Saturday 30 January 2021

හෝර්ටන් තැන්නේ ජනාවාසකරණය .......!!!

භූ සංචාරිතය 43

This article is originally published on Vidusara, 27.01.2021.

මහවැලි, කැළණි සහ වලවේ යන ගංගාවන්ගේ පටන් ගැන්ම හෝටන්තැන්නයි. එම ගංගාවල ශාකා ජල මාර්ග මෙහි දී පටන් ගෙන ගලා යන්නේ ශ්‍රී ලංකාවේ උච්චත්වයේ සිට බව පවසමින්. උසින් මීටර 2100 සිට 2300 ක් පමණ දක්වා වූ උසකින් උක්තවන හෝර්ටන් තැන්න අපූරු භූ පරිසරයකි. ප්රෝටෙරෝසොයික් යුගයේ බිහි වූ උච්ච විපරීතකරණයට ලක්වූ විපරීත පාෂාණ ගණනාවකින් සමන්විත වන හෝර්ටන් තැන්න සුවිශේෂී වන්නේ එහි කදිම භූ රූපණය නිසාවෙනි. අංශක 30ක් පමණ සාමාන්‍ය ආනතියකින් හෙබි මෙම සුන්දර තැන්න වඩා ප්‍රචලිත වන්නේ ශීතල දේශගුණයකින් යුක්ත වන නිසා බව අප හොඳින් දනී.

ඒ කදිම ශීතල විඳින්නට මෙරටේ බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වන බව නොරහසකි. නුවරඑළියේ සංචාරය කරනා බොහෝ දෙනෙකු ගේ අනිවාර්ය සංචාරක නැවතුමක් වන්නේ හෝර්ටන් තැන්නයි. ක්වාර්ට්සයිට්, නයිස් සහ චානොකයිට් වැනි පාෂාණ වලින් සමන්විත මෙම ප්‍රදේශය ජ්ර්ණයේ ප්‍රතිඵල වූ, මෙම පාෂාණ තැන්න මත බිහි වූ පෝෂ්‍ය පදාර්ථ සපිරි පාංශු කලාප මත වැවෙනා කදිම ශාක සන්තතියකින් ද යුක්ත බව අප හොඳින් ම දනී.

මෙම ලියවිල්ලේ අරමුණ වන්නේ එවන් කරුණු සාකච්චා කිරීම නොව අතීත ඵෙතිහාසික කරුණු කිහිපයක් පිලිබඳ ඔබගේ අවධානය යොමු කරන්නටයි. අදින් වසර 22,000 කට පමණ පෙර කාලය වන විට පෘතුවි ගෝලයම හිමෙන් වසා ගත් බව විද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දෙයි.  එනම් සමකය ද ග්ලැසියරකරණයට නතු වූ බවයි එයින් වැටහෙන්නේ. ඉන් පැහැදිලි වන අනෙක් කාරණය වන්නේ කඳුකර ප්‍රදේශ අධික ශීතලෙන් යුක්ත වීම හෝ හිමෙන් වසා පැවති බවයි. එවන් වූ පසුබිමක කඳුකරයේ ශාක සහ සත්ත්ව ඝනත්වය ඉතා සුපැහැදිලි ලෙස අඩුවන්නට ඇත. පවතින්නට ඇත්තේ ශීතලට ඔරොත්තු දිය හැකි විශේෂ පමණකි.    

ලොව ශිත යුගයේ උපරිමයට ලඟා වීම මුහුදු මට්ටම තවත් පහල හෙලන්නට හේතු වේ. ග්ලැසියරකරණයේ උපරිමයට පැමිණීම අවම මට්ටමක සාගර ජල මට්ටම් පවත්වා ගැනීමකි. අවම ජල මට්ටමක් පැවතීම යනු මෙරට භූ වපසරිය පුළුල්වීමක් බව ද අප අමතක නොකළ යුතුය. වසර ලක්ෂයට පමණ පෙර මුහුදු මට්ටම අද පවතිනවාට වඩා මීටර 100 ක් පමණ පහතින් තිබු බව පර්යේෂණ පෙන්වා දෙයි. එලෙස වූ ජල මට්ටම ශිත යුගයේ උපරිමයේ දී, තව දුරටත් පහල බසින්නට ඇති බව වැටහෙයි. මෙලස පවතින කාල වකවානුවේ දී මෙරට මානව ජනාවාස හෝර්ටන් තැන්න කරා ඇදී යා හැකිද යන්න අපට පැන නගින ගැටලුවකි.

මෙරට ප්‍රාග් ඵෙතිහාසිකයෝ එනිසා කඳුකර භූමිවල වාසය අත්හරින්නට ඇති බවයි මාගේ අදහස වන්නේ. අධික ශීතලෙන් යුක්ත වීමත් ආහාර සපයා ගැනීමේ අපහසු තත්වයත් යන කරුණු මත පමණක් නොව වඩා හොඳ දඩබිම් සහ වාසයට ගැලපෙන ස්ථාන පහත් බිම් වල කොතෙකුත් තිබීම ද මේ සඳහා හේතුවන්නට ඇත. එනිසා ශිත යුගයේ උච්චයේ දී නම් මෙරට ප්‍රාග් ඵෙතිහාසිකයෝ කඳුකරය තම වාසය සඳහා යොදා නොගන්නට ඇත. කඳුකරයේ ශීතල නිසා සිමාකාරී වීමත් සාගර ජල මට්ටම පහත වැටීම නිසා බිහි වූ නව තැනිතලා භුමි ප්‍රදේශය නිසාත් බොහෝවිට ප්‍රාග් ඵෙතිහාසිකයෝ වෙරළට ආසන්න වූ තැන්නේ රැදෙන්නට ඇති බවයි මාගේ අදහස වන්නේ.

මෙම තර්කය අනිත් පසට ද වලංගු වෙයි. එනම් මුහුද මට්ටම ඉහල ගියකල වෙරළබඩ තැන්නේ ඇතිවන සීමාකාරී බවත් ඇති වූ තත්වය මත හටගත් පාරිසරික යහපත් බාවය නිසාත් එකල වූ ප්‍රාග් ඵෙතිහාසිකයෝ කඳුකරයට ඇදෙන්නට ඇති බවයි. උණුසුම් තෙත් කාලගුණික තත්වය යටතේ කඳුකරයේ ආහාර සුලභ වීමත් ශීතල අවම වීමත් ආරක්ෂාව තහවුරු කරගත හැකි වාසස්ථාන බහුල වීමත් හේතුකොටගෙන ඔවුන්ගේ කඳුකර ආක්‍රමණය සිදුවන්නට ඇත.  මේ තත්වය ඇතිවන්නනේ අදින් වසර පමණ කාලයකට පෙර ද යන්න අප විමසා බැලිය යුතුය.

වසර 22,000 ක පමණ කාලයේදී ශිත යුගයේ උච්චත්වය සටහන් වන අතර ඉන් පසු ක්‍රමයෙන් ශීතල පසුබසින්නට විය තවත් වසර 10,000 ක් පමණ ගෙවුනකල හොලොසීන යුගය ආරම්ඹ විය. ඒ කාලය වන විට සමකාසන්න ග්ලැසියර දිය වී ගොසින්. මුහුදු මට්ටම අද පවතින මට්ටම සමාන වන්නට ඇත. නමුත් පර්යේෂණ වලට අනුව අදින වසර 5000 ක පමණ පෙර කාල සීමාවේදී මුහුදු මට්ටම වැඩි වූ බවත් තරමක උණුසුම් කාල පරිච්චේදයක් ඇති වූ බවත් පැවසේ.

වෙරළාසන්න තැන්නේ ජිවත් වූ ප්‍රාග් ඵෙතිහාසිකයෝ කඳුකරයට පලවා හරින්නට මේ තත්වය හේතුවක් වන්නට ඇත. දිනක හෝ දෙකක නොනවතින ගමනකින් නැවත වෙරළට සමීප වන්නට ඔවුන්ට් හැකියාව තිබෙන්නට ඇත. ඒ ඔවුන්ගේ ප්‍රියතම මුහුදු ආහාර සහ ලුණු ලබා ගැනීම සඳහායි. වසර 5000 ක කාලසීමාවේදී මෙරට විසුවෝ වගාකරුවෝ වූවානම් ඔවුන්ගේ වගා බිම් පටන් ගන්නේ වෙරළබඩ තැන්නෙන් මිස හෝර්ටන් තැන්නෙන් නම් නොවේ.

ලෝක පර්යේෂණ වලට ආසියාව සහල් වගා කරමින් එම ධාන්‍යය ගෘහස්ථකරණය කර ඇත්තේ වසර 9000, 8000 කට පමණ පෙරය. එයට මත්තෙන් වසර කොපමණ ගණනාවක් මේවායේ “වල්දර්ශ”   සමග සම්බන්ධකම් දැක්වුවද යන්න පැහැදිලි නොමැත. කෙසේවෙතත් එක යායට හට ගන්නා වල් වී දර්ශ කොතෙකුත් මෙරටේ තියෙන්නට ඇත. ඒවා වෙනත් රටකින් මෙහෙට සොබවිකව සංක්‍රමණය වුවා ද නැතහොත් සිතා මතා වගා කලාද යන්න පමණක් නොව සොබාවික පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වුවාද යන්න පවා තවමත් අප පැහැදිලි කරගෙන නොමැත. වල් දර්ශ පිලිබඳ යම් පර්යේෂණාත්මක ප්‍රතිඵල ලැබුන ද එමගින් අත්‍යන්තයෙන්ම වගා කළා ද යන්න තහවුරු කල හැකි ද යන්න ගැටලුවකි. මානව සංස්කෘතිකාංග හමු නොවන තෙක් එවන් දෙයක් පැවසීම ඉතා අපහසුය. උණුසුම් කාල ගුණික තත්වය යටතේ සොබාවික ලැවූගිනි ඇතිවන්නට බොහෝ දුරට ඉඩකඩ ද ඇත. එවන් වූ තත්වයක් මත හේන් වගාවක් ගැන අපට පැහැදිලි අර්ථකතනයක් ද දිය නොහැක.

හෝර්ටන් තැන්නේ ජනාවාසකරණය සහ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව තවමත් ප්‍රමාණවත් පර්යේෂණ සිදු වී නොමැති බවයි මාගේ අදහස වන්නේ. මේ සඳහා පරාග විශ්ලේෂණය පමණක් නොව භූ විද්‍යාත්මක, භූ පුරාවිද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක සහ රසායන විද්‍යාත්මක පර්යේෂණ සිදු විය යුතුය. සුන්දර හෝර්ටන් තැන්නේ විසු ප්‍රාග් ඵෙතිහාසිකයන්ගේ අභිරහස හෙළි කරන්නට හැකි වන්නේ එවන් වූ පසුබිමක බව අප වටහා ගත යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 23 January 2021

ආලකමන්දාව කාශ්‍යපගේ නොවේ.......!!!

භූ සංචාරිතය 42

This article is originally published on Vidusara, 20.01.2021.

හුදකලා කඳු අතර වඩා ප්‍රමුඛ භූ ස්කන්ධයක් වන්නේ සීගිරියයි. සීගිරිය එනිසාම අතීත මානවයාගේ අවධානයට සහ පරිහරණයට භාජනය වන්නට ඇති. ප්‍රාග්මානවයාගේ සිට නවීන මිනිසා දක්වා වූ පරිණාමික ක්‍රියාවලිය සියැසින් දුටුවෙකි සීගිරිය.

සීගිරියේ පිහිටීම භූවිෂමතා අධ්‍යනයේදී සුවිශේෂී වන්නේ හුදකලා කන්දක් වීමම පමණක් නොවේ. පහත් තැනිතලා භුමියේ වඩා ප්‍රමුඛව හිස ඔසවා සිටින රජෙකු සේ ආඩම්බරයෙන් පහත් බිම් දෙස බලා සිටිනා යෝධයෙකු වීම ද මෙහිදී වැදගත් වේ. එනිසාම අතීත මානවයාට වඩා ආරක්ෂාකාරී වාසස්ථානයක් සපයන්නට නොනවතින භූ ක්‍රියාදාමය වන ජීර්ණය සහ ඛාදනය ක්‍රියාත්මක වී ඇත.

අනෙකුත් ප්‍රදේශ මෙන්ම මෙම ප්‍රදේශයේ පාෂාණ ද ප්රෝටෙරෝසොයික් යුගයේ නිර්මාණය වූ උච්ච විපරීතකරණයට ලක් වූ නයිස් වර්ගයේ පාෂාණ වලින් සමන්විත වේ. කෙසේවෙතත් සිගිරිය හුදකලා කරන්නට අවටපිටේ පාෂාණ වගබලාගෙන ඇති බව වත්මන් සැකැස්ම අපට පහදා දෙයි. පාෂාණයේ වර්ගය එහි ඛණිජ සංයුතියේ අසමානතා පමණක් නොවේ අප දන්නා පරිදි පාෂාණයේ ව්‍යුහයද පාෂාණ ජීර්ණය ක්‍රියාවලිය සඳහා අතිශයින් බලපායි. මෙහිදී නම් වඩා ප්‍රමුඛ ලෙස පාෂාණයේ ව්‍යුහාත්මක ලක්ෂණ අවට කලාපයේ ජීර්ණය වේගවත් කරන්නට හේතු වන්නට ඇත. ඒ අතර යම් කිසිලෙස භූ තැටි උක්ෂිප්තය ද හේතු වන්නට ඇත.

