Thursday 11 June 2020


භූ සංචාරිතය 13
The article is originally published on Vidusara, 10.06.2020.


මාගේ මතය අනුව ලෝක විනාශය ආරම්භ වන්නේ මිට අවුරුදු මිලියන 2-2.6 කට පමණ කලින්. ඒ කාලේ තමයි මානවයාගේ ආරම්භය සටහන් වෙන්නේ. වානරයාගේ දෙපා සංචරණය නිසා ලැබෙන අති විශාල වාසි කන්දරාවත් සමග මානවයා වානරයා පසු කර ගෙන යනවා. විශාලිත වූ මොළය දෙපා සංචාරණයේ වාසිය ඉතා අපූරුවට කළමනාකරණය කර ගැනීම නිසා මිනිසා මේ වන විට පෘථිවි ගෝලය තුල වසන සුපිරි සත්ත්වයා බවට පත් වෙලා. නමුත් ඒ අපුරු හැකියාවන් මිනිසා අද භාවිතා කරන්නේ ලෝකය විනාශ කරන්නට බව සත්‍යයක්. තමන් ඇතුළු සියලුම ජීවින් මෙලොවින් අතු ගා දමන්නට මේ වන විට මිනිසා සිදුකර ඇති අනුවන ක්‍රියාකරකම් හොඳටෝම ඇති. 


චාතුර්ථ යුගයේ ආරම්භයත් සමගම ඇතිවන මානව ආරම්භය සහ සංස්කෘතිය මිනිසාගේ පැහුණ බුද්ධියට අසුවන්නේ පුරා විද්‍යාව ලෙසයි. එහි වපසරිය නිර්මාණය වන්නේ මානව ආරම්භයත් සමග බොහෝ දෙනෙකු දන්නා බවක් හැගෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ඒ කාල සීමාව වානර ආරම්භයට වුව රැගෙන යා හැක. ඒ අනුව යමෙකුට පුරාවිද්‍යා සන්දර්භය තුල එතෙක් වූ විකාශනය ගැන කතා කරන්නට හැකියාව ඇත්තේ මුත්, පුරා සත්ත්ව විද්‍යාව ඔස්සේ ජුරාසික යුගයේ හෝ මයෝසින යුගයේ සත්ත්ව විකාශනයන් ගැන කතා කිරීමට උත්සහ දැරීම කොතරම් විහිළුවක්දැයි ඔබට තේරුම් යනු ඇත. මිනිසා සමග හිලෑ වූ සහ මිනිසාගේ පරිභෝජනයට නතු කර ගත් සතුන් ගැනයි ඒ තුල කතා කල යුත්තේ.  


ඒ කෙසේ වුවත් මේ සියලු දේ පුරා විද්‍යාඥයින්ට හමුවන්නේ අවසාදිත තැන්පතු තුලිනි. අවසාදිත පිළිබඳව ඔබ නොදන්නේ නම් පුරා විද්‍යා කැනීම් පර්යේෂණ කිරීමෙන් කිසිම් පලක් වන්නේ නැහැ. ඔබට හැකිවන්නේ ඒ තුල හමුවන දේ ගැන කතා කිරීම පමණකි. මේ පිළිබඳව මා පුන පුනා පවසන්නේ භූ විද්‍යත්මක පර්යේෂණ වල සහය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරනා බැවිනි. කාලීනව තැන්පත් වන අවසාදිත තට්ටු ගැන මාගේ මතය වන්නේ ඒවා ඉතා වැදගත් සංස්කෘතික සහ පාරිසරික දත්ත සිරකර ගත් කාල කැප්සියුල ලෙසයි. රසායනික ලෙස මෙන්ම භෞතිකව ද මෙලෙස තැන්පත් වූ සාක්ෂි වෙන් කර ගැනීම අප සතු දක්ෂතාවයයි. මෑත කාලින පුරා විද්‍යා පර්යේෂණ තුල මෙලෙස විද්‍යත්මක ලෙස පාංශු අධ්‍යනයන් සිදු නොවූ බව සහතිකයි. භෞතිකව පෙනෙනා පැහැය සහ වයනය (තරමක් දුරට අතින් අල්ලා බලා) පාංශු ස්තරායනය පිළිබඳව යම් නිගමනයකට එළෙඹෙනවා පමණක් බව අමතක නොකළ යුතුය. 


භූ සංචාරිතයෙන් අද ඔබ රැගෙන යන්නේ තවත් ගල් ගුහාවක් වෙතයි. පාහියන්ගල පිහිටි පාහියන් ගුහාව ඉතා ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයකි. පුරා විද්‍යා ස්ථානයක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගුහාව අසල කරන ලද කැනීම් තුලින් හමු වූ මානව අස්ථි අවශේෂ හේතුවෙනි. ශ්‍රී ලාංකේය පුරා විද්‍යාඥයින් පවසන අන්දමට මේ මානව අවශේෂ ආසන්න වශයෙන් වසර 38000ක් පමණ පැරණි බවයි. එයින් පැවසෙන්නේ ඔවුන් ජීවත්ව ඇත්තේ ප්ලයිස්ටෝසීන කාලයේ බවයි. වසර මිලියන 2ක් පමණ කාලයේ සිට වසර 10,000 දක්වා වූ කාලය වෙන් වන්නේ ප්ලයිස්ටෝසීන කාලයටයි. ඉන් පසු එන්නේ හොලෝසීන කාලයයි. 


මව් පාෂානයේම විකාශනය වූ මෙම ගුහාව ඉතා අපූරු ගල් ගුහාවකි. ඉතා විශාල කටක් සහිත මෙය ඉතා හොඳින් ආලෝකය ලැබෙන කදිම වාසස්ථානයක් වන අතර විශාල පිරිසකට නවාතැන්ගත හැකි ස්ථානයකි. මේ කරුනුත් සමග පෙනී යන්නේ පැහැදිලිවම මෙම ගුහාව අපගේ පැරැන්නන්ගේ වාසභවනක් වන්නට ඇති බවයි. මතුපිට තැන්පත්ව ඇති අවසාදිත ඉතා සියුම් අංශු වලින් යුක්ත අවසාදිත වන අතර සැකයක් නොමැති ලෙසම පෙනී යන්නේ සුලඟ මගින් තැන්පත් වූ “ වාලුකා අවසාදිත” බවයි.


පාෂාණ ජිර්ණයේ අත්‍යන්ත ප්‍රතිඵලය පාංශු ජනනයයි. අවසාදනය වන්නේ මෙවන් වූ පාංශු දේහයන් වන අතර කිසිම අවස්ථාවක ස්ථානීය පාංශු ස්තර අතර මානව සාක්ෂි හෝ පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ නැත. අවසාදිත තැන්පත් වන්නේ මෙම ස්ථානීය පාංශු දේහයන්ගේ මතු පිටින් බව අමතක නොකළ යුතුය. පාෂාණ ජීර්ණය නිසා පාංශු ජනනය වන්නේ පාෂාණයේ ඉහල සිට භූ අභ්‍යන්තරයට වන අතර එනිසා ස්ථානීය පාංශු ස්ථරයේ වැඩිම ඉහල සිට පහලට සිදුවේ. අවසාදිතකරණය නිසා ගොඩනැගෙන පාංශු ස්තර වර්ධනය වන්නේ පහල සිට ඉහළටයි. පුරා විද්‍යඥයින්හට වැදගත් වන්නේ එලස තැන්පත් වන අවසාදිත තැන්පතු මිස ස්ථානීය පාංශු ස්ථර නොවේ. ඔබ කැණිම් කරන්නේ නම් මෙම වෙනස ඉතා පැහැදිළිව දැන ගත යුතුය. නැතහොත් ඔබගේ මුදල් පමණක් නොව කාලය ද අපතේ යනවා නිසැකයි, කිසිම සාක්ෂියක් නොලබාම.


අවසාදිත වල වයනය එනම් පාංශු ඛණිකා වල හැඩය, විශාලත්වය සහ අන්‍යෝන්‍ය සම්බන්ධය විස්තර කිරීමට හැකි නම් ප්‍රාග් කාලගුණික තත්වයන් ගැන පමණක් නොව අවසාදනය වූ ආකාරය එනම්  ස්ථානීය සැකැස්ම ගැනද අපට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. සැමවිටම මානවයා සිදුකරන සෑම ක්‍රියාකාරකමක්ම පවතින තත්කාලීන පාරිසරික සහ කාලගුණික තත්වය මත තීරණය වන අතර මෙලොව පවතින කිසිම සංස්කෘතියක් එය පවතින පරිසරයෙන් හෝ පවතින කාලගුණික තත්වයෙන් වියුක්තව ගොඩනැගී නැති බව අප අමතක නොකළ යුතුය. මානව ක්‍රියාකාරකම් අධ්‍යනය මගින් පැවති කාලගුණික තත්වයද කාලගුණික තත්වය ද අධ්‍යනය මගින් මානව සංස්කෘතීන්ගේ විකසනය ද අපහට තේරුම් ගත හැකි බව මනාව වටහා ගත යුතුය. 


පාංශු දේහයන්ගේ ස්තරාභවනය නිසි පරිදි වටහා නොගැනීම කරන කැණීම අවසානයේ ඛේදවාචකයකට  මුලපිරීමක් බව පුරා විද්‍යඥයින් වටහා ගත යුතුය. එලෙස ඛේදවාචකයක් වූ කැණීමක් ලෙස පාහියන්ගල ගල් ගුහාව තුල සිදුකල කැණීම හඳුගාගත හැක. කොතරම් ගැඹුරට කැනීම සිදුකර ඇතිද යත්, අවසාදිත තට්ටු පසු කර ස්ථානීය පාංශු ස්ථර ද පසු කර වර්ධනය වන ජිර්ණිත පාෂාණය ද කැණීමට ලක් කර ඇත. මෙහිදී ඔබට වැද්ගත් වන්නේ අවසාදිත තට්ටුව තෙක් කැනීම පමණකි. මේ වෙනස හඳුනාගැනීමට නොහැකි වීම කණගාටුදායක සංසිද්ධියක් බව අමුතුවෙන් විස්තරකර කල යුතු නොවේ, පුරාවිද්‍යාත්මක කැණීම් උදෙසා භූ විද්‍යඥයින්ගේ සහය ලබා ගැනීම පිළිබඳව කලපනා කිරීමට ඔබට සිදුවන්නේ මෙවැනි පසුබිමක් තුලය.  නැතහොත් භූ විද්යාත්ම සංකල්ප පුරාවිද්‍යඥයින්හට විශ්ව විද්‍යාලයේදී පළමු වසරේ සිටම ඉගැන්වීමයි කල යුත්තේ. එවිට ඔවුන් මේ විෂය කරුණු පිළිබඳව හොඳින් දැනුවත් වේවි. ලෝකයේ පුරා විද්‍යාව වේගයෙන් ඉදිරියට යන්නේ විද්‍යත්මක භාවිතයත් සමගයි. ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ආපස්සට යාමයි. කනගාටුවට කරුණ නම් ඔවුන් විද්‍යාව වෙතින් පලා යමින් සිටියි. 


 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 3 June 2020


භූ සංචාරිතය 12
This article is originally published on Vidusara, 03.06.2020.


මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයට ගොහින් බැලුවහොත් අපට පැහැදිලි වෙන කාරණය තමයි ගල්ගුහා ගැන මිනිසුන්ගේ තියෙන අධික උනන්දුව සහ සැබෑ අවධානය මොකක්ද කියන එක. හැබැයි ඒ ඔය කියන අඳුරු ගල්ගුහා ගැන නම් නොවෙයි. ඔවුන්ගේ අවධානය යොමු වුනේ ආලෝකමත් වූ ගල්ගුහා වලටයි. ඇත්තෙන්ම ගල්ගුහා අඳුරු නැහැ. බලන කෝණය සහ පුද්ගලයා අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මටනං ගල්ගුහා සියල්ල ආලෝකමත්. ඒ තුල බොහෝ දේ බලන්න තියෙනවා. සචේතනිකව දකින්න තියෙනවා. 


මේ ගමන මාගේ භූ සංචාරිතය විස්තර කරන්නේ මාගේ දෙවන ගල්ගුහා අධ්‍යනය ගැන. 2010 වසරේදී පමණ මා ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ගල්ගුහා වර්ගිකරණය තුලින් මෙරට වූ විවිධ ආකාරයේ ගල්ගුහා ගැන අධ්‍යනයට ලක් කළා. ඒ අනුව අපට ගල් පියැසි (rock shelters) හමුවෙන අතර මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ගල් පියැසි බව අමතක නොකළ යුතුය. මාගේ පර්යේෂණ සගයන් සමහරක් මාගේ මතයන් ගැන එකඟ නොවනවා වෙන්නට පුළුවන. මාගේ වර්ගීකරණය තුල හමුවන සත්‍ය ගල්ගුහා සැමවිටම පිහිටන්නේ භූ අභ්‍යන්තරයේ. මතුපිට පිහිටන ගල්පියැසි වර්ග දෙකකි. බෝල්ඩර පියැසි සහ මවු පාෂාණමය පියැසි යනු ඒ දෙවර්ගයයි. මින් වඩා බහුලව හමුවන්නේ බෝල්ඩර පියැසියි.


කැළණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මහාචාර්ය ගාමිණි අධිකාරි මහතාගේ මූලිකත්වයෙන් වාරණ රජමහා විහාරයේ කරන ලද ගල්ගුහා කැනීමේ පාංශු නියැදි භූ පුරාවිද්‍යාත්මකව අධ්‍යනය කරන්නැයි කරන ලද ඉල්ලීම මා බොහෝ කැමැත්තෙන් භාරගනු ලැබුවේ මේ තුලින් ශ්‍රී ලාංකේය පුරා විද්‍යාවට ඉතා වටිනා කරුණු සම්භාරයක් එක් කල හැකි බැවිනි. අද වගේම තමයි එදත් ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයින් අතලොස්සකට තමයි භූ විද්‍යාව තම පර්යේෂණ වලට එක් කර ගත යුතුයි කියලා අදහසක් තිබුනේ. ඉන් එක්කෙනෙක් තමයි මහාචාර්ය ගාමිණි අධිකාරි මහතා.  


පුරා විද්‍යාවට භූ විද්‍යාව අතවශ්‍ය විෂයක් බව අප මතක නොකළ යුතුයි. කනගාටුවට කරණය නම් මේ ඉතා වැදගත් විෂය අද ශ්‍රී ලාංකේය පුරා විද්‍යා විෂය ධාරාව තුල ශිෂයින්ට උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නම් ඒ ප්‍රධාන විෂයක් ලෙස නොව තවත් අවශේෂ විෂයක් ලෙස පමණි. රජරට විශ්ව විද්‍යාලය පමණක් අවසන් වසරේ සිසුන්හට එම අවස්තාව ලබා දීම ඉතා හොඳ ප්‍රවණතාවක් බව සඳහන් කල යුතුය. මේ පිළිබඳව ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අධ්‍යන කල යුතුයි. එපමණක් නොව ඒ සඳහා වහා පියවර ගත යුතුයි. භූ විද්‍යාත්මක සංකල්ප පුරාවිද්‍යාවේ සෑම අංශයකදීම උවමනා වන බව මෙහි ලා සඳහන් කල යුතුයි. ඔබ කැණීමක් කල ද, ගවේෂණයක් කල ද සංරක්ෂණයක් කල ද ඒ සඳහා භූ විද්‍යත්මක සංකල්ප යොදාගත හැකි අවස්ථා බොහොමයකි. එමගින් පුරාවිද්‍යාවේදී පැන නගින ගැටළු නිරාකරණය කරගැනීමට අවශ්‍ය භූ විද්‍යත්මක දැනුම ලැබෙන බව අමතක නොකළ යුතුය. 


කැනීම් සිදුකරන්නේ පොලොවෙහිය. නැතහොත් භූ පරිසරයෙහිය. පුරාවිද්‍යාඥයින්හට වැදගත් වන්නේ මතුපිට ස්තරය වසාලන අවසාදිත තට්ටුවයි. එය යම් කිසි භූ ක්‍රියාකාරකමක් හේතුවෙන් තැන්පත් වූවක් වන අතර ඒ අතර තැන්පත් වන්නේ මානවයාගේ ක්‍රියාකාරකම් වේ. එම සාක්ෂි විවිධ ලෙස මෙම පාංශු දේහයන් තුල තැන්පත් වන අතර භූ පුරා විද්‍යාවේදී සිදුකරන්නේ මෙම සාක්ෂි සියුම් භූ විද්‍යාත්මක සංකල්ප සහ ක්‍රමවේද මගින් විශ්ලේෂණය කර සත්‍ය කරුණු මතු කර ගැනීමයි. මානව සංස්කෘතික ලක්ෂණ රැගත් මෙම අවසාදිත තැන්පතු “සංකෘතික අවසාදිත” ලෙස හෝ “පුරාවිද්‍යාත්මක අවසාදිත” ලෙස හැදින්විය හැක. 


සංස්කෘතික අවසාදිත ස්ථර බොහෝවිට කෙලවර වන්නේ ගැඹුරේ ඇති ස්ථානීය පාංශු ස්ථර අසලිනි. ස්ථානීය පාංශු ස්ථර යටින් වූ පාෂාණයේ ජිර්ණයේ ප්‍රතිඵලයකි. ඉන් ඔබ්බෙන් වූ ජිර්ණිත පාෂාණය කෙලවර වන්නේ නැවුම් මවු පාෂාණය ළඟින්. අවසාදිත තැන්පතුවක් සැමවිටම කිසියම්ම හෝ පැරණි කාලගුණික විපරියාසයක සාක්ෂියක් සහිතය. පුරාවිද්‍යාඥයින්හට වැදගත්වන්නේ මෙම අවසාදිත තැන්පතු පමණකි. ඉන් ඔබ්බට කැනීම් කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැත. එනිසා ඔවුන්හට පස් සහ අවසාදිත පිලිබඳ වූ භූ විද්‍යත්මක දැනුම ඉතා වැදගත් වේ. එසේ දැනුමක් නොමැති තැනැත්තන් කල නිෂ්ප්‍රයෝජන කැණීමකි, පාහියන්ගල ගල් ගුහාවේ කර ඇති කැනීම. එය නිස්කාරණේ මුදල් අපතේ යැවීමකි. ඒ පිළිබඳව අප වෙනම දවසක සාකච්චා කරමු.


වාරණ කැනීම කරන ලද්දේ ගල් පියස්සක් යට තැන්පත් වූ අවසාදිත තැන්පතුවකයි. ගුහා තැන්පතු සකස්වන්නේ ඉතා සුවිශේෂී ආකාරයකටයි. බොහොමයක් අවසාදිත තැන්පත් වන්නේ සුළං මගින් වන අතර මේවා වාලුකා අවසාදිත තැන්පතු ලෙස හැඳින්විය හැක. ඉතා සියුම් ඛණිකා රැගත් මෙම පාංශු තැන්පතු අධ්‍යනය ඉතා අපහසුය. තන්පතුවේ සොබාවය ගල්ගුහාව පවතින පරිසරය සහ ගල්හාගුහාවේ ප්‍රමාණය මත ද එයට අමතරව බාහිර බලවේග මත ද වෙනස් විය හැක. ඉතා විශාල නොවූ තරමක් කුඩා තුන්පැත්තකින්ම නිරාවරණය වූ මෙම ගල් පියැස්ස දෙතුන් දෙනෙකුට පමණ සෙවණ දිය හැකි ස්ථානයකි. මෙම ගල්ගුහාවට ලැබෙන බාහිර බලපෑම් වැඩි අතර එනිසාම මෙහි තැන්පත් වූ අවසාදිත ඉහත කී අකාරයේ තැන්පතු වලින් තරමක් වෙනස් බව පෙනී යයි. බොහොමයක් අවසාදිත තරමක් මධයම් ප්‍රමාණයේ ඛණිකා රැගත් අවසාදිත වන අතර ඛණිකා වල කෝණාකාර හැඩය පෙන්නුම් කරන්න මද දුරක් ගමන් කල හෝ එසේ නොමැති හෝ  අවසාදිත ඛණිකා බවයි. ඉතා බහුල ලෙස මුණ ගැහෙන හිමටයිට් ඛණිකා (තෙල් බොරළු) පැහැදිලි කරන්නේ වරින් වර පැවතී කාලගුණික තත්වයේ වෙනස් වීමයි. තෙත් පරිසරයක ලක්ෂණ පෙන්නුම් කරන මෙම අවසාදිත හා බහුලව ප්‍රථමික මට්ටමේ ශිලා මෙවලම් මෙන්ම එක් ස්තරයක කලවමේ ශිලා මෙවලම් සමග වලන් කැබලිති ද හමු වේ. 


කලකදී මෙරට පුර විද්‍යාඥයින් මෙවැනි ස්ථර අර්ථකථනය කරනු ලැබුවේ නොවැදගත් කෘත්‍රිමව (මානවයා විසින් පසු කලෙක) කලවම් වූ අවසාදිත ලෙසයි. නමුත් මෙම ස්තරය ඉතා වැදගත් සංස්කෘතික පරිණාමයක අතරමැදි අවස්තාවක් ලෙස හඳුන්වයි. පස්චාත් මෙසොලිතික යුගය ලෙස හඳුන්වන මෙම යුගය පිළිබිඹු කරන අවසාදිත තැන්පතු හුදෙක් නොවැදගත් යැයි ඉවත්කළ අවස්ථා ගැන මෙරට පුරා විද්‍යා කැනීම් ඉතිහාසයේ හමුවන බව සමහර ඇත්තන් පවසනු මට ඇසී ඇත. 


