Wednesday, 14 August 2019




කඳුකරයේ නිවාස සහ නාය අනතුර .....!!!


වැස්ස ආයෙත් පටන් අරන්. කඳුකරයටත් වහිනවා. ඒක තමයි ලොකුම ගැටළුව. මොකද නාය යාමේ අවදානම තියෙන නිසා. නාය යාමේ අවදානම තියෙන දිස්ත්‍රික්ක මේ වෙනකොට ප්‍රධාන වශයෙන් එකොළහක් නම් කරලා තියෙනවා. ඒ තමයි මොණරාගල, බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට. ඊට අමතරව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කත් නාය අවදානම ඇතිවිය හැකි ප්‍රදේශ ලෙස සලකනවා. ඒකට හේතුව තමයි, මේ ප්‍රදේශවල ඉතා සීග්‍රයෙන් සිදුවන සංවර්ධන කටයුතු නිසා භුමියේ ස්ථාවරත්වය ට සිදුවිය හැකි බලපෑම. මේ නිසා කණ්ඩි කඩා වැටීම් සහ ගිලාබැසීම් වැනි තත්වයන් උද්ගතවන වෙන අතර මෙවැනි ආපදා ඉතාම බහුලව වාර්තා වෙනවා. එම තත්වය කඳුකර ප්‍රදේශ වලත් වැඩි වැඩියෙන් වාර්තා වෙනවා.

වැඩිවෙන ජගහනයත් සමග නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම් වල අවශ්‍යතාවය වැඩිවෙලා. ඒ  නිසා ඉතා සිඝ්‍රයෙන් සංවර්ධන කටයුතු සිදුවෙනවා. නමුත් මේ තත්වය පාලනය නොකළොත් වැඩිකාලයක් යන්නට මත්තෙන් විශාල ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවෙයි. ඒ අතර නාය යාමේ අවදානම ප්‍රමුඛව තියෙනවා. පාංශු ඛාදනය සහ ගංවතුරත් මේ අතර තියෙනවා. එනිසා ඉතා කඩිනම් දිගුකාලින වැඩපිළිවෙලක අවශ්‍යතාව තදින්ම තියෙනවා. විශේෂයෙන්ම කඳුකර ඉඩම් කළමනාකරණය සම්බන්ධව වාගේම පාංශු කළමනාකරණය සම්බන්ධවත්. එපමණක් නොවෙයි ජල පෝෂක ප්‍රදේශ වැඩි දියුණු කිරීම මෙන්ම කඳුකරයේ භූ ජලය කළමනාකරණයත් අත්‍යාවශය කාරණා.

බොහොමයක් දෙනා කඳුකර ප්‍රදේශවල ගෙවල් සෑදීමේ දී අනුගමනය නොකරන කරුණ තමයි තමාගේ ඉඩමට නාය යාමේ අවදානම ඇතිදැයි සොයා බැලීම. මේ කරුණ ඉතා සුවිශේෂී කාරණාවක්. ඉහත සඳහන් කල ප්‍රදේශවල ජිවත්වන ජනතාවට නම් නීති ප්‍රකාරව ම මේ සම්බන්ධව සොයා බැලිය යුතු වෙනවා. 2010 දී නිකුත්කළ කැබිනට් පත්‍රිකාව මගින් ප්‍රකාශ කර ඇත්තේ එම දිස්ත්‍රික්ක වල යම් කිසි සංවර්ධන කටයුත්තක් සිදුවන්නේ නම් ඒ හා සම්බන්ධ භුමියේ ස්ථාවරත්වය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් අනිවාර්යෙන්ම පරික්ෂා කර ගත යුතු බවයි. නිවාස ඉදිකිරිම සඳහා පමණක් නොව යම් ව්‍යාපෘතියක් සඳහාත් මෙය වලංගුයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉහත කී දිස්ත්‍රික්ක එකොළහක තම දිස්ත්‍රික්ක කාර්යාල පවත්වාගෙන යන අතර අදාළ දිස්ත්‍රික්කයේ ජනතාවයට එම කාර්යාල වලට ගොස් අදාළ සේවාව ලබා ගත හැකි වෙනවා.

නමුත් බොහෝ දෙනෙකු එම අවස්ථාව නිසි පරිදි ලබා ගන්නේ නැහැ. ඉඩම් පරික්ෂාකරවා ගැනීම් සඳහා ලැබෙන ඉල්ලීම් සලකා බැලීමේදී පෙනීයන ප්‍රභල කරුණ වන්නේ ජනතාව ස්ව කැමැත්තෙන් එසේ නොකරන බවයි. බොහෝවිට ණයක් ගැනීම වැනි හෝ තමන්ගේ නිවසේ හෝ ඉඩමේ සැලැස්ම ආදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමත කරවා ගැනීම වැනි හෝ කරුණක දී පමණක් එලෙස ඉඩම් පරික්ෂා කරවා ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට එන බවයි. නමුත් විය යුත්තේ එලෙස යම් යම් කොන්දේසි නිසා ඒ කාරිය කරවා ගැනීම නොව, ඇත්තෙන්ම තමනට ඇති අවදානම හඳුනාගැනීමට ක්‍රියා කිරීමයි.

