Friday 23 June 2017

විදුපත් ඉරුව
2017 ජූනි 21 බදාදා

ඈතින් එන වාහනයක්‌ තමා වෙත ළඟා වෙත් ම සහ තමා පසු කර තමා වෙතින් ඉවත් ව යැමේ දී ඇති වන ශබ්දයේ වෙනස (ක්‍රමයෙන් වැඩි වී ක්‍රමයෙන් අඩු වීම) ඔබට ඉතා හොඳින් මතක ඇතිවාට කිසි ම සැකයක්‌ නැත. ගුවන් යානයක්‌ තමා පසු කරගෙන යැමේ දී ද මේ ශබ්දයේ වැඩි අඩු වීම ඔබ අත්දකිනු ඇත. මෙහි දී ශබ්දය ක්‍රමයෙන් වැඩි වෙමින් ඇසෙන අතර තමා අබියස දී උපරිම ශබ්දය ඇසී, පසු කරන විට ශබ්දය අඩු වී යයි. මේ සිදුවීම 'ඩොප්ලර් ආචරණය' ලෙස හැඳින්වෙන අතර මේ පිළිබඳව විද්‍යා ලෝකයේ සාකච්ඡාවට බඳුන් වන්නේ 'ක්‍රිස්‌ටියන් ඩොප්ලර්' නම් ඔස්‌ටි්‍රයානු භෞතික විද්‍යාඥයා විසින් විද්‍යා මතයක්‌ ලෙස 1942 ඉදිරිපත් කරනු ලැබීමන් පසු ය.

තරංග ආයාමයේ හෝ සංඛ්‍යාතයේ හෝ වෙනස නිරීකෂකයාට දැනෙන ආකාරය මෙහි දී අවධානයට ලක්‌ වන්නේ ය. මෙනිසා වාහනයක හෝ වෙනත් සලකන වස්‌තුවක හෝ චලනයේ වෙනස්‌කම් හඳුනාගත හැකි බව පෙනී යයි. ඒකාකාරී වේගයකින් ගමන් කරන්නේ නම් තරංග ආයාමයේ ඇති වන වෙනස ඒකාකාරී ව සිදු වෙයි. මෙහි දී වේගය පමණක්‌ නො ව දිශාව ද මේ අනුව නිර්ණය කළ හැකි වේ.

'ඩොප්ලර් ආචරණය' සිද්ධාන්ත කොටගත් භාවිතයන් මේ වන විට ලොව ප්‍රචලිත වී ඇති අතර එම නිර්මාණවල සහාය බොහෝ ක්‌ෂේත්‍රවල දී පල ප්‍රයෝජනයට ගනී. අප හොඳින් ම දන්නා පරිදි රථවාහන පොලිසිය වාහනවල වේගය නිර්ණය කිරීම සඳහා යොදාගන්නේ ද මේ තාක්‌ෂණයයි. රේඩාර් තරංග යනු රේඩියෝ තරංග වර්ගයක්‌ වන අතර, රේඩාර් තරංග යොදාගනිමින් වායුගෝලයේ වෙනස්‌ වීම් ග්‍රහණය කරගැනීම මේ වන විට දියුණු රටවල සිදු වේ. සාර්ථක 'කාලගුණ පුරෝකථන' සඳහා අනභිබවනීය සහායක්‌ මින් ලැබෙන බව සඳහන් වෙයි.

වැසි වලාකුළුවල මෙන්ම වැසි බින්දුවල ද වේගය, දිශාව සහ ප්‍රමාණය නිර්ණය කිරීමේ හැකියාව ඩොප්ලර් රේඩාර් තාක්‌ෂණයෙන් සිදු කරන්නට හැකි වීම කාලගුණ පුරෝකථන ක්‌ෂේත්‍රයේ නව නැම්මක්‌ බව පිළිගත යුතු ය. ආයාමය කුඩා රේඩාර් තරංග කුඩා වැසි බිඳු නිශ්චය සඳහා ද විශාල ආයාමයක්‌ සහිත රේඩාර් තරංග අයිස්‌ කැට වැනි පතනයන් නිශ්චය කිරීම සඳහා ද යොදාගනී. කෙසේ වෙතත් ආයාමය සෙ.මි. 1-10ක පරාසයක වූ තරංග මේ සඳහා යොදාගන්නා බව සඳහන් වේ. ස්‌ඵන්දයන් ලෙස නිකුත් කරන රේඩාර් තරංග අවකාශයේ ගමන් කරන අතර යම් චාලකයක වැදීමෙන් ප්‍රතිවර්තනය වන තරංග නැවත ග්‍රහණය කරගැනීමේ හැකියාව අදාළ උපකරණයට ඇත. එමගින් චලිතය පිළිබඳ තොරතුරු එක්‌ රැස්‌ කරගත හැකි වේ. මෙලෙස උකහාගන්නා දත්තයන් භාවිත කරමින් 'ආකෘතික කාලගුණ පුරෝකථන' ගොඩනැගීම සිදු කරයි. එමගින් අනාගත කාලගුණික අවබලපෑම් නිශ්චය කරගන්නට හැකි පරිසරයක්‌ ගොඩනගන්නට හැකි වෙයි.

කෙසේ වෙතත් කාලගුණ පුරෝකථන සැම විට ම එක ම තාක්‌ෂණික ක්‍රමවේදයකින් ගොඩනගාගත හැකි නො වේ. මේ සඳහා ඩොප්ලර් රේඩාර් තාක්‌ෂණය පමණක්‌ නො ව චන්ද්‍රිකා ඡායාරුපවල සහාය ද ඉතා අවැසි බව මෙහි දී සඳහන් කළ යුතු ය. සුපිරි පරිගණක තාක්‌ෂණයේ සහාය (ලංකාවේ නො වේ) ආකෘති ගොඩනැඟීම සඳහා භාවිත වන අතර තත්කාලීන දත්තයන් ලබා දෙමින් 'ආකෘතික පුරෝකථන'වල නිවැරැදි බව වැඩි කරනු ලබයි.

සාම්ප්‍රදායික කාලගුණ පුරෝකථනයන් අද වන විට මිනිසුන් ගේ භාවිතයෙන් ඉවතට විසි වී ඇත්තේ පාරිසරික වෙනස්‌ වීම් සමග ම ය. කෙසේ වෙතත් වත්මනේ ඉලක්‌කගත පුරෝකථනයන්වල අවැසි බව අත්‍යන්තයෙන් ම දැනෙන සමයකි. කාර්යබහුල මෙන්ම ඉවක්‌ බවක්‌ නොමැති ව පාරිසරික විනාශයන් සිදු කර කණපිට පෙරළුE ලොවක වෙසෙන අප නිශ්චිත කාලගුණික විපර්යාසයන්හි නිවැරැදි පුරෝකථනයන් කොපමණ දුරට අවැසි දැයි පසුගිය වසරේ මැයි මස මෙන්ම මේ වසරේ මැයි මස ද සිදු වූ ව්‍යසනයන් ගෙන් සිදු වූ හානිය අපට කියාපායි.

නව තාක්‌ෂණික උපාංග සහ උපකරණ මෙන්ම නවීන පරිගණක තාක්‌ෂණයන් ද භාවිතය අතිශය වැදගත් බව මෙතෙක්‌ කල් මෙරට සිදු වූ ව්‍යසනයන්හි ආපදාවල ප්‍රාමාණික බව පැහැදිලි කර දෙයි. දේශපාලනික ඇඟිලි ගැසීම්වලින් තොර ව කිසියම් ම හෝ දෙයක්‌ මෙරට සිදු කළ නොහැකි බව අපි හොඳින් ම දනිමු. මෙරට කවර හෝ පක්‌ෂයක වේ වා පවතින පාලන අධිකාරිය තීන්දු තීරණ ගන්නේ මිටි තැනින් ජලය බැස්‌විය හැකි ලෙසිනි. එසේත් නොමැති නම් මෙරට ඇස්‌බැස්‌ටස්‌ භාවිතය තහනම් කරන්නට මත්තෙන් විගස විසඳන්නට තරම් සෞඛ්‍ය ගැටලු කොපමණ ඇත්තේ දැයි නො දැන නො වේ.

