Friday 16 October 2020

මැණික් පබළු තැනු ජේතවන සැදැහැවතුන් ......!!!

භූ සංචාරිතය 29

This article is Originally published on Vidusara, 14/10/2020

ලොව තෙවැනියට උසම මානව උත්පාදක ව්‍යුහය වන්නේ අනුරාධපුර පූජා භුමියේ පිහිටි මහාවිහාරය බිඳ දමා තැනු ජේතවන ස්ථුපයයි. මෙම ස්ථුපය මෙරට උසම ගඩොළු ව්‍යුහාත්මක ඉදිකිරිම වන අතර අඩි 400ක් උස බව සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ 277 දී රජ පැමිණි මහසෙන් රජු විසින් නිර්මාණය කරන ලදැයි සැලකෙන මෙම යෝධ ස්ථුපයෙහි වැඩ නිම කරන ලද්දේ ඔහුගේ පුතනුවන් වන මේගවන්න නම් වූ රජ විසිනි. විශේෂත්වය වන්නේ බුදු රජාණන් වහන්සේගේ බඳ පටි ධාතුන් වහන්සේ මෙහි තැන්පත් කර තිබීමයි.

පුරාවිද්‍යාඥයින් විසින් පසුගිය කාල වකවානුවේ ජේතවන භුමියේ සිදුකරන ලද කැනීම් මගින් ඉතා විශාල පබළු ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම පබළු වර්ග ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. ඒ අතර සොබාවික ද්‍රව්‍ය එලෙසම භාවිතා කර තැනු “සොබාවික පබළු” ද විවිධ සොබාවික ද්‍රව්‍ය භාවිතාකර කෘත්‍රිමව නිර්මාණය කරන ලද “කෘත්‍රිම පබළු” ද  වෙයි. මේවා සැලකිය යුතු ප්‍රමාණයක් ජේතවන කටුගෙයි තැන්පත් කර ඇත්තේ මහජන ප්‍රදර්ශනය උදෙසායි.   අද අපගේ සංචාරය වන්නේ මෙම පබළුවල කතන්දරය දැන ගන්නටයි.

පබළුව ජනතාවගේ අත්‍යවශය ද්‍රව්‍ය ගොනුවට වැටෙන්නේ නැත. අලංකාරය උදෙසා පමණක් භාවිතා කරන මෙවැනි පබළු අතීතයේ සිටම නැතුවම බැරි ශරීරාලංකාරයක් බවට පත් වී ඇත. නමුත් ජේතවනයට මෙවැනි පබළු විශාල තොගයක් භාවිතයට ගන්නට වෙන්නේ නම් සංගයාවහන්සේලාගේ ගත පළදින්නට නම් නොවේ. ඒ ගෞරවය උදෙසා ස්ථුපයට පැළඳවන්නටය. කොත් කැරැල්ලේ සිට කඩා හැලෙන අලංකාර දිය දහරක් සේ ගර්භය පුරාවට ඉතා ලඟින් මෙම පබළු වැල් අද අප දැල්වෙන නිවෙන බල්බයන් රන්දවන්නා සේ පවතින්නට ඇත. ස්ථුපයට අලංකාරයක් ගෙන එන්නට ඇත.

ගත පළඳවන මෙවැනි පබළු ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම දිවයන බව අප අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකාවේ පවා මෝර දත් භාවිතා කර සකස් කරන ලද පබළු පැලඳු බවට සාක්ෂි හමු වී ඇත. කෙසේ වෙතත් සොබවිකත්වයෙන් මිදී කෘත්‍රිම පබළු නිර්මාණයට මුතුන් මිත්තන් පෙළඹෙන්නට ඇත්තේ අහම්බෙන් බවයි මාගේ මතය වන්නේ. ඒ අහම්බය ලෝහ කර්මාන්තයත් සමග සබැඳි පවතින්නට ඇති බව සුප්රික්ශාකාරි සහ තාර්කික ලෙස ඒ දෙස විමසිලිමත් වූයේ නම් ඔබට පැහැදිලිවනවා නොඅනුමානයි.

අතීත ලෝහ භාවිතය වසර අටදාහත් දහදාහත් අතර කාල සීමාවක් දක්වා දිව යන බව ලෝක ඉතිහාසය වාර්තා කරන අතර ඒ මුලින්ම තඹ ලෝහය සොයා ගැනීමෙනි. අතීත මානවයා පරිසරයට ඉතා සංවේදී වන්නට ඇත. එනිසා සැමවිටම සාමාන්‍යය තුල පවතින වෙනස්කම් හොඳින් ග්‍රහණය කරගන්නට ද අවබෝධ කරගන්නට ද. ඒ අනුව අනෙකුත් ඛණිජ සහ පස් වලට වඩා වෙනස් තඹ ඛණිජය කෙරෙහි අවධානය යොමුවන්නට ඇත. එම වෙනස් ද්‍රව්‍යය කුමක් සඳහා භාවිතා කල හැකිදැයි සොයන්නට උත්සුක වන්නට ඇත. පහසුවෙන් ඇඹිමට හැකි මේ ලෝහය ආයුධ නිෂ්පාදනය සඳහා යොදාගන්නට හැකි බව ඔවුන් සොයාගන්නට ඇත. සොබාවික තඹ ලෝහය ලබා ගැනීමට ‘තඹස්’ (තඹ ඇති පස්) උණුකළ යුතුබවත් ඔවුන් සොයා ගන්නට ඇත. එයද බොහෝ විට අහම්බයක් වන්නට ඇති හැකියාව බොහෝ වැඩිය.

