Thursday, 14 September 2017


විදුපත් ඉරුව

2017 සැප්තැම්බර් 13 බදාදා

නිරිතදිග මෝසම ඉවර වුනා විතරයි. තාම අපි කාටවත් හුස්මක් කටක් ගන්න ලැබුනේ නැහැ. මෙන්න ආයෙත් වහින්න පටන් අරන්. පසුගිය මැයි මාසේ වෙච්ච ආපදා නිසා බොහොමයක් දෙනා දැඩි අසීරුතාවයට පත් වෙලයි ඉන්නේ.

“මේ ගමන මෙච්චර වහින්න පටන් ගත්තේ බෙන්ගාල බොක්කේ ඇතිවූ කලබැගෑනියක් නිසා කියලයි කාලගුණ ඇත්තෝ කියන්නේ”. ඉරිදා උදේම ගමට ගිය වෙලාවේ අහම්බෙන් වාගේ සුටි ගමරාළ මාමා මුණගැහුනාම කිව්වේ. “ඒ මදිවට ‘හෙණ ගෙඩි’ පාත් වෙන්නත් පටන් අරන්. හරියට බක්මහේ අකුණු ගහනවා වාගේ. හදිසියකට එළිපහළියට බැහැ ගන්නවත් විදියක් නැහැ නොවැ”.

බක්මහ කියන්නේ අප්‍රේල් මාසය නේ. ඒ කාලේ ඇතිවන අන්තර් මෝසමේ විශේෂත්වය තමයි ඇඟ කිලිපොලායන, බල්ලෝ බළලු පවා ඇඳ යට හැන්ඟෙන අකුණු ගැහිල්ල. පුංචි දවස්වල නං කිව්වේ දෙයියන්ගේ දරුවෝ බෝල ගහනවා ඒකයි මේ සද්දේ කියලා.

විදුලි කෙටිල්ලත් අකුණු ගැහිල්ලත්  නිවුන් සහෝදරයෝ වගෙයි. මේ දවස්වල විශේෂයෙන්ම රාත්‍රියට වහින වෙලාවට අහස දිහා බලා හිටියොත් ඔන්න අහසේ කෙරුවාව බලා ගන්නට පුළුවන්. කළුවර අහස ඉරිතලා පුපුරා යනවා වගේ පෙනෙන මේ විදුලිය විටෙක ළඟ වාගේ පෙනුනට අකුනේ හඬ ඇහෙන්නට ගතවන කාලය වැඩි නං, ඒ කියන්නේ විදුලි කෙටීම බොහෝ ඈත බවයි. ළඟ කොටනා විදුලිය කන් අඩි පුපුරවන සේ අකුණු ගසන බව දැනෙන්නේ දැකීමට ගතවන කාලයත් ඇහෙන්නට ගතවන කාලයත් අතර වූ අන්තරය දුරට සමානුපාතික වන නිසයි.

“හැබෑටම පුතේ මේ අකුණු ගහන එකයි, විදුලි කොටන එකයි සිද්ද වෙන්නේ වලාකුළු වල සිදුවෙන විපරියසයක් නිසා කියලයි මම අහලා තියෙන්නේ”. සූටිගමරාළ මාමා වැඩිපුර කථා නොකෙරුවට මේ වැස්සේ වැඩක් කරන්නත් බැරි නිසා කදේට වැටුනා. පුළුන් බෝල වගේ අහසේ තියෙන වලාකුළු වහින්න කිට්ටු වෙනකොට දැලි ඇතිල්ලුවා වාගේ කළු පාට වෙන්න පටන් ගන්නේ ජලවාෂ්ප ඝනීභවනය වෙන නිසයි. සමකයට ආසන්නයේ මුහුදේ උණුසුම දහවලට බොහොම වැඩි නිසා වැඩිපුර ජලවාෂ්ප ප්‍රමාණයක් ඉහල අහසට එකතු කරනවා. ඒ විතරක් නොවෙයි ඒක හින්දම සුළං තත්වයත් අධිකයි. අධික සුළං හමුවේ වලාකුළු ආරෝපණය වෙනවා.

ආරෝපිත වලාකුළු තමයි විදුලිය සහ අකුණු ඇති කරන්නේ. මේ සිදුවෙන ක්‍රමය පිළිබඳව නිශ්චිතව තහවුරු කරගෙන නැති වුනත් විද්‍යාඥයෝ යම් මතයක් මේ සඳහා ඉදිරිපත් කරනවා. සුලි කුණාටුවක තියෙන විශේෂත්වය තමයි මෙවැනි විදුලි කෙටීම් සහ අකුණු ඇති වීම්. සුළි කුණාටුවේ මධ්‍යය තමයි අරෝපනයේ තිඹිරි ගෙය වන්නේ. එහිදී ඇතිවන ඉහල සහ පහල ට යන සුළං ධාරා මගින් ධන සහ ඍන ආරෝපණ වෙන් කරනවා. එතකොට ධන ආරෝපණ රැදෙන්නේ ඉහළ කොටසෙයි. පහලට ඇදෙන්නේ ඍන අරෝපණයි.

වෙනස් ආරෝපණ කලාප නිර්මාණය කිරීම විභාවයේ අන්තරයක් ඇති කිරීමට සමත් වෙනවා කිව්වොත් නිවැරදියි. ආරෝපණ කලාප ගත වීම හරීම දරුණුයි. අස්ථාවර තත්වය ස්ථාවර කරන්නට සමතුලිතය වැදගත්. එය සිදුවන්නේ ධන සහ ඍන ආරෝපණ එක්ව උදාසීන වීමෙන්.

“හැබෑටම ඉතින් මේ ඍන ආරෝපණ කොහේට හෝ ගමන් කරනවා කියන්නේ විදුලි ධාරාවක් ගමන් කිරීමම නේද පුතේ ?” සුටි ගමරාළ මාමා ගමේ ඉන්න බොහොම බුද්ධිමත් වැඩිහිටියෙක්. හරියටම හරි ඒක තමයි වෙන්නේ. හැබැයි දරුණුම තත්වය උදාවෙන්නේ මේ විදුලි ධාරාව පොළොවට පනින කොට. එතකොට තමයි ඔන්න අපේ මිනිස්සු හෙන ගහනවා කියලා බය වෙන්නේ.

විදුලි පුලිඟු ඇතිවීම ක්‍රම කිහිපයකටම වෙන්න පුළුවන්. සුලි කුනාටුවේම තැන් දෙකක තියෙන ධන සහ ඍන ආරෝපණ එකතු වෙන්න පුළුවන්. ඒකට කියන්නේ “අන්තහ් වලාකුළු විදුලි කෙටීම” ක් කියලා.  ඒ වාගේම වලාකුළු දෙකක් අතරේ පුලිඟු පැනීමක් වෙන්නත් පුළුවන්. ඔන්න එතකොට ඒවා හඳුන්වනවා “අන්තර් වලාකුළු විදුලි කෙටීම්” කියලා. ඒ වාගේම තමයි වලකුලේ තියෙන ඍන ආරෝපණ පොළොවට පනිනත් පුළුවන්. අපට ඒවා “මිහි-වළා විදුලි කෙටීම්” කියලා හඳුවන්නත් පුළුවන්. කොහොම උනත් පොළොවේ වෙසෙනා මිනිසුන්ට සතා සිව්පාවට ගහකොළට හානි ගෙන දෙන්නේ මිහි-වළා විදුලි කෙටීම්.

ලෝකයේ සිදුවන සියයට හැත්තෑවක් විතරම විදුලි කෙටීම් ඇතිවෙන්නේ මේ සමකය ආසන්න පොළොවේ. ලෝකයේ විදුලි කෙටීම් තත්පරයකට 40 -50 ක් විතර සිදුවෙනවා කියලයි කියන්නේ. ඒ විතරක් නොවෙයි අවුරුද්දකට ලෝකේ මිනිස්සු 2000 විතර මැරෙනවා කියලාත් සංඛ්‍යා ලේඛන වල තියෙනවා. විදුලි කෙටිම ආරම්භවන ස්ථානයේ එහෙමත් නැතිනම් අකුණු ගහන තැන උෂ්ණත්වය බොහොම ඉහල යනවා. විද්‍යාඥයින් කියන විදියට ඒක හිරුගේ මතුපිට උෂ්ණත්වය වාගේ පස්ගුණයක් පමණ වෙන බවයි පවසන්නේ. එක් නිසාම සුළි කුණාටුවේ ඒ ආසන්න ජලය සහ ජල වාෂ්ප අධිකව රත්වෙනවා. අකුණු ගසන විට බිමට වැටෙන්න මෙලෙස අධිකව රත් වූ ජලය.     

කොහොම උනත් මේ දවස්වල වහින වෙලාවට පිට්ටනි වාගේ තැන්වල ඉන්න එක හොඳ නැහැ. ඒ වාගේම පොල් කිතුල් තල් වැනි ගස්යට ඉන්න එකත් අනතුරු දායකයි. විදුලි කොටන අවස්ථාවලදී නිවෙස්වල විදුලිය පරිහරණය කිරීම ඉතාම භයානකයි. සියලුම විදුලි උපකරණ විදුලි පේනු වලින් ගලවලා ඉවත් කර තබන්නට ඕනේ. ඒ වාගේම තමයි ගමන් බිමන් යනකොට ඉහළින් කුරක් සවිකරලා තියෙන කුඩ පාවිච්චියත් අනතුරු වලට අත වනනවා. ඒක හින්දා බක් මහේ විතරක් නොවෙයි සුළි කුණාටු ඇතිවන සෑම කාලයකම වාගේ මේ පිළබඳව විමසිල්ලෙන් ඉන්නට ඕනේ.   



ආචාර්ය පත්මකුමාර ජයසිංහ     

Wednesday, 13 September 2017


විදුපත් ඉරුව

2017 අගෝස්තු 30 බදාදා

2017 මැයි 26 වැනිදා අපේ රටට සුභ දායක දිනයක් වූයේ නැහැ. නිරිත දිග මෝසම හේතුවෙන් දින කිහිපයකට කලින් වැසි සමය ආරම්භ වූවත් හිරිපොද වැටෙමින් පැවතුණි. එදිනම සවස් වරුවේ ද මේ තත්වය එසේම තිබුණි. නමුත් රාත්‍රිය වන විට තත්වය කණපිට පෙරළෙන්නට පටන් ගති. මහා වැසි ඇදහැලෙන්නට පටන් ගත් අතර ස්වයංක්‍රිය වර්ෂාමාන වල පාටංක බලා සිටිද්දී වැඩි වෙන්නට පටන් ගත්තේය. ඉතා සුළු වේලාවකදී වර්ෂාපතන අගයන් මිමි 300 ඉක්ම වූ අතර කළුතර, මාතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මෙම තත්වය වඩා ප්‍රමුකව තිබු බවට වාර්තා විය. මේ තත්වය මෝසම හේතුවෙන් ඇති වූ අසාමාන්‍ය කාලගුණික තත්වයක් බව පැහැදිළි විය. එය ශ්‍රී ලාංකික ආපදා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක් බවට පත් විය. වඩා දරුණු තත්වයක් නිර්මාණය වුයේ මේ සමගම මහා වැසි හේතුවෙන් අධික ගංවතුර තත්වයක් ඇති වීමයි.

මෙම ආපදා තත්වය ඇති වී මාස කිහිපයක් ගත වී ඇති නමුදු පශ්චාත් ආපදා විමර්ශනයක් කල යුතු යයි මට හැඟෙ. එනිසා දැනට සිදුකර ඇති අධ්‍යනයන්ට අනුව මේ සඳහා වූ හේතු ප්‍රත්‍යන් කවරේදැයි විමසා බැලිය යුතුය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පශ්චාත් ආපදා විමර්ශන සහ විද්‍යාත්මක අධ්‍යන වල නිරත වූ අතර එහිදී පැහැදිළි වුයේ බස්නාහිර සහ දකුණු ප්‍රදේශ ඉතා දරුණු ලෙස හානියට පත්ව ඇති බවයි. පසුගිය වර්ෂයේ සිදු වූ මෙවැනිම ආපදාවක් නිසා කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක මෙවැනිම ලෙස ආපදාවට ලක් වූ බව රහසක් නොවේ. මේ දෙකෙහිදීම මෙතෙක් සිදු කරනු ලැබූ පස්චාත් ආපදා අධ්‍යන වලින් පැහැදිළි වුයේ කාලගුණ විපර්යාසයන්ට අමතරව ජනගහන වර්ධනය වීම හේතුකොටගෙන වැඩි වූ මානව ක්‍රියාකාරකම් මෙම නාය ආපදා තත්වය වර්ධනය වීම කෙරෙහි ලා ප්‍රමුඛ කාර්යයක් කර ඇති බවයි.  

මහා වැසි හේතුවෙන් උත්ප්‍රේරණය වන නාය ආපදා නිසා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ඉතා අධිකව ග්‍රහණයට ලක් වන බව ද එනිසාම හානියට ලක්වන බව ද කිසිම සැකයක් නොමැත. එනිසාම මධ්‍යකඳුකරයේ බොහොමයක් ස්ථාන හානියට ලක් වී ඇත. දිස්ත්‍රික්ක 13 ක් අයිතිවන වර්ග කිලෝමීටර 13 0000 ක් පමණ වන එනම් ශ්‍රී ලංකික භූමියෙන් සියයට විස්සක් පමණ වන වර්ගඵලයක් මෙම නාය ආපදා සඳහා නතුව ඇති බව මෙරට කරන ලද අධ්‍යන වලින් පැහැදිළි වී ඇත. මෙම වර්ග ප්‍රමාණය තුල මෙරට ජනගහනයෙන් සියයට 42 ක් පමණ වෙසෙන බවද අමතක නොකළ යුතුය.

මෙවර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය ආපදා විමර්ශන කටයුතු මුල් සතිය තුල අඩාල වීමට ප්‍රධාන හේතුව වූයේ බොහොමයක් මාර්ග ගංවතුර හේතුවෙන් අවහිර වීමයි. ප්‍රධාන කොටම මහවැසි ගංවතුර සඳහා හේතු වූවත් ඇති වූ නාය යාම් තත්වය ද ගංවතුර තත්වය උග්‍ර කරන්නට හේතු වූ බව පැහැදිලිය. මේ හේතුවෙන් බොහොමයක් නගර සහ ඒ සම්බන්දිත මාර්ග අවහිර වූ අතර මේ තත්වට දුරකථන සහ විදුලි සම්බන්ධතා බින්ද හෙලන්නට සමත් ව තිබුණි. නමුත් මේ තත්වය මද පමණින් හෝ පහව ගිය පසු හදිසි විමර්ශන කටයුතු අරඹන්නට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උත්සාහ කරන ලදී.

විමර්ශන කටයුතු වලදී පැහැදිළි වූයේ මෙම නාය ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 203 ක් පමණ මිය ගොස් ඇති බවයි. සංක්‍යාලේඛන වලට අනුව පසුගිය දශකය තුල පුද්ගලයින් 1500 කට අධික ප්‍රමාණයක් අප රටට අහිමි වී ඇති අතර  දෙලක්ෂයක් පමණ වූ ජනතාවකට සදාකාලිකව නිවාස අහිමි වී ඇත. 

සිදුකරන ලද අධ්‍යන කටයුතු වලදී පෙනී ගියේ මෙම නාය ආපදා තත්වය වර්ධනය වීම සඳහා හේතු කිහිපයක් මුල් වී ඇති බවයි. අනපේක්ෂිත ලෙස කෙටි කාලයකදී තද වැසි ඇති වී විශාල වර්ෂාපතනයක් පතිත වීම මෙහිදී මූලික කරුණ වූ බව පැහැදිළි වෙයි. ආපදාවට ලක් වූ දිස්ත්‍රික්ක වල ස්ථාපිත කරනු ලැබ තිබු ස්වයංක්‍රිය වර්ෂාමාන වල දත්ත මේ බව මොනවට පැහැදිළි කරයි.

අසංවිධානාත්මක භුමි පරිහරණය දෙවැනි කරුණ ලෙස හැඳින්විය හැක. මේ ප්‍රදේශවල අතීත භුමි පරිහරණ රටාව හා සන්සන්ධනය කිරීමේදී පැහැදිලිවන්නේ ඉතා දරුණු ලෙස වර්තමාන භුමි පරිහරණ රටාව වෙනස් වී ඇති බවයි. මේ සඳහා ප්‍රමුකව බල පා ඇති කාරණාව ලෙස සැලකිය හැක්කේ ජනගහන වර්ධනය සහ මධ්‍ය කඳුකරය දෙසට ඔවුන්ගේ ව්‍යාප්තියයි.

මිනිසුන්ගේ නීති පිලි පැදීමට ඇති නොකැමැත්ත සහ නොසලකා හැරීමද මෙහිදී වැදගත් කාරණාවක් බව මතකයේ රඳවා ගත යුතු කරුණකි. ජාතික ගොඩනගිලි පර්යේෂණ සංවිධානය විසින් ස්ථාපනය කරන ලද නීති සහ අනුගමනය කල යුතු මූලික කරුණු නොසලකා හැරීම යම් යම් ලෙස නාය ආපදා තත්වය වර්ධනය කරවන්නට හේතු වී ඇති බව පැහැදිළි වෙයි.

මෙවර සිදු වූ නාය ආපදා තත්වයේ පශ්චාත් විමර්ෂණ කටයුතු තවමත් අවසන් වී නොමැත.  නමුත් මේ දක්වා ලද දත්ත වලට අනුව මෙම නාය ආපදාව සඳහා මුලිකව බලපෑ කරුණ වන්නේ කෙටි කාලීනව ලද අසාමාන්‍ය වර්ෂාපතනය බවට සාරාංශ ගත කල හැක. ඊට අමතරව මානව ක්‍රියාකාරකම් උග්‍ර වීමද  පවතින නීති කෙරෙහි අඩු තක්සේරුවක් දැක්වීමද මෙවර නාය ආපදාව කෙරෙහි බලපෑ කරනු වෙයි.  

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ     

Thursday, 24 August 2017

විදුපත්ඉරුව2017 අගෝස්‌තු 23 බදාදා

මහාචාර්ය පීටර් වුඩ් (Prof. Peter Wood) යනු ආර්ථික විශේෂඥයෙකි. 1980 දී පමණ ඔහු කියා සිටියේ ලෝකයේ සිදු කරන ආර්ථික ගණනයන්වල දී පරිසරය අපට ලබා දෙන සේවාවන් උදෙසා ආර්ථික වටිනාකමක්‌ ලබා දිය යුතු බවයි. එසේ නො වන තාක්‌ රටක ආර්ථිකය අඳුරු (brown) බව ද පාරිසරික සේවාවන් අගය කරමින් ඒ සඳහා අගයන් එක්‌ කරන්නේ නම් එම ආර්ථිකය 'හරිත'වත් (green) බව ය.

'හරිත ගිණුම්කරණය' ලෝකය පාරිසරික සංරක්‌ෂණයේ නව මාවතකට යොමු කළ අදහසක්‌ බව කිව යුතු ය. අප සැම දා නො සිතන ලෙස පරිසරය සහ එහි සේවාවන් අගය කිරීමකට ලක්‌ වන්නේ නැත. කිසි දා ආපසු හැරී නො බලන ගමනක යෙදෙන ලෝක ආර්ථිකය කළු හෝ සුදු හෝ යෑයි නො සිතා ක්‍රියා කිරීම හේතුවෙන් පරිසරයේ වටිනාකම මෑතක්‌ වන තුරු ම ලඝූ කර ඇති බව පැහැදිලි ය. කාර්මික විප්ලවයේ විප්ලවීය වෙනස වූයේ හරිතමය වැස්‌ම ඉවත් කර අඳුරු පැහැ ගත් කර්මාන්ත ලොව ස්‌ථාපිත කරන්නට ය. එහෙත් කලක්‌ යද්දී තම ගමන්මග නිවැරැදි නො වන බව බටහිරයන් තේරුම්ගන්නා විට මුළු ලොව ඔවුන් අනුගමනය කරන්නට පටන්ගෙන අවසාන ය. එහෙත් හරි හරියට සිදු කරන තම විනාශකාරී ආර්ථික සංවර්ධන කටයුතු නවතාලන්නට නම් ඔවුන් කැමැති වන්නේ නැත.

