Friday, 16 August 2019

විදු පත්ඉරුව
18.02.2017

විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විද්‍යාත්මක සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුව ම විචිත්‍රවත් වෙයි. පසුගිය ජනේරුවේ අග භාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක්‌ නිසා විද්‍යා ලෝකය මේ වන විටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් සිටියි.'ලෝහමය හයිඩ්‍රජන්' යනු මෙතුවක්‌ කල් විද්‍යාඥයන් අතර සිහිනයක්‌ ව තිබූ කල්පිත පදාර්ථමය අවස්‌ථාවක්‌ වේ. දැන්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ යන දෙපළ විද්‍යාත්මක පත්‍රිකාවක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිළිබඳ පර්යේෂණ කරන මෙන්ම නිරන්තර අවදියෙන් සිටින බොහෝ විද්වතුන් ගේ අවධානයට ලක්‌ වූ මේ පත්‍රිකාව සමහර ගැටලු නිසා තරමක්‌ විවේචනයට ලක්‌ වුව ද බොහෝ දෙනකු ගේ පැසසුමට ලක්‌ වී තිබේ.

අප දන්නා පරිදි හයිඩ්‍රජන්, ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍යය වේ. සොබාවික පරිසරයේ දී වායුවක්‌ ලෙස හැසිරෙන මේ මුලද්‍රව්‍යය ද්‍රවයක්‌ කිරීමට නම් අධික සිසිලනයකට ලක්‌ කළ යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක -259.16ක්‌ පමණ වෙයි. ඝනයක්‌ බවට පත් කරන්නට අවැසි නම් තව තව සිසිල් කළ යුතුවා මෙන්ම අධික පීඩනයකට ද ලක්‌ කළ යුතු වේ. හාවර්ඩ් සරසවියේ විද්වතුන් දෙපළ හයිඩ්‍රජන් වායුව ලෝහමය තත්ත්වයට පත් කිරීම සදහා ලබා දුන් පීඩනය ගිගා පැස්‌කල් 495ක්‌ පමණ වන අතර එය පෘථිවි මධ්‍යයේ පවතින්නා වූ පීඩනයටත් වඩා අධික බව පෙනී යයි. අවර්ණ හයිඩ්‍රජන් වායුව ක්‍රමයෙන් අධික පීඩනයට ලක්‌ කරන විට මුලින් ම කළු පැහැති ඝනයක්‌ බවට පත් වන බවත් එය අර්ධ සන්නායක ගුණ පෙන්වන බවත් තවදුරටත් පීඩනය වැඩි කළ විට ලෝහමය හයිඩ්‍රජන් නිපදවෙන බවත් පෙන්වා දී තිබේ. එලෙස නිපදවූ හයිඩ්‍රජන්වල ලෝහමය අවස්‌ථාව නිසැකව ම නිශ්චය කරගැනීම සදහා ඉදිරියේ දී ඉලිනොයි සරසවිය වෙත ගෙන ගොස්‌ X කිරණ පර්යේෂණවලට ලක්‌ කිරීමට අදහස්‌ කරන බව පර්යේෂකයෝ දෙපළ පවසති.

මෙලෙස නිපදවන ලෝහමය හයිඩ්‍රජන්වල අනගත පැවැත්ම කෙබඳු වේ ද යන්න විද්‍යාඥයන් කතා බහට ලක්‌ කළ කරුණකි. බොහෝ දෙනකු ගේ අදහස වූයේ වරක්‌ අධික පීඩනයට ලක්‌ කර ලෝහමය හයිඩ්‍රජන් නිපදවූ විට ලබා දුන් පීඩනය සහ උෂ්ණත්වය ඉවත් කළ පසු ද ලෝහමය ස්‌වභාවයෙන් ම පවතින බවයි. මෙවැනි ද්‍රව්‍යයන් 'විරූපණ ස්‌ථායි' (MetaStable) ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒ ඔබ අප දන්නා පෘථිවි මධ්‍යයෙ දී අධික පීඩනයකට ලක්‌ ව උත්පාදනය වන දියමන්ති සහ මිනිරන් පෘථිවි මතුපිට පවතින ලෙසිනි. ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමට හැකි නම් ඉතා විශිෂ්ට වෙනසකට ලෝකය පත් විය හැකි බව ය විද්‍යාඥයන් ගේ අදහස.

