Sunday, 6 December 2020

 වලවේ ගඟබඩ රම්භා විහාර පුද බිම

භූ සංචාරිතය 35

This article is originally published on Vidusara 02.12.2020

පසු ගිය සතියේ භූ සංචාරය කල්‍යාණි ගංගා සමග විය. එහි දිගුවක් ලෙස මෙවර භූ සංචාරය තවත් ගංගාවක් අසබඩ ගත කරන්නට තීරණය කලෙමි. ඒ අන් ගඟක් නොව අප කවුරුත් හොඳින් දන්නා වලවේ ගඟයි. වලවේ ගඟ ශ්‍රී පාද අඩවියේ සිට ආරම්භ වන්නේ කිසියම් දුරකට ලෝකාන්තය හා යම් සබැඳියාවක් ඇති කරමින්. කල්තොට ප්‍රදේශය හරහා ගලා බසිනා මේ වලවේ ගංගාවෝ ඉන් පසු ලඟා වන්නේ තම වෘධ අවදියටයි. ඒ බොහෝ විට රම්භා විහාර ප්‍රදේශයේදීය.

රම්භා විහාරය ප්‍රදේශය හඳුන්වන්නේ එනමින්, ඊට හේතුවන්නේ පැරණි රාජධානියක තතු ගෙන එන්නේ මේ ප්‍රදේශයෙන් බැවින්. එපමණක් නොවේ නමේ ගැබ් වී ඇත්තේ මේ ප්‍රදේශය වසා පැතිරී ඇත්තේ කෙසෙල් ගස් බවයි. රම්භා යනු කෙසෙල් යන්නයි. විහාරය පැරණි රාජධානි භුමියේ පසුකාලීනව ඉදිවුන බෞද්ධ විහාරයක් ද වෙයි.

වලවේ ගංගාවේ වෘධ අවධියේ නිර්මණය කරන ලද අපූරු භූ රූපණයක් නිසා මේ ප්‍රදේශය කෙසෙල් වගාවට පමණක් නොව එළවලු වගාවට ද කදිම තෝ තැන්නක් වී ඇත. මැදි අවධිය පසුකරමින් තම වෘධ අවධියට ලඟා වන වලවේ ගංගාවෝ තම ජල ප්‍රවාහයේ ශක්තිය තව දුරටත් හීන කරගන්නා අතර එනිසා ජල ප්‍රවාහයේ රැගෙන එන විසල් සියුම් අවසාදිත කන්දරාව තැන්පත් කරන්නට පෙළඹෙන බව පෙනී යයි. ජල ප්‍රවාහයේ ශක්තිය හීන වීම මැටි වැනි සියුම් අංශුන් අවසාදනය කරන්නට තරම් ප්‍රභල වී ඇති බව වත්මන් බෞද්ධ වෙහෙර පවතිනා භුමිය නිරීක්ෂණයෙන් අවබෝධ කරගත හැකිය.

ඉතා විශාල ප්‍රදේශයක තැන්පත් කර ඇති මේ සියුම් අවසාදිත ගොනුව ඉතා ගැඹුරෙන් යුක්තය. ඒ අතර වලවේ ජල ප්‍රවාහයේ බල ශක්ති වෙනසේ ප්‍රතිඵලයක් ලෙස හෝ මුහුදු මට්ටමේ සිදු වූ උච්චාවචනයක් නිසා හෝ ඇති වූ වඩා විශාල ඛණිකා වලින් යුක්ත වැලිමය අවසාදිත ද තැන්පත් කර ඇති බව මනාව පෙනී යන්නේ මේ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුවන්නා වූ වැලි කැපීමේ ව්‍යපෘති නිසායි. මෙය කොතරම් භයානක ලෙස ව්‍යාප්ත වී ඇත්තේදැයි පැහැදිලි වන්නේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත වූ විහාර භුමිය ද මොවුන්ගේ ග්‍රහණයට නතු වී ඇති බව අනාවරණය වීමෙන්.

රෝහණයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගත් රම්භා විහාර ප්‍රදේශය තුන්වන ශතවර්ෂයේ දිවි බේරාගැනීම සඳහා අනුරාධපුරයෙන් පලායන මහනාග කුමරු අවසානයේ නවතින්නේ මේ ප්‍රදේශයේ බව ඉතිහාසය පවසයි. එලෙස ක්‍රමිකව විකාශනය වන රෝහණ රාජ්‍යයේ මහානාගකුල නගර සංකීර්ණය ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබු බව පැවසෙයි. ලක් දෙරණ එක්සේසත් කරන්නට මූලිකත්වය ගන්නා දකුණෙන් බිහිවන දුටුගැමුණු රජුගේ ආරම්භය වන්නේ උතුරෙන් දකුණට ගිය උතරේ ජාන කිටුවක් බව අප බොහෝ දෙනෙකු අමතක කරයි. දකුණේ රාජ වංශය ආරම්භ වන්නේ එලෙස වලවේ ගංගාව කේන්ද්‍ර කොට බව පැහැදිලි වෙයි.

