Saturday 31 October 2020

වෙරළ හැඩ කරන භූ රූපණ

භූ සංචාරිතය 31

This article is originally published on Vidusara 28.10.2020.

ඔන්න නැවතත් අපි භූ සංචාරිතයෙන් වෙරළට ආවා. වෙරළ අපූරු ,චමත්කාරජනක පරිසර පද්ධතියකි. සිත සන්සුන් කරන්නට කියාපු තැනකි. බොහෝ දෙනෙකු නොසිතුවාට වෙරළ ජල ගෝලය, ශිලා ගෝලය, වායු ගෝලය මෙන්ම ජෛව ගෝලයත් එක්තැන් කරන පරිසරයකි.

වෙරළ ගතිකය. සුර්යයාගේ ශක්තිය කැටිකරගත් සාගර තරංග වෙරළ ඉමේ වන ශිලා ගෝලය වෙනුවෙන් පෙනී සිටින පාෂාණ සහ පාංශු දේහයන් වෙත බලපවත්වන බව හොඳින් පැහැදිලි වෙයි. එනිසා සාගර තරංග වෙත ශිලා ගෝලයේ ප්‍රතිචාරය පාෂාණ සහ පාංශු දේහයන් ඔස්සේ  ලබා දෙමින් ඉතා අපූරු භූ රූපණ නිර්මාණය කරයි. මේවා වෙරළ භූ රූපණයි. සාගර තරංග වල ශක්තියට පසුබාන පාංශු දේහයන් බොහෝ විට වෙරළ ඉමේ පෙන්වන්නේ ඛාදන භූ රූපණයි. එනිසා මුහුදු බොකු නිර්මාණය ට මග පෑදෙයි. ගොඩබිමේ වූ ගංගා ගෙන එන අවසාදිත සියල්ල සාගරයේ ද්‍රෝණි වල තැන්පත් වන්නේ නැත. සාගර තරංග වල ශක්තිය අනුව කොටසක් නැවත වෙරළ වෙත ගෙන එන අතර එනිසා විවිධ භූ රූපණ ගොඩනැගෙයි. එනිසා නව වෙරළ ගොඩ නැගීම සිදුවෙයි.

වෙරළ ඉමේ වූ පාෂාණ සහ පාංශු දේහයන්ගේ ගති ලක්ෂණ අනුව නිර්මාණය වන භූ රූපණ විවිධය. මේ කර්තව්‍ය තවත් පහසු කරන්නේ ගෝලීය සත්‍යය වන ජිර්ණයයි. ජීර්ණය පෘථිවි මතුපිට වූ සෑම දෙයක්ම භෞතිකව සහ රසායනිකව වෙනසකට ලක් කරයි. විශේෂයෙන්ම පාෂාණ එහි විත්තිකරුවා වෙයි. පාෂාණ ජීර්ණය තීරණය වන්නේ එහි පවතින ඛණිජ සංයුතිය අනුවයි. ජීර්ණයට ප්‍රතිරෝධී තිරුවානා ඛනිජයෙන් සමන්විත වන්නේ නම් බොහෝ විට පාෂාණය ද ජීර්ණයට ප්‍රතිරෝධිතාවයක් පෙන්වයි. නමුත් පාෂාණයේ කුස්තුර සහ පැලුම් අධික නම් එනිසා ද ජීර්ණය ඉක්මන් වෙයි.

සාගර තරංග අධිකව ජීර්ණය වන පාෂාණ කලාප ඉතා පහසුවෙන් ඛාදනය කර දමයි. එනිසා ගොඩබිම තුලට සාගරය පැමිණෙන අතර ජීර්ණයට ප්‍රතිරෝධී පාෂාණ ඇති ප්‍රදේශයන් සාගරය තුලට නෙරා යයි. එනිසා “තුඩු’ නිර්මාණය වන අතර, සාගරයේ හුදකලා වූ ගොඩබිම කලපා නිර්මාණය කරන්නේ ද මෙවැනි ජීර්ණයට ප්‍රතිරෝධී පාෂාණයි.

සාගර තරංග වෙරළ සිප ගන්නා ආකාරය ද අපූරුය. සාගර තරංග  දහවල අවම ජල මට්ටමක් පවත්වා ගනිමින් වෙරළ කලාපය පුළුල් කරයි. එය බාදිය ලෙස හඳුන්වයි. රාත්‍රියේ දී මේ තත්වය වෙනස් වන අතර තාවකාලිකව වෙරළ ගිල ගන්නට සාගර තරංග උත්සුක වන්නේ චන්ද්‍රයාගේ බලපෑමෙනි. එම තත්වය වඩදිය ලෙසයි හඳුන්වන්නේ.මෙම චලනය වෙරළ කලාපනයට හේතු වෙයි. වඩදිය බාදිය ඇතිවීම උදම් ලෙස හඳුන්වයි. මේ දෙක අතර වූ කලාපය අන්තර් උදම් කලාපය වන අතර මෙහි වූ වෙරළ තාවකාලිකව රාත්‍රියේදී මුහුද ජලයෙන් යටවෙයි. එනිසා මෙම කලාපය තාවකාලිකව තෙත් කලාපයක් වෙයි. වඩා ඉහල ගිය වඩදිය මට්ටමක් ඇතිවන්නේ සුර්යය ග්‍රහණයක් සිදුවන දිනවලදීය. එහිදී මේ තත්වය ඇතිවන්නේ දහවලදී වීම තවත් විශේෂත්වයකි.

