විදු පත් ඉරුව
2015 සැප්තෑම්බර් 09 බදාදා
ඉහළ වායුගෝලයේ ස්‌ථාපිත ව ඇත්තා වූ ඕසෝන ස්‌තරය වටිනා සම්පතකි. පෘථිවියේ බිහි වී ඇති ජීවය, හිරු ගේ පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා කරමින්, දිගින් දිගට ම පවත්වාගැනීමට හේතු වන්නේ මේ ඕසෝන ස්‌ථරයයි.
ඕසෝන ස්‌ථරය ලෝකයේ මුලින් ම බිහි වන්නේ අපූරු ආකාරයකට ය. ගිනිගෙන දැවුණ පෘථිවියේ මූලාරම්භයේ ඔක්‌සිජන් වායුව නො තිබූ අතර ක්‍රමික සිසිලනයෙන් ස්‌ථාපනය වූ ගොඩබිම ද සාගර ද විය. සාගරයේ ප්‍රභාසංශ්ලේෂීන් ගේ බිහි වීම හේතුවෙන් ක්‍රමයෙන් වායුගෝලයේ ඔක්‌සිජන් සාන්ද්‍රණය වැඩි විය. ඉහළ වායුගෝලයේ රැඳි ඔක්‌සිජන් අණු පාරජම්බුල කිරණ හේතුවෙන් "දෙපලු" වීමෙන් ඉතා සක්‍රිය නිදහස් ඔක්‌සිජන් පරමාණු බිහි වූ අතර, එවැනි පරමාණුවක් හා ඔක්‌සිජන් අණුවක් එක් වීමෙන් ඕසෝන් අණුවක් ඇති විය. ඔක්‌සිජන් අණු "දෙපලු" වීමට හේතු වන්නේ ඒවා පාරජම්බුල කිරණවල ශක්‌තිය උරා ගැනීමයි. දිගින් දිගට ම සිදු වූ ඔක්‌සිජන් අණු "දෙපලු" වීමෙන් ඕසෝන ස්‌තරය වර්ධනය වූ අතර එනිසා පාරජම්බුල කිරණවලට මේ ස්‌තරය විනිවිද යැමට නොහැකි විය. එය පෘථිවියේ බිහි වූ ජීවය අහිතකර පාරජම්බුල කිරණවලින් ආරක්‌ෂා වීමට මහඟු උපකාරයක් විය. මෙහි දී පාරජම්බුල කිරණ විසින් ම නිපදවන ලද ඕසෝන අණු ඒවාට ම එරෙහි වී ඇති බව ඔබට වැටහෙනු ඇත.
කෙසේ වෙතත් මේ ඕසෝන් ස්‌ථරයේ ඕසෝන් අණු ඇති වෙමින් ද නැති වෙමින් ද පවතින අතර සාපේක්‌ෂව සාන්ද්‍රණය ඉතා අඩු ය. එය වායු අණු මිලියන 10කට ඕසෝන අණු තුනක් පමණ වේ. වර්තමානයේ සිදු වන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එක් කළ කෘත්‍රිම වායුන්, මේ චක්‍රීය බව බිඳ හෙළීමට හේතු වී තිබේ. ප්‍රධාන වශයෙන් ම අප කවුරුත් හොඳින් ම දන්නා CFC නැත්නම් ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ලෙස හඳුන්වන වායුව මේ සදහා මූලික වේ. "දෙපලු" වීමෙන් ඇති වන්නා වූ ඔක්‌සිජන් පරමාණු මේ ක්‌ලෝරෝ ෆ්ලෝරෝ කාබන් අණු හා බැඳීමෙන් නැවත නිදහස් නො වන අතර එනිසා ඕසෝන අණු ඇති වීම වළකියි. එය ක්‍රමයෙන් ඕසෝන් ස්‌තරය තුනී කර දමයි. මේ ස්‌තරය ඇන්ටාක්‌ටිකාවට ඉහළින් සිදු රක් ඇති කිරීමට තරම් ප්‍රබල වී ඇති බව ඔබ හොඳින් දන්නා කරුණකි. සිත්ගන්නාසුලු දෙයක් වන්නේ මේ සම්බන්ධව ලෝකයට අනාවරණය වන්නේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයක අහඹු ප්‍රතිඵලයක් ලෙස බව ය. මහාචාර්ය ෂර්වුඩ් රෝව්ලන්ඩ්, මාරියෝ මොලිනා සහ පෝල් කෘට්‌සාන් මේ සදහා 1995 දී නොබෙල් ත්‍යාගය දිනාගත් අතර ඉලක්‌කගත නො වූ පර්යේෂණවල වැදගත්කම මෙයින් මොනවට පැහැදිලි වේ. ලෝකයේ මෙවැනි පර්යේෂණ සදහා කොතෙකුත් උදාහරණ සැපයිය හැකි ය.
ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්‌ෂේත්‍රය තුළ ද බොහෝ දෙනකු ගේ අවධානය යොමු වී ඇත්තේ ඉලක්‌කගත පර්යේෂණ කෙරෙහි බව පෙනී යන අතර එය නිදහස් පර්යේෂණ ලඝූ කිරීමට ද, ඒ සඳහා අවස්‌ථාව හා ආධාර සීමා කිරීමට ද හේතු වී ඇති බව අප ගේ හැඟීම ය. මේ සදහා උදාහරණ සමූහයක් ම ගෙනහැර දැක්‌විය හැකි අතර ස්‌වාභාවික විපත් මෙන්ම මානව ක්‍රියා නිසා ද ඇති විය හැකි අනතුරු අවම කිරීම කෙරෙහි වූ පර්යේෂණ සදහා ඇති අඩු ප්‍රමුඛතාව මේ අතරින් ප්‍රධාන වේ. මෙරටෙහි සුනාමි අනතුරත් සමග මේ පිළිබඳව කිසියම් අවධානයක් ඇති වුව ද පෙනී යන වැදගත් ම කරුණ වන්නේ වගකිවයුත්තන් ගේ ඇස් ඇරෙන්නේ අනතුර සිදු වූ විට බවයි.
රජරට වකුගඩු රෝගය ද රතුපස්‌වල සිදුවීම ද වැනි ප්‍රබලව ජන සමාජයට බලපෑ ආපදා කෙරෙහි හේතු වූ ජල සම්පත පිළිබඳව විධිමත් පර්යේෂණ හා සමීක්‌ෂණ සිදු කර තිබිණි නම් බොහෝ කරුණු කාරණා සහ ගැටලු ලිහාගැනීමට හැකි ව තිබිණි. ඒ එසේ වුවත් තවමත් රටෙහි ජල සම්පතෙහි ස්‌වභාවය සහ ප්‍රමාණය පිළිබඳව පර්යේෂණ දියත් නො වී තිබීම කණගාටුවට කරුණකි. දිනෙන් දින ම වැඩි වන වාහන නිසා ද විවිධ කර්මාන්ත හේතුවෙන් ද ඉදි වන ගල් අඟුරු බලාගාර නිසා ද වායුගෝලයට විවිධ දූෂකකාරක එක් වෙමින් පවතී. අවශ්‍ය වන්නේ රට ම ආවරණය වන පරිදි වායුගෝලයේ ස්‌වභාවය පිළිබඳව සහ ඇති වන වෙනස්‌කම් කෙරෙහි අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීම ය. එමෙන් ම ශ්‍රී ලාංකික ආර්ථිකය තුළ පසට හිමි වන්නේ ඉතා වැදගත් ස්‌ථානයකි. එනිසා රටෙහි විවිධ පෙදෙස්‌වල පසේ ස්‌වභාවය ද දූෂක මට්‌ටම් ද අධ්‍යයනය කර තිබීම කෘෂිකර්මාන්තයේ මූලික අවශ්‍යතාවක් වේ.
ශ්‍රී ලංකාවේ නාය යැම් වැනි ආපදා කෙරෙහි වත්මනෙහි ස්‌වාභාවික හේතුන් මෙන්ම මානව ක්‍රියාකාරකම් ද ප්‍රබලව බලපා ඇත. මේ සදහා බලපාන ස්‌වාභාවික හේතුන් වන වර්ෂාව, භූ කම්පා පිළිබඳව ද සිදු කරන පර්යේෂණ අඩුවෙන් තක්‌සේරු නො කළ යුතු ය. දීර්ඝකාලීනව සිදු කළ යුතු එවැනි පර්යේෂණ අනාගතයේ සිදු විය හැකි ව්‍යසන පුරෝකථනයට මහඟු උපකාරයක් වන බව ද එමගින් වළක්‌වා ලන ජීවිත සහ දේපළ හානි නිසා රජයට හිමි වන්නේ ආර්ථික අතින් පවා බලවත් වාසියක් බව ද සිහි තබාගත යුතු ය.
ඉහත සදහන් කරන ලද්දේ ඉලක්‌කගත නො වූ නමුත් අත්‍යවශ්‍ය ව සිදු කළ යුතු පර්යේෂණ ක්‌ෂේත්‍ර කිහිපයකි. මෙවැනි තවත් බොහෝ පර්යේෂණ ක්‌ෂේත්‍ර ඇති බැවින් රටෙහි පරිපාලනයේ ද අදාළ පර්යේෂණ ආයතනවල ද අවධානය වහ වහා ඒ කෙරෙහි යොමු විය යුතු ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