Monday, 22 July 2019

විදුපත් ඉරුව
26.10.2016

කාලයක්‌ ගත වී නමුත් තවමත් බොහොමයක්‌ දෙනාට 2004 සුනාමියෙන් ලද අත්දැකීම් අමතක වෙලා නැති ව ඇති. ඒ පිළිබඳ කිසිත් නො දැන සිටි අපට, අලුත් වගේ ම ඉතා ම දුක්‌මුසු අත්දැකීමක්‌ අරන් ආව ඒ සුනාමිය වෙරළබඩ පරිසරය කණපිට පෙරළුවා කීවොත් නිවැරැදියි. වෙරළ තැන්නක්‌ වීම එහි විසූ බොහෝ දෙනකුට අවාසනාවන්ත තත්ත්වයක්‌ උදා කරන්නට හේතු වුණා. එහෙත් වෙරළෙහි වූ බොහෝ උස්‌බිම් බොහෝ ජනයා ගේ ජීවිත බේරා දෙමින් සිදු කළ මෙහෙය නම් කියා නිම කළ නොහැකියි.

විවිධ හේතුන් නිසා වෙරළෙහි ස්‌වාභාවික පැවැත්මට හානි සිදු වී ඇති බව අප පිළිගත යුතුයි. වෙරළේ උස්‌බිම් තුනී කිරීම විශාල ගැටලුවක්‌ බව අප තේරුම්ගත යුතුයි. වෙරළේ උස්‌බිම් නිර්මාණය වන්නේ ආකාර කිහිපයකටයි. පිහිටි පාෂාණයේ ජීර්ණ විෂමතා නිසා බලෙන් මෙන් වෙරළේ ඉදි වූ කදිම පාෂාණ බැමි මෙහි එක්‌ ආකාරයක්‌. පිටින් පිට පහර දුන්නත් මුහුදු රළට මෙවැනි උස බිම් නම් කවරදා වත් බිම හෙළිය හැකි වන්නේ නැහැ. නැත හොත් කොපමණ උත්සාහ කළත් දිය කළ හැකි වන්නේ නැහැ. ශීත යුගයේ වෙරළබඩ ආසන්නයේ අධික වියළි සුළං දහරා නිසා බිහි වූ වැලි කඳු කදිම ආරක්‌ෂාකාරී බාධකයක්‌ බව බොහෝ දෙනෙක්‌ තේරුම්ගත්තේ 2004 සුනාමියෙන් පසුව විය හැකියි. මේ සදහා කදිම පරිසරයක්‌ නිර්මාණය කර දෙන්නේ හම්බන්තොට-කිරින්ද සහ පුත්තලම වැනි ප්‍රදේශවල. මේ ප්‍රදේශ අර්ධ ශුෂ්ක කලාප බව ඔබට හඳුනාගත හැකියි. මෙවන් වූ ශුෂ්ක පරිසරයේ දෘඪ බව කදිමට කියාපාන්නේ ශීත යුගයේ බිහි වූ වැලි කඳු බව අමුතුවෙන් ඔබට විග්‍රහ කළ යුතු නැහැ.

වැලි කඳු නම් වූ මේ කදිම වෙරළ බාධක කපා ඉවත් කිරීම එහි වූ භූ විෂමතාව හානියට පත් කිරීමක්‌ පමණක්‌ නො ව ඒ හා ආශ්‍රිත ජෛව විවිධත්වයට හානි ගෙන දෙන්නක්‌. බිම් තඹුරු ද මහා රාවණා රවුල ද ඇතුළු අනෙකුත් ශාකවල පැවැත්ම තහවුරු කරන්නේ බොහෝ විට මේ ප්‍රදේශවල වූ වැලිපර. කෙසේ වෙතත් වර්තමානයේ වෙරළට දක්‌වන සැලකිල්ල කෙතරම් පහත් ද යන්න වෙරළට යන ඔබට ම පැහැදිලි වනු ඇති. පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ බෝතල් පිරුණු වෙරළ දක්‌නා සැම විට ම මෙරට අනුවණ මිනිසුන් ගේ ක්‍රියාකලාපයන් කෙතරම් දරුණු ලෙස පරිසරයට වින කරන්නේ දැයි හැෙගනු ඇති. සඟවා තබනට හෝ ආයාසයෙන් බේරෙන්නට හෝ මුහුදට දමන්නා වූ සියලු දෑ මහ මුහුද පිළිගන්නේ නැහැ. ඒ සියල්ල නැවත ඔබ වෙතට පමුණුවන්නේ ඔබ රස විඳින්නට යන්නා වූ වෙරළ අපවිත්‍ර කරමින්.