අද ලෝකයේ විද්යුතය ගමන් කරවීම සඳහා යොදාගන්නේ ලෝහ බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. විශේෂඥයන් පවසන පරිදි විද්යුතය සන්නයනය කිරීමේ දී අවම වශයෙන් 15%ක්‌ වත් විද්යුතය අපතේ යන බව පැවසේ. සොබාවිකව පවතින ලෝහ අතුරින් රිදී සහ තඹ ඉතා හොඳ සන්නායකතාවක්‌ පෙන්වූව ද එම ද්‍රව්‍යවල ද කිසියම් ප්‍රතිරෝධයක්‌ ඇති නිසා මේ තත්ත්වය උද්ගත වන බව පැවසේ. එහෙත් ලෝහමය හයිඩ්‍රජන් භාවිත කළ හැකි නම් 100%ක්‌ විද්යුතය සන්නයනය කළ හැකි බව ය විද්‍යාඥයන් ගේ අදහස. ඔවුන් පවසන පරිදි හයිඩ්‍රජන් ලෝහය විද්යුතය සන්නයනයට කිසිදු ප්‍රතිරෝධයක්‌ නො පෙන්වන සුපිරි සන්නායක සතු ගුණ පෙන්වයි. ලෝහමය හයිඩ්‍රජන්වල තවත් එක්‌ අපූරු යොදාගැනීමක්‌ ලෙස යෝජනා කෙරෙන්නේ එය අභ්‍යවකාශ යානා ඉන්ධන ලෙස යොදාගැනීමට ඇති හැකියාවයි. එමගින් ඉතා හොඳ ශක්‌තියක්‌ සහ දූෂණය අවම වන ප්‍රතිඵලයක්‌ අත් කර දෙන බව විද්‍යාඥයයෝ පවසති. හයිඩ්‍රජන් ලෝහය ඉන්ධනයක්‌ ලෙස යොදාගැනීමේ තවත් වාසියක්‌ ලෙස ඔවුන් දකින්නේ වෙන දා යොදාගන්නා ද්‍රව හයිඩ්‍රජන්වල ප්‍රමාණයට වඩා අඩු ලෝහමය හයිඩ්‍රජන් ඉන්ධන ප්‍රමාණයක්‌ භාවිත කර වැඩි දුරක්‌ යැමට හැකි වීමයි. කෙසේ වෙතත් ලෝහමය ඉන්ධන මහා පරිමාණයෙන් නිපදවීමට හැකි වන්නේ නම් තවත් නොයෙකුත් යෙදීම් සදහා ඉඩ ප්‍රස්‌ථා මතු වනු ඇත.

ලෝහමය හයිඩ්‍රජන් පිළිබඳ අදහස මුලින් ම ලොවට ඉදිරිපත් කරන ලද්දේ විග්නර් සහ හනින්ටන් නමැති විද්‍යාඥයන් දෙදෙනා විසින් 1935 දී ය. ඔවුන් පැවසුවේ ගිගා පැස්‌කල් 25 දී පමණ හයිඩ්‍රජන් ලෝහමය තත්ත්වයට පත් කළ හැකි බවයි. එදා සිට අද දක්‌වා ම නොයෙකුත් පීඩන තත්ත්වවල මේ පර්යේෂණය සිදු කර ඇති අතර එමගින් විග්නර් සහ හනින්ටන් උපකල්පනය කළ පීඩනයට වඩා ඉතා අධික පීඩනයක්‌ අවැසි බව පැහැදිලි වී ඇත.

මතභේදාත්මක කරුණු කාරණා ඉස්‌මතු වුව ද ඉතා අගය කළ යුතු මෙන්ම ලෝකය පියවර ගණනාවකින් ඉදිරියට ගෙන යන පර්යේෂණයක්‌ ලෙස මෙය හැඳින්විය යුතු ය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද වඩා සතුටු දායක පුවතක්‌ වන්නේ මේ පර්යේෂණයේ සම අයිතිකරුවකු වී ඇත්තේ ද ශ්‍රී ලාංකිකයකු බැවිනි. කාලීන ව ඉතා අපූරු පර්යේෂණ අවස්‌ථාවක්‌ ලැබීමට ආචාර්ය රංග ඩයස්‌ මහතා වාසනාවන්ත වී ඇති බව අප පිළිගත යුතු ය. මන්ද යත් මෙරට දී මෙවැනි පර්යේෂණයක්‌ සිදු කිරීම සදහා අවශ්‍ය වන පසුබිම තවමත් නිර්මාණය වී නොමැති බැවිනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...