වඩදිය මට්ටමෙන් ඔබ්බෙන් ගොඩබිම දෙසට වන්නට පිහිටන්නේ අවර වෙරළ නැතහොත් පෑල වෙරළයි. මෙම කොටස අති බිහිසුණු කුණාටු මගින් ගෙන එන තරංග මගින් පමණක් තෙමිමට භාජනය වෙයි. පැල වෙරළට ඉදිරියෙන් සාගරය දෙසට හමුවන්නේ පෙර වෙරළයි. එය බාදිය මට්ටම තෙක් පැතිරෙන අතර ඉන් ඔබ්බට ඇත්තේ ළං වෙරළයි. උදම් ඇතිවන අවස්ථාවේ මුහුද රළ බිඳෙන සිමාව කඩන සිමාව ලෙස හැඳින්විය හැක. මේ රළ බිඳෙන සිමාවෙන් ඔබ්බට හමුවන්නේ දියඹයි.

වෙරළ නිර්මාණය කරන අවසාදිත තැන්පත් වන්නේ වෙරළාලින්දය මතයි. එය බොහෝ විට තැනිතලා හෝ තරමක් ආනත මවු පාෂාණය විය හැක. කෙසේ වෙතත් වෙරළ හද කරන්නට සැමවිටම දායක වන්නේ සාගර තරංග, ප්‍රදේශයේ මවු පාෂාණයේ ස්වරුපය සහ වෙරළට සැපයෙන අවසාදිත ගොනුවයි. බොහෝ විට වෙරළේ තන්පත්වන අවසාදිත වල වයනය තීරණය කරන්නේ සාගර තරංග වල ශක්තියයි. වැඩි ශක්තියක් හිමි සාගර තරංග ඇති වෙරළේ බොහෝ විට එක්රැස් වන්නේ රළු (coarse) ඛණිකා සහිත අවසාදිතයි. එවිට පෙබලු වෙරළ බිහි වෙයි. වැලි වෙරළක තැන්පත් කරන වැලි තැන්පත් වන්නේ ඉහත කි සාගර තරංග වලට වඩා අඩු සතියකින් හෙබි සාගර තරංග ඇති විටයි. ශක්තිය බෙහෙවින් අඩු සාගර තරංග ඇති වෙරලක් තැන්පත් වන්නේ බොහෝ විට රොන්මඩ, මැටි වැනි සියුම් ඛණිකා සහිත අවසාදිතයි. වාසනාවකට අප රටේ වෙරළ අලංකාර ධවල පැහැ වැල්ලෙන් යුක්තය. මෙම වැල්ල බොහෝ විට තිරුවානා ඛනිජයෙන් යුක්තය.

ඛදනයත් අවසාදනයත් නිසා වෙරළේ භූ රූපණය හැඩ ගැන්වෙයි. ඛාදන ක්‍රියාවලිය වෙරළ, දඹ, මුහුදු ගුහා, පැලුණු පාෂාණ, ආරුක්කු, තුඩු, සිරසුල, මූල කන්ධ, වෙරළ වේදිකා සහ සුළං උමං ඇතිකරන්නට හේතුවෙයි. අවසාදණය, වැලි පර, බාධක වැලිපර, වැලි පාලම්, වැලි කඳු, වැලි නෙරු සහ ලවණ වගුරු ඇතිකරන්නට හේතුවන බව පෙනී යයි. 

පරිසර පද්ධතියක් ලෙස ගත්කල වෙරළ ඉතා වටිනා කමකින් යුක්තය. විශාල ජෛව විව්ධත්වයකින් යුක්ත ගොඩබිම සහ සාගරය ආශ්‍රිත ජීවින් ගේ පැවැත්ම තහවුරු කරන්නට වෙරළ මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතුය. එවිට එහි ගතික සමතුලිතතාවය මනාව රැකෙ. නමුත් වත්මනේ මානවයාගේ අන්තනෝමතික ක්‍රියා නිසා වෙරළ පද්ධතිය බිඳ වැටි ඇත. කාර්මිකකරණයත්, සංචාරක ව්‍යපෘති නිසාත් වෙරළ ඉතා අධිකව දුෂණයට ලක් වී ඇත. එනිසා ඒ හා සම්බන්ධ ගෝලයන් ඉතා දරුණු ලෙස බිඳ වැටි ඇත. මේ තත්වය දිගටම පැවතීම වෙරළ පරිසරය නැවත ගොඩනගන්නට නොහැකි මට්ටමට පත් කරණු ඇත. එපමණක් නොව සාගරයේ සිදුකරනා විවිධ සංවර්ධන කටයුතු වල අවබලපෑම් වලට ඍජුවම ලක්වන්නේ වෙරළයි. විශේෂයෙන්ම බොරතෙල් කැනීම් සහ නැවු ගමනා ගමනය ද ඉතා දරුණු ලෙස වෙරළ රෝගී කරන්නට හේතු වෙයි.

වෙරළේ යහපැවැත්ම පාරිසරික තුලිතය සඳහා වැදගත් වේ. කොතෙකුත් නීති රෙගුලාසි තිබුනේ ද අප රටේ නම් මේ සම්බන්ධව ඇත්තේ ඉතා අඩු අවධානයක් බවයි මාහට නං පෙනී යන්නේ. නීති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දුර්වලතා මේ සඳහා ප්‍රධාන හේතුව බවයි පැහැදිලි වන්නේ. කෙසේ වෙතත් වෙරළ පරිසරය සම්බන්ධව අද පවතිනවාට වඩා ක්‍රියාශීලි වැඩපිළිවෙලක් අවශ්‍ය බව නම් පැහැදිලි සත්‍යයක් බව නොරහසක්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 23 October 2020

පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා ක්‍රමවත් නියැදිකරණයක අවශ්‍යතාවය... 

භූ සංචාරිතය 30

This article is orginally published on Vidusara, 21.10.2020.

