Friday 27 March 2020

මොකක්ද මේ කොරෝනා?
This article is originally published on Divaina, 27.03.2020.

කොරෝනා වෛරසය මගින් ඇතිවන්නා වූ රෝගය හඳුන්වන්නේ COVID-19 ලෙසයි. එය ඇතිකරන වයිරසය හඳුන්වන්නේ SARS-CoV-2 (Severe Acute Respiratory Syndrome Coronavirus 2) ලෙස බව කීයෙන් කී දෙනෙකු නිසි ලෙස දන්නේ දැයි කිව හැකිද? මේ සඳහා හේතුවන්නේ වෛරස නාමකරණයේ සොබාවය අනුවයි. ඒ සඳහා යොදාගන්නා විද්යත්මක ක්රමවේදය අනුව එම වෛරසයට එම නාමය ලැබී තිබේ.

කොරෝනා කල කලබලය
කෙසේ වෙතත් මේ කරදරකාරී වෛරසය ලෝකය පුරා ඇතිකර ඇති කලබලය නිසා බොහෝ දෙනෙකු වල්මත් වී ඇතිබව පැහැදිළිය. බොහෝ රටවල් මේ වනවිටත් මෙම රෝගය නිසා හෙම්බත් වී ඇති බවත් දරුණු ලෙස යම් යම් අපහසුතාවයන්ට ලක්වී ඇති බවත් පැහැදිළිව පෙනී යන කරුණක්. ඉතාලිය මේ වනවිට ඉතා අසීරු තත්වයට පත් වූ රටවලින් එකක්. චීනය කෙසේ හෝ මෙම ආපදාවෙන් ගැලවෙන්නට සමත්වී ඇති බව පෙනී යයි. ඔවුන් පවසන ආකාරයට මේ වන විට නව රෝගීන් වාර්තා නොවන තරම්ය. එයින් පැවසෙන්නේ රෝගයේ ව්යාප්තිය සිමා වී ඇති බවයි.

මාර්තු මාසයේ විසිවන දින වන විට රටවල් 159 ක මෙම තත්වය වර්ධනය වී ඇති බව අලුත්ම වාර්තා පවසයි. ඒ අතරට ශ්රී ලංකාව මෙම අර්බුධයට ඉතා දරුණු ලෙස ලක් වූ දකුණ ආසියාතික රටක් බව පෙනී යයි. ජනවාරි මාසයේ සිටම මේ සම්බන්ධව ආපදා කළමනාකරණ සැලැස්මක් ක්රියත්මක වුවද රාජ්ය පරිපාලනයේ දුබලතා නිසාද සහ එහි වූ සිදුරුද නිසා ඉතාලියේ සිට පැමිණි රෝග වාහකයන් මෙම ආපදාව බරපතල තත්වයට පත්කර ඇති බව නොකියාම බැරිය. එනිසා මෙම පැතිරීම සොබාවික පැතිරීමකට වඩා එහා ගොස් ප්රභල බලපෑමක් ජන සමාජය වෙත ලක් කර ඇති බව අප වටහා ගත යුතුය.

වයිරසයේ විවාදාත්මක උත්පාදනය
මේ SARS-CoV-2 වෛරසය ආරම්භ වුයේ කෙසේද යන්න සොයා බැලීම වටී. දැනට ලැබී ඇති නවතම දත්ත වාර්තා අනුව මෙම වෛරසය සොබාවිකව ව්යාප්ත වූවක් බව එම පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. මින් පෙර ගෝලීය මතය වුයේ කොහේ හෝ රසායනාගාරයක මෙම වෛරසය උත්පාදනය කරන ලද්දක් බවයි. එසේ වූවා නම් ඒ කුමන අවශ්යතාවයක් උදෙසා ද යන්න ද විමසා බැලිය යුතු කාරණයකි. මෙම වෛරසය කරලියට ආවේ චීනයේ හුබෙයි නම් වූ ප්රාන්තයේ වූහාන් නම් වූ නගරයෙනි. එම නගරයේ මාංශ අලවිකරණ වෙළඳ පොළකින් ව්යාප්ත වූවා ද යන්න ඔවුන්ගේ සැකයට තුඩු දුනි. එනම් පළමුව පර්යේෂණයට ලක් කල සතුන්ගේ ශරීර තුල ව්යාප්ත වූ මෙම වෛරසය ක්රමයෙන් මිනිස් ශරීරය ග්රහණය කරගත් බවයි. නමුත් නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ එවැනි ජාන ඉංජිනේරු ශිල්පීය ක්රමයකින් මෙම වෛරසය නිපද වී නොමැති බවයි. එය සනාථ කිරීම සඳහා මෙම පර්යේෂකයන් යොදා ගන්නේ වෛරසයේ ජාන කිටුව වන අතර වෛරසයේ ප්රෝටීන කොපුවේ රසායනය ද මේ සඳහා උපකාරී කරගෙන ඇත. මෙම පර්යේෂකයන්ගේ විද්යත්මක තර්කය අනුව සොබාවික සත්ත්ව ශරීර තුල සොබාවික වර්ණයට ලක් වෙමින් ජාන විකෘතියට ලක්වී මෙම නව කොරෝනා වෛරසය උත්පාදනය වන්නට ඇති බවත් පසුව එය සතුන් හරහා මිනිස් දේහයන් නතුකර ගන්නට ඇති බවත්ය. පැතිරීම සඳහා මානවයාත්, වයිරසයේ ජාන විකෘතිය සඳහා සතුන්ගේ දේහයනුත් (වවුලන්) මෙම වෛරසය භාවිතා කරන්නට ඇති බව මෙම පර්යේෂණ වාර්තා සංක්ෂිප්ත කරයි.

කොරෝනා පවුලේ වයිරස...
මේ වනවිට සොයාගෙන ඇති තතු අනුව කොරෝනා යනු තනි වෛරසයක් නොව එය වෛරස ගණනාවකින් සමන්විත පවුලක් බව සඳහන් වේ. කොරෝනා පවුලේ වෛරස පොදුවේ ක්ෂීරපායින් සහ කුරුල්ලන් කේන්ද්ර කරගෙන රෝග ඇතිකරන බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරස ඇතිකරන ලෙඩ රෝග වල සුවිශේෂීතාවය වන්නේ එමගින් ප්රධානම බලපෑම ඇතිකරන්නේ ස්වසන පද්ධතියට වීමයි. මේ නිසා සමහර විට සුළු අසනීප තත්වයක්, හරියට අපට හැදෙන සෙම්ප්රතිශ්යා තත්වයක් මෙන් විය හැකි වුවද සමහර වෛරස නිසා නිව්මෝනියාව වැනි අපහසුතා ඇතිකරමින් මාරාන්තික තත්වයන් ඇති කරන්නට හැකි බව විද්යාඥයින් සොයා ගෙන ඇත. සතුන් තුල ඇතිකරන සංකූලතා වෙනස් විය හැක.

මෙවැනි මාරාන්තික තත්වයන් මෙයට පෙර අවස්ථා කිහිපයකදීම මෙම වෛරසයන් විසින් ඇතිකර ඇත. 2002 නොවැම්බර් මාසයේ සිට 2003 ජූලි මාසය තෙක් චීනයේම යුනාන් ප්රදේශයේම ව්යාප්ත වූ SARS වෛරසය නිසා ලොව පුරා රටවල් 17 කින් මරණ 774 වාර්තා කරන්නට හේතු විය. එහි මරණිය තත්වය 9.6% විය. පසුව අනාවරණය වූයේ මෙය ද මිනිසාට පැතිරෙන්නට හේතු වී ඇත්තේ වවුලන් සහ චීන උරුලෑවන්වැනි සතුන් මගින් බවයි. මේ නිසා ඉතා දරුණු ලෙස චීනය ද හොන්කොන් රාජ්යය ද වසංගත තත්වයෙන් පිඩා විඳි බව අමතක නොවේ. 2004 වන තෙක් මෙම වෛරසයේ ක්රියාකාරිත්වය වාර්තා නොවූ බව සඳහන් වෙයි. ඒ හා සමාන වෛරසය වන SARS CoV-2 කරලියට එන්නේ පසුගිය වසරේ දෙසැම්බර මාසයේ සිටයි.
2012 අප්රේල් මාසයේ ජෝර්දානයෙන් මතු වූ “ඔටු උන” (MESR- Middle East Respiratory Syndrome) ද ඇතිකරන්නට හේතුවන්නේ මෙම කොරෝනා පවුලේම වෛරසයකි. මෙම තත්වය එම වසරේම සැප්තැම්බර් මාසයේ දී වසංගතයක් ලෙස සවුදි අරාබියාවෙන් පැතිරුණ අතර මෙම වෛරසය 2015 දී දකුණු කොරියාවේ වසංගත තත්වයක් නිර්මාණය කරවීය. මෙම රෝගී තත්වය නිසා ආසාදිතයින්ගෙන් තුනෙන් එකෙක් පමණ මරණයට පත් විය. ඔටු උන ඇතිකළ MERS- CoV වෛරසය ද වවුලන්ගෙන් ඇතිවුන බවට සැකකරන අතර මැදපෙරදිග ඔටුවන් රෝග වාහකයන් ලෙස ක්රියාකරන්නට ඇති බව විද්යාඥයින් විශ්වාස කරයි.
ඉහත සඳහන් කල වෛරස තුනත් සමග තවත් වෛරස හතරක් මේ වන විට කොරෝනා පවුලෙන් උත්පාදනය වී ඇති අතර පසුව සඳහන් කරන වෛරස හතර එතරම් කලබලකාරී තත්වයන් ලෝකයාට ඇතිකර නැත. එනිසා එමගින් දරුණු වසංගත තත්වයන් ඇති වී නොමැත.

කොරෝනා වෛරසයේ හැටි කොහොමද ?
කොරෝනා යන නාමය ලැබී ඇත්තේ වෛරසයේ ඉතා අපූරු පිටත කොපුවක්/කවරයක් ඇති නිසා බව පැවසේ. එම කොපුවේ ඉහලට එසවුන කුඩා ගෝලාකාර කුළුණු වැනි අවයව නිසා යම් දරුණු පෙනුමක් මෙන්ම අලංකරණයක් ද එක් වී ඇති බව පෙනී යයි. මෙනිසා ගෝලාකාර වෛරසය ඔටුන්නක් වැනි ස්වරුපයක් ගෙන ඇති බව පවසන විද්යඥයින් මෙම ‘කොරෝනා’ යන නාමය එනිසා මෙම වෛරසයට පට බඳින ලද බව පවසයි. ‘කොරෝනා’ යන නාමය ලතින් භාෂාවෙන් පවසන්නේ ‘ඔටුන්න’ යන්නයි. කොරෝනා වෛරසයේ ප්රමාණය නැනොමිටර 120 ක් පමණ වෙයි. නැනෝ මීටරයක් යනු මීටරයකින් බිලියනයකින් පංගුවක් පමණ වේ.