කඳුකරයේ විශේෂයෙන්ම නිවාස ඉදිකිරීමේදී නාය අවදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්. බොහෝ දෙනෙකු ජිවත කාලයක් පුරා එකතුකරගත් තම ධනය වැයකර නිවස සාදාගන්නේ සැනසිල්ලේ ඉන්නටය. එනිසා ඇතිවිය හැකි ආපදා පිළිබඳව සැලකිලිමත් වීම අනිවාර්යෙන්ම කල යුතුය. භුමියේ අස්ථාවරත්වයක් ඇත්නම් එහි නිවසක් සාදා පලක් නොවන්නේම ය. එවැනි ස්ථාන කොයි මොහොතක හෝ අවදානමට ලක් විය හැක.  

බෑවුම් ඉඩම් වල නිවාස ඉදිකිරීමේ දී බෑවුම් කපා තම භුමිය සකස් කල යුතු වේ. පවතින සීමිත ඉඩත් නොදැනුවත් කමත් නිසා බොහෝ දෙනෙකු කපන ලද කණ්ඩියට ඉතා ආසන්නයෙන් හෝ කණ්ඩියට යාව තම නිවස ඉදිකරයි. ඒ වාගේම ඉදිරිපස භුමිය පස් පුරවා සකස් කර ගනී. බොහෝ දෙනෙකු ඒ සඳහා ස්ථාවර බැමි ඉදිකරන්නේ නැත. කපන ලද කණ්ඩිය සමහර විට ගෙටත් වඩා උසය. මේ කරුණු දෙකම එම භුමිය අස්ථාවර කරන්නට හේතුවෙයි. ස්ථාවරව තිබු කණ්ඩිය කැපීම නිසා අස්ථාවර වන අතර පවතින පාංශු වර්ගය සහ පාෂාණ අනුව ස්ථාවරත්වය කොපමණ කාලයක් තිබෙන්නේ ද යන්න තීරණය වේ. කලින් නාය ගිය භූමියක නම් එවැනි කණ්ඩියක පවතින්නේ සුන්පහන් පාංශු ද්‍රව්‍යයි. එවැනි අවසාදිත ඉතා පහසුවෙන් නාය යාමට ලක්විය හැකිය. කණ්ඩියේ දිරපු පාෂාණ ඇත්නම් ඒ ද අවදානම් සහිතය. ඉතා හොඳ අලුත් මව් පාෂාණය මතූ වූ කණ්ඩිවල හොඳ ස්ථාවරත්වයක් තිබුන ද කාලයක් යත්ම පාෂාණ ජීර්ණය නිසා පස් නිර්මාණය වී එම කණ්ඩි ද අස්ථාවර විය හැක. පාංශු ද්‍රවය  හෝ ජිර්ණිත පාෂාණ මතු වූ කණ්ඩි ස්ථාවර කිරීම අතවශ්‍ය කරුණක් බව සිහි තබා ගත යුතුය. භුමියේ පස් පිරවූ ඉදිරි පස කොටස ට නිසි ආරක්ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබා නොදුන්නේ නම් ඒ ද නාය යාමේ අවදානමට ලක් විය හැක. මේ තත්වය වැසි දිනවල වර්ධනය වන්නේ ක්‍රමාණුකුලව ජලය බැස යෑම සඳහා කානු පද්ධතියක් සකස් නොකර ඇති විටයි. ලිහිල් පස් අංශු අතරින් රිංගා යන ජලය ඉතා පහසුවෙන් එවැනි පිරවුම් අස්ථාවර කරන්නේ නිතැතින්ම ය. එනිසා කඳුකරයේ නිවාස තන්නන් මේ කරුණු ඉතා හොදින් සැලකිල්ලට ගත යුතුය.

වර්ෂා දිනවල දී වාර්තා වන බොහොමයක් නිවාසා හානි සිදු වී ඇත්තේ මේ හේතුවෙන් බව අධ්‍යන වලින් හෙළි වී ඇත. මේ තත්වය ඉදිරියේ දී වර්ධනය විය හැකි අතර නිතිය නිසා නොව තම ජිවිතයට ඇති අතවශයතාවය තේරුම් ගෙන නාය අවදානම ක් ඇත්තේ දැයි තහවුරු කර ගත යුතුය.  

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...