Saturday 3 October 2020

භූ කම්පා....ඉතිරි කොටස....!

This article is Originally published on Vidusara, 30/09/2020

පසුගිය සතියේ භූ කම්පා ලිපිය අවසාන කරන ලද්දේ භූ කම්පා නාභිය ද අපි කේන්ද්‍රයද ගැන සටහන් කරමින් බව ඔබ ලිපිය කියවූයේ නම් ඔබට මතකට නැගෙනු ඇත. අපිකේන්ද්‍රය යනු භුමිය මතුපිට සටහන් වන්නා වූ භූ කම්පාවේ නාභියේ ප්‍රක්ෂේපනයයි. භූ කම්පන විද්‍යාඥයින් හඳුනාගෙන ඇති පරිදි අපිකේන්ද්‍රය යනු වැඩිම හානියක් ඇතිවන්නාවූ ස්ථානයයි. නමුත් එය සැමවිටම නිවැරදි නොවන බව ද තහවුරු වී ඇත. භූ කම්පාව හට ගන්නා වූ විභේදයේ දිග වැඩිනම් එවැනි අවස්ථාවක විශාල ප්‍රදේශයක් පුරා භූ කම්පාවෙන් හට ගන්නා හානිය පැතිරී යා හැක. රික්ටාර් පරිමාණයේ අගය 7.9 ක පමණ වූ ඇලස්කාවේ දිනාලි භූ කම්පාව හොඳම උදාහරණයයි. මහද්වීප කලාප වල ඇතිවන්නා වූ භූ කම්පා වල නාභිය පොළොව මතුපිට සිට කිලෝමීටර 2 සිට කිලෝමීටර 20 ක පමණ ගැඹුරේ වුව හට ගත හැකි බව වාර්තා වී ඇත. ඒ අනුව භූ මතුපිටට ඉතා ආසන්නයේ වුව භූ කම්පාවක් හට ගැනීමේ හැකියාවක් ඇති බව පෙනී යයි. නමුත් භූ තැටි ගිල ගන්නා අභිසාරි තල මායිම් අසල මෙවැනි භූ කම්පා කිලෝමමීටර 600 ක් පමණ ගැඹුරේ වුව හට ගත හැකි බව ද වාර්තා වී ඇත.

භූ කම්පා නාභියේ ඇතිවන්නා වූ ඝර්ෂණය බිඳ දමමින් තෙරපෙන භූ තැටිය ඇතිකරනා පීඩනය එකවරම තෙරපුන භූ තැටිය ඉදිරියට චලනය කරන්නේ කාලීනව ගැබ් වූ විශාල ශක්තියක් එකවරම පිටකරමින්. මෙලස පිට වූ ශක්තිය රැගෙන යන්නට සමත්වන්නා වූ ශක්ති තරංග දෙකක් බිහිවන අතර ඒවා දෛහික (body wave) තරංග සහ පෘෂ්ටිය (Surface wave) තරංග ලෙස හැදින්විය හැක. ස්කන්ධ තරංග වල විශේෂත්වය වන්නේ ඒවා ගමන් කරන්නේ භූ ස්කන්ධය හරහා භූ අභ්‍යන්තරයෙන් වීමයි. පෘෂ්ටිය තරංග භූ මතුපිටින් ගමන් කරන බව භූ කම්පන විද්‍යාඥයින් පවසයි. ඔවුනට අනුව දෛහික තරංග වර්ග දෙකකි. එනම් ප්‍රාථමික (primary or P) සහ ද්විතියික (secondary or S) දෛහික තරංග යනුවෙනුයි. ප්‍රාථමික තරංගයේ ගමන් රටාව වන්නේ ඉදිරියේ ඇති අංශුන් තල්ලු කරමින් ද පසු අංශු වල ශක්තිය ඉදිරියේ ඇති අංශුන් වලට ලබා දෙමින්  ද වැඩි පීඩිත සංකෝචිත කලාප සහ අඩු පීඩිත ඉහිල් කලාප ඇතිකරමින් බවයි වාර්තා වන්නේ. ඒ අනුව භූ කම්පාවෙන් බිහිවන තරංග අතර වේගයෙන්ම ගමන් කරන්නේ මෙම තරංග වන අතර භූ කම්පා මාන වල පළමුව සනිටුහන් වන්නේ ප්‍රාථමික ස්කන්ධ තරංගයි.  පාෂාණ වැනි මාධ්‍යයක් හමුවේ මේවායේ වේගය තත්පරයට මීටර 5000ක් පමණ වන බව සොයා ගෙන ඇත. ජලයේදී එහි වේගය තත්පරයට මීටර 1450ක් පමණ වේ. නමුත් වාතයේදී වේගය අඩුවන අතර එය තත්පරයට මීටර 330ක් පමණ වනු ඇති සොයා ගෙන ඇත. මෙම තරංග ද්විතියික තරංග මෙන් 1.7 ක් වේගයක් පවත්වා ගනී.

ද්විතියක තරංග පෙන්වන්නේ ඉතා අපූරු රටාවකි. ශක්තිය ගමන් කරන්නා වූ දිශාවට ලම්භක ව සිරස්ව පාෂාණ ස්කන්ධයේ අංශුන් චලනයට ලක් කරනා අතර එනිසා පාෂාණයේ හැඩය විරූපණය කරන්නට හේතුවෙයි. භූ කම්පාවකදී දෙවනියට වැඩිම වේගයෙන් ගමන් කරන්නා වූ තරංග විශේෂය වන්නේ මෙම තරංගයි. විශේෂත්වය වන්නේ ද්‍රව හෝ වායු කලාප හරහා ගමන් නොකිරීමයි. මෙම තරංග මධ්‍යයේ වූ පිටත හරය හරහා ගමන් කරන්නේ නැත.

භූ කම්පාවකදී හට ගන්නා ශක්තිය රැගෙන යන්නා පෘෂ්ටිය තරංග ද ආකාර දෙකකි. රයිලි තරංග සහ ලෝව් තරංග ඒ ආකාර දෙකයි. රයිලි තරංගයේ හැසිරීම ජලයේ හට ගන්නා තරංග මෙනි. අංශු චලනය නොවන අතර ශක්තිය පමණක් ඉදිරියට ගමන් කරයි. ඒවා වේගයෙන් අඩු භූමිය මතුපිටින් ගමන් කරන ශබ්ධ තරංග වන අතර ස්කන්ධ තරංග මෙන් නොව ඇතිකරනා හානිය ඉතා වැඩිය. මේ අතර වැඩිම තර්ජනයක් ඇතිකරන්නේ ලෝව් තරංග මගිනි. ශක්තිය ගමන් කරන්නා වූ දිශාවට තිරස් ලම්භක දිශාවට මාධ්‍යයේ අංශු චලනයට ලක් කරන ලෝව් තරංග ද්‍රව හරහා ගමන් කරන්නේ නැත. නමුත් රයිලි තරංග ප්‍රාථමික තරංග මෙන් ද්‍රව හරහා ගමන් කරන බව සොයා ගෙන ඇත.

භූ කම්පා තරංග අධ්‍යනයන් අනුව භූ කම්පාව හට ගත් ස්ථානය පිළිබඳව යම් අදහසක් ලබා ගන්නට හැකියාවක් ඇතුවා මෙන්ම නිරන්තරව සිදුකරන්නා වූ සොයා බැලීම් මගින් භූමියේ ඇතිවන භූ කම්පා පිළිබඳව පෙර දැනුමක් ලබා ගැනීමට හැකියාව ඇත්තේමුත් එම කාල සීමාව පෙර සූදානමක් සඳහා ප්‍රමාණවත් නොවන බවයි භූ කම්පා විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. කෙසේ වෙතත් කලින් පැමිණෙන්නා වූ දෛහික තරංග මගින් ඇතිවන හානිය එතරම් ප්‍රබල නොවනමුත් පසුව පැමිණෙන පෘෂ්ටිය තරංග වඩා ප්‍රබල හානියක් ඇතිකරන බව වාර්තා වී ඇත.

ලෝකයේ බොහෝ විට ප්‍රබල භූ කම්පා වාර්තා වන්නේ භූ තල මායිම් අසල වන අතර ඒ ද අභිසාරී සහ පරිණාමන විභේද ආශ්‍රිතව බව සොයා ගෙන ඇත. ඒ අනුව පෙනී යන කාරණාව වන්නේ භූ කම්පා ඇතිකරන්නට හේතුවන ප්‍රබලම කාරණය වන්නේ භූ තල වල සිදුවන චලනය බවයි. ඒ කාරණාව නම් ඇත්තෙන්ම සොබාවික හේතුවකි.

සොබාවික නොවන මිනිසාගේ බලපෑම නිසා ඇතිවන භූ කම්පා ගැනද දැන් දැන් වාර්තා වන බව සඳහන් වේ. ඇමෙරිකානු භූ විද්‍යා ආයතනය පවසන ආකාරයට එවන් වූ භූ කම්පා ඇතිවන ප්‍රමාණය  එන්න එන්නටම වැඩිවන බව පෙන්නුම් කරයි. ඒ බොහෝ විට භූ ගැඹුරේ සිදුකරනා තෙල් ගවේෂණ වලදී භූ අභ්‍යන්තරයට විදිනා ජලය හේතුකොටගෙන බව ඔවුන් සොයාගෙන ඇත. ඒ වාගේම අපජලය භූ අභ්‍යන්තරයට මුදා හැරීමද හේතුවක් බව ඔවුන් පවසයි. එමෙන්ම කාලගුණික විපරියාසය යාමනය කරන්නට ගන්නා පියවරක් ලෙස සිදුකරනා හරිතාගාර වායුන් භූ අභ්‍යන්තරයට මුදා හැරීමද මේ සඳහා සාදාරණ හේතුවක් බව ඔවුන් සොයාගෙන ඇත.