මෙරට ඇති යුනෙස්කෝ ලෝක උරුම අතුරින් ආගමික නොවන ලෝක උරුමයක් වන්නේ ගාලු කොටුවයි. ගාලු කොටුව සංචරණය සඳහා ඉතා වටිනා තැනකි. ඔබ මෙය බැලීමට ගොහින් ඇතුවා නොඅනුමානයි. ගාලු නගරයට පෙනෙන මානයේ පිහිටා ඇති මේ අගනා වටිනා ආරක්ෂක කොටු පවුර ද එහි වූ අනෙකුත් ගොඩනැගිලි ද පළමුවෙන්ම ගොඩනගන්නේ පෘතුගීසීන් විසිනි. ඒ 1588 දී පමණය. 17 වන ශතවර්ෂයේදී පමණ මෙරටට පැමිණි ලන්දේසින් විසින් මෙම ගොඩනැගිලි සංකීර්ණය අත්පත් කරගන්නා අතර එය අද පවතින ආකාරයට නිර්මාණය කරන්නේ 1649 දී පමණය. ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලක් බවට පත්වන මෙම අපූරු නිර්මාණය කදිම ගෘහ නිර්මාණයක් බව අමතුවෙන් විස්තර කල යුතු නොවේ.

මා මෙහි සඳහන් කරන්නට උත්සාහ කරන්නේ මෙහි ඉහත කී වැදගත්කම ගැන නං නොවේ. මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණයේදී නිසි ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් එම සංරක්ෂණයේ ප්‍රතිඵල විරහිත යමක් වන බව අප අමතක නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකවේ මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය සඳහා මූලික වන ආයතන දෙකකි. එකක් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වන අතර දෙවැන්න වන්නේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා විසින් ආරම්භ කරන ලද සංස්කෘතික ත්‍රිකෝණය හෙවත් මධ්‍යම සංකෘතික අරමුදලයි. මෙහිදී විවිධාකාරයේ සංරක්ෂණ ක්‍රියා සිදුවන අතර පාෂාණ, විවිධ භාණ්ඩ ඇතුළු සම්පූර්ණ ගොඩනැගිල්ල ද සංරක්ෂණයට භාජනය වේ.

මේ අතර බදාම සංරක්ෂණය සඳහා ප්‍රධාන තැනක් හිමිවන්නේ එය බොහෝ ගොඩනැගිලි වල බිත්තිය ආරක්ෂා කරන සහ අලංකාරයක් එක් කරන නිසා විය යුතුයි. පිටතින්ම ඇති බාහිරයට නිරතුරුවම නිරාවරණය වන නිසා ගොඩනැගිලිවල බදාමය ඉතා ඉක්මනින් සහ පහසුවෙන් දිරාපත් වීමට ලක් වේ. එනිසා බදාම සංරක්ෂණය සඳහා ඇති ඉල්ලුම වැඩිය. බදාමය සංරක්ෂණය කරන්නේ බොහෝ විට පැරණි බදාමයේ සංයුතියට ඉතා සමීප සංයුතියක්ක් සහිත නව බදාමයක් සකස් කරගැනීමෙනි. ඒ සඳහා පැරණි බදාම විශ්ලේෂණයට භාජනය කරන අතර ඒ සඳහා වූ ක්‍රමවේද ඉතා පරෙස්සමින් තෝරාගත යුතුය.

මෙරට වූ පැරණි ගොඩනැගිලිවල  බදාම ප්‍රධාන ආකාර තුනකි. මැටිවලින් පමණක් සකස් කරන ලද බදාම, මැටි සහ හුණු මිශ්‍රණයක් වූ බදාම සහ හුණු පමණක් භාවිතා කරන ලද බදාම ඒ ආකාර තුනයි. පළමුවෙන්ම කීවල බිත්ති  බදාම බොහෝ විට රට මධ්‍යයේ වූ විහාර, ආවාස වැනි ගොඩනැගිලි වල බිත්ති නිර්මාණය කර ඇත්තේ මැටි බදාම වලිනි. රට මධ්‍යයේ පමණක් නොව වෙරළබඩ ආසන්නයේ වූ සමහර ගොඩනැගිලි මැටි-හුණු මිශ්‍රිත බදාම යොදා සකස් කර තිබේ. වෙරළාසන්නයේ සමහර ගොඩනැගිලි වල බිත්ති හුණු පමණක් යොදා සමක් කරන ලද බදාම වලින් යුක්ත බව පෙනී යයි.

මෙම බදාම අධ්‍යනය කරද්දී පෙනී යන්නේ රට මධ්‍යයේ වූ ගොඩනැගිලි සඳහා හුණු ලබා ගෙන ඇත්තේ කිරිගරුඬ පාෂාණය රත් කර ලබාගත් අළුහුණු වලිනි. නමුත් වෙරළාසන්නයේ වූ බොහොමයක් ගොඩනැගිලිවල හුණු ලබා ගැනීම සඳහා යොදාගෙන ඇත්තේ මුහුදු බෙලි කටු සහ කොරල් වැනි ද්‍රව්‍යය බව ඉතා හොඳින් පැහැදිලි වෙයි. සිමෙන්ති භාවිතයට පෙර මෙරට ගොඩනැගිලි ආරක්ෂා කරන්නටත් අලංකාරයක් ලබා දෙන්නටත් මෙවැනි බදාම භාවිතා කල බවට ඉතා කදිම සාක්ෂි හමුවේ. මැටි බදාමය සඳහා මනා උදාහරණයක් වන්නේ සිරි දළදා මාළිගාවයි.

හුණු පමණක් භාවිතා කර කරන ලද බදාමයක් ඇති ගොඩනගිලි සංකීර්ණයක් වන්නේ මෙම ගාලු කොටුවයි. තනිකරම හුණු බදාමයෙන් පමණක් වසා දමන ලද කොරල් සහ කබොල් ගලින් නිමවන ලද මෙම ගාලු කොටුව විසිඑක්වන ශතවර්ෂය ආරම්භයත් සමග මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලද අතර ඒ අතර කාලයේදී මෙහි බදාම පිලිබඳ පර්යේෂණයක් කරන්නට මා හට අවකාශය ලැබුණි. නමුත් ඒ වන විටත් වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ සංරක්ෂණයට සම්බන්ද වූවන් බදාමය විශ්ලේෂණය කර එහි සංයුතිය ලබා ගෙන තිබුණි. ඒ අනුව එහි සංයුතිය වූයේ මැටි 5% පමණ සහිත වූ හුණු බදාමයකි. ඒ අනුව කටයුතු කරමින් ඔවුන් සංරක්ෂණය සඳහා අලුත් බදාම මිශ්‍රණයක් සකස් කර තිබුණි. මැටි ද එක් කර තිබුණි.

මා ද ස්ථාන 25 කින් පමණ පැරණි බදාම ලබා ගෙන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අතපත්තු ගොඩනැගිල්ලේ වූ විද්‍යාගාරයේ දී විශ්ලේෂණයට භාජනය කරන ලද අතර එහි දී ලද ප්‍රතිඵල ඉතා අපූරු විය. මෙම බදාමය විශ්ලේෂණය සඳහා රසායනික විශ්ලේෂණය සඳහා භාජනය කරන ලද අතර බදාමයේ වූ වැලි වයනය සඳහා පෙනේර විශ්ලේෂණය කටයුතු වලට භාජනය කරන ලදී. එමෙන්ම එක්ස්රේ පරික්ෂාවකටද භාජනය කරන ලදී. වැලි සහ හුණු බදාම අතර අනුපාතය 70 ට 30 ක ලෙස සෑම නියදියකම සටහන් විය. අපුරුත්වය වූයේ කිසිම නියැදියක මැටි හමු හමු නොවීමයි.  

එසේනම් කලින් කරන ලද නියැදිවලින් මැටි හමුවූයේ කෙසේද යන්න සොයා බලත් දී පැහැදිලි වූයේ, නියැදිය, විශ්ලේෂකයන් විසින් නොගෙන වෙනත් අයෙකු විසින් ලබා ගෙන යවන ලද්දක් බවයි. එහි දී, බදාමයට ඇතුලතින් වූ ද්‍රව්‍ය ද අඩංගු වන සේ නියැදිය ලබා ගැනීම හේතුවෙන් මැටි 5% ක ලෙස සටහන් වන්නට ඇත. මන්ද යත් ඇතුලත වූයේ කබොක් පාෂාණ කැබැලියි. එමගින් විශ්ලේෂකයන් නොමග යන්නට ඇත. මෙය ඉතා කදිම උදාහරණයක් වන්නේ සුපරික්ෂාකාරී නියැදි ලබා ගැනීමක් උදෙසායි. නියදිකරණය නිසි පරිදි නොකළේ නම් ඔබට ලැබෙනුයේ වැරදි සහගත ප්‍රතිඵලයකි. එය සංරක්ෂකයන් නොමග යවන්නට හේතු වෙයි.

පෙනේර පරික්ෂාව තහවුරු කරන ලද්දේ මෙම බදාමය සඳහා වැලි ලබා ගෙන ඇත්තේ වෙරළෙන් වන බවයි. එමෙන්ම මෙම හුණු මිශ්‍රණය ඉතා දෘඩ බදාමයක් නිර්මාණය කරන්නට හේතු වී ඇත. ඒ සඳහා මුහුද ජලය මිශ්‍ර වී එන මුහුදු සුලඟ ද කදිම සහයෝගයක් ලබා දෙන්නට ඇත. කෙසේ  වෙතත් මෙම තත්වය මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ විද්‍යාගාරයේ අධ්‍යක්ෂ හරහා මොවුනට දැනුම් දුන්න ද ඔවුන්ගේ කරගෙන ගිය ක්‍රියාදාමය නම් වෙනසකට භාජනය වූයේ නැත. එනිසා දිගටම ඔවුන් වැරදි විශ්ලේෂණ වාර්තා මත පදනම් ව සංරක්ෂණ බදාමය භාවිතා කරන ලදී. මෙය නිවැරදි විද්‍යත්මක පැහැදිලි කිරීම් මෙරට පුරාවිද්‍යාවට අකැප බවට තහවුරු වූ තවත් එක් අවස්තාවක් පමණි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 16 October 2020

මැණික් පබළු තැනු ජේතවන සැදැහැවතුන් ......!!!

භූ සංචාරිතය 29

This article is Originally published on Vidusara, 14/10/2020

ලොව තෙවැනියට උසම මානව උත්පාදක ව්‍යුහය වන්නේ අනුරාධපුර පූජා භුමියේ පිහිටි මහාවිහාරය බිඳ දමා තැනු ජේතවන ස්ථුපයයි. මෙම ස්ථුපය මෙරට උසම ගඩොළු ව්‍යුහාත්මක ඉදිකිරිම වන අතර අඩි 400ක් උස බව සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 277 දී රජ පැමිණි මහසෙන් රජු විසින් නිර්මාණය කරන ලදැයි සැලකෙන මෙම යෝධ ස්ථුපයෙහි වැඩ නිම කරන ලද්දේ ඔහුගේ පුතනුවන් වන මේගවන්න නම් වූ රජ විසිනි. විශේෂත්වය වන්නේ බුදු රජාණන් වහන්සේගේ බඳ පටි ධාතුන් වහන්සේ මෙහි තැන්පත් කර තිබීමයි.

පුරාවිද්‍යාඥයින් විසින් පසුගිය කාල වකවානුවේ ජේතවන භුමියේ සිදුකරන ලද කැනීම් මගින් ඉතා විශාල පබළු ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම පබළු වර්ග ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. ඒ අතර සොබාවික ද්‍රව්‍ය එලෙසම භාවිතා කර තැනු “සොබාවික පබළු” ද විවිධ සොබාවික ද්‍රව්‍ය භාවිතාකර කෘත්‍රිමව නිර්මාණය කරන ලද “කෘත්‍රිම පබළු” ද  වෙයි. මේවා සැලකිය යුතු ප්‍රමාණයක් ජේතවන කටුගෙයි තැන්පත් කර ඇත්තේ මහජන ප්‍රදර්ශනය උදෙසායි.   අද අපගේ සංචාරය වන්නේ මෙම පබළුවල කතන්දරය දැන ගන්නටයි.

