23.12.2015
පසු දාට පහන් වූ නමුත් දුම්බර වනයේ වූ සුපුරුදු මීදුම නම් එදා දක්‌නට නො වී ය. ඒ කලින් දින වූ වර්ෂාව හේතුවෙනි. එහෙත් කඳුකරයේ මුදුන් මීදුමෙන් වැසි තිබුණු අතර වර්ෂාව හේතුවෙන් ඇති වූ දියකඳුරු ගලනා සුමිහිරි නාදය සිතට කිසියම් සිසිලසක් ගෙන දුනි. තරමක් ඉහළින් වූ නවාතැනේ සිට කදිමට පහළින් ගලා යන කළු ගඟ, තුරු ගොමු අතරින් දැකගැනීමට හැකි වූ අතර මා ගේ අවධානය ඊළඟට යොමු වූයේ ගඟට ඔබ්බෙන් වූ වනාන්තරය වෙත ය. විවිධ රටාවන් මැවූ ශාක ඉතා හොඳින් නිරීක්‌ෂණය විය. විවිධ ශාක විශේෂවල වෙනස පැහැදිලිව හඳුනාගැනීමට හැකි වීම මා විමතියට පත් කරන්නක් විය. වඩාත් හොඳින් නිරීක්‌ෂණය කළ විට පැහැදිලි වූයේ විවිධ ශාකවල වූ පත්‍රවල වෙනස ද ඒවායේ වෙනස් රටාවන් ද මේ සදහා හේතු වන බවයි. ශාක විශේෂවල කඳන් නො දැක ම විවිධ විශේෂවල පැහැදිලි වෙනස මෙසේ දිස් වීම නම් සැබැවින් ම විස්‌මයජනක ය.
ඔබ ද කෙදිනක හෝ ගසක කොළ (පත්‍ර) දෙස විමසිල්ලෙන් බලා ඇත් දැයි මතක් කරන්න. කොළ පැහැති යෑයි අප දන්නා මේ පත්‍ර පැහැයෙන් පමණක් වුව කොපමණ විවිධත්වයක් පෙන්වන්නේ දැයි ඔබට වැටහෙනු ඇත. ළා කොළ පැහැයේ සිට තද කොළ පැහැය දක්‌වා පැහැය වෙනස් වන අයුරු විවිධ ශාක පත්‍ර අධ්‍යයනයෙන් ඔබට මනාව පැහැදිලි වනු ඇත. එපමණක් නො වේ. ශාක පත්‍ර හැඩයෙන් ද එකිනෙකින් වෙනස් වෙයි. දිගු පත්‍ර, කෙටි පත්‍ර, ශාඛා බෙදුණු පත්‍ර, දාර රැලි සහිත පත්‍ර, විශාල පත්‍ර මෙන්ම ඉතා කුඩා පත්‍ර ද මේ අතර වන බව හොඳින් නිරීක්‌ෂණය කළේ නම් ඔබට පැහැදිලි වේ. තවදුරටත් අධ්‍යයනය කරන විට මේ ශාක පත්‍ර ගසෙහි කදට සවි වන්නේ ද එක්‌තරා රටාවකට බව නිරීක්‌ෂණය කළ හැකි වනු ඇත. සමහර පත්‍ර එක තැනකින් කඳ වටේට ම කිහිපයක් සවි වන බව පෙනෙයි. තවත් සමහර පත්‍ර දෙක බැගින් එක වලයක පිහිටන අතර එයට විරුද්ධ අතට එයට ඉහළින් හෝ පහළින් හෝ වූ වලයේ පිහිටනු දැකිය හැකි ය. එක වලයක එක පත්‍රය බැගින් ඉහළට යත් ම කරකැවෙමින් සර්පිලයක් ආකාරයට කඳට සවි වූ පත්‍ර පිහිටන ශාක ද වෙයි.
ශාකයේ කඳට පත්‍ර සවි වන්නේ නටුව මගින් බව අපි දනිමු. මේ නටුවෙහි ද විවිධත්වයන් පවතී. සමහර ශාක වල පත්‍ර කෙටි නටුවකින් ද සමහර ශාකවල පත්‍ර දිගු නටුවකින් ද සමන්විත වේ. පත්‍රවල මේ විවිධත්වය නම් ඉතා අපූරු ය.
