2015 අගෝස්‌තු 12 බදාදා
ඔන්න ග්‍රීෂ්ම නිවාඩුවත් ඇවිල්ලා. දැන් ඉතිං දරුවන් ගේ ඉහේ මල් පිපිලා ඇති, ඇතිපදම සෙල්ලම් කරන්න කාලේ ආවා කියලා. වියළි කාලගුණය දූවිලි අවුසන්නේ බොහොම සැරට. වියළි හුළඟත් එක්‌ක පැතිරෙන දූවිල්ල ගහකොළ වසා දමන්නේ සැණෙකින්. වියළි හුළඟ දූවිලි විතරක් නො වෙයි, අහසට නංවන්නේ. "සිලිසිලි බෑග්" කියලා අප හඳුන්වන පොලිතීන් මලු පරිසරයේ නිදහසේ පා වන අයුරු වර්තමානයේ සුලබ දසුනක්. ඉස්‌සර නං එහෙම නැහැ නේ. සුපිරි වෙළෙඳසල් නිසා සිලිමලු පාවිච්චිය වැඩි වෙලා ද කියලා හිතෙනවා. අනවශ්‍ය අවස්‌ථාවල දී පවා පොලිතින් මලු භාවිතයට මහජනතාව පෙලඹිලා. අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් පාවිච්චි කරන "එක පොලිතින් මල්ලක්" දෙපාරක් භාවිත කළොත් පොලිතින් භාවිතය සැලකිය යුතු මට්‌ටමකින් අඩු කළ හැකියි. ඒ වුණාට බොහෝ දෙනෙක් ගෙදර ගෙනෙන පොලිතීන් මලු බොහොමයක් වෙලාවට කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. එහෙම නො කර මලු එකතු කරගැනීමෙන් නැවත භාවිතයට ගන්න පුළුවන්. කඩේට යන අවස්‌ථාවල දී මෙලෙස එකතු කරගත් මලු කිහිපයක් අරන් යනවා නම් අලුත් පොලිතින් මලු හින්දා පරිසරයට එකතු වන ප්‍රමාණය අඩු කරන්න ඔයාලටත් දායක වෙන්න පුළුවන්. ඒ වාගේ ම අපට පුළුවන් වෙනත් විකල්පවලට යන්න. කඩදාසි කවර එක උදාහරණයක්. ඒ වාගේ ම කඩේ යනකොට වේවැල් කූඩයක් වැනි විශාල බෑගයක් අරන් යන්න පුළුවන්. එතකොට පොඩි පොඩි පොලිතින් කවර ගණනාවක් ගෙදර ගේන එක නවත්තන්න පුළුවන් නේ.
පොලිතින් මලු භාවිතයෙන් සිදු වන පරිසර හානිය අඩු කරගන්න කියලා මෙරටෙහි පරිපාලනය තුනී පොලිතින් මලු භාවිතයෙන් ඉවත් කරලා, ඒ වෙනුවට ඝනකමින් වැඩි පොලිතින් මලු භාවිතය හඳුන්වා දුන්නා කියලා ඔබට මතක ඇති. ඒත් ඇත්තට ම නිසැක ලෙස ම එයින් අප බලාපොරොත්තු වූ "වාසිය" සැලසුණා ද කියා ඔබට සිතා බැලිය හැකියි. හොඳින් සලකා බැලුව හොත් අපට පෙනී යන්නේ පෙරටත් වඩා වැඩි පොලිතින් ප්‍රමාණයක් පරිසරයට එකතු වන්නට ඉඩ සැලසී ඇති බවයි. අවසානයේ දී "වාසිය" තවත් හානියක් වී ඇත්තේ එමගින් ඇති වන ගැටලු පුරෝකථනය නො කර ම තීරණවලට එළඹී ඇති නිසයි.
පරිසරයට එකවර ම දිරවාගත නොහැකි මෙය, ව්‍යසනයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙම වුණත් මේ කෘත්‍රිම ද්‍රව්‍ය නිපදවන්නේ අප හොඳින් ම දන්නා ස්‌වාභාවික රසායන ද්‍රව්‍යයකින් කියලා ඔබ හැමෝ ම දන්නවා ඇති නේ. බොර තෙල්වල අතුරුඵලයක් ලෙස බිහි වන එතිලින් නම් වූ වායුව බහු අවයවීකරණයෙන් තමයි පොලිතින් නිෂ්පාදනය වෙන්නේ. එතිලින් යනු කාබනික සංයෝගයක්. බොරතෙල් ද කාබනික සංයෝග මිශ්‍රණයක්. දිගු කාලයක් තිස්‌සේ පොළොව අභ්‍යන්තරයේ අධික තාපයට සහ පීඩනයට නතුව මේ බොරතෙල් බිහි වන්නේ සාගරයේ තැන්පත් වූ මඩ/අවසාදිත ස්‌ථර අතර සිර වුණ කාබනික ද්‍රව්‍යවලින්. මේ කාබනික ද්‍රව්‍ය අවසාදිත අතර තැන්පත් වන්නට හේතු වන්නේ සාගරයේ ජීවත් වන ජීවින් ගේ මළකුණු සාගර පත්ලට ගොඩගැසීමයි. සාගරයේ ජීවත් වන මත්ස්‍යයන් වැනි විශාල ජීවින් ද ඩයටම වැනි කුඩා ප්‍රභාසංශ්ලේෂී ක්‌ෂුද්‍රජීවීන් ද මේ තැන්පතු ගොඩනැගීම සඳහා දායක වනවා. ගංගාවල් සාගරයට අතහරිනා අවසාදිතවල සියුම් අංශු තැන්පත් වන්නේ ගැඹුරු සාගර පත්ලේ වන අතර ඒවා අතර ක්‍රමයෙන් සාගර සත්ත්ව සහ ශාක මළකුණු ගොඩගැසෙනවා. සියුම් මඩ අතර සැඟව යන මේ අමු කාබනික ද්‍රව්‍යයන් ක්‍රමයෙන් ගොඩගැසෙන අවසාදිත තට්‌ටු හේතුවෙන් ඇති වන ක්‍රමික උෂ්ණත්ව සහ පීඩන වැඩි වීමට ඔරොත්තු දෙන්නට එහි වූ මුල් රසායනිකයෙන් වෙනස් ව වෙනත් සංයෝග බිහි කරනවා. මේ හේතුවෙන් කාබනික වායූන් ද බොර තෙල් ද නිෂ්පාදනය වනවා. බොහෝ විට ප්‍රභව නිධියේ මෙලෙස සෑදෙන බොරතෙල් එතනින් ඉවත් ව අධික සවිවරතාවකින් යුක්‌ත වැලිගල් වැනි පාෂාණ තුළ එක්‌රැස් වනවා. බොරතෙල් නිධි බිහි වීමට හේතු වන්නේ එයයි. මේ සඳහා වසර දහස් ගණනක සිට වසර මිලියන ගණනක් ගත වනවා. එසේ තැන්පත් වූ බොරතෙල් ශක්‌ති අවශ්‍යතාව සදහා භාවිත කරන්නට අප පෙලඹී ඇත්තේ මෙමඟින් ඇති වන ගැටලු පුරෝකථනය නො කරමයි.