සීගිරිය නිර්මාණය වී ඇත්තේ එකිනෙක මත පිහිටි පාෂාණ කලාප තුනකිනි. ඒවායේ වර්ගය වෙනස්වන්නේ එහි පවතින ඛණිජ සංයුතිය අනුව වූවද පොදුවේ මේ සියල්ල ශ්‍රී ලංකවේ ප්‍රමුඛ පාෂාණ වන නයිස් පාෂාණ කුලකයට අයත් වේ. එකමත එක තැබූ පාන් පෙති තුනක් සේ පවතින මෙම පාෂාණ ස්ථර ත්‍රිත්වයේ යම් යම් ව්‍යුහාත්මක වෙනස්කම් ද නැතුව නොවේ. එනිසාම සීගිරියේ මෙම අපූරු හැඩය ඇතිවන්නට හේතුවන්නට ඇත. ජිර්ණයේ දී ඇති වූ පාෂාණ වල ව්‍යුහාත්මක බලපෑම තහවුරු කරන්නේ සිගිරිය අවට රැදුන විවිධ ප්‍රමාණවල විශාල ගල්කුළු බව අමතක නොකළ යුතුය.

මහා තැනිතලාවේ ඉද්ද ගැසුවා සේ එක්වරම පැන නගින මේ කදිම හුදකලා කන්ද මානවයාගේ අත්‍යන්ත පරිහරණයට නතු වී ඇති බව ද එහි සොබාවික සැකැස්ම ම ප්‍රයෝගිකත්වයේ යොදවා ඔවුනට අවැසි නිර්මිත පරිසරයක් ඇතිකරන්නට සමත්වී ඇති බවද පැහැදිළිය. මානවයාගේ පරිහරණයට නතුවන්නට ඇත්තේ කවර කලකදැයි තවමත් ස්ථිරවම කිව නොහැකි මුත් එය අනිවාර්යෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන බව නම් ස්ථිරය. ඒ මන්දයත් ප්‍රාග් ඓතිහාසිකයන්ට ජිවත් වීම සඳහා අවැසි වාසස්ථාන බොහොමයක් සිගිරි භුමියේ ඇති බැවිනි. ඒ වෙන කිසිවක් නොව විවිධ ප්‍රමාණවලින් සුසැදි ගල් පියසි සමූහයයි.

එලස ආරම්භ වූ වාසභූමිකරණය වත්මන තෙක්ම පවතින බව පැහැදිළිය. කදිම ආරක්ෂාවක් සපයන එමෙන්ම ඔත්තු බැලීම සහ පණිවිඩ හුවමාරුව සඳහා ද  කදිම පසුබිමක් සිගිරිය සපයයි. කාශ්‍යප රජු මෙය නතු කර ගන්නට මත්තෙන් යම් කිසි ප්‍රමාණයකට මෙය වර්ධනය වී තිබු බවට කිසිම සැකයක් නොමැත. කලකදී මහා රහත් මහා සංගයාගේ බන භාවනා කිරීම සඳහා භාවිතා කල ස්ථානයක් වන්නට ද ඇත.

සිගිරිය ත්‍රිකුණාමලය සහ මන්නාරමේ එකල පිහිටි වෙළඳ නගර සම්බන්ධ කලා වූ සංදිස්ථානයක් වන්නට ද ඇත. සීගිරිය මේ නගර යාකරන මාර්ගයේ හමුවන ඉතා සුවිශේෂී ස්ථානයක් වන්නට ද ඇත. සීගිරිය අවට කලාපයේ දියුණු වෙළඳ නගරයක් වන්නට ඇත. මේ සියල්ල සනිටුහන් වන්නේ වසර 3000ක් 4000ක් සමහරවි වසර 5000 කට පෙර වුවද විය හැක. රට මැද වෙළඳ ද්‍රව්‍ය එක් රැස් කල එකල මහත් දියුණු වෙළඳ නගරයක් වන්නට ඇත.

සීගිරියේ සැකැස්ම කාශ්‍යප රජ වූවාට පසු හෝ ඒ සමයේ වෙනස් කර ඇත. බලකොටුවක් ලෙස වඩා ආරක්ෂාකාරී වන්නට නම් පාදස්ථයේ සිට මස්තකය දක්වා ආරක්ෂාකාරී ව්‍යුහයන් සකස්කළ යුතුය. සොබාවික සීගිරි ගල වසාලමින් ගඩොළු ව්‍යුහයන් තිබු බවට සීගිරිගල කදිම සාක්ෂි සපයයි. ඒ වෙන කිසිවක් නොව දුටු පමණම පඩි පෙළවල් ලෙස සකස් කර ඇති නමුත් යමක් තබා ඒ මත ගොඩනැගීමක් කල හැකි පාදම් සටහන් ය. සීගිරියේ බොහෝ ස්ථාන වල මෙවන් පාදම් සටහන් හමු වේ. මේවා අනුව අපට අර්ථකථනය කල හැක්කේ සීගිරිය එහි සොබාවික පාෂාණය වට කරමින් ද එය  වසාලමින් ද ඉදිවන්නට ඇතැයි සිතිය හැකි ගඩොළු ව්‍යුහයක් තිබෙන්නට ඇති බවයි. එය සමස්ථ සීගිරි පර්වතය වසලන්නට ඇත. සීගිරි මස්ථකයේ   රජ මාලිගාව වඩා ආරක්ෂාකාරී ලෙස ඉදිවන්නට ඇත. පවතින්නට ඇත. ඒ වටා පහතින් ඉදි වූ ව්‍යුහයන් පරිවාර ජනයාගේ වාසස්තාන ද ආරක්ෂක කුටි ද ඔත්තු බලනා සැඟවුණු කුටි ද ඉදිකරන්නට ඇත. ඒ වාගේම ආරක්ෂාව උදෙසා අරක්ෂයන් බොහොමයක් රඳවා තැබිය හැකි ගොඩනැගිලි පාදස්ථයේ ඉදිකරන්නට ඇත.

පර්වතය වටා ඉදි වූ ගඩොලු ව්‍යුහය සීගිරිය සපුරා වසාලිම නිසා ඉතා ආරක්ෂා කාරී ලෙස මස්තකයට යන්නට හැකි වන්නට ඇත. ඒ සඳහා පර්වතය වටා ඉදිවූ ඉහලට නගින පඩි සහිත මාර්ග වන්නට ඇත. අද දකින්නට ලැබෙන කැටපත් පවුර හුදෙක් කාව්‍ය නිර්මාණ සටහන් කිරීම සඳහා ඉදි වූවක් නොව එය ආරක්ෂක බිත්තිය වන්නට බොහෝ ඉඩකඩ ඇත. එවන් වූ බිත්ති වලින් අද ඉතිරිව ඇත්තේ මෙය පමණකි. බිත්තියේ සුමට බව සහ දිලිසෙනසුළු බව ආලෝකය පරාවර්තනය කරමින් පවතින් අඳුරු දුරුකරන්නට හේතුවන්නට ඇත. සොබාවික රළු පාෂාණ පෘෂ්ටය වසා දමන්නට ඒ මත ආලේප කරන ලද බදාමයේ බිතු සිතුවම් නිර්මාණය කරන්නට ඇත. අද දකින අප්සරාවන්ගේ සිතුවම් ඒ බව කදිමට වටහා දෙයි. මෙවන් වූ අපූරු තාක්ෂණයක් භාවිතා කරමින් එකල ඉංජිනේරුවෝ මෙම සීගිරි බලකොටුව ගොඩනගා ඇති බව පැහැදිළිය.

