05.10.2016
"ශ්‍රී ලංකාව බොහොමයක් ඛනිජ අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය හැටියට මිස ඒවායේ නිෂ්පාදන ලෙස නො වේ. ඒ නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්නේ අමුද්‍රව්‍ය වටිනාකමට වඩා වැඩි දෙයක් නො වේ. විශේෂයෙන් ම තිරුවානා, ෆෙල්ඩ්ස්‌පාර්, ඉල්මනයිට්, රූටයිල් වැනි ඛනිජවලට අදාළ නියම මිල මෙරට ලබා ගන්නේ නැති බවයි මා ගේ අදහස" යනුවෙන් පසුගිය වතාවක මෙරටට පැමිණි මා ගේ ඕස්‌ටේ්‍රලියානු පර්යේෂණ සගයා කියා සිටි බව නැවත මතකයට නැගුණේ එක්‌තරා පුද්ගලයකු මා ගෙන් ෆෙල්ඩ්ස්‌පාර් නිධි පිළිබඳව විමසීම් කරන විටයි. ශ්‍රී ලංකාව ඛනිජවලින් පොහොසත් රටක් බව අමුතුවෙන් ඔබට මතක් කළ යුතු නැහැ. එනිසා ම ලෝකයේ විවධ රටවල අවධානය අප රට වෙත යොමු වී ඇති බව ඉතා හොඳින් පැහැදිලියි.
වර්ග කිලෝමීටර 65625ක් වන මේ කුඩා දිවයින නිර්මාණය වී ඇත්තේ විවිධාකාරයේ පාෂාණවලින් වන අතර ඒවා බොහොමයක් විපරීත පාෂාණ. මෙරට වපසරියෙන් 20%කට අඩු ප්‍රමාණයක් නිර්මාණය වන්නේ අවසාදිත පාෂාණවලින්. මේ පාෂාණ සියල්ල නිර්මාණය වන්නේ ඛනිජවලින් වන අතර ඛනිජ යනු රසායනික සංයෝග. එහෙත් ඛනිජ නො වන රසායනික ඇති අතර එම රසායනික සංයෝගවලින් මේ ඛනිජ වෙන් වන්නේ මේවායේ ඇති සුවිශේෂී ලක්‌ෂණ නිසා මයි. ලොව පවතින සත්‍ය ඛනිජ සියල්ල ඝන ද්‍රව්‍ය වන අතර ඒවා ස්‌වාභාවික පරිසරයේ නිර්මාණය වනවා. ඒ සදහා සුවිශේෂී ක්‍රියාදාමයන් හේතු වන අතර එහි දී රසායනික ප්‍රතික්‍රියාවන් මූලික වනවා. ස්‌වාභාවික පරිසරයේ වෙසෙන ජීවීන් ද විටෙක ඛනිජ නිර්මාණය සදහා දායකත්වය සපයන අතර එමගින් අපූරු ඛනිජ වර්ග ලොවට බිහි කෙරෙනවා.
බොහෝ ඛනිජ ප්‍රමාණයක් ලොව පවතින අතර ඒවා එකිනෙකින් වෙන් කර හඳුනාගැනීම ඉතා වැදගත් කාරියක්. ඛනිජ හඳුනාගැනීමේ දී බෙහෙවින් ඉවහල් වන්නේ එහි භෞතික ගුණාංග වන අතර අතිශය අසීරු අවස්‌ථාවක දී හෝ ඛනිජයේ අනන්‍යතාව තහවුරු කිරීමේ දී රසායනික ගුණාංගයන් ද උපයෝගී කරගැනෙනවා. ඛනිජයක භෞතික ගුණාංග වන්නේ එහි වර්ණය, ස්‌ඵටික හැඩය, කුඩුවල පැහැය, දැඩියාව, ප්‍රභාව, පැලු¨ම් තල සහ ඝනත්වයයි. මේ අතර විටෙක එම ඛනිජවල චුම්බක ගුණය, ආතන්‍ය සහ විතන්‍ය බව යනාදිය පමණක් නො ව විදුලි සන්නායකතාව ද සලකා බැලිය හැකියි.
බොහෝ විට ඛනිජයක පැහැය තීරණය කරන්නේ එහි ඇති රසායනික සංයෝගය වන අතර ඛනිජයක ඇති අපද්‍රව්‍ය ද පැහැය ඇති කිරීම කෙරෙහි බලපෑමක් සිදු කරනවා. ඛනිජය නිර්මාණය වී ඇති රසායනික සංයෝගයේ බන්ධන ආලෝක ශක්‌තිය උරාගන්නා අතර එහි වර්ණාවලියේ කිසියම් ශක්‌ති ඛණ්‌ඩයක් උරා නො ගන්නා විට එම ශක්‌ති ඛණ්‌ඩයට අදාළ වර්ණය ඛනිජයේ වර්ණය ලෙස අපට දිස් වනවා. එනිසා ඉතා අලංකාර වර්ණවත් ඛනිජ බොහොමයක් ඉතා පහසුවෙන් වර්ණය පමණක් භාවිත කර හඳුනාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ලොව පවතින බොහොමයක් වර්ණවත් ඛනිජ මැණික් ඛනිජ ලෙස අප අතරට පැමිණ තිබීම සුවිශේෂයි.