ඇමෙරිකාව, රුසියාව, ජර්මනිය, කැනඩාව වැනි රටවල් ද චීනය, ඉන්දියාව සහ ජපානය වැනි රටවල් ද වර්තමානය වන විට ලොව වැඩි ම ෆොසිල ඉන්ධන දාහකයන් බවට පත් වී ඇත. චීනය වාර්ෂිකව නිපදවන CO2 ප්‍රමාණය අනුව ප්‍රමුඛ රාජ්‍යය වී ඇත. ඇමෙරිකාව වාර්ෂිකව නිපදවන CO2 ප්‍රමාණය ගිගාටොන් 21.3ක්‌ යෑයි ගණන් බලා ඇත. ඔවුන් එසේ ඇති පදමට වායුගෝලයට CO2 නිදහස්‌ කරමින් අප වැනි තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටවලට කියා සිටින්නේ එවැනි ක්‍රියා නවතා හරිතවත් ආර්ථිකයක්‌ කරා ගමන් කළ යුතු බවයි. ඔවුන් අපට බල කර සිටින්නේ අද අද ම රටේ වාර්ෂික අයවැය සකස්‌ කිරීමේ දී හරිත ගිණුම්කරණය අනුගමනය කළ යුතු බවයි. එහෙත් අමතක නො කළ යුත්ත නම් ඔවුන් දියුණු රටවල් බවට පත් වී ඇත්තේ ද, එම තත්ත්වය පවත්වාගෙන යන්නේ ද හරිත ආර්ථික සංකල්ප මත ම නො වන බවයි. එය තනිකර ම අඳුරු ආර්ථික සංකල්ප මත පදනම් ව ඇත.

හරිත ගිණුම්කරණය තුළ අප සිදු කරන සියලු ක්‍රියා විශ්ලේෂණයට ලක්‌ වන්නේ නිපදවන CO2 ප්‍රමාණය මත ය. වායුගෝලයේ CO2 මට්‌ටම අඩු කරන්නට දක්‌වන දායකත්වය ද මේ විශ්ලේෂණයේ එක්‌ අංගයක්‌ වන අතර ඒ අනුව ඒ ඒ ක්‍රියා සඳහා ආර්ථික වටිනාකම් ලබා දෙයි. එහෙත් මේ ක්‍රියාව සියයට සියයක්‌ ම නිවැරැදි නො වන මුත් අවමය ලෙස පරිසරය සහ පාරිසරික සේවාවන් අගය කර ආර්ථික වටිනාකමක්‌ ලබා දෙන්නට හැකියාව ලැබී ඇත. CO2 උරාගනිමින් පමණක්‌ ම ගසක්‌ සිදු කරන සේවයට කෙලෙස නම් ආර්ථික වටිනාකමක්‌ එක්‌ කළ හැකි ද? මෙය ඉතා සංකීර්ණ ගිණුම්කරණයක්‌ බව කිව යුතු ය. CO2 අඩු කිරීම තුළ අප ලබන වාසිය කුමක්‌ ද? ගෝලීය උණුසුම අඩු කරන්නට අඩු CO2 නිෂ්පාදනය හේතු වන්නේ නම් ඒ හා බැඳී ඇති අනෙකුත් ක්‍රියා දාමයන් ද වාසි ලබන බව කිව යුතු ය. උණුසුම් අඩු වීම ධ්‍රැව අයිස්‌ දිය නො කරන්නට සහාය දෙන අතර එය මුහුදු මට්‌ටම වැඩි නො කරන්නට හේතු වෙයි. වෙරළාසන්න ජනාවාස යට නො වීම හේතුවෙන් ලබා දෙන ආර්ථික වාසි කොපමණ ද යන්න ඔබට සිතාගත හැකි වේ වි.

හරිත ගිණුම්කරණය විවිධ ස්‌වාභාවික ක්‍රියා සඳහා ආර්ථික වටිනාකම් ලබා දෙන්නට උත්සාහ කරයි. එහෙත් එය කෙතරම් සාර්ථක ද යන්න විග්‍රහ කළ යුතු ය. යම්කිසි පාරිසරික ක්‍රියාදාමයක්‌ මගින් අපට (මිනිසාට පමණක්‌) ලබා දෙන වාසි (සේවය) පමණක්‌ ම මෙහි දී සැලකිල්ලට ගන්නේ ද යන්න සලකා බැලිය යුතු ය. උදාහරණයක්‌ ලෙස මී මැස්‌සන් ගේ හෝ වවුලන් ගේ පැවැත්ම මානවයාට කෙතරම් වාසිදායක ද යන්න සැලකිල්ලට ගන්න. ඝෘජු ව ගන්නේ නම් ඔවුන් ගේ පැවැත්ම හා පරිසරය තුළ ක්‍රියාකාරිත්වය මිනිසාට වැදගත්කමක්‌ හෝ වාසියක්‌ හෝ ගෙන දෙන්නේ නැත. එහෙත් ඔවුන් පුෂ්ප පරාගණය කරමින් සිදු කරන මෙහෙය අති විශාල ය. ඔවුන් නොමැති නම් සපුෂ්ප ශාක බොහොමයක පරාගණය ඇණහිටින අතර ඵල නිෂ්පාදනය ද එනිසා ඝෘජුව ම ඔවුන් ගේ අනාගත පැවැත්ම ද අඩාළ කරනු ඇත. ඵල නිෂ්පාදනය නිසා පරිසරයේ කොපමණ සත්ත්ව විශේෂ සංඛාවක්‌ පිහිට ලබන්නේ ද යන්න ද මෙහි දී සැලකිල්ල ගත යුතු ය. ඵල නිෂ්පාදනය නිසා එම ශාකවල ව්‍යාප්තිය තහවුරු කරන අතර නව ශාක ඇති වීමෙන් නැවත නැවතත් ලබා දෙන සියලු සේවාවන් අප සැලකිල්ලට ගන්නා විට පරාගණය උදෙසා කවර ආකාරයේ අගයක්‌ ලබා දිය යුතු ද යන්න මතභේදාත්මක නො වේ ද?

සේවය මත අගයන් ලබා දීම කළ යුතු මුත් ඒ සඳහා කවර ආකාරයේ වටිනාකම් ලබා දෙන ක්‍රමවේදයක්‌ අනුගමනය කළ යුතු ද යන්න බොහෝ සීරුවෙන් ස්‌ථාපනය කළ යුතු ය. එය ගෝලීය ස්‌ථාවරයක්‌ විය යුතු ද නැත හොත් ප්‍රාදේශීය වශයෙන් වෙනස්‌ විය යුතු ද යන්න පවා මෙහි දී විග්‍රහ කළ යුතු ය. ඒ කෙසේ වෙතත් තවමත් නිසි ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය නො වූ ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව ඉතා නම්‍යශීලී පිළිවෙතක්‌ අනුගමනය කළ යුතු යෑයි මා සිතන්නේ ආර්ථික සංවර්ධනය ද මෙරටෙහි පැවැත්ම කෙරෙහි බලපාන බැවිනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday, 20 August 2017




අංගාර පා සටහන් (carbon foot print) විශාල නොවන තරමටම ඔබ පරිසර හිතකාමී දැයි කිව හැකි නොවේ. කෙසේ වෙතත් ගෝලීය CO2 වායුගෝලීය ප්‍රතිශතය මිලියනයට කොටස් 400 ඉක්මවා ගොසින්. CO2 මට්ටම ඉහල යන එක නවත්තන්නේ කෙසේද? පොසිල ඉන්ධන දහනය ඇතුළු තවත් ක්‍රියාදාමයන් කිහිපයක්ම මේ සඳහා හේතු වෙනවා. වනන්තරහරණය මෙහිදී ඉතා ප්‍රභලව බලපාන කරුණක්. මන්දයත් නිපැදවෙන CO2 ගිලගන්නට හැකි  යාන්ත්‍රණය සකස්කර ඇත්තේ ගස්වැල් නිසයි. ප්‍රභාසංස්ලේෂණය ගිලගත් CO2 ජලය සමග එක්කර නැවත ජීවි පැවැත්ම උදෙසා නිපැදවෙන ආහාර  තුල වයුගොලිය CO2  සිරකර දමයි. ශක්ති ජනනය එලෙස ගතහොත් CO2 වායුගෝලයට එක කරන තවත් ක්‍රියාවලියක්. නමුත් එය ස්වභාවිකයි. දියුණු යුරෝපීයන්ගේ (ඔවුන් කියන ලෙස) ආගන්තුක සහ නොදියුණු කෘතීම ක්‍රියාදාමයන් වත්මන් ගෝලීය CO2 සඳහා හේතුවන බව ඔවුන් පිළිගන්නට මැලි වූවත් ශ්‍රී  ලංකාව වැනි කුඩා ආසියතිකයන්හට බල කර සිටින්නේ CO2 නිෂ්පාදනය අවම කරන ලෙසයි. සියලු නිර්ණයක් නිර්මාණය කරන්නේ ඔවුන් බැවින් එහි සියලු වාසි ඔවුන් සතු වෙන ලෙස සකස් කර ඇත, එමගින් තමන්ගේ ගැලවුම තහවුරු කර ඇති අතර පාරිසරික ආරක්ෂණය පිලිබඳ දෙන උපදෙස් ගෝලීය ආරක්ෂණය සඳහා නොව ඔවුන්ගේ පැවැත්ම උදෙසා බව අප තේරුම් ගත යුතුය. වර්තමානයේ විවිධ ව්‍යපෘති හරහා අපට්ර ලබා දෙන ණය සහ ආධාර මගින් අපව සිරකර ඔවුනට අවැසි රුකඩයන් බවට පත් කර ඇත. එනිසා ඉදිරිකාලයේදී CO2 මුක්තය අවම කිරීම සහ පාලනය සඳහා අපවැනි රටවල ජිවත්වන මිනිසුන්ගේ කෑම වේල් සංඛ්‍යාව හා ප්‍රමාණය ඔවුන් තීරණය කලද මේ තත්වය හමුවේ පුදුම විය යුතු නොවේ.

Thursday, 17 August 2017

විදු පත් ඉරුව2017 අගෝස්‌තු 16 බදාදා

'ඇවිද්ද පය දහස්‌ වටී' කියලා කියන්නේ සංචාරය කරන්නා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු බවයි. ඉස්‌සර නං මිනිස්‌සුන්ට ඇවිදලා ම තමයි බොහෝ තැන්වලට යන්න සිද්ධ වුණේa. ඒත් ප්‍රවාහනය දියුණු වෙනවත් එක්‌ක බොහෝ ප්‍රවාහන මාධ්‍ය ලෝකයට එකතු වුණු නිසා ඒ කාරියත් බොහෝ ම පහසු වුණා. විවිධ ප්‍රවාහන මාධ්‍ය ජනප්‍රිය වුණත් ගොඩබිම ප්‍රවාහනයට නම් මේ දක්‌වා පහසු ම සහ ලේසි ම මාධ්‍යය වන්නේ මෝටර් රථයි. නා නා මාදිලියේ රථවාහන දැන් දැන් වෙළෙඳපොළට හරි හරියට එනවා. වෙලාවකට හිතෙනවා මෙච්චර වාහන ලංකාව ඇතුළේ කොහේ දුවන්න ද කියලත්. තියෙන වාහන ප්‍රමාණයේ හැටියට මේ පාරවල් නං ළඟ දි ම මදි වෙයි දෝ කියලත් හිතෙනවා.

කොළඹ නං හොඳට ම වාහන වැඩි වෙලා. පාරවල් ඉඩ මදි. පාරවල් ලොකු කරන්න ඉඩ ගන්න විදියක්‌ නැහැ ගොඩනැගිලි හැම තැන ම. ගොඩනැගිලි කඩන්න බැහැ. මිනිස්‌සුන්ට ලොකු වන්දියක්‌ දෙන්න වෙනවා. ඒ කොහොම හරි කොළොඹ වාහන තදබදය හරි ම දරුණුයි. උදෑසනත් දහවලත් හවසත් රාත්‍රියත් එක ම විදියක්‌. කොළොඹ විතරක්‌ නො වෙයි දැන් දැන් අනෙකුත් ආසන්න නගරවලත් මේ වාහන තදබදය ඇති වෙලා. මෙයින් බැට නො කාපු අයෙක්‌ හොයාගන්න නං කොහොමත් ම බැරි වේ වි.

වාහන තදබදයට හේතු වෙන්නෙ වාහන වැඩි වීම පමණක්‌ ද? වාහන තදබදය අඩු කරගන්න මහජනතාව හැටියට අපට කළ හැකි යමක්‌ නැද්ද? වාහන පදවන අය පමණක්‌ නො වෙයි මහා මාර්ග භාවිත කරන සියලු දෙනාට ම ඒ වගකීම ඇති බවයි මගේ හැඟීම. බොහෝ වාහන තදබදවලට හේතු වන්නේ අපරීක්‌ෂාකාරී රිය පැදවීම් කියලයි හිතෙන්නේ. මහා මාර්ගයේ දක්‌වා ඇති සංඥා නො සලකා හැරීම අපරික්‌ෂාකාරී බවේ තවත් අවස්‌ථාවක්‌. කොහොම වූණත් අද මහාමාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකු ගේ ඉවසීම නං බිඳී ගොසින් ඇති බවයි පැහැදිලි වන්නේ.

මාර්ග නීති පිළිපැදීම මාර්ගයක ගමන් කරන විට අනුගමනය කළ යුතු මයි. එහෙම නීති පද්ධතියක්‌ හඳුන්වා දී ඇත්තේ මහා මාර්ගය භාවිත කරන්නා වූ සියල්ලන් ගේ ම සුබසිද්ධිය උදෙසායි. සරල ම සන්නිවේදන ක්‍රමවේදය සංඥා භාවිතයයි. එය ඉතා සරලයි. පහසුවෙන් වැටහෙනසුලුයි. අකුරු නො දන්නා සැම අයකුට ම තේරුම්ගත හැකියි. භාෂාව නො දන්නා සැම අයකුට ම හොඳින් අවබෝධ වෙයි. ඒත් මහා මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකු ගේ මාර්ග සංඥා නෙත ගැටෙන්නේ නම් ඉතා අඩුවෙන් බවයි පෙනී යන්නේ. බොහෝ දෙනකු අන්ධයන් වගෙයි.

මහා මාර්ගයේ ගමන් කරන්නන් අතර සම්බන්ධකම් පවත්වාගැනීම තදබදයෙන් තොර ව මහා මාර්ගය තබාගැනීමට හේතු වනවා. වාහනයක ගමන් කරන්නා හෝ පදිකයා ඊළඟට කරන්නේ යන්නේ කුමක්‌ ද යන්න අවට සිටින්නන් දැනගැනීම ඉතා වැදගත්. අදාළ පුද්ගලයා ගේ ක්‍රියාකලාපය අනුව බොහෝ දේ තීරණය විය හැකි යි. නො දන්වා ක්‍රියාත්මක වීම එනිසා එතරම් නුවණැති ක්‍රියාවක්‌ නො වේ. තමා මාර්ගයේ වමට හරවන්නේ නම් ඒ සම්බන්ධිත ආලෝක සංඥා දැල්විය යුතුයි. එවිට පසුපසින් රිය පදවන්නා ගේ පමණක්‌ නො ව ඉදිරියෙන් තමා වෙතට එන්නාට තීන්දු තීරණ ගැනීමට ඉතා පහසුවක්‌ ගෙන දෙයි. මෙසේ මහාමාර්ග භාවිත කරන්නන් අතර අෙන්‍යාන්‍ය සන්නිවේදන සම්බන්ධකම් නිවැරැදි ධාවනයට සහ තදබදය අඩු කරන්නට හේතුවක්‌.

වර්තමානයේ ඉතා පැහැදිලිව පෙනී යන්නේ මාර්ග නීති බොහෝ දෙනකු පිළිපදින්නේ ආරක්‌ෂක නිලධාරීන් මාර්ගයේ ඉන්නා විට පමණක්‌ බවයි. එනිසා ස්‌ථාපිත මාර්ග නීති පොතට පමණක්‌ සිමා වෙලා. ඉතා කක්‍රමානුකුලව කදිමට රිය පදවන්නට හැකි බව බොහෝ දෙනෙකු ආරක්‌ෂක නිලධාරීන් ඉන්නා විට නං පෙන්වා දෙයි. මේ අතර බොහෝ රිය ධාවකයන් ගේ ඉවසීම බින්දුවට බැස ඇති බව ඔවුන් ගේ විවිධ ක්‍රියාවලින් පෙනෙනවා. සුළු මොහොතක්‌ හෝ පමා වීම ඉවසිය නොහැකි වී ඇත්තේ කෙලෙස ද? නළාව නාද කරමින් තමන් ගේ නොඉවසිලි බව අවට සියල්ලට ම පෙන්වයි. වාහනයක්‌ ප්‍රධාන ප්‍රවාහයට එක්‌ කරන විට හෝ හරවා ඉවතට යන විට ද මෙවැනි බාල ක්‍රියා මහමග දී දැකිය හැකියි. මාර්ගය ඉඩ නො දීම හෝ වාහන යන තුරු ඉවසා නො සිට එකවර ම මාර්ගයට ප්‍රවේශ වීම ද බොහෝ වාහන තදබද සඳහා හේතු වී ඇති බව රහසක්‌ නො වේ.

අධ්‍යාපනික මට්‌ටම මෙවැනි ක්‍රියා සඳහා හේතු විය හැකි බව සිතුවත් එය එසේ නො වන බව කිව යුතුයි. අධ්‍යාපනයෙන් ඉහළ මට්‌ටමක අය පවා රිය පදවන විට එවැනි පහත් ක්‍රියා සිදු කරන බවයි පෙනෙන්නේ. මාර්ගකට පිවිසි විට මේ සියලු දෙනා ගේ අභිප්‍රාය වී ඇත්තේ අනෙකා පරයමින් තම රථය ධාවනය කිරීමයි. මාර්ගයේ අයිතිය තමා සතු කරගැනීමයි. එසේ නොමැති ව අනුන් ගේ මාර්ගයක ගමන් කරන බව සිතා අනෙකාටත් ඒ මාර්ගයේ ගමන් කිරීමේ අයිතිය තහවුරු කරන්නන් නම් අතළොස්‌සයි. මහා මාර්ගයේ ගමන් කරන සියලු දෙනා තම ඥාතීන් සහ මිතුරන් යෑයි සලකා වැඩකටයුතු කරන්නේ නම් අකටයුතුකම් කාගෙන් වත් සිදු නො වනු ඇතැයි මට සිතෙනවා.

පදිකයන් ගෙන් ද සිදු වන වැරැදි බොහෝයි. සිතු සිතු තැන්වලින් පාර මාරු වීම සුලබ දසුනක්‌. විශේෂයෙන් ම රාත්‍රියේ අඳුරු තැන්වලින් පාර මාරු වීම කෙසේ වත් නො කළ යුතුයි. පාර මාරු වීමට අවශ්‍ය නම් හොඳින් එළිය ඇති පාර මාරු වීමට අවසර ඇති තැනකින් එය සිදු කළ යුතුයි. වාහනවලට මුවා වී ඇති විටත් මාරු වීම නො කළ යුතුයි. තමා හොඳින් පෙනීමට සලස්‌වා එකඟතාව ඇති විට පමණක්‌ පාර මාරු වීම සිදු කරන්නේ නම් අනතුර සහ තදබදය බොහෝ අඩු කළ හැකියි.

