2017 මැයි 31 බදාදා
හිටිහැටියෙ ම වැටුණ වැස්‌සට මෙච්චර විපතක් වෙයි කියලා හිතුවේ නෑ මහත්තයෝ. නැතිනං අපිට අයින් වෙන්න කියලා කියලයි තිබුණේ." මෙවැනි කථා සැම නාය ආපදාවකට පසු කිහිප තැනකින් ම අසන්නට ලැබෙන බව කිව යුතු ය. මෙහි ගැඹුරු අර්ථය නම් මෙරට වගකිවයුතු ආයතන ලබා දෙන උපදෙස් මහජනතාව නො සලකා හරින බව නොවේ ද? වසර ගණනාවක් තිස්‌සේ පර්යේෂණ කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දියුණු කරනු ලැබූ නාය ආපදා සිතියම් සැලකිල්ලට ගන්නේ මෙරට නාය අවදානමට ලක් වන ජනතාව ගෙන් කොපමණ පිරිසක් ද යන්න මෙවැනි ආපදාවක දී තේරුම්ගත හැකි ය. වසරක දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදු කරන දැනුවත් කිරීම් ප්‍රමාණය සිය ගණනකි. මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් දැනට දශක දෙක තුනක සිට ම සිදු කරනු ලැබේ. මේ දැනුවත් කිරීම්වල දී අදාළ ප්‍රදේශවල නාය යා හැකි ස්‌ථාන හඳුනාගනු ලබන අතර ව්‍යසනයක දී එම නාය යා හැකි ස්‌ථාන මගහැර ආරක්‌ෂිත ස්‌ථානවලට ළඟා විය හැකි මාර්ග පවා නම් කර ජනතාව පෙර සූදානම් කර ඇත. ග්‍රාමීය නාය ආපදා කමිටු බිහි කර නාය ආපදාවක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිලිව දැනුම් දී ඇත. එපමණක් නො ව සැම වර්ෂා කාලයක දී ම මාධ්‍ය හරහා පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරනු ලබන අතර මාධ්‍ය සාකච්ඡා බොහෝ ප්‍රමාණයක් හරහා දැනුවත් කෙරෙන්නේ ද මේ මහජනතාව ම ය. ඉඳින් උපදෙස් නො පිළිපැදීම නිසා මෙරටට අහිමි වන මිනිස් ජීවත හා දේපළවලට වගකියන්නේ කවුරුන් ද? කඳුකර ප්‍රදේශවලට අමතරව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ක ද නාය ආපදා සිදු වන ප්‍රදේශ ලෙස නම් කර ඇත්තේ සුවිශේෂී හේතුවක් නිසා ය. ඒ මෙම ප්‍රදේශවල අධිකව සිදු වන ජනතාව ගේ අනවශ්‍ය සහ අපරීක්‌ෂාකාරී මැදිහත්වීම් හේතුවෙන් අස්‌ථාවර වන භූ ස්‌කන්ධයන් ය. භූ තාක්‌ෂණ උපදෙස් නො පිළිපදිමින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිසා මේ ප්‍රදේශවල බොහෝ ස්‌ථාන අස්‌ථාවර වී ඇති බව සත්‍යයකි. නව නිවාස ඉදි කිරීම, ඒ සදහා අවශ්‍ය මහා මාර්ග ද ඇතුළු අනෙකුත් යටිතල පහසුම් වැඩි දියුණු කිරීම පමණක් නො ව තම ගෙවතුවල සිදු කරන වගා කටයුතු පවා නාය ආපදා සක්‍රිය කිරීම සදහා දායකත්වය සපයන බව සිදු කර ඇති අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත. නාය ආපදා සමීක්‌ෂණ, විමර්ශන, පර්යේෂණ සහ නාය ආපදා අවම කිරීමේ භූ තාක්‌ෂණ ශිල්පීය ව්‍යාපෘති මගින් ජනතාව ගේ සුරක්‌ෂිතතාව තහවුරු කරන්නට වෙහෙසෙන කලක එවැන්නක් තුට්‌ටුවකට මායිම් නො කරමින් හිතුමනාපයට ක්‍රියා කිරීම ජාතික වශයෙන් රටක් අගාධයට හෙළන්නක් බව අප කවුරුත් තේරුම්ගත යුතු ය. නාය ආපදා සිදු වන හෝ සිදු ව ඇති ස්‌ථානවලට ගොස් භූ විද්‍යාඥයන්/භූ ඉංජිනේරුවන් ලබා දෙන නියෝග සහ උපදෙස් විටෙක අවඥාවෙන් බැහැර කෙරෙන අවස්‌ථා ගැන ඔවුනට බොහෝ අත්දැකීම් ඇත. ආපදාවක් සිදු වූ විට තමනට නිසි උපදෙස් නො ලැබුණ බවට කරන චෝදනා නම් එමට ය. තම වටපිටාව පිළිබඳව අවබෝධයෙන් නො සිටීම ම ආපදාවට ලක් වීමට හේතුවක් බව අප තේරුම්ගත යුතු ය. අවම මානව සම්පත් මත යෑපෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්‌ත්‍රික්‌ක 13ක සිදු වන නාය ආපදා ආවරණය කරන බව සැලකිය යුතු ය. ක්‍රමවත් භූමි පරිහරණ රටාවකට හුරු කිරීම උදෙසා කඳුකරයේ සිදු කරන සංවර්ධන කටයුතු යාමනයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගෙන ඇති පියවර ගණනාවකි. තම ඉඩම තෝරාගැනීමේ දී හෝ නිවස ඉදි කිරීමට යැමේ දී එම ස්‌ථානය නාය ආපදාවලින් මුක්‌ත දැයි නිර්ණය කිරීම සදහා අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා දීමට පියවර ගෙන ඇත. ඒ සදහා සුළු ගෙවීමක් කිරීමට සිදු වුව ද දිගුකාලීනව ජනතාව ලබාගන්නා ලාභයක් බව සිතට ගත යුතු ය. මේ ක්‍රියාවලිය පවා නීතිගත නො වූයේ නම් භූමි අපහරණය මීට වැඩි විය හැකි ය. ඒ වුව ද බොහෝ දෙනකු එම කර්තව්‍යය පවා සිදු කරවාගැනීමට මැළිකමක් දක්‌වන බව පෙනී යයි. නාය ආපදා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීම අසීරු බව අප තේරුම්ගත යුතු ය. ඒ මන්ද යත් මේ සිදුවීම Rජු ව ම භූ ක්‍රියාකාරිත්වයන් හා බැඳී පවතින නිසාවෙනි. වැටෙන වර්ෂාව ද පාංශු ස්‌තර නිර්මාණය වීම මත ද එලෙස නිර්මාණය වූ පාංශු ස්‌තර මත ඇති වන වන වැස්‌ම ද මිනිස් ක්‍රියාකාරකම් නාය ආපදා ඇති කිරීම කෙරෙහි බලපාන බව දැනගත යුතු ය. ගතික ක්‍රියාදාමයක ස්‌ථාවර දත්ත පැවතිය නොහැකි ය. එනිසා කාලීනව සිදු වන වෙනස්‌කම් ග්‍රහණය කරගැනීම ඉතා අපහසු අතර පූර්වයේ ලබාගන්නා දත්ත යාවත්කාලීන කරගැනීම සඳහා ද විශාල ප්‍රාග්ධනයක් පමණක් නො ව මානව සම්පතක් ද අවශ්‍ය වෙයි. කෙසේ වෙතත් නාය ආපදා නිසා සිදු වන මිනිස් ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙරට ජනතාව ගේ අත්‍යන්ත සහාය අවැසි බව සියල්ලන් ම වටහාගත යුතු ය. නැරඹීමේ කුතුහලයෙන් පෙළෙන ජනයාට නායක් යැම ද සංචාරක ස්‌ථානයක් බවට පත් කරගැනීමට ගත වන්නේ සුළු මොහතකි. රොත්ත පිටින ඇදෙන මේ අය තමන් පා තබන්නේ මරණය කරා බව තේරුම්ගත යුතු ය. වර්ෂා කාලයේ දී සක්‍රිය වන නාය යැම්, ඇති වන තෙත් සහිත බව නිසා නැවත නැවත ඇති විය හැකි ය. ඒ බැව් පසුගිය වසරේ අරණායක සිදු වූ නාය ආපදාවෙන් පැහැදිලි වෙයි. එවැනි ස්‌ථාන නැරඹීමට ගොස් අනතුරට ලක් වූ මිනිසුන් ගැන මෙවර වාර්තා වන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයෙනි. මෙනිසා වගකීමෙන් වැඩ කරන නිලධාරීන් සහ රාජ්‍ය සේවකයන් පමණක් නො ව මහජනතාවක් ද අවැසි බව තරයේ ම කියා සිටිමු. ආචාර්ය පත්මකුමාර ජයසිංහ | ||