මේ වන විට සීගිරියේ හෙළි වී ඇත්තේ බටහිර පාර්ශවය පමණකි. නමුත් ඒ ද ප්‍රමාණවත් නොවන බව ලබා දී ඇති අර්ථකතන වලින් පැහැදිලි වේ. එනිසා නොනවතින පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදුකල යුතු අතර, කිසිවක්  නොදන්නා නැගෙනහිර බෑවුම ද එළිකර සත්‍ය වටහා ගන්නට දැන් දැන් කාලය පැමිණි ඇති බව මතක් කල යුතුය. එනිසා අත්‍යන්ත පුරාවිද්‍යාත්මක ගවේෂණ, පර්යේෂණ සහ කැනීම් පමණක් නොව තහවුරු කිරීම් මගින් සංරක්ෂණය ද මනාව කල යුතුය. නවීන විද්‍යත්මක ක්‍රම වේද භාවිතා කරන්නට පර්යේශයෝ වග බලා ගන්නේ නම් එම පර්යේෂණ මගින් මෙතෙක් නොවූ විරු නොඇසූ අපූරු කරුණු කාරණා ඉස්මතුකරගන්නට හැකිවාය ඇත්තේ බව අමතක නොකළ යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 15 January 2021

 නිල් දිය පොකුණේ භූ විද්‍යා අන්දරය......!!!

භූ සංචාරිතය 41

This article is originally published on Vidusara 13.01.2021

නිල් දිය පොකුණ ඇල්ල ප්‍රදේශයේ පිහිටි ගල්ගුහාවකි. එලෙස නම ලැබෙන්නේ මේ විසල් ගල් ගුහාව තුල දියෙන් පිරි සොබාවික පොකුණක් ඇති හෙයින්. ගල් ගුහාවක් යැයි අප පවසන්නේ පාෂාණ තුල අභ්‍යන්තරයට නිර්මාණය වූ කුහරමය ව්‍යුහයකට බව අමතක නොකළ යුතුය. නමුත් පාංශු දේහයන් තුල නිර්මාණය වූ එවැනි ව්‍යුහයන් ලෝකයේ හමුවන මුත්  ශ්‍රී ලංකාවේ නම් එවනි ප්‍රමුඛ කුහරයන් මේ වනතෙක් අපහට හමු වී නැත.

ගල්ගුහාවන්අත්‍යන්ත ලෙසම භූ අභ්‍යන්තරික ව්‍යුහයන් ලෙස විද්‍යත්මකව පමණක් නොව බටහිර සංස්කෘතිය විසින් පවා හඳුනාගෙන ඇතිමුත් ශ්‍රී ලංකාවේ දී නම් ගල් ගුහා පොළොව මතුපිටත් හමුවන බව ඔබට මතකයට නැගේවි. ඒ පුරාණ ගල්ලෙන් විහාර වන්දනා මානයට යද්දී. ලෙන, ගුහාව, ආදී සිංහල භාෂාවේ වචන  මෙවන් ව්‍යුහයන් හඳුන්වා දීමට යොදාගන්නා බව සිංහල සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ඇත්තෙකුට පැහැදිලි වේවි. එනිසා ශ්‍රී ලංකවේ ගල්ගුහා සිංහල සංස්කෘතිය තුලදී වර්ගීකරණයකට භාජනය කරන්නේ නම් භූ අභ්‍යන්තරික සහ මතුපිට ගල්ගුහා ලෙස වර්ග කල හැක. භූ අභ්‍යන්තරිකව ගුහා (caves) හමුවන අතර මතුපිට හමුවන්නේ ලෙන් සහ ගල් පියැසි (rock shelters) බව එවිට ඔබට වැටහේවි.

කෙසේවෙතත් සිංහල සංස්කෘතිය තුලදී වඩා ප්‍රචලිත වන්නේ ලෙන් සහ ගල් පියැසි බවයි පැහැදිලි වන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොව මෙරට ඉතිහාසයේ වැඩිපුරම භාවිතයට ගෙන ඇත්තේ මෙවන් වූ පාෂාණමය ව්‍යුහයන් නිසාවෙනි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය තුල ලෙන් සහ ගල් පියැසි සඳහා ප්‍රමුඛස්ථානයක් ලැබී ඇත. ඒ බෞද්ධ භික්ෂුන්ගේ පරිහරණය සඳහා දිගු කලක් තිස්සේ භාවිතයට ගැනීමෙනි. පසුකාලීනව වුවද කොතරම් නවීන තාක්ෂණය උපයෝගයෙන් වෙහෙර විහාර නිර්මාණය වුවද විවිධ විකරණයන් මගින් යාවත්කාලින කරන ලද ලෙන් විහාර තවමත් සිංහල සංස්කෘතිය තුල අභාවයට නොගොස් පවතී.

නවීන ලෝකයේ ගල් ගුහා වාසස්ථාන සඳහා යොදා ගන්නේ නොමැති තරම්. නමුත් ගල් ගුහා, සංචාරක කර්මාන්තයේදී නම් ප්‍රචලිතව පැවති. ලෝකයේ බොහොමයක් එවන් ව්‍යුහයන් නිර්මාණය වී ඇත්තේ කිරිගරුඬ (marble) හෝ හුණුගල් (limestone) තුල බව ඉතා පැහැදිලිය. අති විශාල සංචරණය සඳහා සුදුසු ගුහා නිර්මාණය වී ඇත්තේ ඉහත සඳහන් කල පාෂාණ තුලයි. මෙම පාෂාණ ඉතා පහසුවෙන් ජීර්ණයට ලක් වී විශාල කුහර නිර්මාණය කරයි. ඒ තුල පාෂාණය දියවී ගලායන ජලය නැවත සාන්ද්‍රණය වී අවක්ෂේප වන හුණු නිසා විවිධ අලංකාර ව්‍යුහයන් නිර්මාණය වේ. මේවා හිරිළඹ සහ හිරිටැඹ ලෙස සරලව හැදින්විය හැකි මුත් තවත් බොහොමයක් අලංකාර ව්‍යුහයන් ඇති බව අමතක නොකළ යුතුය.

දිය වූ හුණු ගලා යාමේදී ඇතිවන  කදිම ව්‍යුහයන් වන “ගලිත හුණු ලඹ” (Flow stones) මෙන්ම “චක්‍ර පොකුණු” (Ring pools) ද මෙම හුණුගල් ගුහා තුල දැකිය හැක. නිරන්තරයෙන්ම ගලා යන්නා වූ හුණු මිශ්‍රිත ජලය කුඩා වැලි කට සමග ගැටීම නිසා වැලි කැටය වටා අවක්ෂේප වී නිර්මාණය වන්නා වූ “චුර්ණ මුතු” (cave pearls) ද හමු වේ. හුණු ගල් ගුහාවකට මෙවන් වූ ව්‍යුහයන් ඉතා අගනේය.