ශාකයක ජීවය රඳා පවතින්නේ ප්‍රධාන කොට ම මේ පත්‍ර මත ය. ශාක ලෝකයේ ඉතා වැදගත් අවයවයක් වන්නේ ශාකයක පත්‍ර ය. ශාකයක මුළුතැන්ගෙය නැත හොත් ආහාර නිෂ්පාදනාගාරය වන්නේ මූලිකව ම එහි පත්‍ර ය. අප හොඳින් දන්නා ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාදාමය සිදු වන්නේ ශාක පත්‍ර තුළ ය. ඒ සදහා සුවිශේෂී ලෙස පත්‍ර සකස් වී ඇති අතර ඉහත කී සැම වෙනසක් ම සිදු ව ඇත්තේ ප්‍රභාසංශ්ලේෂණයේ උපරිම ඵල නෙළාගත හැකි වන පරිදි බව මේ වෙනස්‌කම් හොඳින් අධ්‍යයනය කළේ නම් ඔබට පැහැදිලි වනු ඇත.
මේ ශාක පත්‍රවල බාහිර වෙනස්‌කම් බොහෝ වුවත් එහි අභ්‍යන්තර ව්‍යqහය නම් බොහෝ දුරට සමාන ය. ශාක පත්‍රයක ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වන්නේ සෛල තුළ ඇත්තා වූ ඒ වෙනුවෙන් ම සකස් වූ ව්‍යqහය වන හරිතලව තුළ ය. හරිතලව තුළ සිදු වන ප්‍රභාසංශ්ලේෂණය ද ඉතා අපූරු ක්‍රියාදාමයකි. එය අකාබනික සංයෝග කාබනික සංයෝග බවට පත් කරන සෛලය තුළ ඇති යන්ත්‍රයයි. කාබන්ඩයොක්‌සයිඩ් වායුව ද (CO2), ජලය ද (H2O) මේ යන්ත්‍රයට දමන අමුද්‍රව්‍ය වේ. ලොවැති සැම යන්ත්‍රයකට ම මෙන්ම මේ යන්ත්‍රය ද ක්‍රියාත්මක වීමට ශක්‌තිය අවශ්‍ය වේ. ඒ ශක්‌තිය ලබා දෙන්නේ විශ්වයේ ඇති ප්‍රබල ම ශක්‌ති ප්‍රභවය වන හිරු ය. සූර්ය ශක්‌තිය ලබාගන්නා හරිතලවය කාබන්ඩයොක්‌සයිඩ් වායුව ද (CO2) ජලය ද (H2O) මනා අනුපාතයෙන් (කාබන්ඩයොක්‌සයිඩ් වායු අණු 06ක් ද ජල අණු 06ක් ද ලෙස) මිශ්‍ර කර ජීවීන්ට ශක්‌තිය ලබා දෙන මිහිපිට ඇති සරල ම කාබනික අණුව නිර්මාණය කරයි. ඒ අප ඔබ කවුරුත් හොඳින් දන්නා ග්ලූකෝස් අණුවයි. ග්ලූකෝස් විද්‍යාත්මකව සීනි වර්ගයක් ලෙස නම් කෙරෙන අතර මේ ග්ලූකෝස් පසුව ගබඩා කිරීමේ පහසුව තකා වඩාත් ස්‌ථායි සංකීර්ණ අණු වන කාබෝහයිඩේ්‍රට බවට පත් කරගනී. ස්‌වාභාවික පරිසරය නම් පුදුමසහගත ය. වෙනත් කර්මාන්ත ශාලාවල අතුරුඵල බොහෝ විට පරිසරයට හානි ගෙන දෙන දූෂකයන් වන අතර ශාක පත්‍ර තුළ ඇති මේ කර්මාන්ත ශාලාවේ නිපදවෙන අතුරුඵලයන් (ඔක්‌සිජන්) නම් ජීවී විශේෂ ජීවත් කරවන දෙයක් වීම ම කෙතරම් විශ්මයජනක දැයි සිතන්න. මෙහි අගය යමකු තේරුම්ගන්නේ නම් එය ම වුව ප්‍රමාණවත් නො වේ ද?
ඒ කෙසේ වෙතත් මිනිසා කෙදිනක වත් ස්‌වාභාවික පරිසරය පැරදවිය හැකි මේ ආකාරයේ නිෂ්පාදනයක් නම් කරනු ඇතැයි සිතිය නොහැකි ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment