ශාක වර්ධනය වන්නේ නම් එය වහා නැවැත්විය යුතුයි.

පාතිනියම් පිළිබඳව කතා කරන විට මගේ මතකයට නැෙගන්නේ මේ ආක්‍රමණික ශාකය පිළිබඳව මෙරට ජනතාව දැනුවත් කළ කාල ය. අනූව දශකයේ අගභාගය වන විට තමයි මේ ශාකය පිළිබඳ කතාව කරළියට ආවේ. ආචාර්ය මැග්ඩන් ජයසූරිය තමයි ලාංකික ජනතාවට මේ ආක්‍රමණිකයා පිළිබඳව මුලින් ම හෙළි කළේ. ඉන්දියන් හමුදාව ලංකාවට එන විට ඔවුන් ගෙන ආපු වාහන සමග මේ ශාකවල බීජ ලංකාවට එන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ වන විට ඉන්දියාවේ මේ ශාකය වල් පැළෑටියක්‌ ලෙස බොහොම දරුණුවට පැතිරිලා තිබෙනවා. පසු කාලීනව පාතිනියම් බීජ ඉන්දියාවෙන් ගෙන්වන ලද මිරිස්‌ සහ ලූනු බීජ සමග ද මෙරටට එන්න ඇතැයි විශ්වාස කරනවා. පාතිනියම් බීජවලට බොහෝ කාලයක්‌ පරිසරයේ රැඳී සිටීමේ හැකියාවත්, ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාවත්, පහසුවෙන් පැළ වීමේ හැකියාවත් ඇති නිසා බොහොම ඉක්‌මනට ලංකාවේ උතුරු ප්‍රදේශයේ මේ ශාකය පැතිරිලා තියෙනවා. ක්‍රමයෙන් පැතිරුණ මේ අගන්තුකයා බොහොම ලෙහෙසියෙන් දේශීය ශාක සන්තතිය, විශේෂයන්ම පැළ වර්ග පැවැති භූමිය අක්‍රමණය කරමින් කඳුකරයට ම පැතිරුණා. මේවායේ පැතිරීම බොහොම දරුණුවට අපේ කුඹුරුවලට බලපෑවා.

මගේ මතකයේ හැටියට වසර 2000 දී පමණ පරිසර අමාත්‍යංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්‌ වී මේ ආක්‍රමණිකයා පැරදවීමේ සංග්‍රාමයක්‌ දියත් කළා. විශ්වවිද්‍යාලයයේ එකල බොහෝ ම සක්‍රිය ව තිබූ පරිසර සංගමයක්‌ වන හන්තාන සංරක්‌ෂණ සංගමයටත් ආරාධනාවක්‌ ලැබුණා මේ කර්තව්‍යය සදහා දායක වන ලෙස. බොහොම සතුටින් ඒ ආරාධනාව පිළිගත් අප සංගමයේ බොහෝ සාමාජිකයන් පිරිසක්‌ සමග එයට සහභාගී වුණා. අප සහභාගී වූ පාතිනියම් මර්දනය කිරීමේ එම ව්‍යාපෘතිය දියත් කළේ මේ පැළෑටි බහුලව වර්ධනය වෙලා තිබුණු කන්දකැටිය ප්‍රදේශයේ. එහේ කුඹුරු යායවල් සම්පූර්ණයෙන් ම මේ ආක්‍රමණිකයා බිලි අරගෙන තිබුණා. සමහර පාතිනියම් ශාක අඩි හයක්‌ අටක්‌ පමණ උසට බොහොම සරුවට වැඩිලා තිබුණා. එක ප්‍රදේශයක්‌ තෝරාගත් අප පිරිස එහි සියලු පාතිනියම් පැළ ගලවා අවසානයේ පුළුස්‌සා දැමුවා. සංකේතයක්‌ හැටියට ක්‍රියාත්මක වූ එම සංග්‍රාමය බොහොම සාර්ථකව සිදු වුණා. මේ ක්‍රියාවලියට විශ්වවිද්‍යාලයයේ අප සංගමය සක්‍රීය ව දායක කරගත් සහ එකල අප සංගමයට බොහෝ උපකාර කළ පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්‌ෂවරයකු වන අජිත් ද සිල්වා මහතා ස්‌තුති පූර්වකව මෙහි දී සිහිපත් කළ යුතුයි.

