Tuesday, 16 July 2019

විදුපත්ඉරුව
28.09.2016

මහත්තයෝ මේ බැම්ම තවමත් ශක්‌තිමත්ව තියෙන්නේ මෝරපු ගලෙන් බැඳපු නිසයි. එක ළපටි ගලක්‌ වත් මේකට ගත්තේ නැහැ". පසුගිය දවස්‌වල නාය යැම් පර්යේෂණ කටයුතුවල නියෑළෙද්දී මට හමු වූ එක්‌තරා පුද්ගලයෙක්‌ එසේ ප්‍රකාශ කළේ ය. ඉතා හොඳින් බැඳ තිබූ බැම්ම නිසා ඔහු ගේ ගෙය අසල කණ්‌ඩිය කඩා නො වැටී තිබිණි. එහෙත් අක්‍රමවත් ව බැඳ තිබූ අසල තවත් ගෙදරක බැම්ම මුළුමනින් ම ඇදවැටී තිබුණු අතර එනිසා එම ගෙදරට ද තරමක්‌ හානි වී තිබිණි. තවදුරටත් ඒ පුද්ගලයා සමග සංවාදයේ යෙදෙද්දී වරෙක ඔහු මෙසේ ද පැවසුවේ ය. "මේ හරියේ පොළොව ඇතුළේ තියෙන කළුගල් තවම වැවෙන ඒවා. එක හින්දා වැඩිපුර හම්බ වෙන්නේ ළපටි ගල්. ඒක තමා ඔය උඩින් ම තියන්නේ. තව කාලයක්‌ යන කොට මේවා හොඳට මෝරපු කළු ගල් වේ වි". ඇත්තට ම පොළොව ඇතුළේ ඇති ගල් වැඩෙනවා ද? ඉහළින් තිබෙන කුඩු ගල කාලයක්‌ යද්දී කළුගලක්‌ වෙන්නට පුළුවන් ද? සමහර පුදගලයන් ගේ පාෂාණ පිළිබඳව ඇති දැනුම කෙතරම් සාවද්‍ය ද යන්න මින් අපට පැහැදිලි වේ.

පාෂාණ යනු පොළොව නිර්මාණය කරන තැනුම් ඒකක වේ. පෘථිවියේ කබොල නිර්මාණය කෙරෙන්නේ පාෂාණවලිනි. ඊට ඉහළින් විවිධ කාලවල දී නිර්මාණය වූ පස්‌ සහ අවසාදිත තට්‌ටුවක්‌ ඇත. සමහර ස්‌ථානවල පස්‌ නොමැති ව නිරාවරණය වූ පාෂාණ කලාප දක්‌නට හැකි වේ. පාෂාණ නිර්මාණය වන්නේ කෙසේ ද? ලෝකයේ ප්‍රධාන පාෂාණ වර්ග තුනකි. ආග්නේය පාෂාණ, විපරිත පාෂාණ සහ අවසාදිත පාෂාණ ලෙස ඒවා නම් කෙරෙන අතර, ආග්නේය පාෂාණ ප්‍රාථමික පාෂාණ ලෙස හැඳින්විය හැකි ය. මේ පාෂාණ යනු ඛනිජ සමූහයක එකතුවකි. සමහර පාෂාණ නිර්මාණය සදහා එක ඛනිජයක්‌ පමණක්‌ දායක වී ඇත. ඒවා "ඒක ඛනිජ පාෂාණ" ලෙස හැඳින්වේ. හුණුගල්, කිරිගරුඬ සහ තිරුවාන ගල් එවැනි පාෂාණ සදහා උදාහරණ වේ. එකකට වැඩි ඛනිජ සංඛ්‍යාවක්‌ දායක වී නිර්මාණය කෙරෙන ඛනිජ බහු ඛනිජ පාෂණ ලෙස නම් කළ හැකි ය. නයිස්‌ පාෂාණය සහ ග්‍රැනයිට්‌ පාෂාණ බහු ඛනිජ පාෂාණ වේ. පාෂාණ නිර්මාණය කරන්නට බහුලව දායක වන ඛනිජ පාෂාණකාරක ඛනිජ ලෙස හැඳින්විය හැකි ය. පාෂාණකාරක ඛනිජ 10ක්‌ පමණ ඇත. මින් ප්‍රධාන සහ බහුල ව ම දායක වන ඛනිජය වන්නේ තිරුවානා ඛනිජයයි. එනිසා ලොව බහුලව ම හමු වන ඛනිජය ලෙස වුව ද අපට හැඳින්විය හැකි ය. පෙල්ඩ්ස්‌පාර් ඛනිජය ද බොහොමයක්‌ පාෂාණවල හමු වේ. ප්‍රධාන වශයෙන් පෙල්ඩ්ස්‌පාර් වර්ග තුනකි. මයිකා වර්ග ද කිහිපයක්‌ හමු වේ. ඒ අතර බයෝටයිට්‌ මයිකා ප්‍රධාන වේ. ඇම්පිබෝල් සහ පයිරොක්‌සින් කුලයේ ඛනිජ ගණනාවක්‌ ද පාෂාණ නිර්මාණය සදහා දායක වේ.

අවුරුදු බිලියන 4.6කට පෙර ප්‍රාග් පෘථිවිය ගිනිගෙන දැවෙන ගෝලයකි. ඉතා අධික උණුසුම ඇති වූයේ විශාල වශයෙන් ගිනිකඳු පිපිරුණු නිසා ය. ග්‍රහක කැබැලි ඇද වැටීම ද මේ තත්ත්වය උග්‍ර කරවී ය. එනිසා මුල් අවස්‌ථාවේ පාෂාණ බිහි වූයේ නැත. නැත හොත් බිහි වූ පාෂාණ නැවත ද්‍රව වී ලාවා බවට ම පත් විය. ක්‍රමයෙන් සිදු වූ සිසිලනය ස්‌ථායි පාෂාණ තට්‌ටු බිහි කරන්නට හේතු විය. මේ පාෂාණ සියල්ල ම පාහේ ආග්නේය පාෂාණ විය. එපමණක්‌ නො වේ. අද පවා ඒ පාෂාණ බිහි වන්නේ ද්‍රව මැග්මා සිසිලනයෙනි. ආග්නේය පාෂාණ, ලොව ප්‍රාථමික පාෂාණ ලෙස හඳුන්වන්නේ එනිසා ය. එහෙත් අවසාදිත පාෂාණ නිර්මාණය වන්නේ මුහුදු පත්ලේ තැන්පත් වූ අවසාදිතවලිනි. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මේ අවසාදිත තැන්පතු පීඩනයට සහ උණුසුමට ලක්‌ වීම හේතු කොටගෙන ඒවා අවසාදිත පාෂාණ බවට පත් වේ. මෙලෙස සකස්‌ වූ ආගනේය සහ අවසාදිත පාෂාණ පොළොව අභ්‍යන්තරයේ දී අධික තාපයට සහ පීඩනයට ලක්‌ වීම විපරිත පාෂාණ බිහි කරන්නට හේතු වේ.

පොළොව මතුපිටට යම් පාෂාණයක්‌ ආවේ ද, ජීර්ණ ක්‍රියාවලියෙන් නම් බේරීමක්‌ නැත්තේ ය. එනිසා වායුගෝලයට නිරාවරණය වූ පාෂාණ අත්‍යන්තයෙන් ම ජීර්ණයට ලක්‌ වන්නේ ම ය. ඒ පොළොව මතුපිට පරිසරයට ඔරොත්තු දෙන්නා වූ ඛනිජ බිහි කරන්නට ය. ජලය ද, කාබන්ඩයොක්‌සයිඩ් වායුව ද, ඔක්‌සිජන් වායුව ද සමග ප්‍රතික්‍රියා කරන පාෂාණකාරක ඛනිජ ජීර්ණය හේතුවෙන් ද්විතීයික ඛනිජ නිර්මාණය කරයි. මැටි ඛනිජ ද යකඩ ඔක්‌සයිඩ ද මේ අතර ප්‍රමුඛ වේ. එහෙත් තිරුවානා ඛනිජය ජීර්ණයට ලක්‌ වන්නේ ඉතා අඩුවෙනි. භෞතික ජීර්ණය පාෂාණ කුඩා කැබැලිවලට වෙන් කරන අතර රසායනික ජීර්ණය හේතුවෙන් මේවා වෙනත් රසායනික සංයෝග බවට පත් කරයි. බොහොමයක්‌ පාෂාණ පොළොව මතුපිටට පැමිණෙද්දී කුස්‌තුර සහ පැලුම් ඇති වන නිසා යම් සවිවරතාවක්‌ ඇති කරගනී. මේ දුර්වල කලාප ඔස්‌සේ ජලය සහ ඉහත කී වායුන් රිංගා ගොස්‌ ජීර්ණ ක්‍රියාවලිය පාෂාණ අභ්‍යන්තරයේ වුව ද සිදු කිරීමට වගබලාගනී. ජීර්ණය හේතුවෙන් අවසානයේ දී බිහි කරන්නේ පසයි. මෙලස ඇති වන පස්‌ තට්‌ටු විවිධ හේතුන් නිසා ඛාදනයට ලක්‌ වන ඇතර වෙනත් ස්‌ථානවල තැන්පත් වීමෙන් අවසාදිත බිහි කරයි. එනිසා හැම විට ම පාෂාණයට ඉහළින් පස්‌ හෝ අවසාදිත හෝ අඩක්‌ ජීර්ණයට ලක්‌ වූ පාෂාණ කොටස්‌ හමු වේ. අඩක්‌ ජීර්ණයට ලක්‌ වූ පාෂාණ (කුදුගල්) යනු ළපටි පාෂාණ නො වේ. එමගින් එම ස්‌ථානයේ පහළින් වූ පාෂාණය නිර්මාණය සිදු නො වන බව ඔබ මතක තබාගත යුතු ය. පොළොව මතුපිට දී සිදු වන්නේ බිහි වූ පාෂාණ විනාශ වීම මිස නැවත නිර්මාණය වීම නො වේ. එනිසා කුඩුගල් කෙදිනක වත් මෝරන්නේ ද නැත.

පසුගිය සතියේ මෙහි සදහන් කෙරුණා වූ එක කරුණක්‌ සම්බන්ධව යම් නිවැරැදි කිරීමක්‌ කළ යුතු ය. ඒ මෙරට සිය දිවි හානි කරගැනීමේ "ස්‌ථාන" පිළිබඳ ව ය. මා මිතුරු ධනේෂ් විසුම්පෙරුම මහතා බුකියේ (fb) සටහනක්‌ තබමින් මා දැනුවත් කළේ මෙරට ඇත්තේ 22 වැනි ස්‌ථානයේ බවත් ශීඝ්‍රයෙන් මෙරට සියදිවි හානි කරගැනීම් අඩු වෙමින් පවතින බවත් පවසමිනි. ඒ සම්බන්ධව මා ඉතා ඉහළින් ම ඒ මහතාට කෘතඥ වන අතර ඒ මහතා විදුසරෙහි 2016.07.06 දින ලියූ ලිපිය කියවා ඔබ ගේ දැනුම ද යාවත්කාලීන සහ නිවැරැදි කරගන්නා ලෙස පාඨක ඔබ ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...