කොරෝනාවත් අනෙකුත් සෑම වෛරසයක් මෙන්ම පිටත කොපුවකින්/කවරයකින් සහ ඇතුලත ජාන අඩංගු වර්ණ දේහ දාමයකින් සමවිත වෙයි. මෙම වර්ණදේහ දාමය සමන්විත වන්නේ සුවිශේෂී ප්රෝටිනයක් හා වෙලුණ ආර්.එන් ඒ (RNA) නමින් හැදින්වෙන නියුක්ලෙයික් අම්ල දාමයකිනි. සෑම කොරෝනා වෛරසයකම අඩංගු වන්නේ මෙවන් වූ සංයුතියක් වන අතර විද්යඥයින් පවසන අන්දමට ප්රභල වසංගතයන් නිර්මාණය කරන්නේ ද මෙයට සමාන වූ වර්ණදේහ සංයුතියක් ඇත්තවුන් විසිනි.
බාහිර කොපුව පිහිටන්නේ ඇතුලතින් පිහිටි ද්විත්ව ලිපිඩ ස්තරයක මත වන අතර පිටත කවරය තව තව අලංකාර වන්නේ වෛරසයේ ප්රෝටීන වලින් නිමැයුනු ගෝලාකාර කුළුණු මගිනි. මේ ලිපිඩ ස්ථරය මෙන්ම පිටත කවරයද බොහෝවිට නිර්මාණය කර ගන්නේ අවසාදිතයාගේ සෛලයක සෛල පටලයකිනි.

සෑම වෛරසයක්ම මෙහෙමද ?
සෑම වෛරසයකම ස්වරුපය සහා ව්යුහය සරලව බොහෝ දුරට මේ ආකාරයෙන් වෙයි. ඉහත කී ලෙස එහි ලෙස ප්රධාන අංග දෙකකි. පළමුවැන්න ඉහත සඳහන් කල බාහිර කොපුව සහ දෙවැන්න වන්නේ ඇතුලත ජාන අඩංගු වර්ණදේහ වැනි දාමයකිනි. මේ තුල වෛරසයේ සියලු තොරතුරු අඩංගු වන අතර එමගින් වෛරසයේ පැවැත්ම පාලනය කරනු ලබයි. මේ වර්ණදේහ දාමය සමන්විත වන්නේ ප්රෝටීන වලින් සහ DNA නම් වූ නියුක්ලෙයික් අම්ල වලින් හෝ RNA නම් වූ නියුක්ලෙයික් අම්ල වලිනි.
වෛරස සජීවී ජීවින් කොටසක් ලෙස විද්යාඥයින් විසින් සලකන්නේ නැත. මන්දයත් ජීවි දේහයක් පිටත දී එහි සියලු ක්රියාකාරකම් අකර්මන්ය වන බැවිනි. වෛරසයේ සියලු ක්රියා සජීවී ලෙස පටන් ගන්නේ සජීවී ජීවි දේහයක් තුලට ඇතුල් වූ පසුවයි. එනිසා මේ වෛරස විද්යාඥයින් විසින් හඳුන්වන්නේ මරණයේ එළිපත්තේ සිටිනා ජීවී ද්රවයන් ලෙසයි. සෑම වෛරසයකම බාහිර කොපුවේ ඇත්තා වූ රූපකාය මත එහි ස්වරුපය වෙනස් වන අතර බොහෝවිට සෑම ගුණනයකින් පසුවම එය ඒකාකාරී ලෙස පවත්වා ගනී. නමුත් මේ තත්වය AIDS වෛරසයේ දක්නට නොමැති අතර එය සජීවී දේහතුල ගුණනය වන වාරයක් පාසා තම බාහිර රූපකාය වෙනස්කර ගන්නට වග බලා ගනී.

සෑම වෛරසයකම හැඩය ආවරණය වූ ගෝලාකාර හැඩයක් නොගන්නා අතර මෙම හැඩයට අමතරව තවත් ප්රධාන හැඩ තුනක් හඳුනගෙන ඇත. එක හැඩයක් වන්නේ බහුඅශ්රකාර හැඩයයි. අනෙක් හැඩය දණ්ඩාකාර වන අතර හතරවැනි හැඩය වන්නේ රොකට්ටුවක් වැනි

වෛරසයේ ගුණනය ?
සජීවී දේහ තුලට ඇතුළුවන මෙම වෛරස තම වර්ගයා බෝ කරන්නට පටන් ගනී. එය ගුණනය ලෙස හඳුන්වයි. මේ සඳහා අවශ්ය පෝෂණය සහ ශක්තිය ලබා ගන්නේ අවසාදිත ධාරකයගෙනි. සියයට සීයක් පරපෝෂී ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරස වල ක්රියාකාරිත්වය නිසා ධාරකයාගේ දේහ සෛල විනාශවන්නට පටන් ගනී. මෙම ගුණන ක්රියාදාමය සඳහා ශාක දේහ මෙන්ම සත්ත්ව දේහ ද විවිධ වෛරස විසින් යොදා ගන්නා බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

කොරෝනා වෛරසය මෙන්ම සෑම වෛරසයක්ම බොහෝ විට සමාන ක්රියාදාමයක් තම ගුණනය සඳහා යොදා ගනී. ධාරක දේහය තුලට ඇතුළුවන වයිරසය ධාරක සෛල සිදුරුකර තම ජාන අඩංගු ද්රවය ධාරක සෛලය තුල නික්ෂේපණය කරනු ලබයි. ධාරක සෛලය තුලට ඇතුළුවන මෙම ද්රව්ය ලෙහෙන්නට පටන් ගන්නා අතර ප්රෝටීන හා බැඳී තිබු ජානමය ද්රව්ය ධාරක සෛලයේ සෛලය ප්ලස්මයට නිදහස් වෙයි. සෛල ප්ලාස්මයට නිදහස් වන DNA හෝ RNA තම දුහිතෘන් තැනීම සඳහා අවැසි වන ද්රව්ය එක් රස කර ගන්නට හා නිපද වන්නට පෙළඹෙන අතර තම ජාන කිටුව පිටපත් කර දුහිතෘ ජාන කිටු නිපදවා ගනී . නිපද වූ ප්රෝටීන් හා එක්ව මේ ජාන කිටු වර්ණදේහ හා සමාන ජානමය ද්රව්ය ඇතිකරන අතර ඒ වටා ආරක්ෂිත බාහිර කොපුව නිමවා ගනී. මෙලෙස පරිපුර්ණ වූ දුහිතෘ වෛරස විශාල ප්රමාණයක් ධාරක සෛලය තුලින් සෛල පටලය බිඳගෙන එලියට පැමිණෙයි. එය ධාරක සෛලයේ විනාශයට හේතු වෙයි.

මෙම වෛරස ගුණනය සඳහා ශක හා සත්ත්ව සෛල පමණක් නොව බැක්ටීරියා වැනි කුඩා ක්ෂුද්ර දේහ ධාරීන් පවා තම ධාරකයා කර ගන්නා අවස්ථා වාර්තා වෙයි.

වෛරස ඇති වූයේ කෙසේද?
විද්යඥයින් පවසන් අන්දමට වෛරසයේ මුලාරම්භය මතබේදාත්මකයි. සමහර විද්යාඥයින් කියා සිටින්නේ ලොව ආරම්භයේ සිටම මෙම වෛරස ඉඳ ඇති බවයි. එක් තර්කයකට අනුව මුල්ම ජීවින් වන්නේ මෙම වෛරසයි. අකාබනික සංයෝග එකතු වී සාගර පත්ලේ ඇති වූ කාබනික සංයෝග සංගමයෙන් මෙම වෛරස ඇතිවන්නට ඇති බව ද ඔවුන්ගෙන් බැක්ටීරියා වැනි ප්රථම ඒක සෛලිකයන් ඇතිවන්නට ඇති බවද තර්ක කරයි.
තවත් විද්යත්මක මතයකට අනුව පැහැදලි වන්නේ විශාල බැක්ටීරියා මත යැපුන කුඩා බැක්ටීරියා නිසා මෙම වෛරස ඇති වූ බවයි. ඒ වාගේම මහා ජිවින්ගේ වර්ණදේහ තුල වූ DNA හෝ RNA දාම වලින් කැඩී වෙන්වූ කුඩා දාම වෛරස ලෙස පරිණාමය වන්නට ඇති බවද තවත් එක් මතයක් පවසයි.

ජීවයේ අරම්භක වකවානුවේ උණුවතුර උල්පත් සහ භූතාප විවර ආසන්නයේ වූ ප්රතිවලිත වන්නන්ගේ සංගමයන් බිහිකරන ලස කුඩා ප්ලස්මාවන්ගේ සිදු වූ පරිණාමය නිසා වෛරස ඇතිවන්නට ඇති බව තවත් එක් මතයක් විස්තර කරයි.

වෛරස ගැන අතීතයේ කල පර්යේෂණ
මේ වන විට වෛරස වර්ග 500ක් පමණ පර්යේෂණ වලින් සොයාගෙන ඇති අතර තව මිලියන ගණනාවක්ම පරිසරයේ ඇති බවයි පැවසෙන්නේ. මුල්ම පර්යේෂණ දියත් කරන්නේ දිමිත්රි ඉවනොවස්කි නම් වූ විද්යාඥයා විසින් 1892 දී රෝගී දුම්කොළ ශාකයේ පත්ර යුෂ සම්බන්ධවයි. එහිදී සුවිශේෂී පෙරනයන් මගින් මෙම කුඩා ක්ෂුද්ර දේහයන් වෙන් කරගන්නා අතර ඒවා වෛරස ලෙස නම් කරන්නේ මාටිනස් බෙයිජෙරික් නම් වූ විද්යාඥයා විසිනි. මෙය වෛරස විද්යාවේ ආරම්භය ලෙස සැලකිය හැකි බව බොහෝ දෙනෙකු සලකයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 26 March 2020



කොරෝනා ගෙට ගත්තද නැතිනං ගෙට ආවද..?

An edited verision of this article has been piblished on Vidusara, 25th March, 2020.



මේ සංචාරය කරන්න කොහොමවත් සුදුසු කාලය නොවෙයි. සංචාරය කරන්න නොවෙයි ඒ ගැන කතා කරන එකත් තේරුමක් නැහැ. මිනිසුන්ගේ සිත් තුල කරන්න බැරි දේවල් සඳහා උන්නන්දුව ඇතිකරන එක වැරදියි. ඒ නිසා මම කල්පනා කළා භූ සංචරිතයෙන් මේ සතියේ සංචාරක සටහන් ලියන එක නවත්තලා මේ දිනවල රටට වෙලා තියෙන සංගදිය ගැන කතා කරන එක හොඳයි කියලා. 

කොරෝනා වෛරසය නිසා ඇතිවෙලා තියෙන රෝගී තත්වයෙන් රටම බැට කන මොහොතක සිදුවෙන සහ සිදුවෙලා තියෙන දේවල් වලින් අපේ සමාජයට බලපාන්නේ කොහොමද යන්න විමර්ශනය ඉතාම වැදගත්. මොකද එමගින් ඇතිවෙලා තියෙන තත්වය සමනය කරගන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට ඇත්නම් ඒ සඳහා මෙවැනි විමර්ශන, විවේචන වැදගත් වේවි. 