කෙසේ වෙතත් අපගේ අධ්‍යනයන් අනුව මෙම ස්ථානය මානවයා තාවකාලිකව පරිහරණය කරන ලද ස්තානයක් බව ඔප්පු වූ අතර ඉතා අනර්ඝ ලෙස ස්ථර වෙන් කිරීම සහ අනෙකුත් අර්ථකතනයන් සඳහා භූ විද්‍යත්මක සංකල්ප යොදාගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රථම වතාවට ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා පර්යේෂණ ඉතිහාසයේ භූ විද්‍යාත්මක සංකල්පයක් වන පාංශු ඛණිකා විශ්ලේෂණය ද අංගාර අංශු විශ්ලේෂණය ද මේ සඳහා යොදාගත් බව සඳහන් කල යුතුය. මෙම විශ්ලේෂණ ඇසුරු කරමින් 2009 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන ලද පර්යේෂණ සැසියේදී (Volume 2, pp 45-57) ම විසින් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ඇතුළු ජෙය්ෂ්ට පුරාවිද්‍යාඥන් සමුහයක් හමුවේ ඉදිරිපත් කලද බොහෝ දෙනෙකු මේ තුල වූ විද්‍යත්මක පැහැදිලි කිරීම සහ සොයා ගැනීම අවබෝධ කර ගත්තේ නැත. එය ඉතා කණගාටුවට කරුණක් වන අතර එවන් තත්වයක් හමුවේ මා තේරුම් ගත්තේ භූ පුරා විද්‍යාව කෙසේ වෙතත් මෙරට පුරා විද්‍යාවේද ප්‍රගමණය අඳුරු බවයි. එය හුදෙක්ම සිතුවිල්ලක් නොවන බව සමහරු පුරා විද්‍යාත්මක සන්දර්භය තුල භූ විද්‍යත්මක කරුණු කාරණා ගැන ලබා දෙන අර්ථකථන අනුව අද පැහැදිලි වෙන බව මෙහි ලා පැවසිය යුතුය. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ






















Thursday 28 May 2020


භූ සංචාරිතය 11

This article is originally published on Vidusara, 28.05.2020.


එක වසංගතයක් ඉවර වීගෙන එන කොට ඔන්න තවත් ආපදාවක් මෙරටට ඔලුව දාන්න පටන් අරං. නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. දැනට පවතින්නේ අවුෆන් කුණාටුව නිසා ඇති වූ තත්වයක්. ඒ නිසා තමයි අධික වර්ෂාව නිසා නාය යාමේ තර්ජනය ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා රත්නපුර වගේම කෑගල්ලෙත් මිනිසුන් කිහිපදෙනෙක් මරණයට පත් වුනා. නිරිත දිග මෝසම තමයි ශ්‍රී ලංකාවට නාය අනතුර ඇතිකරන්නට මුලිකම සහ ප්‍රධානම වෙන කාලගුණික විපරියාසය වෙන්නේ. ඒ කියන්නේ මේ මගින් තමයි වැඩිපුරම බලපෑමක් එල්ල කරන්නේ. මධ්‍යම කඳුකරයේ පිහිටි දිස්ත්‍රික්ක වන කෑගල්ල, රත්නපුර, කළුතර, මහනුවර, නුවරඑලිය, බදුල්ල වගේ දිස්ත්‍රික්ක මෙනිසා තමයි ආපදාවට ලක් වෙන්නේ. නාය ආපදාව ප්‍රධානම වශයෙන් කරළියට එන්නේ අසූව දශකයෙන් පස්සේ. ඒකට ඇත්ත වශයෙන්ම ප්‍රධානම හේතුව වන්නේ අවිධිමත් වේගවත් කඳුකර සංවර්ධනය. තවමත් මේ තත්වය තේරුම් අරන්, මේ සම්බන්ධව වගකිව යුතු ආයතන අදාළ ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මට හිතෙන්නේ ඔවුන්ට බාලගිරි දෝෂය හැදිලද කොහෙද. 


නාය යාමක් කියන්නේ ඇත්තෙන්ම සොබාවික සංසිද්ධියක්. පාෂාණ ජිර්ණයේ අතුරැ ප්‍රතිඵලයක් නිසා තමයි නාය යාම් සිදුවන්නේ. පාෂාණ ජීර්ණය මිනිසුන්ට නවත්තන්න පුළුවන් භූ සංසිද්ධියක් නොවෙයි. පෘතුවිය මතුපිටට එන හෝ තියෙන ඕනෑම දෙයක් අත්‍යන්ත ලෙසම ජීර්ණයට නතු වෙනවාමයි. හැබැයි මේ සොබාවික සංසිද්ධිය අද වෙනකොට ජනතාකරණයට ලක් වෙලා ඉවරයි.  ඒ කියන්නේ අද වෙනකොට නාය ඇතිකරන ප්‍රධාන සාධකය වෙන්නේ මිනිසුන් සහ ඔවුන්ගේ අත්තොනෝමතික ක්‍රියාදාමයන්. මිනිසුන් බලාපොරොත්තු වූ වේගවත් කඳුකර සංවර්ධනයත් සමගම ඒ  වේගයෙන්ම නාය අනතුරත් අත්වැල් බැඳගෙනම අප ලඟට ඇවිත්. 


භූ සංචාරිතයේ මාගේ පළමු නාය අත්දැකීම් ලබන්නේ මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී යි. ඒ කාලයේ සක්‍රිය වූ කොස්ලන්ද නාය බලන්නට විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව හැදෑරු සියලු දෙනාම රැගෙන බසයක් පිටත් වූ බව මට මතකයි. සැහෙන කාලයක් ගත කරමින් අදාළ ස්ථානයට පැමිණි අප සිත් සේ කොස්ලන්ද නාය අධ්‍යනය කොට ඉතා සවස් වී නැවත ආපසු පිටත් වුවා ද මතකයි. දෙවනියට මේ අත්දැකීම ලබන්නේ මා තුන්වන වසරේ අවසාන භාගයේ ඉගෙන ගන්නා සමයේ මාගේ කර්මාන්ත පුහුණුව සඳහා ලත් අවස්තාව හේතුවෙන්. මා ඒ සඳහා සම්බන්ධ වෙන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් පිළිබඳව අධ්‍යනය කරමින් සිටි පිළිමතලාවේ පිහිටි ක්ෂේත්‍ර කාර්යාලයටයි. ඒ 1999 දීය.  එකල ඔවුන් නාය ආපදා සිතියම් නිර්මාණය කරන්නට අවශ්‍ය අධ්‍යනය කටයුතු කරමින් සිටියේ. ක්ෂේත්‍ර කාර්යාලයේ ප්‍රධානියා හිටපු අධ්‍යක්ෂක ආර්.එම්.එස්. බණ්ඩාර මහතා. ඒත් සමග ජයතිස්ස මහතා (වර්තමාන අධ්‍යක්ෂක, නායයම් පර්යේෂණ සහ අවධානම් කළමනාකරණ අංශය), සෝමරත්න මහතා, කිත්සිරි බණ්ඩාර මහතා මෙන්ම ධර්මසේන ඉංජිනේරු මහතාත් එහි සේවය කළා. මේ ක්ෂේත්‍ර කාර්යාලය තමයි පසුකලෙක එම ආයතනය තුල නායයාම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශය ලෙස ස්ථාපනය වෙන්නෙත්. ඉහත සම්බන්ධ කණ්ඩායමේ අප්‍රතිහත ක්‍රියාකාරිත්වය නිසා තමයි මේ වනවිට ශ්‍රී ලංකාව තුල නායයාම් පර්යේෂණ සඳහා  යම්කිසි ආකාරයකට රාජ්‍ය මැදිහත් වීමක් සිදුවන්නට හේතුවන්නෙත්. ඒ වාගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් පර්යේෂණ සඳහා මෙරට වගකිවයුතු ආයතනය වන්නේත්, මෙවැනි ආයතනයක් මෙරටේ ඇති බව වැසි කාලයේ දී හෝ ජනතාවට මතක් කර දෙන්නෙත් මෙනිසායි.  ඒ වාගේම එදා මේ දියුණුවට කකුලෙන් ඇදපු මිනිසුන්ගේ යාවජීව ජිවන මාර්ගය බවට මෙය අදවෙනවිට පත් වී ඇත්තෙත් මේ කණ්ඩායමේ උසස් ක්‍රියාකාරිත්වය නිසා බව ද මෙහිලා සඳහන් කල යුතුය. බොහෝ දෙනෙකු මේ පිළිබඳව නොදන්නවා වෙන්නට පුළුවන් වාගේම මේ ගැන දන්නා සමහර කුහක මිනිසුන් ඒ බව පවසන්නට ද මැලිවන බව මෙහි ලා සඳහන් කිරීම වටී


ක්ෂේත්‍ර කාර්යාලය ඇත්තෙන්ම මා හට ඉතා අපූරු තැනක් වුවා පමණක් නොව බොහොමයක් අත්දැකීම් ලබා ගන්නට ද තෝතැන්නක් විය.  නාය ආපදා කලාප සිතියම් පිළිබඳව මූලික අඩිතාලම ලබා ගන්නට මෙන්ම නාය යාම් සම්බන්ධව නවතම තොරතුරු සමග යාවත්කාලින වන්නට ද මා ලද මේ අවස්තාව බොහෝ උපකාරී වුවා. අවස්ථා කිහිපයකදී මේ දැවැන්තයන් සමග ක්ෂේත්‍ර චාරිකා වල නිරත වන්නට ද මා හට අවස්තාව හිමි විය. ඒ අතුරින් නැවත කොස්ලන්ද නාය අධ්‍යනය සඳහා සහභාගී වන්නට ද මා හට හැකිවිය. ඒ කොස්ලන්ද නාය නිසා විනාශ වූ කොස්ලන්ද වැල්ලවාය පාරේ මෙම ස්ථානයේ වූ පාලම නැවත ස්ථාපනය සඳහා අවශ්‍ය අධ්‍යන කටයුතු වලට. එක් දිනක් මෙම අධ්‍යනයන් සඳහා මදි වූ හෙයින් කොස්ලන්දේ අපහට නවතින්නට සිදු වූ අතර එකල අද මෙන් නවතින්නට පහසුකම් සොයා ගැනීමට පහසු වූයේ නැත. එනිසා අපහට නවතින්නට සිදු වුයේ නාය අසලම පාර අද්දර වූ හානියට පත් නොවූ නිවසකි. මේ නිවාස අසලින්ම නාය ගොස් තිබුනද නිවසට හානියක් වී තිබුනේ නැත. එමෙන්ම නැවත හානිය වේයැයි සිතිය හැකි තත්වයක තිබුනේද නැත. එනිසා සියලු දුෂ්කරතා මධ්‍යයේ මෙහි නවතින්නට තීරණය කළෙමු. සීතලද යහමින් තිබු නිසා ලද කුඩා කාමරය ප්‍රමාණවත් විය. බතුත්, කිරි අල වෑන්ජනයකුත් සමගින් රාත්‍රී ආහාරය සප්පායම් වී අප නින්දට ගියේ පසුදාද සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් නිම කරන්නට තිබු බැවිනි. 


මේ අත්දැකීම තරමක් හොඳ මට්ටමේ අත්දැකීමක් වුවත් මෙවැනි චාරිකා වලදී සැමවිටම මෙවැනිවත් පහසුකම් නොලැබු බව මේ කණ්ඩායමේ සාමාජිකයන් සැමවිටම පවසන දෙයක් විය. බොහෝ විට පන්සලක බණමඩුවක් ඔවුන්ගේ රාත්‍රී නවාතැන් පොළ විය. එවැනි තැන් සඳහා ඔවුනට යොමුවන්නට සිදුවන්නේ නවාතැන් සඳහා මිල මුදල් වෙන් නොකර ඇති තත්ත්වයකයි. නමුත් ඒ දුෂ්කරතා සියල්ල විඳ දරා ගනිමින් අද පවතින තත්වයට නාය පර්යේෂණ සහ අධ්‍යන පත්කරන්නට ඔවුනට හැකි වීම ඉතා අගය කල යුත්තකි. 


