පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 3.
Orginally publlished on Vidusara, 22.01.2020.
මෙවර අපේ සංචාරය යාපනයට. යාපනේ අච්චුවේලි ප්‍රදේශයේ සිදු වූ භූ අස්ථාවරත්වයක් නිරීක්ෂණය කිරීමයි අපේ අරමුණ වුනේ. අච්චුවේලි ප්‍රදේශයේ කුඹුරක කොටසක් ගිලා බැහැලා. ඒ අසල වූ ගෙයක් මැදින් තමයි පැල්ම ඇතිවෙලා තිබුනේ. ඒක හින්දා ගේ දෙකට මැදින් කැඩිලා. අඟල් කිහිපයක් ඈත් වෙලා. රතු පාට පස් පිරුණ කුඹුරේ මීටර් 70 ක විතර ලොකුවට රවුමට පැල්මක් වැටිලා. අඟල් කිහිපයක් පැල්ම ආසන්නයේ ගිලා බැහැලා.
භූ පැල්මවල් සහ ගිලා බැසීම් වෙන්නේ කොහොමද කියලා ගොඩ දෙනෙකුට පැහැදිළි නැහැ, විශේෂයෙන්ම යාපනේ. යාපනය අර්ධ ද්වීපය නිර්මාණය වෙලා තියෙන්නේ හුණු ගල් වලින්. මේ හුණුගල් භූ විද්‍යාත්මකව අවසාදිත පාෂාණ වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. හුණුගල් රසායනිකව කැල්සියම් සහ මැග්නීසියම් සහිත කාබොනේටයක් ලෙසයි ගැනෙන්නේ. යාපනයේ හුණුගල් හදුන්වන්නේ මයෝසීන හුණුගල් ලෙසයි. ඒ මොකුත් නිසා නෙවෙයි, මේ හුණු ගල නිර්මාණය වෙන්නේ මයෝසීන කාලයේ හින්දා.
මයෝසීන කාලය දිග්ගැහැන්නේ වසර මිලියන 23 විතර ඉඳලා වසර මිලියන 5 පමණ කාලය වෙනකම්. ඔය කාලය තුල දී අවසාදනය වන්නට ඇතැයි සිතන මේ හුණුගල් ව්‍යාප්තිය යාපනයේ සිට පුත්තලම් ප්‍රදේශය දක්වාම බටහිර වෙරළ තීරය දිගේ හීනි පටියක් වගේ දැක ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවුන අපසාරී තල මායිම හරහා දෙපසට මේ භුමි භාගයන් වෙන් වෙන්නට පටන් ගත්තට පස්සේ ඇතිවුන මුහුදු කලාපය හඳුන්වන්නේ කාවරී ද්‍රෝණිය කියලා. කාවරී ද්‍රෝණියේ තමයි මුලින්ම මේ හුණුගල් අවසාදනය වන්නට ඇත්තේ. මෙහි සිදු වූ අවසාදනය බොහෝ විට රසායනික ක්‍රියාවලියක්. අධික උෂ්ණත්වය නිසා කාවරි ද්‍රෝණියේ සාගර ජලයෙහි කාබොනේට සාන්ද්‍රණය වැඩි වීම නිසා මුහුදු පත්ලේ හුණු තැන්පත්වන්නට ඇති. ඒ සමග මුහුදු ජිවින්ගේ කවච මිශ්‍ර වන්නට ඇති. ඒ හින්දා තමයි යාපනේ හුණුගල් වල මුහුදු බෙල්ලන්ගේ කවච බහුලව දැක ගන්නට පුළුවන් වෙන්නේ. මේ කවචත් මයොසීන කාලයට ම අයිති ඒවා. ඒ කියන්නේ අඩුම තරමින් වසර මිලියන පහක්වත් පරණයි. පැරණිම ඒවා නම් වසර මිලියන 23ක් වත් පරණ වෙන්න ඕනෙනේ.
මයෝසීන කාලයේ තමයි මුලින්ම සුනඛයන්, හයිනාවන්, මුවන්, ජිරාෆයන් සහ වලසුන් ලෝකයට බිහිවන්නේ. අශ්වයන්ගේ පරිණාමය සිදුවන්නේත් මේ කාලයේමයි. ඒ වගේම නූතන අලින්ගේ මුතුන් මිත්තන් බිහිවන්නේත් මයෝසීන කාලයේ දීම තමයි. උකුස්සන්, කොකුන්, කපුටන්, ගේ කුරල්ලන් පමණක් නොවෙයි බකමූනොත් මේ කාලයේ තමයි එලි බහින්නේ. උසස් රුක්වාසීන්ගේ පරිණාමයත් මේ කාලයේ සිදුවන අතර මයෝසීන කාලයේ අවසානය වන විට මානවයන්ගේ ආදීතමයන් බිහිවන්නට ඇති බව සිතිය හැක. මේ හා බැඳුන අනේක වර්ග වල ප්‍රාග් ජීව ධාතුන් (fossil) ලෝකයේ විවිධ රටවලින් වාර්තා වේ.