නීති පමණක්‌ නො ව රීති ද සැලකිල්ලට ගෙන මාර්ගය භාවිත කරන්නේ නම් මාර්ග තදබදය පමණක්‌ නො ව බොහෝ රිය අනතුරු අවම කරගත හැකි බව අප තේරුම්ගත යුතුයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 11 August 2017

විදුපත්ඉරුව

යම් දිනෙක මෙලොව සියලු සංස්‌කෘතීන් විද්‍යාව වැළඳගත හොත් ඇති වන තත්ත්වය කෙබඳු වේ දැයි සිතිය හැකි ද? එය ඔය කියනා ලෙස එක ම ආකාරයක්‌ වේ ද, නැත හොත් ප්‍රාදේශීයව වෙනස්‌ වේ ද යන්න ඔබට ගැටලුවක්‌ වනු ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව ඔබට සිතන්නට ඉඩ සලසමින් ඔබ අප ගේ අවධානය යොමු විය යුතු කරුණක්‌ මෙවර විදුපත් ඉරුවේ සඳහන් කළ යුතු යෑයි සිතේ.

නීති සහ රීති යම් සංස්‌කෘතියක යම් රටක පාලනයට අවැසි ය. යම් රටක නීතිය පිළිපැදීම ද, යම් සංස්‌කෘතියක රීතියට ගරු කිරීම ද කළ යුතු ය. වසර සිය දහස්‌ ගණනක තිස්‌සේ ඔවුනොවුනට අනන්‍ය වූ රීතීන් ඒ ඒ සංස්‌කෘතීන් තුළ පැවතිණි. ලිත නීතිය නො වූ කල රීතිය නීතිය වන්නට ඇති බව සිතිය හැකි ය. ඒ කෙසේ වෙතත් ලෝකය තනි යායක්‌ කරන්නට තැත් කරන ඉසව්වේ එක්‌ එක්‌ රටවල අඩු හෝ වැඩි වශයෙන් එකිනෙක වෙනස්‌ වෙමින් වුව ලිත නීති පද්ධතියක්‌ ගෙන එන්නේ කිසියම් ආකාරයකට එක ම පාලන තන්ත්‍රයක්‌ ස්‌ථාපනය කරන්නට ය. එය එක්‌ එක්‌ බටහිර ජාතීන් ලොව පාලනය කරන කාලයේ ස්‌ථාපනය කරන්නට කළ තැත මෙනි.

කුමන නීතිය ගෙන ආව ද, සංස්‌කෘතියක තිබෙන රීති ඉවත දැමිය නොහැකි ය. මන්ද යත් කල්ප කාලාන්තරයක්‌ භාවිතයෙන් ම මේ රීති ස්‌ථාපනය වී ඇත්තේ මානව ගුණාංග නො නැසෙන්නට ය. සංස්‌කෘතියේ පැවැත්ම තහවුරු කරන්නට ය. මානව පැවැත්මේ අඛණ්‌ඩතාවට ය. මෙවැනි සංස්‌කෘතීන් අතර වසර 2000කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්‌ථාපනය වූ සංස්‌කෘතිය අනර්ඝ ය. බෞද්ධ මත මූලික කරගත් රීති සමුදාය මෙරට සමාජයේ යහපැවැත්ම කදිමට තහවුරු කර ඇති බව පෙනී යයි. දවසේ සියලු කර්තව්‍යයන් හමාර කොට නිදහස්‌ මනසකින් යුක්‌තව නින්දට යන්නට මෙරට ජනයාට අවසර ලැබුණේ එනිසා ය.

ආයුබෝවන් යන්න මෙරට සැම ගේ ම මුවග රැව් දුන් වචනයකි. ආයුෂ බොහෝ වේ වා යි තවත් අයකුට පතන්නේ හදවතින් ම ය. එසේ පතන්නට ඔහු පිළිබඳව යහපත් සිතිවිල්ලක්‌ සිතෙහි පැවතිය යුතු ය. කුමන අමනාපයක්‌ තිබුණ ද අලුත් අවුරුද්දේ අලුත් කරන්නේ එම සම්බන්ධයයි. යමකු කෙරෙහි සිතෙහි ඇති වන මෛත්‍රීසහගත සිතිවිලි එම පුද්ගලයා ගේ පමණක්‌ නො ව එයට භාජන වන්නා ගේ සිතෙහි සහනයක්‌ ඇති කරයි. මෛත්‍රී සිතිවිලි මනස සුවපත් කරනවා පමණක්‌ නො ව භෞතික ශරීරයේ රසායනය ද යහපත් කරන අතර එනිසා නිරෝගී ශරීරයක්‌ පවත්වාගෙන යැමට එය උපකාරයක්‌ වෙයි. අයකු ගේ පෙර වැරැදි අමතක කර ඒ සියල්ලට සමාව දී දෙවියකු වන්නට මෙරට ජනයාට හැකි විය. එය වැරැදි කළ පුද්ගලයා ගේ නපුරු සංකල්පනා ඉවත් කර යහපත් වන්නට ලබා දෙන්නේ අගනා අවස්‌ථාවකි, මනා රුකුලකි. වැරැදි කළ ඇත්තන්ට යහපත් වී නැවත සමාජගත වන්නට දිරි දුන්නේ එලෙස ය.

ආගන්තුක සත්කාර අතින් ද ලොව ප්‍රමුඛ ම ජාතියක්‌ වන්නට ශ්‍රී ලාංකිකයෝ අති දක්‌ෂයෝ වූ හ. ගෙදරට ගෙවදින කිසිවකුට හෝ වතුර උගුරක්‌, බුලත් වඩියක්‌ නො දී පිටත් නො කෙරිණි. සැම විට ම සකස්‌ වූ බුලත් හෙප්පුවක්‌ සැම ගෙදරක ම විය. නිතර ම ගිනි ගෙයි වතුර රත් විය. බඩගින්නෙහි අමාරුකම ඔවුහු එකල දැන සිටිය හ. ජීවිතය ගෙන යන්නට ආහාර අවැසි බව ද, බඩගිනි නිවීම අයකු ගේ මනස ද සුවපත් කරන බව ද ඔවුහු මනා ලෙස දැන සිටිය හ. බුදුන් වදාළ ධර්මය දානයෙහි වටිනාකම ඉතා අපූරුවට උදාහරණ සහිතව පෙන්වා දී ඇත්තේ එම ශාරීරික අවශ්‍යතාව සපුරා නො දී කරන කිසිදු කර්තව්‍යයක්‌ සඵල නො වන බැවිනි. මේ යහගුණය තවමත් ග්‍රාමීය සමාජය තුළ තිබෙන බව මම අත්දැකීමෙන් ම දනිමි.

කෘතගුණ සැලකීම මෙරට සංස්‌කෘතියේ එවැනි තවත් අපූරු ගුණාංගයකි. උදව් අවැසි විට කියන තෙක්‌ නො සිට පැමිණ සොයා බලා කර දීම එකල අපේ ජනයා අතරේ විය. ඔවුහු එය අගය කොට ප්‍රතිඋපකාර කිරීම අත්‍යන්ත යුතුකමක්‌ ලෙස සැලකූ හ. එකල මෙරට බොහෝ ජනයා ගේ කර්තව්‍යයන් සිදු වූයේ මෙලෙස ය. එකිනෙකාට උදවු කරගනිමින් තම සමාජ සම්බන්ධතා තර කරගැනිණි. ඝෘජු ව කෘතගුණ සැලකීමට නොහැකි වූ විට තවත් අයකුට එවැනි අවශ්‍යතා අවැසි විට කර දෙන්නට නොපසුබට වූ සංස්‌කෘතියක්‌ අප සතු විය. තවමත් මෙරට සමාජයේ ඒ සඳහා උදාහරණ ඇත. එවැනි ගුණාංග ප්‍රගුණ කරගැනීම සමාජ සන්දර්භයේ මනා ස්‌ථාපනය සඳහා හේතු වේ.

ස්‌තූතිය, කෘතගුණ සැලකීමේ මූලිකම අඩිතාලම වෙයි. මෙරට සංස්‌කෘතියේ එම ගුණාංගය මානවයා ගෙන් ඔබ්බට ගොස්‌ තිබුණු බව පෙනී යයි. ගොවියා තමාට උපකාර කළ කැත්තට උදැල්ලට ආදි උපකරණවලට පවා වැඳ නමස්‌කාර කළේ එහෙයිනි. කමතට අම්බරුවාට නිසි ගෞරවය ලබා දුන්නේ එහෙයිනි. ගසක්‌ කපන විට තමාට කළ උදවු උපකාරය සිහි කොට වැඳ අවසර ඉල්ලූයේ එහෙයිනි. ජීවයේ අඛණ්‌ඩ බව රැක දෙන ජලයට අලුත් අවුරුද්දේ කෘතගුණ සලකන්නේ එහෙයිනි. එය ගෝත්‍රික බවෙන් ඔබ්බට ගිය අපූරු මානව ගුණාංගයක්‌ බව අප සිහිතබා ගත යුතු ය.

කුමන හෝ විද්‍යාවක්‌ විද්‍යාත්මක වන්නේ මෙවැනි ගුණාංගය ආරෝපණය වූ විට බව ය මා ගේ හැඟීම වන්නේ. එසේ නොමැති කල මිනිසා නසන උපකරණ සමගින් ක්‍රමවේද ඇති වන්නේ ම ය. එනිසා ම විද්‍යාත්මක චින්තනය තුළ සංස්‌කෘතික ගුණාංග හෝ ආගමික ගුණාංග හෝ නැති විය යුතු නැත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 31 July 2017


තාක්ෂණය. විශ්ලේෂණ, නිගමන හා (අව) භාවිතය හෙවත් දැලි පිහියේ වඳුරු ක්‍රියා   

විද්‍යාව තාක්ෂණය ට උත්පත්තිය ලබා දුනි. විද්‍යාව නිසා තාක්ෂණයේ ප්‍රගමනයත් තාක්ෂණයේ දියුණුව නිසා විද්‍යාවේ ප්‍රගමනයත් සිදුවන බව පැහැදිළිය. එකිනෙක අත්වැල් බැඳගත්තා වූ විද්‍යාවත් තාක්ෂණයත් වර්තමාන ලෝකය අමුතුම තැනකට ගෙනියන්නට සමත් වී ඇතැයි කිව්වොත් සත්‍යය. අද වන විට බහුතරයක් අනුගමනය කරන සහ අනුමත කරන ලොව ප්‍රභලම විෂය දහරාව වන්නට සමත් වී ඇත්තේ එහි ඇති නවමු බව නිසාවටය. නමුත් එය සර්වකාලීන සත්‍යය හෝ සියල්ල සත්‍යය යැයි හෝ පවසන්නට නොහැකිය.

තාක්ෂණයේ නවමු බව විවිධ කාර්යයන් පහසු කර ගැනීමට ඇති හැකියාව නව නැම්මකින් යුතුව ඇත විඳිය හැක. එක් එක් කාර්යයන් සඳහා විශේෂඥයින් බිහි වී ඇති අතර ඔවුන් ගේ අනු දැනුම මත එම තාක්ෂණික උපාංග නිර්මාණය කිරීම, වර්ධනය කිරීම හෝ භාවිතා කිරීමේ හැකියාව ලැබෙයි. නමුත් එම තාක්ෂණයන් ගේ භාවිතය තමාගේ හෝ ආයතනයේ හෝ රටේ හෝ අදාළ කාර්යය සඳහා කොපමණ ගැලපේද යන්න විමසා බැලිය යුතුය. බොහෝ දියුණු තාක්ෂණයන් මේ අතර තිබුන ද තම කාර්යය සඳහා අවැසි වන්නේ අඩු  තාක්ෂණයක් සහිත උපකරණයක් නම් දියුණු තාක්ෂණයන් සඳහා මුදල් වැය කිරීම නිෂ්ඵල ය. උදාහරණයක් ලෙස ගතහොත් ජංගම දුරකථන භාවිතය ගන්න. දිනෙන් දින වර්ධනය වන විශේෂාංග එක් කරමින් එම තාක්ෂණය ඉදිරියට එයි.  අද බොහෝ දෙනෙකු ඉතා ඉහල තාක්ෂණයන්ගෙන් යුක්ත ජංගම් දුරකථන භාවිතා කල ද එයින් ලැබිය හැකි සේවයේ සහ කාර්යයන්ගේ උදවු සියයට දහයක් වත් ලබා ගනී දැයි සැක සහිතය. බොහෝ දෙනෙකු කථා කරනවාට අමතරව ප්‍රතිඵල දායක වැඩක් සඳහා තම ජංගම දුරකතනය භාවිත කරන්නේ නැති බව හොඳින් පැහැදිළිය.

තාක්ෂණය නොදැන භාවිතය සහ අවභාවිතය මෙරට නම් කොතෙකුත් දැකිය හැක. කලෙක මෙරට විකුණන බීර මිල ගනං පහල ගිය විට නුවරඑළියේ මිනිසුන් කෘමි නාශක ලෙසද එය භාවිතා කළේය. වත්මනේ ආහාර රස කාරකයක් වන MSG තවත් රසායනයක් සමග මිශ්‍ර කර වල් පැළෑටි නාශකයක් ලෙස භාවිතා කරන බව දැන ගන්නට ලැබේ. වාහනයේ නලාව ලබා දී ඇත්තේ  වල් බුරු ලෙස නිදහස භාවිතා කිරීමට නොවන බව බොහෝ දෙනෙකු දන්නේ නැත. එනිසා පාරට බට තැන්හි පටන් එය නාද කරන්නේ තම ඉවසීමේ ශක්තිය මොනවට පැහැදිළි කරමින්. ත්‍රි රෝද රථවල පහසුවෙන් හැරවීමේ හැකියාව සහ කුඩා තැනකින් පවා රිංග යාමේ හැකියාව අපේ රටේ මිනිසුන් භාවිතා කරන හැටි ඔබට අත්දැකීම් වලින්ම දැනගන්නට ලැබී ඇතිවාට සැකයක් නැත.    

විශේෂඥයින් තම විශේෂඥ දැනුම භාවිතා කර තම විෂය පථය මූලික කර විවිධ විශේෂිත තාක්ෂණයන් බිහි කලද භාවිතයේදී භාවිතා කරන්නන් අදාළ විෂය නිසි පරිදි දැන නොසිටීම පැහැදිළිවම වඳුරන්ට දැලි පිහි ලබා දීමක් වනු නොඅනුමානය. මේ සඳහා උදාහරණ කොතෙකුත් ඇතත් මා භූ විද්‍යා හැදෑරුවෙකු හෙයින් ඊට සම්බන්දිත උදාහරණ කිහිපයක් මෙහිලා සඳහන් කල හැක.

පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුල සංරක්ෂණය ට හිමි වන්නේ ප්‍රමුඛ කාර්යය භාරයකි (ලංකාවේ නොවුනත්). මෙම ක්ෂේත්‍රය ලෝ පුරා භාවිතා වන්නේ ඉතා පැහැදිලිව නවීන බටහිර විද්‍යාවේ තාක්ෂණයන් සමගය. ශ්‍රී ලංකාව තුල බොහෝ පුරාවස්තු ඇති අතර පාෂාණමය පුරාවස්තු සුලභය. පාෂාණමය පුරාවස්තු සංරක්ෂණය එනිසා එහිලා ඉතා වැදගත් බව කිවයුතුය. ශ්‍රී ලංකාව තුල වැඩිමනත් අවධානයක් මේ සඳහා යොමුකළ යුතු බව ඔබට අමුතුවෙන් පහැදිලි කලයුතු නොවේ. පාෂාණ සංරක්ෂණයේදී සංරක්‍ෂකයා පාෂාණ පිළිබඳව මනා වැටහීමක් ලබා ගත යුතය. නැතහොත් භාවිතා කරන තාක්ෂණයන් නොගැලපෙන්නට හැකියාව ඇත. එය පාෂාණමය පුරාවස්තුවේ ආයු කලය අඩුකරන්නට වුව හැකියාව පවතී. ශ්‍රී ලංකාවේ පුරාවස්තු සංරක්ෂණයේ දී භාවිත කරන්නේ යුරෝපිය තාක්ෂණය වීම ගැටළුවක් බව සිහි තබා ගත යුතුය. යුරෝපයේ සීත දේශගුණයක පාෂාණ දිරපත්වන ආකාරය සහ නිවර්තන කලාපයේ රටක පාෂාණ දිරාපත් වීමේ රටාව හාත්පසින්ම වෙනස්ය. මෙය සැලකිල්ලට ගන්නේ නම් ශ්‍රී ලංකාව තුල සිදුකරන පාෂාණ ප්‍රමුඛ සංරක්ෂණයන්ගේ තත්වය සහ ඒවායේ අනාගතය පිළිබඳව ඔබට සිතා ගත හැකි වේවි. අදාළ විෂයන් හී නිපුණයන් නොවීම ද සහ කරන්නා වූ කාර්යය පිළිබඳව අවබෝධ ඇතිකර නොගැනීම ද මෙවැනි තීන්දු තීරණ ගැනීම කෙරෙහි බලපාන බව පැවසිය යුතුය. පුරාවිද්‍යා සංරක්ෂණයේ දියුණුව සහ එහි අත්‍යන්ත අවශ්‍යතාවය පිළිබඳව යම් හෝ අවබෝධයක් ඇත්තන් තීන්දු තීරණ ගන්නා ස්ථාන වල සිටියේ නම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අතපත්තු කාර්යාලයේ තිබු විද්‍යාගාරයේ සමහර කාමර එහි වූ විද්‍යා උපකරණ ඉවත්කර එකල සිටි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යාල බවට පත් කරන්නටත් තේ සැදීමට ගන්නටත් උත්සාහ කරන්නේ නැත. එමෙන්ම  කොළඹ වැඩි දියුණු කල යුතු එම විද්‍යාගාරය සීගිරියට ගෙනි යන්නේද නැත.

පාෂාණවල සහ පාංශු දේහයන්ගේ හැසිරීම මනාව වටහාගෙන ඇත්තේ එම විෂය අධ්‍යනය කල ඇත්තන්ය. ඒ සඳහා වූ විෂය භූ විද්‍යාව බව ඔබට අමුතුවෙන් විස්තර කල යුතු නොවේ. භූ විද්‍යාව හැදෑරුවන් භූ විද්‍යාඥයින් ලෙස හඳුන්වයි. නාය යාම් යනු භූ විද්‍යාත්මක සංසිද්ධියකි. තැනින් තැනට වෙනස්වන පාෂාණ, පස් හෝ අවසාදිත සහිත භූමියකින් යුක්ත ශ්‍රී ලංකාවේ මාධ්‍ය කඳුකරය නායයාම් උදෙසා අතිශය සංවේදී බව පැවසිය යුතුය. මෙරට තුල නායයාම් ඇතිවන්නට ප්‍රමුඛ හේතුව වන්නේ අධික වර්ෂාපතනය බව සිහි තබා ගත යුතුය. නමුත් වර්ෂාපතනයේ හැසිරීම නිසි ලෙස අධ්‍යනය නොකර නාය යෑම් ආපදා පුරෝකථනයන් අසීරු අතර පස් හෝ අවසාදිත සමග ජලයේ හැසිරීම මනා කොට අවබෝධ කර නොගත්තේනම් පුරෝකථනය තවත් අසීරු බව කිව යුතුය. නාය යා හැකි පාංශු දේහයන් තුල ජලය සංතෘප්ත වීම සහ නොවීම පිළිබඳව අවබෝධයක් නොවීම ජනතාව නොමග යන සහ පිඩාකාරි පුරෝකථන සඳහා හේතුවේ. මෙවැනි භූ විද්‍යාත්මක සංසිද්ධීන් අතිශය සංකීර්ණ අතර එනිසා නය යාම් පුරෝකථන සිදුකල හැකි වන්නේ මෙම විෂය පිළිබඳව මනා වැටහීමක් ඇත්තෙකුට බව මෙහි ලා සඳහන් කල යුතුය. එනිසා අතිශය දියුණු තාක්ෂණයන් භාවිතයෙන් වර්ෂාපතන අගයන් සුළු මොහතකින් ගත්තේ වුව භුමියෙහී සහ අදාළ ප්‍රදේශය පිළිබඳව වැටහීම ක් නොතිබීම ද භූ විද්‍යාව පිළිබඳව නොදැන සිටීම ද මිනිසුන් කුලප්පු කරවන සහ අනියත බියක් ඇතිකරන තත්වයක් ඇතිකරන්නට ද හේතු වෙයි. නාය යෑම් පුරෝකථන සිතනා තරම් පහසු කාරියක් නොවන බව ඔවුන් අවබෝධ කරගත යුතුය. එමෙන්ම එම කාරිය කරන්නට හැකි අදාළ පුද්ගලයින් ට ඉඩ හැරීම මනාය.