මෙය කදිම ආදර්ශයක් වන්නේ වායුසමනය කල වහනයක් මෙන්ම ඉතා හොඳ තත්වයේ ආහාර සපයන හොඳම වර්ගයේ හෝටල නොමැති නං ක්ෂේත්‍ර චාරිකා ප්‍රතික්ෂේප කරන භූ විද්‍යාව ගැන කිසිත් නොදන්නා එපමණක් නොව නාය ආපදාව පිළිබඳව ද තොලේ කටේ පමණක් ගාගත් දැනුම් ඇති තනතුරට පමණක් වූ එහෙත් තමන් විද්‍යාඥයින් යැයි හඳුන්වා ගන්නා නව පරපුරේ කෝලම්කාරයන්ටයි. මුලික සිද්ධාන්තවත් නිසි පරිදි නොදන්නා මොවුන් මෙවන් වූ කදිම අත්දැකීම් ඇත්තන්ටහට විටෙක කරනා අභියෝග ඉතා විහිළුජනක බව ඔවුන්ට නොතේරීම පුදුමයක් නොවන බව මේ තත්වය හමුවේ පැහැදිළිය. වර්තමානයේ නාය යාම් පර්යේෂණ සඳහා යොමුව ඇත්තන් තමන් අධ්‍යනය කල විෂය පථය පිළිබඳවවත් නිසි අවබෝධයක් නොමැත්තන් බව ඉතා අපුරුවට පෙනී යන කරුණක්. බල්ලාගේ කාරිය බූරුවා නොකළ යුතුය. එවන් තත්වයක් හමුවේ ඉදිරියේදී මෙරටේ නාය ආපදා පර්යේෂණ කොයි අතටකට යොමු වේදෝයි මහත් සැකයක් මා හට මතු වෙයි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ






















Friday 27 March 2020

මොකක්ද මේ කොරෝනා?
This article is originally published on Divaina, 27.03.2020.

කොරෝනා වෛරසය මගින් ඇතිවන්නා වූ රෝගය හඳුන්වන්නේ COVID-19 ලෙසයි. එය ඇතිකරන වයිරසය හඳුන්වන්නේ SARS-CoV-2 (Severe Acute Respiratory Syndrome Coronavirus 2) ලෙස බව කීයෙන් කී දෙනෙකු නිසි ලෙස දන්නේ දැයි කිව හැකිද? මේ සඳහා හේතුවන්නේ වෛරස නාමකරණයේ සොබාවය අනුවයි. ඒ සඳහා යොදාගන්නා විද්යත්මක ක්රමවේදය අනුව එම වෛරසයට එම නාමය ලැබී තිබේ.

කොරෝනා කල කලබලය
කෙසේ වෙතත් මේ කරදරකාරී වෛරසය ලෝකය පුරා ඇතිකර ඇති කලබලය නිසා බොහෝ දෙනෙකු වල්මත් වී ඇතිබව පැහැදිළිය. බොහෝ රටවල් මේ වනවිටත් මෙම රෝගය නිසා හෙම්බත් වී ඇති බවත් දරුණු ලෙස යම් යම් අපහසුතාවයන්ට ලක්වී ඇති බවත් පැහැදිළිව පෙනී යන කරුණක්. ඉතාලිය මේ වනවිට ඉතා අසීරු තත්වයට පත් වූ රටවලින් එකක්. චීනය කෙසේ හෝ මෙම ආපදාවෙන් ගැලවෙන්නට සමත්වී ඇති බව පෙනී යයි. ඔවුන් පවසන ආකාරයට මේ වන විට නව රෝගීන් වාර්තා නොවන තරම්ය. එයින් පැවසෙන්නේ රෝගයේ ව්යාප්තිය සිමා වී ඇති බවයි.

මාර්තු මාසයේ විසිවන දින වන විට රටවල් 159 ක මෙම තත්වය වර්ධනය වී ඇති බව අලුත්ම වාර්තා පවසයි. ඒ අතරට ශ්රී ලංකාව මෙම අර්බුධයට ඉතා දරුණු ලෙස ලක් වූ දකුණ ආසියාතික රටක් බව පෙනී යයි. ජනවාරි මාසයේ සිටම මේ සම්බන්ධව ආපදා කළමනාකරණ සැලැස්මක් ක්රියත්මක වුවද රාජ්ය පරිපාලනයේ දුබලතා නිසාද සහ එහි වූ සිදුරුද නිසා ඉතාලියේ සිට පැමිණි රෝග වාහකයන් මෙම ආපදාව බරපතල තත්වයට පත්කර ඇති බව නොකියාම බැරිය. එනිසා මෙම පැතිරීම සොබාවික පැතිරීමකට වඩා එහා ගොස් ප්රභල බලපෑමක් ජන සමාජය වෙත ලක් කර ඇති බව අප වටහා ගත යුතුය.

වයිරසයේ විවාදාත්මක උත්පාදනය
මේ SARS-CoV-2 වෛරසය ආරම්භ වුයේ කෙසේද යන්න සොයා බැලීම වටී. දැනට ලැබී ඇති නවතම දත්ත වාර්තා අනුව මෙම වෛරසය සොබාවිකව ව්යාප්ත වූවක් බව එම පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. මින් පෙර ගෝලීය මතය වුයේ කොහේ හෝ රසායනාගාරයක මෙම වෛරසය උත්පාදනය කරන ලද්දක් බවයි. එසේ වූවා නම් ඒ කුමන අවශ්යතාවයක් උදෙසා ද යන්න ද විමසා බැලිය යුතු කාරණයකි. මෙම වෛරසය කරලියට ආවේ චීනයේ හුබෙයි නම් වූ ප්රාන්තයේ වූහාන් නම් වූ නගරයෙනි. එම නගරයේ මාංශ අලවිකරණ වෙළඳ පොළකින් ව්යාප්ත වූවා ද යන්න ඔවුන්ගේ සැකයට තුඩු දුනි. එනම් පළමුව පර්යේෂණයට ලක් කල සතුන්ගේ ශරීර තුල ව්යාප්ත වූ මෙම වෛරසය ක්රමයෙන් මිනිස් ශරීරය ග්රහණය කරගත් බවයි. නමුත් නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ එවැනි ජාන ඉංජිනේරු ශිල්පීය ක්රමයකින් මෙම වෛරසය නිපද වී නොමැති බවයි. එය සනාථ කිරීම සඳහා මෙම පර්යේෂකයන් යොදා ගන්නේ වෛරසයේ ජාන කිටුව වන අතර වෛරසයේ ප්රෝටීන කොපුවේ රසායනය ද මේ සඳහා උපකාරී කරගෙන ඇත. මෙම පර්යේෂකයන්ගේ විද්යත්මක තර්කය අනුව සොබාවික සත්ත්ව ශරීර තුල සොබාවික වර්ණයට ලක් වෙමින් ජාන විකෘතියට ලක්වී මෙම නව කොරෝනා වෛරසය උත්පාදනය වන්නට ඇති බවත් පසුව එය සතුන් හරහා මිනිස් දේහයන් නතුකර ගන්නට ඇති බවත්ය. පැතිරීම සඳහා මානවයාත්, වයිරසයේ ජාන විකෘතිය සඳහා සතුන්ගේ දේහයනුත් (වවුලන්) මෙම වෛරසය භාවිතා කරන්නට ඇති බව මෙම පර්යේෂණ වාර්තා සංක්ෂිප්ත කරයි.

කොරෝනා පවුලේ වයිරස...
මේ වනවිට සොයාගෙන ඇති තතු අනුව කොරෝනා යනු තනි වෛරසයක් නොව එය වෛරස ගණනාවකින් සමන්විත පවුලක් බව සඳහන් වේ. කොරෝනා පවුලේ වෛරස පොදුවේ ක්ෂීරපායින් සහ කුරුල්ලන් කේන්ද්ර කරගෙන රෝග ඇතිකරන බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරස ඇතිකරන ලෙඩ රෝග වල සුවිශේෂීතාවය වන්නේ එමගින් ප්රධානම බලපෑම ඇතිකරන්නේ ස්වසන පද්ධතියට වීමයි. මේ නිසා සමහර විට සුළු අසනීප තත්වයක්, හරියට අපට හැදෙන සෙම්ප්රතිශ්යා තත්වයක් මෙන් විය හැකි වුවද සමහර වෛරස නිසා නිව්මෝනියාව වැනි අපහසුතා ඇතිකරමින් මාරාන්තික තත්වයන් ඇති කරන්නට හැකි බව විද්යාඥයින් සොයා ගෙන ඇත. සතුන් තුල ඇතිකරන සංකූලතා වෙනස් විය හැක.

මෙවැනි මාරාන්තික තත්වයන් මෙයට පෙර අවස්ථා කිහිපයකදීම මෙම වෛරසයන් විසින් ඇතිකර ඇත. 2002 නොවැම්බර් මාසයේ සිට 2003 ජූලි මාසය තෙක් චීනයේම යුනාන් ප්රදේශයේම ව්යාප්ත වූ SARS වෛරසය නිසා ලොව පුරා රටවල් 17 කින් මරණ 774 වාර්තා කරන්නට හේතු විය. එහි මරණිය තත්වය 9.6% විය. පසුව අනාවරණය වූයේ මෙය ද මිනිසාට පැතිරෙන්නට හේතු වී ඇත්තේ වවුලන් සහ චීන උරුලෑවන්වැනි සතුන් මගින් බවයි. මේ නිසා ඉතා දරුණු ලෙස චීනය ද හොන්කොන් රාජ්යය ද වසංගත තත්වයෙන් පිඩා විඳි බව අමතක නොවේ. 2004 වන තෙක් මෙම වෛරසයේ ක්රියාකාරිත්වය වාර්තා නොවූ බව සඳහන් වෙයි. ඒ හා සමාන වෛරසය වන SARS CoV-2 කරලියට එන්නේ පසුගිය වසරේ දෙසැම්බර මාසයේ සිටයි.
2012 අප්රේල් මාසයේ ජෝර්දානයෙන් මතු වූ “ඔටු උන” (MESR- Middle East Respiratory Syndrome) ද ඇතිකරන්නට හේතුවන්නේ මෙම කොරෝනා පවුලේම වෛරසයකි. මෙම තත්වය එම වසරේම සැප්තැම්බර් මාසයේ දී වසංගතයක් ලෙස සවුදි අරාබියාවෙන් පැතිරුණ අතර මෙම වෛරසය 2015 දී දකුණු කොරියාවේ වසංගත තත්වයක් නිර්මාණය කරවීය. මෙම රෝගී තත්වය නිසා ආසාදිතයින්ගෙන් තුනෙන් එකෙක් පමණ මරණයට පත් විය. ඔටු උන ඇතිකළ MERS- CoV වෛරසය ද වවුලන්ගෙන් ඇතිවුන බවට සැකකරන අතර මැදපෙරදිග ඔටුවන් රෝග වාහකයන් ලෙස ක්රියාකරන්නට ඇති බව විද්යාඥයින් විශ්වාස කරයි.
ඉහත සඳහන් කල වෛරස තුනත් සමග තවත් වෛරස හතරක් මේ වන විට කොරෝනා පවුලෙන් උත්පාදනය වී ඇති අතර පසුව සඳහන් කරන වෛරස හතර එතරම් කලබලකාරී තත්වයන් ලෝකයාට ඇතිකර නැත. එනිසා එමගින් දරුණු වසංගත තත්වයන් ඇති වී නොමැත.