යාපනයේ ප්‍රදේශය ගොඩනැගුන මේ හුණුගල් පාෂාණයේ විවිධ වර්ගවල මුහුදු බෙල්ලන් දක්නට ලැබෙනවා. ඔවුන්ගේ කවච අද වෙනකොට අපිට දක්නට ලැබෙන්නේ ඒවා ඉතා හොඳින් සංරක්ෂණය වුන හින්දා. ජෛව විශේෂ සංරක්ෂණය, එහෙම නැත්තන් ප්‍රාග් ජීව ධාතුකාරණය, ඉතා අපූරු ක්‍රියාදාමයක්. දිගු කාලයක් ගතවන භූ රසායනික ක්‍රියාදාමයක්. මල සතුන් මුහුදු පත්ලේ වැලලුන විට ඒ මත ගොඩ ගැහෙන මුහුදු කලිල (මඩ) නිසා තමයි සංරක්ෂණ ක්‍රියාදාමය සිදුවන්නේ. සුමට මාංශමය කොටස් කුණු වී යද්දී විවිධ රසායන්ගෙන් සපිරි කලිල කුහරය තුලට රිංගා ස්ඵටීකීකරණය වෙනවා. මුහුදු කලිල වල හුණු බහුල අවස්තාවලදී එමගින් ප්‍රතිඛණිජකරණය සිදුවන අතර සිලිකා බහුල අවස්තාවලදී සිලිකා මගින් ප්‍රතිඛණිජකරණය සිදුවෙයි. හුණුගල් නිර්මාණය වීමේදී මුහුදු පත්ලේ ඇති හුණු සහ සිලිකා කලිලත් මුහුදු සතුන්ගේ කවචත් මිශ්‍රව පාෂාණීභූත වී තමයි මෙම අවසාදිත පාෂාණය බිහිවෙන්නේ.
යාපනයේ හුණුගල් උද්ගතයන් යම් යම් ස්ථාන වල ඉතා හොඳින් දැක බලා ගැනීමට පුළුවන. නමුත් හුණුගල් ඉතා ඉක්මනට ජීර්ණයට සහ ඛාදනයට ලක් වෙන අතර පාෂාණයේ සංයුතියේ ඇති වෙනස්කම් මේ සඳහා හේතු වෙනවා. සිලිකා වැඩි ස්ථාන ජීර්ණයට යම් ප්‍රතිරෝධී තත්වයක් දක්වන නිසා උද්ගතයන් ඇති කරන්නට හේතුවෙනවා. හුණු වැඩි තැන් ඉතා වේගයෙන් ජීර්ණයට ලක්වන්නේ (වර්ෂා ජලය තරමක් ආම්ලික) ජලයේ ඉතා පහසුවෙන් දියවෙන නිසා. පාෂාණයේ ඇති කුස්තූර සහ පැලුම් අතරින් රිංගන මතුපිට ගලායන වතුර හුණු දිය කරන නිසා අභ්‍යන්තරයේ කුහර ඇති කරන්නට හේතුවෙනවා. මේ කුහර ක්‍රමයෙන් විශාල වෙමින් මතුපිටට ලං වූ විට, ඉහලින් වූ බර දරාගන්නට නොහැකි වී මතුපිට ගිලා බහිනවා. අච්චුවේලි සිදුවීමට හේතු වී ඇත්තේ ද මෙයමයි. සිදුකරනු ලැබූ භූ භෞතික පරීක්ෂණ වලින් ද අභ්‍යන්තරයේ කුහර ඇති බව තහවුරු වෙලයි තියෙන්න. මේ ප්‍රදේශයේම තියෙන ‘මංඩපායි’ ගල් ගුහාව එලෙස නිර්මාණය වූවක්.
කෙසේනමුත් යාපනයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී භූ ස්ථාවරත්වය පිළිබඳව ඉතා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රථම භූ අභ්‍යන්තයේ ස්ථායිතාවය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක්. මේ තත්වය භයානක වෙන්නේ ක්‍රමයෙන් ඉදිකරන ගොඩනැගිලි ප්‍රමාණය වැඩි වෙනකොට. ශ්‍රී ලංකවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් භූ අභ්‍යන්තරයේ ස්ථායිතාවය පිලිබඳ එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ සඳහා යන වියදම අනවශ්‍ය වියදමක් ලෙසයි බොහෝ දෙනා සිතන්නේ. නමුත් මේ පරීක්ෂණ ඉතා වැදගත්. විශේෂයෙන්ම හුණුගල් ඇති ප්‍රදේශ වලට.
හුණුගල් විපරීතකරණයෙන් තමයි කිරිගරුඬ (මාබල්) පාෂාණය හැදෙන්නේ. ඒත් රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. දෙකේම තියෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම් කාබොනේට ය. ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රදේශයක් පුරා පැතිරී තියෙන්නේ විපරීත පාෂාණ. ඒඅතර කිරිගරුඬ පාෂාණයත් බොහොමයක් අවස්තාවලදී හමුවෙනවා. මාතලේ, දිගන, නිල්දන්ඩාහින්න, ඇලහැර, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවලින් යම් යම් ගිලා බැහීම් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ඇති බොහොමයක් ගල්ගුහා නිර්මාණය වන්නටත් මූලික හේතුව වෙන්නේ මෙම විපරීත හුණුගල් පාෂාණ දියවී සෑදෙන භූ අභ්‍යන්තර කුහර.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