පාතිනියම් මර්දනය කිරීම සදහා ඒ කාලයේ ම නීති ද සම්පාදනය කරනු ලැබුවා. මගේ මතකයේ ඇති විදියට ලංකාවේ කිසි ම ඉඩමක පාතිනියම් තිබිය නොහැකි අතර ඒවා ගලවා ඉවත් කළ යුතුයි. එසේ පවතින්නේ නම් එය දඩුවම් ලැබිය හැකි වරදක්‌. ඒනිසා අප හැමෝ ම විශේෂයෙන් ම මේ ආක්‍රමණිකයා පිළිබඳව අවධානයෙන් සිට ඒවා මර්දනයට සහාය විය යුතුයි. නමුත් දැන් නම් බොහෝ දෙනකු ගේ මතකයෙන් මේ ආක්‍රමණිකයා පිළිබඳව සහ ඒ හා අදාළ තොරතුරු ගිලිහී ගිහිනුත් ඇති.

ලංකාව මෙලෙස ආක්‍රමණය කර ඇත්තේ පාතිනියම් පමණක්‌ නො වෙයි. තව ආක්‍රමණික ශාක බොහෝ ප්‍රමාණයක්‌ හඳුනාගෙන තියෙනවා. යෝධ නිදිකුම්බා, ගඳපාන, ජපන් ජබර, වෙල් ආත්තා, යුලෙක්‌ස්‌, හයිඩ්රිල්ලා, කටු පතොක්‌ වැනි ශාක මෙහි ලා සදහන් කළ හැකියි. එපමණක්‌ නො වේ. ආක්‍රමණික සතුන් ද ඇති බව ඔබ දන්නවා ඇති. විශේෂයන් ම සුරතල් සතුන් ලෙස ලංකාවට ගෙන ආ සමහර මාළුන් අද දේශීය විශේෂ සදහා බොහෝ තර්ජනයක්‌ වෙලා. එවැනි එක සතෙක්‌ තමයි "ටෑන්ක්‌ ක්‌ලීනර්" ලෙස හදුන්වන මාළුවා. ඒ වාගේ ම රන්වන් පැහැති ගොලුබෙලි විශේෂය. ඉතින් මෙවැනි සතුන් ද ශාක ද අප රටට ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ නම් හෝ ගෙනැවිත් ඇත්තේ නම් ඔවුන් ස්‌වාභාවික පරිසරයේ නිදහසේ පැතිරීම වැළැක්‌වීමට ඔබ වග බලාගත යුතුයි. මන්ද යත් අපේ ම ජීවී විශේෂ පරිසරයෙන් ඉවත් කිරීමට එය හේතුවක්‌ වන බැවින්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 28 April 2017

විදුපත් ඉරුව
2017 අප්‍රේල් 26 බදාදා



පසුගිය කාලයේ අප කතා බහට ලක්‌ කළේ කඳු නාය යැම් ගැන ය. එනිසා අවතැන් වූවන් ගැන ය. ආපදාවට ලක්‌ වූවන් එම ස්‌ථානවලින් ඉවත් කර සුරක්‌ෂිත ස්‌ථානවල රැඳවීම ගැන ය. පුදුමයක මහතෘ මෙන්න කඳු නොමැති කොළඹ නාය යන්නට පටන්ගෙන. නාය යන්නේ කුණු කඳු ය. මීටර පනහක්‌ පමණ උසට ගොඩනැගුණ මීතොටමුල්ල කසළ කන්ද පසුගිය දා නාය ගියේ ය. ඒ මිනිස්‌ ජීවිත 32ක්‌ අහිමි කරමිනි. තවත් සිය ගණනකට උන්හිටි තැන් අහිමි කරමිනි. දේපළ විශාල ප්‍රමාණයක්‌ හානියට ලක්‌ කරමිනි.

