03.08.2016
"මහත්තයෝ මේ තියෙන්නේ පුෂ්පරාගයක්" මුළු ශරීරය පුරා ම මඩ තවරාගත් ගැමියකු වෙරළු ගෙඩියක් තරම් විශාල වූ තරමක් කහ පැහැගත් ගල් කැටයක් තම සාක්‌කුවෙන් ගෙන මා හට පෙන්වා පැවසුවේ බුලත් කහට රැඳුණු දත් විලිස්‌සමින්, තම මුහුණේ අපූරු සිනාවක් ද මතු කරමින් ය. "මේකේ තියෙන ඔය පුංචි පලුද්ද නො තිබුණා නම් හොඳ මිලක් ගන්න තිබුණා". අහසට යොමු කර ඉර එළිය කදම්බයක් ගල් කැටය විනිවිද යවන්නට කැසකවමින් සිටි මා හට ද තරමක් අයිනකින් වූ පලුද්ද දැකගන්නට හැකි විය. "ඕකට ඕන්නං රුපියල් තිස් දාහක් විතර හම්බ වෙයි. පතලේ වියදම පියවෙන්න වත් මදැයි ඔය".
ඒ 2003 අවුරුද්දේ අවසාන භාගයයි. හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ මැණික් ඛනිජ පිළිබඳ ගවේෂණයක යෙදෙමිනි මා සිටියේ. ඒ වන විටත් වියළී තිබුණු, ගම හරහා ගලා ගිය දිය පහරක මධ්‍යයේ භූගත උමං හාරමින් වටිනා මැණික් සම්පත් ගොඩ දැමීමට එගම වැසියන් වැර දරමින් සිටි අවස්‌ථාවක ය මා හට මේ කදිම මිනිසා මුණගැසුණේ. "මහත්තයෝ මෙහෙ දැන් මැණික් නැහැ. තියෙන ඒවා ඔක්‌කොම මැරිලා. මීට අවුරුදු ගණනාවකට කලින් නං වෙළෙන්දෝ ගල් අරන් ගියේ ලොකු මලුවල පුරවාගෙන, ලොරිවල පටවාගෙන. මේ ඇළේ හම්බ වුණ ඒ ඉල්ලමට මිනිස්‌සු කිව්වේ නිධානෙ කියලා. යංකො මං තැන පෙන්වන්න."
ඔවුන් කණිමින් සිටි ඇළෙහි ක්‍රමයෙන් කුඩා වන ඉහත්තාවට ඔහු අප රැගෙන ගිය අතර එක්‌තරා තැනක නතර ව දිය සිඳී ගිය කුඩා වළක් මෙන් වූ තැනක් පෙන්වූ ඔහු කටහඬ අවදි කළේ ය. "වෙළෙන්දෝ කෝටිපතියෝ උනේ මෙන්න මෙතනින්. ලැබුණ ඔක්‌කොම් නිල් මැණික්. ගෙවුඩත් තිබිලා තියෙනවා. දැන් නං මෙතන හම්බ වෙන්නේ කොට්‌ටර විතරයි." ගල් කැට කිහිපයක් ඇහිඳ ඔහු මා ඇත තැබුවේ ය. ඒවා ඉතා අලංකාර කොරන්ඩම් (Corrundum) ස්‌ඵටික වූ අතර ඒවාට ආවේනික ස්‌ඵටික ස්‌වරුපය එහි කදිමට විය.
අප රට මැණික් සදහා මුළු ලෝකයේ ම ප්‍රසිද්ධ බව අප හොඳින් දන්නා කරුණකි. භූ විද්‍යාවවට අනුව ශ්‍රී ලංකාවේ මැණික් නිධි ප්‍රධාන වර්ග දෙකක් හමු වෙයි. රත්නපුරය වැනි සබරගොමු නිම්නවලින් කදිම ගෝලාකාර ඉල්ලන්කැට මුසු ව හමු වන්නේ පැරැණි ගංගා, ඇල දොළ නිසා තැන්පත් වූ 'ද්විතීයික මැණික් තැන්පතු' ය. දිගුකාලීන ප්‍රවාහනය නිසා පලුදු ඉවත් කරමින් ද, කදිමට රවුම් කරමින් ද, මැණිකේ හොඳ ම කොටස ගංගා පත්ලේ තැන්පත් කරන්නට වගබලාගත් නිසා ය අධික වටිනාකමින් යුත් මැණික් මෙවැනි නිධිවලින් හමු වන්නේ. එහෙත් මෙලස තැන්පත් වන්නට නම් 'ප්‍රාථමික මැණික් නිධි' තිබිය යුතු ම ය. බොහෝ විට මේවා හමු වන්නේ කඳුකරය ආශ්‍රිත ව ය.