මාගේ මතකයට නැගෙන්නේ පසුගිය දිනෙක පැවති එක්තරා පර්යේෂණ සැසියකදී නවීන තාක්ෂණයක භාවිතය පිළිබඳව පැහැදිළි කර භූ විද්‍යාඥයින්ගේ කාර්යය යම් ලෙසකට හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කිරීමයි. කෙසේ කිවත් දන්නෝ දනිති කියන්නේ එම පැහැදිළි කිරීම නිසා අදාළ පැහැදිළි කිරීම කල පුද්ගලයා භූ විද්‍යාව පිළිබඳව කිසි ලෙසකින් හෝ යමක් නොදන්නා බසහ ළපටි විඥාණය ගැන පැහැදිළි වීමයි. භූ විද්‍යාව අතිශය ක්ෂේත්‍ර විමර්ෂණ විෂයක් බව කිව යුතුය . ක්ෂේත්‍රයේ දී උකහා ගන්නා තොරතුරු වර්ණ ගන්වන්නට මෙන්ම එම තොරතුරු උකහා ගන්නට අවැසි තාවකාලික පාදම සකසා ගන්නට භූ භෞතික සහ ගුවන් චායාරුප වැනි දූර සංවේදී තාක්ෂණයන් භාවිතා කරන අතර එවැනි ක්‍රම භූ විද්‍යාවේ කොඳු නාරටිය නොවන බව මෙහි ලා සඳහන් කල යුතුය. කැමරා සහිත ස්වයංක්‍රිය ගුවන්යාන භාවිතය භූ විද්‍යාවේ යම් යම් දත්ත උකහා ගැනීම සඳහා යොදා ගත්ත ද එය සර්ව සම්පුර්ණ නොව මූලික හෝ භූ විද්‍යාත්මක නිගමනයක් සඳහා යොදාගත නොහැකි බව විෂය නොදැන ගත්තන්හට තේරුම් යන්නේ නැත. එනිසා තාක්ෂණයේ භාවිතය යොදා ගත්තේ කවර කාරණයක් සඳහාදැයි අවබෝධ කර ගන්නේ නැත. එවැනි පුද්ගලයින් ගන්නා නිගමන සත්‍යය කණපිට පෙරලන්නට හේතු වෙයි. එය අවදානම අඩුකරන්නට නොව අවදානම වැඩිකරන්නට හේතු වෙයි.

තාක්ෂණය නිසිකල නිසි ලෙස භාවිතා කරන්නේ නම් මෙමගින් පැන නගින බොහෝ ගැටළු විසඳාගත හැකිය. එමෙන්ම මෙහිදී මතක තබා ගත යුතු අනෙක් කරණය නම් අනුන්ගේ විෂය පථයන් ආක්‍රමණය නොකරන්නට ද තමන්ගේ සීමාව කුමක් දැයි දැන ගැනීම ද තම ක්ෂේත්‍රය තුල ඕනෑම අයෙකුට දිගු ගමනකට හේතු වන බව යි.    

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 27 July 2017


විදුපත් ඉරුව

2017.08.02 බදාදා

නව නිපැයුම් සහ නවෝත්පාදන නොමැති නම් ලෝකයේ ඉදිරි ගමනක් ගැන සිතිය නොහැක. ඒක නිසාම තමයි මුනිදාස කුමාරතුංගයන් “අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී” යැයි පැවසුවේ. රටක ජාතියක අභිවෘධිය සඳහා නම් නව නිර්මාණ අවශයෙන්ම කල යුතු වන බව අප පිළිගත යුතුය. ලෝකය ජය ගැනීමේ කලාවේ කොඳු නාරටිය වන්නේ නව නිපැයුම් බව කිව යුතුය.

නව නිපැයුම් සහ නවෝත්පාදන යනු නිර්මාණශීලිබවේ සංකේතයයි. රාමුවෙන් ඔබ්බට සිතීම ද දැකීම ද නව නිර්මාණ සඳහා හේතුවන බව මතකයේ රඳවා ගත යුතුය. මේ සඳහා බොහෝ උදාහරණ ඇත. තම ඔලුවට වැටුන ඇපල් ගෙඩිය කා දමන්නේ නැතුව ඒ ඔස්සේ තම මනස මෙහෙය වූ නිව්ටන් ලොවට ගුරුත්වාකර්ෂණ සිද්ධාන්තය ඉදිරිපත් කළේය. කතෝලික පල්ලියේ දර්ශනයට අනුගත නොවූ ලුවී පාස්චර් රෙදි කැබලි වලින් මීයන් බෝ නොවන බව හෙළි කළේය.

නව නිපැයුම් සඳහා හේතුවන තවත් කරුණක් වන්නේ යම් කිසි ගැටලුවකට පිළිතුරක් සෙවීමට අවැසි බවයි. එම ගැටලුවෙන් මිදීම ප්‍රමුඛ වීම තරඟකාරී ප්‍රවේශයකට මග පාදයි. කාලින අවශ්‍යතාවයන් මෙහිදී කැපී පෙනෙන අවස්ථාවන් ලබා දෙයි. උදාහරණයක් ලෙස ගතහොත් දෙවැනි ලෝක යුධ සමයේ හිට්ලර් ගේ අවශ්‍යතාවය වූ පහසුවෙන් කාන්තාරයේ ගමන් කල හැකි රථයක් නිපදවීම හී ප්‍රතිඵලය “වොක්ස්වැගන්” කාරයයි. “යුරේඛා” යයි හඬ තලමින් ආකිමිඩිස් නිරුවතින් දිව යාමට හේතු වූයේත් ඔහු පෙලූ රජ ගැටලුවයි.

බොහෝ දෙනෙකු නව නිපැයුම් ගැන කතාකරන විට සිහියට නගාගන්නේ රොබෝවරුන් තැනීම වැනි දේ ගැනයි. ඇත්තෙන්ම එය එසේම විය යුතු ද? නව නිපැයුම් සහ නවෝත්පාදන යනු එවැනි භෞතික දෑම විය යුතුද? මාගේ සිතැඟි වන්නේ එය එසේ විය යුතු නැති බවයි. මයිකල් ජැක්සන් නමැති ලො ප්‍රකට සංගීතවේදියා නව ආරක සංගීතයක් ලොවට ඉදිරිපත් කළේය. ලොකු කුඩා කවුරුත් හොඳින් හඳුනන බෲස්ලි ඉතා අපූරු සටන්කලාවක් ලොවට දායාද කර ඇත. පිකාසෝ ගේ චිත්‍ර ලොව පවතින අපූරු නිර්මාණ බව කවුරුත් පිළිගනී. මුත්තය්යා මුරලිදරන් ක්‍රීඩා ලොව ජයගත්තේ නිර්මාණශීලි පන්දුකරණය නිසාමය. මේ ඔබඅප හොඳින් දන්නා උදාහරණ කිහිපයක් පමණි.

නවොත්පාදකයෙකු වූ නිකොලා ටෙස්ලා ගැන මෙහිදී කතා නොකරම බැරිය. ඒ නව නිපැයුම් ලොවෙහි ප්‍රභල චරිතයක් වන බැවිනි. විද්‍යුත් ලෝකය කණපිට පෙරළු නව නිපැයුම් රාශියක් ලොවට හඳුන්වා දෙන්නට ඔහු සමත් විය. පේටන්ට් බලපත්‍ර හයසිය ගණනකට උරුම කියන්නට ඔහුට හැකියාව ලැබුණි. රැහැන් නොමැති විද්‍යුත් සම්ප්‍රේෂණ ක්‍රම වේදය ලොවට හඳුන්වා දීමේ ගෞරව හිමිවන්නේ ද ටෙස්ලාට ය. මෙහිදී තවත් වැදගත් වන කරුණ නම් “ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත” කියන කියමන ඔහුට නම් කෙසේවත් අදාළ නොවීමයි. ඒ ඔහුගේ දක්ෂතාවය විෂය ක්ෂේත්‍ර ගණනාවක් කරා විහිදී පැතිරී තිබු නිසාමය. වඩා වැදගත් වන්නේ ටෙස්ලා ගේ නව නිර්මාණ මානව සංස්කෘතියේ ප්‍රගමනය සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දීමයි.     

කවුරුන් සිදුකල ද නව නිපැයුම් හෝ නවත්පාදන මානව සංස්කෘතියේ ප්‍රගමනය ට හේතු නොවන්නේ නම් නිර්මාණශීලි බවෙහි අගයක් නොරැදෙනු ඇත. ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ නව නිපැයුම වුයේ ‘ඩයිනමයිට්’ ය. නමුත් එහි නරක ප්‍රතිපල තවත් අප විඳිමින් සිටින බව කිව යුතුය. දුර දිග නොබලා නොසිතා කරන නිර්මාණ වලට තැනක් ලැබුන ද නොබෙල් ගේ හෘදය සාක්ෂිය එකඟ නොවූ වා සේ කෙදිනක හෝ පසුතැවෙන්නට සිදුවන බව අමතක නොකළ යුතුය.  

අධිෂ්ඨානශීලි බව සහ තම අරමුණ අත්නොහැරිම නවත්පාදකයෙකු සතුව තිබිය යුතු ප්‍රධානම ගුණාංගය වන්නේය. තෝමස් අලවා එඩිසන් ගේ මවගේ වූ නොපසුබට කැපවීම  නොවන්නට මානසික ආබාධිත දරුවෙකු ලෙස පාසලින් නෙරපූ ඔහුට ලොව ජයගන්නට සමත් අධ්‍යාපනික පසුබිමක් නොලැබෙනු ඇත. බොහෝ වතාවක් උත්සාහ නොකරන්නට ලොවට ආලෝකය ලබා දිය හැකි උපකරණයක් බිහි නොවන්නේමය. දුර්ලභ දරුණු ස්නායු රෝගයකින් පිඩා විඳින භෞතික විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හොව්කින් ගේ අප්‍රතිහත ධෛර්ය ඉතා අගය කල යුතුය. ඔහු විශ්වයේ සම්භවය පිලිබඳ නව සිද්ධාන්ත ලොවට ඉදිරිපත් කරන්නේ එක්තැන්ව සිට එක්සිත්ව කලපනා කර බලමිනි.    

කොපමණ නව නිපැයුම් සිදුකල ද ඒවා වෙළඳපොළට සංක්‍රමණය නොවන විට ප්‍රතිඵලදායි ලාභය යම් රටකට නොලැබෙනු ඇත.  එනිසා වඩා වැදගත් වන්නේ ආර්ථිකමය ලාභය වැඩිකර ගැනීමට නව නිපැයුම් වෙළඳපොළට යැවීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමයි. ස්වර්ණමය අවස්ථාවන් වන එවැනි නවනිපැයුම් සහ නවෝත්පාදන අප වෙතින් ගිලිහි නොයන්නට වග බලා ගත යුතුය. රේ විජයවර්ධනගේ අපූරු නිර්මාණය මෙරට වෙළඳපොළට නොයැවීමට එකල මෙරට රජය ගත් ඊර්ශයාකාර තීන්දුව මෙරටට අහිමිකරන ලද්දේ ඩොලර මිලයන ගන්නක අනාගත ආයෝජනයක් බව අමතක නොකළ යුතුය. තවමත් මෙරට ඉහ නිකට පැහුණ මිනිසුන්ගේ කුහකකම ද ඊර්ශයාව ද ප්‍රභලව ඇති කලෙක මෙරට නවෝත්පාදන සහ නව නිපැයුම්වලින් ආර්ථික ලබා ලබන්නට නොහැකි බව අප තේරුම් ගත යුතුය.

මානව ජිනෝම ව්‍යාපෘතිය ඇමෙරිකානුවන් දියත් කරන ලද්දේ බොහෝ දෙනෙකු ගේ අකමැත්ත ගනනකට නොගෙනය. ඒ සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 2.7 කි. නමුත් අද වන විට ඉතා සාර්ථකව මුදල් උපයන උල්පතක් වී ඇති බව එයින් ලබන ලාභය කොපමණ දැයි ගණනය කරනා විටයි. එම ව්‍යාපෘතිය උදෙසා වැය කල මුදලේ සෑම ඩොලරයකින්ම ඩොලර් 141 ක උපයන බව සැලවෙයි.

නිර්මාණශීලි අදහස් සහ උත්පාදන ඇතිවීම සහ ක්‍රියාත්මක කිරීම උදෙසා මෙරට වග කිවයුත්තන් වත්මනට වඩා සුභදායි පරිවර්තනයක් සිදුකල යුතුව ඇත. ඉහත කතාකල දෑ සැලකිල්ලට ගන්නේ නම් එය එතරම් ගැටළුවක් නොවන බව තේරුම් ගත හැක.    

ආචාර්ය පත්මකුමාර ජයසිංහ     

 



                                                                                                               

Friday, 21 July 2017


විදුපත් ඉරුව

2017 ජුලි 19 බදාදා

‘වෙනස’ කොතරම් අවැසි වූවක් වුව ද නිසි ‘වෙනස’ නොවූ කල එය ඉඟුරු දී මිරිස් ගත්තාක් වැනිය. නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳ යැයි සිතන්නට පෙළඹෙන්නේ එවිටය. අයහපත් කල යහපත උදෙසාද යහපත් කලෙක අයහපත ද මිනිසුන් යදිනා බව වත්මනේ සිදුවන බොහෝ දේ විශ්ලේෂණයෙන් තේරුම් යයි. ලිබියාව බොහෝ දේ ජනතාවට නොමිලේ ලබා දීමට සමත් වූ රටකි. නමුත් “වෙනස” එය අවැසි නොවන බව පවසා “ගඩාෆි” මහ මග මරා දමා එරට අන්ත දුක්කිත තත්වයකට අද වැටුණි. සමාජවාදය එපා කී රුසියානු සමූහ ආණ්ඩුව ට වර්තමානයේ සිදුව ඇති දේ තවත් උදාහරණයකි. එනිසා “වෙනස” කොතරම් සාපේක්ෂ වූවද අත් විඳිනා සත්‍ය කොතරම් කටුක දැයි වෙනස පැතූ අය පමණක් නොව සමස්තයටම භුක්ති විඳීමට සිදුවීම තරම් කණගාටුදායක තවත් නොමැති බව අද බොහෝ දෙනෙකුට තේරුම් ගොස් ඇත.  

ස්වභාවිකවරණයට එපිටින් කටයුතු කිරීමේ ආදීනව වත්මන් මිනිසුන් අත්විඳිනා බව යුරෝපය දැන් දැන් දැනගත්තද අපරදිගයෝ තවමත් ඒ බව තේරුම් නොගැනීම “වෙනස” තව තව පැතීමෙන් පැහැදිළි වෙයි. රජරට වකුගඩු රෝගය ද ඇතුළුව මෙරට ජනතාවගේ සුව සම්පත ආගාධයට ඇද දමා ඇති, ජීවිතය පවත්වාගනු පිණිස දෙනු ලැබූ ක්ෂණික විසදුම් (මෙහි ආදීනව සොයා නොබලා) නිසා කෘෂිකර්මය ද ප්‍රමුඛ වැ ඇති මෙරට දේශීය සංස්කෘතියේ රිද්මය අවුල් වී ඇති බව අප පිළිගත යුතුය. “කලකදී වහ ලු කලකදි හොඳ වෙනවා ලු” යන සංකල්පය වෙනස් වන රජයන් සමග අත්වැල් බැඳ ගැනීම නිසා මෙරට සියලු දේ කෙරහි වූ ජාතික ප්‍රතිපත්තියක් ගොඩ නැගීමේ දී බලපාන ප්‍රධාන සාධකය වී ඇත.

ජාන විකෘතය කොතරම් ස්වභාවික වූවද එය මානවයා සිදුකරන්නට යෑම අද මහා ගැටළුවක් වී ඇත. බීජ නිෂ්පාදනයේ තනි අයිතිය සමාගම් වලට පවරා ගැනීම එහි අවසාන ප්‍රතිඵලය නම් පරිසරය ජය ගැනීමේ අවශ්‍යතාව කුමක්දැයි බොහෝ දෙනෙකුට පැන නගින ගැටලුවකි. සියල්ල පාලිත තත්ත්ව යට‍තේ සිදු කිරීමේ ශ්‍රී ලංකාව වැනි අතිශය දියුණු කෘෂිකාර්මික තාක්ෂණයක් තිබු රටක වෙසෙන ජනතාවට බලෙන් පැටවීම කාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසාද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය. යම් හෝ ලෙසක අවබෝධයක් ඇත්තන් පැරණි ප්‍රභේධ යලි නගා සිටුවීමට යන්ත දැරීම “සතුටු දායක පුවතක්” වන්නේ දිනෙක ආහාර අහේනියකදී තනිව නැගී සිටිය හැකි ගොවියන් පිරිසක් මෙරට බිහිවන බව පෙනී යාමෙනි. දූරදක්ෂි නායකත්වයක් අහිමි වීම අප වැනි රටකට දිගුකාලින බල පෑ ඇති ප්‍රධාන ගැටලුවයි.

නිර්මාණශීලි බුද්ධිය තිබු පමණින් බුද්ධිමත් නිර්මාණ මෙලොවට බිහි නොවන බව ‘නොබෙල්’ දී ඇති උදාහරණය පමණක් ම ප්‍රමාණවත් වන්නේ ආත්මාර්ථය පෙරදැරි නොකරගත්තවුන් සඳහා පමණක් බව සත්‍යකි. ‘වෙනස’ ඇතිවන්නේ මෙලෙසය. නිර්මාණ මංකොල්ලය නිර්මාණශීලි බුද්ධිමතුන් නිහඬ කිරීමට හේතුවී ඇති අතර කරළියේ බැබලෙන්නේ ගිරාපෝතකයන් වීම ‘වෙනසේ’ විශේෂත්වයයි. ගිනිකූර දැල් වුවා මෙන් බැබලී ඔවුන් ක්ෂණිකව නිවී යාම සුදුස්සෙකුගේ අවස්තාව අහිමිකිරීම පමණක් නොව රටක දියුණුවට අවැසි නවෝත්පාදන  සහ නිර්මාණශීලි සංකල්ප බිහිවීම ද නවතාලීමයි.