කොරෝනා වෛරසයේ හැටි කොහොමද ?
කොරෝනා යන නාමය ලැබී ඇත්තේ වෛරසයේ ඉතා අපූරු පිටත කොපුවක්/කවරයක් ඇති නිසා බව පැවසේ. එම කොපුවේ ඉහලට එසවුන කුඩා ගෝලාකාර කුළුණු වැනි අවයව නිසා යම් දරුණු පෙනුමක් මෙන්ම අලංකරණයක් ද එක් වී ඇති බව පෙනී යයි. මෙනිසා ගෝලාකාර වෛරසය ඔටුන්නක් වැනි ස්වරුපයක් ගෙන ඇති බව පවසන විද්යඥයින් මෙම ‘කොරෝනා’ යන නාමය එනිසා මෙම වෛරසයට පට බඳින ලද බව පවසයි. ‘කොරෝනා’ යන නාමය ලතින් භාෂාවෙන් පවසන්නේ ‘ඔටුන්න’ යන්නයි. කොරෝනා වෛරසයේ ප්රමාණය නැනොමිටර 120 ක් පමණ වෙයි. නැනෝ මීටරයක් යනු මීටරයකින් බිලියනයකින් පංගුවක් පමණ වේ.

කොරෝනාවත් අනෙකුත් සෑම වෛරසයක් මෙන්ම පිටත කොපුවකින්/කවරයකින් සහ ඇතුලත ජාන අඩංගු වර්ණ දේහ දාමයකින් සමවිත වෙයි. මෙම වර්ණදේහ දාමය සමන්විත වන්නේ සුවිශේෂී ප්රෝටිනයක් හා වෙලුණ ආර්.එන් ඒ (RNA) නමින් හැදින්වෙන නියුක්ලෙයික් අම්ල දාමයකිනි. සෑම කොරෝනා වෛරසයකම අඩංගු වන්නේ මෙවන් වූ සංයුතියක් වන අතර විද්යඥයින් පවසන අන්දමට ප්රභල වසංගතයන් නිර්මාණය කරන්නේ ද මෙයට සමාන වූ වර්ණදේහ සංයුතියක් ඇත්තවුන් විසිනි.
බාහිර කොපුව පිහිටන්නේ ඇතුලතින් පිහිටි ද්විත්ව ලිපිඩ ස්තරයක මත වන අතර පිටත කවරය තව තව අලංකාර වන්නේ වෛරසයේ ප්රෝටීන වලින් නිමැයුනු ගෝලාකාර කුළුණු මගිනි. මේ ලිපිඩ ස්ථරය මෙන්ම පිටත කවරයද බොහෝවිට නිර්මාණය කර ගන්නේ අවසාදිතයාගේ සෛලයක සෛල පටලයකිනි.

සෑම වෛරසයක්ම මෙහෙමද ?
සෑම වෛරසයකම ස්වරුපය සහා ව්යුහය සරලව බොහෝ දුරට මේ ආකාරයෙන් වෙයි. ඉහත කී ලෙස එහි ලෙස ප්රධාන අංග දෙකකි. පළමුවැන්න ඉහත සඳහන් කල බාහිර කොපුව සහ දෙවැන්න වන්නේ ඇතුලත ජාන අඩංගු වර්ණදේහ වැනි දාමයකිනි. මේ තුල වෛරසයේ සියලු තොරතුරු අඩංගු වන අතර එමගින් වෛරසයේ පැවැත්ම පාලනය කරනු ලබයි. මේ වර්ණදේහ දාමය සමන්විත වන්නේ ප්රෝටීන වලින් සහ DNA නම් වූ නියුක්ලෙයික් අම්ල වලින් හෝ RNA නම් වූ නියුක්ලෙයික් අම්ල වලිනි.
වෛරස සජීවී ජීවින් කොටසක් ලෙස විද්යාඥයින් විසින් සලකන්නේ නැත. මන්දයත් ජීවි දේහයක් පිටත දී එහි සියලු ක්රියාකාරකම් අකර්මන්ය වන බැවිනි. වෛරසයේ සියලු ක්රියා සජීවී ලෙස පටන් ගන්නේ සජීවී ජීවි දේහයක් තුලට ඇතුල් වූ පසුවයි. එනිසා මේ වෛරස විද්යාඥයින් විසින් හඳුන්වන්නේ මරණයේ එළිපත්තේ සිටිනා ජීවී ද්රවයන් ලෙසයි. සෑම වෛරසයකම බාහිර කොපුවේ ඇත්තා වූ රූපකාය මත එහි ස්වරුපය වෙනස් වන අතර බොහෝවිට සෑම ගුණනයකින් පසුවම එය ඒකාකාරී ලෙස පවත්වා ගනී. නමුත් මේ තත්වය AIDS වෛරසයේ දක්නට නොමැති අතර එය සජීවී දේහතුල ගුණනය වන වාරයක් පාසා තම බාහිර රූපකාය වෙනස්කර ගන්නට වග බලා ගනී.

සෑම වෛරසයකම හැඩය ආවරණය වූ ගෝලාකාර හැඩයක් නොගන්නා අතර මෙම හැඩයට අමතරව තවත් ප්රධාන හැඩ තුනක් හඳුනගෙන ඇත. එක හැඩයක් වන්නේ බහුඅශ්රකාර හැඩයයි. අනෙක් හැඩය දණ්ඩාකාර වන අතර හතරවැනි හැඩය වන්නේ රොකට්ටුවක් වැනි

වෛරසයේ ගුණනය ?
සජීවී දේහ තුලට ඇතුළුවන මෙම වෛරස තම වර්ගයා බෝ කරන්නට පටන් ගනී. එය ගුණනය ලෙස හඳුන්වයි. මේ සඳහා අවශ්ය පෝෂණය සහ ශක්තිය ලබා ගන්නේ අවසාදිත ධාරකයගෙනි. සියයට සීයක් පරපෝෂී ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරස වල ක්රියාකාරිත්වය නිසා ධාරකයාගේ දේහ සෛල විනාශවන්නට පටන් ගනී. මෙම ගුණන ක්රියාදාමය සඳහා ශාක දේහ මෙන්ම සත්ත්ව දේහ ද විවිධ වෛරස විසින් යොදා ගන්නා බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

කොරෝනා වෛරසය මෙන්ම සෑම වෛරසයක්ම බොහෝ විට සමාන ක්රියාදාමයක් තම ගුණනය සඳහා යොදා ගනී. ධාරක දේහය තුලට ඇතුළුවන වයිරසය ධාරක සෛල සිදුරුකර තම ජාන අඩංගු ද්රවය ධාරක සෛලය තුල නික්ෂේපණය කරනු ලබයි. ධාරක සෛලය තුලට ඇතුළුවන මෙම ද්රව්ය ලෙහෙන්නට පටන් ගන්නා අතර ප්රෝටීන හා බැඳී තිබු ජානමය ද්රව්ය ධාරක සෛලයේ සෛලය ප්ලස්මයට නිදහස් වෙයි. සෛල ප්ලාස්මයට නිදහස් වන DNA හෝ RNA තම දුහිතෘන් තැනීම සඳහා අවැසි වන ද්රව්ය එක් රස කර ගන්නට හා නිපද වන්නට පෙළඹෙන අතර තම ජාන කිටුව පිටපත් කර දුහිතෘ ජාන කිටු නිපදවා ගනී . නිපද වූ ප්රෝටීන් හා එක්ව මේ ජාන කිටු වර්ණදේහ හා සමාන ජානමය ද්රව්ය ඇතිකරන අතර ඒ වටා ආරක්ෂිත බාහිර කොපුව නිමවා ගනී. මෙලෙස පරිපුර්ණ වූ දුහිතෘ වෛරස විශාල ප්රමාණයක් ධාරක සෛලය තුලින් සෛල පටලය බිඳගෙන එලියට පැමිණෙයි. එය ධාරක සෛලයේ විනාශයට හේතු වෙයි.

මෙම වෛරස ගුණනය සඳහා ශක හා සත්ත්ව සෛල පමණක් නොව බැක්ටීරියා වැනි කුඩා ක්ෂුද්ර දේහ ධාරීන් පවා තම ධාරකයා කර ගන්නා අවස්ථා වාර්තා වෙයි.

වෛරස ඇති වූයේ කෙසේද?
විද්යඥයින් පවසන් අන්දමට වෛරසයේ මුලාරම්භය මතබේදාත්මකයි. සමහර විද්යාඥයින් කියා සිටින්නේ ලොව ආරම්භයේ සිටම මෙම වෛරස ඉඳ ඇති බවයි. එක් තර්කයකට අනුව මුල්ම ජීවින් වන්නේ මෙම වෛරසයි. අකාබනික සංයෝග එකතු වී සාගර පත්ලේ ඇති වූ කාබනික සංයෝග සංගමයෙන් මෙම වෛරස ඇතිවන්නට ඇති බව ද ඔවුන්ගෙන් බැක්ටීරියා වැනි ප්රථම ඒක සෛලිකයන් ඇතිවන්නට ඇති බවද තර්ක කරයි.
තවත් විද්යත්මක මතයකට අනුව පැහැදලි වන්නේ විශාල බැක්ටීරියා මත යැපුන කුඩා බැක්ටීරියා නිසා මෙම වෛරස ඇති වූ බවයි. ඒ වාගේම මහා ජිවින්ගේ වර්ණදේහ තුල වූ DNA හෝ RNA දාම වලින් කැඩී වෙන්වූ කුඩා දාම වෛරස ලෙස පරිණාමය වන්නට ඇති බවද තවත් එක් මතයක් පවසයි.

ජීවයේ අරම්භක වකවානුවේ උණුවතුර උල්පත් සහ භූතාප විවර ආසන්නයේ වූ ප්රතිවලිත වන්නන්ගේ සංගමයන් බිහිකරන ලස කුඩා ප්ලස්මාවන්ගේ සිදු වූ පරිණාමය නිසා වෛරස ඇතිවන්නට ඇති බව තවත් එක් මතයක් විස්තර කරයි.

වෛරස ගැන අතීතයේ කල පර්යේෂණ
මේ වන විට වෛරස වර්ග 500ක් පමණ පර්යේෂණ වලින් සොයාගෙන ඇති අතර තව මිලියන ගණනාවක්ම පරිසරයේ ඇති බවයි පැවසෙන්නේ. මුල්ම පර්යේෂණ දියත් කරන්නේ දිමිත්රි ඉවනොවස්කි නම් වූ විද්යාඥයා විසින් 1892 දී රෝගී දුම්කොළ ශාකයේ පත්ර යුෂ සම්බන්ධවයි. එහිදී සුවිශේෂී පෙරනයන් මගින් මෙම කුඩා ක්ෂුද්ර දේහයන් වෙන් කරගන්නා අතර ඒවා වෛරස ලෙස නම් කරන්නේ මාටිනස් බෙයිජෙරික් නම් වූ විද්යාඥයා විසිනි. මෙය වෛරස විද්යාවේ ආරම්භය ලෙස සැලකිය හැකි බව බොහෝ දෙනෙකු සලකයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 26 March 2020



කොරෝනා ගෙට ගත්තද නැතිනං ගෙට ආවද..?