ප්‍රාථමික මැණික් නිධි යනු පාෂාණයක් බිහි වන විට ම එහි ඇති වන මැණික් ඛණිජ ය. මේ පාෂාණ පොළොව අභ්‍යන්තරයේ සිට මතුපිටට පැමිණීම හේතුවෙන් කාලයක් යත් ම ජීරණයට නතු වේ. මේ හේතුවෙන් පාෂාණයේ වූ බොහොමයක් ඛණිජ ජීරණයට ලක් වන අතර තිරුවානා සහ මේ මැණික් ඛනිජ ජීරණයට ලක් නො වී ඉතිරි වේ. ජීරණයෙන් බිහි වන පසෙහි නැත හොත් පස් ස්‌ථරයෙහි මේ මැණික් ඛනිජ රැඳී පවතින අතර ඒවා ප්‍රාථමික මැණික් නිධි ලෙස හැඳින්විය හැකි ය. මා ඉහත කියූ මාලදොල ප්‍රදේශයේ කලක හමු වී ඇත්තේ එවැනි වූ ප්‍රාථමික මැණික් නිධියක් වන අතර එම ප්‍රදේශයේ මිනිසුන් ගේ කතා බහට අනුව පෙනී යන්නේ එය ඉතා විශාල එකක් වූ බවයි. එමෙන් ම ඔවුන් ගේ කරුණුවලට අනුව කොරන්ඩම් (Corrundum) කුලයේ මැණික් වර්ග එයින් හමු වී ඇත. කොරන්ඩම් කුලයේ මැණික් වර්ග වන්නේ රතු, නිල්, පුෂ්පරාග, පද්මරාග, ගෙවුඩ, සිල්කි, මිල්කි, µeන්සි යනාදියයි. ප්‍රාථමික නිධිවලින් හමු වන මැණික් හඳුනාගැනීම ඉතා පහසු ය. බොහෝ විට එම ඛනිජවල ස්‌ඵටික ස්‌වරූපය ඉතා හොඳින් දැක බලාගත හැකි ය. ප්‍රාථමික මැණික් නිධිවල බොහෝ විට හමු වන්නේ එක ම වර්ගයක මැණික් වේ. එමෙන් ම බොහොමයක් ඛනිජ ස්‌ඵටිකවල පලුදු අධික ය.
කොරන්ඩම් කුලයේ මැණික් වර්ගවල ප්‍රධාන රසායනික සංයෝගය වන්නේ 'ඇලුමිනා' (Al2O3) වන අතර එක් එක් මැණික් වර්ගයේ පාට ඇති කරන්නේ එහි වූ අපද්‍රව්‍ය හේතුවෙනි. ඇලුමිනා සපිරි කොරන්ඩම් ස්‌ඵටිකයේ ඇත්තා වූ ක්‍රෝමියම් ඔක්‌සයිඩය (Cr2O3) නිසා මැණිකට රතු පැහැයක් ලබා දෙයි. එමෙන් ම යකඩ මළ (Fe2O3) සහ රූටයිල් (TIO2) මිශ්‍ර වීම නිසා මැණිකට නිල් පැහැයක් ලබා දෙන අතර එසේ නො වුණ කල 'ගෙවුඩ' බිහි වේ. මේ මැණික් සඵටිකීකරණය වන්නේ පැති හයක් බිහි කරන ආකාරයෙන් නිසා ස්‌ඵටිකයට බැරල් හැඩයක් ලැබී ඇත. එහි පාදම මූලික කරගෙන තැන්පත් වන රූටයිල් කෙඳි (ස්‌ඵටික) නිසා මැණිකේ අභ්‍යන්තරයේ විවිධ තාරුකා රටා මැවෙන්නේ අපූරු ආකාරයේ මැණික් බිහි කරමිනි.
ප්‍රාථමික මැණික් නිධිවල හමු වන සැම ස්‌ඵටිකයක් ම මැණික් නො වේ. මැණිකක් වීම සදහා අදාළ ස්‌ඵටිකය පාරදෘශ්‍ය විය යුතු ය, හොඳ පැහැයකින් යුක්‌ත විය යුතු ය. කොට්‌ටර ලෙස හඳුන්වන්නේ එලෙස බිහි නො වූ ස්‌ඵටික වන අතර ඒවා කවර දා වත් මැණික් බවට පත් නො වනු ඇත. කොට්‌ටර වර්ග ද කිහිපයකි. නිල් කොට්‌ටර නිල් මැණික් බවට පත් නො වූ ඒවා වන අතර රතු කොට්‌ටර රතු මැණික් බවට පත් නො වූ කොරන්ඩම් ඛනිජ වේ. මේ අතර සුදු කොට්‌ටර ද හමු වන බව තහවුරු වූ කරුණකි. කොරන්ඩම් කුලය දෘඪතාව අනුව දෙවැනි වන්නේ දියමන්තිවලට පමණි. එහෙයින් සීරීම් සහ ඇතිල්ලීම්වලට හොඳින් ඔරොත්තු දෙන නිසා මැණිකේ පෘෂ්ඨයෙහි දීප්තිය අඩු නො වේ. ප්‍රාථමික මැණික් නිධිවලින් හමු වන්නේ කොරන්ඩම් කුලයේ මැණික් පමණක් නො වේ. වෙනත් මැණික් ඛනිජවල ප්‍රාථමික නිධි හමු වුව ද වඩා ප්‍රචලිත, මේ කුලයේ ප්‍රාථමික නිධි වේ. කෙසේ වෙතත් ප්‍රාථමික නිධි නොමැති ව ද්විතීයික තැන්පතු හටගන්නේ නැත.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