පබළුව ජනතාවගේ අත්‍යවශය ද්‍රව්‍ය ගොනුවට වැටෙන්නේ නැත. අලංකාරය උදෙසා පමණක් භාවිතා කරන මෙවැනි පබළු අතීතයේ සිටම නැතුවම බැරි ශරීරාලංකාරයක් බවට පත් වී ඇත. නමුත් ජේතවනයට මෙවැනි පබළු විශාල තොගයක් භාවිතයට ගන්නට වෙන්නේ නම් සංගයාවහන්සේලාගේ ගත පළදින්නට නම් නොවේ. ඒ ගෞරවය උදෙසා ස්ථුපයට පැළඳවන්නටය. කොත් කැරැල්ලේ සිට කඩා හැලෙන අලංකාර දිය දහරක් සේ ගර්භය පුරාවට ඉතා ලඟින් මෙම පබළු වැල් අද අප දැල්වෙන නිවෙන බල්බයන් රන්දවන්නා සේ පවතින්නට ඇත. ස්ථුපයට අලංකාරයක් ගෙන එන්නට ඇත.

ගත පළඳවන මෙවැනි පබළු ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම දිවයන බව අප අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ පවා මෝර දත් භාවිතා කර සකස් කරන ලද පබළු පැලඳු බවට සාක්ෂි හමු වී ඇත. කෙසේ වෙතත් සොබවිකත්වයෙන් මිදී කෘත්‍රිම පබළු නිර්මාණයට මුතුන් මිත්තන් පෙළඹෙන්නට ඇත්තේ අහම්බෙන් බවයි මාගේ මතය වන්නේ. ඒ අහම්බය ලෝහ කර්මාන්තයත් සමග සබැඳි පවතින්නට ඇති බව සුප්රික්ශාකාරි සහ තාර්කික ලෙස ඒ දෙස විමසිලිමත් වූයේ නම් ඔබට පැහැදිලිවනවා නොඅනුමානයි.

අතීත ලෝහ භාවිතය වසර අටදාහත් දහදාහත් අතර කාල සීමාවක් දක්වා දිව යන බව ලෝක ඉතිහාසය වාර්තා කරන අතර ඒ මුලින්ම තඹ ලෝහය සොයා ගැනීමෙනි. අතීත මානවයා පරිසරයට ඉතා සංවේදී වන්නට ඇත. එනිසා සැමවිටම සාමාන්‍යය තුල පවතින වෙනස්කම් හොඳින් ග්‍රහණය කරගන්නට ද අවබෝධ කරගන්නට ද. ඒ අනුව අනෙකුත් ඛණිජ සහ පස් වලට වඩා වෙනස් තඹ ඛණිජය කෙරෙහි අවධානය යොමුවන්නට ඇත. එම වෙනස් ද්‍රව්‍යය කුමක් සඳහා භාවිතා කල හැකිදැයි සොයන්නට උත්සුක වන්නට ඇත. පහසුවෙන් ඇඹිමට හැකි මේ ලෝහය ආයුධ නිෂ්පාදනය සඳහා යොදාගන්නට හැකි බව ඔවුන් සොයාගන්නට ඇත. සොබාවික තඹ ලෝහය ලබා ගැනීමට ‘තඹස්’ (තඹ ඇති පස්) උණුකළ යුතුබවත් ඔවුන් සොයා ගන්නට ඇත. එයද බොහෝ විට අහම්බයක් වන්නට ඇති හැකියාව බොහෝ වැඩිය.

තඹ කෙරෙහි අවධානය යොමුවන්නට මතතෙන් මා නම් සිතනුයේ රත්ත්‍රන් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවන්නට ඇති බවයි. මන්දයත් තඹ වලට වඩා රන් කෙරෙහි වැඩිපුර අවධානයක් සොබාවිකවම යොමුවන බැවිනි. එනිසා මිනිසා පළමුව භාවිතයට ගත් ලෝහය බොහෝදුරට විය හැක්කේ රන් බවයි.

උණුකළ තඹ වෙන් වීමෙන් ලබන ලෝහයට අමතරව ලැබෙන තඹොර යනු සිලිකේට ඛනිජවල එකතුවකි. එනිසා මෙය ඉතා සැහැල්ලුය. මේ සැහැල්ලු ද්‍රව්‍යය ඉතා අපූරුය. තඹ පැවතීම නිසා මෙම සැහැල්ලු ද්‍රව්‍යයට නීල පැහැයක් ලබා දෙන අතර විදුරැ වැනි ස්වරූපය විදුරු පබළු නිර්මාණයට කදිමය. අහම්බයෙන් ලද මේ අතුරුඵලය පබළු නිර්මාණයට කදිම බව ඔවුන් වටහා ගන්නට ඇත. එලෙස ආරම්භ කරන ලද පබළු නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යන්නට ඇති අතර විවිධාකාරයේ සොයාබැලීම් (පර්යේෂණ) මගින් නවතම ආකාරයේ නිෂ්පාදන එලි දක්වන්නට ඇත.

කෘත්‍රිම පබළු කර්මාන්තය මෙලස දිග හැරෙද්දී සොබාවික පබළු නිෂ්පාදනය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවති බවට ජේතවනයේ කැණීම් වල ලද පබළු ගොනුව පෙන්වා දෙයි. විශේෂයෙන්ම විවිධ මැණික් ඛණිජ රාශියක් සොබාවික පබළු කර්මාන්තය සඳහා භාවිතා කර ඇති බව එමගින් නිදසුන් ගෙන එයි. වසර 2010 දී පමණ මවිසින් කරන ලද පර්යේෂණයක් ඇසුරෙන් එහි වූ සොබාවික මැණික් ඛණිජ වලින් නිර්මාණය කරන ලද පබළු රාශියක් අධ්‍යනයට භාජනය කරන ලදී. අධ්‍යනයෙන් නිරාවරණය වූ කරුණු ඉතා තාර්කික නිගමන රාශියක් සඳහා මග පෙන්වන බව මෙහි ලා සඳහන් කල යුතුය.

