සිංහල වාරි සංස්කෘතිය
භූ සංචාරිතය 47
This article is originally published on Vidusara
සිංහලයෝ වැව් තැනුවෝ වෙති. විජයගෙන් ඇරඹි ඒ සිංහල
රාජවංශයේ බොහෝ රජවරු ඒ සඳහා ඉතා කදිම දායකත්වයක් දක්වා ඇත. මහා වංශය පවසන අන්දමට අභය
වැවෙන් ඇරඹි වාරි සංස්කෘතිය සිංහල සංස්කෘතියේ මුල් තැනක් ගත්තෙකි. වන්නියේ වියළි කාලගුණික
තත්වය හමුවේ ද තැනිතලා භූ විෂමතාවය ද ඒ සඳහා කදිම සහයෝගයක් ලබා දෙන්නට ඇත. වියලි පරිසරය
සැමවිටම බලකර සිටින්නේ ජල සංරක්ෂණයේ යෙදෙන ලෙසයි. ඉන් ලද ගැම්ම විසල් වැව් තනන්නට සිංහලයා
පොළඹවන්නට ඇත.
මහාවංශය සිංහලයා සතු අපූරු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක්
බව පැවසිය යුතුමය. වසර දහසකට අධික අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සඳහන් කර ඇත්නං ඒ මහාවංශයේ
ය. සමහර විද්වතුන් මෙය ප්‍රශ්න කරයි. පිළිගත නොහැකි බව පවසයි. එනමුත් මහාවංශය සිංහල
ඉතිහාසය ගැන කදිම තොරතුරු රාශියක් අප හමුවේ තබයි. කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහි
බුද්ධියෙන් ඇසිය යුතුයි යනුවෙන් සිංහල කියමනක් ඇත. එනිසා සෑම දෙයක් ගැනම යම් කිසි තාර්කික
පදනමක් මත පිහිටුවා අධ්‍යනය කිරීම හොඳය.
වාරි සංස්කෘතිය ඇරඹියේ විජයගෙන් පසුද යන්න මා
හමුවේ ඇති ගැටලුවයි. භූ පරිසරයේ මුණ ගැහෙන මේ අපූරු ගොඩනැගුම සිංහල ඉංජිනේරු
තාක්ෂණයේ කදිම මුහුණවර අප ඉදිරියේ නිරාවරණය කරයි. අදමෙන් දායක වූ සියල්ලන්ම පැත්තක්
තබා කිසිවක් නොකළ දේශපාලනඥයකුගේ නාමය සඳහන් කර සටහන් තබා ඉදිවන ඉදිකිරිම් ලෙස නොව කිසිවක් සොයාගැනීමට කිසිම සටහනක් නොතබා ඉදිකළ
මේ ඉදිකිරීම් සිංහල ඉංජිනේරු තාක්ෂණයේ අපුර්වත්වයම ගෙනහැර පාන බව අමතක නොකළ යුතුය.
විජය මෙරටට පැමිණෙන විට කුවේණිය සිටියේ කපු කටිමින්
බව පැවසෙයි. ඉන් ගම්‍යවන්නේ හික්මවීමට අවශ්‍යතාවක් නැති හොඳින් දියුණු වූ මනා සංස්කෘතියක්
හිමි වූ මිනිසුන් පිරිසක් මෙහි සිටි බවයි. ඇඳුම් ආයිත්තම් අවශ්‍ය වුවෝ නම් හොඳින් හික්මවුන
සංස්කෘතියක් හිමිකාරයෝ වෙති. එනයින් බලනකල මෙරට තාක්ෂණය, සංස්කෘතිය සහ සභ්‍යත්වය ගැන
අමුතුවෙන් විචාරීම අවශ්‍යතාවයක් නොවේ. සංස්කෘතියේ
සහ සභ්‍යත්වයේ උච්චත්වයට පත් විසල් රටකට ආසන්නයේ පිහිටි මේ කදිම දූපතේ විසූවෝ බුදුන්
කල සිටම ජිවිතයේ අරුත සෙවුවෝ විය යුතුය. බුදු දහම වැළඳ ගන්නට දෙපාරක් නොසිතු මොවුන්
බුදුන් කල සිටම බෞද්ධයෝ වූහ.
එනිසාම මෙරට කෘෂිකර්මාන්තය ගැන අමුතු තර්ක
ඇති කිරීමෙන් පලක් නොවේ. අපගේ හෙළ මුතුන් මිත්තන් විජය පැමිණෙන්නට පෙර සිටම වී ගොවිතැන
කරන්නට ඇති බවට සැකයක් නොමැත. එනිසා වාරි කර්මාන්තයේ භාවිතය ගැන සැකයක් ඇති කර ගත යුතු
නොවේ. ඉන්දියාවේ පවා ප්‍රමුඛ නොවූ මෙවන් වූ වාරි තාක්ෂණයක් මෙරට ප්‍රමුඛ වන්නේ ඉන්දියාවෙන්
ලද අභාෂය නිසා නොවන බව පැහැදිලිය.