තඹ කෙරෙහි අවධානය යොමුවන්නට මතතෙන් මා නම් සිතනුයේ රත්ත්‍රන් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවන්නට ඇති බවයි. මන්දයත් තඹ වලට වඩා රන් කෙරෙහි වැඩිපුර අවධානයක් සොබාවිකවම යොමුවන බැවිනි. එනිසා මිනිසා පළමුව භාවිතයට ගත් ලෝහය බොහෝදුරට විය හැක්කේ රන් බවයි.

උණුකළ තඹ වෙන් වීමෙන් ලබන ලෝහයට අමතරව ලැබෙන තඹොර යනු සිලිකේට ඛනිජවල එකතුවකි. එනිසා මෙය ඉතා සැහැල්ලුය. මේ සැහැල්ලු ද්‍රව්‍යය ඉතා අපූරුය. තඹ පැවතීම නිසා මෙම සැහැල්ලු ද්‍රව්‍යයට නීල පැහැයක් ලබා දෙන අතර විදුරැ වැනි ස්වරූපය විදුරු පබළු නිර්මාණයට කදිමය. අහම්බයෙන් ලද මේ අතුරුඵලය පබළු නිර්මාණයට කදිම බව ඔවුන් වටහා ගන්නට ඇත. එලෙස ආරම්භ කරන ලද පබළු නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යන්නට ඇති අතර විවිධාකාරයේ සොයාබැලීම් (පර්යේෂණ) මගින් නවතම ආකාරයේ නිෂ්පාදන එලි දක්වන්නට ඇත.

කෘත්‍රිම පබළු කර්මාන්තය මෙලස දිග හැරෙද්දී සොබාවික පබළු නිෂ්පාදනය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවති බවට ජේතවනයේ කැණීම් වල ලද පබළු ගොනුව පෙන්වා දෙයි. විශේෂයෙන්ම විවිධ මැණික් ඛණිජ රාශියක් සොබාවික පබළු කර්මාන්තය සඳහා භාවිතා කර ඇති බව එමගින් නිදසුන් ගෙන එයි. වසර 2010 දී පමණ මවිසින් කරන ලද පර්යේෂණයක් ඇසුරෙන් එහි වූ සොබාවික මැණික් ඛණිජ වලින් නිර්මාණය කරන ලද පබළු රාශියක් අධ්‍යනයට භාජනය කරන ලදී. අධ්‍යනයෙන් නිරාවරණය වූ කරුණු ඉතා තාර්කික නිගමන රාශියක් සඳහා මග පෙන්වන බව මෙහි ලා සඳහන් කල යුතුය.

මාගේ පර්යේෂණයෙන් හෙළි වූ කරුණක් වන්නේ සොබාවික පබළු නිර්මාණය සඳහා කුරුවින්ද කුලයේ මැණික් භාවිතා කර ඇති බවයි. ඒ අතර නිල් මැණික්, පුෂ්පරාග සහ ගෙවුඩ වර්ග භාවිතයට ගෙන ඇත. නමුත් මේවා පට්ටම් නොගැසූ තිබු හැඩයම භාවිතා කර සුමටකරණයට ලක් කර මධ්‍යය විද පබළුවක් බවට පත් කර ඇත. අප දන්නා පරිදි දැඩියාව අතින් මෙම කුරුවින්ද ඛණිජ දෙවැනි වන්නේ අගය 10 ක්  වන දියමන්ති වලට පමණි. එමගින් තේරුම් යන්නේ මෙවැනි මැණික් ස්ඵටික විදීමට නම් දියමන්ති වැනි දැඩියාවෙන් වැඩි ඛනිජයක් අවශ්‍යය. එසේ නම් කුරුවින්ද විදීම සඳහා භාවිතා කල තාක්ෂණය කුමක් විය හැකිද? පුරාවිද්‍යාඥයින්හට භූ විද්‍යා දැනුම අවශ්‍ය වන්නේ මෙවැනි ඛණිජ හඳුනාගැනීමට පමණක් නොවේ, භූ විද්‍යා දැනුම පදනම් ව ඉහත සඳහන් කරන ලද තාක්ෂණය කවරක්දැයි හෙළි කර ගැනීමටයි.

කුරුවින්ද වලට අමතරව රබහා වර්ග, අඹතිස්, පලිඟු, කාල පලිඟු, රෝස පලිඟු වැනි ද්‍රව්‍ය ද අස්ඵටික තිරුවානා වන කහඳ වර්ග ගණනාවක් භාවිතයෙන් කරන ලද පබළු හමුවේ. එවැනි කහඳ වර්ග අතර, කානිලියන්, අගස්ති, ඔනික්ස් වැනි කහඳ වර්ග හමුවේ. බොහෝ පුරාවිද්‍යාඥයින් සිතන්නේ කානිලියන් ලංකාවේ හමු නොවන නමුත් ඉන්දියාවෙන් ගෙන ආ ඛණිජයක් බවයි. නමුත් මේ අදහස මුළුමනින්ම සාවද්‍යය අතර කානිලියන් නිෂ්පාදනය සඳහා ඕනෑ තරම් අමුද්‍රව්‍ය මෙරටේ හමුවන බව ඉතා වගකීමෙන් කිවයුතුය. භූ පුරාවිද්‍යාවේ ප්‍රායෝගික භාවිතය පිලිබඳ මෙරට පුරාවිද්‍යාඥයින් වඩාත් සැලකිලිමත් විය යුතු බව නැවත වතාවක් මා අවධාරණය කල යුතුය. නැතහොත් වන්නේ වැරදි අර්ථකතන මගින් මෙරට ජනතාව නොමග යා හැකි බවත් දැනටත් එසේ වී ඇති බවත් මෙහිලා සඳහන් කල යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

https://www.archaeology.lk/2382 

2 comments:

Unknown said...

I wish to talk to you on sri Lankan beads
can u please email me.

vidyavindana said...

jpathmak@gmail.com, jpathma@geo.cmb.ac.lk

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...