මාගේ පර්යේෂණයෙන් හෙළි වූ කරුණක් වන්නේ සොබාවික පබළු නිර්මාණය සඳහා කුරුවින්ද කුලයේ මැණික් භාවිතා කර ඇති බවයි. ඒ අතර නිල් මැණික්, පුෂ්පරාග සහ ගෙවුඩ වර්ග භාවිතයට ගෙන ඇත. නමුත් මේවා පට්ටම් නොගැසූ තිබු හැඩයම භාවිතා කර සුමටකරණයට ලක් කර මධ්‍යය විද පබළුවක් බවට පත් කර ඇත. අප දන්නා පරිදි දැඩියාව අතින් මෙම කුරුවින්ද ඛණිජ දෙවැනි වන්නේ අගය 10 ක්  වන දියමන්ති වලට පමණි. එමගින් තේරුම් යන්නේ මෙවැනි මැණික් ස්ඵටික විදීමට නම් දියමන්ති වැනි දැඩියාවෙන් වැඩි ඛනිජයක් අවශ්‍යය. එසේ නම් කුරුවින්ද විදීම සඳහා භාවිතා කල තාක්ෂණය කුමක් විය හැකිද? පුරාවිද්‍යාඥයින්හට භූ විද්‍යා දැනුම අවශ්‍ය වන්නේ මෙවැනි ඛණිජ හඳුනාගැනීමට පමණක් නොවේ, භූ විද්‍යා දැනුම පදනම් ව ඉහත සඳහන් කරන ලද තාක්ෂණය කවරක්දැයි හෙළි කර ගැනීමටයි.

කුරුවින්ද වලට අමතරව රබහා වර්ග, අඹතිස්, පලිඟු, කාල පලිඟු, රෝස පලිඟු වැනි ද්‍රව්‍ය ද අස්ඵටික තිරුවානා වන කහඳ වර්ග ගණනාවක් භාවිතයෙන් කරන ලද පබළු හමුවේ. එවැනි කහඳ වර්ග අතර, කානිලියන්, අගස්ති, ඔනික්ස් වැනි කහඳ වර්ග හමුවේ. බොහෝ පුරාවිද්‍යාඥයින් සිතන්නේ කානිලියන් ලංකාවේ හමු නොවන නමුත් ඉන්දියාවෙන් ගෙන ආ ඛණිජයක් බවයි. නමුත් මේ අදහස මුළුමනින්ම සාවද්‍යය අතර කානිලියන් නිෂ්පාදනය සඳහා ඕනෑ තරම් අමුද්‍රව්‍ය මෙරටේ හමුවන බව ඉතා වගකීමෙන් කිවයුතුය. භූ පුරාවිද්‍යාවේ ප්‍රායෝගික භාවිතය පිලිබඳ මෙරට පුරාවිද්‍යාඥයින් වඩාත් සැලකිලිමත් විය යුතු බව නැවත වතාවක් මා අවධාරණය කල යුතුය. නැතහොත් වන්නේ වැරදි අර්ථකතන මගින් මෙරට ජනතාව නොමග යා හැකි බවත් දැනටත් එසේ වී ඇති බවත් මෙහිලා සඳහන් කල යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

https://www.archaeology.lk/2382 

Saturday 3 October 2020

භූ කම්පා....ඉතිරි කොටස....!

This article is Originally published on Vidusara, 30/09/2020

පසුගිය සතියේ භූ කම්පා ලිපිය අවසාන කරන ලද්දේ භූ කම්පා නාභිය ද අපි කේන්ද්‍රයද ගැන සටහන් කරමින් බව ඔබ ලිපිය කියවූයේ නම් ඔබට මතකට නැගෙනු ඇත. අපිකේන්ද්‍රය යනු භුමිය මතුපිට සටහන් වන්නා වූ භූ කම්පාවේ නාභියේ ප්‍රක්ෂේපනයයි. භූ කම්පන විද්‍යාඥයින් හඳුනාගෙන ඇති පරිදි අපිකේන්ද්‍රය යනු වැඩිම හානියක් ඇතිවන්නාවූ ස්ථානයයි. නමුත් එය සැමවිටම නිවැරදි නොවන බව ද තහවුරු වී ඇත. භූ කම්පාව හට ගන්නා වූ විභේදයේ දිග වැඩිනම් එවැනි අවස්ථාවක විශාල ප්‍රදේශයක් පුරා භූ කම්පාවෙන් හට ගන්නා හානිය පැතිරී යා හැක. රික්ටාර් පරිමාණයේ අගය 7.9 ක පමණ වූ ඇලස්කාවේ දිනාලි භූ කම්පාව හොඳම උදාහරණයයි. මහද්වීප කලාප වල ඇතිවන්නා වූ භූ කම්පා වල නාභිය පොළොව මතුපිට සිට කිලෝමීටර 2 සිට කිලෝමීටර 20 ක පමණ ගැඹුරේ වුව හට ගත හැකි බව වාර්තා වී ඇත. ඒ අනුව භූ මතුපිටට ඉතා ආසන්නයේ වුව භූ කම්පාවක් හට ගැනීමේ හැකියාවක් ඇති බව පෙනී යයි. නමුත් භූ තැටි ගිල ගන්නා අභිසාරි තල මායිම් අසල මෙවැනි භූ කම්පා කිලෝමමීටර 600 ක් පමණ ගැඹුරේ වුව හට ගත හැකි බව ද වාර්තා වී ඇත.