An edited verision of this article has been piblished on Vidusara, 25th March, 2020.



මේ සංචාරය කරන්න කොහොමවත් සුදුසු කාලය නොවෙයි. සංචාරය කරන්න නොවෙයි ඒ ගැන කතා කරන එකත් තේරුමක් නැහැ. මිනිසුන්ගේ සිත් තුල කරන්න බැරි දේවල් සඳහා උන්නන්දුව ඇතිකරන එක වැරදියි. ඒ නිසා මම කල්පනා කළා භූ සංචරිතයෙන් මේ සතියේ සංචාරක සටහන් ලියන එක නවත්තලා මේ දිනවල රටට වෙලා තියෙන සංගදිය ගැන කතා කරන එක හොඳයි කියලා. 

කොරෝනා වෛරසය නිසා ඇතිවෙලා තියෙන රෝගී තත්වයෙන් රටම බැට කන මොහොතක සිදුවෙන සහ සිදුවෙලා තියෙන දේවල් වලින් අපේ සමාජයට බලපාන්නේ කොහොමද යන්න විමර්ශනය ඉතාම වැදගත්. මොකද එමගින් ඇතිවෙලා තියෙන තත්වය සමනය කරගන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට ඇත්නම් ඒ සඳහා මෙවැනි විමර්ශන, විවේචන වැදගත් වේවි. 

වසර දහස් ගනනාවක් තිස්සේ ප්‍රත්‍යක්ෂය මගින් තහවුරු කරගත් ඉතා වටිනා කියනා සිරිත් විරිත් රාශියක් නිර්මාණය කර ගනිමින් ස්ථාවර සමාජ සංස්කෘතියක් හිමිව තිබු ශ්‍රී ලංකික ජන සමාජය බටහිර විද්‍යාවත් ඉන් උත්පාදනය වූ තාක්ෂණයත් නිසා මේ වන විට වල්මත් වූත් අතරමං වූත් ජන කොටසක් බවට පත් වී ඇති බව පැහැදිලි කරුණකි. ආපදා කළමනාකරණ සහ ආපදා අවදානම අවම කිරීම සඳහා අපටම ආවේනික වූ ක්‍රමවේද සකස් කර තිබු මෙවන් වූ ජන සමාජයක් මෙතරම් පසු ගාමී බුද්ධිහීන ජන කොට්ටාශයක් බවට පත් වූයේ කෙසේද. යටත්විජිත සමයේදී අකර්මන්‍ය කරන ලද මෙරට ජන සමාජය අසරණ වූයේ පාරිසරික සම්පත් පරිබෝජනය සිමාකාරී වීම නිසාම නොවන බවත් ඒ සඳහා ප්‍රධානම හේතුව වූයේ මෙරට වටිනා කියනා පාරම්පරික දැනුම් සම්භාරය හිමි මානව සම්පත සමූල ඝාතනයෙන් මෙරටින් තුරන් කිරීම නිසා බවත් මෙහි ලා සඳහන් කල යුතුය. එය මෙරට ජනතාවගේ අක්මුල් ගලවා අන්ත අසරණ අතරමං වූ නිහීන ජන කොටසක් බවට පත් කරන්නට තරම් හේතු වූ බව ඉතා පැහැදිළිය. එවැනි වාතාවරණයක් යටතේ මෙරට වැජබෙන්නට අවස්තාව සැලසෙන්නේ ආත්මාර්තකාමී ලෙස තම ලාභය පසු පසම හඹා ගිය ජන කොටසක් මෙරට මතුවන්නට බවත් ඔවුන්ගේ දිගුව මේ සමාජයේ අද වන විට මෙරට පොරවල් වී ඇති බවත් අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. 

එවන් වූ පරිසරයක් පරිණාමය වෙද්දී ඇතිවන තත්වයට දැන් දැන් අප සියල්ලන්ම මුහුණ දෙමින් සිටන බව තේරුම් ගත යුතුව ඇත. උදාරතර සංකල්ප තුට්ටුවකටවත් මායිම් නොකර හිතුමනාපේ වැඩකරන්නට අවැසි පරිසරයක් නිර්මාණය වී ඇති තත්වයක් තුල කොරෝනා රෝග ආපදා කළමනාකරණය ගැන කතා කරන්නටත් එම ආපදා අවදානම අඩුකරන්නටත් කුමක් කල යුතුදැයි විමර්ශනය කරන්නට සිදු වීම අප ලද මහත් අභාග්‍යයක් බව සිත්හි තබා ගත යුතුය. 

යුද්දෙට නං යුද්දෙට මෙන්ම රෝගෙට නං රෝගෙට අදාල දේ  අවැසි තැන නිසි කල නිසි කළමනාකරණය කරන්නට තිබු හැකියාව පරවී යාමම අප ලද මහත් පරාජයක් බව අමතක නොකළ යුතුය. නැවත එවන් පසුබිමක් නිර්මාණය කරන්නේ කෙසේද මෙවන් පසුබිමක් තුල එවන් පරිසරයක් ගොඩනැගිය හැකිද යන්න කතා කිරීමම FB උගත්තු ඉන්නා වටපිටාවක අභියෝගාත්මක කාරියකි. මේ විමර්ශනය සැමට සුව දෙන තිරසාර ආපදා කළමනාකරණ වැඩසටහනක් මගින් ආරක්ෂාකාරී ක්‍රමවේදයන් ස්ථාපනය කරන්නට අත්වැලක් වනු ඇතැයි සිතමි. 

බටහිර විද්‍යාත්මක අනුකරණයෙන් මෙරට ආපදා කළමනාකරණය සඳහා නව වැඩපිළිවෙලක් ස්ථාපනයට 2004 දී නොකියාම ආ සුනාමිය හේතුවිය. දැන් අණබෙර ද ගස ගසා කොරෝනා මෙරටට පැමිණ ඇත. පෙරහැර එන බව පවසන්නට කසකාරයන් මුලින්ම මතු වූයේ චීනයෙනි. චීනයේ කසකාරයන් හතර දිග්භාගයටම කසය වනමින් පවසා සිටියේ කොරෝනා පෙරහැරේ භයානකකමයි. පැන පැන සපාකන පොළොන් පැටික්කෙක් සේ ඇසිපියලන මොහොතින් සමස්ථ රටක් සමස්ථ ලෝකයක් බියට පත් කරන්නට හිටිගමන් මතු වූ කොරෝනා අමුතු බිය මාරකැට්ටු හිස් කොරෝනා වූ තත්වයට මෙරට ජනතාව පත් කරන්නට හේතුවිය හැකි බව පෙර සූදානමක් සකස් කල කිසිවෙක් නොසිතන්නට ඇත. ශ්‍රී ලංකික ජනතාවගේ හැසිරීම මෙරට ආපදා කළමනාකරණය තාම අවබෝධ කරගෙන නොමැති බව ඉන් ඉතා හොඳින් තේරුම් යයි.

ආපදා කළමනාකරණයේ මූලික සිද්ධාන්ත අනුව “පෙර සූදානම” අනිවාර්ය අංගයකි. ආපදාවට පෙරසූදානම නම් ඇත්තෙන්ම විහිළුවක් බව ක්ෂේත්‍රයේ දැනමුත්තන් පවසන්නේ ආපදාවේ බලපෑම නිසි පරිදි කල් තබා හඳුනාගැනීමට නොහැකි නිසා විය යුතුය. නමුත් සෑම ආපදාවක්ම සතු මූලික ලක්ෂණ බොහෝවිට සමාන විය හැක. එක සමාන ආපදා තත්වයන් කළමනාකරණය අපට ඉතා හොඳ උගත් පාඩම් ය. එනිසා එවැනි ලක්ෂණ ද ඒ සඳහා අදාළ ජනසමාජය ගත්තාවූ ක්‍රියාමාර්ග මනාව අධ්‍යනය කිරීමෙන් ද අපට යම් යම් පුරෝකථනවලට එළඹීමෙන් යම් කිසි ආකාරයක සාර්ථක පෙරසූදානම් වැඩපිළිවෙලක් සකස්කර ගත හැකිය. සෑම ආපාදවකදීම එයට ගොදුරුවන්නාවූ ජනතා පිරිසක් ඇත. ආපදාවට ලක් වූ ජන කොටස්  නිසා සමස්ථ ආර්ථිකයට බලපාන ආකාරයක් ඇත. ආපාදාවේ ස්වරූපය අනුව එහි බලපෑම කුමක්දැයි අනුමාන කල යුතුය. නමුත් සැමවිටම එය සියයට සියයක් සාර්ථක වන්නේ ද නැත. එනිසා සැමවිටම “plan B, C පමණක් නොව D ද මේ පෙර සූදානමේ තිබිය යුතුය.

මෑත කාලිනව මෙවැනි හදිසි සෞඛ්‍ය ආපදා තත්වයක් මෙරට පැන නැගුනේ නැත. ඩෙංගු රෝගය මාරාන්තික වූවද මෙවැනි පසුබිමක් නිර්මාණය වූයේ නැත. පසුගිය දෙසැම්බරයේ සිට “සංචාරක කොරෝනාවේ හැසිරීම” පිලිබඳ උදාහරණ චීනය ප්‍රමුඛ යුරෝපා රටවල් මනාව ලෝකයට ලබා දෙන්නට විය. කොරෝනා වෛරසය හැසිරීම අධ්‍යනය සඳහා “ගෝලීය සජීවී පර්යේෂණාගාරය” ලෙස චීනය පත්විය. එමගින් කොරෝනා වයිරසයේ ලාක්ෂණිකතා, එහි හැසිරීම සහ පැතිරීම පිලිබඳ විස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට අවශ්‍යතාව තිබු ලොව සෑම රටකටම හැකියාව තිබුණි. නොදන්නා රෝගය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග වල සාර්ථක අසාර්ථක බව ඒවායේ අඩුලුහුඩුකම් වාර්තා විය. මේ වනවිට චීනය යම් කිසි ආකාරයක සාර්ථක බාවයකට පත් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි. එයට වෛරසයේ සොබාවික ව්‍යාප්තියත් ඔවුන්ගේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙලත්  හේතුවන්නට ඇත.   

මෙලෙස ගෝලීය තත්වය වර්ධනය වෙමින් පවතින වකවානුවක අප සිදුකලේ කුමක්දැයි විග්‍රහ කළයුතුව තිබේ. උගත් පාඩම් නිසිලෙස අධ්‍යනය කර ඒවා භාවිතයේ යෙද වුයේ ද යන්නත් සොයා බැලිය යුතුය. සමහර මිත්‍යාමත පුරෝකථන මගින් මෙරට යම් අයහපත් තත්වයක් අප විසින් වර්ධනය කර නොගත්තේ ද යන්නත් පසුවිපරමට ලක් විය යුතුව ඇත. පසු විපරමට තාමත් කල් වැඩි බවද වසංගතය ආරම්භ වූවා පමණක් යන්න බව ද අප අමතක නොකළ යුතුය. තවත් සතියකින් හෝ සති කිහිපයකින් මෙය අවසාන වේයැයි කල්පනා කිරීම ද මෝඩකමකි. නායයාම් ගංවතුර වැනි සොබාවික ව්‍යවසනයක් නිසා ඇති වූ ආපදා තත්වයක් නොවන බව අප හොඳින් මතක තබා ගත යුතුය. මෙහි නිවාරණය තනිකරම රැඳී ඇත්තේ මහජනතාවගේ ක්‍රියාකලාපය මත බව මේ වන විටත් ඔබ අප සැමට ඉතා හොඳින් තේරුම් ගොස් ඇති බව ඉතා පැහැදිළිය. 