වලවේ ගඟේ මැටි අවසාදිත මේ නගර නිර්මාණයේදී බොහෝ උපකාරී වන්නට ඇති බව මේ ප්‍රදේශයේ වූ පුරාවස්තු නිරීක්ෂණයෙන් පැහැදිලි වෙයි. විවිධ නිර්මාණ සහ ගොඩනැගීම උදෙසා මැටි මුලික කරගත් භාවිතයක් තිබු බව පෙනී යයි. ගඩොලු ඇතුළු අනෙකුත් ගෘහ නිර්මාණ ද්‍රව්‍ය වන්නේ ප්‍රදේශයෙන් ම ලබා ගත් නයිස් සහ කිරිගරුඬ පාෂණයයි. විහාර අලන්කරණයන් සඳහා මැටි භාවිතයෙන් කරන ලද විවිධ මුර්ති සහ ගෘහ අලංකරණ බහුලව මෙම පුරාවිද්‍යා භුමියේ හමුවේ. මෙය එකල ගෘහ නිර්මාණයේ ඉතා සුවිශේෂී වර්ධනයක් ලෙස පෙන්නුම් කල හැක. මැටි ලබා ගැනීම සඳහා, වලවේ ගඟේ වෘධ අවධියේ තැන්පත් වූ සියුම් අවසාදිත කනින්නට ඇති බව අපට පුරෝකතනය කල හැක. එයට අමතරව බුදු පිළිම වහන්සේ සහ අනෙකුත් බෞද්ධ වෙහෙර අංගෝපාංග නිර්මාණයට වැදගත් වන හුණු භාවිතයට ගෙන ඇති බවද පැහැදිළිව පෙනෙන කරුණකි. මෙම හුණු භාවිතා කර ඇත්තේ බදාම නිෂ්පාදනය සහ සුදු පැහැයෙන් වර්ණවත් කිරීම සඳහායි. මේ සඳහා වැදගත් වන හුණු නිෂ්පාදනය කර ඇත්තේ වෙරළෙන් ලබා ගත් බෙලිකටු සහ ගල්මල් පිලිස්සෙම්න් බව ද සුපැහැදිලි කරුණකි. මේ බව සනාථ කරන සාක්ෂි වන්නේ බුදු පිළිමවල මෙන්ම ගෘහයන්ගේ ද ඇතුලත රළු බදාමයෙන් හමුවන්නා වූ බෙලිකටු සහ ගල්මල් කැබලි මිශ්‍රණයයි.

රම්භා විහාර පුරාවිද්‍යා භුමියේ සිදුකරන ලද කැනීම් මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන තවත් ඉතා වැදගත් කරුණු සමුහයක් හමු වී ඇත. මෙම භුමිය කලෙක සුගලා නම් වූ බිසව විසු භුමිය බවට ද සඳහන් වේ. ඇය දළදා වහන්සේත් පාත්‍රා ධාතුන් වහන්සේත් අරක්ෂා කරමින් ඒවා තම පුතු වන මානාභරණ රජුට ලබා දුන් බව ද පැවසේ. සුගලා බිසව එඩිතර රණකාමි කාන්තාවක් බව ඉතිහසය සඳහන් කරයි.

ගංගාවක් වෘධ අවධිය ඇතිකරනු ලැබූ මෙම අගන වටිනා භුමිය අපුරුවට අධ්‍යනය කරන ලද අපගේ මුතුන් මිත්තන් වලවේ ගඟ කේන්ද්‍ර කොට මානව ජනාවාසයක් බිහි කරන්නට සමත් විය. කෙසේ වෙතත් මෙය අනුරාධපුරයට පෙර යුගයේ පටන්ම ජනාවාසකරණය වී තිබෙන්නට ඇතිබවයි මාගේ හැඟීම වන්නේ. වලවේ ගඟ නිසා ප්‍රවාහන පහසුකමත් ආරක්ෂාවත් යන කරනා දෙකම ඔවුනට මෙහිදී ප්‍රයෝජනවත් වන්නට ඇත. තවමත් එතරම් ප්‍රසිද්ධියක් නොමැති මෙම රම්භා විහාරය සංචාරය සඳහා කදිම ස්ථානයක් බව අමතක නොකළ යුතුය.

වලවේ ගඟේ නිම්නයේ පිහිටි මෙම පුරාවිද්‍යා භුමියට මේ හරහා වැටී ඇති ඇඹිලිපිටිය නෝනාගම දක්වා දිවෙන මාර්ගයේ ගමන් කිරීමෙන් පිවිසිය හැක. තවමත් ප්‍රදේශයේ නොනැසී පවතින කෙසෙල් වගාව ප්‍රදේශය නාමය තහවුරු කරයි. නමුත් වත්මනේ සිදුවන වැලි කැපීම නිසා ඉතා විශාල වශයෙන් හානියට පත් වන මෙම ප්‍රදේශයේ එතිහාසික බව රැකගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් විය යුතුය. නැතහොත් වැඩිකලක් යන්නට මත්තෙන් ඉතා වටිනා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත මෙම ප්‍රදේශය විනාශ වන්නට වැඩිකාලයක් ගත නොවුන ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...