නිර්මාණශීලි බුද්ධිමතුන් බිහිනොවන්නේ ප්‍රධාන කොටම මෙරට ඇති රාමුගත අධ්‍යාපනය නිසා බව බොහෝ දෙනෙකු පවසයි. නමුත් ඉන් ඔබ්බට ගොස් අවැසි ‘වෙනස’ සිදුකරන්නට කිසිවෙකු උත්සාහ නොකරන බවයි පෙනී යන්නේ. පන්ති කාමරයෙන් බැහැරව එළිමහනට ඔවුන් රැගෙන යෑම නව නිර්මාණ සඳහා දරුවන්ගේ මනස හුරුකිරිමකි. විද්‍යාව, නව නිපයුම් සහ නවෝත්පාදන යනු භෞතික දෑ පමණක් ම නොවන බව වටහා ගැනීම සහ දරුවන්ට වටහා දීම මෙහිදී ඉතා වැදගත් වෙයි. මෙම අධ්‍යාපන ක්‍රමය තුල නිදහස් චින්තනයක් ඇත්තවුන් මෙරට බිහි නොවීම ද බිහි වූවන්ගේ මුවහත මොට කිරීම ද  හේතුකොටගෙන සියල්ල රජයෙන් ලබා දෙන තුරු සිටින සහ ඒ සඳහා උද්ගෝෂණ පමණක් කරන නමට විද්වතුන් වූ පිරිසක් බිහි වීම එම වෙනසේ ප්‍රතිඵලය වී ඇත. එනිසා අලුත් අලුත් දෑ නොතනන ජාතියකට වැඩිකල් නොගොස් ම කුමක් වන්නේ දැයි අමතුවෙන් කිව යුතු නොවේ.

සාක්ෂරතාවයේ ප්‍රාමාණික බව රටක බුද්ධිමතුන්ගේ පිළිබිඹුව සේ සැලකුව ද මෙරටට නම් එසේ නොව න බවයි මගේ හැඟීම වන්නේ. මෙරට යහපාලනය සහ යහජිවනය සාක්ෂරතාවයේ මිම්මක් නොවන බව පැහැදිලිය. අකුරු දැන ගත්තද අද බොහෝ දෙනෙකු දැන්වීම් කියවන්නේ නැත. අකුරු නොදැන සිටියද සංඥා වලින් දෙන පණිවිඩය යමෙකුට තේරුම් ගත හැක. නමුත් මහා මාර්ගයේ දී ද පොදු ස්ථානවල ද හැසිරීමේදී බොහෝ දෙනෙකු සිදුකරනා බොහෝ වැරදි නොදැන කරනා ඒවා නොවන බව පැහැදිළිය. නීතිය පමණක් නොව චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම සහ පිළිපැදීම යහපත් සමාජයක පැවැත්ම තහවුරු කරනු ලබයි. එනිසා ‘වෙනස’ ඇතිවිය යුත්තේ කොහේදැයි සිතා බැලිය යුතුව ඇත.  

ආත්මාර්ථය ද මුදලට ගිජු වීමද හේතු කොට ගෙන රටක ප්‍රගමනය කොපමණ සිමාකාරී වී ඇත්දැයි ගෙවුන අතීතය අපට සිහිපත් කරයි. බලොපොරොත්තු වූ දෙය ලද ‘වෙනස” තුලින් නොලැබීම තවත් ‘වෙනසක්’ ඇතිකරලීමට උත්සාහ දැරීම මෙවැනි සමාජයක අරමුණ වෙයි. ‘වෙනස’ කාලින අවශ්‍යතාවයක් වුව ඒ සඳහා දෙපාරක් නොව කිහිපවරක්ම සිතා බැලිය යුතු බව නම් තරයේම පැවසිය යුතුය.    

  

ආචාර්ය පත්මකුමාර ජයසිංහ     

 

Tuesday, 18 July 2017

විදුපත් ඉරුව

විදුපත් ඉරුව ලියන්න පටන් අරන් දැන් හරියටම අවුරුද්දක්‌ වෙනවා. මේ වෙන කොට ලිපි හතළිස්‌ නවයක්‌ පමණ ලියා අවසන්. මේ ලියවෙන්නේ එතකොට පනස්‌ වැනි ලිපිය. විවිධ මාතෘකා ඔස්‌සේ මා උකහාගත් දැනුම ඔබ වෙතට මේ අයුරින් හෝ ගෙන ඒමට ලැබීම සතුටක්‌. ඊටත් වඩා මා සතුටු වන්නේ මෙලෙස ලබා දෙන දැනුමෙන් කිසියම් කෙනෙකු ප්‍රයෝජනයක්‌ ගන්නවා නම්. මා සිතනවා විශේෂයෙන් ම විදුසර කියවන පුතාලා දූලා තම අධ්‍යාපන ගමන සාර්ථක කරගැනීමට විදුසර සඟරාව අත්වැලක්‌ කරගෙන ඇතැයි කියා.

මගේ විද්‍යා දැනුම පෝෂණය කරන්නට මුල සිට ම ඉවහල් වූයේ විදුසර විද්‍යා සඟරාවයි. එය මා නොසඟවා පැවසිය යුතු සත්‍යයක්‌. එය විද්‍යාවේ විවිධ මාතෘකා ඔස්‌සේ විවිධ විෂයන් ඔස්‌සේ ගෙන ආ තොරතුරු ඇත්තෙන් ම මා නිරන්තරයෙන් ම විස්‌මයට පත් කළා පමණක්‌ නො ව කුතුහලයට ද පත් කළා. එනිසා විද්‍යාව කෙරෙහි නිරන්තරයෙන් ම මා ඇද බැඳ තබාගත්තේ විදුසර බව කියන්න පුළුවන්. අද තරම් තොරතුරු සන්නිවේදනය නොදියුණු ඒ යුගයේ පත්තරවලට ඉතා ඉහළ තැනක්‌ තිබුණා. විදුසර ගෙන ආවේ දැනුම පමණක්‌ නො වේ. විශ්ව විද්‍යාව අතැඹුලක්‌ කර අප වෙතට ගෙන ආවේත් ගෙන එන්නේත් විදුසරයි.

*** *** ***

විද්‍යාව කවදා කෙසේ ආරම්භ වුවත් අප නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ නම් එහි තාර්කික ස්‌වරූපයට අභියෝග කළ නොහැකියි. එනිසා යමක්‌ ඉගෙනගන්නේ නම් නියමාකාරයෙන් ම ඉගෙනගැනීම අතාර්කික, අසංවර සහ නිෂ්ඵල ප්‍රතිඵල අත් කර දෙන්නේ නැහැ. නිර්මාණාත්මක දැනුම බිහි කරන්නන් ගේ හිගයට මූලික හේතු වන්නේ නිසි පදනමක්‌ නොමැති වීමයි. වර්තමානයේ අධ්‍යාපන රටාව තුළ ඇත්තේ සිරගත මනස්‌ සහිත රොබෝ යන්ත්‍ර බිහි කරන යාන්ත්‍රණයක්‌ මිස බුද්ධිය මෙහෙයවා නිර්මාණශීලීව විශිෂ්ට අනාගතයක්‌ නිර්මාණය කළ හැකි පිරිසක්‌ බිහි කරන යාන්ත්‍රණයක්‌ නො වන බව වටහාගැනීම අපහසු නැහැ. අතරින් පතර විශිෂ්ට නිර්මාණශීලීන් බිහි වුවත් උසස්‌ නිර්මාණ අගය කළ හැකි බහුතරයක්‌ බිහි නො වීම, විශිෂ්ටයන් අගය නො කිරීමට ද හේතුවක්‌ වී තිබෙනවා.

බොහොමයක්‌ අධ්‍යාපන ආයතනවල ඉගෙන ගැනීමේ දී අනුගමනය කළ යුතු කරුණු කාරණා නිසි ලෙස භාවිත නො වන බව ද, දරුවන්ට අවබෝධ කර නො දෙන බව ද රහසක්‌ නො වේ. එයට හේතු ගණනාවක්‌ ම ඇති මුත් ප්‍රධාන ම කරුණ වන්නේ එවැනි දේ පිළිබඳව ඔවුන් නො දැන සිටීමයි. නොසැලකිලිමත් බව ද ඒ අතර වන බව අමතක නො කළ යුතුයි. දරුවන් ගේ සෞඛ්‍යය මෙහි දී තීරණාත්මක වන අතර සන්සුන් මනසක්‌ ඇති කරගැනීමේ දී නිසි පෝෂණය මනාව ලැබිය යුතුයි. මොළයට නිසි ඔක්‌සිජන් සැපයුමක්‌ ලැබීම එහි ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගෙන යැමට විශාල උපකාරයක්‌ බව අමතක නො කළ යුතුයි. මේ සදහා වැදගත් වන්නේ රුධිරයේ ඔක්‌සිජන් ප්‍රවාහනය කරන හිමොග්ලොබින් මට්‌ටම ප්‍රශස්‌තව පවත්වාගෙන යැමයි. යකඩ ඌනතාව රුධිරයේ හිමොග්ලොබින් මට්‌ටම පහත හෙළීමට හේතු වන අතර යකඩ බහුල ආහාර නිතර කෑම වේලට එක්‌ ගැනීමෙන් එය මගහරවාගත හැකියි. අඩු රුධිර පීඩනයට ද සෙම වැනි තත්ත්ව සඳහා ද අඩු ඔක්‌සිජන් සැපයුම හේතු වන බවයි පැවසෙන්නේ.

නොසන්සුන්තාව, එක තැනක සිට වැඩකට සිත යොමු කිරීමට නොහැකි වීම, කේන්ති යැම වැනි ලක්‌ෂණ මොළයට අඩු ඔක්‌සිජන් මට්‌ටමක්‌ නො ලැබීමේ තවත් ප්‍රතිවිපාක වනවා. එනිසා සංකීර්ණ ගැටලු විසඳීමට ඉදිරිපත් නො වීම, ප්‍රශ්නවලින් පැන යැම මෙන්ම පාඩම් කිරීමේ දී සින්දු අසමින් පාඩම් කිරීම වැනි තත්ත්ව ද වැඩිදුරටත් ඇති විය හැකියි. නිසි පෝෂණය සමග ක්‍රීඩා කිරීම ව්‍යායාම කිරීම වැනි දේ මගින් ද ප්‍රාණයාම ව්‍යායාම කිරීම මගින් ද එම තත්ත්වයන් මගහරවාගත හැකි වනවා.

ඒ වගේ ම කුඩා දරුවන් වසර 12 පමණ වන තෙක්‌ ඉතා හොඳින් රැක බලා ගත යුතුයි. මේ කාලය තුළ දී කරන කියන බොහෝ දේ ඔවුන් ගේ යටි හිතට ඇතුළු වන අතර ඒවා වැඩිහිටියකු වීමෙන් පසු නැවත උඩු හිතට විත් ක්‍රියා කරන බව පර්යේෂණාත්මකව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එනිසා ළමයකු අධෛර්යවත් කරන වචන හෝ ක්‍රියාකාරකම් ළමයකුට අත්විඳීමට සැලැස්‌විය යුතු නැහැ. එවැනි දේ මගින් සිතෙහි ඇති වන කැළැල් සමහර විටෙක සදාකාලික වන අතර එය ළමයා ගේ අනාගතය සදා අඳුරු කළ හැකියි. සෞම්‍ය වචන භාවිතය මෙහි දී ඉතා වැදගත් වන අතර නවීන ළමා මානසික විද්‍යාවේ පමණක්‌ නො ව අපේ අතීත දේශීය දැනුමේ ද මේ සම්බන්ධව බොහෝ කරුණු කාරණා සඳහන් වී ඇති බව අප අමතක නො කළ යුතුයි.

ඊළඟට අමතක නො කළ යුතු වැදගත් ම කරුණ වන්නේ සැම දරුවකු ම එක ම ලෙස දක්‌ෂයන් නො වන බවයි. ඔවුන් ගේ දක්‌ෂතා මතු වන්නේ ජීවිතයේ එක්‌තරා කාලයක්‌ ගිය පසුවයි. මේ සම්බන්ධව හොඳ ම උදාහරණය වන්නේ අයින්ස්‌ටයින් නමැති විද්‍යාඥයායි. ඔහු කුඩා කල ඉගෙනීමට දුර්වල ශිෂ්‍යයකු බව සදහන්. එහෙත් පසුකාලීනව ඔහු ලෝ ප්‍රකට විද්‍යාඥයකු බවට පත් වුණා. එනිසා දරුවන් ගේ පසුගාමී බව, අසනීප තත්ත්වයක්‌ නො වේ නම් කලබල විය යුතු දෙයක්‌ නො වන අතර, සැම විට ම අවධානයෙන් සිටීම තමයි වැදගත් වන්නේ.

දරුවන් ගේ අධ්‍යාපනයට සැම අතින් ම උචිත පරිසරයක්‌ කවදා කොතැන කෙලෙසක මේ රටේ ගොඩනැෙගන්නේ ද යන්න සාකච්ඡා කිරීම පවා විහිළුවක්‌ වන කාලයක කුඩා දරුවන් ගේ මනසේ අවම වශෙයන් හෝ විශිෂ්ටයන් බිහි කළ හැකි පරිසරයක්‌ ගොඩනැගීමේ සංකල්පීය බීජයක්‌ හෝ තැන්පත් කිරීම අප ගේ යුතුකමක්‌ වන අතර ඉදිරි පරම්පරා කිහිපයක්‌ හෝ ගත වී මේ අරමුණ සතුටුදායක මට්‌ටමකින් සාක්‌ෂාත් කරගත හැකි වේ යෑයි අපි පතමු.

විදුපත් ඉරුව ගැන ඔබ ගේ අදහස්‌ උදහස්‌ දැනගැනීමට කැමැතියි. එම අදහස්‌ පහත දුරකථන අංකයට හෝ විද්යුත් තැපෑලට හෝ යොමු කරන්න.

0718433319, jpathmak@gmail.com

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 13 July 2017

විදුපත් ඉරුව

මානසික ආතතියෙන් මිදෙන්නට බොහෝ දෙනකු සොයා යන්නේ තවමත් නොකැළැල් ව ඇති සුන්දර සොබාවික පරිසරයටයි. ජනාකීර්ණ බවෙන් මිදී, ග්‍රාමීය පරිසරයක වුව දින කිහිපයක්‌ ගත කිරීම කලෙක සිට ගොඩගැසුණ චිත්ත පීඩනය මුදා ලන්නට හේතු වන බව අමුතුවෙන් විස්‌තර කරන්නට වුවමනා නො වේ. විශේෂයෙන් ම කොළඹ ජනාකීර්ණ බව තුළ ඇත්තේ ලෙඩුන් බිහි කරන පරිසරයක්‌ බව නිශ්චිත ය. කන්නට පිරිසිදු කෑම ද, බොන්නට පිරිසිදු ජලය ද, හුස්‌ම ගන්නට පිරිසිදු වාතය ද පමණක්‌ නො ව අහිමි වී ඇත්තේ නිශ්චල බව ද 'මනරම් දැකුම' ද බව මොහොතක්‌ සිතා බලන විට පැහැදිලි වෙයි. එනිසා ම එවැනි පරිසරයක දිනෙන් දින බිහි වන්නේ අකර්මණ්‍ය වන ජනතාවකි.

ශ්‍රී ලංකාව පාරිසරික දූෂ්‍ය බවෙහි උපරිමයට ළං වෙමින් සිටින බව පෙනී යයි. නොදැනුවත් ව මානසික ආතතිය ඇති කරන 'දෘශ්‍ය දූෂණය' පිළිබඳව මෙරට තවමත් නිසි කතාබහකට ලක්‌ ව නැත. අනෙකුත් භෞතික දූෂකයන් පිළිබඳ වූ ගැටලු ලිහා දැමීමට අපොහොසත් කල මෙවැන්නක්‌ ගැන කතා කරන්නට තරම් අවධානයක්‌ නො තිබෙන බව එක අතකට පුදුමයකුත් නො වේ.

තැනින් තැන ගොඩ ගැසෙන කසළ කඳු මෙන්ම මහා මාර්ග අසල නිවාස ඉදිරිපිට අත්හැර ඇති කසල මලු ද ගෙන එන්නේ අප්‍රියජනක දර්ශන බව අමුතුවෙන් පවසන්නට අවැසි නො වේ. අද බොහෝ දෙනකු තම ගෙවත්තෙන් එළියට මෙලෙස කසළ මලු දමන්නේ ඒ ප්‍රදේශයේ සැරිසරන අනෙකුත් ජනතාව ගැන අංශු මාත්‍රයක්‌ හෝ සිතා නො වේ. ගේට්‌ටුවල ද, ගේට්‌ටු කණු අසල ද, විදුලි කණු අසල ද කසල මලු ගොඩගසා විනාශ කර දමන්නේ ඔබ අප සියල්ලන් ම විඳින සුන්දර දසුන් බව අමතක නො කළ යුතු ය. එම ක්‍රියාකලාපය එම ජනතාව ගේ චිත්ත ආවේගවල පිළිබිඹුවක්‌ යෑයි අයකුට තර්ක කළ හැකි ය.

ජනාකීර්ණ බවෙහි තවත් ලක්‌ෂණයක්‌ වන්නේ ගුවන වසා ලන තට්‌ටු ගොඩනැගිලි ය. විවිධ හැඩයන් ද, විවිධ පැහැයන් ද හේතුවෙන් ඉතා සංකීර්ණ ගුවනක්‌ තනාලයි. ඉතා ආසන්නයෙන් අහස උසට තනන ගොඩනැගිලි එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව ගේ සිත් තුළ නොදැනුවත් ව ම ඇති කරන්නේ සිර වූ මානසිකත්වයකි. දිගු කාලීන ව මෙවැනි පරිසරවල වාසය කිරීම විවිධ මානසික පීඩාවන් සඳහා හේතු විය හැකි ය. ආලෝක ප්‍රතිවර්තනයට හේතු වන පැහැයන් ද කවුළු මෙන්ම විසල් බිත්ති ද දිගු කාලීන චිත්ත පීඩා ඇති කරන්නේ අප නොදැනුවත් ව ය. පසුගිය සමයේ ගොඩනැගිලි වසා ලූ තාප්ප එකිනෙක ගලවා ඈතට පෙනෙන දර්ශන කොළඹ නගරය තුළ ඇති කළ විට අත්‍යන්තයෙන් ම අප වින්ද එම නිදහස කිසි දා අමතක නො වේ.

විවිධ පැහැයන් ස්‌වාභාවික පරිසරය තුළ කොතෙකුත් ඇත්තේ කදිම මිශ්‍රණයක්‌ ලෙසින් මිස තනි තනි ව නො වේ. ගහ කොළ ගෙන එන කොළ පැහැය කෙදිනක වත් කෘත්‍රිමව ලබාගත නොහැකි බවට කොළ පැහැති ගොඩනැගිලි උදාහරණ ගෙන එයි. එනිසා ගොඩනැගිලි වර්ණවත් කිරීමේ දී ඉතා සැලකිලිමත් විය යුත්තේ දිගු කාලීන දැකුම් සිත් ලෙඩ කරන්නට හේතු වන බැවිනි. මෙරට තුළ මෙවැනි කරුණු සැලකිල්ලට නො ගැනීම නිසා ජනතව තමා කැමැති පැහැයේ නිදහස භුක්‌ති විඳින මුත් සමස්‌තයක්‌ ලෙස එය පරිසරයට ගෙන එන්නේ අලංකාරයක්‌ නො වන බව පැහැදිලි වේ. රටක්‌ ලෙස තීන්දු තීරණ ගැනීමේ දී කලබලකාරී නගර සන්සුන් කරන්නට පැහැය ද හේතුවක්‌ බව සැලකිල්ලට ගත යුතු ය.

විවෘත පරිසරයන් තුළින් අප විඳින දිගු දුර දර්ශන දැකුම් වළකාලන විසල් දැන්වීම් පුවරු දෘශ්‍ය දූෂණයේ තවත් ප්‍රමුඛයෙකු ලෙස හඳුනාගත හැකි ය. ජනාකීර්ණ නගර තුළ පමණක්‌ නො ව ගම්බඳට යත් ම පවා විසල් දැන්වීම් පුවරු ගුවන ආක්‍රමණය කර ඇත්තේ ගැමි සුන්දරත්වය සපුරා විනාශ කරමිනි. ජනතාව යම් යම් දේ මිල දී ගැනීම සඳහා පොලඹවාලන මේ දැකුම් දිනපතා දර්ශනය වීම සියුම් ලෙස අපටත් හොරා එම දැන්වීම යටිසිතෙහි තැන්පත් කරන්නේ අනවශ්‍ය නම් එවැනි දේ ප්‍රතික්‌ෂේප කිරීමේ අයිතිය ද අහිමි කරමින් බව වටහාගත යුතු ය. මේ දැන්වීම් පුවරු ගෙන එන (අ)ප්‍රසන්න දර්ශන වර්තමාන කෘත්‍රිම පරිසරයේ ප්‍රමුඛ බව තවතවත් ඉස්‌මතු කරයි.