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අතීතකාමයෙන් ඔලුව කුරුවල් කරගත් පිරිස් ද දේශපාලනික වහල්භාවයෙන් උපරිමයට පත් වූවන්ද ජනතාව නොමඟ යවන්නට හේතු වූ බව ද මෙහිලා මා තරයේ ප්‍රකාශ කරන අතර වඳුරන්ට දැලි පිහි දීම මෙතැන් සිටවත් නතර කල යුතුව ඇත. සීතලෙන් ප්‍රයෝජනගත් කොරෝනා උණුසුම් හමුවේ නිරුත්තර වන බව බොහෝ දෙනා ගේ මතය විය. නමුත් එය අමූලික බොරුවක් බව වයිරසය ඉන්දියාව ඇතුළු ඝර්ම කලාපීය රටවලට අසාදනය වන විට අප තේරුම් ගත යුතුව තිබුණි. 

එවැනි තත්වයක් හමුවේ අපගේ පෙරසූදානම ගැන සෑහීමකට පත් විය හැකිද. ඉතා පැහැදිළිව කොරෝනාව පෙන්නු ලක්ෂණය නම් මිනිසුන්ගෙන් මිනිසුන්ට ඉතා සීග්‍රයෙන් පැතිර යන බවයි. එවැනි තත්වයක් හමුවේ රෝගය වලක්වාගැනීමට සහ මැඩපවත්වා ගැනීමට කල යුත්තේ ජනතාව එක්රැස් වීම වහාම නවතා දැමීමයි. පසුගිය ජනවාරි මාසයේ සිටම අපගේ පෙර සුදානම ක්‍රියාවේ යෙදවූවත් පරිපාලනයේ නිසිකල නිසි තීන්දු තීරණ ගැනීමේ දුබලතා නිසාත් සහ ජනතාවගේ අමන මරි මෝඩ ක්‍රියාකාරකම් නිසාත් අප මේ ආගාධයට වැටුනා නොවේද යන්න ඔබගේ ඔය කුඩා මොලයට තේරුම් යනු ඇතැයි මම කල්පනා කරමි. මෙතරම් හොඳින් මෙරට ආපදා පෙර සූදානම සකස් වෙද්දී මෙරට හමු වූ චීන ජාතික කාන්තාව මගින් කොරෝනා රෝගය මෙරට ජනතාවට බෝ නොවී පාලනය කරගන්නට මෙරට සෞඛ්‍ය අංශ සමත් වෙද්ද්දීත් මෙතරම් ව්‍යවසනයක් ඇති කරගන්නට තරම් වූ සිදුරු එම ආපදා කළමනකරණ සැලැස්මේම ඇති වූයේ කෙසේද යන්න සොයා බැලීම ඉතා වටී. 

දූපතක් වූ අපේ රට එනිසාම බොහෝ මෙවැනි රෝග වසංගත තත්වයන් හමුවේ ආරක්ෂාකාරී වූ බව අමතක නොකළ යුතුය. මේ අවස්තාවේ දී ඒ වාසිය අප නොගත්තා පමණක් නොව මානුෂිකත්වයේ උපරිමයට ගොස් කැලේ සිටි නයි රෙද්ද අස්සේ දමා ගත් බව ද හොඳින් පැහැදිලි වන්නේ ඉතාලි ආසාදිතයින් මෙරට සමස්ථ ජනතාවට කොකා පෙන්නා නිරෝධායන ක්‍රියා දාමයට සහය නොදක්වා පැ ගොස් සැඟ වෙද්දීය.  

ඇත්තෙන්ම කොරෝනාව ශ්‍රී ලංකාව ගිලගන්නට පෙර වැට කඩොළු බඳින්නට නොහැකි වූයේ ඇයි. ඒ සඳහා කල යුතුව තිබුනේ දූපතක් වූ අප රට හා වූ බාහිර සම්බන්ධකම් තාවකාලිකව නවතා දමන්නට නොවේ ද. ගුවන් තොටුපල නිසිකල වසා නොදමා සිදුකරගත්තේ මෙරට අහිංසක ජනතාව අමාරුවේ දැමීම නොවේද. එලෙස නොකළ හැකි වන්නට හේතු භූත වූ කරුනු කාරනා මොනවාද යන්න සොය බැලිය යුතුය. ඒ පිලිබඳ සර්ව සාධාරණ පැහැදිලි කිරීමක් මේ රජය විසින් මෙරට ජනතාවට සිදුකල යුතු බව මම කල්පනා කරමි. ඒ නැවත වරක් එසේ නොවන්නටය. නමුත් ගුවන් තොටුපල වසා දමන්නේ පසුගිය බ්‍රහස්පතින්දා වන අතර එවැනි තීරණයක් ගන්නට අප ප්‍රමාද වුවා නොවේදැයි ලියුම් කරුට සිතේ. අශ්වයා පැන ගොස් ය. දැන් ස්තාලය වැසීමෙන් පලක් වේද යන්න අයෙකුට ඇසිය හැකිය. ඔවු... එය වඩාත් ප්‍රයෝජනවත් ය. මන්දයත් ස්ථාලයේ තවත් අශ්වයන් ඇති හෙයිනි. ඔවුන්ද පැන යා හැක. ඔවුන්ගේ පැන යාමද බලපාන්නේ මේ රෝගය උත්සන්න කරන්නටය. ප්‍රමාද වී හෝ ගත් මේ තීරණය අප අගය කල යුතුය. 

ඉතා පැහැදිළිව අප තේරුම් ගත යුත්තේ කොරොනා මෙරට පැතිරවන්නට මෙතරම් ව්‍යවසනයක් රට තුල ඇතිකරන්නට හේතුවූයේ මෙරටට ඩොලර්ගෙන එන බව පවසන අපගේ විදේශ ශ්‍රමිකයන්ගෙනි. ඉතාලියේ වසංගතය පැතිරෙද්දී ඒ බව නිසි අවබෝධයෙන් පසු වූයේ නම් අපගේ විදෙස් ශ්‍රමිකයන් ද බේරා ගෙන රට ද බේරා ගන්නට හැකියාව තිබුන බව කරුණු කාරණා සියුම් අධ්‍යනයෙන් අපට තේරුම් යයි. කුලප්පු වූ ගව රෑනක් සේ ඔවුනට පැන යන්නට ඉඩ නොතැබුවේ නම් වසංගත පාලනය මිට වඩා පහසු වන්නට තිබුණි. විදේශ ශ්‍රමිකයන් ගේ ආගමනය හොඳින් කළමනාකරණය කර ඔවුන් නිරෝධායනයට ලක් කලේ නම් වසංගතය පැතිරීයාම තවත් අඩුවන්නට තිබුණි. විදේශ ශ්‍රමිකයන් සියල්ල මනාව හඳුනාගෙන ඔවුන්ගේ පැවැත්මද ඔවුන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව සහ දෛනික ජිවීතය සුරක්ෂිත කරන්නට ද වැඩපිළිවෙලක් සකස් වූයේ නම් මේ ව්‍යවසනය වඩාත් හොඳින් කළමනාකරණය කරගන්නට හැකිව තිබු බව පැහැදිළිය. ඒ සඳහා තවමත් අවකාශ ඇති බව අමතක නොකළ යුතුය. ඒ කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් පිළිබඳව කුහකත්වයෙන් තොරව අප අගය කල යුතුය.   

එමෙන්ම එවැනිම වූ තර්ජනයක් විදේශ සංචාරකයන්ගෙන් ද ඇත. ඔවුන්ගේ අතීත හැසිරීම් සහ ගමන් බිමන් හඹා යාම තරමක් අසීරු වූවත් කොරෝනා වයිරසයේ පැතිරීමේ රටාව මනාව තේරුම් ගත්තේ නම් සංචාරකයන්ගේ පැමිණීම මෙයට සති දෙකකට තුනකට පෙරම නවතන්නට හැකියාව තිබුනි.  වාසනාවකට සංචාරක මග පෙන්වන්නා ඉතාලි දඩබ්බරයන් මෙන් වහන් නොවී සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් මෙහි පැතිරී යාම යම් කිසි ප්‍රමාණයකට හෝ අඩුකරගත හැකි වූ බවයි. ඔවුන්ගේ මහත්මා ගතිගුණ අප අගය කල යුත්තේ එහෙයෙනි. ගුවන් තොටුපල මේ සඳහා ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවූ බව සමහරු චෝදනා කරද්දී මා හට පෙනී යන්නේ නිරෝධායනය සඳහා සවිකළ නිනිති තාක්ෂණයෙන් උපන් උපකරණය ද අසාර්ථක වී ඇති බවයි. සමහර විටෙක එනිසා ඉන් ඔබ්බට ගතයුතු වූ ක්‍රියාමාර්ග නොගන්නට එම උපකරණය මත තැබූ විශ්වාසයද හේතු වන්නට ද ඇත. 

ආඳා යවා තබා වල්පත ගැනීමෙන් පලක් නොවේ. ආඳා දැන් ජනතාව අතරට ගොස් අහවරය. එනිසා තව දුරටත් පෙර සූදානම ගැන කතා කිරීම පලක් නොවේ. ආපදා කළමනාකරණයේ අප ලද අත්දැකීම් අනුව දැන් කල යුත්තේ පැමිණි ආපදාව කළමනාකරණය කර ගැනීමයි. ආසාදිතයින් හඳුනාගැනීම යුහුසුළුව කල යුතුය. එනිසා ඔවුන් සිටින ස්ථාන සොයාගතයුතුය. ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ ආසාදිතයින් නිසි ලෙස නිරෝධායනයට ලක් කල යුතුය. අසාදිතයින් හරහා තව දුරටත් රෝගය පැතිරවීම නවතා ගත යුතුය. 