ශ්‍රී ලංකාව විපරීත පාෂාණ මුලික කරගත් භූ ස්කන්ධයකට හිමිකම් කියයි. නමුත් හුණුගල් විපරිතකරණයෙන් බිහි වූ කිරිගරුඬ පාෂාණය මෙම භූ ස්කන්ධයේ බහුලව හමු වේ. එනිසා ඇති විශාල නොවන මුත් තරමක් විශාල ගුහා නිර්මාණය සඳහා දායක වී ඇත. පසුගිය වසර දහයකට අධික කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණ අනුව මා හට පැහැදිලි වන කාරණය වන්නේ ශ්‍රී ලංකවේ සිලිකේට් පාෂාණ වල බිහිවන ගුහා සඳහා ආරම්භය ලබා දෙන්නට මෙම කිරිගරුඬ පාෂාණය ඇති විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි. මෙම කරුණ ඉතා පැහැදිළිව භූ විද්‍යත්මකව කදිමට ඔප්පු කල හැක්කකි.

කිරිගරුඬ පාෂාණය ජීර්ණයෙන් (dissolution) ඇතිවන කුඩා කුහරයන් පසු කාලීනව දිගුවන්නේ සිලිකේට් පාෂාණ වල පවතින කුස්තුර සහ පැලුම් වල සහයෙනි. විශාල වන්නා වූ කුහරය දුර්වල වූ ලිහිල් වූ පාෂාණ කුට්ටි කඩා වැටීම නිසා විශාල වෙයි. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වීමෙන් විශාල ගුහා නිර්මාණය වේ. භෞතික සහ රසායනික ජීරණයත් මෙහිදී ප්‍රමුඛ කාරියක් කරනා බව පැහැදිලිය. නිවර්තන කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ දී නම් මෙම ක්‍රියාවලි දෙකම ප්‍රමුඛ බව අමතක නොකළ යුතුය. නමුත් විශේෂයෙන් භූ විද්‍යාව පිළිබඳව මනා වැටහීමක් ඇති ඔබගේ අවධානය යොමු වන්නේ කෙලෙසක මෙම සිලිකේට් ඛණිජ ජීර්ණයට ලක්වන්නේ ද යන්නට බව මා හට තේරුම් යයි.

අප දන්නා පරිදි සිලිකේට් ඛණිජ අනෙකුත් ඛණිජ වලට සාපේක්ෂව ජීර්ණයට යම් තරමක් ප්‍රතිරෝධීතාවක් දක්වයි. එනිසා විශාල් ගල්ගුහා නිර්මාණය ගැටලුවකි. කෙසේ වෙතත් සමහර පාෂාණ වල පෙල්ඩ්ස්පාර් නම් වූ ජීර්ණයට පහසුවෙන් ලක්වන ඛණිජ සහිත පාෂාණ ද නැතුවා නොවේ. එනිසා එවන් වූ පාෂාණ පහසුවෙන් රසායනිකව ජීර්ණයට ලක්වන බව මතකයේ රඳවා ගත යුතුය. ඉහත සඳහන් කල ක්‍රියාවලින් තුනම එනම් කිරිගරුඬ පාෂාණය හෝ හුණු මිශ්‍රිත සිලිකේට් පාෂාණ දිය වීම නිසා ද, කුස්තුර සහ පැලුම් තල ඔස්සේ ඇතිවන විවර පුළුල් වීම නිසා ද පෙල්ඩ්ස්පාර් වැනි ජීර්ණයට පහසුවෙන් ලක්වන පාෂාණවල ජීර්ණය නිසා ද යන ක්‍රියා තුනේම සම්ප්‍රයුක්තය හේතුවෙන් ශ්‍රී ලංකවේ ගල්ගුහා නිර්මාණය වන බවයි මා හට සඳහන් කල හැක්කේ.

එලෙස නිර්මාණය වූ ගල් ගුහාවකි ඇල්ලේ පිහිටි නිල්දිය පොකුණ ගුහාව. මෙය ඉතා විශාල ගල්ගුහාවක් වන අතර මෙතෙක් මෙරට වාර්තා වන විශාලම ගුහාව බව අමතක නොකළ යුතුය. ප්‍රධාන කුටීර තුනකින් යුක්ත වන මෙම ගුහාව ඇති විශාල ප්‍රධාන කුටිරයකින් ද ඉතා පටු පැල්මකින් සම්බන්ධවන තවත් කුටීරයක් ද ජලය පිරි පොකුණකින් යුක්ත වූ කුටිර්යකින් ද සමන්විත වන බව මේ දක්වා කල පර්යේෂණ වලින් පැහැදිලි වී ඇත. පැල්මෙන් වෙන් වූ කුටීරයේ ඉතා අලංකාර හිරිළඹ සහ හිරිටැඹ වනාන්තරයක් ඇති අතර එම කුටීරය වවුලන්ගෙන් පිරි පවතී. ඉන් පැහැදිලිවන්නේ එම කුටීරය වෙනත් පසකින් බාහිර හා සම්බන්ධවන බවයි. මේ විසල් ගුහාව අඳුරුම අඳුරු ගුහාවකි.

සංචරණයට නම් එතරම්ම සාර්ථක නොවනමුත් ජවයක් ඇත්තන්ගේ විනෝදාස්වාදය සඳක කදිම තැනකි මෙම නිල්දිය පොකුණ ගුහාව. ඉතා දැඩි පරිස්සමකින් යුතුව මෙය නැරඹිය යුතු අතර ඇතුල්වන මාර්ගය පවා දුෂ්කරය. සංචරණයට යිද ගත්තද වැදගත් වන්නේ මෙවැනි භූ සම්පත් වැනසෙන්නට නොදී රැකගැනීමට යම් වැඩපිළිවෙලක් සකස් කිරීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 9 January 2021

පැල්ලම්දෙනිය හැඩකරන චානෝකයිට් පැල්ලම්......!!!

භූ සංචාරිතය 40

This article is originally published in Vidusara 06.01.2021.

මාගේ මතකයේ හැටියට අප විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන අවධියේ කුරුනෑගල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදුනේ ශෛලවිද්‍යාවේ දී හමුවන සුවිශේෂ පාෂාණ වර්ගයක් අධ්‍යනය කිරීම උදෙසායි. මේ සුවිශේෂී පාෂාණය පිහිටියේ A10 මාර්ගයේ කුරුණෑගල සිට මිනුවන්ගොඩ දෙසට යද්දී හමුවන පැල්ලම්දෙනිය නම් වූ ප්‍රදේශයේ යි. ඔය කියනා පාෂාණ ඉතා හොඳින් ඉස්මතුව හමුවන්නේ පාෂාණ කනින්නාවූ පතල් වලය. නැතහොත් ‘ගල්වලවල්’ වලය.  එවන් වූ පාෂාණ පතල් ගණනාවක්ම මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයෙන් දකුණෙන් වූ කලාපයේ හඳුනාගත හැක.