දෘශ්‍ය දූෂණයේ පෙරගමන්කරුවන් දේශපාලන මැතිවරණ සමයේ දී මතු වෙයි. ඇසට හසු වන සැම මායිමක ම තම බල ප්‍රදේශය සනිටුහන් කරමින් මැතිවරණ දැන්වීම් අලවන්නේ ප්‍රදේශයේ ජනතාව දකිය යුතු එක ම දසුන එය බවට පත් කරමිනි. ඉවත් කිරීමට පවා අධික මුදලක්‌ වැය වන මෙවැනි ක්‍රියා තහනම් කිරීම සඳහා නීති සකස්‌ විය යුතු බව අමුතුවෙන් වටහා දිය යුත්තක්‌ නො වේ. මෙරට ජනමාධ්‍ය බොහෝ පවතිද්දී, සන්නිවේදන දියුණුව වැඩි වෙද්දී මෙවැනි යල් පැන ගිය සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයන් අනවශ්‍ය දෑ සඳහා භාවිතය නැවැත්විය යුතු ය. ඒ අවස්‌ථාවන් යම් යම් හදිසි සහ ආපදා දැනුම් දීම වැනි ජනතාව ගේ සුබසාධනයට හේතු වන පණිවිඩ සඳහා වෙන් කළ යුතු ය.

මෙරට පුරා ඉදි කර ඇති විසල් දැන්වීම් පුවරු වලට 'ආයුබෝවන්' නො කිය යුතු ය. වහ වහා ඒවා ගලවා දැමීමට ද නැවත ඉදි නො කිරීම ද සඳහා තීන්දු තීරණ ගන්නේ නම් මෙරට ඇති අපූරු දර්ශන සුන්දරත්වය රැකගත හැකි ය. දෘශ්‍ය දූෂණය හේතුවෙන් චිත්ත පීඩනයෙන් පිරුණ ජනතාවක්‌ බිහි වීම වළලකාලන්නට එවැනි ක්‍රියාමාර්ගයක්‌ හේතු වෙයි. එය අපට නො දැනීම රටෙහි අඩාළ වන දියුණුව නගාලන්නට දිරියක්‌ වෙයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 7 July 2017

විදුපත් ඉරුව
2017 ජූලි 05 බදාදා

පසුගිය මැයි මාසයේ වැල්ලවත්තේ පිහිටි පස්‌ මහල් ගොඩනැගිල්ලක්‌ කඩා වැටී මහ විනාශයක්‌ සිදු විය. පස්‌චාත් ආපදා පරීක්‌ෂණවල දී හෙළි වූයේ නියමිත ඉංජිනේරු තාක්‌ෂණයන් යොදා නො ගෙන ඉදිකිරීම් සිදු කිරීම මේ ව්‍යසනයට මුල් වී ඇති බවයි. අනතුරට ලක්‌ වන විටත් එහි ඉදිකිරීම් සිදු වෙමින් පැවති බව රහසක්‌ නො වේ. මේ සිදුවීම අපට කියා දෙන්නේ ආවාට ගියාට ඉදිකිරීම් සිදු කිරීම පිළිබඳව ඇති නීතිමය තත්ත්වයේ සැලකිය යුතු වෙනසක්‌ සිදු විය යුතු බවයි. ඒ මන්ද යත් ඉදිරියටත් මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමට බොහෝ ඉඩකඩ ඇති බැවිනි.

ඒ කෙසේ වෙතත්, විශේෂයෙන් ම, කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් සිදු කිරීමේ දී ඉතා සැලකිලිමත් විය යුතු ය. කොළඹ තට්‌ටු ගොඩනැගිලි ඉදිකිරිමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු ය. භූ තාක්‌ෂණික සහ භූ ඉංජිනේරු තාක්‌ෂණයන්හි වැදගත්කම මෙහි දී වඩා ප්‍රබලව පැනනගී. කොළඹ භූ පරිසරය අතිශය සංකීර්ණ වේ. කලක දී කලපුවක්‌ ව සහ වගුරු බිමක්‌ ව තිබූ කොළඹ ප්‍රදේශය මුතුරාජවෙල හා සම්බන්ධිත ව තිබූ බව භූ විද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි වේ. තැනින් තැන පිහිටි උස්‌ බිම් අතර වූ පහත් බිම් වසා ලමින් තැන්පත් වූ චාතුර්ථ අවධියේ අවසාදිත කොළඹ ප්‍රදේශයේ ප්‍රමුඛ භූ අභ්‍යන්තරික තැන්පතු වේ. එනිසා ඒකාකාරී නො වන අභ්‍යන්තරික භූ පරිසරයේ ස්‌ථාපනය කෙරෙන ගොඩනැගිලි සහ උමං වැනි වෙනත් ඉදි කිරීම් නිර්මාණය කිරීමට ප්‍රථම සවිස්‌තරාත්මක භූ විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර ඉංජිනේරු තාක්‌ෂණික නිර්මාණයන් සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක්‌ වී ඇති බව අප තේරුම්ගත යුතු ය.

අවධි ගණනාවක ඉදිකිරීම් කොළඹ ප්‍රදේශයේ පැවතීම නව ඉදිකිරීම් සිදු කිරීමේ දී පැනනගින ගැටලු තවත් සංකීර්ණ කරයි. කලකට පෙර ඉදි කරන ලද ගොඩනැගිලි අතර වසර සිය ගණනකට පෙර ඉදි කරන ලද ඒවා ද වෙයි. එකල මෙතරම් තදබදයක ගොඩනැගිලි නො පැවතීම සූක්‌ෂ්ම භූ විද්‍යාත්මක සහ භූ ඉංජිනේරු තාක්‌ෂණයන් භාවිත නො කරන්නට හේතුවක්‌ වන්නට ඇත. එපමණක්‌ නො ව මෙතරම් දියුණු තාක්‌ෂණික ක්‍රමවේද ප්‍රචලිත වී නො තිබීම ද හේතුවක්‌ වන්නට හැකි ය. බොහොමයක්‌ එවැනි ගොඩනැගිලි තට්‌ටු ගොඩනැගිලි නො වූ අතර වූයේ නම් දෙවැනි තට්‌ටුව ඉක්‌ම නො යන්නට වග බලාගන්නට ඇත. එහෙත් වර්තමානයේ කොළඹ බොහොමයක්‌ ප්‍රදේශ ගොඩනැගිලිවලින් වැසී ගොසිනි. තාක්‌ෂණයේ දියුණුව සහ ඉංජිනේරු සහ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුවත් සමග ම සීමිත ඉඩකඩක්‌ උපරිම ලෙස ප්‍රයෝජනය ගන්නට හැකියාව ලැබී තිබේ.

අහස සිඹින ගොඩනැගිලි ඉදි කරමින් බොහෝ දෙනකුට වාසය හිමි කර දෙන්නට තැත් කරන්නේ වැඩි වන ජනගහනයේ අධික ඉල්ලුම හේතුවෙනි. එමෙන් ම භූ අභ්‍යන්තරයේ වැඩි අවකාශයක්‌ ලබාගනිමින් වැඩිමනත් තට්‌ටු කිහිපයක්‌ භූගත ව නිර්මාණය කරන්නේ ද රථවාහන ගාල් කිරීමේ ගැටලුවට පිළියමක්‌ ලෙසිනි. එහෙත් ඉහළ යන්නට යන්නට පහළට ලබා දෙන පීඩනය වැඩි වන්නේ පාදමේ සවි ශක්‌තිය අභියෝගයකට ලක්‌ කරමිනි. චාතුර්ථ අවධියේ වරින් වර තැන්පත් වූ මඩ තැන්පතු සේ ම වැලි තැන්පතු ද මිශ්‍ර වූ අවසාදිත කොළඹ ප්‍රදේශයේ ඇත. මෙවැනි අවසාදිත අතර විශාල ජීර්ණිත පාෂාණ කුට්‌ටි බහුලව හමු වේ. බිහි විදුම් දත්ත ලබා ගත්ත ද නිසි පරිදි විශ්ලේෂණය නො කරන්නේ නම් පාදම පිළිබඳව වන ඉංජිනේරු පුරෝකථනයන් වරදින්නට පුළුවන. භූ භෞතික ක්‍රමවේදයන් මගින් භූ අභ්‍යන්තරය නිරීක්‌ෂණය කිරීම ඉංජිනේරු පුරෝකථනයන් සඳහා ලබා දෙන සහාය ද සුළුපටු නො වේ.

භූ අභ්‍යන්තරික ජල මට්‌ටම මතුපිටට ආසන්නයේ පැවතීම ද ඉංජිනේරු නිර්මාණයන්වල දී අභියෝගාත්මක වෙයි. ජලයේ හැසිරීම නිසි පරිදි හඳුනාගැනීම ඉතා වැදගත් වෙයි. දැනටමත් ඉදිකිරීම් විශාල ප්‍රමාණයක්‌ කොළඹ පැවතීම ද, භූ ජල මට්‌ටම ඉහළින් පැවතීම ද ඉදි කිරීම් සිදු කිරීමේ දී කරන්නා වූ භූ කැණීම් ආසන්න ගොඩනැගිලි අස්‌ථාවර කරන්නට හේතු වෙයි. කැණීම් නිසා පහළ වැටෙන භූ ජල මට්‌ටම, ආසන්න ගොඩනැගිලිවලට පහළින් අභ්‍යන්තරයේ අවකාශ තනන්නේ එම ගොඩනැගිලිවල බිත්ති ද පාදම ද ඉරිතලමිනි. භූ තාක්‌ෂණයේ පිහිට පතන්නට මේ සැම විටක ම සිදු වන අතර පවතින අත්දැකීම් අනුව නම් බොහෝ විට මේ තත්වය සලකා බලන්නේ ඉදිකිරීම සිදු කරන අතරතුර වීම කණගාටුවට කරුණකි. භූවිද්‍යාඥයන් ගේ සහාය පතන්නේ ද ගැටලුවේ අවසාන අදියරේ දී වීම ශ්‍රී ලංකාවේ තත්ත්වයයි. වැය කරන්නට සිදු වන වියදම සැලකිල්ලට ගැනීමේ දී පළමු අදියරේ දී, එනම් ශක්‍යතා අධ්‍යයනයේ දී ම භූ විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර දත්ත විශ්ලේෂණය කිරීම වඩාත් වාසි දායක වේ.

කොළඹ පමණක්‌ නො ව රටෙහි අනෙකුත් ප්‍රදේශවල ද මහත් විශාල ඉදි කිරීම් ව්‍යාපෘතිවල දී මේ අධ්‍යයනයන් සිදු කළ ද සුළු පරිමාණයේ ඉදිකිරීම්වල දී මේ තත්ත්වය දැකගත නොහැකි ය. එනිසා සිදු වන සුළු හෝ භූ අස්‌ථාවරත්වයන්වල දී ඉදි කිරීම් ද ක්‌ෂණිකව අස්‌ථාවර වෙයි. පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ මේ තත්ත්වය ග්‍රාමීයව වැඩි බවයි. භූ තාක්‌ෂණය සහ භූ ඉංජිනේරු තාක්‌ෂණය අවැසි බව වටහාගන්නේ ණය පහසුකම් ඉල්ලීමේ දී හෝ පාරිසරික තත්ත්ව වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමේ දී හෝ පමණක්‌ වීම මෙරට මේ සඳහා පවතින නීතිමය තත්ත්වයේ අඩුපාඩුවක්‌ බව තරයේම වටහා දෙයි. මේ තත්ත්වය තේරුම්ගෙන ගොඩනැගිලි තත්ත්ව සමීක්‌ෂණය සහ පාලනය උදෙසා ක්‍රමවත් බලාත්මක වැඩපිළිවෙළක්‌ සකස්‌ වීම කාලීන අවශ්‍යතාවක්‌ බව අප තේරුම්ගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 29 June 2017


විදුපත් ඉරුව

2017 ජුනි 28 බදාදා

මිත්‍යාව පැතිරෙන්නට වැඩි කාලයක් ගතවන්නේ නැත. තටු ලද මිත්‍යාව රසකර බෙදන්නට මෙරට ජනමාධ්‍ය එකිනෙකා පොරකන්නේ වෙනත් තොරතුරු නැතිවාක් මෙනි. රාවණා ද අංගම් පොරද ඇතුළුව අතීත දියුණු තාක්ෂණයක් ගැන පුන පුනා දොඩන්නේ කොතරම් දුරට ඒ බවට සාක්ෂ්‍ය ඇතිවද යන්න විමසා බැලිය යුතුය. මේ සටහන රාවණා කථා කේන්ද්‍ර කර නොගත්තද මෙරට පැතිරෙන යම් මිත්‍යා මත කිහිපයක් ද මෙහිදී විමසා බලයි.    

වියැකෙමින් යන මධ්‍ය කඳුකරයේ ශේෂයන් මාතලෙන් ඔබ්බට වූ  උතුරු දිසාවෙන් බොහෝ තැන්හි හමුවෙන්නේ අපූරු භූ විෂමතාවන් නිර්මාණය කරමිනි. අත්‍යන්ත ජිරණයේ සහ ඛාදනයේ ප්‍රතිපලයක් ලෙස බිමට සමතලා කරන්නට දරන වැර වෑයමෙන් මිදී බොහෝ අසීරුවෙන් නැගී සිටිනා හුදකලා කන්දකි සිගිරිය. අපූරු පුරාවිද්‍යාත්මක වටිනාකමක් මෙරටට එක්කල අනභිබවනීය මේ හුදකලා කන්දේ ඉදිවූ මානව ඉතිහාසයේ සන්ධිස්ථානය තවමත් නිසි පරිදි විමර්ශනයට කලක් නොවීම කණගාටුවට හේතුවක් පමණක් නොව අහුමුලු වලිගකොට අල්ලා ලබා දෙනා නිගමන පුස්සක්ම වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අයෙකුට මේ ස්ථානය රාවනා ගේ ගුවන් තොටුපලය. ඔවුන් කියනා පරිදි දඬුමොනරය මෙහි නවත්වා ගුවන් ගත කරන ලද්දේ මෙහි සිටය. එතරම්ම දියුණු තාක්ෂණයක් ගැන වහසි බස් දොඩනා මෙම නඩය කන්දක සිට ගුවන්ගත කරනා  ගුවන් රථයක් ගැන දෙන අර්ථකථනය නිවැරදිද? පහත් බිමක සිට ඉහලට ඔසවන්නට තරම් තාක්ෂණයක් නොතිබූ මෙම මෑත ඉතිහාසයේ රයිට් සහෝදරයෝ ද උස් බිමක සිට ගුවන් යානා ගුවන් ගත කිරීමේ හැකියාව සොයා බැලූහ.

තවත් අයෙකුට අනුව සීගිරිය නිර්මාණය වී ඇත්තේ ගිනිකන්දක් පුපුරායාමේ ප්‍රතිපලයක් ලෙසිනි. භූ විද්‍යාත්මක ඉතිහාසයේ ශ්‍රී ලංකවේ ගිනිකඳු නිර්මාණය වී නොමැත. ඉදිරියට එසේ සිදුවන්නට ඇති හැකියාව බොහෝ අඩුය. වන්නි සංකීර්ණය නිර්මාණය කල විපරිත පාෂාණ ගොනුවක අවිධිමත් ජීර්ණය මෙම අපූරු හුදකලා කන්ද නිර්මාණය කල බවට කිසිම සැකයක් නැත. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි අපමණය. උතුරු දකුණු දිශානුගතව විහිදෙන එකමත එක පිහිටි පාෂාණ තට්ටු තුනක එකමුතුව මෙම සිගිරිය නිර්මාණය කරන්නට හේතු වී ඇත. අක්‍රමවත් සහ වේගවත් ජිර්නයක ප්‍රථිපලයක් ලෙස අවට වූ අනෙකුත් පාෂාණ කලාප ඛාදනයෙන් දියකර හරින්නට මෙරට භූ විද්‍යාත්මක ඉතිහාසයේ එක් කාලවකවානුවක තිබූ පාරිසරික තත්වය බලපාන්නට ඇති බව පෙනී යයි. සීගිරි ගලේ තවමත් පවතින විවිධ හැඩති සහ විවිධ ප්‍රමාණවල කුහරයන් නැතහොත් කුඩා ගුහා මේ සඳහා සාක්ෂි දරයි. ඔබ ඉතා ආසාවෙන් නරඹන චිත්‍ර නිර්මාණය කර ඇත්තේද එවැනි ගුහා වලය.

සිහගිරි නම නිර්මාණය වන්නේ සිංහ මූර්තිය නිසාවෙනි. ගිරියෙන් ඇතුළුවන්නට කල නිර්මාණය ඉතා අපුරුය. නමුත් අයෙක් පවසන්නේ මෙම මූර්තිය සිංහයකුගේ නොව ගුරුලෙකුගේ බවයි. ඉන් ද නොනැවතී එය රාවණාට ද සම්බන්ධ කරයි. ගුරුලෙකුගේ බවට පවසන්නට හේතුවන්නේ පාදයේ ඇති ඇඟිලි සංඛ්‍යාවයි. මුර්තියේ දැනට පෙනෙන්නට ඇත්තේ ඇඟිලි සතරකි. හැටේ දශකයේ සිදුකල සංරක්ෂණයේ අඩුපාඩුවක් නිසා සිංහයාට එක් ඇඟිල්ලක් අහිමි විය. සංරක්ෂයෝ හතරවැනි සහ පස් වැනි ඇඟිලි දෙකම අල්ලා එක් ඇඟිල්ලක් තනා ඇත. එය නොදන්නා කමකට  කලාද නැතහොත් ඉතිහාසයේ සත්‍ය කරුණු සඟවන්නට කල වෑයමක්දැයි යමකිසි සැකයක් පහළවෙයි.

එකල සංරක්ෂකයෝ ප්‍රමුඛ මාධ්‍ය කරගත්තේ සිමෙන්තිය. ඉවක් බවක් නොමැතිව ඔවුන් සීගිරියේ හතරඅත සිමෙන්ති දමා සංරක්ෂණය කළේය. කැටපත් පවුරද සිමෙන්ති සංරක්ෂණයට නතු විය. ආරක්ෂාවට පවුරේ ඉහළින් යෙදු සිමෙන්ති ආවරණය අද එම පවුර නසන කොඩිවිනය බවට පත් වී ඇත. සිමෙන්ති වල ඇති ජිප්සම් එකතුවී දිලිසෙන පිටත ආවරණය ගැලවෙන්නට පටන් ගෙන ඇත. මෙය අවම තරමින් දශක තුනක සිටවත් සිදුවෙමින් පවතින් බව පෙනී යයි. බලධාරීන් මේ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති වීම ඉතා කනගාටුවට කරුණකි.   