වසර දහස් ගනනාවක් තිස්සේ ප්‍රත්‍යක්ෂය මගින් තහවුරු කරගත් ඉතා වටිනා කියනා සිරිත් විරිත් රාශියක් නිර්මාණය කර ගනිමින් ස්ථාවර සමාජ සංස්කෘතියක් හිමිව තිබු ශ්‍රී ලංකික ජන සමාජය බටහිර විද්‍යාවත් ඉන් උත්පාදනය වූ තාක්ෂණයත් නිසා මේ වන විට වල්මත් වූත් අතරමං වූත් ජන කොටසක් බවට පත් වී ඇති බව පැහැදිලි කරුණකි. ආපදා කළමනාකරණ සහ ආපදා අවදානම අවම කිරීම සඳහා අපටම ආවේනික වූ ක්‍රමවේද සකස් කර තිබු මෙවන් වූ ජන සමාජයක් මෙතරම් පසු ගාමී බුද්ධිහීන ජන කොට්ටාශයක් බවට පත් වූයේ කෙසේද. යටත්විජිත සමයේදී අකර්මන්‍ය කරන ලද මෙරට ජන සමාජය අසරණ වූයේ පාරිසරික සම්පත් පරිබෝජනය සිමාකාරී වීම නිසාම නොවන බවත් ඒ සඳහා ප්‍රධානම හේතුව වූයේ මෙරට වටිනා කියනා පාරම්පරික දැනුම් සම්භාරය හිමි මානව සම්පත සමූල ඝාතනයෙන් මෙරටින් තුරන් කිරීම නිසා බවත් මෙහි ලා සඳහන් කල යුතුය. එය මෙරට ජනතාවගේ අක්මුල් ගලවා අන්ත අසරණ අතරමං වූ නිහීන ජන කොටසක් බවට පත් කරන්නට තරම් හේතු වූ බව ඉතා පැහැදිළිය. එවැනි වාතාවරණයක් යටතේ මෙරට වැජබෙන්නට අවස්තාව සැලසෙන්නේ ආත්මාර්තකාමී ලෙස තම ලාභය පසු පසම හඹා ගිය ජන කොටසක් මෙරට මතුවන්නට බවත් ඔවුන්ගේ දිගුව මේ සමාජයේ අද වන විට මෙරට පොරවල් වී ඇති බවත් අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. 

එවන් වූ පරිසරයක් පරිණාමය වෙද්දී ඇතිවන තත්වයට දැන් දැන් අප සියල්ලන්ම මුහුණ දෙමින් සිටන බව තේරුම් ගත යුතුව ඇත. උදාරතර සංකල්ප තුට්ටුවකටවත් මායිම් නොකර හිතුමනාපේ වැඩකරන්නට අවැසි පරිසරයක් නිර්මාණය වී ඇති තත්වයක් තුල කොරෝනා රෝග ආපදා කළමනාකරණය ගැන කතා කරන්නටත් එම ආපදා අවදානම අඩුකරන්නටත් කුමක් කල යුතුදැයි විමර්ශනය කරන්නට සිදු වීම අප ලද මහත් අභාග්‍යයක් බව සිත්හි තබා ගත යුතුය. 

යුද්දෙට නං යුද්දෙට මෙන්ම රෝගෙට නං රෝගෙට අදාල දේ  අවැසි තැන නිසි කල නිසි කළමනාකරණය කරන්නට තිබු හැකියාව පරවී යාමම අප ලද මහත් පරාජයක් බව අමතක නොකළ යුතුය. නැවත එවන් පසුබිමක් නිර්මාණය කරන්නේ කෙසේද මෙවන් පසුබිමක් තුල එවන් පරිසරයක් ගොඩනැගිය හැකිද යන්න කතා කිරීමම FB උගත්තු ඉන්නා වටපිටාවක අභියෝගාත්මක කාරියකි. මේ විමර්ශනය සැමට සුව දෙන තිරසාර ආපදා කළමනාකරණ වැඩසටහනක් මගින් ආරක්ෂාකාරී ක්‍රමවේදයන් ස්ථාපනය කරන්නට අත්වැලක් වනු ඇතැයි සිතමි. 

බටහිර විද්‍යාත්මක අනුකරණයෙන් මෙරට ආපදා කළමනාකරණය සඳහා නව වැඩපිළිවෙලක් ස්ථාපනයට 2004 දී නොකියාම ආ සුනාමිය හේතුවිය. දැන් අණබෙර ද ගස ගසා කොරෝනා මෙරටට පැමිණ ඇත. පෙරහැර එන බව පවසන්නට කසකාරයන් මුලින්ම මතු වූයේ චීනයෙනි. චීනයේ කසකාරයන් හතර දිග්භාගයටම කසය වනමින් පවසා සිටියේ කොරෝනා පෙරහැරේ භයානකකමයි. පැන පැන සපාකන පොළොන් පැටික්කෙක් සේ ඇසිපියලන මොහොතින් සමස්ථ රටක් සමස්ථ ලෝකයක් බියට පත් කරන්නට හිටිගමන් මතු වූ කොරෝනා අමුතු බිය මාරකැට්ටු හිස් කොරෝනා වූ තත්වයට මෙරට ජනතාව පත් කරන්නට හේතුවිය හැකි බව පෙර සූදානමක් සකස් කල කිසිවෙක් නොසිතන්නට ඇත. ශ්‍රී ලංකික ජනතාවගේ හැසිරීම මෙරට ආපදා කළමනාකරණය තාම අවබෝධ කරගෙන නොමැති බව ඉන් ඉතා හොඳින් තේරුම් යයි.

ආපදා කළමනාකරණයේ මූලික සිද්ධාන්ත අනුව “පෙර සූදානම” අනිවාර්ය අංගයකි. ආපදාවට පෙරසූදානම නම් ඇත්තෙන්ම විහිළුවක් බව ක්ෂේත්‍රයේ දැනමුත්තන් පවසන්නේ ආපදාවේ බලපෑම නිසි පරිදි කල් තබා හඳුනාගැනීමට නොහැකි නිසා විය යුතුය. නමුත් සෑම ආපදාවක්ම සතු මූලික ලක්ෂණ බොහෝවිට සමාන විය හැක. එක සමාන ආපදා තත්වයන් කළමනාකරණය අපට ඉතා හොඳ උගත් පාඩම් ය. එනිසා එවැනි ලක්ෂණ ද ඒ සඳහා අදාළ ජනසමාජය ගත්තාවූ ක්‍රියාමාර්ග මනාව අධ්‍යනය කිරීමෙන් ද අපට යම් යම් පුරෝකථනවලට එළඹීමෙන් යම් කිසි ආකාරයක සාර්ථක පෙරසූදානම් වැඩපිළිවෙලක් සකස්කර ගත හැකිය. සෑම ආපාදවකදීම එයට ගොදුරුවන්නාවූ ජනතා පිරිසක් ඇත. ආපදාවට ලක් වූ ජන කොටස්  නිසා සමස්ථ ආර්ථිකයට බලපාන ආකාරයක් ඇත. ආපාදාවේ ස්වරූපය අනුව එහි බලපෑම කුමක්දැයි අනුමාන කල යුතුය. නමුත් සැමවිටම එය සියයට සියයක් සාර්ථක වන්නේ ද නැත. එනිසා සැමවිටම “plan B, C පමණක් නොව D ද මේ පෙර සූදානමේ තිබිය යුතුය.

මෑත කාලිනව මෙවැනි හදිසි සෞඛ්‍ය ආපදා තත්වයක් මෙරට පැන නැගුනේ නැත. ඩෙංගු රෝගය මාරාන්තික වූවද මෙවැනි පසුබිමක් නිර්මාණය වූයේ නැත. පසුගිය දෙසැම්බරයේ සිට “සංචාරක කොරෝනාවේ හැසිරීම” පිලිබඳ උදාහරණ චීනය ප්‍රමුඛ යුරෝපා රටවල් මනාව ලෝකයට ලබා දෙන්නට විය. කොරෝනා වෛරසය හැසිරීම අධ්‍යනය සඳහා “ගෝලීය සජීවී පර්යේෂණාගාරය” ලෙස චීනය පත්විය. එමගින් කොරෝනා වයිරසයේ ලාක්ෂණිකතා, එහි හැසිරීම සහ පැතිරීම පිලිබඳ විස්තරාත්මක තොරතුරු ලබා ගැනීමට අවශ්‍යතාව තිබු ලොව සෑම රටකටම හැකියාව තිබුණි. නොදන්නා රෝගය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග වල සාර්ථක අසාර්ථක බව ඒවායේ අඩුලුහුඩුකම් වාර්තා විය. මේ වනවිට චීනය යම් කිසි ආකාරයක සාර්ථක බාවයකට පත් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි. එයට වෛරසයේ සොබාවික ව්‍යාප්තියත් ඔවුන්ගේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙලත්  හේතුවන්නට ඇත.   

මෙලෙස ගෝලීය තත්වය වර්ධනය වෙමින් පවතින වකවානුවක අප සිදුකලේ කුමක්දැයි විග්‍රහ කළයුතුව තිබේ. උගත් පාඩම් නිසිලෙස අධ්‍යනය කර ඒවා භාවිතයේ යෙද වුයේ ද යන්නත් සොයා බැලිය යුතුය. සමහර මිත්‍යාමත පුරෝකථන මගින් මෙරට යම් අයහපත් තත්වයක් අප විසින් වර්ධනය කර නොගත්තේ ද යන්නත් පසුවිපරමට ලක් විය යුතුව ඇත. පසු විපරමට තාමත් කල් වැඩි බවද වසංගතය ආරම්භ වූවා පමණක් යන්න බව ද අප අමතක නොකළ යුතුය. තවත් සතියකින් හෝ සති කිහිපයකින් මෙය අවසාන වේයැයි කල්පනා කිරීම ද මෝඩකමකි. නායයාම් ගංවතුර වැනි සොබාවික ව්‍යවසනයක් නිසා ඇති වූ ආපදා තත්වයක් නොවන බව අප හොඳින් මතක තබා ගත යුතුය. මෙහි නිවාරණය තනිකරම රැඳී ඇත්තේ මහජනතාවගේ ක්‍රියාකලාපය මත බව මේ වන විටත් ඔබ අප සැමට ඉතා හොඳින් තේරුම් ගොස් ඇති බව ඉතා පැහැදිළිය. 

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අතීතකාමයෙන් ඔලුව කුරුවල් කරගත් පිරිස් ද දේශපාලනික වහල්භාවයෙන් උපරිමයට පත් වූවන්ද ජනතාව නොමඟ යවන්නට හේතු වූ බව ද මෙහිලා මා තරයේ ප්‍රකාශ කරන අතර වඳුරන්ට දැලි පිහි දීම මෙතැන් සිටවත් නතර කල යුතුව ඇත. සීතලෙන් ප්‍රයෝජනගත් කොරෝනා උණුසුම් හමුවේ නිරුත්තර වන බව බොහෝ දෙනා ගේ මතය විය. නමුත් එය අමූලික බොරුවක් බව වයිරසය ඉන්දියාව ඇතුළු ඝර්ම කලාපීය රටවලට අසාදනය වන විට අප තේරුම් ගත යුතුව තිබුණි. 