මෙම පාෂාණ පතල්වල අලුතින් මතුවූ මුහුණත් වලින් සමන්විත වන්නේ ජීර්ණයට ලක් නොවූ අලුත්, නැවුම් පාෂාණ වලිනි. බොහොමයක් ස්ථානවල එනිසා අපූරුවට මතු වූ ලා පැහැති පාෂාණය කදිමට දැකබලා ගත හැකිය. පැල්ලම්දෙනියේ හමුවන මෙවන් වූ ලා පැහැති අලුත් පාෂාණ මුහුණතේ තැනින් තැන් මතු වූ තරමක් අඳුරු පැහැගත් පුල්ලි දැක ගත හැකිය. මෙම පැල්ලම් තරමක් විශාලය. පුල්ලිය ඇතිකරනා පාෂාණය වෙනස්ම එකකි. එය ලා පැහැති පාෂාණ වර්ගය නම් නොවේ.  මෙවන් වූ පාෂාණ ‘චානොකයිට්’ පාෂාණය ලෙසින් හඳුන්වයි. පැල්ලම් දෙනියේ පැල්ලම් වලට හේතුවන්නේ මෙලෙස මතු වූ ‘චානොකයිට්’ පාෂාණය යි.

චානොකයිට් පාෂාණය විපරිත පාෂාණ විශේෂයකි. මෙම පාෂාණය විශේෂ වන්නේ නයිස් වැනි වූ අනෙකුත් විපරිත පාෂාණ වල දැක ගත හැකි කළු සුදු පැහැ වර්ණගත් ඛණිජ තීරුමය සොබාවය නොමති වීමයි. උච්ච විපරිතකරණයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවන මෙම චානොකයිට් පාෂාණය එනිසා ශ්‍රී ලංකාව වැනි වූ උච්ච් විපරිතකරණයට ලක් වූ භූ ස්කන්ධයන් සහිත ලෝකයේ බොහෝ රටවල දැක ගත හැකිය.  ලෝකය පුරාම පැතිරී ඇති මෙම පාෂාණය බොහෝවිට ප්රෝටෙරෝසොයික් අවධියේ නිර්මාණය වූ පාෂාණ කලාප වල හමුවේ.

මුලින්ම මෙම පාෂාණය වාර්තා වන්නේ ඉන්දියාවෙනි. දකුණු ඉන්දියවේ තමිල් නාඩු ප්‍රාන්තයේ පිහිටි කල්කටාවේ ශාන්ත ජෝන් නම් වූ පල්ලියේ සුසාන භූමියෙන් හමුවූ මෙම පාෂාණය “ජොබ් චානොක්” නම් වූ පුද්ගලයා මිහිදන් කල සොහොන නිර්මාණයට යොදාගෙන තිබේ. 1893 දී ටී. එච්, හොලන්ඩ් නම් වූ භූ විද්‍යාඥයාගේ අවධානයට ලක්වන මෙම පාෂාණ පුවරුව සුවිශේෂී බව නිසාම තම වැඩිදුර අධ්‍යනයට භාජනය කරයි.  ජොබ් චානොක් ගේ සොහොනෙන් හමු නිසාවට මෙම පාෂාණය ‘චානොකයිට්’ ලෙස නම් කර ඇත.

චානොකයිට් පාෂාණ වර්ග ගණනාවක් ඇති බව පර්යේෂණ පෙන්වා දෙයි. බොහෝවිට මෙම පාෂාණයේ මූලික ඛණිජ සංයුතිය වන්නේ තිරුවානා සහ ෆෙල්ඩ්ස්පාර් නම් වූ ඛණිජයි. එයට අමතරව කළු පැහැති ඛණිජ වන හෝන්බ්ලෙන්ඩ් නම් වූ ඛණිජය ද පයිරෝප් නම් වූ ගානට් විශේෂය ද පැවතිය හැක. චානෝකයිට් ලෙස සුවිශේෂීව හඳුනාගන්නට හේතු වන්නේ “ඕතෝ පයිරොක්සින්” කුලයට අයත් වන හයිපස්තීන් නම් වූ සිලිකේට ඛණිජයයි. තරමක් දුඹුරු පැහැගත්, මලකඩ මෙන් දිස්වන මෙම ඛණිජය හේතුවෙන් පෂණයට අඳුරු පැහැයක් ගෙන දෙයි. එමෙන්ම මෙහි පවතින තිරුවානා ඛණිජයට තරමක ග්‍රීස් කොළ පැහැයක් එක් කර ඇත. මෙම ඛණිජය හඳුනාගැනීමට නම් අලුතින් කැඩූ නැවුම් පෘෂ්ටයක් සහිත පාෂාණයක් තිබිය යුතුය. නැතහොත් දිරායන හෝන්බ්ලෙන්ඩ් ඛණිජය ද හයිපස්තීන් ඛණිජය ලෙස වරදවා හඳුනාගැනේ. නමුත් පාෂාණයේ තුනී කඩක් ගෙන අන්වීක්ෂය තුලින් අධ්‍යනය කිරීමෙන් නම් ඉතා හොඳින් හයිපස්තීන් හඳුනාගත හැක.

පැල්ලම් දෙනියේ පමණක් නොව මෙවන් වූ පාෂාණ ශ්‍රී ලංකවේ ප්‍රධාන පාෂාණ කලාප වල හමු වේ. චානොකයිට් පාෂාණය ඇතිවන්නේත් අනෙකුත් විපරිත පාෂාණ බිහිවන්නා වූ ලෙසම යි. නමුත් මෙහිදී වැදගත් වන්නේ අදාළ පරිසරයේ දී උෂ්ණත්වයේ සහ පීඩනයේ වෙනස් මත ඒ අදාල තත්ත්ව වලට ගැලපෙන ඛණිජ සමුච්චය ඇතිකරමින් මෙම -පාෂාණය බිහි වෙයි. පර්යේෂණ පෙන්වා දෙන ආකාරයට මෙම පාෂාණය බොහෝවිට බිහිවන්නේ ස්පර්ශ විප්රිතකරණයෙන් නොව ප්‍රාදේශීය විපරිතකරණයෙනි.

