Friday 20 September 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  04

2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි. 

ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම යහපත් ප්‍රවණතාවයක් බව කිව යුතුය. පොදුවේ බලපාන ආපදා තත්වය සමාජයේ සෑම අයෙක්ටම  බලපායි. ලොකු කුඩා දුප්පත් පොහොසත් බේදයකින් තොරව මේ තත්වය ඇතිවන බව අපි දනිමු. ආපදා අවදානම අවම කිරීම කෙරෙහි ගන්නා ක්‍රියාමාර්ග මෙම සෑම ජන කොටසකටම ඉලක්ක විය යුතුය. නමුත් කණගාටුවට කාරණාව වන්නේ මේ තත්වය තුල තවමත් මෙම අවධානය සහ සැලකිල්ල අබාධිත පුද්ගලයන් සඳහා යොමු වී නොමැති වීමයි. මේ පිළිබඳව ඉතා සැලකිල්ලෙන් අප ක්‍රියාමාර්ග ගත යුතු වේ.

ආබාධිත සහිත පුද්ගලයන් ආපදා තත්වයකදී මුහුණපාන ගැටළු අප හඳුනාගත යුතුය. ආපදා අවදානම සඳහා දෙනු ලබන නිවේදන ඔවුන් වෙත යොමුකරන්නේ කෙසේද යන්න මෙහි දී වඩා වැදගත් වේ. ඇස් නොපෙනෙන සහ කන් නොඇසෙන පුද්ගලයන්හට මෙම සංනිවේදනය කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රමවේද භාවිතා නොකරන බව අපි දනිමු. ආපදා තත්ව සංනිවේදනය විවිධ මාධ්‍යයන් මගින් සිදුකෙරුනද ඒ කිසිම තැනකදී ආබාධිත සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතා සැපිරෙන්නේ නැත. එනිසාම මෙම නිවේදන නිසිලෙස ග්‍රහණය කරගැනීමේ හැකියාවක් ඔවුන්ට නොමැත. මෙය ආපදාවකදී ගතයුතු සහ පිළිපැදිය යුතු ක්‍රියාමාර්ග වලින් ඔවුන් වලක්වාලයි.

ආපදාවකදී අදාල ප්‍රදේශයෙන් ඉවත්වන්නට සිදු වුවහොත් විශේෂයෙන්ම ශාරීරික ආපදාවන් සහිත පුද්ගලයින් ඉවත්කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි මෙරට තවමත් අවධානය යොමු වී නොමැත. විශේෂයෙන්ම නාය යෑමක් වැනි තත්වයකදී පිළිපැදීම සඳහා නිසි ක්‍රමවේද නිර්මාණය වී නොමැති වීම ආබාධිත පුද්ගලයින් මුහුණපාන තත්වය තවත් උග්‍ර කරන්නට හේතු වේ. එපමණක් නොව මෙවැනි තත්වයකදී අදාළ ප්‍රදේශයෙන් ඔවුන් ඉවත්කරන්නට සිදුවුවහොත් ඔවුන් නවතන තාවකාලික නැවතුම් පොළවල් වලදී ඔවුනට අදාළ පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල මෙරට ආපදා කළමණාකරන ක්‍රියාදාමය තුලට ඇතුලත් කර නොමැත. මෙවැනි තත්වයක් තුල සමාජයේ කොනකට තල්ලු කර ඇති ඔවුන් තවදුරටත් අසරණවනු නොඅනුමානයි.  එහෙයින් ආපදා කළමනාකරණයේ පොදු ක්‍රියාවලිය තුල ආබාධිතයින් සඳහා අවැසි පහසුකම් සැපයීම සඳහා කටයුතු සම්පාදනය කිරීම වහ වහා කල යුතුය.

දේශගුණ විපර්යාස බලපෑම අවම කිරීමේ සහ ආපදා අවදානම අවම කිරීමේ වැඩපිළිවෙල තුල අබාධිත පුද්ගලයින් ආරක්ෂා කර ගැනීම පිළිබඳව දැඩි සාකච්චාවට භාජනය විය යුතු කාලය එළඹ ඇත. එනිසාම මෙරට අදාළ අංශ වල අවධානය මේ සඳහා යොමු විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි සහ අණපනත් සම්පාදනය විය යුතුය. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ස්ථාපනය කරන ලද ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධ වූ සම්මුතිය පරිහරණය කරමින් එයට අනුකූලව නීති සම්පාදනය කල හැක.

ඒ කෙසේ වෙතත්, මේ පිලිබඳ අදාළ සැම පාර්ශවයකම අවධානය යොමු විය යුතු අතර, සියලු දෙනාගේ සහභාගී වීම වඩා ඵලදායි වනු ඇත. භූ විද්‍යාත්මක ආපදා කෙරෙහි මේ තත්වය ප්‍රභලව බලපාන බව අප ඉතා හොඳින් වටහා ගතයුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...