'කුණු කන්ද නාය ගියා නම් මිනිස්‌සු මැරෙන්න ඇත්තේ කුණුවලට යට වෙලා නේ' බොහෝ දෙනෙක්‌ පැවසූ හ. එහෙත් පින්තූර රුප රාමුවල එවැනි දෙයක්‌ දිස්‌ වූයේ නැත. හානියට ලක්‌ වූ නිවාස පිහිටි ස්‌ථාන කුණුවලින් යට වී තිබුණේ නැත. එසේ නම් මිනිසුන් මැරුණේ, දේපළ හානි වූයේ කෙසේ ද? හානියට ලක්‌ වූ ප්‍රදේශය ස්‌වාභාවික භුමි මට්‌ටමෙන් බොහෝ එසවී තිබුණු බව ඉතා හොඳින් පැහැදිලි විය. මෙහි දී සිදු වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලිය කුමක්‌ විය හැකි ද? සමහරුන් පැවසුවේ මීතේන් වායුව නිසා සිදු වූ පිපිරීමක්‌ නිසා කුණු කන්ද නාය ගිය බවයි.

මේ කසළ බැහැර කර ඇත්තේ පැරැණි කුඹුරකට ය. පහත් බිම් වන මෙවැනි ස්‌ථානයන්හි පස ගසාගෙන අවුත් තැන්පත් වූ සමහර විට කාබනික ද්‍රව්‍ය වැඩි අවසාදිත වේ. කලකට ඉහත දී සිදු කළ පර්යේෂණවලින් පැහැදිලි වී ඇත්තේ මේ ස්‌ථානය නිර්මාණය වී ඇත්තේ ඉහත කී ආකාරයේ පසකින් බවයි. මෙවැනි පස්‌/අවසාදිතවලින් සකස්‌ වූ භූමියක දරාගැනීමේ හැකියාව අඩු නිසා අධික බර පැටවීමේ දී දෙපසට විස්‌ථාපනය වීමේ හැකියාව පවතී. මෙය ඇත්තෙන් ම මැටි ගොඩකට ගලක්‌ පැටවූවා වැනි ය.


කසළ ටොන් ගණනාවක්‌ වසර ගණනාවක්‌ තිස්‌සේ මේ ස්‌ථානයට බැහැර කිරීම නිසා, ඉතා විශාල කුණු කන්දක්‌ නිර්මාණය විය. තෙතමනය සහිත කසළ වෙන් කිරීමකින් තොර වීම නිසා සියලු කුණු මෙහි ගොඩගැසුණ අතර කුණු ප්‍රමාණය වැඩි වත් ම සමතුලිත ව තිබූ භුමිය යටට තෙරපෙන්නට විය. මේ තෙරපීම් සැම විට ම දුර්වල කලාප ඔස්‌සේ වර්ධනය වී ඇති අතර වසර ගණනාවකට ඉහත දී සිට මෙහි ප්‍රතිඵල සැමට දිස්‌ වන්නට විය. මේ ආසන්නයේ වූ ගෙවල්වල බිත්ති ඉරිතැලීම්, පොළෝ පිපිරීම් මෙන්ම එකිනෙක ආසන්නයේ වූ ගෙවල් ළං වන බව ද එහි දී ප්‍රදේශවාසීහු නිරීක්‌ෂණය කළ හ. කුණුවල බර වැඩි වීම හේතු කොටගෙන පහළට එල්ල වූ තෙරපුම පසෙහි ස්‌වභාවය හේතු කොටගෙන භූ අභ්‍යන්තරයෙන් පාර්ශ්විකව ද පැතිරෙන්නට හේතු වී තිබේ. (රූපය 1)

මෙලෙස පාර්ශ්විකව පැතිරුණ තෙරපුමට එක්‌තරා දුරක දී සීමාකාරී වන්නට සිදු වන්නේ ඔබ්බෙන් පිහිටි කබොක්‌ භුමිය ආරම්භ වීමෙනි. කබොක ඉතා තද ශක්‌තිමත් ද්විතීයික පාෂාණයක්‌ වන අතර ඉතා කදිමට බර දරාගැනීමේත් තෙරපුම දරා ගැනීමේත් හැකියාව පවතී. දිගින් දිගට ම සිදු වූ කසළ පැටවීම නිසා පහළට ද පාර්ශ්විකව ද වැඩි වූ තෙරපුමට ලක්‌ වූ අවසාදිත කබොක්‌ තට්‌ටුවේ දරාගැනීම නිසා ක්‍රමයෙන් ඒ ආසන්නයෙන් ඉහළට එසවෙන්නේ ඒ සදහා පහසුවෙන් ඉහළට අවකාශය සකස්‌ කරගත හැකි නිසාවෙනි. වසරකට පමණ පෙර කාලය තුළ මේ තත්ත්වය නිරීක්‌ෂණය කළ බව ප්‍රදේශවාසීහු පවසති.