එවැනි තත්වයක් හමුවේ අපගේ පෙරසූදානම ගැන සෑහීමකට පත් විය හැකිද. ඉතා පැහැදිළිව කොරෝනාව පෙන්නු ලක්ෂණය නම් මිනිසුන්ගෙන් මිනිසුන්ට ඉතා සීග්‍රයෙන් පැතිර යන බවයි. එවැනි තත්වයක් හමුවේ රෝගය වලක්වාගැනීමට සහ මැඩපවත්වා ගැනීමට කල යුත්තේ ජනතාව එක්රැස් වීම වහාම නවතා දැමීමයි. පසුගිය ජනවාරි මාසයේ සිටම අපගේ පෙර සුදානම ක්‍රියාවේ යෙදවූවත් පරිපාලනයේ නිසිකල නිසි තීන්දු තීරණ ගැනීමේ දුබලතා නිසාත් සහ ජනතාවගේ අමන මරි මෝඩ ක්‍රියාකාරකම් නිසාත් අප මේ ආගාධයට වැටුනා නොවේද යන්න ඔබගේ ඔය කුඩා මොලයට තේරුම් යනු ඇතැයි මම කල්පනා කරමි. මෙතරම් හොඳින් මෙරට ආපදා පෙර සූදානම සකස් වෙද්දී මෙරට හමු වූ චීන ජාතික කාන්තාව මගින් කොරෝනා රෝගය මෙරට ජනතාවට බෝ නොවී පාලනය කරගන්නට මෙරට සෞඛ්‍ය අංශ සමත් වෙද්ද්දීත් මෙතරම් ව්‍යවසනයක් ඇති කරගන්නට තරම් වූ සිදුරු එම ආපදා කළමනකරණ සැලැස්මේම ඇති වූයේ කෙසේද යන්න සොයා බැලීම ඉතා වටී. 

දූපතක් වූ අපේ රට එනිසාම බොහෝ මෙවැනි රෝග වසංගත තත්වයන් හමුවේ ආරක්ෂාකාරී වූ බව අමතක නොකළ යුතුය. මේ අවස්තාවේ දී ඒ වාසිය අප නොගත්තා පමණක් නොව මානුෂිකත්වයේ උපරිමයට ගොස් කැලේ සිටි නයි රෙද්ද අස්සේ දමා ගත් බව ද හොඳින් පැහැදිලි වන්නේ ඉතාලි ආසාදිතයින් මෙරට සමස්ථ ජනතාවට කොකා පෙන්නා නිරෝධායන ක්‍රියා දාමයට සහය නොදක්වා පැ ගොස් සැඟ වෙද්දීය.  

ඇත්තෙන්ම කොරෝනාව ශ්‍රී ලංකාව ගිලගන්නට පෙර වැට කඩොළු බඳින්නට නොහැකි වූයේ ඇයි. ඒ සඳහා කල යුතුව තිබුනේ දූපතක් වූ අප රට හා වූ බාහිර සම්බන්ධකම් තාවකාලිකව නවතා දමන්නට නොවේ ද. ගුවන් තොටුපල නිසිකල වසා නොදමා සිදුකරගත්තේ මෙරට අහිංසක ජනතාව අමාරුවේ දැමීම නොවේද. එලෙස නොකළ හැකි වන්නට හේතු භූත වූ කරුනු කාරනා මොනවාද යන්න සොය බැලිය යුතුය. ඒ පිලිබඳ සර්ව සාධාරණ පැහැදිලි කිරීමක් මේ රජය විසින් මෙරට ජනතාවට සිදුකල යුතු බව මම කල්පනා කරමි. ඒ නැවත වරක් එසේ නොවන්නටය. නමුත් ගුවන් තොටුපල වසා දමන්නේ පසුගිය බ්‍රහස්පතින්දා වන අතර එවැනි තීරණයක් ගන්නට අප ප්‍රමාද වුවා නොවේදැයි ලියුම් කරුට සිතේ. අශ්වයා පැන ගොස් ය. දැන් ස්තාලය වැසීමෙන් පලක් වේද යන්න අයෙකුට ඇසිය හැකිය. ඔවු... එය වඩාත් ප්‍රයෝජනවත් ය. මන්දයත් ස්ථාලයේ තවත් අශ්වයන් ඇති හෙයිනි. ඔවුන්ද පැන යා හැක. ඔවුන්ගේ පැන යාමද බලපාන්නේ මේ රෝගය උත්සන්න කරන්නටය. ප්‍රමාද වී හෝ ගත් මේ තීරණය අප අගය කල යුතුය. 

ඉතා පැහැදිළිව අප තේරුම් ගත යුත්තේ කොරොනා මෙරට පැතිරවන්නට මෙතරම් ව්‍යවසනයක් රට තුල ඇතිකරන්නට හේතුවූයේ මෙරටට ඩොලර්ගෙන එන බව පවසන අපගේ විදේශ ශ්‍රමිකයන්ගෙනි. ඉතාලියේ වසංගතය පැතිරෙද්දී ඒ බව නිසි අවබෝධයෙන් පසු වූයේ නම් අපගේ විදෙස් ශ්‍රමිකයන් ද බේරා ගෙන රට ද බේරා ගන්නට හැකියාව තිබුන බව කරුණු කාරණා සියුම් අධ්‍යනයෙන් අපට තේරුම් යයි. කුලප්පු වූ ගව රෑනක් සේ ඔවුනට පැන යන්නට ඉඩ නොතැබුවේ නම් වසංගත පාලනය මිට වඩා පහසු වන්නට තිබුණි. විදේශ ශ්‍රමිකයන් ගේ ආගමනය හොඳින් කළමනාකරණය කර ඔවුන් නිරෝධායනයට ලක් කලේ නම් වසංගතය පැතිරීයාම තවත් අඩුවන්නට තිබුණි. විදේශ ශ්‍රමිකයන් සියල්ල මනාව හඳුනාගෙන ඔවුන්ගේ පැවැත්මද ඔවුන්ගේ පවුලේ අයගේ ආරක්ෂාව සහ දෛනික ජිවීතය සුරක්ෂිත කරන්නට ද වැඩපිළිවෙලක් සකස් වූයේ නම් මේ ව්‍යවසනය වඩාත් හොඳින් කළමනාකරණය කරගන්නට හැකිව තිබු බව පැහැදිළිය. ඒ සඳහා තවමත් අවකාශ ඇති බව අමතක නොකළ යුතුය. ඒ කෙසේ වෙතත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් පිළිබඳව කුහකත්වයෙන් තොරව අප අගය කල යුතුය.   

එමෙන්ම එවැනිම වූ තර්ජනයක් විදේශ සංචාරකයන්ගෙන් ද ඇත. ඔවුන්ගේ අතීත හැසිරීම් සහ ගමන් බිමන් හඹා යාම තරමක් අසීරු වූවත් කොරෝනා වයිරසයේ පැතිරීමේ රටාව මනාව තේරුම් ගත්තේ නම් සංචාරකයන්ගේ පැමිණීම මෙයට සති දෙකකට තුනකට පෙරම නවතන්නට හැකියාව තිබුනි.  වාසනාවකට සංචාරක මග පෙන්වන්නා ඉතාලි දඩබ්බරයන් මෙන් වහන් නොවී සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් මෙහි පැතිරී යාම යම් කිසි ප්‍රමාණයකට හෝ අඩුකරගත හැකි වූ බවයි. ඔවුන්ගේ මහත්මා ගතිගුණ අප අගය කල යුත්තේ එහෙයෙනි. ගුවන් තොටුපල මේ සඳහා ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවූ බව සමහරු චෝදනා කරද්දී මා හට පෙනී යන්නේ නිරෝධායනය සඳහා සවිකළ නිනිති තාක්ෂණයෙන් උපන් උපකරණය ද අසාර්ථක වී ඇති බවයි. සමහර විටෙක එනිසා ඉන් ඔබ්බට ගතයුතු වූ ක්‍රියාමාර්ග නොගන්නට එම උපකරණය මත තැබූ විශ්වාසයද හේතු වන්නට ද ඇත. 

ආඳා යවා තබා වල්පත ගැනීමෙන් පලක් නොවේ. ආඳා දැන් ජනතාව අතරට ගොස් අහවරය. එනිසා තව දුරටත් පෙර සූදානම ගැන කතා කිරීම පලක් නොවේ. ආපදා කළමනාකරණයේ අප ලද අත්දැකීම් අනුව දැන් කල යුත්තේ පැමිණි ආපදාව කළමනාකරණය කර ගැනීමයි. ආසාදිතයින් හඳුනාගැනීම යුහුසුළුව කල යුතුය. එනිසා ඔවුන් සිටින ස්ථාන සොයාගතයුතුය. ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ ආසාදිතයින් නිසි ලෙස නිරෝධායනයට ලක් කල යුතුය. අසාදිතයින් හරහා තව දුරටත් රෝගය පැතිරවීම නවතා ගත යුතුය. 

කාලීනව ගත් ඉතාමත් වැදගත් තීරණය වන්නේ පොලිස් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර මහජනගේ භෞතික ගට්ටනය නවතා දැමීමයි. එමගින් සෑහෙන ප්‍රමාණයකට වෛරසය පැතිරීම වලක්වා ගන්නට හැකි වී ඇති බව මේ වන විට ඉතා පැහැදිළිය. කෙසේ වෙතත් ඉතා ක්ෂණයකින්ම පාසල් වසා දැමීමට ගත් තීරණය අතිශය අගය කල යුතුය. එමගින් මෙම රෝගය පැතිරීම බොහෝ දුරට පාලනය වූ බව අප පිළිගත යුතය. මන්දයත් මේ කාලය බොහෝ පාසල් වල ක්‍රීඩා උත්සව සහ ක්‍රිකට් තරඟ පැවැත්වීමට තිබු කාලය වන බැවිනි. පසු වී හෝ කාර්යාල වසා දැමීමට ගත් තීරණය ද පැසසුමට ලක් කල යුතුය.  නමුත් ක්‍රමවත් ප්‍රවාහන සේවයක් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ජනතාවට ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් විය යුතු බව මෙවන් වූ ආපදා කළමනාකරණයේදී අප සිහි තබා ගත යුතුය. එවැනි ක්‍රම වේදයක් නොතිබීම ජනතාව තව තවත් රැස් කරවන්නට හේතු වූ බව බොහෝ දෙනෙකුගේ මතය විය. අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත වූවන්ගේ ගමන් බිමන් පහසුකම් වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සැපිරිමටද වැඩපිළිවෙලක් තිබෙන්නේ නම් ඔවුන්ටද සිතේ බරක් නොමැතිව රාජකාරි කරන්නට හැකියාව ලැබේ. මෙසේ සේවය් කරන්නන්හට ප්‍රසිද්ධ ස්ථාන හා ගැටීම නිරන්තරයෙන්ම සිදුවන් බැවින් ක්ෂණිකව නිරෝධායනය වීම සඳහා ජංගම කුටි වැනි අවශ්‍යතා සැකක කල යුතුය.

ඇඳිරි නිතිය නිසා අසරණ වන්නේ දෛනික වේතනයක් ලබන්න බව අමතක නොකළ යුතුය. ඔවුන් සඳහා ද යම් වැඩපිළිවෙලක් දියත් වූයේ නම් මෙම ක්‍රියාවලිය තවත් මානුෂික වන්නට ඉඩ තිබුණි. නමුත් එතෙර සිටින්නන්ගේ විවේචන අනුව පෙනී යන්නේ මෙරට ගෙන ඇති වැඩ පිළිවෙල අනෙකුත් රටවලට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින බව සහ සාර්ථක බවත්ය. ඒ සම්බන්ධයෙන් මෙරට පාලන තන්ත්‍රයටත්,  දිවා රෑ නොබලා සේවය කරන සෞඛ්‍ය අංශවලටත්, ආරක්ෂක අංශවලටත් ගෞරව පූර්වක ස්තුතිය පුදකර සිටිය යුතුය. 

අකර්මන්‍ය වූ දෛනික ක්‍රියකාරකම් හේතුවෙන් ඉදිරි කාලයේදී රට හමුවේ ඇති අභියෝග මොනවාදැයි යන්න සලකා බැලිය යුතුය. ප්‍රධාන වශයෙන්ම පවතින මෙම වසංගත තත්වය සමනය කරගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය යුතුය. එනම් රෝග පාලනය සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, අවශ්‍ය බෙහෙත් හේත් සඳහා පර්යේෂණ සිදු කිරීම, වෛරසය පාලනය කිරීම සඳහා ක්‍රම වේද සොයාබැලීම වැනි වැඩකටයුතු වහාම ආරම්භ කල යුතු අතර මේ සඳහා රට පුරා ඇති විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වෙත රජය බලකළ යුතුය. එමෙන්ම බටහිර මෙන්ම දේශීය වෙදකමේද බණ භාවනා මගින් සිත දියුණු කරගත් විද්වතුන්ගේද සහය ගැනීම අතවශ්‍ය බව මෙහි දී මා තරයේම ප්‍රකාශ කර සිටිමි. 

බොහොමයක් කර්මාන්ත සහ කාර්යාල සේවවාන් අඩපන වීම මෙරට ආර්ථිකය පසුගාමී තත්වයකට ඇද දමන්නට හේතු වන බව පැවසිය යුතුය. දෛනික නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටීම සහ කුඩා කුඩා කර්මාන්ත අඩපන වීම් මත ඇතිවන සමාජීය ගැටළු පිළිබඳව මෙහිදී අතිශයින්ම අවධානය කල යුතුව ඇත. දෛනික අවශ්‍යතා සියල්ල ආනයනය කරන තත්වයකට මෙරට පත්වීම හේතුවෙන් ලෝක වසංගත තත්වය හමුවේ අප අන්ත අසරණ බව අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. කොතරම් ආර්ථික ශක්තියකින් හෙබි රටකට වුවද නිෂ්පාදන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබා ගැනීමට ස්ථානයක් නොමැති වූ විට සිදුවන්නේ කුමක්දැයි හොඳින් තේරුම් යයි. එනිසා මේ වසංගත තත්වය කදිම අවස්තාවක් කරගෙන අත්‍යවශ්‍ය භාන්ඩ සහ අවශ්‍යතා සඳහා දේශීය නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කලයුතු බව අප වටහා ගත යුතුය. විශේෂයෙන්ම මේ අවස්තාවේ ඇතිවන බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන්නේ කෙසේද යන්නත් එවැනි ද්‍රව්‍ය අඩුම තරමින් මාස හයකටවත් ගබඩා කර තබා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් විය යුතුය.  

අත්‍යවශ්‍ය සේවාවන් බල ගැන්වීම පිලිබඳ මෙහිදී අවධනය යොමුකර විය යුතු අතර නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කාර්යාලීය කටයුතු සිදුකිරීම සඳහාද අවධානය යොමු විය යුතුය. හැකි සෑම අවස්ථාවකම ඉතා කෙටි කලකින් නැතහොත් කාර්යාලයට නොගොස්ම තමාගේ කාර්යය කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි අවධානය ඉතා තදින්ම යොමුවිය යුතුය. ඇතිවූ වසංගත තත්වය ධනාත්මකව පිළිගන්නේ නම් ඉහත කී කිසිවක් අමාරු අභියෝග වන්නේ නැති බව නිසැකය. තවත් බොහෝ කරුණ කාරණා සාකච්චාවට බදුන් විය යුතු මුත් ලිපිය ඉතා දිග වන බැවින් එය මෙතනින් අවසාන කරන්නට සිදුවෙයි. 


අසංක්ෂිප්ත සටහන

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Monday 23 March 2020


සිසි භූ විද්‍යාව (selenology ) - තාරකා භූ විද්‍යාවට ප්‍රවේශයක්
සිසි භූ විද්‍යාව (selenology ) කේන්ද්‍ර වන්නේ චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක පසුබිම වෙතයි. එය පෘතුවියේ භූ විද්‍යත්මක පසුබිමෙන් වෙනස් වන අතර එයට හේතුවන කාරණා කිහිපයහි. වායුගෝලයක් නොමැති වීම. එනිසාම පාෂාණ ජීර්ණය සහ ඛාදනය නොමැති වීම. කබොලක්, ප්‍රාවරනයක් සහ හරයක් ඇත්තේ වූවද තල භූ ක්‍රියාකාරකම් සනිටුහන් වන්නේ නැත. චන්ද්‍ර මතුපිට ඇති සංකීර්ණ භූ විෂමතා ලක්ෂණ ඇතිවන්නේ දිගින් දිගටම සිදුවූ ගිනි කඳු පිපිරීම් සහ උල්කාපාත පතනයෙන් සිදුවූ බලපෑම හේතුවෙනි.


චන්ද්‍ර පාෂාණ සහ පාංශුදේහයන් පිළිබඳව නියම තොරතුරු වාර්තා වන්නේ චන්ද්‍රයාගෙන් ගෙන එන ලද පාෂාණ සහ පාංශු නියැදි වලිනි. 1969 සිට 1972 දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ ව්‍යාපෘතිය නිසා චන්ද්‍රයාහේ ස්ථාන හයක් නියැදි කරණයට ලක්වන අතර කිලෝ ග්රෑම් 381 පෘතුවියට ගෙන එන ලදී. 1970 සිට 1976 දක්වා සිදුකල සෝවියට් චන්ද්‍ර ගවේෂණ වලින් තවත් කිලෝ ග්රෑම් 326 ක් පමණ පෘතුවියට ගෙන එන ලදී.

නාසා ආයතනය මෙම නියැදි අධ්‍යනය කර පලකල ඇති පර්යේෂණ පත්‍රිකා වලට අනුව චන්ද්‍රයාගේ නිම්න නැතහොත් ආවාට කලාප ගොඩ නැගී ඇත්තේ බැසෝල්ට් නම් වූ ආග්නේය පාෂාණ වලින්. බැසෝල්ටික් ආගනේය පාෂාණ නිර්මාණය වන්නේ උල්කා පතනය නිසා ඇතිවූ චන්ද්‍ර කබොලේ සිදුරු තුලින් පිටතට ගලා ගිය ලාවා වලිනි. බොහෝවිට ඉතා සියුම් ඛණිකා වලින් යුක්ත වන මෙම පාෂාණය ඕලිවින්, පයිරෝක්සින්, ඇම්පිහිබෝල් වැනි ඛනිජ ද ප්ලජියෝක්ලෙස් නම් වූ ඛනිජයෙන් ද සමන්විතයි. අඳුරු පහක් යුක්තයි. බසෝල්ටික් ලාවා ඒකාකාරී ලෙස මතුපිට පෘෂ්ටය මත පැතිරී නොමැති බවයි අධ්‍යනය වලින් පැහැදිලි වී ඇත්තේ. බැසෝල්ටික් ගලනයන් අතිපිහිත වී ඇති බව ද පවසයි. එය උල්කාපතනයන්ගේ අඛණ්ඩ බව කියා පායි.


එයට අමතරව චන්ද්‍රයාගේ කඳුකර කලාප සුසැදි ඇත්තේ ඇනොතොසයිට් නම් වූ ආග්නේය පාෂාණයෙනි. මෙම පාෂාණය අභ්‍යන්තරයේ වූ මැග්මා භූ අභ්‍යන්තරයේම සිසිලනය වීමෙන් තැනෙන පාෂාණ වෙයි. එනිසා ඉතා හොඳින් වර්ධනය වූ ඛණිජ ඛණිකා දක්නට හැකිය. ප්ලජියෝක්ලෙස් නම් වූ ඛණිජයෙන් සමන්විත වන මෙම ඇනොතොසයිට් පාෂාණය චන්ද්‍රයාගේ පැරණිතම පාෂාණ බවයි පැවසෙන්නේ. 


නිරන්තර උල්කා පතනයෙන් සෑදෙන බ්‍රෙෂියා නම් වූ පාෂාණ ද චන්ද්‍ර පාෂාණ කුලකයට අයත්  වේ. මතුපිට පාංශු දේහයන් සහ පාෂාණ හා උල්කා ගැටීම නිසා ඇතිවන තාපයෙන් හෙම්බත් වී තැනෙන පාෂාණයි බ්‍රෙෂියා. 


චන්ද්‍රයාගේ පාංශු දේහයන් අලංකාර වන්නේ තැඹිලි පැහැති අවසාදිත වලිනි. මේවා නිර්මණය වන්නේ නිරන්තරයෙන් සිදුවන උල්කා පතනයෙන් මතුපිට පාෂාණ කැබලි වීමෙන් තැනුන පාෂාණ කැබලි, එම පාෂාණ උණු වීමෙන් තැනුන කොළ සහ තැඹිලි පැහැති සොබාවික විදුරු කැබලි සාහ ගට්ටනයෙන් ඇති වූ දුවිලි වලිනි.



තවත් සිසි භූ විද්‍යාත්මක තොරතුරු සමග ළඟදීම හමු වෙමු.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 21 March 2020


මන්දාරම් නුවර ගල්ගුහා; මගේ පළමු ගල්ගුහා චාරිකාව
පත්මෙගේ භූ සංචාරිතය 10
This article is originally published on Vidusara, 18.03.2020.

මන්දාරම් නුවර කියන්නේ පිදුරුතලාගල කඳු වැටියට උතුරින් වූ මොහොර පාමුල ඇති අපුරු ගම්මානයක්. පිදුරුතලාගල කඳු වැටියේ මොහොරෙන් ඇද හැලෙන මිදුම් සේලයන් නිසා නිතරම වැසීයන, සීතලෙන් අනූන වූ, මේ කදිම ගම්මානය එළවළු වගාවටම ගැලෙපන අපූරු තෝතැන්නක්. විවිධ කාරණා  නිසා අවස්ථා ගණනාවක්ම මේ ප්‍රදේශයේ සංචාරය කරන්නට මට හැකියාව ලැබුනා. හැබැයි මේ හැම අවස්ථාවකම අත් දෙක බැඳගෙන සීතල ඉවසන්නට වීම තමයි මා ලද දරුණුම අත්දැකීම වූයේ. 


