Saturday, 26 September 2026

 

පුල්මුඩේ ඛණිජ වැලි නිධිය

ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි පුල්මුඩේ ප්‍රදේශය කියන්නේ ලෝකයේම අවධානය දිනාගත්ත සුවිශේෂී ඛනිජ නිධියක්. අද අපි කතා කරන්නේ මේ පුල්මුඩේ තියෙන "කළු රත්තරන්" හෙවත් බර ඛනිජ වැලි නිධිය නිර්මාණය වුණු හැටි ගැනයි. ත්‍රිකුණාමලයේ නිලාවේලි සිට කොක්කිලායි කලපුව දක්වා කිලෝමීටර් 7 කට වඩා විහිදෙන මේ වෙරළ තීරය, ලෝකයේ තියෙන ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු ඛණිජ වැලි සහිත ද්විතියක අවසාදිත තැන්පතුවක් (Placer deposit) විදිහටයි භූ විද්‍යාඥයින් හඳුන්වන්නේ.

මේ අපූරු වැලි නිධියේ උපත සිද්ධ වෙන්නේ අද ඊයේ නෙවෙයි, වසර මිලියන ගණනාවකට පෙරයි. අපේ රටේ මධ්‍යම කඳුකරය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රාග් කෙම්බ්‍රියානු (Precambrian) යුගයට අයත් විපරීත පාෂාණයි. මේ පාෂාණ කාලාන්තරයක් තිස්සේ ජිර්ණය සහ ඛාදනය වීමෙන්, ඒවායේ තිබුණු ඛනිජ කොටස් යාන් ඔය සහ මහවැලි ගඟ වැනි ගංගා ඔස්සේ මුහුදට එකතු විය.

මුහුදට වැටුණු මේ ඛනිජ මිශ්‍ර වැලි, සාගර රළ මඟින් දිගින් දිගටම සේදීමේ සහ තේරීමේ ක්‍රියාවලියකට (Wave Action and Sorting) ලක් විය. එහිදී බරින් අඩු ක්වාර්ට්ස් (Quartz) වැනි සාමාන්‍ය වැලි සාගර රළ මඟින් ඉවතට ගසාගෙන ගියත්, ඝනත්වයෙන් වැඩි බර ඛනිජ (Heavy Minerals) වෙරළ තීරයේ ඉතිරි වුණා. පුල්මුඩේ වෙරළ තීරය තද අළු හෝ කළු පැහැයක් ගන්න හේතුව මෙලෙස බර ඛණිජ එකතු වීමයි.

පුල්මුඩේ නිධිය ලෝක ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙහි ඇති බර ඛනිජ සාන්ද්‍රණය 70% - 80% වැනි ඉතා ඉහළ අගයක පැවතීම. මේ වැලිවල අඩංගු ප්‍රධාන ඛනිජ වර්ග කිහිපයක් මෙසේ හඳුනාගත හැකියි:

ඉල්මනයිට් (Ilmenite - FeTiO3): නිධියෙන් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු ප්‍රධානම ඛනිජයයි. ටයිටේනියම් ඩයොක්සයිඩ් වර්ණක නිපදවීමට මෙය බහුලව යොදාගන්නවා.

රූටයිල් (Rutile - TiO2): 8% ක් පමණ අඩංගු වන අතර, මෙහි 95% කට වඩා ඉහළ ටයිටේනියම් සාන්ද්‍රණයක් පවතිනවා. ගුවන් යානා සහ වෛද්‍ය උපකරණ තැනීමට ගන්නා ටයිටේනියම් ලෝහය නිපදවන්නේ මෙයින්.

සර්කෝන් (Zircon - ZrSiO4): 8% - 10% දක්වා ප්‍රමාණයක් අඩංගු වන අතර, සෙරමික් සහ ඉහළ තාප ප්‍රතිරෝධී කර්මාන්ත සඳහා ඉතා වැදගත්.

මොනසයිට් (Monazite): සුළු වශයෙන් (0.3% පමණ) අඩංගු වන මෙය දුර්ලභ මෙන්ම විකිරණශීලී ඛනිජයක්.

භූ විද්‍යාත්මකව බලන විට පුල්මුඩේ වැලි කියන්නේ ඉතාමත් සියුම් ලෙස ස්වභාවධර්මයා විසින්ම වර්ගීකරණය කර දෙන ලද (Well-sorted) අපූරු දායාදයක්. කර්මාන්ත සඳහා මේ වැලි කැණීම රටේ ආර්ථිකයට වැදගත් වුණත්, සීමාව ඉක්මවා වැලි ඉවත් කිරීම නිසා වෙරළ ඛාදනය වැනි පාරිසරික ගැටලු ඇති වෙන්න පුළුවන්.

මීළඟ වතාවේ ඔබ පුල්මුඩේ හෝ ඊට ආසන්න වෙරළක සංචාරය කරන විට, පාදයට පෑගෙන ඒ කළු පැහැති වැලි කැට දෙස අලුත් මුහුණුවරකින් බලන්න. ඒ සෑම වැලි කැටයක්ම අපිට කියන්නේ වසර මිලියන ගණනාවක පෘථිවි ඉතිහාසයේ කතාවයි.

  පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි පුල්මුඩේ ප්‍රදේශය කියන්නේ ලෝකයේම අවධානය දිනාගත්ත සුවිශේෂී ...