කාලයත් සමග වැඩි බර තුලනය කරගෙන සිටිය ද තවදුරටත් දරාගැනීමේ හැකියාව 14 වැනි දා පස්‌වරුව වන විට මේ අවසාදිත තට්‌ටුවලට හැකියාව තිබුණේ නැත. එනිසා ඉතා ක්‌ෂණයකින් මීටර 50ක්‌ පමණ උස කසළ කන්දෙහි බරෙන් තෙරපී මිරිකි මිරිකී තිබු අවසාදිත පාර්ශ්විකව තල්ලු වී තෙරපුම නිදහස්‌ කළේ කබොක ආසන්නයේ වූ භුමිය ඉහළට ඔසවා දමමිනි. ඉතා වේගයෙන් සිදු වූ මේ සිදුවීම නිසා භුමියේ ගොඩනගා තිබූ නිවාස සුන්බුන් බවට පත් විය. (රූපය 3)

කසළ අපජලය කළමනාකරණය නො කිරීමත්, කසළ ගොඩගැසීම ක්‍රමානුකුලව සිදු නො වීමත් භූ අභ්‍යන්තර ජල මට්‌ටම වැඩි වන්නට හේතු වෙයි. මෙනිසා තත්ත්වය තවදුරටත් අයහපත් කරන අතර භූ අභ්‍යන්තර අවසාදිත/පස්‌වල දරාගැනීමේ හැකියාව තව තවත් හීන කරයි.

ශ්‍රී ලංකාවේ මෙවන් ඇබැද්දියක්‌ සිදු වූ ප්‍රථම වතාව ය මෙය. මෙවැනි පරිසරවල බොහෝ විට සිදු වන්නේ මීතේන් වායුව නිසා ඇති වන ගිනි ගැනීම් ය. නැත හොත් අභ්‍යන්තර පිපිරීම් ය. එහෙත් සිදු ව ඇති සංසිද්ධිය හේතුවෙන් සටහන් වූ සාක්‌ෂි හොඳින් ග්‍රහණය කළේ නම් අප ඉහත කළ පැහැදිලි කිරීම මේ සදහා හේතු වූ කරුණ කුමක්‌ දැයි හෙළි කරයි.

මේ කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙහි ලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ක්‍රියා කළ ආකාරය පැසසුම්සහගත ය. තම අවුරුදු නිවාඩුව පවා අහිමි කරගනිමින් ජාතික අවශ්‍යතාවක්‌ වෙනුවෙන් ඔවුන් සිදු කළ කැප කිරීම මෙරට සියලු විද්‍යා වෘත්තිකයන් හට කදිම ආදර්ශයකි. එහි අධ්‍යක්‌ෂ ජනරාල්තුමන් වන ආචාර්ය ආසිරි කරුණාවර්ධන, නාය යැම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‌ෂ, ආර්.එම්.එස්‌. බණ්‌ඩාර සහ භූ තාක්‌ෂණ ඉංජිනේරු අංශයේ අධ්‍යක්‌ෂ කේ. එන්. බණ්‌ඩාර යන මහත්වරුන් එහි අවදානම් තත්වය සමනය කිරීමට අවශ්‍ය තාක්‌ෂණික සහාය ලබා දීමෙහි ලා පෙරමුණ ගැනීම ඉතා අගය කළ යුතු ය. එමෙන් ම එම හදිසි අවස්‌ථාවේ සිට මේ වන තෙක්‌ ආරක්‌ෂක අංශ අමිල මෙහයක්‌ ඉටු කරමින් සිටින අතර ඔවුන් ගේ ඉවසීම, කැප වීම සහ නොපමාව කටයුතු සිදු කිරීම ඉතා ම ප්‍රශංසනීය ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 19 April 2017