මානව පෙළඹවීම මත ඇතිවන්නා වූ භූ කම්පා සඳහා හේතුවන තවත් කාරණයක් වන්නේ දීර්ඝව දිව යන්නා වූ විභේද ඔස්සේ නිර්මාණය වූ නිම්න හරහා ඉදිකරනා ජලාශයි. එහි ඇති ජලය මගින් ඇතිකරන පීඩනය දුර්වල විභේද ඈත්කරන්නට හේතුවන බව සොයාගෙන ඇත. මේ සඳහා ප්‍රථම උදාහරණය සපයන්නේ 1932 දී ඇල්ජීරියාවේ ක්වේඩ් ෆොඩ්ඩා ජලාශයයි. එයට අමතරව 1967 දී ඉන්දියාවේ මහාශ්‍රාස්ත්‍රයේ කොයිනා නගර ජලාශය ද එවැනිම භූ කම්පාවක් ඇතිකරන්නට හේතු වී ඇත.

භූ සම්පත් ලබා ගැනීම සඳහා සිදුකරනා කැනීම් කටයුතු ද මෙවැනි භ කම්පා ඇතිකරන්නට හේතු විය හැකි බව වාර්තා වී ඇත. රන් කැනීම් සිදුකල දකුණු අප්‍රිකාවේ ඔක්නෙයි පතල නිසා 2014 එවැනි භූ කම්පාවක් සිදු වී ඇත. වසර ගණනාවකදී සිදු වූ ප්‍රභල භූ කම්පාවක් ලෙස එය සටහන් වන අතර ප්‍රබලත්වය රික්ටාර් පරිමාණයේ අගය 5.5 පමණ වී ඇත. මෙවැනි පතල් වලින් හට ගන්නා භූ කම්පා සඳහා හේතුවන්නේ ඒවායේ සිදු කරනා පිපිරීම් බව වාර්තා වන අතර වැඩකරනා කම්කරුවන් ඉතා දරුණු ලෙස අවදානමට ලක් වූ අවස්ථා ද නැත්තේ නොවේ.

භූ අභ්‍යන්තරයේ ඇති දුබල පාෂාණ වල සිදුවන ජීර්ණය හේතුවෙන් ඇතිවන කුහර කඩා වැටීම් හේතුවෙන් ද එවැනි භූ කම්පා හටගත හැකි බව විස්වාස කරනමුත් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂ්‍ය හමු නොවන බවයි පෙනී යන්නේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව පවතින පසුබිම සලකා බැලීමේදී සහ වත්මනේ ඇතිවෙමින් පවතින භූ කම්පා අවදානම සලකා බැලීමේදී ඉතා සුපරික්ෂාකාරී විමසිලිමත් බවක් සහ නිරන්තර අවධානයක් හිමි විය යුතු බවයි මාගේ අදහස වන්නේ. භූ තල මායිමකට ආසන්නව අප නොපිහිටියත් උතුරෙන් ඇත්තාවූ අභිසාරී තල මායිම ද දකුණෙන් ඇතිවෙමින් පවතින නවමු තල මායිම ද හේතුවෙන් යම් කිසි ආකාරයක අවදානමක් ඇති වෙමින් පවතින බව අපට අමතක කල නොහැකිය. මේ බව මෙයට වසර කිහිපයකට පෙර මා මාගේ විදුපත් ඉරුවේ සඳහන් කලමුත් විදග්ධයින් එයට සිනා වූ බව මට මතකය. කෙසේවෙතත් දිගන ප්‍රදේශයේ සිදුකරනා කිරිගරුඬ කැනීම් කටයුතු වලින් ඇතිවන භූ හානිය කවරේදැයි වඩා විමසිලිමත් විය යුතුවාක් මෙන්ම මේ සම්බන්ධව අධ්‍යනය කරන්නා වූ වගකිව යුතු ආයතන තමන්ගේ අධ්‍යනයන් තව තවත් ක්‍රමවත්ව සහ සුපරික්ෂාකාරී විය යුතුය. එමෙන්ම භූ කම්පා සටහන් කරගත හැකි නවීන තාක්ෂණයන් පිළිබඳව අවධානය යොමුකලයුතුවාක් මෙන්ම ඒවායේ දිගුකාලීන පැවැත්ම සහ නිරන්තරයෙන්ම භාවිතයට ගත හැකියාව පිළිබඳව ද යම් තහවුරුවක් සහතිකයක් තිබිය යුතුය.  

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...