චානොකයිට් පාෂාණය බිහිවන්නේ අජල තත්වයේ පසුවන රසායනයන්ගෙන් බව පර්යේෂණ මගින් පැහැදිලි කර ඇත. එනිසා මෙම පාෂාණය සජල ඛණිජ හමුවන්නේ කලාතුරකින්. පැල්ලම් දෙනියේ පැල්ලම් බිහි වීම සඳහා විවිධ පැහැදිලි කිරීම් ශ්‍රී ලාංකේය භූ විද්‍යාඥයින් සිදු කර ඇත. විපරිත කරණයේ උච්චත්වයට පත් වීමේදී ඇතිවන තත්වය මත මෙම පාෂාණයේ සුවිශේෂී ඛණිජ බිහිවන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. පැල්ලම් දෙනියේ චානොකයිට් පැල්ලම් බිහිවන්නට භූ අභ්‍යන්තරයෙන් මතු වූ උණුසුම් කාබන්ඩයොක්සයිඩ් වායුව හේතුවන්නට ඇති බව පර්යේෂකයෝ පවසයි. එය විපරිතාකරණයේ සුවිශේෂී අවස්ථාවකි. පාෂාණයේ ඇති දුර්වල කලාප වන පැලුම්, කුස්තුර සහ දැදුරු ඔස්සේ ආ ඉහත කි උණුසුම් වායුමය ද්‍රව්‍යයන් හේතුවන් මවු පාෂාණයේ අදාළ ප්‍රදේශයක් පමණක් ඛණිජ සංයුතිය මෙලස වෙනස්කරන්නට ඇත. එනිසා මවු පාෂාණයේ පැල්ලම් මතුවන්නට ඇත.

චානොකයිට් පාෂාණය අධ්‍යනය කිරීමෙන් මෙරට භූ ඉතිහාසය පිලිබඳ යම් යම් සාක්ෂි සොයාගත හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙයි. ඒ අනුව මෙරට විපරීත භූ ස්කන්ධය විපරීතකරණයට ලක් වූ ආකාරය සහ එහි ගමන් මග සිතියම් ගත කල හැකි බව පර්යේෂණ මගින් පැහැදිලි වී ඇත. මෙරට භූ ස්කන්ධයේ පංච විපරිතකරණ ක්‍රියාවලියේ යම් යම් සුවිශේෂී අවස්ථාවන් විස්තර කිරීමට චානොකයිට් පාෂාණය මහඟු අත්වැලක් සපයන බව අමතක නොකළ යුතුය.

පැල්ලම්දෙනියේ පාෂාණ පතල් මගින් මෙවන් වූ පාෂාණය ගොඩනැගිලි ඉදිකිරිම සඳහා අවැසි ද්‍රව්‍යය සපයයි. ඔවුන්ගේ නිරන්තර එම ක්‍රියාවලිය භූ විද්‍යාඥයින් හට මහඟු සහයෝගයක් ලබා දෙයි. එනිසා නැවුම් පාෂාණ පෘෂ්ටයන් අධ්‍යනය කිරීමේ හැකියාව ලැබේ.

පැල්ලම්දෙණියට එම නාමය ගෙන එන්නට මෙලෙස භූ විද්‍යාව සමත් වී ඇති බව බොහෝ දෙනෙකු නොදනී. පැල්ලම් ඇතිකර ඇත්තේ චානොකයිට් පාෂාණයයි. ඒ සුවිශේෂී විපරීතකරණය නිසාවෙනි.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 1 January 2021

 භූ උද්භිදයේ වැදගත්කම.......!!!

භූ සංචාරිතය 39

This article is originally published on Vidusara 30.12.2020.

පාෂාණත් පසත් ශාක වර්ධනය කෙරෙහි අතිශයින් බලපායි. එවන් වූ අධ්‍යනයන් භූ විද්‍යාවත් උද්භිද විද්‍යාවත් සම්බන්ධ කරන්නකි. ලෝකයේ මෙම අන්තර් විෂය බෙහෙවින්ම දියුණු වී ඇත. ඔවුන් පාෂාණ සහ පාංශු දේහයන් ශාක කෙරෙහි ඇතිකරන බලපෑම අධ්‍යනය කරයි. එමගින් සුවිශේෂී පාෂාණ සහ පාංශු දේහයන් ඇති භුමි ප්‍රදේශ සලකුණු කිරීම සඳහා පමණක් නොව සමහර භූ සම්පත් සොයා ගැනීම උදෙසාද ඒ මත වැවෙන සුවිශේෂී ශාක විශේෂ භාවිතා කරයි.

පාෂාණ ජීර්ණයෙන් නිදහස් කරන පෝෂ්‍ය පදාර්ථ ශාක වල පැවැත්ම තහවුරු කරයි. නිත්‍ය ලෙස වැදගත් වන පෝෂ්‍ය කොටස් වලට අමතරව සමහර සුවිශේෂී මූලද්‍රව්‍යමය අයන හේතුවෙන් අදාළ ප්‍රදේශයේ වැවෙන ශාක වල විවිධත්වය තහවුරු කරයි. “භූ උද්භිතය” ලෙස හැඳින්වෙන මෙම අන්තර් විෂය ශ්‍රී ලංකවේ ස්ථාපනය නොවූ බොහෝ අයෙකුගේ අවධානයට ලක් නොවූ විෂය පථයකි.

ඔබ උස්සන්ගොඩ ප්‍රදේශයේ සංචාරය කර ඇත්නම් එහි වැවෙන ශාක ප්‍රජාව පිළිබඳව ඔබගේ අවධානය යොමු වී ඇතුවා නිසැකයි. මේ සුවිශේෂී භූ විද්‍යත්මක කලාපය බිහිකරන පාංශු දේහයන් ද එනිසා සුවිශේෂී වේ. උස්බිම් සංකීර්ණයත් විජයානු සංකීර්ණයත් සම්බන්ධ කරනා මායිමේ පිහිටා ඇති මෙම ප්‍රදේශය විශේෂණය වන්නේ නිකල් නම් වූ බැරලෝහය අඩංගු වන්නා වූ පාෂාණය හේතුවෙන්. එය නිකල් සහිත සර්පන්ටිනයිට් නම් වූ පාෂාණයයි. එම පාෂාණය ජිර්ණයෙන් ඉහලින් වූ පාංශු කලාපයට නිදහස් කරන නිකල් අඩංගු පෝෂ්‍ය කොටස් මෙම ප්‍රදේශයේ සුවිශේෂී ශාක ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා හේතු වී ඇත. එපමණක් නොව චාතුර්ථ අවධියේ තැන්පත් වූ යකඩ අඩංගු වෙරළ අවසාදිත ද මෙම ප්‍රදේශයේ පාංශු දේහයට යකඩ ලෝහය ඉතා අධිකව එක් කර ඇති බව පැහැදිලි වේ.

මෙම පාංශු දේහයන්ගේ නිකල් ලෝහයට අමතරව මැන්ගනස් සහ ක්‍රෝමියම් ද ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.   උස්සන්ගොඩට අමතරව යුධගනාව, ගිනිගල්පලැස්ස සහ ඉන්දිකොලපැලැස්ස නම් වූ ස්ථාන වලද මෙවන් වූ පාෂාණ පිහිටයි. එනිසා එම පාෂාණ ජිර්නයෙන් ලබා දෙන පාංශු කලාප වල ද ඉහත කී ලෝහ අයන අඩංගු වේ. මේ හේතුවෙන් මෙම ප්‍රදේශ වල වැවෙන ශාක ප්‍රජාවේ සහ විවිධත්වයේ යම් වෙනසක් දැකිය හැකිය.