භූ කම්පා නාභියේ ඇතිවන්නා වූ ඝර්ෂණය බිඳ දමමින් තෙරපෙන භූ තැටිය ඇතිකරනා පීඩනය එකවරම තෙරපුන භූ තැටිය ඉදිරියට චලනය කරන්නේ කාලීනව ගැබ් වූ විශාල ශක්තියක් එකවරම පිටකරමින්. මෙලස පිට වූ ශක්තිය රැගෙන යන්නට සමත්වන්නා වූ ශක්ති තරංග දෙකක් බිහිවන අතර ඒවා දෛහික (body wave) තරංග සහ පෘෂ්ටිය (Surface wave) තරංග ලෙස හැදින්විය හැක. ස්කන්ධ තරංග වල විශේෂත්වය වන්නේ ඒවා ගමන් කරන්නේ භූ ස්කන්ධය හරහා භූ අභ්‍යන්තරයෙන් වීමයි. පෘෂ්ටිය තරංග භූ මතුපිටින් ගමන් කරන බව භූ කම්පන විද්‍යාඥයින් පවසයි. ඔවුනට අනුව දෛහික තරංග වර්ග දෙකකි. එනම් ප්‍රාථමික (primary or P) සහ ද්විතියික (secondary or S) දෛහික තරංග යනුවෙනුයි. ප්‍රාථමික තරංගයේ ගමන් රටාව වන්නේ ඉදිරියේ ඇති අංශුන් තල්ලු කරමින් ද පසු අංශු වල ශක්තිය ඉදිරියේ ඇති අංශුන් වලට ලබා දෙමින්  ද වැඩි පීඩිත සංකෝචිත කලාප සහ අඩු පීඩිත ඉහිල් කලාප ඇතිකරමින් බවයි වාර්තා වන්නේ. ඒ අනුව භූ කම්පාවෙන් බිහිවන තරංග අතර වේගයෙන්ම ගමන් කරන්නේ මෙම තරංග වන අතර භූ කම්පා මාන වල පළමුව සනිටුහන් වන්නේ ප්‍රාථමික ස්කන්ධ තරංගයි.  පාෂාණ වැනි මාධ්‍යයක් හමුවේ මේවායේ වේගය තත්පරයට මීටර 5000ක් පමණ වන බව සොයා ගෙන ඇත. ජලයේදී එහි වේගය තත්පරයට මීටර 1450ක් පමණ වේ. නමුත් වාතයේදී වේගය අඩුවන අතර එය තත්පරයට මීටර 330ක් පමණ වනු ඇති සොයා ගෙන ඇත. මෙම තරංග ද්විතියික තරංග මෙන් 1.7 ක් වේගයක් පවත්වා ගනී.

ද්විතියක තරංග පෙන්වන්නේ ඉතා අපූරු රටාවකි. ශක්තිය ගමන් කරන්නා වූ දිශාවට ලම්භක ව සිරස්ව පාෂාණ ස්කන්ධයේ අංශුන් චලනයට ලක් කරනා අතර එනිසා පාෂාණයේ හැඩය විරූපණය කරන්නට හේතුවෙයි. භූ කම්පාවකදී දෙවනියට වැඩිම වේගයෙන් ගමන් කරන්නා වූ තරංග විශේෂය වන්නේ මෙම තරංගයි. විශේෂත්වය වන්නේ ද්‍රව හෝ වායු කලාප හරහා ගමන් නොකිරීමයි. මෙම තරංග මධ්‍යයේ වූ පිටත හරය හරහා ගමන් කරන්නේ නැත.

භූ කම්පාවකදී හට ගන්නා ශක්තිය රැගෙන යන්නා පෘෂ්ටිය තරංග ද ආකාර දෙකකි. රයිලි තරංග සහ ලෝව් තරංග ඒ ආකාර දෙකයි. රයිලි තරංගයේ හැසිරීම ජලයේ හට ගන්නා තරංග මෙනි. අංශු චලනය නොවන අතර ශක්තිය පමණක් ඉදිරියට ගමන් කරයි. ඒවා වේගයෙන් අඩු භූමිය මතුපිටින් ගමන් කරන ශබ්ධ තරංග වන අතර ස්කන්ධ තරංග මෙන් නොව ඇතිකරනා හානිය ඉතා වැඩිය. මේ අතර වැඩිම තර්ජනයක් ඇතිකරන්නේ ලෝව් තරංග මගිනි. ශක්තිය ගමන් කරන්නා වූ දිශාවට තිරස් ලම්භක දිශාවට මාධ්‍යයේ අංශු චලනයට ලක් කරන ලෝව් තරංග ද්‍රව හරහා ගමන් කරන්නේ නැත. නමුත් රයිලි තරංග ප්‍රාථමික තරංග මෙන් ද්‍රව හරහා ගමන් කරන බව සොයා ගෙන ඇත.

භූ කම්පා තරංග අධ්‍යනයන් අනුව භූ කම්පාව හට ගත් ස්ථානය පිළිබඳව යම් අදහසක් ලබා ගන්නට හැකියාවක් ඇතුවා මෙන්ම නිරන්තරව සිදුකරන්නා වූ සොයා බැලීම් මගින් භූමියේ ඇතිවන භූ කම්පා පිළිබඳව පෙර දැනුමක් ලබා ගැනීමට හැකියාව ඇත්තේමුත් එම කාල සීමාව පෙර සූදානමක් සඳහා ප්‍රමාණවත් නොවන බවයි භූ කම්පා විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. කෙසේ වෙතත් කලින් පැමිණෙන්නා වූ දෛහික තරංග මගින් ඇතිවන හානිය එතරම් ප්‍රබල නොවනමුත් පසුව පැමිණෙන පෘෂ්ටිය තරංග වඩා ප්‍රබල හානියක් ඇතිකරන බව වාර්තා වී ඇත.

ලෝකයේ බොහෝ විට ප්‍රබල භූ කම්පා වාර්තා වන්නේ භූ තල මායිම් අසල වන අතර ඒ ද අභිසාරී සහ පරිණාමන විභේද ආශ්‍රිතව බව සොයා ගෙන ඇත. ඒ අනුව පෙනී යන කාරණාව වන්නේ භූ කම්පා ඇතිකරන්නට හේතුවන ප්‍රබලම කාරණය වන්නේ භූ තල වල සිදුවන චලනය බවයි. ඒ කාරණාව නම් ඇත්තෙන්ම සොබාවික හේතුවකි.