සීගිරියේ තැනින් තැන දක්නට ලැබෙන ගලේ කෙටු ගඩොලක ප්‍රමාණයේ පාදම් සලකුණු කියාපාන්නේ අතිවිශාල ගඩොල් ආවරණයක් තිබුන බවයි. කැටපත් පවුරද චිත්‍රණය කර තිබු ගල මතුපිටද ඒ බවට කදිම සාක්ෂි වෙයි. කැටපත් පවුරේ දිලිසෙන සුළු මතුපිට ඇතුලත අඳුර දුරුකොට ලැබෙනා කුඩා ආලෝකයෙන් වුව මහත් ලෝකයක් සපයන්නට හේතු වී ඇති බව පෙනෙයි. තට්ටු නිවාස සංකීර්ණයක් සේ ගලවටා යා හැකි ආවරණිත ගෘහ නිර්මාණයක් වන්නට ඇති බව මගේ මතයයි මස්තකයේ රජු ප්‍රමුඛ රාජකීයන් සඳහා මාළිගා ඉදිවන්නට ඇත. මෑත කාලයේ අංකිත තාක්ෂණය ඔස්සේ සමහරු සිගිරිය ප්‍රතිනිර්මාණය කරන අයුරු දැක තිබේ. ඔවුන් කී දෙනෙකු ප්‍රතිනිර්මාණය සඳහා මෙම පුරාවිද්‍යාත්මක සාක්ෂි උපයෝගී කර ගත්තේදැයි විමසා බැලිය යුතුය.    

මෙරට පුරාවිද්‍යාවේ නිර්මාණශීලි විද්‍යාත්මක විමර්ශනයන් සිදුවන්නේ නැත. ඒ මන්ද යත් ඔවුන් බොහෝ දෙනෙකුට විද්‍යාව අඳුකොළ වී ඇති නිසාවෙනි. කැණීමකින් හෝ ගවේෂණයකින් සොයා ගන්නා ලද දෑ කරුණු ලෙස ම පවසන්නට පමණක් පුරුදු වී ඇති බව බොහෝ දෙනා පල කරනා ග්‍රන්ථ හෝ පර්යේෂණ පත්‍රිකා වලින් පැහැදිළි වෙයි. ඒ අතර සමහරු අතිශයෝක්තිය පමණක් පෙරදැරිව තම මත පල කරන බව පෙනී යයි. කැණීමෙන් ලැබුන මැටි බඳුනේ රටාවන් ස්වර බවට හරවා එමගින් අතීත කාලයේ පරිසරය දකින්නට තරම් සුක්‍ෂම ලෙස දියුණු කරන ලද පුරාවිද්‍යාවක් ඔවුන් සතු බව මේ මෑතකදී විකාශනය කරන ලද ජාතික රුපවාහිනි වැඩසටහනකින් මොනවට පැහැදිළි විය. එනිසා ඔවුනට මෙම බටහිර විද්‍යාව කෙසේවත් පලක් නැත. ඒ බවට හොඳම සාක්ෂ්‍ය වන්නේ කලකදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ විද්‍යා පර්යේෂණාගාරයේ රසායනාගාරය තේ සැදීමේ කාමර සඳහා යොදා ගැනීමට කල තැතයි.

කෙසේ වෙතත් මිත්‍යාවට රැඳිය හැක්කේ එයට මිත්‍යාවක් ලෙසම පවත්න්නට ඉඩ හැරීමෙන් පමණකි. එය සත්‍ය බවට කෙදිනකවත් පත්කළ නොහැක.    

  

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ     

Friday, 23 June 2017

විදුපත් ඉරුව
2017 ජූනි 21 බදාදා

ඈතින් එන වාහනයක්‌ තමා වෙත ළඟා වෙත් ම සහ තමා පසු කර තමා වෙතින් ඉවත් ව යැමේ දී ඇති වන ශබ්දයේ වෙනස (ක්‍රමයෙන් වැඩි වී ක්‍රමයෙන් අඩු වීම) ඔබට ඉතා හොඳින් මතක ඇතිවාට කිසි ම සැකයක්‌ නැත. ගුවන් යානයක්‌ තමා පසු කරගෙන යැමේ දී ද මේ ශබ්දයේ වැඩි අඩු වීම ඔබ අත්දකිනු ඇත. මෙහි දී ශබ්දය ක්‍රමයෙන් වැඩි වෙමින් ඇසෙන අතර තමා අබියස දී උපරිම ශබ්දය ඇසී, පසු කරන විට ශබ්දය අඩු වී යයි. මේ සිදුවීම 'ඩොප්ලර් ආචරණය' ලෙස හැඳින්වෙන අතර මේ පිළිබඳව විද්‍යා ලෝකයේ සාකච්ඡාවට බඳුන් වන්නේ 'ක්‍රිස්‌ටියන් ඩොප්ලර්' නම් ඔස්‌ටි්‍රයානු භෞතික විද්‍යාඥයා විසින් විද්‍යා මතයක්‌ ලෙස 1942 ඉදිරිපත් කරනු ලැබීමන් පසු ය.

තරංග ආයාමයේ හෝ සංඛ්‍යාතයේ හෝ වෙනස නිරීකෂකයාට දැනෙන ආකාරය මෙහි දී අවධානයට ලක්‌ වන්නේ ය. මෙනිසා වාහනයක හෝ වෙනත් සලකන වස්‌තුවක හෝ චලනයේ වෙනස්‌කම් හඳුනාගත හැකි බව පෙනී යයි. ඒකාකාරී වේගයකින් ගමන් කරන්නේ නම් තරංග ආයාමයේ ඇති වන වෙනස ඒකාකාරී ව සිදු වෙයි. මෙහි දී වේගය පමණක්‌ නො ව දිශාව ද මේ අනුව නිර්ණය කළ හැකි වේ.

'ඩොප්ලර් ආචරණය' සිද්ධාන්ත කොටගත් භාවිතයන් මේ වන විට ලොව ප්‍රචලිත වී ඇති අතර එම නිර්මාණවල සහාය බොහෝ ක්‌ෂේත්‍රවල දී පල ප්‍රයෝජනයට ගනී. අප හොඳින් ම දන්නා පරිදි රථවාහන පොලිසිය වාහනවල වේගය නිර්ණය කිරීම සඳහා යොදාගන්නේ ද මේ තාක්‌ෂණයයි. රේඩාර් තරංග යනු රේඩියෝ තරංග වර්ගයක්‌ වන අතර, රේඩාර් තරංග යොදාගනිමින් වායුගෝලයේ වෙනස්‌ වීම් ග්‍රහණය කරගැනීම මේ වන විට දියුණු රටවල සිදු වේ. සාර්ථක 'කාලගුණ පුරෝකථන' සඳහා අනභිබවනීය සහායක්‌ මින් ලැබෙන බව සඳහන් වෙයි.

වැසි වලාකුළුවල මෙන්ම වැසි බින්දුවල ද වේගය, දිශාව සහ ප්‍රමාණය නිර්ණය කිරීමේ හැකියාව ඩොප්ලර් රේඩාර් තාක්‌ෂණයෙන් සිදු කරන්නට හැකි වීම කාලගුණ පුරෝකථන ක්‌ෂේත්‍රයේ නව නැම්මක්‌ බව පිළිගත යුතු ය. ආයාමය කුඩා රේඩාර් තරංග කුඩා වැසි බිඳු නිශ්චය සඳහා ද විශාල ආයාමයක්‌ සහිත රේඩාර් තරංග අයිස්‌ කැට වැනි පතනයන් නිශ්චය කිරීම සඳහා ද යොදාගනී. කෙසේ වෙතත් ආයාමය සෙ.මි. 1-10ක පරාසයක වූ තරංග මේ සඳහා යොදාගන්නා බව සඳහන් වේ. ස්‌ඵන්දයන් ලෙස නිකුත් කරන රේඩාර් තරංග අවකාශයේ ගමන් කරන අතර යම් චාලකයක වැදීමෙන් ප්‍රතිවර්තනය වන තරංග නැවත ග්‍රහණය කරගැනීමේ හැකියාව අදාළ උපකරණයට ඇත. එමගින් චලිතය පිළිබඳ තොරතුරු එක්‌ රැස්‌ කරගත හැකි වේ. මෙලෙස උකහාගන්නා දත්තයන් භාවිත කරමින් 'ආකෘතික කාලගුණ පුරෝකථන' ගොඩනැගීම සිදු කරයි. එමගින් අනාගත කාලගුණික අවබලපෑම් නිශ්චය කරගන්නට හැකි පරිසරයක්‌ ගොඩනගන්නට හැකි වෙයි.

කෙසේ වෙතත් කාලගුණ පුරෝකථන සැම විට ම එක ම තාක්‌ෂණික ක්‍රමවේදයකින් ගොඩනගාගත හැකි නො වේ. මේ සඳහා ඩොප්ලර් රේඩාර් තාක්‌ෂණය පමණක්‌ නො ව චන්ද්‍රිකා ඡායාරුපවල සහාය ද ඉතා අවැසි බව මෙහි දී සඳහන් කළ යුතු ය. සුපිරි පරිගණක තාක්‌ෂණයේ සහාය (ලංකාවේ නො වේ) ආකෘති ගොඩනැඟීම සඳහා භාවිත වන අතර තත්කාලීන දත්තයන් ලබා දෙමින් 'ආකෘතික පුරෝකථන'වල නිවැරැදි බව වැඩි කරනු ලබයි.

සාම්ප්‍රදායික කාලගුණ පුරෝකථනයන් අද වන විට මිනිසුන් ගේ භාවිතයෙන් ඉවතට විසි වී ඇත්තේ පාරිසරික වෙනස්‌ වීම් සමග ම ය. කෙසේ වෙතත් වත්මනේ ඉලක්‌කගත පුරෝකථනයන්වල අවැසි බව අත්‍යන්තයෙන් ම දැනෙන සමයකි. කාර්යබහුල මෙන්ම ඉවක්‌ බවක්‌ නොමැති ව පාරිසරික විනාශයන් සිදු කර කණපිට පෙරළුE ලොවක වෙසෙන අප නිශ්චිත කාලගුණික විපර්යාසයන්හි නිවැරැදි පුරෝකථනයන් කොපමණ දුරට අවැසි දැයි පසුගිය වසරේ මැයි මස මෙන්ම මේ වසරේ මැයි මස ද සිදු වූ ව්‍යසනයන් ගෙන් සිදු වූ හානිය අපට කියාපායි.

නව තාක්‌ෂණික උපාංග සහ උපකරණ මෙන්ම නවීන පරිගණක තාක්‌ෂණයන් ද භාවිතය අතිශය වැදගත් බව මෙතෙක්‌ කල් මෙරට සිදු වූ ව්‍යසනයන්හි ආපදාවල ප්‍රාමාණික බව පැහැදිලි කර දෙයි. දේශපාලනික ඇඟිලි ගැසීම්වලින් තොර ව කිසියම් ම හෝ දෙයක්‌ මෙරට සිදු කළ නොහැකි බව අපි හොඳින් ම දනිමු. මෙරට කවර හෝ පක්‌ෂයක වේ වා පවතින පාලන අධිකාරිය තීන්දු තීරණ ගන්නේ මිටි තැනින් ජලය බැස්‌විය හැකි ලෙසිනි. එසේත් නොමැති නම් මෙරට ඇස්‌බැස්‌ටස්‌ භාවිතය තහනම් කරන්නට මත්තෙන් විගස විසඳන්නට තරම් සෞඛ්‍ය ගැටලු කොපමණ ඇත්තේ දැයි නො දැන නො වේ.

ඩොප්ලර් රේඩාර් තාක්‌ෂණය මෙරටට ගෙන එන්නට 2020 වන තුරු සිටිනවා ද යන්න තරයේ ම සාකච්ඡාවට බඳුන් විය යුතු ය. විශාල මුදලක්‌ වැය කර රට ම ආවරණය කළ හැකි එක්‌ උපකරණ පද්ධතියක්‌ පමණක්‌ ගෙන එනවාට වඩා දිවයිනක්‌ ලෙස ශ්‍රී ලංකාවට අවැසි වන්නේ එක්‌ එක්‌ ජල පෝෂක ප්‍රදේශ ආවරණය කළ හැකි කුඩා ඩොප්ලර් රේඩාර් පද්ධති බව ය මාගේ අදහස වන්නේ. එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ දිවයිනක්‌ ලෙස වර්ෂාපතනය ලබන ආකාරයේ වෙනස ය. එක්‌ එක්‌ ප්‍රදේශවල ඇති වන වායුගෝලීය වෙනස්‌කම් ඉතා ප්‍රබලව බලාපාන බව පෙනී යන කරුණකි. එනිසා ප්‍රාදේශීය තත්ත්ව විමර්ශනය අත්‍යන්තයෙන් ම අවැසි දෙයකි.

අශ්වයා පැන ගිය පසු ඉස්‌තාලය වසන මිනිසුන් ඉන්නා අපේ රටේ ඉස්‌තාලය රැකගැනීම ද අපහසු කරුණකි. පසුගිය මාස කිහිපයේ දුම්රියට පැන සියදිවි හානි කරගත් සංඛ්‍යාව දෙ සියය ඉක්‌මවන බව සංඛ්‍යාලේඛන පවසයි. එනමුත් දුම්රිය ගමනාගමනය නවතා ලිය නොහැකි ය. රටේ සංවර්ධනය ඉහළ තලයකට ගෙන ඒමට අදහස්‌ කරන්නේ නම් ස්‌වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට හැකි ශක්‌තිමත් පරිසරයක්‌ මෙරට ගොඩනැගිය යුතු ය. මෙහි දී රාජ්‍ය ආයතන පමණක්‌ නො ව මහජනතාව ගේ ද සහාය නොඅඩුව ලැබිය යුතු බව පිළිගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 20 June 2017

විදු පත් ඉරුව
2015  පෙබරවාරි 25  බදාදා
පසුගිය දිනෙක දිවයිනේ වයඹදිග පිහිටි වනජීවී අභය භූමියක්‌ වන විල්පත්තු අභය භුමිය නැරඹීමට අවස්‌ථාව ලැබුණා. බොහෝ කාලයක සිට එය දැකබලා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් මෙවර තමයි එය සාක්‌ෂාත් වුණේ. මේ අභයභුමිය පිහිටා තිබෙන්නේ දිවයිනේ අර්ධශුෂ්ක යෑයි හඳුන්වන දේශගුණික කලාපයේ. මේ ප්‍රදේශයට වර්ෂාව ඉතා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ ඊසානදිග මෝසමෙන්. උණුසුම නං බොහොම වැඩියි.

හැබැයි අප ගිය දිනවල වර්ෂාව ලැබිලා වැඩි කාලයක්‌ ඉක්‌ම ගිහින් තිබුණේa නැහැ. ඒක නිසා බොහොම අපූරුවට ඇසට සුව දායක කොළ පැහැය පිරිලා ඉතිරිලා තිබුණා. ඒක නිසා ම ද කොහෙ ද සිසිලසත් හොඳට දැනුණා. මේ විල්පත්තු අභය භුමිය දෙපසින් ගංගාවල් දෙකක්‌ ගලා බසිනවා. එකක්‌ තමයි මල්වතු ඔය. අනෙක අරවි ආරු. මේ දෙක පිටාර ගැලීමෙන් අභය භූමිය පෝෂණය ලබනවා. වර්ෂා කාලයේ දී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රවාහනයට ඇති අපහසුතාව. මෙහි ඇති සුවිශේෂී කරුණ තමයි ස්‌වාභාවික විල් බොහෝ සංඛ්‍යාවක්‌ පැවතීම. විශාල විල් හතළිsහකට අධික ප්‍රමාණයක්‌ ඇති බවයි පැවසෙන්නේ. විල් ඇති පළාත නැත හොත් ප්‍රදේශය, පත්තුව, විල්පත්තුව ලෙස හැදින්වෙන බවයි මගේ හැඟීම.

කොහොම වුණත් මා පවසන්න යන්නේ ටිකක්‌ දුක්‌මුසු කතාවක්‌. මේ කෙළිsන් ම විල්පත්තුවට සම්බන්ධ නැති වුණත් ඒකටත් අදාළයි. අභයභූමියක්‌ ලෙස නම් කෙරුණත් සංචාරකයන් නිසා මෙවැනි අභයභූමිවල ඉන්න සතුනට ඇත්තෙන් ම ඔවුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙත ගත කළ හැකි ද? දිනකට කෙතරම් සංචාරකයන් පිරිසක්‌ මේ අභය භුමිවලට පැමිණෙනවා ද? එනිසා මේ සතුනට ද පරිසරයට ද සිදු වන හානිය කොපමණ ද යන්න තක්‌සේරු කිරීමට කාලය ඇවිත් කියා මට හිතෙනවා. පහත සදහන් කරන සිදුවීම් අපට ඒ ගැන දෙපාරක්‌ හිතන්න පොලඹවනවා.

විල්පත්තු අභය භූමියත් යාල අභය භූමියත් දිවියන් දැක බලාගැනීම සදහා සංචාරකයන් අතර ප්‍රසිද්ධියක්‌ උසුලනවා. ඒක නිසා ම එක්‌තරා ආකාරයකට මේ සඳහා සංචාරකයන් අතර තරගකාරිත්වයක්‌ හටගැනීම පුදුම විය යුතු නැහැ. පසු ගිය දිනෙක ජාතික පුවත්පතක පළ වූ පුවතකින් කියවුණේ මේ තරගකාරිත්වයට වගකිව යුතු වන්නේ මේ සදහා ප්‍රවාහන පහසුකම් සපයන රියදුරන් බවයි. නිශ්චිත නිල ස්‌ථානවලින් මේ දිවියන් (අලින් වැනි වෙනත් සතුන් ද විය හැකි ය) දැක බලාගැනීමට හැකි වීමෙන් ඒවා මේ රියදුරන් ගේ නියත ඉලක්‌ක ස්‌ථාන වෙලා. මේ ස්‌ථානවල බොහෝ වේලා

රැඳී සිටිමින් ද තම මිතුරු සගයන්ට ජංගම දුරකථනවලින් දැනුම් දෙමින් එතනට කැඳවීමෙන් ද ඔවුන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත මේ සතුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙතට බාධා නො වන්නේ යෑයි පවසන්නේ කෙසේ ද? සංචාරකයන් පිනවීම උදෙසා හොඳ හිතින් ඔවුන් මෙසේ හැසිරුණත් ඇත්තෙන් ම සතුන් ගේ පැත්තෙන් නං ඉතා ම අසුබදායක දෙයක්‌ බවයි මගේ හැඟීම. එමෙන් ම විශේෂයෙන් ම දේශීය සංචාරකයන් තම තමා ගෙනියන්නා වූ නොයෙකුත් කෘත්‍රිම කෑම වර්ග එහි හලා ඒමටත් සතුනට කෙළින් ම කෑම දීමටත් පෙලඹී ඇති බව එම පුවතෙහි සදහන් වුණා. ස්‌වාභාවික සහ තම තමනට ආවේනික ආහාර රටාවකට උරුම වූ මේ සතුනට කෘත්‍රිම ආහාර ශරීරගත වීමෙන් ඔවුන් කෙතරම් අපහසුතාවකට පත් වනවා ඇත් ද? ඔවුන් ගේ ජීව ක්‍රියාදාමය හදිසියේ වෙනස්‌ වීමෙන් ඔවුන් ලංකාවෙන් තුරන් වීමටත් ඉඩ තිබෙනවා. මෙලෙස තර්ජනයට ලක්‌ වන්නේ ලංකාවට අවේනික සතුන් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එවැනි සතුන් මුළු මිහිමතින් ම තුරන් ව යැමටත් මෙය හේතු විය හැකියි.

අලින්, දිවියන්, වලසුන් සහ වල් හරකුන් වැනි විශාල සතුන් නම් ඔවුන්ට බාධාවක්‌ වන විට එයට එරෙහි ව සටන් වදිනු ඇති. අලින් සම්බන්ධයෙන් නම් කොතෙකුත් මේ සදහා උදාහරණ තියෙනවා. නමුත් අසරණ කුඩා සතුන්ට වන්නේ කුමක්‌ ද? මෙවැනි සිදුවීම් තව කොතෙකුත් සිදු විය හැකියි. මිනිසා තම ආධිපත්‍යයට ලොව නතු කරගැනීමේ දී සතුනට සහ පරිසරයට සිදු වන අලකලංචිය නැවතිලා නැහැ. සතුන් ගේ සුබසාධනය උදෙසා ඔවුනට නිදහසේ ඉන්නට භුමි වෙන් කර දුන්නත්, ඒ නිදහස භුක්‌ති විඳීමට නොහැකි වි ඇත්තේත් මිනිසා ගේ මේ වල් වැදීමේ ආශාවයි.