ඉහත කි ආකාරයේ ලෝහ අයන උරාගන්නා ශාක විශේෂ මෙම ස්ථාන වල වර්ධනය වන අතර එනිසා එවන් වූ ශාක පවතින ප්‍රදේශ හඳුනාගැනීම සඳහා මෙම ශාක විශේෂ භාවිතා කල හැක. ඒ වාගේම දුරස්ථක්‍රමවේද වන ගුවන් චායරුප සහ චන්ද්‍රිකා චායාරුප භාවිතා කිරීමේ දී මෙම ශාක පවතින ප්‍රදේශ මගින් ලබා දෙන වර්ණ වෙනස එම ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ඉතා කදිමට භාවිතා කල හැක.

එපමණක් නොව මෙම වර්ණ වෙනස පුරාවිද්‍යාවේදී පවා වැළලුනු පුරවිද්‍ය්ත්මක ස්ථාන හඳුනාගනිමට ද භාවිතා කරයි. විශේෂයෙන්ම සමහර ගොඩනැගිලි කඩා වැටී වැලලුන පසුව එම ස්ථානයේ පාංශු කලාපයේ සිදුවන්නා වූ වෙනස්කම් ඒ මත ගොඩනැගෙන ශාක සන්තතිය කුමක් ද යන්න තීරණය කරයි. බොහෝ විට අවට කලාපයේ ශාක වර්ධනයට වඩා බෙහෙවින් වෙනස් අකාරයක වර්ධනයක් දැකිය හැකිය. එය අධික වර්ධනයක් හෝ මන්දගාමී වර්ධනයක් ලෙස ඉස්මතු වේ. පොස්පේට් වැනි පෝෂ්‍ය කොටස් අධිකව පසට එක් කරනා වැලලුන සුසානභුමි අධයනට ද භූ උද්භිද භාවිතය කදිමය. පාංශු දේහයේ සිදුවන වෙනස්කම් ඒ මත වැවෙන ශාක ප්‍රජාවේ ද සටහන් වීම මෙයට හේතුවයි.

එප්පාවල ප්‍රදේශයත් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයත් මෙවන් වූ අධ්‍යනයන් සඳහා අපූරු පසුබිමක් සකස් කර දෙයි. වැදගත් වන්නේ එම ප්‍රදේශ වල වැවෙන සුවිශේෂී ශාක වර්ග අධ්‍යනය කර එහි පාංශු දේහයේ වෙනස්කම් වලට අනුරුප වූ යම් ශාක විශේෂ කිහිපයක් හඳුනාගැනීමයි. එම ශාක ඉන්පසු දර්ශකයක් ලෙස භාවිතා කරමින් එවන් වූ භූ සම්පත් පවතින ප්‍රදේශ හඳුනාගැනීම සඳහා භාවිතා කල හැක.

විටෙක මෙවන් වූ ස්ථාන වලින් සුවිශේෂී ශාක හඳුනාගත හැකි අතර විටෙක එය සමහර විශේෂ වල සුවිශේෂී වර්ධනය ලෙස ද හඳුනාගැනීමට හැකි වේ. ඵලයේ හෝ පත්‍ර වල හෝ කඳේ හෝ වෙනයම් අවයවයක හෝ සාමාන්‍යය වර්ධනයෙන් පිටපැන්නා වූ යම් ලක්ෂණය හමු වේ. වැදගත් වන්නේ එම වෙනස හඳුනාගැනීමයි.

බොහෝ විට අප ක්ෂේත්‍ර අධ්‍යනයන් සිදු කිරීමේදී මෙම ක්‍රමවේදය භාවිතා කරනු ලබයි. විශේෂයෙන්ම තිරුවානා ඛණිජයෙන් නිම වූ ක්වාර්ට්සයිට් නම් පාෂාණය පවතින ප්‍රදේශවල බොහෝ විට හමුවන්නේ දුෂ්කර ස්ථාන වල වර්ධනය වන මාන සහ පැඟිරි මාන වැනි ශාක බව තහවුරු වී ඇත. එනිසා විශාල ප්‍රදේශයක මෙම ශාක වර්ධනය වූ විට දැක ගත හැකි වන්නේ තෘණ කලාපයක් ලෙසයි. එම කලාපය ඉතා කදිමට ගුවන් චායරුප හෝ චන්ද්‍රිකා චායරුප මගින් අධ්‍යනය කල හැකිය.

ක්වාර්ට්සයිට් නම් වූ පාෂාණය සපුරාම නිර්මාණය වන්නේ තිරුවානා ඛණිජයෙන්  නිසා එහි ශාක වර්ධනයට වැදගත් වන පෝෂ්‍ය පදාර්ථ හිඟය. එනිසා එවන් වූ මන්දපෝෂ්‍ය පාංශු දේහයේ වැවෙන්නේ ඒ පසට ඔරොත්තු දියහැකි ශාක වර්ග වේ. කිරිගරුඬ පාෂාණය ජිර්ණයෙන් ලබා දෙන්නේ බොහෝවිට කළු පැහැති පසකි. එහි පෝෂ්‍ය පදාර්ථ හොඳින් ඇති බව එමගින් පෙන්නුම් කරයි. එවන් වූ පසක ශාක ඉතා හොඳින් වර්ධනය වේ.

මේ විෂය පසක විෂ සහිත සොබාවය පවා හඳුනාගැනීමට භාවිතා කල හැක. මෙම විෂ සහිත සංයෝග නිසා ශාකවල වර්ධනයේ යම් වෙනසක් සිදු කරයි. එම වෙනස හඳුනාගැනීම තුලින් එවන් වූ පාංශු දේහයන් හඳුනාගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ඉතා අධික පෝෂණයෙන් යුක්ත විශේෂයෙන්ම පොස්පේට් සහ නයිට්‍රේට් නම් වූ අයන බහුල වූ පසක ශාක ඉතා හොඳින් සහ වේගවත්ව වර්ධනය වී පමණට වඩා විශාල ස්වරුපයක් පෙන්වයි. කංකුන්, උක්පුරුක් සහ එම ඝනයේ සමහර ශාක, මුගුනුවන්න පමණක් නොව අප හොඳින්ම දන්නා කුඹුක් වැනි ශාක ද මෙවන් වූ විෂ සහිත සංයෝග උරා ගන්නා බව සොයාගෙන ඇත.  

මෙම අන්තර් විෂයේ භාවිතය නිසි පරිදි සකස් කර ගන්නේ නම් විවිධ භූ සම්පත් පවතින ස්ථාන හඳුනාගැනීමට පමණක් නොව විෂ සහිත පාංශු දේහයන් සුව කිරීම සඳහා ද භාවිතා කල හැක. මෙරට භූ විද්‍යාඥයින්ගේ අවධානය මේ කෙරෙහි වඩාත් යොමු විය යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...