තැනිතලා බිමෙහි සියුම් උච්චාවචනයන් සොයාගන්නට
එකල විසු අපගේ මුතුන් මිත්තන්හට අපූරු දැනුමක්, තාක්ෂණයක් තිබෙන්නට ඇත. එනිසාම ‘එල්ලන්ගාව’
නමින් හැදින්වෙන වාරි පද්ධතියක් ගොඩ නගන්නට ඔවුනට හැකි විය. එක් ජලාශයකට ජලය පිරි ඉතිරි
යන කල වැඩි ජලය නැවතූ එකතු කර ප්‍රයෝජනයට ගන්නට පහලින් තවත් වැවක් ඉදි විය. එලෙස එකිනෙක
හා බැඳුන වැව ගණනාවක් බිහි වන්නට ඇත.
භූ සංචාරිතයේ යෙදෙන ඔබ වන්නියේ වාරි සංස්කෘතිය
නැරඹීමට අමතක නොකරන්නේය. ගිනිගහන අව්වේ වේදනා සමනය කරන්නට මේ අපූරු වාරි පරිසරයට හැකි
විය. විසල් ප්‍රදේශයක් පුරා විසිරි පැතිර යන වාරි පරිසරය ගිනි ගහන අව්වේ වායුගෝලයට
ජල වාෂ්ප එක් කරන්නේ රත් වූ පරිසරය සිසිලනය කරමින්. ඒ එපමණක් නොව ලවණ සාන්ද්‍රණය වැඩි
භූ ගත ජලය වෙනුවට මෘදු වැසි ජලය භාවිතයට හුරුකරවන්නට මේ වාරි සංස්කෘතියට හැකි විය.
එකල්හි සිටියෝ භූ ගත ජලයේ ගුණාගුණ දැනගත්තෝ වෙති.
ඔවුන්හට යම් කිසි ප්‍රමාණයකට භූ විද්‍යාත්මක දැනුමක් හිමි වී තිබු බව හොඳින් පැහැදිලි
වේ. එනිසාම ඔවුහු ලවණ සාන්ද්‍රණය අධික ජලය භාවිතා නොකර මෘදු වැසි ජලය භාවිතයට හුරු
විය. එමගින් තමන්ගේ වකුගඩු අරක්ෂා කර ගන්නට සමත් විය. එපමණක් නොව වාරි කර්මාන්තයේදී
වැදගත් වන ජල ගබඩාව සඳහා අවශ්‍ය භූ පසුබිම සකසා ගැනීමේදී මැටි ඛණිජ වල වැදගත්කම ඔවුන්
හොඳින් දැනගෙන ඉන්නට ඇත. එනිසාම අපාරගම්‍ය මැටි තට්ටුවක් වැව් පතුලේ සකසා ජලය භූ ගත
වීම වලක්වාගෙන ඇත. ජලය පිරුණු පසු ඇතිවන වාෂ්ප වීම වලක්වා ගැනීම සඳහා ඕලු, නෙලුම්,
මහනෙල් වැනි ශාක වවා ජලය ආරක්ෂා කරගෙන ඇත. එපමණක් නොව පාරසරික සංගුනකයක ද මෙමගින් තහවුරු
කරන්නට හැකි වී ඇත.
නවීන කෘෂිකාර්මික වත් පිළිවෙත් වන්නියේ ගොවීන්ගේ
සාම්ප්‍රදායික දැනුම සහ ඔවුන් සතු සක්සුදක් සේ තහවුරු වූ ඥානය අභියෝගයට ලක් කලේ නිසරු
වත් පිළිවෙත් යැයි ඉවත දමමින්. එමගින් වූයේ මේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමයි. වැසි
ජලය පිරි වැව් අමුණු කෘෂිකාර්මික රසායනයන්ගෙන් දූෂණය වීමෙන් පසු ඔවුනගේ වැසි ජල භාවිතය
ද ඇණ හිටුනි. එනිසා වන්නියේ මිනිසුන් නිතැතින්ම තල්ලු වූයේ ලවණ සාන්ද්‍රණය අධික භූ
ගත ජල පරිහරණයටයි. එයයි රජරට වකුගඩු රෝගය ආරම්භය වූයේ. මේ පිළිබඳව අද බොහෝ දෙනෙකුගේ
අවධානය යොමුවන්නේ නැත. මෘදු ජලය භාවිතා කරන්නන් හට මේ රෝගයෙන් මිදීමේ හැකියාවක් ඇති
බව මා කල ක්ෂේත්‍ර විමර්ශනයකින් හෙළිවීම මාගේ අනුමානය තහවුරු කරන්නනෙකි.
පාරිසරික තුල්‍යතාවය ගැන මනා වැටහීමක් ඇතිව එකල
විසු අපගේ මුතුන් මිත්තන් වැඩකටයුතු කරන්නට ඇත. එනිසාම පාරිසරික සංරක්ෂණය සැමටම වඩා
ප්‍රමුඛ කරගන්නට ඇත. එමගින් මුතුන් මිත්තන් සිදුකල පාරිසරික වෙනස්කම්වල පසු බලපෑම්
අවම කරගන්නට සමත් විය. එනිසාම මිනිසාගේ යහපැවැත්ම
පමණක් නොව පරිසරයේ යහපැවැත්ම ද තහවුරු කරගන්නට
හැකි වීම කොතරම් අපූරු ද යන්න වැටහෙන්නෙකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