ඛණිජ ගැන දුර්මත..................!!!
භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජනතාව නොමගයවන සුළුය. පුරාවිද්යාවේ අර්ථකථන සඳහා භුවිද්‍යාවේ අවශ්‍යතාව පසුගිය දශක දෙකකට ආසන්න කාලයක සිටම මම පෙන්වමින් සිටියෙමි. කී දෙනෙකු එය තේරුම් ගත්තාදැයි නොදනී.
වරින්වර සමහර විද්වතුන් සිදුකරන ප්‍රකාශ අර්ථශුන්‍ය වගකීම් විරහිත ඒවා බව පැහැදිලි වේ. එහෙන් මෙහෙන් අහුලාගත් සමහර කරුණු නිසි අවබෝධයකින් තොරව භාවිතා කිරීම අතිශය භයානකය. එමගින් දන්නා ඉතිහාසය ද විකෘත කෙරේ. එක් මහාචාර්යවරයෙකු විසින් ලියන ලද පර්යේෂණ ග්‍රන්ථයක (සිංහල) කඳුකරයේ ජනතාව “ඇල්මන්ඩින් ගානට්” වලින් යකඩ නිස්සාරණය කරන ලද බවද සඳහන් වේ. එය පිළිගත නොහැකි නොමග යවන සුළු ප්‍රකාශයකි. අප විසින් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වන්නේ හිම්ටයිට් නම් වූ යකඩ ඛනිජය මේ සඳහා යොදාගත් බවයි. මේ සඳහා ක්ෂේත්‍ර සාක්ෂි උඩවලව, හල්දුම්මුල්ල වැනි ප්‍රදේශ වලින් පමණක් නොව සේරුවල ප්‍රදේශයෙන් පවා හමුවන බව මෙහිලා සඳහන් කල යුතුය.
සේරුවිල ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ තඹ නිධිය පැවතීම හේතුකොටගෙනය. තඹ ප්‍රයෝජනයට ගැනීම “මාගේ මතය” අනුව වසර 6000 ක අතීතයට දිවෙනු ඇති. තඹ ලෝහය නිස්සරණය කිරීම සේරුවිල වැව අවට ගජරාමෙට සිදුව ඇති බවට ඉතා පැහැදිලි සාක්ෂි හමුවේ. “තඹොර” ගොඩගැසුන විසල් කඳු ඒ අවට කලාපයේ ඕනෑ තරම් සොයාගත හැකිය. “තඹොර” පෙනුමට තද කළුපැහැ ගන්නා නමුත් හිරු එළියට ඇල්ලු කල කළුනිල් පැහැයකින් දිස් වේ. ඒ තඹ ලෝහ කැටායනය එහි ඇති බැවිනි. තඹ නිස්සාරණය දැනසිටි මිනිසුන් එහි නිල් පැහැය නොදැන සිටියා විය නොහැක. එනිසා ශ්‍රී ලංකාවේ වර්ණ එකතුවට එක් වූ පැරණිම වර්ණයක් වන්නට ඇත්තේ නිල් පැහැයයි. මෙරට බොහෝ දේවල් නීල පැහැයෙන් වර්ණ ගැන්වෙන්නට ඇත.
නිල් පැහැය නිල් පැහැය මිස එය කොළ පැහැය නොවන බව ද අප අමතක නොකළ යුතුය. නිල් පැහැය පසුකාලීනව කොළ පැහැයට හැරෙන්නට ඇති බව මාගේ මතයයි. තඹ කැටායනය වායුගෝලයේ ඔක්සිජන් සමග මිශ්‍රව ඇතිවන ‘තඹමල’ මේ සඳහා හේතුවන්නට ඇත. තඹමල කොළ පැහැතිය. පිත්තල භාණ්ඩවල කොළපැහැය ඇතිවනු ඔබ දැක ඇත. එයට හේතුව වන්නේ ‘තඹමල’ ඇතිවීමයි.
සොබාවික ඛණිජ පබළු කර්මාන්තය සඳහා යොදාගත් බවට ඕනෑතරම් පුරාවිද්‍යාත්මක සංක්ෂි හමුවේ. හොඳම එවැනි පබළු එකතුවක් හමුවන්නේ ජේතවනයෙනි. මා කරන ලද පර්යේෂණවලින් හෙළි වූයේ එහි ගානට්, පලිඟු වැනි මැණික් වලට අමතරව නිල් මැණික්, පුෂ්පරාග සහ ගෙවුඩ වැනි ඉතා වටිනා මැණික්වලින් ද නිමවන ලද පබළු හමුවන බවයි. එයට අමතරව ඉතා විශාල ප්‍රමාණයක් වීදුරු පබළු හමුවන බව වාර්තා වේ. මේවා කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද එවායි. මේ සඳහා මුල් බීජය සපයන්නට ඇත්තේ තඹ නිස්සරණයෙන් බිහිවන “තඹොර” විය හැක. අතුරු ප්‍රතිඵලයක් ලෙස බිහිවූ “තඹොර” කැබලිවල වර්ණය ඉතා අපූරු බවින් එය පළඳනාවක් ලෙස භාවිතා කරන්නට ඇත. එමගින් කෘත්‍රිම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අදහස ලබා දෙන්නට ඇත. එනිසා ම අපට නිගමනය කල හැක්කේ නිල් පැහැය සහ පබළු කර්මාන්තය ස්වදේශීය නිර්මාණයක් මිස ලැපිස් ලැසුයි හරහා බිහි වූවාක් නොවන බවයි.
කානිලියන් සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනිම වූ වැරදි සංකල්පයකි. කානිලියන් කෘත්‍රිම නිෂ්පාදනයකි. එය නිර්මාණය කරන්නට ලබාගන්නේ කහඳ නම් වූ ද්විතියක තිරුවානා ඛණිජ වර්ගයි. සෑම කහඳ වර්ගයක්ම ඒ සඳහා යොදාගත නොහැක. යකඩ කැටායනය එහි සංයුතියේ ප්‍රමුඛ වේ. ඒවා රත් කිරීමේදී වඩා රතු පැහැයට හැරෙන්නේ ඔක්සිහාරක යකඩ අයන ද ඔක්සිකරණය වන නිසාවෙනි. අගස්ති සහ ඔනික්ස් ද කහඳ වර්ග වේ. ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් කහඳ හමුවේ. එනිසා පිටරටින් ගෙන ඒමේ අවශ්‍යතාවක් නැත. කානිලියන් සොබාවිකව හමුනොවුන ද ඉහත පරිදි සාදාගත හැක. එනිසා පිටරටින් ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැත.
අපගේ අතීත මුතුන් මිත්තන් ලෝකය සමග ගනු දෙනු කරන ලද්දන්ය. ඒ බවට කිසිම සැකයක් නොමැත. ඊසාන දිග මෝසමෙන් මෙරටට එන වෙළෙන්දෝ නිරිත දිග මෝසමෙන් කුරුඳු ද රැගෙන මෙරටින් ගියෝය. මේ සඳහා ත්‍රිකුණාමලය කදිම වරායක් සපයන්නට ඇත. ඒ අවට පොහොසත් වෙළඳ නගරයක් නිර්මාණය වන්නට ඇත. එය සමහර විට වසර 6000 කට පෙර මෙරට ශිෂ්ටාචාරයේ මූලික අඩිතාලම දැමූ පුලස්ති ඍෂිගේම නිර්මාණයක් විය හැක.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
භූවිද්‍යාඥ/භුපුරාවිද්‍යාඥ
No comments:
Post a Comment