එක පිට එක පැමිණෙන රළට සහාය දෙන්නේ නිබඳ හටගන්නා සුළං දහරාවන්. දහවල දී අධිකව රත් වන ගොඩබිමින් වායුගෝලයට එක්‌ කරන වාෂ්පීකරණය වූ ජලය ගොඩබිම ඇති කරන අවපීඩන තත්ත්වයන් මේ සුළං ඇති කරන්නට බලපානවා. මේ ක්‍රියාවලිය රාත්‍රියේ දී කණපිට පෙරළෙන්නේ ධීවර ජනතාව මුහුදු යන්නට පොලඹවමින්. ඇති වන්නාවූ රළෙහි බලය විසින් වෙරළෙහි ගොඩගසන්නා වූ අවසාදිතවල ප්‍රමාණය තීරණය කරනු ලබනවා. නිරන්තරව වැදෙන රළ පහරින් උදම් වන වෙරළෙහි අවසාදිත එක ම ගමනක්‌ යන්නට මෙන් එකම විශාලත්වයකින් යුක්‌තව තැන්පත් වන බව "කණිකා විශ්ලේෂණයක" දී කදිමට පැහැදිලි වනවා. වැඩි බලයකින් යුක්‌ත රළ විශාලත්වයෙන් වැඩි වැලි කැට ගොඩ ගසන්නට හේතු වනවා. ඉතා අව බලයකින් යුක්‌ත රළ ඉතා සියුම් කණිකා සහිත මැටි තැන්පත් කරන්නේ එයට කළ හැකි උපරිම කාරිය වශයෙන්. වාසනාවකට ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ ඉතා කදිමයි. සුදු වැල්ලෙන් පිරුණු එය සංචාරකයන් මන්මත් කරන්නේ එම ලාක්‌ෂණික නිසා මයි.

සුදු පැහගත් වැල්ල බොහෝ විට පිළිබිඹු කරන්නේ ක්‌වාට්‌ස්‌ ඛනිජයේ පැවැත්මයි. හම්බන්තොට තංගල්ල ආසන්න ප්‍රදේශවල රතුවන් වැල්ල රබහ (garnat) ඛනිජයේ අධික බව කියාපානවා. වැල්ලේ කළු පැහැය ඇති කරන්නේ 'ඉල්මනයිට්‌' නම් වූ කදිම යකඩ ඛනිජයෙන්. පුල්මුඩේ ප්‍රදේශයේ වෙරළේ අසීමාන්තිකව පැතිරී විසිරි ඇත්තේ මේ ඛනිජය වන අතර එහි වූ සුවිශේෂිතාව වන්නේ ඉතා වටිනා ලෝහයක්‌ වන ටයිටේනියම් අඩංගු වීමයි. ඒත් සමග ම රූටයිල් නම් ඛනිජයක්‌ ද මේ වෙරළෙන් හමු වන අතර එහි විකිරණශීලී මුලද්‍රව්‍යයක්‌ වන තෝරියම් අඩංගු වීම මෙරටට ලෝකයේ බලවතුන් ගේ බැල්ම යොමු කරන්නට පවා සමත් වී තිබෙනවා.

රළ පහර වෙරළට වැලි ගෙන ආවත් වෙරළ ගොඩනැෙගන්නට එය සැම විට ම හේතු වන්නේ නැති බව ඔබ මතක තබාගත යුතුයි. නිරිතදිග මෝසම දකුණු මුහුදේ වූ වැලි මෙරටට යාබද ව උතුරට තල්ලු කරන්නේ දකුණු ප්‍රදේශයේ වෙරළ ඛාදනය ද ඇති කරමින්. උතුරු දෙසට ඇදෙන වැලි සහිත ජල දහරා බටහිර වෙරළේ භූ විෂමතාව වෙනස්‌ කරන්නට සමත් වනවා. ගොඩබිම් බාධක හා ගැටී කුඩා දිවයින් සහ ගොඩබිමට සම්බන්ධ වැලි පර නිර්මාණය කරන්නේ බටහිර වෙරළ තව තව තර කරමින්. අතීතයේ කොළඹ සහ මීගමුව ද පුත්තලම ද අවට වූ කුඩා වැලිපර අද වන විට සම්පූර්ණයෙන් ම පාහේ අවසාදිත මගින් පිරී ගොඩබිම ද යාබද වූ අර්ධද්වීප ද නිර්මාණය කර ඇත්තේ දිගු කාලීනව උතුරට දිවෙන එම ජල දහරාවල මහිමයෙන්. මෙවන් භූ ලක්‌ෂණ පමණක්‌ නො ව කාලීන ව සිදු වන මුහුදු මට්‌ටමේ උච්චාවචන නිසා බිහි වන 'කලපු සහ මුහුදු බොකු' ද වෙරළෙහි අතවශ්යන භූ විෂමතාවන් වනවා.

වෙරළේ සුන්දරත්වය විඳින්නට පමණක්‌ නො ව එය මිල කරන්නට ද අද ශ්‍රී ලාංකිකයන් සමත් වී සිටිනවා. සංචාරකයන් ඉතා දැඩි ව මෙරටෙහි වෙරළට ඇලුම් කරන නිසා බොහෝ සංචාරක නිවහන් වෙරළෙහි ම ඉදි වී ඇත්තේ ඔවුන් ගේ සුඛ විහරණය තව තවත් තීව්‍ර කරන්නට විය හැකියි. එහෙත් මෙවැනි ඉදි කිරිම් ක්‍රමයෙන් වෙරළ අපවිත්‍ර කරන්නට ද සුන්දර දර්ශන සීමා කරන්නටද හේතු වී ඇති බව ඔබ නො දන්නවා නො වේ. දිගින් දිගට ම වෙරළෙහි ඉදි කිරිම් සිදු කිරීම සහ එමගින් ඒ අවට වූ ප්‍රදේශයක්‌ වෙන් කර කොටු කරගැනීම එක්‌තරා ආකාරයකට මහජනතාව ගේ පරිසරය රසවිඳීමේ අයිතිය අහිමි කිරීමක්‌ නො වේ දැයි අපට සිතෙනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...