කොහොම වුණත් කිසියම් සාරධර්ම පද්ධතියක්‌ වන සතුන් නිරීක්‌ෂණයේ දී හදුන්වා දිය යුතු වෙනවා. අප හැමෝ ම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එම නීති රීතීන් සැම විට ම සංචාරකයන් පිනවීමට නො ව වන සතුන් ගේ ආරක්‌ෂාව සහ සුබසාධනය සදහා ඉලක්‌කගත විය යුතුයි. සංචාරකයන් ලෙස අපට ද අති විශාල කාර්යභාරයක්‌ මෙහි දී කළ හැකි ව තිබෙනවා. නිති රීති කෙසේ වෙතත් චාරිත්‍ර වාරිත්‍ර ලෙස හෝ පුරුදු පුහුණු කළ යුතු ආචාරධර්ම සමූහයක්‌ මේ සතුන් ගේ ද පරිසරයේ ද යහපත උදෙසා නිර්මාණය කළ යුතුයි. ඒවා සමාජයට හදුන්වා දී පුරුදු පුහුණු කළ යුතුයි. අප ගේ කුඩා දුවාදරුවන්ට ඉගැන්විය යුතුයි. මෙවැනි ස්‌ථානවලට පමණක්‌ නො ව ලොව සෑම ස්‌ථානයකමත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. ලොව ප්‍රථම අභයභුමිය පිහිටුවූ මේ සිරිලක්‌ දිවයිනෙහි මෙවැනි දෑ යළි යළි සිදු නො වීමට වගබලාගැනීම අප සියල්ලන් ගේ ම යුතුකමක්‌. වගකීමක්‌.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 15 June 2017

විදු පත් ඉරුව
2017 ජූනි 14 බදාදා

වර්තමානයේ අප විද්‍යාව යෑයි හඳුන්වන 'දැනුම සම්භාරය' බිහි වන්නේ බටහිර ය. එනිසා එය බටහිර විද්‍යාව ලෙස හැඳින්විය හැකි ය. මේ වන විට බටහිර විද්‍යාව මෙලොව ප්‍රමුඛ දැනුම් සම්භාරයක්‌ වී ඇත. එහෙත් බටහිර විද්‍යාවට ඔබ්බෙන් වූ තවත් විද්‍යාවන් තිබේ දැයි බොහෝ දෙනකු ගවේෂණය කර බලන්නේ නැත. දැනුම බිහි වන්නේ පවතින සංස්‌කෘතියට බොහෝ සාපේක්‌ෂව බවට කිසිදු සැකයක්‌ නැත. පවතින සංස්‌කෘතියෙන් ඒ සඳහා ලබන පෝෂණය ඉමහත් ය. අවශ්‍ය වන්නේ නම් අයකුට තවත් සංස්‌කෘතියක බිහි වන දැනුම තම පරිසරයට (තමා ගේ ලෝකයට) අවශෝෂණය කරගත හැකි ය.

මෙරට බොහෝ දෙනෙක්‌ බෞද්ධයෝ වෙති. ඉන් අතළොස්‌සක්‌ දෙනා විද්‍යාව හැදෑරූවෝ වෙති. ඉන් ද සුළු පිරිසක්‌ විද්‍යාව හා සබැඳි රැකියාවල නිරත වෙති. විටෙක රැකියාවේ තනතුරු නාමය අනුව ඔවුහු විද්‍යාඥයෝ ය. කිහිප දෙනෙක්‌ තම මනස මෙහෙයවමින් බටහිර විද්‍යා දැනුම ඒ මේ අත හරවමින් යම් යම් විශ්ලේෂණවල නිරත වෙති. මෙවැනි සමහරු බටහිර විද්‍යාව ද බෞද්ධ ධර්මය ද ගලපමින් බුදු දහම විද්‍යාවට බොහෝ සමීප බව කියති. ඒ සඳහා නොයෙක්‌ උදාහරණ ගෙන එති. සමහරෙක්‌ බුදු දහමින් බටහිර විදයාව දකිති. කෙසේ වෙතත් එකිනෙකට හාත්පසින් ම වෙනස්‌ වූ සංස්‌කෘතීන් දෙකක බිහි වූ දැනුම් පද්ධතීන් දෙකක්‌ ගැලපීමේ දී අප බොහෝ පරෙස්‌සම් විය යුතු ය.

විවිධත්වය ජීවී ලෝකයට පොදු ය. එක ම විශේෂයක වුව ජීවීන් ගේ යම් යම් විවිධත්වයන් දැකිය හැකි ය. අපූරු විවිධත්වයක්‌ ලොව වෙසෙන සතුන් අතුරින් වඩා ප්‍රමුඛ මානවයා තුළ දැකිය හැකි ය. එනිසා ඔවුන් ගේ බොහෝ පොදු දේ තුළින් මතු වන යම් යම් වෙනස්‌කම් ඒක පුද්ගල චරිත බිහි කරන්නට හේතු වෙයි. දියුණු සත්ත්වයන් ලෙස ලොව ප්‍රමුඛ වූවන් වන මානවයන් විවිධ පරිසර තුළ විවිධ සංස්‌කෘතීන් බිහි කරන්නේ එනිසා ය. එක ම සංස්‌කෘතියක්‌ තුළ පවා එම විවිධත්වය කැපී පෙනෙයි. එතුළින් විවිධ මතධාරීන් බිහි කෙරෙයි.

ඒක පුද්ගල මානව විවිධත්වය බුදු දහමේ අපූරුවට විග්‍රහ කර ඇත. එක අවස්‌ථාවක මේ සඳහා අපූරු උපාමාවක්‌ ගෙන එයි. ඒ අප හොඳින් දන්නා අඹ ගෙඩියක්‌ ඇසුරෙනි. ආකාර සතරක පවතින අඹ අප සමාජයේ ඉන්නා පුද්ගලයන් සතරක්‌ නිරූපනය කරයි. එවැන්නන් විද්‍යා ලෝකය තුළ ද කදිමට දැකිය හැකි ය. මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසා පර්යේෂණ සිදු කරන්නෝ මේ අතර වෙති. සුබවාදී සමාජ ප්‍රගමනය කේන්ද්‍ර කරගත් පර්යේෂණ සහ සොයාගැනීම් සඳහා ඔවුන් වෙහෙසෙන අතර පෞද්ගලික ප්‍රතිලාභ උදෙසා තම පර්යේෂණ පාවා නො දෙති. ඉතා මිත්‍රශීලී මොවුන් කණ්‌ඩායම් පර්යේෂණ සඳහා බොහෝ කැමැති ය. දන්නා සියල්ල අනාගත පරපුර සඳහා ලබා දෙන්නෝ ය.

සමහර විද්‍යා පර්යේෂකයන් ගේ පිටතින් පෙනෙන්නා වූ ගුණාංග ඇතුළත නොමැත. ඔවුන් කියන්නේ එකක්‌ ය, කරන්නේ තව එකක්‌ ය. මානව සංහතියට, සත්ත්ව සංහතියට, ගහට කොළට පරිසරයට කුමක්‌ වුව ද ඔවුන් ඒ වෙනුවෙන් කැප වන්නේ නැත. අවශ්‍ය වන්නේ තම අරමුණ පමණක්‌ ඉෂ්ට කරගැනීම පමණකි. එවන් වූ විද්‍යාඥයන් ගෙන් සමාජ යහපත බලාපොරොත්තු විය නොහැකි ය. පෞද්ගලික දියුණුව නිරන්තරව මූලික කරගන්නා නිසා බහුජන දියුණුව පාවා විනාශ කර දමන්නට ඔවුන් සූදානම් ය. මේ අතර තමා දන්නා දේ තව අයකුට දෙන්නට, අනාගතයට දායාද කර දෙන්නට ඔවුන් නොකැමැති ය.

පර්යේෂණයේ දක්‌ෂ මුත් එමගින් සිදු වන සමාජ බලපෑම හඳුනා නො ගන්නා පුද්ගලයන් නිසා විදයාවෙන් බිහි වන නව නිර්මාණ සහ සොයාගැනීම් මානව සංහතියේ පැවැත්මට තර්ජනයක්‌ වී ඇත. දුරදිග කල්පනා කර තීන්දු තීරණ ගැනීමට ඇති නොහැකියාව නිසා මොවුන් සිදු කරන පර්යේෂණ සමාජ ප්‍රගමනයට සහයෝගයක්‌ වන්නේ නැත.

අනුන් ගේ සංකල්ප තමා ගේ කරගන්නා පිරිසක්‌ ද මේ අතර වෙයි. ඔවුනට තනි ව යමක්‌ නිර්මාණය කළ නොහැකි ය. තනි ව සංකල්ප ගොඩනගාගැනීමේ හැකියාවක්‌ නැත. එනිසා තව අයකු ගේ සංකල්ප හෝ නිර්මාණ හෝ සොරාගන්නා මොවුන් තම පැවැත්ම තහවුරු කරගන්නේ ඒ දැනුම තමන් ගේ ලෙස ලොවට ඉදිරිපත් කිරීමෙනි. මේ සඳහා නොයෙකුත් උදාහරණ ඇත.

අවම ලෙස බටහිර විද්‍යාවේ මූලික සංකල්ප හෝ නිසි පරිදි අධ්‍යයනය නො කිරීම නිසා බොහෝ දෙනකුට සිදු වන්නේ දැනුමෙන් ඉතා කුඩා වපසරියකට සීමා වන්නට ය. එවිට ඔවුන් පවසන සහ කරන කියන දෑ ඉතා අවුල්සහගත වෙයි. එවැනි වූ සමහරු තම විෂය ක්‌ෂේත්‍රය ඉක්‌මවා ගොස්‌ වෙනත් විෂයන් ගැන ද කතා කරති. මේ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ බහුලව දැකිය හැකි ය. ඔවුන් බොහෝ විට තම විෂය පථය පවා නිසි පරිදි අධ්‍යයනය කර නොමැත. බොහෝ කේන්ති ගන්නා ඔවුන් සාකච්ඡාව සම්මුතිය ප්‍රතික්‌ෂේප කර එමගින් තම අඩුව වසාගන්නට උත්සාහ කරන අවස්‌තා ඇත.

තර්කනය මූලික කරගත්ත ද බටහිර විද්‍යා ලෝකය තුළ ඇත්තේ මෙවැනි වූ විවිධත්වයේ සංකලනයකි. එනිසා මෙමගින් බිහි වන සියලු දෑ සත්‍ය හෝ නිවැරැදි හෝ යෑයි පිළිගැනීමට නොහැකි ය. ඒ එසේ යෑයි අයකුට තර්ක කළ ද නොහැකි ය. හොඳින් විග්‍රහ කර බැලූ විට පෙනී යන්නේ නිරන්තර යාවත්කාලීන වන බටහිර විද්‍යාව කියාපාන්නේ කිසිවක්‌ ස්‌ථිර ව නො පවතින බව ය යන්නයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 8 June 2017


විදුපත් ඉරුව

2017 බදාදා

කාලය ගතවෙන්නේ පුදුම වේගයකින්. දින තත්පර වී සති පැයට හැර වූවා වාගෙයි. මේ අවුරුද්දෙත් මාස පහක්ම ගෙවී ගිහින් හමාරය. සිංහල අලුත් අවුරුද්දට සති දෙකක් නිකං ම ගෙවි ගොසින්ය. ඊළඟට වෙසක් ආවේය. සතියක්ම ඒ සඳහා ගතවිය. ශ්‍රී ලංකාවේ තරම් නිවාඩු ගන්නා රටක් මේ ලෝකේ ඇත්තේදැයි වරෙක සිහියට නැගෙයි. අවුරුද්දේ වැඩි කාලයක් නිවාඩු වලට ගෙවී ගිය විට සාර්ථක නිෂ්පාදනයක් සිදු වෙන්නේ කෙලෙසකද? නිෂ්පාදනයක් (කුමන හෝ) නොමැතිව යහපත් ආර්ථිකය ගොඩ නැගෙන්නේ කෙලෙසකද?. තත්වය එලෙස නම් රටක සංවර්ධනය ගැන සිතා ගන්නට හැකි වේවි.  

රටක් සංවර්ධනය කරන්නට මනා සැලැස්මක් අත්‍යවශ්‍යයි. සැලැස්ම සකස්විය යුත්තේ නව වසර ලබන්නට මත්තෙනුයි. දිගු කාලීනව ද කෙටි කාලිනව ද මෙම සැලසුම් සකස් විය යුතු වෙයි. සකස් වූ සැලසුම් ක්‍රියාත්මක කල යුත්තේ වසර පටන් ගන්නා විටයි. ජනේරුවේ පළමු වෙනිදා සිට ක්‍රියාත්මක කරන සැලසුම් මනා පාලනයකින් යුක්තව සිදු කල යුතු අතර නිරතන්තර අවධානය යොමු කරමින් යාමනය කල යුත්තේ වෙනස් වන තත්වයන් හමුවේ සැලැස්ම දියාරු නොවන්නටය. නැතහොත් සිදුවන්නේ වසර අවසානයේ යහපත් ප්‍රතිඵල ලබනු වෙනුවට අවප්‍රගමනය වූ සංවර්ධනයක් කරා යන්නටය. එවිට කඩා වැටුන ආර්ථිකයක් සමග වල්මත් වූ සමාජයක් බිහි වනු ඇත.

නිසිකල ඍජු තීන්දු තීරණ ගැනීමද අවශ්‍ය විට නම්‍යශීලි වීමද අවැසිය. නිරන්තර සාකච්චා කරමින් නිසි උපායන් යොදමින් ප්‍රායෝගික සැලසුම් සැකසිය යුතුය. මෙහිදී තත්කාලීන තත්වය ද අනාගත පරිසරය ද අවධානයට සහ සැලකිල්ලට ගත හැකි වීම මනා සැලසුම් සහගත වීමයි. කාලයට නියමිත වටිනාකම ලබා දීම කරන ලද සැලසුම් සියයට පනහක් සාර්ථක කරගත්තා වැනිය.

බලාපොරොත්තු නොවන හදිසි තත්වයන් පැන නැගීම සියලු සැලසුම් අවුල් කර දමයි. එනිසා එවැනි තත්වයන් මොනවාදැයි දැන සිටීම, පුරෝකථනය කරන්නට නොහැකි වූවද, ඇති වූ තත්වය සමතයකට පත් කර නැවත සංවර්ධනයේ ගමන රේඛිය කරවන්නට බොහෝ පහසු වෙයි. මෙරටෙහි ආර්ථිකය අඩපන කරන ස්වභාවික ව්‍යසනයන් තුනකි. මේ සදහා ප්‍රධානම හේතුව වන්නේ ජලය වීම පුදුම සහගතය. මෙම ව්‍යසනයන් නිසා ඇතිවන ආපදා දෙකක්ම ජල අතිරික්තයක් නිසා සිදු වේ. නාය යාම් ද ගංවතුර ද එනිසා සිදුවන්නේ වැසි සමයේ ගෙන දෙන ජල අතිරික්තය නිසා වෙනි. නියඟය ජල හිඟය මූලික කරගත්තකි.

ආපදා ගෙන දෙන මෙම ස්වභාවික ව්‍යසනයන් පුරෝකථනය මෙරටෙහි අසීරුය(?). එමෙන්ම වැසි ව්‍යසනයන් හදිසි ආපදා ගෙන දෙන්නේ නොකියාමය. මෙරට ට ජල අතිරික්තය ගෙන දෙන්නේ වැසි මගිනි. මෝසම් වැසි ද සංවහන වැසි ද ලෙස දෙආකාර වූ මෙම වැසි, කාලගුණික අසාමාන්‍යතා නිසා විටෙක අඩුව හෝ වැඩිව ලැබීම ව්‍යසනයක් වන්නට හේතු වෙයි. මානව ජනාවාස දසත විසිරුණ වර්තමාන ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යසන, එනිසා ජනතාවට නිරන්තරයෙන්ම ආපදා ගෙන දෙයි.  

ආපදා ගෙන දෙන මෙම ව්‍යසන සඳහා ලක ලැහැස්ති වීම අනිවාර්යෙන්ම කල යුතුය. නැතහොත් රටෙහි සංවර්ධන ක්‍රියාදාමය සඳහා බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ව්‍යසනයක් නොවූවද ව්‍යසනයක් වන්නේ යැයි සිතා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම නැණවත් ක්‍රියාවකි. ව්‍යසනයක් වුයේ නම් එය කාලීන තීන්දුවක් වෙයි. ආපදාවෙන් මහජනතාව බැටකන විට ආධාර උපකාර දෙන්නට අවැසි මුත් “පෙර සූදානම” ජිවත සහ දේපල හානි වී සිදුවන ආර්ථික අලාභය අවම කරයි.   

නියඟයෙන්, ගංවතුරෙන් හෝ නාය යාම් ව්‍යසන සඳහා ඍජු දායකත්වය ලබා දෙන්නේ වර්ෂාපතනය නම් කාලගුණික වෙනස් වීම් පෙරග්‍රහණය කර ගැනීම මෙහිලා වැදගත් කාරණයකි. ආපදා සහන සහ බලපෑම් සමනය කර යථාතත්වයට පත් කිරීම සඳහා ගන්නා සහ යොදවන මහන්සිය ද මුදලද සැලකිල්ලට ගන්නේ නම් නිවැරදි කාලගුණික පුරෝකථනයන් ලබා දීම සඳහා යොදවන ප්‍රාග්ධනය පිළිබඳව ගැටළුවක් ඇතිකර නොගත යුතුය. ලොව භාවිතා වන දියුණු විද්‍යාත්මක තාක්ෂනයන් මෙරටට හඳුන්වා දීම මගින් ආපදා අවම කිරීමේ මාර්ගය පෑදෙනු ඇත.

මෙහිලා වැදගත් වන ප්‍රධාන කරුණ වන්නේ ආපදා අවම කරගැනීමයි. ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවිය යුතුය. කාලගුණික පුරෝකථනයන් සඳහා අවැසි විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණයෙහි අඩුලුහුඩු කම් මග හරවා ගැනීම කෙරෙහි දේශීය ඥානය භාවිතයට ගැනීම ගැන වුව සලකා බැලිය යුතුය. බොහෝ දෙනා තාමත් සිතනුයේ මෙරට දියුණු වෙමින් පවතින රටක් බවට පත් වී ඇත්තේ නොදියුණු තත්වයක සිට බවයි. නමුත් අතීතයේ කලෙක අප බොහෝ දියුණු රටක්ව තිබී ඇත. යල මහා දෙක වපුරන්නට නිසි කල අස්වැන්න නෙලන්නට අවැසි පරිසරයක් අතීත මුතුන් මිත්තෝ නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ දියුණු ඥානය උපයෝගී කරගෙන බව අප පිළිගත යුතුය. කෘෂිකර්මය මත පමණක් සියලු ජනී ජනයාගේ පැවැත්ම තහවුරු වූ එකල වූ කාලගුණික පුරෝකථනයන් සඳහා වූ දැනුම අඩු තක්සේරු නොකළ යුතු බව සිතට ගත යුතුය. නැසී යන එම දේශීය ඥානය ද පණ ගස්වා ගැනීමද වර්තමාන මෙරටෙහි අනාගතය ආලෝක කරන්නට යෙදවීම කිසිම ගැටළුවක් නොවේ. බළලා මැටියෙන් වුව කම් නැත්තේ මියන් අල්ලනවා නම් බව අප තේරුම් ගත යුතුය.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ     

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...