සැම ඛනිජයකට ම නිශ්චිත රසායනික සංයුතියක් ඇති අතර එක ම ඛනිජයේ විවිධ නියදිවල රසායනික සංයුතිය වෙනස් වන්නේ නැහැ. ඛනිජ යනු ස්‌ඵටිකීකරණය වූ ඝන ද්‍රව්‍ය වන අතර එනිසා සැම ඛනිජයකට ම ඉතා අලංකාර නිශ්චිත හැඩයක් තිබෙනවා. එහෙත් එකිනෙකට වෙනස් ඛනිජවල මේ හැඩයන් එකිනෙකින් වෙනස්. ඛනිජ ස්‌ඵටිකවල හැඩයන් අනුව ස්‌ඵටිකීකරණය වන ස්‌ඵටික පද්ධති හයක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි. මේ පද්ධති හයට අමතරව මෙලොව ඛනිජ ස්‌ඵටික බිහි කරන්නේ නැහැ. බොහෝ විට ස්‌වභාවයේ හමු වන්නේ මේ පද්ධති හයේ මුණගැහෙන සරල හැඩයන් නො ව එම සරල හැඩ මිශ්‍ර ව බිහි කරන තරමක් සංකීර්ණ ස්‌ඵටික හැඩයන්.
මේ ස්‌ඵටික හැඩයන් නිර්මාණය සදහා මූලික වන්නේ ඛනිජවල ඇත්තා වූ විවිධ රසායනිකයන් විවිධ ආකාරයෙන් එකිනෙක සම්බන්ධ වීමයි. ඔවුන් එලෙස සම්බන්ධ වී අවකාශයේ මවනා රටාවන් ස්‌ඵටික හැඩයන් සදහා හේතු වනවා. සරල ම රසායනිකය අඩංගු ඛනිජ ස්‌ඵටිකයේ සිට සංකීර්ණ රසායනිකය මගින් මවන ඛනිජ ස්‌ඵටිකයේ පවා මේ නො නවතින අපූරු රටාවන් ඇති අතර එය ලොකු කුඩා විවිධ ප්‍රමාණවලින් භූ අවකාශය හැඩ ගන්වන්නට සමත්. මෙවැනි ස්‌වාභාවිකව මුණගැසෙන අපූරු ස්‌ඵටිකයන් විටෙක සියල්ල පුදුමයට පත් කරන්නේ ඒ වෙතට අප ආශක්‌ත කරමින්.
ලෝකය නිර්මාණය කර ඇති කබොලෙහි ප්‍රධාන වශයෙන් ම ඇත්තා වූ රසායනිකයන් වන්නේ සිලිකන්, ඇලුමිනියම් සහ ඔක්‌සිජන් වන අතර එනිසා ම එහි ඇත්තා වූ බොහොමයක් ඛනිජ ඉහත කී රසායනිකයන් ගෙන් සමන්විතයි. මේ ඛනිජ සිලිකේට ඛනිජ ලෙස හඳුන්වනු ලැබෙනවා. කබොලෙහි 90%ක් පමණ ම සමන්විත වන්නේ සිලිකේට ඛනිජවලින්.
ලොව ඛනිජ වර්ග 5300ක් පමණ මේ වන විට වාර්තා වී තිබෙනවා. ඛනිජයක් හඳුනාගැනීමෙන් පසු එම ඛනිජය අන්තර්ජාතික ඛනිජ සංගමයේ ලියාපදිංචි කළ යුතු අතර වත්මනේ එහි ලියාපදිංචි කර ඇති සත්‍ය ඛනිජ ප්‍රමාණය 5070ක් පමණ වනවා. 1958 දී බිහි කළ මේ අන්තර්ජාතික සංගමයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඛනිජ විද්‍යාව ලොව ප්‍රචලිත කිරීමත්, ඛනිජ පළිබඳ පර්යේෂණ ව්‍යාප්ත කිරීමත්.
ශ්‍රී ලංකාව ඛනිජවලින් පොහොසත් වුවත් එහි නිසි පල ප්‍රයෝජන නෙළාගැනීමට අපොහොසත් වීම එක්‌තරා ආකාරයකට අභාග්‍යයක් වන අතර ඒ සදහා හේතු වන්නේ මෙරට විද්වතුන් ගේ ද පරිපාලකයන් ගේ ද දුර්වලතා සහ මැළිකම් ද කියා විටෙක අපට සිතෙනවා.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment