මානසික ආතතියෙන් මිදෙන්නට බොහෝ දෙනකු සොයා යන්නේ තවමත් නොකැළැල් ව ඇති සුන්දර සොබාවික පරිසරයටයි. ජනාකීර්ණ බවෙන් මිදී, ග්‍රාමීය පරිසරයක වුව දින කිහිපයක් ගත කිරීම කලෙක සිට ගොඩගැසුණ චිත්ත පීඩනය මුදා ලන්නට හේතු වන බව අමුතුවෙන් විස්‌තර කරන්නට වුවමනා නො වේ. විශේෂයෙන් ම කොළඹ ජනාකීර්ණ බව තුළ ඇත්තේ ලෙඩුන් බිහි කරන පරිසරයක් බව නිශ්චිත ය. කන්නට පිරිසිදු කෑම ද, බොන්නට පිරිසිදු ජලය ද, හුස්‌ම ගන්නට පිරිසිදු වාතය ද පමණක් නො ව අහිමි වී ඇත්තේ නිශ්චල බව ද 'මනරම් දැකුම' ද බව මොහොතක් සිතා බලන විට පැහැදිලි වෙයි. එනිසා ම එවැනි පරිසරයක දිනෙන් දින බිහි වන්නේ අකර්මණ්‍ය වන ජනතාවකි.
ශ්‍රී ලංකාව පාරිසරික දූෂ්‍ය බවෙහි උපරිමයට ළං වෙමින් සිටින බව පෙනී යයි. නොදැනුවත් ව මානසික ආතතිය ඇති කරන 'දෘශ්‍ය දූෂණය' පිළිබඳව මෙරට තවමත් නිසි කතාබහකට ලක් ව නැත. අනෙකුත් භෞතික දූෂකයන් පිළිබඳ වූ ගැටලු ලිහා දැමීමට අපොහොසත් කල මෙවැන්නක් ගැන කතා කරන්නට තරම් අවධානයක් නො තිබෙන බව එක අතකට පුදුමයකුත් නො වේ.
තැනින් තැන ගොඩ ගැසෙන කසළ කඳු මෙන්ම මහා මාර්ග අසල නිවාස ඉදිරිපිට අත්හැර ඇති කසල මලු ද ගෙන එන්නේ අප්‍රියජනක දර්ශන බව අමුතුවෙන් පවසන්නට අවැසි නො වේ. අද බොහෝ දෙනකු තම ගෙවත්තෙන් එළියට මෙලෙස කසළ මලු දමන්නේ ඒ ප්‍රදේශයේ සැරිසරන අනෙකුත් ජනතාව ගැන අංශු මාත්‍රයක් හෝ සිතා නො වේ. ගේට්‌ටුවල ද, ගේට්‌ටු කණු අසල ද, විදුලි කණු අසල ද කසල මලු ගොඩගසා විනාශ කර දමන්නේ ඔබ අප සියල්ලන් ම විඳින සුන්දර දසුන් බව අමතක නො කළ යුතු ය. එම ක්‍රියාකලාපය එම ජනතාව ගේ චිත්ත ආවේගවල පිළිබිඹුවක් යෑයි අයකුට තර්ක කළ හැකි ය.
ජනාකීර්ණ බවෙහි තවත් ලක්‌ෂණයක් වන්නේ ගුවන වසා ලන තට්‌ටු ගොඩනැගිලි ය. විවිධ හැඩයන් ද, විවිධ පැහැයන් ද හේතුවෙන් ඉතා සංකීර්ණ ගුවනක් තනාලයි. ඉතා ආසන්නයෙන් අහස උසට තනන ගොඩනැගිලි එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව ගේ සිත් තුළ නොදැනුවත් ව ම ඇති කරන්නේ සිර වූ මානසිකත්වයකි. දිගු කාලීන ව මෙවැනි පරිසරවල වාසය කිරීම විවිධ මානසික පීඩාවන් සඳහා හේතු විය හැකි ය. ආලෝක ප්‍රතිවර්තනයට හේතු වන පැහැයන් ද කවුළු මෙන්ම විසල් බිත්ති ද දිගු කාලීන චිත්ත පීඩා ඇති කරන්නේ අප නොදැනුවත් ව ය. පසුගිය සමයේ ගොඩනැගිලි වසා ලූ තාප්ප එකිනෙක ගලවා ඈතට පෙනෙන දර්ශන කොළඹ නගරය තුළ ඇති කළ විට අත්‍යන්තයෙන් ම අප වින්ද එම නිදහස කිසි දා අමතක නො වේ.
විවිධ පැහැයන් ස්‌වාභාවික පරිසරය තුළ කොතෙකුත් ඇත්තේ කදිම මිශ්‍රණයක් ලෙසින් මිස තනි තනි ව නො වේ. ගහ කොළ ගෙන එන කොළ පැහැය කෙදිනක වත් කෘත්‍රිමව ලබාගත නොහැකි බවට කොළ පැහැති ගොඩනැගිලි උදාහරණ ගෙන එයි. එනිසා ගොඩනැගිලි වර්ණවත් කිරීමේ දී ඉතා සැලකිලිමත් විය යුත්තේ දිගු කාලීන දැකුම් සිත් ලෙඩ කරන්නට හේතු වන බැවිනි. මෙරට තුළ මෙවැනි කරුණු සැලකිල්ලට නො ගැනීම නිසා ජනතව තමා කැමැති පැහැයේ නිදහස භුක්‌ති විඳින මුත් සමස්‌තයක් ලෙස එය පරිසරයට ගෙන එන්නේ අලංකාරයක් නො වන බව පැහැදිලි වේ. රටක් ලෙස තීන්දු තීරණ ගැනීමේ දී කලබලකාරී නගර සන්සුන් කරන්නට පැහැය ද හේතුවක් බව සැලකිල්ලට ගත යුතු ය.
විවෘත පරිසරයන් තුළින් අප විඳින දිගු දුර දර්ශන දැකුම් වළකාලන විසල් දැන්වීම් පුවරු දෘශ්‍ය දූෂණයේ තවත් ප්‍රමුඛයෙකු ලෙස හඳුනාගත හැකි ය. ජනාකීර්ණ නගර තුළ පමණක් නො ව ගම්බඳට යත් ම පවා විසල් දැන්වීම් පුවරු ගුවන ආක්‍රමණය කර ඇත්තේ ගැමි සුන්දරත්වය සපුරා විනාශ කරමිනි. ජනතාව යම් යම් දේ මිල දී ගැනීම සඳහා පොලඹවාලන මේ දැකුම් දිනපතා දර්ශනය වීම සියුම් ලෙස අපටත් හොරා එම දැන්වීම යටිසිතෙහි තැන්පත් කරන්නේ අනවශ්‍ය නම් එවැනි දේ ප්‍රතික්‌ෂේප කිරීමේ අයිතිය ද අහිමි කරමින් බව වටහාගත යුතු ය. මේ දැන්වීම් පුවරු ගෙන එන (අ)ප්‍රසන්න දර්ශන වර්තමාන කෘත්‍රිම පරිසරයේ ප්‍රමුඛ බව තවතවත් ඉස්‌මතු කරයි.
දෘශ්‍ය දූෂණයේ පෙරගමන්කරුවන් දේශපාලන මැතිවරණ සමයේ දී මතු වෙයි. ඇසට හසු වන සැම මායිමක ම තම බල ප්‍රදේශය සනිටුහන් කරමින් මැතිවරණ දැන්වීම් අලවන්නේ ප්‍රදේශයේ ජනතාව දකිය යුතු එක ම දසුන එය බවට පත් කරමිනි. ඉවත් කිරීමට පවා අධික මුදලක් වැය වන මෙවැනි ක්‍රියා තහනම් කිරීම සඳහා නීති සකස් විය යුතු බව අමුතුවෙන් වටහා දිය යුත්තක් නො වේ. මෙරට ජනමාධ්‍ය බොහෝ පවතිද්දී, සන්නිවේදන දියුණුව වැඩි වෙද්දී මෙවැනි යල් පැන ගිය සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයන් අනවශ්‍ය දෑ සඳහා භාවිතය නැවැත්විය යුතු ය. ඒ අවස්‌ථාවන් යම් යම් හදිසි සහ ආපදා දැනුම් දීම වැනි ජනතාව ගේ සුබසාධනයට හේතු වන පණිවිඩ සඳහා වෙන් කළ යුතු ය.
මෙරට පුරා ඉදි කර ඇති විසල් දැන්වීම් පුවරු වලට 'ආයුබෝවන්' නො කිය යුතු ය. වහ වහා ඒවා ගලවා දැමීමට ද නැවත ඉදි නො කිරීම ද සඳහා තීන්දු තීරණ ගන්නේ නම් මෙරට ඇති අපූරු දර්ශන සුන්දරත්වය රැකගත හැකි ය. දෘශ්‍ය දූෂණය හේතුවෙන් චිත්ත පීඩනයෙන් පිරුණ ජනතාවක් බිහි වීම වළලකාලන්නට එවැනි ක්‍රියාමාර්ගයක් හේතු වෙයි. එය අපට නො දැනීම රටෙහි අඩාළ වන දියුණුව නගාලන්නට දිරියක් වෙයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