30.12.2015
ඔබ කෙදිනක හෝ සමනළයන් ගේ බිත්තර දැක තිබේ දැයි සිහි කරන්න. මා හට ඒ අවස්‌ථාව මෑතක දී නැවත උදා වූයේ, අප කළ සංචාරයක දී මා මිතුරු විමුක්‌ති ගේ පිහිටෙනි. ඔහු එහි දී තෝර ගසක පත්‍රවල සවි වී තිබූ සුදු පැහැති සමනළ බිජු දැකගැනීමට සැලැස්‌වූ අතර සමනළ ලෝකය කෙරෙහි පෙර තිබූ මා ගේ උනන්දුව නැවත වර්ධනය කිරීමට ඒ දසුන හේතු විය. මෙවර විදුපත් ඉරුවේ ඒ පිළිබඳව සටහනක් තැබිය යුතු යෑයි එදින මා අදිටන් කරගත්තේ විදුසර පාඨකයන් ගේ ද අවධානය මේ කෙරෙහි යොමු කරවීම වටින්නේ යෑයි සිතූ බැවිනි. ඔබ පරිසරය හොඳින් නිරීක්‌ෂණය කළේ නම් ශාක පත්‍රවල යට පැත්තේ හෝ වටේ දාරවල මේ බිත්තර රැඳී තිබෙන අයුරු ඔබට දැක ගත හැකි වනු ඇත. විවිධ පැහැ සහ හැඩයන් ගත් බිත්තර විවිධ සමනළ විශේෂ නියෝජනය කරන අතර, බිජු ලෑම සදහා විශේෂිත ශාක වර්ග ඔවුන් විසින් තෝරාගනු ලැබේ. ඒ බිත්තර පිපිරී එළියට එන දළඹුවා ගේ ආහාරයට සරි වන ලෙස ය.
"රූපාන්තරණය" නම් අපූරු සංසිද්ධියකි. රූපණය වෙනස් වෙමින් ගලා යන තම ජීවන චක්‍රයේ සමනළයා අවධි හතරක් ගත කරන්නේ ඒවායේ සුවිශේෂීතා විදහා දක්‌වමිනි. එයින් ද කෝෂගත අවධිය වසරක් පමණ කාලයක් දක්‌වා වුව ද දික් විය හැකි බව පර්යේෂණවල දී පැහැදිලි වී තිබේ. කෝෂ්ඨයෙන් එළියට එන සමනළයා තම පියාපත් දිගහැර ඉතා දක්‌ෂ ලෙස පියාසරන්නේ ජානගත දක්‌ෂතා මනාව පිළිබිඹු කරමිනි. තම ආහාරය මල් ආශ්‍රිතව සොයාගන්නා වැඩුණු සමනළයෝ සති හතරක් වැනි කෙටි කාලයක් තුළ තම ජීවන ගමනේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සදහා සුදුසු ශාක තෝරාගනිමින් බිත්තර දැමීම සිදු කරති. ඒ කාලයේ දී ඔවුන් ශාක පරාගණය උදෙසා අමිල මෙහෙවරක් ඉෂ්ට කරන්නේ ශාක ලෝකයේ සපුෂ්ප ශාකවල ද ජීවන ගමන ස්‌ථිර කරමින් බව ඔබට වැටහෙනු ඇත.
ලෝකයේ මේ වන විට සමනළ විශේෂ 18000කටත් වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර වැඩි ම විශේෂ ඝනත්වයක් පෙන්වන්නේ නිවර්තන කලාපීය රටවල ය. එනිසා ධ්‍රැවාසන්නයේ සමනළයන් හමු නො වන්නේ ඇයි දැයි ඔබට වටහාගත හැකි වනු ඇත. ලෝකයේ විශාලතම සමනළයා වාර්තා වන්නේ "පැපුවා නිව්ගිනි"වලිනි. ඒ "ඇලෙක්‌ස්‌සැන්ද්‍රd රැජන ගේ බර්ඩ්වින්ග්" (Queen Alexandra's Birdwing) නම් විශේෂයයි. ඔවුන් ගේ ගැහැනු සතුන් ගේ පියාපත්වල දිග 25 cmක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ද සමනළ විශේෂ 245ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර එයින් 76 දෙනකු ම වඳ වී යාමේ තර්ජනයට ලක් වූ විශේෂ ලෙස රතු දත්ත පොතට ඇතුළත් කර ඇත. මෙරටට ආවේනික විශේෂ 26ක් සොයාගෙන ඇති අතර ඔවුන් බොහොමයක් තෙත් කලාපයට සිමා වී ඇත. ප්‍රධාන කුල (Family) හයකට අයත් සමනළ විශේෂ අතරට 2014 දී එක් වූ නවතම විශේෂය වන්නේ "යෙලෝ µeන්සි" (Yellow Phancy) නම් වූ සමනළ විශේෂය වන අතර මේ විශේෂය හමු වන්නේ යාපනය ප්‍රදේශයෙන් වීම ද සුවිශේෂී කරුණකි. මේ සමනළ විශේෂය සොයා හඳුනාගැනීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් ත්‍රිත්වයක් වන හිමේෂ්, සරත් සහ චමිත්ට ය. දශක දෙකකට වැඩි කාලයක් තිස්‌සේ ඔවුන් විසින් මෙරට සිදු කරන ලද අඛණ්‌ඩ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ඒ සමනළයා සොයාගැනීමට හැකි වී ඇත. ඒ අතර පසු ගිය දිනෙක ඔවුන් සිදු කළ පර්යේෂණ ඇසුරෙන් සමනළයන් පිළිබඳ පර්යේෂණවල නිරත වන ආධුනිකයන් හට වැදගත් වන ක්‌ෂේත්‍ර අත්පොතක් A Pocket Guide to the
Butterflies of Sri Lanka" නමින් එළිදැක්‌වුණු අතර ඔවුන් පර්යේෂණ ක්‌ෂේත්‍රයට සිදු කරන දායකත්වය අගය කළ යුතු ය.