මන්දාරම් නුවර පළමු සංචාරයට හේතුවෙන්නේ ගල්ගුහාවක් අධ්‍යනය කරන්නට අවැසි වීමයි. ඒ මා මිතුරු බැචා (batchmate) වූ මනෝජ් ප්‍රසන්නගේ ආරාධනයෙන්. මනෝජ් වැඩ ක‍රන්නේ පරිසර අමාත්‍යංශයේ. ඒ දවස්වල කඳුකර දිනය වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් තමයි සිටියේ. පිදුරුතලාගල කඳුවැටියේ පිහිටි මේ සුවිශේෂී භූ රූපණය අධ්‍යනය කල යුතු යැයි ඔහු කිහිප වතාවක්ම මා හා පවසා සිටියේ මාගේ උනන්දුව තව තවත් වැඩි කරමින්. “ඉබ්බා දියට දමන්නට හදන විට ඇන්නෑවේ කිව්වා” සේ මා ද ගමන සඳහා එක පයින්ම කැමැත්ත පල කලෙමි. මේ ගමන සඳහා කැමැත්ත පල කරන්නට තවත් හේතුවක් වූයේ භූ විද්‍යාඥයෙකු ලෙස සංචාරය සඳහා මා තුල වූ අසීමාන්තික ආශාවයි. එනිසා නිතරම මාගේ මනසේ හට ගන්නා මානසික සුවය භෞතික ශරීරයේ හට ගන්නා කුමන අසීරුතාවයක් වුව විඳ දරා ගැනීමට හැකියාව ලබා දී තිබුණි. 


මන්දාරම් නුවර වූ ගෝනකැලේ තේ කර්මාන්ත ශාලාව පසුකරමින් ගෝනකැලේ තේ වත්තේ ඉහල කෙළවරක පිහිටි මේ අපූරු භූ රූපණය සකස්වී තිබුනේ කිරිගරුඬ (marble) පාෂාණයක. කිරිගරුඬ පාෂාණ කියන්නේ විපරීතකරණය වූ හුණුගල් (limestone). භූ තල ක්‍රියාකාරකම් නිසාවෙන් ඇතිවන අධික උෂ්ණත්වය සහ පීඩනය හමුවේ තම රසායනික සංයුතිය නොවෙනස්ව තබා ගනිමින් ඛණිජ සංයුතිය වෙනස් කරගනිමින් රූපණය පමණක් වෙනස්කර ගන්නට උත්සාහ දැරීම එක් එක් පාෂාණවල විපරීතකරණයේ (metamorphism) පොදු සංසිද්ධියක්. කොහොම උනත් හුනුගල්වල දක්නට ලැබෙන්නේ අවසාදනය නිසාවෙන් බිහිවන කැල්සයිට් (calcite) ඛණිජය. මෙම ඛණිජ සංයුතිය විපරීතකරණය වන විට සිදුවන්නේ ප්‍රතිස්ඵටිකිකරණය (recrystalඉළtion) වී නැවත කැල්සයිට් ඛණිජයම බිහිවීමයි. ඒ කෙසේවෙතත් වයනයේ (texture) පැහැදිලි වෙනසක් දැක ගත හැකියි. එයට අමතරව හුනුගලෙහි සිලිකා (SiO2) ඇතිවිට විපරීතකරණයේ අදාල අවස්ථාවට ගැලපෙන සිලිකා ඛණිජ බිහි වී විපරීතකරණයේ යම් යම් ලක්ෂණ ඇතිකරමින් ඒ බව පාෂාණයේ සටහන් කරයි. එනිසා ඉතා පැහැදිළිව අවසාදිත හුණුගලින් විපරීතකරණයෙන් බිහි වූ කිරිගරුඬ පාෂාණය භූ විද්‍යාඥයෙකු හටනම් හොඳින් හඳුනා ගත හැකියි.


ගල්ගුහාව නිර්මාණය වී තිබුනේ විශාල කිරිගරුඬ ගල් ගෙඩි (boulders) කිහිපයක් එකිනෙක එකමත රැඳීමෙන්. ඒ අසල වූ කිරිගරුඬ පාෂාණයෙන් බිඳී පහලට පෙරලී ආඅ ගල් ගෙඩි. මේ විශාල කිරිගරුඬ ගල් ගෙඩි එක මත එක පිහිටීම ඇතුලත කුහරයක් සකස් කරන්නට තරම් වූ ප්‍රභල පිහිටීමකි. අප ඉතා හොඳින් දන්නා දෙයක් තමයි කැල්සයිට් ඛණිජයේ රසායනිකය වන කැල්සියම් කාබෝනේට් බොහොම පහසුවෙන් ජලයේ දියවන බව. ජලය කොහොමත් තරමක් ආම්ලිකයි. ඒකට හේතුව වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව දියවීමත්, කාබනික ද්‍රව්‍ය වියෝජනයෙන් ඇතිකරන කාබනික අම්ල දියවීමත් හේතුවෙන්. එනිසා කිරිගරුඬ පාෂාණය දියවී සෑදෙන කැල්සියම් හයිද්රෝක්සයිඩය ගලා ගොස් නැවත තවත් තැනක දී වාෂ්පීකරණය හේතුවෙන් සිදුවන සාන්ද්‍රණකරණයෙන් කැල්සියම් කබෝනේටය යලි බිහිවීමයි සිදුවන්නේ. එවිට නැවත ප්‍රතිස්ඵටිකීකරණයෙන් දළු ලන හිරිලඹ සහ හිරිටැඹ නිර්මාණය වෙයි. මේ ක්‍රියාවලිය නිසා එකිනෙක හේත්තු වූ ගල් ගෙඩි එකට ඇලී (amalgamate) ගොස් තිබෙනවා. එය ඉතා ශක්තිමත් ව්‍යුහයක් සකස් කරන්නට හේතු වී තිබෙනවා. 


ගල් ගුහාවේ කුහරය තුලින් ගලා යන කුඩා දිය පහරක් ද දැක ගන්නට පුළුවන්. තෙත සහිත වාතාවරණයක් ගුහාව තුල නිර්මාණය වන්නේ එබැවිනි. එනිසා මේ ව්‍යුහය කදිම ක්ෂුද්‍ර පරිසරයක් ගොඩ නගන්නට සමත් වී තිබෙනවා. මේ ආශ්‍රිතව තම වාසස්ථානය කරගත් විවිධ ආකාරයේ ජීවීන් සමූහයක් ඇති බව අපට දැනගන්නට ලැබුණි. ජෛව විවිධත්වයේ අපූර්වත්වය අත් විඳින්නට කදිම පරිසරයක් බව මෙහි ලා සඳහන් කල යුතුය. අප කල අධ්‍යනයෙන් පැහැදිලිවූයේ විස්සකට අධික සත්ත්ව විශේෂ වර්ග වාර්තාවන බවයි. කෘමි විශේෂ, උභයජිවින්, උරගයන්, පමණක් නොව කුරුල්ලන් සහ ක්ෂීරපායින් ද මෙම අපුරු භූ රූපණය ඇසුරුකරමින් ජිවත්වන බවයි. සීතල අඳුරු පරිසරය කොතරම් චමත්කාර ජනක විවිධත්වයක් එක් කර ඇත්ද යන්න මෙවැනි භූ රූපණ අධ්‍යනයෙන් හොඳින් පැහැදිලි වෙයි.    

මන්දාරම්නුවර ගල්ගුහා සංචාරය මාගේ පළමු විද්‍යත්මක ගල්ගුහා අධ්‍යනයයි. 2008 වර්සරේ දී අප සිදුකල මේ පර්යේෂණ සංචාරයෙන් ලද අත්දැකීම පර්යේෂණ පත්‍රිකාවකට ගොනුකර 2009 වසරේ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ වාර්ෂික පර්යේෂණ සැසියේ දී ප්‍රසිද්ධ කරන්නට හැකි විය. එම පත්‍රිකාව එහි වූ භූ විද්‍යාඥයින්ගේ බොහෝ පැසසීමට ලක් වූ බව සඳහන් කල යුතුය. මන්දයත් එය එම පර්යේෂණ සැසියට අලුත්ම මාතෘකාවක් ලබා දුන් බැවිනි. ඉන් ආරම්භ වූ මාගේ ගල්ගුහා අධ්‍යන කටයුතු පසු කාලීනව බොහෝ පර්යේෂණ පත්‍රිකා බිහිකරන්නට හේතුවිය.


 ඒ අතර ශ්‍රී ලංකවේ පළමු ගලගුහා අධ්‍යනය කවය වන LICAS (lanka institute of cave science) හා එක්වන්නට වාසනාව ලද්දෙන් ඉහත සඳහන් කල බොහොමයක් පර්යේෂණ පත්‍රිකා බිහි කරන්නට හැකියාව ලැබුන බව මෙහි ලා සතුටින් සඳහන් කල යුතුය. ඒ රටවටා අප සිදුකල බොහොමයක් අධ්‍යනය කටයුතු හේතුවෙන්. අඳුරු පරිසර අධ්‍යනය ඇත්තෙන්ම කුතුහලය දනවන සුළු දෙයකි. පැහැදිලි ප්‍රභල ආලෝක ප්‍රභවයක් ඔබ සතුවන්නේ නම් මේ කාරිය එතරම් අපහසු දෙයක් නොවේ. නමුත් අඳුරට බිය නොමැති විය යුතුය. මේ වන විට ගල්ගුහා පනහකට වැඩි ප්‍රමාණයක් අධ්‍යනය කර ඇති අපේ පර්යේෂණ පිළිබඳව ඉදිරි කාලයේදී ඔබ හමුවේ තබන්නට හැකි වේවි.

  

  ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 18 March 2020

අභරණ ලොවේ අග රැජිණිය, රිදී ය සුදුවන්... 
This article is published on Divaina, 18.03.2020.

ලෝහ අභරණ තැනීම පුරාණ කල සිටම මිනිසුන් අතර වූ ජනප්‍රිය සංස්‌කෘතිකාංගයකි. රන් නොමැති කල ඒ තැන ගන්නේ රිදී ය. රන් තරම්ම නොවුණත් රිදී ලෝහය ද ජනතාව අතර ජනප්‍රියතාව රැකගත් අප කවුරුත් හොඳින් දන්නා ලෙස අභරණ තනන්නට බහුලව යොදා ගන්නා ලද ලෝහයක්‌ බව නොරහසක්‌. රන් පෙරදිග ජනප්‍රිය වෙද්දී මේ සඳහා රිදී බටහිර ප්‍රමුඛව යොදා ගන්නා ලද ලෝහයකි.
 
 ඛනිජ විද්‍යාත්මකව රිදී (silver) යන සොබාවික ඛණිජයක්‌ ලෙස හඳුන්වා දිය හැකිය. සුලභතාවය දුබල වුවත් රිදී පවතින්නේ මූලද්‍රව්‍යමය (elemental minaral) ඛනිජයක්‌ ලෙසයි. වෙනත් කිසිම රසායනයක්‌ සමග මිශ්‍ර නොවී සොබාවේ පැවතීම, එනිසාම සංයෝගයක්‌ නොසාදන මෙවැනි ඛනිජ හඳුන්වන්නේ මූලද්‍රව්‍යමය ඛනිජ ලෙසයි. ඊට අමතරව සංයෝගමය (compund) ඛනිජ 39 ක්‌ පමණ සොයාගෙන ඇති අතර මේවා බොහොමයක්‌ පරිසරයේ හමුවීම දුලභ අතර -අකන්තයිට්‌ (Acanthaite), ප්‍රවුස්‌ටයිට්‌ (Proustite) සහ පයිරාගිරයිට්‌ (Pyragiraite), වැනි ඛනිජ සොබාවේ තරමක සුලභතාවක්‌ පෙන්වයි. සල්ෆයිඩ, කබෝනේට, හේලයිඩ, සිලිකේට සහ සල්ෆේට ලෙස මෙම සංයෝගමය රිදී ඛනිජය පරිසරයේ හමුවේ. රිදියෙහි පසෙහි පවතින ප්‍රමාණාත්මක සංයුතිය වන්නේ කොටස්‌ මිලියනයකට 0.01 ක පමණය. එය එතරම්ම දුලභය.
 