ඩොප්ලර් රේඩාර් තාක්‌ෂණය මෙරටට ගෙන එන්නට 2020 වන තුරු සිටිනවා ද යන්න තරයේ ම සාකච්ඡාවට බඳුන් විය යුතු ය. විශාල මුදලක්‌ වැය කර රට ම ආවරණය කළ හැකි එක්‌ උපකරණ පද්ධතියක්‌ පමණක්‌ ගෙන එනවාට වඩා දිවයිනක්‌ ලෙස ශ්‍රී ලංකාවට අවැසි වන්නේ එක්‌ එක්‌ ජල පෝෂක ප්‍රදේශ ආවරණය කළ හැකි කුඩා ඩොප්ලර් රේඩාර් පද්ධති බව ය මාගේ අදහස වන්නේ. එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ දිවයිනක්‌ ලෙස වර්ෂාපතනය ලබන ආකාරයේ වෙනස ය. එක්‌ එක්‌ ප්‍රදේශවල ඇති වන වායුගෝලීය වෙනස්‌කම් ඉතා ප්‍රබලව බලාපාන බව පෙනී යන කරුණකි. එනිසා ප්‍රාදේශීය තත්ත්ව විමර්ශනය අත්‍යන්තයෙන් ම අවැසි දෙයකි.

අශ්වයා පැන ගිය පසු ඉස්‌තාලය වසන මිනිසුන් ඉන්නා අපේ රටේ ඉස්‌තාලය රැකගැනීම ද අපහසු කරුණකි. පසුගිය මාස කිහිපයේ දුම්රියට පැන සියදිවි හානි කරගත් සංඛ්‍යාව දෙ සියය ඉක්‌මවන බව සංඛ්‍යාලේඛන පවසයි. එනමුත් දුම්රිය ගමනාගමනය නවතා ලිය නොහැකි ය. රටේ සංවර්ධනය ඉහළ තලයකට ගෙන ඒමට අදහස්‌ කරන්නේ නම් ස්‌වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට හැකි ශක්‌තිමත් පරිසරයක්‌ මෙරට ගොඩනැගිය යුතු ය. මෙහි දී රාජ්‍ය ආයතන පමණක්‌ නො ව මහජනතාව ගේ ද සහාය නොඅඩුව ලැබිය යුතු බව පිළිගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 20 June 2017

විදු පත් ඉරුව
2015  පෙබරවාරි 25  බදාදා
පසුගිය දිනෙක දිවයිනේ වයඹදිග පිහිටි වනජීවී අභය භූමියක්‌ වන විල්පත්තු අභය භුමිය නැරඹීමට අවස්‌ථාව ලැබුණා. බොහෝ කාලයක සිට එය දැකබලා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් මෙවර තමයි එය සාක්‌ෂාත් වුණේ. මේ අභයභුමිය පිහිටා තිබෙන්නේ දිවයිනේ අර්ධශුෂ්ක යෑයි හඳුන්වන දේශගුණික කලාපයේ. මේ ප්‍රදේශයට වර්ෂාව ඉතා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ ඊසානදිග මෝසමෙන්. උණුසුම නං බොහොම වැඩියි.

හැබැයි අප ගිය දිනවල වර්ෂාව ලැබිලා වැඩි කාලයක්‌ ඉක්‌ම ගිහින් තිබුණේa නැහැ. ඒක නිසා බොහොම අපූරුවට ඇසට සුව දායක කොළ පැහැය පිරිලා ඉතිරිලා තිබුණා. ඒක නිසා ම ද කොහෙ ද සිසිලසත් හොඳට දැනුණා. මේ විල්පත්තු අභය භුමිය දෙපසින් ගංගාවල් දෙකක්‌ ගලා බසිනවා. එකක්‌ තමයි මල්වතු ඔය. අනෙක අරවි ආරු. මේ දෙක පිටාර ගැලීමෙන් අභය භූමිය පෝෂණය ලබනවා. වර්ෂා කාලයේ දී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රවාහනයට ඇති අපහසුතාව. මෙහි ඇති සුවිශේෂී කරුණ තමයි ස්‌වාභාවික විල් බොහෝ සංඛ්‍යාවක්‌ පැවතීම. විශාල විල් හතළිsහකට අධික ප්‍රමාණයක්‌ ඇති බවයි පැවසෙන්නේ. විල් ඇති පළාත නැත හොත් ප්‍රදේශය, පත්තුව, විල්පත්තුව ලෙස හැදින්වෙන බවයි මගේ හැඟීම.

කොහොම වුණත් මා පවසන්න යන්නේ ටිකක්‌ දුක්‌මුසු කතාවක්‌. මේ කෙළිsන් ම විල්පත්තුවට සම්බන්ධ නැති වුණත් ඒකටත් අදාළයි. අභයභූමියක්‌ ලෙස නම් කෙරුණත් සංචාරකයන් නිසා මෙවැනි අභයභූමිවල ඉන්න සතුනට ඇත්තෙන් ම ඔවුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙත ගත කළ හැකි ද? දිනකට කෙතරම් සංචාරකයන් පිරිසක්‌ මේ අභය භුමිවලට පැමිණෙනවා ද? එනිසා මේ සතුනට ද පරිසරයට ද සිදු වන හානිය කොපමණ ද යන්න තක්‌සේරු කිරීමට කාලය ඇවිත් කියා මට හිතෙනවා. පහත සදහන් කරන සිදුවීම් අපට ඒ ගැන දෙපාරක්‌ හිතන්න පොලඹවනවා.

විල්පත්තු අභය භූමියත් යාල අභය භූමියත් දිවියන් දැක බලාගැනීම සදහා සංචාරකයන් අතර ප්‍රසිද්ධියක්‌ උසුලනවා. ඒක නිසා ම එක්‌තරා ආකාරයකට මේ සඳහා සංචාරකයන් අතර තරගකාරිත්වයක්‌ හටගැනීම පුදුම විය යුතු නැහැ. පසු ගිය දිනෙක ජාතික පුවත්පතක පළ වූ පුවතකින් කියවුණේ මේ තරගකාරිත්වයට වගකිව යුතු වන්නේ මේ සදහා ප්‍රවාහන පහසුකම් සපයන රියදුරන් බවයි. නිශ්චිත නිල ස්‌ථානවලින් මේ දිවියන් (අලින් වැනි වෙනත් සතුන් ද විය හැකි ය) දැක බලාගැනීමට හැකි වීමෙන් ඒවා මේ රියදුරන් ගේ නියත ඉලක්‌ක ස්‌ථාන වෙලා. මේ ස්‌ථානවල බොහෝ වේලා

රැඳී සිටිමින් ද තම මිතුරු සගයන්ට ජංගම දුරකථනවලින් දැනුම් දෙමින් එතනට කැඳවීමෙන් ද ඔවුන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත මේ සතුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙතට බාධා නො වන්නේ යෑයි පවසන්නේ කෙසේ ද? සංචාරකයන් පිනවීම උදෙසා හොඳ හිතින් ඔවුන් මෙසේ හැසිරුණත් ඇත්තෙන් ම සතුන් ගේ පැත්තෙන් නං ඉතා ම අසුබදායක දෙයක්‌ බවයි මගේ හැඟීම. එමෙන් ම විශේෂයෙන් ම දේශීය සංචාරකයන් තම තමා ගෙනියන්නා වූ නොයෙකුත් කෘත්‍රිම කෑම වර්ග එහි හලා ඒමටත් සතුනට කෙළින් ම කෑම දීමටත් පෙලඹී ඇති බව එම පුවතෙහි සදහන් වුණා. ස්‌වාභාවික සහ තම තමනට ආවේනික ආහාර රටාවකට උරුම වූ මේ සතුනට කෘත්‍රිම ආහාර ශරීරගත වීමෙන් ඔවුන් කෙතරම් අපහසුතාවකට පත් වනවා ඇත් ද? ඔවුන් ගේ ජීව ක්‍රියාදාමය හදිසියේ වෙනස්‌ වීමෙන් ඔවුන් ලංකාවෙන් තුරන් වීමටත් ඉඩ තිබෙනවා. මෙලෙස තර්ජනයට ලක්‌ වන්නේ ලංකාවට අවේනික සතුන් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එවැනි සතුන් මුළු මිහිමතින් ම තුරන් ව යැමටත් මෙය හේතු විය හැකියි.

අලින්, දිවියන්, වලසුන් සහ වල් හරකුන් වැනි විශාල සතුන් නම් ඔවුන්ට බාධාවක්‌ වන විට එයට එරෙහි ව සටන් වදිනු ඇති. අලින් සම්බන්ධයෙන් නම් කොතෙකුත් මේ සදහා උදාහරණ තියෙනවා. නමුත් අසරණ කුඩා සතුන්ට වන්නේ කුමක්‌ ද? මෙවැනි සිදුවීම් තව කොතෙකුත් සිදු විය හැකියි. මිනිසා තම ආධිපත්‍යයට ලොව නතු කරගැනීමේ දී සතුනට සහ පරිසරයට සිදු වන අලකලංචිය නැවතිලා නැහැ. සතුන් ගේ සුබසාධනය උදෙසා ඔවුනට නිදහසේ ඉන්නට භුමි වෙන් කර දුන්නත්, ඒ නිදහස භුක්‌ති විඳීමට නොහැකි වි ඇත්තේත් මිනිසා ගේ මේ වල් වැදීමේ ආශාවයි.

කොහොම වුණත් කිසියම් සාරධර්ම පද්ධතියක්‌ වන සතුන් නිරීක්‌ෂණයේ දී හදුන්වා දිය යුතු වෙනවා. අප හැමෝ ම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එම නීති රීතීන් සැම විට ම සංචාරකයන් පිනවීමට නො ව වන සතුන් ගේ ආරක්‌ෂාව සහ සුබසාධනය සදහා ඉලක්‌කගත විය යුතුයි. සංචාරකයන් ලෙස අපට ද අති විශාල කාර්යභාරයක්‌ මෙහි දී කළ හැකි ව තිබෙනවා. නිති රීති කෙසේ වෙතත් චාරිත්‍ර වාරිත්‍ර ලෙස හෝ පුරුදු පුහුණු කළ යුතු ආචාරධර්ම සමූහයක්‌ මේ සතුන් ගේ ද පරිසරයේ ද යහපත උදෙසා නිර්මාණය කළ යුතුයි. ඒවා සමාජයට හදුන්වා දී පුරුදු පුහුණු කළ යුතුයි. අප ගේ කුඩා දුවාදරුවන්ට ඉගැන්විය යුතුයි. මෙවැනි ස්‌ථානවලට පමණක්‌ නො ව ලොව සෑම ස්‌ථානයකමත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. ලොව ප්‍රථම අභයභුමිය පිහිටුවූ මේ සිරිලක්‌ දිවයිනෙහි මෙවැනි දෑ යළි යළි සිදු නො වීමට වගබලාගැනීම අප සියල්ලන් ගේ ම යුතුකමක්‌. වගකීමක්‌.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 15 June 2017

විදු පත් ඉරුව
2017 ජූනි 14 බදාදා

වර්තමානයේ අප විද්‍යාව යෑයි හඳුන්වන 'දැනුම සම්භාරය' බිහි වන්නේ බටහිර ය. එනිසා එය බටහිර විද්‍යාව ලෙස හැඳින්විය හැකි ය. මේ වන විට බටහිර විද්‍යාව මෙලොව ප්‍රමුඛ දැනුම් සම්භාරයක්‌ වී ඇත. එහෙත් බටහිර විද්‍යාවට ඔබ්බෙන් වූ තවත් විද්‍යාවන් තිබේ දැයි බොහෝ දෙනකු ගවේෂණය කර බලන්නේ නැත. දැනුම බිහි වන්නේ පවතින සංස්‌කෘතියට බොහෝ සාපේක්‌ෂව බවට කිසිදු සැකයක්‌ නැත. පවතින සංස්‌කෘතියෙන් ඒ සඳහා ලබන පෝෂණය ඉමහත් ය. අවශ්‍ය වන්නේ නම් අයකුට තවත් සංස්‌කෘතියක බිහි වන දැනුම තම පරිසරයට (තමා ගේ ලෝකයට) අවශෝෂණය කරගත හැකි ය.

මෙරට බොහෝ දෙනෙක්‌ බෞද්ධයෝ වෙති. ඉන් අතළොස්‌සක්‌ දෙනා විද්‍යාව හැදෑරූවෝ වෙති. ඉන් ද සුළු පිරිසක්‌ විද්‍යාව හා සබැඳි රැකියාවල නිරත වෙති. විටෙක රැකියාවේ තනතුරු නාමය අනුව ඔවුහු විද්‍යාඥයෝ ය. කිහිප දෙනෙක්‌ තම මනස මෙහෙයවමින් බටහිර විද්‍යා දැනුම ඒ මේ අත හරවමින් යම් යම් විශ්ලේෂණවල නිරත වෙති. මෙවැනි සමහරු බටහිර විද්‍යාව ද බෞද්ධ ධර්මය ද ගලපමින් බුදු දහම විද්‍යාවට බොහෝ සමීප බව කියති. ඒ සඳහා නොයෙක්‌ උදාහරණ ගෙන එති. සමහරෙක්‌ බුදු දහමින් බටහිර විදයාව දකිති. කෙසේ වෙතත් එකිනෙකට හාත්පසින් ම වෙනස්‌ වූ සංස්‌කෘතීන් දෙකක බිහි වූ දැනුම් පද්ධතීන් දෙකක්‌ ගැලපීමේ දී අප බොහෝ පරෙස්‌සම් විය යුතු ය.

විවිධත්වය ජීවී ලෝකයට පොදු ය. එක ම විශේෂයක වුව ජීවීන් ගේ යම් යම් විවිධත්වයන් දැකිය හැකි ය. අපූරු විවිධත්වයක්‌ ලොව වෙසෙන සතුන් අතුරින් වඩා ප්‍රමුඛ මානවයා තුළ දැකිය හැකි ය. එනිසා ඔවුන් ගේ බොහෝ පොදු දේ තුළින් මතු වන යම් යම් වෙනස්‌කම් ඒක පුද්ගල චරිත බිහි කරන්නට හේතු වෙයි. දියුණු සත්ත්වයන් ලෙස ලොව ප්‍රමුඛ වූවන් වන මානවයන් විවිධ පරිසර තුළ විවිධ සංස්‌කෘතීන් බිහි කරන්නේ එනිසා ය. එක ම සංස්‌කෘතියක්‌ තුළ පවා එම විවිධත්වය කැපී පෙනෙයි. එතුළින් විවිධ මතධාරීන් බිහි කෙරෙයි.

ඒක පුද්ගල මානව විවිධත්වය බුදු දහමේ අපූරුවට විග්‍රහ කර ඇත. එක අවස්‌ථාවක මේ සඳහා අපූරු උපාමාවක්‌ ගෙන එයි. ඒ අප හොඳින් දන්නා අඹ ගෙඩියක්‌ ඇසුරෙනි. ආකාර සතරක පවතින අඹ අප සමාජයේ ඉන්නා පුද්ගලයන් සතරක්‌ නිරූපනය කරයි. එවැන්නන් විද්‍යා ලෝකය තුළ ද කදිමට දැකිය හැකි ය. මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසා පර්යේෂණ සිදු කරන්නෝ මේ අතර වෙති. සුබවාදී සමාජ ප්‍රගමනය කේන්ද්‍ර කරගත් පර්යේෂණ සහ සොයාගැනීම් සඳහා ඔවුන් වෙහෙසෙන අතර පෞද්ගලික ප්‍රතිලාභ උදෙසා තම පර්යේෂණ පාවා නො දෙති. ඉතා මිත්‍රශීලී මොවුන් කණ්‌ඩායම් පර්යේෂණ සඳහා බොහෝ කැමැති ය. දන්නා සියල්ල අනාගත පරපුර සඳහා ලබා දෙන්නෝ ය.