වර්තමානයේ සිදු වන නො නවතින පාරිසරික දූෂණයත් සමග සමනළයන් ගේ ජීවන ගමනට අත් ව ඇත්තේ ඉතා දරුණු ඉරණමකි. වන විනාශය, නාගරීකරණය සහ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ඔවුන් ගේ ජන්මභූමි සපුරා විනාශ කර ඇති අතර ඇත්තා වූ කෘෂිකාර්මික පරිසරය පවා විවිධ කෘමිනාශක සහ වල්නාශක හේතුවෙන් දරුණු ලෙස විෂ වී ඇත. එසේ හෙයින් තම ජීවන චක්‍රය සම්පූර්ණ කරගැනීමට නොහැකි ව ඉතා දරුණු ලෙස බොහෝ සමනළ විශේෂ වඳ වී යැමේ තර්ජනයට ලක් වී ඇති බව ඔබට වටහාගැනීමට අපහසු නො වනු ඇත. ශ්‍රී ලංකාව තුළ එසේ දරුණු ලෙස තර්ජනයට ලක් වූ මෙරටට ආවේනික එක් සමනළ විශේෂයක් වන්නේ "සිලෝන් රෝස්" (Ceylon Rose) නම් විශේෂය වන අතර ඔවුන් ගේ ව්‍යාප්තිය මධ්‍යම කඳුකරයට පමණක් සීමා වී ඇත.
සමනළයන් තම වාසස්‌ථාන කරගන්නා සුවිශේෂී ශාක විශේෂ වෙයි. රනිල කුලයේ ශාක ද, තෘණ වර්ග ද, දෙහි, දොඩම්, කුඹුක්, අනෝදා වැනි ශාක පමණක් නො ව යුලෙක්‌ස් (Ulex) වැනි ආක්‍රමණික ශාක ද ඒ අතර වන බව සොයාගෙන ඇත. දළඹුවන් වෙසෙන ශාක හඳුනාගැනීම අපහසු නො වේ. පත්‍රයේ කෙළවරක සිට පිළිවෙළට කා දමන ඔවුහු ඉතා වේගවත් ශාක භක්‌ෂකයෝ වෙති. එනිසා ම කිහිප වතාවක් ම හැව අරිමින් ඔවුන් විශාල වන බව සොයාගෙන ඇත. ඉතා භයානක ස්‌වරූපයක් පෙන්වන දළඹුවන් ඇත්තෙන් ම බොහෝ අහිංසක ය. එහෙත් තම ආරක්‌ෂාව සදහා සමහර දළඹුවෝ විෂ රසායනිකයන් භාවිත කරති. එමෙන්ම අතිශය දක්‌ෂ ලෙස සැඟව සිටීමේ හැකියාව ඇති මොවුන් ගේ ශරීර කදිමට තම බාහිර ස්‌වරූපය පරිසරයට ගැලපෙන අන්දමේ ශරීර වර්ණ රටාවලින් යුක්‌ත වේ.
මීමැස්‌සන්ට නොදෙවැනි ලෙස පරාගණ කෘත්‍යයේ යෙදෙන සමනළයා ගේ දායකත්වය බොහෝ දෙනකු අවබෝධ කර නො ගැනීම ඉතා කණගාටුවට කරුණකි. වර්තමානය එසේ වුව ද අනාගත වැඩිහිටියන් වන ළමා පරපුර එසේ විය යුතු නො වේ. ඔවුන් ගේ දැනුම බහු විෂයාත්මක වන්නේ නම් ජාතික අවශ්‍යතාවන්වල දී මැදහත් තීරණ මගින් සැමට සාධාරණත්වයක් ඉෂ්ට කළ හැකි බව සිතිය හැකි ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment