Saturday 20 July 2019

විදුපත්ඉරුව
19.10.2016

තවදුරටත් ශ්‍රී ලංකාවාසීන්ට ජලය අසීමිත ව භාවිත කළ හැකි සම්පතක්‌ නො වනු ඇත. ඒ බවට මෑතක සිට කරුණු කාරණා සිදු වෙමින් පවතින බව අප කළ නිරීක්‌ෂණවලින් පැහැදිලි වී ඇත. මෙවර ගී්‍රෂ්ම සමය එතරම් දරුණු නො වුව ද බොහෝ ප්‍රදේශවල ජනතාව ජල හිගයෙන් පෙළෙන බව වාර්තා වේ. ඇති වූ ජල හිගය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට නොහැකි වූ කල පසුගිය දිනවල රජරට විශ්ව විද්‍යාලයය හා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයය තාවකාලිකව වසා දමන්නට පවා සිදු විය.

මේ දුෂ්කරතාව වියළි කලාපයේ පමණක්‌ නො ව තෙත් කලාපයේ සමහර ප්‍රදේශවල ජනතාවට පවා අත්දකින්නට සිදු වී ඇත. නිවර්තන කලාපීය රටක්‌ වන අප රටට මෙතරම් ම ජල දුෂ්කරතාවක්‌ ඇති වන්නේ ඇයි දැයි යන්න අත්‍යවශ්‍යයෙන් ම විමසා බැලිය යුතු කාරණයකි. එය තවදුරටත් මගහැරිය නොහැකි ය.

ශ්‍රී ලංකාවේ ජල සම්පත පරිහරණය වන රටාව පිළිබඳව තවමත් විධිමත් අධ්‍යයනයක්‌ සිදු වී නොමැත. ඒ නිසා පවතින ජල මූලාශ්‍ර පිළිබඳව නිසි අවබෝධයක්‌ ලබාගැනීමට නොහැකි වී ඇති බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ. ශීස්‍ර ජනගහන වර්ධනය, නගර නිර්මාණය, පවතින නගර විශාල වීම සහ නව කර්මාන්ත බිහි වීම යනු කරුණු ද මහජනතාව ගේ නො සැලකිල්ල ද හේතු කොට ගෙන බොහොමයක්‌ මතුපිට ජල මූලාශ්‍ර පමණක්‌ නො ව භූගත ජල නිධි පවා ඉතා ම ශීඝ්‍රයෙන් දුෂණයට ලක්‌ වෙමින් පවතින බව දැනගත යුතු කරුණකි. එපමණක්‌ නො වේ. පාර්ශ්ව ගණනාවක්‌ වර්තමානයේ මෙරට ජලයේ අයිතිකරුවන් වීම ද නිසි කළමනාකරණයකින් බැහැර වීමට හේතු වී ඇත. ආයතන අතර අෙන්‍යාන්‍ය සම්බන්ධතාව ගිලිහී ඇති මෙවන් කලක ඒ ගැන අප පුදුම විය යුතු ද නො වේ.

දශක ගණනාවකට පෙර ඉතා කදිමට තම ගෙවත්තේ වූ ළිං ජලය භාවිත කළ මහ නගරවාසීන් දැන් දැන් එම මූලාශ්‍රය නො සලකමින් රජයෙන් ලබා දෙන ජල කරාමයට අත තබන්නට පෙලඹී ඇත. මෙවැනි පරිවර්තන සදහා කරුණු ගණනාවක්‌ හේතු වන බව පෙනී යයි. විවිධ මානව ක්‍රියාකාරකම් නිසා භූගත ජල මූලාශ්‍ර දූෂණයට ලක්‌ වීම මෙහි දී කැපී පෙනෙන කරුණකි. ඉතා ළං ළං ව නිවාස සහ ගොඩනැගිලි බිහි වීම හේතු කොටගෙන නිර්මාණය වූ වැසිකිළි සහ කැසිකිළි හේතුවෙන් මතුපිටට ආසන්න භූ ගත ජල නිධි බොහොමයක්‌ ඉතා පහසුවෙන් කෙළෙසී යැම සිදු ව තිබේ. එපමණක්‌ නො ව බොහොමයක්‌ කුඩා කර්මාන්ත, කාර්යාල සහ නිවාසවල අප ජලය කිසිදු පිරිපහදු කිරීමකින් තොර ව අසළ ඇති මතුපිට ජල මූලාශ්‍රයට හෝ ඉතා පහසුවෙන් ම පසට හෝ එක්‌ කිරීම හේතු කොටගෙන භූගත ජල නිධි ක්‍රමයෙන් අපවිත්‍ර වේ. මේ තත්ත්වය අගනගරයේ ඇත්තා වූ බේරේ වැව ඇතුළු බොහොමයක්‌ ජල මාර්ග නිරීක්‌ෂණය කිරීමෙන් ඉතා හොඳින් පැහැදිලි වේ.