සමහර විද්‍යා පර්යේෂකයන් ගේ පිටතින් පෙනෙන්නා වූ ගුණාංග ඇතුළත නොමැත. ඔවුන් කියන්නේ එකක්‌ ය, කරන්නේ තව එකක්‌ ය. මානව සංහතියට, සත්ත්ව සංහතියට, ගහට කොළට පරිසරයට කුමක්‌ වුව ද ඔවුන් ඒ වෙනුවෙන් කැප වන්නේ නැත. අවශ්‍ය වන්නේ තම අරමුණ පමණක්‌ ඉෂ්ට කරගැනීම පමණකි. එවන් වූ විද්‍යාඥයන් ගෙන් සමාජ යහපත බලාපොරොත්තු විය නොහැකි ය. පෞද්ගලික දියුණුව නිරන්තරව මූලික කරගන්නා නිසා බහුජන දියුණුව පාවා විනාශ කර දමන්නට ඔවුන් සූදානම් ය. මේ අතර තමා දන්නා දේ තව අයකුට දෙන්නට, අනාගතයට දායාද කර දෙන්නට ඔවුන් නොකැමැති ය.

පර්යේෂණයේ දක්‌ෂ මුත් එමගින් සිදු වන සමාජ බලපෑම හඳුනා නො ගන්නා පුද්ගලයන් නිසා විදයාවෙන් බිහි වන නව නිර්මාණ සහ සොයාගැනීම් මානව සංහතියේ පැවැත්මට තර්ජනයක්‌ වී ඇත. දුරදිග කල්පනා කර තීන්දු තීරණ ගැනීමට ඇති නොහැකියාව නිසා මොවුන් සිදු කරන පර්යේෂණ සමාජ ප්‍රගමනයට සහයෝගයක්‌ වන්නේ නැත.

අනුන් ගේ සංකල්ප තමා ගේ කරගන්නා පිරිසක්‌ ද මේ අතර වෙයි. ඔවුනට තනි ව යමක්‌ නිර්මාණය කළ නොහැකි ය. තනි ව සංකල්ප ගොඩනගාගැනීමේ හැකියාවක්‌ නැත. එනිසා තව අයකු ගේ සංකල්ප හෝ නිර්මාණ හෝ සොරාගන්නා මොවුන් තම පැවැත්ම තහවුරු කරගන්නේ ඒ දැනුම තමන් ගේ ලෙස ලොවට ඉදිරිපත් කිරීමෙනි. මේ සඳහා නොයෙකුත් උදාහරණ ඇත.

අවම ලෙස බටහිර විද්‍යාවේ මූලික සංකල්ප හෝ නිසි පරිදි අධ්‍යයනය නො කිරීම නිසා බොහෝ දෙනකුට සිදු වන්නේ දැනුමෙන් ඉතා කුඩා වපසරියකට සීමා වන්නට ය. එවිට ඔවුන් පවසන සහ කරන කියන දෑ ඉතා අවුල්සහගත වෙයි. එවැනි වූ සමහරු තම විෂය ක්‌ෂේත්‍රය ඉක්‌මවා ගොස්‌ වෙනත් විෂයන් ගැන ද කතා කරති. මේ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ බහුලව දැකිය හැකි ය. ඔවුන් බොහෝ විට තම විෂය පථය පවා නිසි පරිදි අධ්‍යයනය කර නොමැත. බොහෝ කේන්ති ගන්නා ඔවුන් සාකච්ඡාව සම්මුතිය ප්‍රතික්‌ෂේප කර එමගින් තම අඩුව වසාගන්නට උත්සාහ කරන අවස්‌තා ඇත.

තර්කනය මූලික කරගත්ත ද බටහිර විද්‍යා ලෝකය තුළ ඇත්තේ මෙවැනි වූ විවිධත්වයේ සංකලනයකි. එනිසා මෙමගින් බිහි වන සියලු දෑ සත්‍ය හෝ නිවැරැදි හෝ යෑයි පිළිගැනීමට නොහැකි ය. ඒ එසේ යෑයි අයකුට තර්ක කළ ද නොහැකි ය. හොඳින් විග්‍රහ කර බැලූ විට පෙනී යන්නේ නිරන්තර යාවත්කාලීන වන බටහිර විද්‍යාව කියාපාන්නේ කිසිවක්‌ ස්‌ථිර ව නො පවතින බව ය යන්නයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 8 June 2017


විදුපත් ඉරුව

2017 බදාදා

කාලය ගතවෙන්නේ පුදුම වේගයකින්. දින තත්පර වී සති පැයට හැර වූවා වාගෙයි. මේ අවුරුද්දෙත් මාස පහක්ම ගෙවී ගිහින් හමාරය. සිංහල අලුත් අවුරුද්දට සති දෙකක් නිකං ම ගෙවි ගොසින්ය. ඊළඟට වෙසක් ආවේය. සතියක්ම ඒ සඳහා ගතවිය. ශ්‍රී ලංකාවේ තරම් නිවාඩු ගන්නා රටක් මේ ලෝකේ ඇත්තේදැයි වරෙක සිහියට නැගෙයි. අවුරුද්දේ වැඩි කාලයක් නිවාඩු වලට ගෙවී ගිය විට සාර්ථක නිෂ්පාදනයක් සිදු වෙන්නේ කෙලෙසකද? නිෂ්පාදනයක් (කුමන හෝ) නොමැතිව යහපත් ආර්ථිකය ගොඩ නැගෙන්නේ කෙලෙසකද?. තත්වය එලෙස නම් රටක සංවර්ධනය ගැන සිතා ගන්නට හැකි වේවි.  

රටක් සංවර්ධනය කරන්නට මනා සැලැස්මක් අත්‍යවශ්‍යයි. සැලැස්ම සකස්විය යුත්තේ නව වසර ලබන්නට මත්තෙනුයි. දිගු කාලීනව ද කෙටි කාලිනව ද මෙම සැලසුම් සකස් විය යුතු වෙයි. සකස් වූ සැලසුම් ක්‍රියාත්මක කල යුත්තේ වසර පටන් ගන්නා විටයි. ජනේරුවේ පළමු වෙනිදා සිට ක්‍රියාත්මක කරන සැලසුම් මනා පාලනයකින් යුක්තව සිදු කල යුතු අතර නිරතන්තර අවධානය යොමු කරමින් යාමනය කල යුත්තේ වෙනස් වන තත්වයන් හමුවේ සැලැස්ම දියාරු නොවන්නටය. නැතහොත් සිදුවන්නේ වසර අවසානයේ යහපත් ප්‍රතිඵල ලබනු වෙනුවට අවප්‍රගමනය වූ සංවර්ධනයක් කරා යන්නටය. එවිට කඩා වැටුන ආර්ථිකයක් සමග වල්මත් වූ සමාජයක් බිහි වනු ඇත.

නිසිකල ඍජු තීන්දු තීරණ ගැනීමද අවශ්‍ය විට නම්‍යශීලි වීමද අවැසිය. නිරන්තර සාකච්චා කරමින් නිසි උපායන් යොදමින් ප්‍රායෝගික සැලසුම් සැකසිය යුතුය. මෙහිදී තත්කාලීන තත්වය ද අනාගත පරිසරය ද අවධානයට සහ සැලකිල්ලට ගත හැකි වීම මනා සැලසුම් සහගත වීමයි. කාලයට නියමිත වටිනාකම ලබා දීම කරන ලද සැලසුම් සියයට පනහක් සාර්ථක කරගත්තා වැනිය.

බලාපොරොත්තු නොවන හදිසි තත්වයන් පැන නැගීම සියලු සැලසුම් අවුල් කර දමයි. එනිසා එවැනි තත්වයන් මොනවාදැයි දැන සිටීම, පුරෝකථනය කරන්නට නොහැකි වූවද, ඇති වූ තත්වය සමතයකට පත් කර නැවත සංවර්ධනයේ ගමන රේඛිය කරවන්නට බොහෝ පහසු වෙයි. මෙරටෙහි ආර්ථිකය අඩපන කරන ස්වභාවික ව්‍යසනයන් තුනකි. මේ සදහා ප්‍රධානම හේතුව වන්නේ ජලය වීම පුදුම සහගතය. මෙම ව්‍යසනයන් නිසා ඇතිවන ආපදා දෙකක්ම ජල අතිරික්තයක් නිසා සිදු වේ. නාය යාම් ද ගංවතුර ද එනිසා සිදුවන්නේ වැසි සමයේ ගෙන දෙන ජල අතිරික්තය නිසා වෙනි. නියඟය ජල හිඟය මූලික කරගත්තකි.

ආපදා ගෙන දෙන මෙම ස්වභාවික ව්‍යසනයන් පුරෝකථනය මෙරටෙහි අසීරුය(?). එමෙන්ම වැසි ව්‍යසනයන් හදිසි ආපදා ගෙන දෙන්නේ නොකියාමය. මෙරට ට ජල අතිරික්තය ගෙන දෙන්නේ වැසි මගිනි. මෝසම් වැසි ද සංවහන වැසි ද ලෙස දෙආකාර වූ මෙම වැසි, කාලගුණික අසාමාන්‍යතා නිසා විටෙක අඩුව හෝ වැඩිව ලැබීම ව්‍යසනයක් වන්නට හේතු වෙයි. මානව ජනාවාස දසත විසිරුණ වර්තමාන ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යසන, එනිසා ජනතාවට නිරන්තරයෙන්ම ආපදා ගෙන දෙයි.  

ආපදා ගෙන දෙන මෙම ව්‍යසන සඳහා ලක ලැහැස්ති වීම අනිවාර්යෙන්ම කල යුතුය. නැතහොත් රටෙහි සංවර්ධන ක්‍රියාදාමය සඳහා බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ව්‍යසනයක් නොවූවද ව්‍යසනයක් වන්නේ යැයි සිතා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම නැණවත් ක්‍රියාවකි. ව්‍යසනයක් වුයේ නම් එය කාලීන තීන්දුවක් වෙයි. ආපදාවෙන් මහජනතාව බැටකන විට ආධාර උපකාර දෙන්නට අවැසි මුත් “පෙර සූදානම” ජිවත සහ දේපල හානි වී සිදුවන ආර්ථික අලාභය අවම කරයි.   

නියඟයෙන්, ගංවතුරෙන් හෝ නාය යාම් ව්‍යසන සඳහා ඍජු දායකත්වය ලබා දෙන්නේ වර්ෂාපතනය නම් කාලගුණික වෙනස් වීම් පෙරග්‍රහණය කර ගැනීම මෙහිලා වැදගත් කාරණයකි. ආපදා සහන සහ බලපෑම් සමනය කර යථාතත්වයට පත් කිරීම සඳහා ගන්නා සහ යොදවන මහන්සිය ද මුදලද සැලකිල්ලට ගන්නේ නම් නිවැරදි කාලගුණික පුරෝකථනයන් ලබා දීම සඳහා යොදවන ප්‍රාග්ධනය පිළිබඳව ගැටළුවක් ඇතිකර නොගත යුතුය. ලොව භාවිතා වන දියුණු විද්‍යාත්මක තාක්ෂනයන් මෙරටට හඳුන්වා දීම මගින් ආපදා අවම කිරීමේ මාර්ගය පෑදෙනු ඇත.

මෙහිලා වැදගත් වන ප්‍රධාන කරුණ වන්නේ ආපදා අවම කරගැනීමයි. ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවිය යුතුය. කාලගුණික පුරෝකථනයන් සඳහා අවැසි විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණයෙහි අඩුලුහුඩු කම් මග හරවා ගැනීම කෙරෙහි දේශීය ඥානය භාවිතයට ගැනීම ගැන වුව සලකා බැලිය යුතුය. බොහෝ දෙනා තාමත් සිතනුයේ මෙරට දියුණු වෙමින් පවතින රටක් බවට පත් වී ඇත්තේ නොදියුණු තත්වයක සිට බවයි. නමුත් අතීතයේ කලෙක අප බොහෝ දියුණු රටක්ව තිබී ඇත. යල මහා දෙක වපුරන්නට නිසි කල අස්වැන්න නෙලන්නට අවැසි පරිසරයක් අතීත මුතුන් මිත්තෝ නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ දියුණු ඥානය උපයෝගී කරගෙන බව අප පිළිගත යුතුය. කෘෂිකර්මය මත පමණක් සියලු ජනී ජනයාගේ පැවැත්ම තහවුරු වූ එකල වූ කාලගුණික පුරෝකථනයන් සඳහා වූ දැනුම අඩු තක්සේරු නොකළ යුතු බව සිතට ගත යුතුය. නැසී යන එම දේශීය ඥානය ද පණ ගස්වා ගැනීමද වර්තමාන මෙරටෙහි අනාගතය ආලෝක කරන්නට යෙදවීම කිසිම ගැටළුවක් නොවේ. බළලා මැටියෙන් වුව කම් නැත්තේ මියන් අල්ලනවා නම් බව අප තේරුම් ගත යුතුය.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ     

Friday 2 June 2017

විදුපත්ඉරුව
2017 මැයි 31 බදාදා


හිටිහැටියෙ ම වැටුණ වැස්‌සට මෙච්චර විපතක්‌ වෙයි කියලා හිතුවේ නෑ මහත්තයෝ. නැතිනං අපිට අයින් වෙන්න කියලා කියලයි තිබුණේ."

මෙවැනි කථා සැම නාය ආපදාවකට පසු කිහිප තැනකින් ම අසන්නට ලැබෙන බව කිව යුතු ය. මෙහි ගැඹුරු අර්ථය නම් මෙරට වගකිවයුතු ආයතන ලබා දෙන උපදෙස්‌ මහජනතාව නො සලකා හරින බව නොවේ ද? වසර ගණනාවක්‌ තිස්‌සේ පර්යේෂණ කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දියුණු කරනු ලැබූ නාය ආපදා සිතියම් සැලකිල්ලට ගන්නේ මෙරට නාය අවදානමට ලක්‌ වන ජනතාව ගෙන් කොපමණ පිරිසක්‌ ද යන්න මෙවැනි ආපදාවක දී තේරුම්ගත හැකි ය.

වසරක දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදු කරන දැනුවත් කිරීම් ප්‍රමාණය සිය ගණනකි. මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් දැනට දශක දෙක තුනක සිට ම සිදු කරනු ලැබේ. මේ දැනුවත් කිරීම්වල දී අදාළ ප්‍රදේශවල නාය යා හැකි ස්‌ථාන හඳුනාගනු ලබන අතර ව්‍යසනයක දී එම නාය යා හැකි ස්‌ථාන මගහැර ආරක්‌ෂිත ස්‌ථානවලට ළඟා විය හැකි මාර්ග පවා නම් කර ජනතාව පෙර සූදානම් කර ඇත. ග්‍රාමීය නාය ආපදා කමිටු බිහි කර නාය ආපදාවක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිලිව දැනුම් දී ඇත. එපමණක්‌ නො ව සැම වර්ෂා කාලයක දී ම මාධ්‍ය හරහා පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරනු ලබන අතර මාධ්‍ය සාකච්ඡා බොහෝ ප්‍රමාණයක්‌ හරහා දැනුවත් කෙරෙන්නේ ද මේ මහජනතාව ම ය. ඉඳින් උපදෙස්‌ නො පිළිපැදීම නිසා මෙරටට අහිමි වන මිනිස්‌ ජීවත හා දේපළවලට වගකියන්නේ කවුරුන් ද?

කඳුකර ප්‍රදේශවලට අමතරව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ක ද නාය ආපදා සිදු වන ප්‍රදේශ ලෙස නම් කර ඇත්තේ සුවිශේෂී හේතුවක්‌ නිසා ය. ඒ මෙම ප්‍රදේශවල අධිකව සිදු වන ජනතාව ගේ අනවශ්‍ය සහ අපරීක්‌ෂාකාරී මැදිහත්වීම් හේතුවෙන් අස්‌ථාවර වන භූ ස්‌කන්ධයන් ය. භූ තාක්‌ෂණ උපදෙස්‌ නො පිළිපදිමින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිසා මේ ප්‍රදේශවල බොහෝ ස්‌ථාන අස්‌ථාවර වී ඇති බව සත්‍යයකි. නව නිවාස ඉදි කිරීම, ඒ සදහා අවශ්‍ය මහා මාර්ග ද ඇතුළු අනෙකුත් යටිතල පහසුම් වැඩි දියුණු කිරීම පමණක්‌ නො ව තම ගෙවතුවල සිදු කරන වගා කටයුතු පවා නාය ආපදා සක්‍රිය කිරීම සදහා දායකත්වය සපයන බව සිදු කර ඇති අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇත.

නාය ආපදා සමීක්‌ෂණ, විමර්ශන, පර්යේෂණ සහ නාය ආපදා අවම කිරීමේ භූ තාක්‌ෂණ ශිල්පීය ව්‍යාපෘති මගින් ජනතාව ගේ සුරක්‌ෂිතතාව තහවුරු කරන්නට වෙහෙසෙන කලක එවැන්නක්‌ තුට්‌ටුවකට මායිම් නො කරමින් හිතුමනාපයට ක්‍රියා කිරීම ජාතික වශයෙන් රටක්‌ අගාධයට හෙළන්නක්‌ බව අප කවුරුත් තේරුම්ගත යුතු ය. නාය ආපදා සිදු වන හෝ සිදු ව ඇති ස්‌ථානවලට ගොස්‌ භූ විද්‍යාඥයන්/භූ ඉංජිනේරුවන් ලබා දෙන නියෝග සහ උපදෙස්‌ විටෙක අවඥාවෙන් බැහැර කෙරෙන අවස්‌ථා ගැන ඔවුනට බොහෝ අත්දැකීම් ඇත. ආපදාවක්‌ සිදු වූ විට තමනට නිසි උපදෙස්‌ නො ලැබුණ බවට කරන චෝදනා නම් එමට ය. තම වටපිටාව පිළිබඳව අවබෝධයෙන් නො සිටීම ම ආපදාවට ලක්‌ වීමට හේතුවක්‌ බව අප තේරුම්ගත යුතු ය.

අවම මානව සම්පත් මත යෑපෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්‌ත්‍රික්‌ක 13ක සිදු වන නාය ආපදා ආවරණය කරන බව සැලකිය යුතු ය. ක්‍රමවත් භූමි පරිහරණ රටාවකට හුරු කිරීම උදෙසා කඳුකරයේ සිදු කරන සංවර්ධන කටයුතු යාමනයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගෙන ඇති පියවර ගණනාවකි. තම ඉඩම තෝරාගැනීමේ දී හෝ නිවස ඉදි කිරීමට යැමේ දී එම ස්‌ථානය නාය ආපදාවලින් මුක්‌ත දැයි නිර්ණය කිරීම සදහා අවශ්‍ය විශේෂඥ උපදෙස්‌ ලබා දීමට පියවර ගෙන ඇත. ඒ සදහා සුළු ගෙවීමක්‌ කිරීමට සිදු වුව ද දිගුකාලීනව ජනතාව ලබාගන්නා ලාභයක්‌ බව සිතට ගත යුතු ය. මේ ක්‍රියාවලිය පවා නීතිගත නො වූයේ නම් භූමි අපහරණය මීට වැඩි විය හැකි ය. ඒ වුව ද බොහෝ දෙනකු එම කර්තව්‍යය පවා සිදු කරවාගැනීමට මැළිකමක්‌ දක්‌වන බව පෙනී යයි.

නාය ආපදා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීම අසීරු බව අප තේරුම්ගත යුතු ය. ඒ මන්ද යත් මේ සිදුවීම Rජු ව ම භූ ක්‍රියාකාරිත්වයන් හා බැඳී පවතින නිසාවෙනි. වැටෙන වර්ෂාව ද පාංශු ස්‌තර නිර්මාණය වීම මත ද එලෙස නිර්මාණය වූ පාංශු ස්‌තර මත ඇති වන වන වැස්‌ම ද මිනිස්‌ ක්‍රියාකාරකම් නාය ආපදා ඇති කිරීම කෙරෙහි බලපාන බව දැනගත යුතු ය. ගතික ක්‍රියාදාමයක ස්‌ථාවර දත්ත පැවතිය නොහැකි ය. එනිසා කාලීනව සිදු වන වෙනස්‌කම් ග්‍රහණය කරගැනීම ඉතා අපහසු අතර පූර්වයේ ලබාගන්නා දත්ත යාවත්කාලීන කරගැනීම සඳහා ද විශාල ප්‍රාග්ධනයක්‌ පමණක්‌ නො ව මානව සම්පතක්‌ ද අවශ්‍ය වෙයි.

කෙසේ වෙතත් නාය ආපදා නිසා සිදු වන මිනිස්‌ ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙරට ජනතාව ගේ අත්‍යන්ත සහාය අවැසි බව සියල්ලන් ම වටහාගත යුතු ය. නැරඹීමේ කුතුහලයෙන් පෙළෙන ජනයාට නායක්‌ යැම ද සංචාරක ස්‌ථානයක්‌ බවට පත් කරගැනීමට ගත වන්නේ සුළු මොහතකි. රොත්ත පිටින ඇදෙන මේ අය තමන් පා තබන්නේ මරණය කරා බව තේරුම්ගත යුතු ය. වර්ෂා කාලයේ දී සක්‍රිය වන නාය යැම්, ඇති වන තෙත් සහිත බව නිසා නැවත නැවත ඇති විය හැකි ය. ඒ බැව් පසුගිය වසරේ අරණායක සිදු වූ නාය ආපදාවෙන් පැහැදිලි වෙයි. එවැනි ස්‌ථාන නැරඹීමට ගොස්‌ අනතුරට ලක්‌ වූ මිනිසුන් ගැන මෙවර වාර්තා වන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයෙනි. මෙනිසා වගකීමෙන් වැඩ කරන නිලධාරීන් සහ රාජ්‍ය සේවකයන් පමණක්‌ නො ව මහජනතාවක්‌ ද අවැසි බව තරයේ ම කියා සිටිමු.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Sunday 28 May 2017

විදු පත් ඉරුව
2017 මැයි 24 බදාදා
පසුගිය දිනෙක දිවයිනේ වයඹදිග පිහිටි වනජීවී අභය භූමියක්‌ වන විල්පත්තු අභය භුමිය නැරඹීමට අවස්‌ථාව ලැබුණා. බොහෝ කාලයක සිට එය දැකබලා ගැනීමේ අවශ්‍යතාව තිබුණත් මෙවර තමයි එය සාක්‌ෂාත් වුණේ. මේ අභයභුමිය පිහිටා තිබෙන්නේ දිවයිනේ අර්ධශුෂ්ක යෑයි හඳුන්වන දේශගුණික කලාපයේ. මේ ප්‍රදේශයට වර්ෂාව ඉතා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ ඊසානදිග මෝසමෙන්. උණුසුම නං බොහොම වැඩියි.

හැබැයි අප ගිය දිනවල වර්ෂාව ලැබිලා වැඩි කාලයක්‌ ඉක්‌ම ගිහින් තිබුණේa නැහැ. ඒක නිසා බොහොම අපූරුවට ඇසට සුව දායක කොළ පැහැය පිරිලා ඉතිරිලා තිබුණා. ඒක නිසා ම ද කොහෙ ද සිසිලසත් හොඳට දැනුණා. මේ විල්පත්තු අභය භුමිය දෙපසින් ගංගාවල් දෙකක්‌ ගලා බසිනවා. එකක්‌ තමයි මල්වතු ඔය. අනෙක අරවි ආරු. මේ දෙක පිටාර ගැලීමෙන් අභය භූමිය පෝෂණය ලබනවා. වර්ෂා කාලයේ දී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රවාහනයට ඇති අපහසුතාව. මෙහි ඇති සුවිශේෂී කරුණ තමයි ස්‌වාභාවික විල් බොහෝ සංඛ්‍යාවක්‌ පැවතීම. විශාල විල් හතළිsහකට අධික ප්‍රමාණයක්‌ ඇති බවයි පැවසෙන්නේ. විල් ඇති පළාත නැත හොත් ප්‍රදේශය, පත්තුව, විල්පත්තුව ලෙස හැදින්වෙන බවයි මගේ හැඟීම.

කොහොම වුණත් මා පවසන්න යන්නේ ටිකක්‌ දුක්‌මුසු කතාවක්‌. මේ කෙළිsන් ම විල්පත්තුවට සම්බන්ධ නැති වුණත් ඒකටත් අදාළයි. අභයභූමියක්‌ ලෙස නම් කෙරුණත් සංචාරකයන් නිසා මෙවැනි අභයභූමිවල ඉන්න සතුනට ඇත්තෙන් ම ඔවුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙත ගත කළ හැකි ද? දිනකට කෙතරම් සංචාරකයන් පිරිසක්‌ මේ අභය භුමිවලට පැමිණෙනවා ද? එනිසා මේ සතුනට ද පරිසරයට ද සිදු වන හානිය කොපමණ ද යන්න තක්‌සේරු කිරීමට කාලය ඇවිත් කියා මට හිතෙනවා. පහත සදහන් කරන සිදුවීම් අපට ඒ ගැන දෙපාරක්‌ හිතන්න පොලඹවනවා.

විල්පත්තු අභය භූමියත් යාල අභය භූමියත් දිවියන් දැක බලාගැනීම සදහා සංචාරකයන් අතර ප්‍රසිද්ධියක්‌ උසුලනවා. ඒක නිසා ම එක්‌තරා ආකාරයකට මේ සඳහා සංචාරකයන් අතර තරගකාරිත්වයක්‌ හටගැනීම පුදුම විය යුතු නැහැ. පසු ගිය දිනෙක ජාතික පුවත්පතක පළ වූ පුවතකින් කියවුණේ මේ තරගකාරිත්වයට වගකිව යුතු වන්නේ මේ සදහා ප්‍රවාහන පහසුකම් සපයන රියදුරන් බවයි. නිශ්චිත නිල ස්‌ථානවලින් මේ දිවියන් (අලින් වැනි වෙනත් සතුන් ද විය හැකි ය) දැක බලාගැනීමට හැකි වීමෙන් ඒවා මේ රියදුරන් ගේ නියත ඉලක්‌ක ස්‌ථාන වෙලා. මේ ස්‌ථානවල බොහෝ වේලා

රැඳී සිටිමින් ද තම මිතුරු සගයන්ට ජංගම දුරකථනවලින් දැනුම් දෙමින් එතනට කැඳවීමෙන් ද ඔවුන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත මේ සතුන් ගේ සාමාන්‍ය දිවිපෙවෙතට බාධා නො වන්නේ යෑයි පවසන්නේ කෙසේ ද? සංචාරකයන් පිනවීම උදෙසා හොඳ හිතින් ඔවුන් මෙසේ හැසිරුණත් ඇත්තෙන් ම සතුන් ගේ පැත්තෙන් නං ඉතා ම අසුබදායක දෙයක්‌ බවයි මගේ හැඟීම. එමෙන් ම විශේෂයෙන් ම දේශීය සංචාරකයන් තම තමා ගෙනියන්නා වූ නොයෙකුත් කෘත්‍රිම කෑම වර්ග එහි හලා ඒමටත් සතුනට කෙළින් ම කෑම දීමටත් පෙලඹී ඇති බව එම පුවතෙහි සදහන් වුණා. ස්‌වාභාවික සහ තම තමනට ආවේනික ආහාර රටාවකට උරුම වූ මේ සතුනට කෘත්‍රිම ආහාර ශරීරගත වීමෙන් ඔවුන් කෙතරම් අපහසුතාවකට පත් වනවා ඇත් ද? ඔවුන් ගේ ජීව ක්‍රියාදාමය හදිසියේ වෙනස්‌ වීමෙන් ඔවුන් ලංකාවෙන් තුරන් වීමටත් ඉඩ තිබෙනවා. මෙලෙස තර්ජනයට ලක්‌ වන්නේ ලංකාවට අවේනික සතුන් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එවැනි සතුන් මුළු මිහිමතින් ම තුරන් ව යැමටත් මෙය හේතු විය හැකියි.

අලින්, දිවියන්, වලසුන් සහ වල් හරකුන් වැනි විශාල සතුන් නම් ඔවුන්ට බාධාවක්‌ වන විට එයට එරෙහි ව සටන් වදිනු ඇති. අලින් සම්බන්ධයෙන් නම් කොතෙකුත් මේ සදහා උදාහරණ තියෙනවා. නමුත් අසරණ කුඩා සතුන්ට වන්නේ කුමක්‌ ද? මෙවැනි සිදුවීම් තව කොතෙකුත් සිදු විය හැකියි. මිනිසා තම ආධිපත්‍යයට ලොව නතු කරගැනීමේ දී සතුනට සහ පරිසරයට සිදු වන අලකලංචිය නැවතිලා නැහැ. සතුන් ගේ සුබසාධනය උදෙසා ඔවුනට නිදහසේ ඉන්නට භුමි වෙන් කර දුන්නත්, ඒ නිදහස භුක්‌ති විඳීමට නොහැකි වි ඇත්තේත් මිනිසා ගේ මේ වල් වැදීමේ ආශාවයි.

කොහොම වුණත් කිසියම් සාරධර්ම පද්ධතියක්‌ වන සතුන් නිරීක්‌ෂණයේ දී හදුන්වා දිය යුතු වෙනවා. අප හැමෝ ම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එම නීති රීතීන් සැම විට ම සංචාරකයන් පිනවීමට නො ව වන සතුන් ගේ ආරක්‌ෂාව සහ සුබසාධනය සදහා ඉලක්‌කගත විය යුතුයි. සංචාරකයන් ලෙස අපට ද අති විශාල කාර්යභාරයක්‌ මෙහි දී කළ හැකි ව තිබෙනවා. නිති රීති කෙසේ වෙතත් චාරිත්‍ර වාරිත්‍ර ලෙස හෝ පුරුදු පුහුණු කළ යුතු ආචාරධර්ම සමූහයක්‌ මේ සතුන් ගේ ද පරිසරයේ ද යහපත උදෙසා නිර්මාණය කළ යුතුයි. ඒවා සමාජයට හදුන්වා දී පුරුදු පුහුණු කළ යුතුයි. අප ගේ කුඩා දුවාදරුවන්ට ඉගැන්විය යුතුයි. මෙවැනි ස්‌ථානවලට පමණක්‌ නො ව ලොව සෑම ස්‌ථානයකමත් මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. ලොව ප්‍රථම අභයභුමිය පිහිටුවූ මේ සිරිලක්‌ දිවයිනෙහි මෙවැනි දෑ යළි යළි සිදු නො වීමට වගබලාගැනීම අප සියල්ලන් ගේ ම යුතුකමක්‌. වගකීමක්‌.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 18 May 2017

විදු පත් ඉරුව

2017 මැයි 17 බදාදා

පසුගිය දිනවල උද්ගත වූ කසළ ප්‍රශ්නයත් සමග බොහෝ දෙනෙක්‌ 'මීතේන්' වායුව ගැන කතා කළ හ.

ඇත්තට ම 'මීතේන්' යනුවෙන් හැඳින්වෙන්නේ කවරාකාරයේ වායුවක්‌ ද යන්න මෙවර විමසා බැලීම වටී යෑයි සිතේ.

'වගුරු වායුව' ලෙස ද හැඳින්වෙන 'මීතේන්' වායුව මධ්‍යගත කාබන් පරමාණුවකින් ද, ඒ වටා බැඳුණු හයිඩ්‍රජන් පරමාණු හතරකින් ද යුක්‌ත වෙයි. එනිසා සරල කාබනික සංයෝගයක්‌ ලෙස වුව ද මීතේන් හැඳින්විය හැකි ය.

මීතේන් වායුව නිෂ්පාදනය වන්නේ ඔක්‌සිජන් රහිත තත්ත්වයේ සිදු වන ජෛව-රසායනික ප්‍රතික්‍රියා නිසාවෙනි. මෙහි දී ක්‌ෂුද්‍රජීවීන් ගේ සහභාගීත්වය අනිවාර්ය වේ. විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි සමහර ක්‌ෂුද්‍රජීවීන් එළිමහනේ ඔක්‌සිජන් ඇති විට ක්‍රියාකාරී වේ. එහෙත් සමහර ක්‌ෂුද්‍රජීවීන් ක්‍රියාත්මක වන්නේ ඔක්‌සිජන් නොමැති විට ය. ඔක්‌සිජන් ඇති විට ඔවුන් සක්‍රිය නො වේ. මීතේන් නිපදවෙන්නේ නිර්වායු ස්‌වසනයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය.

බොහොමයක්‌ පහත් බිම්වල ඇති මඩ වගුරු කදිම කාබන් සංචිත වේ. ඒ, එම ස්‌ථානවලට ජලයත් සමග ගසාගෙන එන කාබනික සංයෝග (මැරුණු ශාක සහ සත්ත්ව කොටස්‌) එකතු වන බැවිනි. පහත්බිම් බොහෝ විට ජලයෙන් යට වී බොහෝ කාලයක්‌ පවතී. එපමණක්‌ නො ව මේ ප්‍රදේශවලට ගසාගෙන එන රොන්මඩ හා තැන්පත් වන නිසා කාබනික ද්‍රව්‍ය ඔක්‌සිජන් හා ගැටීම නවතාලයි.

මේ හා සමාන ම ක්‍රියාදාමයක්‌ කසළ බැහැර කරන ස්‌ථානවල ද සිදු වේ. දිගින් දිගට ම කසළ ගොඩ කිරීම නිසා පහළින් ඇති කසළ වැසී ගොස්‌ ඔක්‌සිජන් රහිත පරිසරයක්‌ නිර්මාණය කරයි. එය ඔක්‌සිජන් රහිත තත්ත්වවල දී සක්‍රිය වන ක්‌ෂුද්‍රජීවීන් උදෙසා කදිම අවස්‌ථාවක්‌ වෙයි.

මීතේන් ජනනය කරන්නේ බොහෝ විට බැක්‌ටීරියා වර්ග වේ. මොවුන් 'මීතේන් ජනකයන්' ලෙස හඳුන්වන අතර ඔක්‌සිජන් සඳහා අතිශය සංවේදී වෙයි. ජීවී ලෝකයේ පූර්වජයන් ලෙස වුව ද හැඳින්විය හැකි මේ ක්‌ෂුද්‍රජීවී විශේෂ අයත් වන්නේ 'ආකියා' (Archaea) නැමති ජීවී කොට්‌ඨාශයට ය. මීතේන් ජනකයන් අවට පරිසරයේ ඇති කාබනික ද්‍රව්‍ය තම ශක්‌ති අවශ්‍යතාව සපුරාගැනීමට භාවිත කිරීමේ දී මීතේන් වායුව එහි අතුරුඵලයක්‌ ලෙස ජනනය වෙයි. මීතේන් ජනක විශේෂ 30ක්‌ පමණ ලොව හඳුනාගෙන ඇති අතර ඔවුන් ගෙන් විශේෂයකට කාබන්ඩයොක්‌සයිඩ් වායුව මීතේන් වායුව බවට පත් කිරීමේ හැකියාව පවතී.

කසළ සංචිත නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් සැම කසළ තට්‌ටුවක්‌ මත ම පස්‌ තට්‌ටුවක්‌ ඇතිරිය යුතු අතර මෙවැනි කළමනාකරණයක්‌ පසුගිය දා නාය ගිය මීතොටමුල්ල කුණු කන්දේ හරිහැටි භාවිත වූයේ නැත. එමෙන් ම කසළ වර්ගීකරණයකින් ද තොර ව බැහැර කෙරුණු බව සනාථ විය. කෙසේ වෙතත් කසළ සංචිත සැලකීමේ දී කාබනික ද්‍රව්‍ය වියෝජනය අවස්‌ථා ගණනාවකින් සිදු වන බව සොයාගෙන තිබේ. එහි මූලික ම අවස්‌ථාවේ දී පමණක්‌ ඔක්‌සිජන් සහිත පරිසරවල වෙසෙන ක්‌ෂුද්‍රජීවීන් සහභාගී වන අතර ඉතිරි සැම අවස්‌ථාවක දී ම ක්‍රියාත්මක වන්නේ මීතේන් ජනකයන් ය.

මීතේන් වායුව වහා ගිනිගන්නාසුලු වායුවක්‌ වන අතර ජීව වායුව ලෙස ශක්‌ති අවශ්‍යතාව සදහා ලොව බොහෝ රටවල යොදාගනී. මේ සඳහා නිර්වායු තත්ත්ව ඇති කරමින් නිසි පරිසර ලබා දී මීතේන් වායුව එකරැස්‌ කරගැනීමට තාක්‌ෂණය වැඩි දියුණු වී ඇත. එනිසා ය, එකතු වන කාබනික කසළ ධන උල්පතක ලෙස හඳුන්වන්නේ.

වාතයේ ප්‍රතිශතයක්‌ ලෙස මීතේන් වායුව මේ වන විට බිලියනයකට කොටස්‌ 1800ක්‌ පමණ අඩංගු වේ. පසුගිය ශතකය තුළ මීතේන් සාන්ද්‍රණයේ ඉහළ යැම මානව ක්‍රියාකාරකම්වල වර්ධනය පිළිබිඹු කරයි. හරිතාගාර වායුවක්‌ ලෙස ප්‍රමුඛ කාර්යයක්‌ ඉටු කරන මීතේන් වායු සාන්ද්‍රණය ඉහළ යැම ප්‍රමුඛ වන්නේ උත්තර අර්ධගෝලයේ බව පැවසේ.

වායුගෝලයේ මීතේන් ප්‍රතිශතය 5%කට වඩා අඩු නම් ස්‌වාභාවිකව ගිනිගැනීමේ ප්‍රවනතාවක්‌ නොමැති අතර එයට වඩා වැඩි වන විට ඉබේ ගිනිගැනීමට ඇති හැකියාව ඉහළ යයි. යම් තැනක මීතේන් සාන්ද්‍රණය 15%ක්‌ පමණ වන්නේ නම් ගිනිගැනීමේ හැකියාව ඉතා ඉහළ අතර එය අනතුරුදායක තත්වයක්‌ නිර්මාණය කරයි. බොහොමයක්‌ කසළ බැහැර කරන ස්‌ථානවල මීතේන් සාන්ද්‍රණය වැඩි විය හැකි නමුත් ජනනය වන මීතේන් වහා වායුගෝලය හා මිශ්‍ර වී තනුක වන නිසා සාන්ද්‍රගත වීම වළකයි.

කසළ කඳුවලින් මුක්‌ත වන මීතේන් වායුව විටෙක කසළ කඳු තුළ ම සිර වන්නට පුළුවන. එනිසා අභ්‍යන්තර සාන්ද්‍රණය 50%කට වඩා වැඩි වන්නට පුළුවන. එනමුත් අභ්‍යන්තර පිපිරීමකට ලක්‌ වන්නට ඇති හැකියාව අඩු බව ය විද්‍යාඥයන් පවසන්නේ. එහෙත් එලෙස සාන්ද්‍රගත වූ මීතේන් වායුව බාහිරයට ගලා යැම නිසා සිදු වන තනුකකරණය (සාන්ද්‍රණය පහළ බැසීම) ගිනිගැනීම් සඳහා හේතු වන බව සොයාගෙන තිබේ.

පියවර ගණනාවක්‌ ඔස්‌සේ සිදු වන මීතේන් දහන ක්‍රියාවලියෙන් ලැබෙන්නේ කිලෝග්රෑමයකට මෙගා ජූල් 55.5ක ශක්‌තියකි. මීතේන් ශක්‌ති ජනකයක්‌ ලෙස භාවිතය ඉතා ප්‍රචලිත අතර ස්‌වාභාවික වායු මිශ්‍රණවල බොහොමයක්‌ ඇත්තේ මීතේන් වායුවයි.

ගෙදරක එකතු වන කාබනික ද්‍රව්‍ය (ආහාර, මළ ද්‍රව්‍ය ඇතුළුව) භාවිත කර මීතේන් ජනකයක්‌ නිර්මාණය කළ හැකි අතර බොහොමයක්‌ මෙරට විශ්වවිද්‍යාල සහ මේ පිළිබඳව උනන්දු වන ආයතන මේ සදහා විවිධ නිර්මාණ ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව ඔබත් සැලකිලිමත් වන්නේ නම් එය මෙරට කසළ කළමනාකරණයට ඔබ දක්‌වන සෘජු දායකත්වයක්‌ බව වටහාගත යුතු ය. ඔබේ නිවහන තවම ඉදි කර නැතිනම් මේ කටයුත්ත ඉතා පහසු වේ. මීතේන් ජනකය එහි ම එක්‌ කොටසක්‌ ලෙස ඉදි කර මීතේන් වායුව ජනනය කර භාවිතයට ගත හැකි ය. අපතේ යන සම්පත් භාවිතයට ගෙන අප ශක්‌ති සුරක්‌ෂාව තහවුරු කළ යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...