විදුපත් ඉරුව

2017 අප්‍රේල් 19 බදාදා

සිදුවන ව්‍යසනය ද එය සිදුවන්නේ කවරදාදැයි පැවසීම ද වරෙක ආපදාවක්ම වන්නේ නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරොවෙන් කපන්නට ඉඩ හැරීමෙන් පමණක් නොව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් ලෙඩ ඔඩු දිවීම නිසා ද බව මී තොටමුල්ල ඛේදවාචකය අපට පැහැදිළි කරන සත්‍යයයි. ඩිමෝ බඩියකට අලියක් පැටවීම කොහෙත්ම කල හැක්කක් නොවේ. එවිට සිදුවන්නේ කුමක්දැයි අපට හොඳින් පැහැදිළි වේ. කෙසේ නමුත්, මේ ලියන මොහතවන තුරුද මිය ගිය සංඛ්යාව කොපමණදැයි නිශ්චිතව ගණනය කල හැකි වී නොමැත. මෙවන් අවස්ථාවක ආපදා කළමණාකරණය සංවිධානගත වී දැයි ගැටළුවක් පැන නගියි. දහවලද නැවත නැවතත් වලේ වැටෙන්නේ නම් එය එළිය පිලිබඳ ප්‍රශ්නයක් නොව දැක්ම පිලිබඳ ගැටළුවක් බව අප තේරුම් ගත යුතුය.

මෙරට කුණු ගැන කථා කරන්නේ දශක ගණනාවක සිටය. විසදුම් සොයන්නේ විද්වතුන් නොව දේශපාලකයන්ය. විද්වතුන් දේශපාලකයන් වීම කොතරම් අපූරුයි දැයි අප කල්පනා කල කාලයක් විය. නමුත් එවැන්නෝ ගෙන ආ අඳුරු ආදර්ශ නිසා අපගේ සිතුවිල්ල පුස්සක් වී ඇති බව මේ වන විටත් පැහැදිළි වී හමාරය. විද්වතුන් දේශපාලකයන් වීමෙන් පලක් වන්නේ ද නැත.

කොළඹ කුණු ප්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් මේ වන තුරුත් ලැබී නොමැත. මෙරට විශ්ව විද්‍යාල බොහෝ පර්යේෂණ සිදුකරමින් කසල කලමනාකරණයට අවැසි මහඟු සහයක් මේ වන විටත් ලබා දී ඇත. ඒවා ප්‍රයෝගිකව යෙදවීමේ හැකියාවක් ඇතිදැයි යන්න කුමන හෝ කලක මෙරට බලයට පත්වන රජයක් උත්සාහකර ඇත්දැයි  ඔබට මතකයට නැගිය හැකිදැයි බලන්න.

මි තොටමුල්ලට සිදු වූ ඛේද වාචකය මෙරට තවත් කොහෝ හෝ තැනක ගොඩ ගැසෙන කුණු කන්දකට සිදුවිය හැක. එනිසා කුණු ගොඩ ගැසීමට වඩා ගොඩ අඩුකරගන්නා ක්‍රම වේදයන් ගැන සිතිය යුතුය. මෙරට විවිධ හේතුන් නිසා භාවිතයට ගත හැකි ඉඩ සීමා වෙමින් පවතී. ඉදිරියේදී එයද බරපතළ කාරණයක් වනු ඇත. ඉදිරි අනාගතයේදී ජනගහනය වැඩි වීම නිසා පවතින සෑම අස්සක් මුල්ලක් නෑර ඔවුන්ගේ පදිංචිය තහවුරු වෙයි. එය මෙරට පම්පෝරි ගසනා නගර නිර්මාණකරුවන්ගේ පිළුණු වූ සංකල්පවල ප්‍රතිඵලයක් වනු ඇත. මෙවැනි තත්වයක් යටතේ ඔවුන් නාමිකව ගෙන එන ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදිකරන්නේ කොහේදැයි කල්පනා කර බැලිය යුතුය.   

නොදිරන කසල බොහොමයක් නැවත වාරයක් භාවිතයට ගත හැකිය. විශේෂයෙන්ම විදුරු සහ යකඩ අත්‍යවශයෙන්ම නැවත භාවිතා නොකරන්නේ නම් නිෂ්පාදනය සදහා අවැසි අමුද්‍රව්‍ය දිනෙක හිඟවනු ඇත. විවිධ වර්ගවල පොලිතින් ද නැවත භාවිතයට ගත හැකිය. මේ සදහා නම් මහජනතාවගේ සහය අවශ්‍ය වේ. ඉදින් ඔවුන් පිරිසිදුවට පොලිතින් ලබා දිය හැකි නම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මොන කජ්ජක් දැයි සිතේ. කඩදාසි ඉවතලන්නේ නැවත නිෂ්පාදනයට කැපෙන වෘක්ෂ මෙපමණ ප්‍රමාණයක් දැයි අවබෝධයක් ඇතිව නම් නොවේ. ඉතා පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි නැවත භාවිතයට ගත හැකිය. මෙය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස වුව පත්වාගෙන යා හැකිය. ඉඳින් ඔබත් මේ ගැන අවධානය යොමුකරන්නේ නම් ගොඩ ගැසෙන කසල ගොඩ අඩුකරන්න ට කුඩා හෝ දායකත්වයක් ලබා දිය හැකිය.    

ජීවවායු උත්පාදනය සදහා අපූරු අමුද්‍රව්‍ය කාබනික කසල සපයන බව අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නැත. ධන උල්පතක් පාදා ගන්නට මේ කදිම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නෙක් නම් නැත. ඒ සදහා මහඟු අවස්ථා මෙරට විද්වතුන් එළිදක්වා ඇත. මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක් ත්‍රි රෝද රථ ධාවනය සදහා ජීවවායු භාවිතය ගැන අත්හදා බැලුහ. එය ඉතා සාර්ථක බව පර්යේෂණ ප්‍රථිපල වලින් පැහැදිළි වී ඇත. නමුත් මේ ඉවතලන ටොන් ගණන් වූ කාබනික කසල භාවිතයෙන් ජීව වායු උත්පාදනය ගැන පවතින එකදු හෝ රජයක් සලකා නොබලන්නේ මන්දැයි ගැටළුවක් නොවන්නේද.

කුණු ප්‍රශ්ණය මෙරට ට පමණක් ආවේනික වූ ගැටළුවක් නොව අනෙක් රටවලද ඇත්තාවූ ගැටළුවක් බව පවසමින් සමහර ඈයෝ මෙය තනුක කරන්නට උත්සාහ කරන බව පෙනී යයි. ඒ ඔවුන්ගේ නොහැකියාව වසා ගැනීමට බවයි අපට නම් සිතෙන්නේ. ලෝකයේ අනෙක් රටවල එසේ වුව ද මේ සදහා විසදුමක් සොයා නොගන්නේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස පැරදුන ජාතියක් වනු ඇත. මේ සදහා ක්‍රියාත්මක වීම බිම් මට්ටමේ සිටම සිදුවිය යුතු බවයි අපගේ හැඟීම වන්නේ.

තම තමන්ගේ නිවාස වල සහ කාර්යාල වල දිනෙක දී ඉවත ලන කෑම ප්‍රමාණය කොපමනදැයි කල්පනා කර බලන්න. මේ උත්සවකාලයේ ගොඩ ගැහෙන කඳු ගණන් උස ඉවතලන කෑම කියා පාන්නේ අනවශ්‍ය ගොඩ ගැසීමක ප්‍රථිපල නොවේද. බුදු දහමේ කියා දෙන සංකල්ප ක්‍රියාත්මක කරන්නට සිහියේ ඇත්නම් මෙලෙස නොවනු ඇත. තමනට අවැසි ප්‍රමාණය බෙදා ගැනීමට නිතර සිහි තබා ගත යුතය. “ඉවතලෑම” අඩුකිරීමට සිහියට ගත යුතුය. එය අංක එක විය යුතුය. සෑම විටකම එම සංකල්පය පිළිපැදිමට සිහි තබා ගත යුතුය.  

කෙසේවෙතත් කොළඹ කුණු සදහා වග කිව යුතු වන්නේ කොළඹ ජනතාව පමණක් නොවේ. දිනකට කොළඹට එන ලක්ෂ ගණනකගේ කුණු ද මේ ගොඩටම එකතු වේ. එනිසා සුපුරුදු රාජකාරි සදහා කොළඹට පැමිණෙන්නන් ගෙන එන කුණු කොළඹ ඉතිරි නොකරන්නට වග බලා ගත යුතුය.

වල්මත් වූ දේශපාලන පක්ෂ වලද පුද්ගලයන් ගේ ද උද්ගෝෂණ වලට කන් දෙන්නට සිදු වුවහොත් සිදුවන්නේ නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි. එනිසා විද්වත් මතිමතාන්තර සැලකිල්ලට ගෙන නිසි දේ ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි විපත් තව දුරටත් සිදු නොවනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...