නගරයෙන් එපිට ග්‍රාමීය ප්‍රදේශවල වුව දැන් දැන් බොහොමයක්‌ සංවර්ධන කටයුතු සිදු වෙමින් පැවතීම හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශ විනාශ වෙමින් පවතී. නව මංමාවත් තැනීම සහ නව නිවාස ඉදි කිරීම පමණක්‌ නො ව කිසිදු කළමනාකරණයකින් තොර ව අවසර දෙන සහ දී ඇති කුඩා ජල විදුලිබලාගාර ඉදි වීම හේතුවෙන් ද කඳුකර ජල පෝෂක ප්‍රදේශ කෙළෙසී ගොස්‌ ඇත. වග විභාගයකින් තොර ව සිදු කරන සංවර්ධන කටයුතු හේතුවෙන් කඳුකරයේ බොහොමයක්‌ ස්‌ථාන අස්‌ථාවර වෙමින් පවතින බව අනාවරණය වෙමින් පවතී. කුඩා කුඩා ඉඩම් කට්‌ටිවල තේ වැනි බෝග වගාවන් ව්‍යාප්ත වීම ද එක්‌තරා ආකාරයකට ජල පෝෂක ප්‍රදේශ දුර්වල කරන්නට හේතු වී ඇත. වර්ෂාවෙන් ලැබෙන ජලය රඳවාගැනීමට නොහැකි වාතාවරණයක්‌ මේ කඳුකර ජල පෝෂක ප්‍රදේශවල නිර්මාණය වෙමින් පවතින බව අප තේරුම්ගත යුත්තකි. එනිසා අභ්‍යන්තර ජල නිධි ප්‍රති පෝෂණය වීම ක්‍රමයෙන් ඇහිරෙන අතර කඳුකරයේ සිට දිවයිනේ පහළ තැනිතලා කරා විහිදෙන භූගත ජල මාර්ග දුර්වල කරන්නට සමත් වේ. එය තැනිතලා ප්‍රදේශවල ඇත්තා වූ භූගත ජල නිධි ප්‍රති පෝෂණය වීම ක්‍රමයෙන් අඩාළ කරනු ඇත.

කෘෂිකාර්මික කටයුතුවල දී ඉතා අධික ව භාවිත කරන රසායනික ද්‍රව්‍යය මේ වන විටත් බොහොමයක්‌ මතුපිට ජල මූලාශ්‍ර අපිරිසිදු කර ඇත. මේ තත්ත්වය ඉතා බරපතළ ලෙස වියළි කලාපයේ ජනතාව අත්විඳිමින් සිටින බව නොරහසකි. ලෝකය ජයගන්නට යැමේ දී කල්පනාකාරී නො වීමේ සහ දුරදිග නො බැලීමේ ප්‍රතිඵල භුක්‌ති විඳීමක්‌ ලෙස රජරට වකුගඩු රෝගය අප හැඳින්විය යුතු ව ඇත.

අපිරිසිදු වූ ජල නිධි සහ මූලාශ්‍ර නැවත යථා තත්ත්වයට ගෙන ඒමට මහත් වෙහෙසක්‌ දැරිය යුතු ය. එහෙත් අල්ප පරිමාණයෙන් එය සිදු කළ හැකි වුව ද මහා පරිමාණයෙන් දූෂණය වූ ජල නිධි පිරිසිදු කරන්නේ කෙසේ ද යන්න මහත් ගැටලුවකි. එනිසා පවතිනා පිරිසිදු ජල මූලාශ්‍ර සහ ජල නිධි ඉතා ක්‍රමවත් ව පාලනය සහ

රැකගැනීම කළ යුතු ය. මේ සදහා විධිමත් ලෙස ජල මූලාශ්‍ර සහ ජල නිධි සිතියම්ගත කිරීම සහ පිරිසිදු ජල පරිමාණයන් ගණනය කළ යුතු ය. පවත්නා තත්ත්වය අනුව අතිශය සංවේදී සහ විනාශ වී යැමට ඉතා ආසන්න ජල නිධි සංරක්‌ෂණය සදහා කඩිනම් වැඩපිළිවෙළක්‌ සැකසිය යුතු ය. මෙහි දී ජල කළමනාකරණයක්‌ අත්‍යවශ්‍ය වුව ද එය නම් ඉතා කල්පනාකාරීව සිදු කළ යුත්තකි. සැම විට ම පාරිභෝගික ජනතාව ද සාමාන්‍ය ජනතාවට ඇත්තා වූ ජලය පිළිsබඳ අයිතිය සුරැකිය යුතු ම ය. ඒ සදහා ඔවුන්ට ඇත්තා වූ අයිතිය තහවුරු විය යුතු ය.

හුදෙක්‌ ම තම කාරිය කරගන්නට පමණක්‌ කැස කවන මෙවන් කාලයක ජල කළමනාකරණයක්‌ ගැන කතා කිරීම එක්‌තරා ආකාරයකට විහිළුවක්‌ පමණක්‌ වනු ඇතැයි ද සිතේ. එය එසේ වෙතත් ඇති වෙමින් පවත්නා ජල දුෂ්කරතාව හමුවේ අනාගතයේ දී අප සියල්ලන්ට ම පීඩා විඳින්නට සිදු වනවා නොඅනුමාන ය. මේ බව ජනතාවත් පාලක පක්‌ෂයත් මනාව තේරුම් නො ගන්නේ නම් ගැටලුව තව දුරටත් උග්‍ර වනවා හැරෙන්නට කිසි දිනෙක විසඳුමක්‌ නම් පහළ නො වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...