 සොබාවයේ රිදී පවතින තවත් ආකාරයක්‌ වන්නේ වෙනත් ලෝහ සමග මිශ්‍රව සාදන මාත්තු ලෝහ (alloy) ලෙසයි. බොහෝවිට රන්, තඹ, ආසනික්‌, සල්ෆර්, ඇන්ටිමනි වැනි රසායනයන් සමග මිශ්‍රව පවතින රිදී ලෝහය රසදිය සමග මිශ්‍රව රසදිය මාත්තු ලෝහ සාදන අතර සිනබාර් (Cinnabar) නම් වූ රසදිය සල්ෆයිඩය සමග ද සොබාවයේ හමුවේ. අනෙකුත් ලෝහ නිධිවල ක්‌ෂුද්‍ර සංඝටකයක්‌ ලෙස හමුවේ.
 
 රිදී ඉතාමත් හොඳින් විද්යුතය සහ තාපය සන්නයනය කරන්නා වූ ලෝහයකි. එය ඝනත්වයෙන් අධික වඩා ඉහළ ද්‍රවාංකයක්‌ (961.8 0C) හිමි ධවල පැහැගත් සුසුනිඳු ආන්තරීක ලෝහයක්‌ වෙයි. දැඩියාව ඉතා අඩු බැවින් පිහියෙන් වුව ද කැපිය හැකි ලෝහයකි.
 
 රිදී භාවිතයේ අතීතයේ සිට සුලභය. විශේෂයෙන්ම ආභරණ තැනීම සඳහා බහුලව භාවිතා කර ඇත. එයට අමතරව රිදී ලෝහයේ ප්‍රධාන භාවිතය වී ඇත්තේ මුදල් ලෙස සිදුකළ භාවිතයයි. වසර 3000 ට පමණ පෙර සිට රිදී මානව සංස්‌කෘතිය හා සම්බන්ධ බව ඉතිහාසය ගෙනහැර දක්‌වන අතර ක්‍රිස්‌තු පූර්ව 400 දී පමණ ග්‍රීසිය තම මුදල් ඒකකයක්‌ ලෙස රිදී භාවිතා කර ඇත. හත්වන ශතවර්ෂයේ දී පමණ එංගලන්තය මුදල් ඒකකයක්‌ ලෙස -රිදී සතය (Silver Penny) හඳුන්වා දී ඇත. ඔප දැමීමෙන් ඉතා අලංකාර දිලිසීමක්‌ ලබා දෙන මේ අපුරු ලෝහය එනිසාම විවිධ පිළිරූ සහ ගෘහාලංකාර නිර්මාණකරණය සඳහා බහුලව භාවිතා කර ඇත. මෙසපොතේමියාව ඉරානයෙන් පමණක්‌ නොව ඇනටෝලියාවෙන් සහ ආර්මේනියාවෙන් ද ආනයනය කළ රිදී ලෝහය තම ආර්ථික කටයුතු සඳහා භාවිත කළ බව ඉතිහාසය තතු පවසයි. අටවන ශතවර්ෂයේ දී පමණ චීනය සිල්ක්‌ වෙනුවට රිදී හුවමාරු කළ බව ද සඳහන් වෙයි.
 
 ලෝකයේ රිදී නිධි පවතින්නේ තවත් ලෝහ වන රන් සහ තඹ ලෝහ සමග මිශ්‍රවයි. එයට අමතරව ද්විතියික තැන්පතු ලෙස අවසාදිත හා මිශ්‍රව පවතින බව භූ විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. ජලතාපක (hydrothermal) ක්‍රියාකාරකම් නිසාවට ද රිදී නිධි නිර්මාණය වන බව හඳුනාගෙන ඇත. කෙසේවුවත් රිදී ගැරීම අනෙකුත් ලෝහ ගරන්නා මෙන් සිදුනොවන බව නම් පැහැදිලිය. වෙන වෙනම පතල් නොමැති වුවත් රන් සහ තඹ වැනි පතල් වලින් ලැබෙනා අතුරු ඵලයක්‌ ලෙස රිදී උකහා ගන්නා බවයි පෙනී යන්නේ.
 
 ලෝකයේ ප්‍රධානම රටවල් වන්නේ පහළොස්‌වන ශතවර්ෂයේ දී පමණම නිෂ්පාදනයේ යෙදුන පේරු රාජ්‍යය සහ මෙක්‌සිකෝව යි. රුසියාවත්, ඔස්‌ටේ්‍රලියාවත්, ඇලස්‌කාවත්, ස්‌විට්‌සර්ලන්තය සහ පෝලන්තයත් රිදී නිෂ්පාදනයේ පෙරමුණේ පසු වෙයි. 

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 17 March 2020

තිස්‌ හත් වැනි සැතපුම් කණුව පසු කළ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය...

පත්මෙගේ භූ සංචාරිතය 09
This article is originally published on Vidusara, 11.03.2020.

සංචාරය සැමවිටම උත්කෘෂට වන්නේ නැත. එනිසාම රසවින්දනය විටෙක පහත හෙලයි. ඒ බොහෝ විට සංචාරයේ දුෂ්කරභාවය ද එනිසාම පැන නගින වෙහෙස මහන්සිය ද මේ සඳහා ප්‍රභල හේතුවක් වෙයි. කෙසේ වෙතත් වසරින් වසර තම සංචාරයේ අත්දැකීම් තම සාමජිකයන්ට ලබා දෙමින් දිනෙන් දින උත්කෘෂ්ට බවට පත්වන්නට හැකි බව බොහෝ සාධක සමග ඔප්පු කරනා අප අතරම අයෙක් වෙයි. ඒ වෙන කවුරුත් නොව ඒක පුද්ගලභාවයක් නොමැති වුවද සාමූහිකත්වයේ පිළිබිඹුව වෙමින් දේශීය පමණක් නොව විදේශීය භූ විද්‍යාඥයින් අතර පවා ගෞරව ආදරයට පත් ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයයි. ඒ ඔබ සංචාරය කල යුතුම ස්ථානයකි. 

වසර 36 ක අනර්ඝ මෙහෙවරක් දේශීය භූ විද්‍යාඥයින්ට ඉටු කරමින් පසුගිය පෙබරවාරි මස 28 වෙනි සිකුරාදා තම තිස්හත්වන සැතපුම් කනුවට පා තබන්නට ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයට හැකි වී තිබේ. ඒ පන්සියයකට වැඩි සාමාජික පිරිසක් සමග ඉහත කී සාමුහිකත්වයේ චාරිකාව සාර්ථක කරගෙන යාමට හැකි විම ද තම දරු දැරියන්ගේ නොමද සැලකිල්ල ද හේතුවෙනි.
වසර එක්දහස් නවසිය අසු තුනේ සුළු පිරිසකින් ආරම්භ කරන ලද මේ සංගමය පසුගිය වසර තිස්හයක කාලය තුල භූ විද්‍යාඥයින් බොහෝ පිරිසකට තමන්ගේ සංචාරක සටහන් පර්යේෂණ පත්‍රිකා ලෙස ලියා සටහන් තබන්නට අවකාශ සලසා දී තිබේ. එපමණක් නොව ඒ ඒ සංචාරක සටහන් පිළිබඳව එක් එක් භූ විද්‍යාඥයින් ගේ විවෘත අදහස් විමසා බලන්නට, ප්‍රකාශ කරන්නට කොටින්ම තම පර්යේෂණ ජිවිතයේ වැදගත් සංධිස්ථාන සනිටුහන් කරගන්නට වාතාවරණය සහ පරිසරය සලසා දෙන්නට මේ අපූරු භූ විද්‍යා සංගමය සමත් වී තිබේ. 

මෙම භූ විද්‍යා සංගමය ආරම්භ කිරීමෙහිලා අමතක කල නොහැකි දැවැන්ත පුද්ගල චරිත කිහිපයක් මේ අතර වෙයි. ඉන් එක අයෙකු වන්නේ මහාචාර්ය කපිල දහනායක මහතායි. එකල ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියායි. අනෙක් තැනැත්තා වන්නේ මහාචාර්ය පී. ජී. කුරේ මහතායි. “ජියෝලොජි ඔෆ් සිලෝන්” (Geology of Ceylon) නම් වූ ශ්‍රී ලංකාවේ භූ විද්‍යාව සම්බන්ධව වූ දැවැන්ත ග්‍රන්ථය රචනා කරමින් මෙරට භූ විද්‍යාවට අමතක නොවන සේවයක් කල ඔහු මෙම සංගමය බිහි කිරීම සඳහා පිටුපසින් සිට නිතරම තමන්ව උද්යෝගිමත් කල බව මෑතක දී මහාචාර්ය කපිල දහනායක මහතා මා හා පවසා සිටියේය. තවදුරටත් කරුණු පවසමින් ඔහු පවසා සිටියේ මහාචාර්ය කුරේ මහතාට අතිශය වුවමනාවක් සහ අධික උනන්දුවක් මේ පිළිබඳව තිබු බවයි.  

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය බිහිකිරීමේ දී එකල පැවති රාජ්‍ය තන්ත්‍රය පාලනය කල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ද සුභදායි අතදීමක් වූ බව මාහාචාර්ය කපිල දහනයක් මහතා මතක් කරන්නේ හද පිරි සතුටිනි. එනිසාම එකල මේ පිළිබඳව රූපවාහිනියේ ප්‍රවෘතියක් ලෙස විකාශනය වූ බව තවදුරටත් ඔහු පවසා සිටියේය. අප්‍රතිහත ධෛර්යය නිසාවට බිහි වූ සංගමය එකල ක්ෂේත්‍රයේ පැවති යම් යම් නොහොඳ නෝක්කාඩු ද අහවර වූ බව පැවසේ.

වසර තිස් හයක් අඛණ්ඩව මෙම සංගමය ආරක්ෂාකාරීව පවත්වාගෙන යන්නට එකල මෙකල වූ වගකියන නිලධාරී මණ්ඩලය ද හේතුවක් වී ඇති බව මෙහිලා ඉතා ගෞරවයෙන් මතක් කල යුතුය.  තත්වය එසේ වුවත් මෙහි පැවැත්ම තවදුරටත් අවශ්‍ය බව අප තේරුම් ගත යුතුය. ඒ මන්දයත් ආධුනික භූ විද්‍යාඥයින් හට තම තමන්ගේ දස්කම් විස්කම් තම වර්ගයාට පෙන්වන්නට කදිම තෝතැන්නක් මෙහි සකසා දෙන බැවිනි. මා 2002 වසරේ සිටම එම අගන අවසථාව හිමි කරගත් අයෙක්. මාගේ ප්‍රථම පර්යේෂණ පත්‍රිකාව එළි දක්වන්නට 2002 වසරේදී හැකි විය. ඒ මා මගේ තනි කැමැත්තෙන් කරන ලද අවසාන වසරේ පර්යේෂණ පුස්ථකය මූලික කරගෙනය. ඉන්පසු එක දිගට වසර ගණනාවක් පුරාවට මාගේ පර්යේෂණ චාරිකාවල ලත් තොරතුරු විද්‍යාත්මකව සම්පාදනය කර වාර්ෂික පර්යේෂණ සමළුවේ දී ඉදිරිපත්කරන්නට භාගයය ලද්දෙමි. ම ඉදිරිපත් කල සමහර විෂය ක්ෂේත්‍ර සහ මාතෘකා බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්විය. 

වසර කිහිපයකම එහි විද්වත් කමිටුවේ සාමාජිකයෙකු වන්නට ද මා හට හැකි විය. එමගින් ද මා ලද අත්දැකීම් බොහෝය. එමෙන්ම ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ තිස් හයවෙනි (2019/2020) කමිටුවේ ද තිස්හත්වෙනි කමිටුවේද (2020/2021) ලේකම් ලෙස පිට පිටම දෙවතාවක්ම කටයුතු කරන්නට ලැබීම ද එක්තරා ආකාරයකට මා ලද භාග්‍යයකි. එවැනි අත්දැකීමක් ලබන්නට නවක භූ විද්‍යාඥයින් උත්සුක විය යුතුය. මෙවැනි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු හඳුන්ගන්නට ලැබීමද වක්‍රව ලැබෙන එක් වාසියකි.

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය අංකුර භූ විද්‍යාඥයින් දිරිමත් කිරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇත. ඒ අතර මහචාර්ය පි. ඩබ්. විතානගේ මහතා සිහිකරමින් එනමින් ශිෂ්‍යත්ව ලබා දීම විශේෂයි. මේ ශිෂ්‍යත්වය ආරම්භ කිරීමෙහි ලා මා හටද යම් සැලකියයුතු කාර්ය භාරයක් ඉටු කරන්නට ලැබීම ද සතුටකි. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භූ විද්‍යා සංගමයට, 1998 දී ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය කරන ලද ආරාධනාවක් අනුව රුපියල් 50,000 ක මුදලක් මෙම අරමුදල සඳහා සොයා දීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ‘උදුම්බරා’ නම් වූ සංගීත ප්‍රසංගය ඉදිරිපත් කර අවසානයේදී රුපියල් 75,000 ක මුදලක් මෙම අරමුදල වෙනුවෙන් ලබා දෙන්නට හැකියාව ලැබුණි. එකල මා විශ්වවිද්‍යාලිය භූ විද්‍යා සංගමයේ භාණ්ඩාගාරික තනතුර දරමින් සිටි අවධියයි. ඒ වෙනුවෙන් එලෙස සක්‍රියව දායකත්වය ලබා දීමට හැකි වීම සාමුහිකත්වයේ වගකීම ඉෂ්ටකිරීමට ලද මහඟු අවස්තාවක් ලෙසයි මා සලකන්නේ. 

වාර්ෂිකව අවංම ලෙස පර්යේෂණ පත්‍රිකා සහිත සඟරා දෙකක් එලි දක්වමින්  සාමාජිකයන්ගේ සංචාරක අත්දැකීම් ලෝකයට එලි දක්වන්නට ද කටයුතු කර ඇත. එලෙස භූ විද්‍යා සන්ධර්භය තුල මහඟු කාර්ය භාරයක් ඉටුකරමින් සාර්ථක සංචාරයක නිරත වන භූ විද්‍යා සංගමය තවත් චිරාත් කාලයක් දක්වා පවත්වාගැනීම සාමාජික අප ඔබ සියල්ලන්ගේම වගකීම බව සිහි තබා ගතැහැ යුතුය. එය අනාගත ආයෝජනයක් බව අප අමතක කල යුතු නොවේ. 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Friday 13 March 2020

 මිනිස්‌සුන්ට පිස්‌සු සාදන ඊයම් ලෝහය
This article is originally published on Divaina, 11.03.2020.

රෝ මය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කරමින් සිටි බව ලෝක ඉතිහාසයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ කතාවකි. මෙතරම් ආපදාවක්‌ වෙද්දී ඔහු සතුටු වන්නේ කෙලෙසද යන්න ගැටලුවක්‌ නොවේද? ඔහු සිහි බුද්ධියෙන් සිටියා විය නොහැක. යම්කිසි මානසික ව්‍යාකුලතාවක්‌ තිබුණා විය හැක. රෝම ඉතිහාසයේ භූ සම්පත් භාවිතය සලකා බැලීමේදී මේ හා සැසඳෙන අපූරු ඛනිජයක්‌ ගැන සඳහන් වන බව අපට පෙනී යයි. ඒ වෙන කිසිවක්‌ නොව අධික ලෙස ඊයම් ලෝහය භාවිත කිරීමයි. රෝමානුවන් ඊයම් ලෝහය භාවිත කරන ලද්දේ ජලාපවහන කටයුතු සඳහා වන අතර ඊයම් වලින් සාදන ලද -ඊයම් සීනි, වයින් රස ගන්වන්නට භාවිත කළ බව සඳහන් වේ. ඊයම් යනු විවිධ ඇනායන හා සම්බන්ධ වූ සංයෝගයක්‌ ලෙස සොබාවික පරිසරයේ මුණගැහෙන ඛනිජයකි. ගැලීනා (galeena) ලෙස හඳුන්වන්නේ ඊයම් සල්µයිඩයයි. ඊයම් සල්ෆෙටය ද ඊයම් කබෝනේටය ද සොබාවික පරිසරයේ දක්‌නට ලැබෙන අතර ඊයම් උකහා ගැනීම සඳහා වැඩිපුරම ලොව භාවිත කරන ඊයම් ඛනිජය වන්නේ ගැලීනා ඛනිජයයි.
 
 ඊයම් යනු බැර ලෝහ ගණයට වැටෙන ලෝහයකි. බැර ලෝහ සොබාවික පරිසරයේ දක්‌නට ලැබුණ ද ශරීරගත වීම සෞඛ්‍යමය ගැටලු ඇතිකරන මූලද්‍රව්‍ය වෙයි. ඊයම් ශරීරගත නොවිය යුතු ලෝහයක්‌ ලෙස හඳුනාගෙන ඇත. ඒ මන්ද යත් එමගින් මිනිසාගේ ස්‌නායු පද්ධතියට හානි සිදුකරන බැවිනි. ඊයම් ශරීරගත වීම එනිසා යම් කිසි ආකාරයකට මිනිසාගේ මනස විකෘති කරන්නට හැකියාවක්‌ ඇති බව පැහැදිලි වේ.
 
 ස්‌වභාවික පරිසරයේ ඊයම් ඉහත කී ඛනිජ ලෙස පවතින අතර අවසාදිත ගොනු අතර නිධිගත වීමේ සම්භාවිතාවක්‌ ඇත. එනමුත් ප්‍රාථමිකව ආග්නේය පාෂාණ සහ විපරිත පාෂාණ සමග බිහිවන අතර ඒවායේ ජිර්ණය සහ ඛාදනය අවසදිතකරණය සඳහා හේතුවෙයි. අඩු උෂ්ණත්වයකදී පහසුවෙන් උණුවන ඛනිජයකි. එනිසා ඉතා පහසුවෙන් උකහා ගැනීමේ හැකියාව ඇත. සොබාවික පරිසරයේ පවතින අනෙකුත් රසායනයන් සමග ප්‍රතික්‍රියා කර වෙනත් ඊයම් ඛනිජ බවට පත් වීමේ හැකියාව පවතී. ජීර්ණ ප්‍රතික්‍රියා මඟින් ඊයම් සල්ෆෙටය සහ ඊයම් කාබෝනේටය බවට ද පත් වෙයි. එම සඳහා කිසියම් ආකාරයකට ක්‌ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ද බලපාන බව සඳහන් වෙයි.
 
 ඊයම් පතල් පිළිබඳ පැරණි තොරතුරු යකඩ යුගයේ සිටම සඳහන් වනමුත් බහුල භාවිතය සිදුවන්නේ 17 වැනි සහ 18 වැනි සියවස්‌ වලදී මෙන්ම ඊට පෙර කල රෝමානුවන් විසින් ද බව ඉතිහාසයේ සඳහන් වෙයි. 19 වැනි සියවසේදී ද ඊයම් බහුල භාවිතය පිළිබඳව සඳහන් වේ. ඊජිප්තු වැසියන් ඊයම් අංජන සාදා ගැනීම සඳහා භාවිත කර ඇත.
 
 වර්තමානයේදී ඊයම් භාවිත වන්නේ වෙඩි උණ්‌ඩ නිෂ්පාදනයට, බැටරි නිෂ්පාදනයට වාගේම විවිධ පයිප්ප වර්ග නිෂ්පාදනයට ද යොදා ගැනේ. ඊයම් තරමක්‌ වැඩි බරකින් යුක්‌ත නිසා බෝට්‌ටු සහ නැව්වල බර තුලනය සඳහා -තුලන බෝල (ballast) නිෂ්පාදනය සඳහා ද යොදා ගනී. ඒ වාගේම බරක්‌ අවැසි කිමිදුම් කරුවන්ගේ බඳපටි සඳහා ද භාවිත කරයි. ඊයම් ලෝහය ඉතා අඩුවෙන් ජීර්ණයට ලක්‌වෙන නිසා ගැඹුරු ජලයේ/මුහුදේ භාවිත කරන විදුලි කේබල ආවරණයට ද යොදා ගනි. තීන්ත නිෂ්පාදනයේදී ද ඊයම් අංශු යොදා ගනී.
 
 ඊයම් අංශු ඉතා පහසුවෙන් වායුගෝලයට මුක්‌ත වීමේ හැකියාව ඇත. එනිසා දූවිලි අංශු සමග බැඳෙන ඊයම් අංශු ඉතා පහසුවෙන් මිනිසාගේ ශ්වසන පද්ධතිය ඔස්‌සේ දේහගත වීමේ හැකියාව ඇත. එමෙන්ම ජලයට ද පසට ද පමණක්‌ නොව ජෛව ගෝලයට ඇතුළු වීමේ හැකියාව ද ඇත. බොහෝ විට පොසිල ඉන්ධන භාවිතය නිසා ද කර්මාන්ත නිසා ද ඊයම් වායුගෝලගත වීම පහසුවෙන් සිදුවේ. ඊයම් යනු ජෛව සංචායනය විය හැකි බැර ලෝහයකි. එනිසා කුඩා ප්‍රමාණවලින් පවා එකතු වීම දිනෙක ප්‍රබල ලෙස බලපාන ගැටලු ඇති කරන්නට හේතුවෙයි.
 
 ලොව වැඩිපුරම ඊයම් නිෂ්පාදනය කරන රටවල් වන්නේ චීනය, රුසියාව ඇමෙරිකා එක්‌සත් ජනපදය, පේරු රාජ්‍යය, මෙක්‌සිකෝව ඉන්දියාව යනාදී රටවල් වෙයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...