සොබාවික නොවන මිනිසාගේ බලපෑම නිසා ඇතිවන භූ කම්පා ගැනද දැන් දැන් වාර්තා වන බව සඳහන් වේ. ඇමෙරිකානු භූ විද්‍යා ආයතනය පවසන ආකාරයට එවන් වූ භූ කම්පා ඇතිවන ප්‍රමාණය  එන්න එන්නටම වැඩිවන බව පෙන්නුම් කරයි. ඒ බොහෝ විට භූ ගැඹුරේ සිදුකරනා තෙල් ගවේෂණ වලදී භූ අභ්‍යන්තරයට විදිනා ජලය හේතුකොටගෙන බව ඔවුන් සොයාගෙන ඇත. ඒ වාගේම අපජලය භූ අභ්‍යන්තරයට මුදා හැරීමද හේතුවක් බව ඔවුන් පවසයි. එමෙන්ම කාලගුණික විපරියාසය යාමනය කරන්නට ගන්නා පියවරක් ලෙස සිදුකරනා හරිතාගාර වායුන් භූ අභ්‍යන්තරයට මුදා හැරීමද මේ සඳහා සාදාරණ හේතුවක් බව ඔවුන් සොයාගෙන ඇත.

මානව පෙළඹවීම මත ඇතිවන්නා වූ භූ කම්පා සඳහා හේතුවන තවත් කාරණයක් වන්නේ දීර්ඝව දිව යන්නා වූ විභේද ඔස්සේ නිර්මාණය වූ නිම්න හරහා ඉදිකරනා ජලාශයි. එහි ඇති ජලය මගින් ඇතිකරන පීඩනය දුර්වල විභේද ඈත්කරන්නට හේතුවන බව සොයාගෙන ඇත. මේ සඳහා ප්‍රථම උදාහරණය සපයන්නේ 1932 දී ඇල්ජීරියාවේ ක්වේඩ් ෆොඩ්ඩා ජලාශයයි. එයට අමතරව 1967 දී ඉන්දියාවේ මහාශ්‍රාස්ත්‍රයේ කොයිනා නගර ජලාශය ද එවැනිම භූ කම්පාවක් ඇතිකරන්නට හේතු වී ඇත.

භූ සම්පත් ලබා ගැනීම සඳහා සිදුකරනා කැනීම් කටයුතු ද මෙවැනි භ කම්පා ඇතිකරන්නට හේතු විය හැකි බව වාර්තා වී ඇත. රන් කැනීම් සිදුකල දකුණු අප්‍රිකාවේ ඔක්නෙයි පතල නිසා 2014 එවැනි භූ කම්පාවක් සිදු වී ඇත. වසර ගණනාවකදී සිදු වූ ප්‍රභල භූ කම්පාවක් ලෙස එය සටහන් වන අතර ප්‍රබලත්වය රික්ටාර් පරිමාණයේ අගය 5.5 පමණ වී ඇත. මෙවැනි පතල් වලින් හට ගන්නා භූ කම්පා සඳහා හේතුවන්නේ ඒවායේ සිදු කරනා පිපිරීම් බව වාර්තා වන අතර වැඩකරනා කම්කරුවන් ඉතා දරුණු ලෙස අවදානමට ලක් වූ අවස්ථා ද නැත්තේ නොවේ.

භූ අභ්‍යන්තරයේ ඇති දුබල පාෂාණ වල සිදුවන ජීර්ණය හේතුවෙන් ඇතිවන කුහර කඩා වැටීම් හේතුවෙන් ද එවැනි භූ කම්පා හටගත හැකි බව විස්වාස කරනමුත් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂ්‍ය හමු නොවන බවයි පෙනී යන්නේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව පවතින පසුබිම සලකා බැලීමේදී සහ වත්මනේ ඇතිවෙමින් පවතින භූ කම්පා අවදානම සලකා බැලීමේදී ඉතා සුපරික්ෂාකාරී විමසිලිමත් බවක් සහ නිරන්තර අවධානයක් හිමි විය යුතු බවයි මාගේ අදහස වන්නේ. භූ තල මායිමකට ආසන්නව අප නොපිහිටියත් උතුරෙන් ඇත්තාවූ අභිසාරී තල මායිම ද දකුණෙන් ඇතිවෙමින් පවතින නවමු තල මායිම ද හේතුවෙන් යම් කිසි ආකාරයක අවදානමක් ඇති වෙමින් පවතින බව අපට අමතක කල නොහැකිය. මේ බව මෙයට වසර කිහිපයකට පෙර මා මාගේ විදුපත් ඉරුවේ සඳහන් කලමුත් විදග්ධයින් එයට සිනා වූ බව මට මතකය. කෙසේවෙතත් දිගන ප්‍රදේශයේ සිදුකරනා කිරිගරුඬ කැනීම් කටයුතු වලින් ඇතිවන භූ හානිය කවරේදැයි වඩා විමසිලිමත් විය යුතුවාක් මෙන්ම මේ සම්බන්ධව අධ්‍යනය කරන්නා වූ වගකිව යුතු ආයතන තමන්ගේ අධ්‍යනයන් තව තවත් ක්‍රමවත්ව සහ සුපරික්ෂාකාරී විය යුතුය. එමෙන්ම භූ කම්පා සටහන් කරගත හැකි නවීන තාක්ෂණයන් පිළිබඳව අවධානය යොමුකලයුතුවාක් මෙන්ම ඒවායේ දිගුකාලීන පැවැත්ම සහ නිරන්තරයෙන්ම භාවිතයට ගත හැකියාව පිළිබඳව ද යම් තහවුරුවක් සහතිකයක් තිබිය යුතුය.  

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...