කාලීනව ගත් ඉතාමත් වැදගත් තීරණය වන්නේ පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර මහජනගේ භෞතික ගට්ටනය නවතා දැමීමයි. එමගින් සෑහෙන ප්‍රමාණයකට වෛරසය පැතිරීම වලක්වා ගන්නට හැකි වී ඇති බව මේ වන විට ඉතා පැහැදිළිය. කෙසේ වෙතත් ඉතා ක්ෂණයකින්ම පාසල් වසා දැමීමට ගත් තීරණය අතිශය අගය කල යුතුය. එමගින් මෙම රෝගය පැතිරීම බොහෝ දුරට පාලනය වූ බව අප පිළිගත යුතය. මන්දයත් මේ කාලය බොහෝ පාසල් වල ක්‍රීඩා උත්සව සහ ක්‍රිකට් තරඟ පැවැත්වීමට තිබු කාලය වන බැවිනි. පසු වී හෝ කාර්යාල වසා දැමීමට ගත් තීරණය ද පැසසුමට ලක් කල යුතුය.  නමුත් ක්‍රමවත් ප්‍රවාහන සේවයක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ජනතාවට ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් විය යුතු බව මෙවන් වූ ආපදා කළමනාකරණයේදී අප සිහි තබා ගත යුතුය. එවැනි ක්‍රම වේදයක් නොතිබීම ජනතාව තව තවත් රැස් කරවන්නට හේතු වූ බව බොහෝ දෙනෙකුගේ මතය විය. අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත වූවන්ගේ ගමන් බිමන් පහසුකම් වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සැපිරිමටද වැඩපිළිවෙලක් තිබෙන්නේ නම් ඔවුන්ටද සිතේ බරක් නොමැතිව රාජකාරි කරන්නට හැකියාව ලැබේ. මෙසේ සේවය් කරන්නන්හට ප්‍රසිද්ධ ස්ථාන හා ගැටීම නිරන්තරයෙන්ම සිදුවන් බැවින් ක්ෂණිකව නිරෝධායනය වීම සඳහා ජංගම කුටි වැනි අවශ්‍යතා සැකක කල යුතුය.

ඇඳිරි නිතිය නිසා අසරණ වන්නේ දෛනික වේතනයක් ලබන්න බව අමතක නොකළ යුතුය. ඔවුන් සඳහා ද යම් වැඩපිළිවෙලක් දියත් වූයේ නම් මෙම ක්‍රියාවලිය තවත් මානුෂික වන්නට ඉඩ තිබුණි. නමුත් එතෙර සිටින්නන්ගේ විවේචන අනුව පෙනී යන්නේ මෙරට ගෙන ඇති වැඩ පිළිවෙල අනෙකුත් රටවලට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින බව සහ සාර්ථක බවත්ය. ඒ සම්බන්ධයෙන් මෙරට පාලන තන්ත්‍රයටත්,  දිවා රෑ නොබලා සේවය කරන සෞඛ්‍ය අංශවලටත්, ආරක්ෂක අංශවලටත් ගෞරව පූර්වක ස්තුතිය පුදකර සිටිය යුතුය. 

අකර්මන්‍ය වූ දෛනික ක්‍රියකාරකම් හේතුවෙන් ඉදිරි කාලයේදී රට හමුවේ ඇති අභියෝග මොනවාදැයි යන්න සලකා බැලිය යුතුය. ප්‍රධාන වශයෙන්ම පවතින මෙම වසංගත තත්වය සමනය කරගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය යුතුය. එනම් රෝග පාලනය සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, අවශ්‍ය බෙහෙත් හේත් සඳහා පර්යේෂණ සිදු කිරීම, වෛරසය පාලනය කිරීම සඳහා ක්‍රම වේද සොයාබැලීම වැනි වැඩකටයුතු වහාම ආරම්භ කල යුතු අතර මේ සඳහා රට පුරා ඇති විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වෙත රජය බලකළ යුතුය. එමෙන්ම බටහිර මෙන්ම දේශීය වෙදකමේද බණ භාවනා මගින් සිත දියුණු කරගත් විද්වතුන්ගේද සහය ගැනීම අතවශ්‍ය බව මෙහි දී මා තරයේම ප්‍රකාශ කර සිටිමි. 

බොහොමයක් කර්මාන්ත සහ කාර්යාල සේවවාන් අඩපන වීම මෙරට ආර්ථිකය පසුගාමී තත්වයකට ඇද දමන්නට හේතු වන බව පැවසිය යුතුය. දෛනික නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටීම සහ කුඩා කුඩා කර්මාන්ත අඩපන වීම් මත ඇතිවන සමාජීය ගැටළු පිළිබඳව මෙහිදී අතිශයින්ම අවධානය කල යුතුව ඇත. දෛනික අවශ්‍යතා සියල්ල ආනයනය කරන තත්වයකට මෙරට පත්වීම හේතුවෙන් ලෝක වසංගත තත්වය හමුවේ අප අන්ත අසරණ බව අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. කොතරම් ආර්ථික ශක්තියකින් හෙබි රටකට වුවද නිෂ්පාදන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබා ගැනීමට ස්ථානයක් නොමැති වූ විට සිදුවන්නේ කුමක්දැයි හොඳින් තේරුම් යයි. එනිසා මේ වසංගත තත්වය කදිම අවස්තාවක් කරගෙන අත්‍යවශ්‍ය භාන්ඩ සහ අවශ්‍යතා සඳහා දේශීය නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කලයුතු බව අප වටහා ගත යුතුය. විශේෂයෙන්ම මේ අවස්තාවේ ඇතිවන බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන්නේ කෙසේද යන්නත් එවැනි ද්‍රව්‍ය අඩුම තරමින් මාස හයකටවත් ගබඩා කර තබා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් විය යුතුය.  

අත්‍යවශ්‍ය සේවාවන් බල ගැන්වීම පිලිබඳ මෙහිදී අවධනය යොමුකර විය යුතු අතර නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කාර්යාලීය කටයුතු සිදුකිරීම සඳහාද අවධානය යොමු විය යුතුය. හැකි සෑම අවස්ථාවකම ඉතා කෙටි කලකින් නැතහොත් කාර්යාලයට නොගොස්ම තමාගේ කාර්යය කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි අවධානය ඉතා තදින්ම යොමුවිය යුතුය. ඇතිවූ වසංගත තත්වය ධනාත්මකව පිළිගන්නේ නම් ඉහත කී කිසිවක් අමාරු අභියෝග වන්නේ නැති බව නිසැකය. තවත් බොහෝ කරුණ කාරණා සාකච්චාවට බදුන් විය යුතු මුත් ලිපිය ඉතා දිග වන බැවින් එය මෙතනින් අවසාන කරන්නට සිදුවෙයි. 


අසංක්ෂිප්ත සටහන

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Monday 23 March 2020


සිසි භූ විද්‍යාව (selenology ) - තාරකා භූ විද්‍යාවට ප්‍රවේශයක්
සිසි භූ විද්‍යාව (selenology ) කේන්ද්‍ර වන්නේ චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක පසුබිම වෙතයි. එය පෘතුවියේ භූ විද්‍යත්මක පසුබිමෙන් වෙනස් වන අතර එයට හේතුවන කාරණා කිහිපයහි. වායුගෝලයක් නොමැති වීම. එනිසාම පාෂාණ ජීර්ණය සහ ඛාදනය නොමැති වීම. කබොලක්, ප්‍රාවරනයක් සහ හරයක් ඇත්තේ වූවද තල භූ ක්‍රියාකාරකම් සනිටුහන් වන්නේ නැත. චන්ද්‍ර මතුපිට ඇති සංකීර්ණ භූ විෂමතා ලක්ෂණ ඇතිවන්නේ දිගින් දිගටම සිදුවූ ගිනි කඳු පිපිරීම් සහ උල්කාපාත පතනයෙන් සිදුවූ බලපෑම හේතුවෙනි.


චන්ද්‍ර පාෂාණ සහ පාංශුදේහයන් පිළිබඳව නියම තොරතුරු වාර්තා වන්නේ චන්ද්‍රයාගෙන් ගෙන එන ලද පාෂාණ සහ පාංශු නියැදි වලිනි. 1969 සිට 1972 දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ ව්‍යාපෘතිය නිසා චන්ද්‍රයාහේ ස්ථාන හයක් නියැදි කරණයට ලක්වන අතර කිලෝ ග්රෑම් 381 පෘතුවියට ගෙන එන ලදී. 1970 සිට 1976 දක්වා සිදුකල සෝවියට් චන්ද්‍ර ගවේෂණ වලින් තවත් කිලෝ ග්රෑම් 326 ක් පමණ පෘතුවියට ගෙන එන ලදී.

නාසා ආයතනය මෙම නියැදි අධ්‍යනය කර පලකල ඇති පර්යේෂණ පත්‍රිකා වලට අනුව චන්ද්‍රයාගේ නිම්න නැතහොත් ආවාට කලාප ගොඩ නැගී ඇත්තේ බැසෝල්ට් නම් වූ ආග්නේය පාෂාණ වලින්. බැසෝල්ටික් ආගනේය පාෂාණ නිර්මාණය වන්නේ උල්කා පතනය නිසා ඇතිවූ චන්ද්‍ර කබොලේ සිදුරු තුලින් පිටතට ගලා ගිය ලාවා වලිනි. බොහෝවිට ඉතා සියුම් ඛණිකා වලින් යුක්ත වන මෙම පාෂාණය ඕලිවින්, පයිරෝක්සින්, ඇම්පිහිබෝල් වැනි ඛනිජ ද ප්ලජියෝක්ලෙස් නම් වූ ඛනිජයෙන් ද සමන්විතයි. අඳුරු පහක් යුක්තයි. බසෝල්ටික් ලාවා ඒකාකාරී ලෙස මතුපිට පෘෂ්ටය මත පැතිරී නොමැති බවයි අධ්‍යනය වලින් පැහැදිලි වී ඇත්තේ. බැසෝල්ටික් ගලනයන් අතිපිහිත වී ඇති බව ද පවසයි. එය උල්කාපතනයන්ගේ අඛණ්ඩ බව කියා පායි.


එයට අමතරව චන්ද්‍රයාගේ කඳුකර කලාප සුසැදි ඇත්තේ ඇනොතොසයිට් නම් වූ ආග්නේය පාෂාණයෙනි. මෙම පාෂාණය අභ්‍යන්තරයේ වූ මැග්මා භූ අභ්‍යන්තරයේම සිසිලනය වීමෙන් තැනෙන පාෂාණ වෙයි. එනිසා ඉතා හොඳින් වර්ධනය වූ ඛණිජ ඛණිකා දක්නට හැකිය. ප්ලජියෝක්ලෙස් නම් වූ ඛණිජයෙන් සමන්විත වන මෙම ඇනොතොසයිට් පාෂාණය චන්ද්‍රයාගේ පැරණිතම පාෂාණ බවයි පැවසෙන්නේ. 


නිරන්තර උල්කා පතනයෙන් සෑදෙන බ්‍රෙෂියා නම් වූ පාෂාණ ද චන්ද්‍ර පාෂාණ කුලකයට අයත්  වේ. මතුපිට පාංශු දේහයන් සහ පාෂාණ හා උල්කා ගැටීම නිසා ඇතිවන තාපයෙන් හෙම්බත් වී තැනෙන පාෂාණයි බ්‍රෙෂියා. 


චන්ද්‍රයාගේ පාංශු දේහයන් අලංකාර වන්නේ තැඹිලි පැහැති අවසාදිත වලිනි. මේවා නිර්මණය වන්නේ නිරන්තරයෙන් සිදුවන උල්කා පතනයෙන් මතුපිට පාෂාණ කැබලි වීමෙන් තැනුන පාෂාණ කැබලි, එම පාෂාණ උණු වීමෙන් තැනුන කොළ සහ තැඹිලි පැහැති සොබාවික විදුරු කැබලි සාහ ගට්ටනයෙන් ඇති වූ දුවිලි වලිනි.



තවත් සිසි භූ විද්‍යාත්මක තොරතුරු සමග ළඟදීම හමු වෙමු.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...