පොළොවෙන් එසේ ලබාගන්නා තවත් ශක්‌ති ප්‍රභවයක් වන්නේ ගල් අඟුරු. ගල් අඟුරු බිහි වීමට හේතු වන්නේ ද අවසාදිත අතර තැන්පත් වූ කාබනික ද්‍රව්‍ය වුවත් මෙහි දී මූලික වන්නේ සාගරයේ තැන්පත් වන කාබනික ද්‍රව්‍ය නො වේ. ගොඩබිමෙහි වූ මඩවගුරු, කලපු වැනි නිරන්තරයෙන් ම අවසාදිත තැන්පත් වන පරිසරවල ඇති වනාන්තරවල පත්‍ර පතනයෙන් ද දිරා ගිය ගස් නිසා ද මඩ අතර සිර වන කාබනික ද්‍රව්‍ය අධික උෂ්ණත්ව සහ පීඩනවලට නතු වීමෙන් ද ගල් අඟරු බිහි වනවා. ගල් අඟුරුවල බහුලව ඇත්තේ අප හොඳින් දන්නා කාබන් නම් මූලද්‍රව්‍යයයි. එහෙත් බොරතෙල්වල කාබන්වලට අමතරව ඔක්‌සිජන් සහ හයිඩ්රජන් යන මූලද්‍රව්‍ය ද අඩංගු වනවා. ප්‍රභාසංශ්ලේෂණයෙන් ශාකවල තිර වන හිරු ගේ ශක්‌තිය මෙලෙස ගල් අඟුරු ලෙස ද බොර තෙල් ලෙස ද වන්නා වූ ශක්‌ති ප්‍රභවයන් භූ අභ්‍යන්තරයෙන් උකහාගත හැකි වී තිබෙනවා. බිහි වීමට වසර මිලියන ගණනක් ගත වන නමුත් අප ඉතා කෙටි කාලයක දී සිදු කළ අධික පරිභෝජනය නිසා වර්තමානයේ මේ ශක්‌ති ප්‍රභවය හිඟතාවකට පත් වී තිබෙනවා. එමෙන් ම තවමත් නිසි විකල්ප බිහි වී නොමැති වීම අනාගත විශාල ශක්‌ති අර්බුදයක් ඇති විය හැකි බවට අනතුරු අඟවනවා.
ගල් අඟුරු බිහි වීමට ප්‍රථම "පීට්" නම් වූ අතරමැදි කාබනික ද්‍රව්‍යයක් බිහි වන අතර එය ද ශක්‌ති අවශ්‍යතාව සදහා භාවිත කළ හැකියි. එහෙත් ගල් අඟුරුවල තරම් ම කාබන් ප්‍රතිශතයක් මේ පීට්‌වල අඩංගු වන්නේ නැහැ. අප රටෙහි ද ස්‌වාභාවික "පීට්" නිධියක් පවතිනවා. ඒ මුතුරාජවෙල ප්‍රදේශයේයි. වසර 5000-6000කට පෙර මේ ප්‍රදේශය තෙත් කලාපීය කැළෑවකින් යුක්‌ත වුණා. මුහුදට ආසන්නයේ වූ මේ කැළෑව පසුව ක්‍රමයෙන් සිදු වූ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් මඩ වගුරක් බවට පත් වූ අතර එහි තැන්පත් වූ පැරැණි ගස්, අතු සහ කොළ හේතුවෙන් මේ "පීට්" නිධිය නිර්මාණය වී තිබෙනවා.
අප රටෙහි අසන්න මුහුදෙහි තෙල් නිධි ගවේෂණය සිදු වෙමින් පවතිනවා. එක්‌තරා ආකාරයකට එය සතුටට කරුණක් වන මුත් පාරිසරික වශයෙන් නම් එතරම් හොඳ දෙයක් නො වේ. කෙසේ වෙතත් මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීමෙන් අපට පෙනී යන කරුණ වන්නේ සුනිත්‍ය බල ශක්‌ති ප්‍රභවයක අවශ්‍යතාවයි. එසේ නම් ඒ සදහා එක ම විසදුම වන්නේ සූර්ය ශක්‌තියයි. කළ යුත්තේ පහසුවෙන් හිරු ගේ ශක්‌තිය විදයුතය බවට පත් කරගත හැකි ක්‍රමවේදයක් සොයාගැනීමයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