පාංශු ඛාදනයේ අහිතකර තත්වය....!!!
භූ සංචාරය 49
පෘථිවියේ මතුපිට වැස්ම පසය. නැතහොත් අවසාදිත
ය. මෙහිදී පණ නගින ගැටළුවක් වෙයි. ඒ පස් සහ අවසාදිත යනු මොනවාදැයි යන්නයි. අපි ඒ පිළිබඳව
පසුව කතා කරමු. මෙවර භූ සංචාරිතය වෙන් වන්නේ අපට ඉතා වැදගත් වෙන අප යනඑන හැමතැනම,
අප වෙසෙන හැමතැනම පවතින, හැමතැනම දැක ගත හැකි භූ සම්පතක් ගැන කතා කරන්නටයි. මේ භූ සම්පත
ගැන යම් යම් කරුණු දැනකියා ගැනීම වඩා වැදගත් වෙන්නේ සංචාරකයන්ට පමණක්ම නොවේ. මෙළොව
වෙසෙන සෑම දෙනෙකුටම පස් සහ අවසාදිත ගැන දැනගැනීම වැදගත් වන්නේ එය අවසානයේ දී මානව වර්ගයාගේ
පැවැත්ම තීරණය කරන එක් සාධකයක් වන බැවිනි.
පාෂාණ ජිර්ණයේ ප්‍රතිඵලයක් ලෙස මෙලොව බිහිවන
පාංශු දේහයන් ඉතා සංකීර්ණ වර්ගීකරණයකට හිමිකම් කියයි. ඉන් පෙනී යන කරුණ වන්නේ විවිධ
ආකාරය පස් සහ අවසාදිත මෙළොව පවතින බවයි. ජීර්ණයට ලක්වන පාෂාණයේ ස්වරුපය හැමවිටම පාංශු
දේහයන්හි මූලාරම්භකයන් හි විවිධත්වය ආරක්ෂා කරයි. එයට එක්වන කාබනික ද්‍රව්‍ය නිසා පස
නිර්මාණය වෙයි. මෙම පස බොහෝවිට පාෂාණය ජීර්ණයට ලක්වන ස්ථානයේ ම පවතින අතර විවිධාකාරයේ
ඒජන්තයන් නිසා පරිවහනයට ලක්වෙයි. පරිවහනයට ලක් වූ පස භුමියේ පහත් තැනක, නිම්නයක තැන්පත්
වී අවසාදිත නිර්මාණය කරයි. මෙය අවසාදනය ලෙස හඳුන්වයි. අවසාදිත ද වර්ග ගණනාවකට වෙන්
කල හැක.
පස් නිර්මාණය වන්නේ පවතින පාෂාණය ක්‍රමයෙන් ජීර්ණය
වීමෙන් නිසා පාංශු ස්ථර වර්ධනය වන්නේ ඉහල සිට පහළටය. එය සැමවිටම අත්‍යන්ත සත්‍යක්
වන අතර පාංශු ස්ථර ඝනකම් වන්නේ එනිසා භූ අභ්‍යන්තරයටයි. නමුත් පරිවහනයට ලක් වූ පාංශු දේහයන් අවසාදනය වීමෙන් බිහිවන
අවසාදිත ස්ථර වර්ධනය වන්නේ පහල සිට ඉහළටයි. පත්තර ගොඩ ගැහෙන්නාක් මෙන් එකින් මත අවසාදිත
ස්ථර තැන්පත් වෙයි. මෙයද අත්‍යන්ත සත්‍යක් වන අතර එනිසා අවසාදිත ස්ථර ඝනකම් වන්නේ පහල
සිට ඉහළටයි.
පස් සහ අවාසදිත ලෙස අප වෙන්කලත් පොදුවේ මේ සියල්ල
පස් ලෙස හැදින්වෙයි. ඒ කෙසේවෙතත් මතුපිට වැස්ම වන මේ පාංශු ස්ථරය ජෛව පද්ධතිය රඳවා
තබන්නේ ජිවය අඛණ්ඩව පවත්වා ගැනීමට උදව් උපකාර කරමින්. ප්‍රාථමික ජීවින් තම දේහයන් ඍජුව
පවත්වා ගන්නේ මේ පාංශු ස්ථරය මතයි. මූල පද්ධතිය ශාක කඳ ඔසවා තබන අතර දේහය පවත්වාගැනීමට
අවශ්‍ය ඛණිජ සහ අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය උරා ගන්නේ මේ පාංශු දේහයන් වලිනි. මෙනිසා පස්
ඉතා වැදගත් භූ සම්පතකි.
අද වනවිට විවිධ මානව ක්‍රියා
නිසා පස් දුෂණයට සහ ඛාදනයට ලක්වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ මෑත කාලිනව කඳුකරයේ සිදුකරන
ලද දැවැන්ත සංවර්ධන කටයුතු ද අතීතයේ ඉංගිරිසීන් විසින් සිදුකරන ලද මහා පරිමාණ
කඳුකර කැලෑ එළිපෙහෙළිය නිසාත් කඳුකරයේ සෞඛ්‍ය පිරිහෙමින් පවතී. එනිසා මෑත කාලිනව බොහෝ
නාය යෑම් වැනි ක්‍රියා වේගවත් වී කඳුකරයේ පස දරුණු ලෙස සෝදා පාළුවට ලක් කර ඇත.
මෙනිසා පොළොවේ වටිනාම වැස්ම ක්‍රමයෙන් අපට අහිමි යන බව පෙනී යයි. මෙය එතරම් සුභදායක
දෙයක් නොවන බව අප වටහා ගත යුතුය. සෝදාපාළුවේ
අවසානය වන්නේ නිසරු පොළොවක් බිහි වීම බව අප අමතක නොකළ යුතුය. නිසරු පොළොව බොහෝ ගැටළු
ගණනාවකටම මග පාදන බව අප තේරුම් ගත යුතුය.
නවීන කෘෂිකාර්මික යෙදවීම් නිසා ද සමස්ථ ශ්‍රී
ලාංකේය භූමියම මේ වන විට රසායනික ද්‍රව්‍යයන් නිසා වේගයෙන් දූෂණයට ලක් වෙමින් පවතී. මේ ප්‍රවණතාවය
ඇතිවීම කෙරෙහි මෙරට විද්වතුන්ගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හේත්වක් වී ඇති බවයි මාගේ
අදහස වන්නේ. පස දූෂණයට ලක් වීම ඇත්තෙන්ම භූ ගත ජලය පමණක් නොව මතුපිට ජලය පවා දූෂණයට
ලක් කරන්නට හේතුවන බව අප අමතක නොකළ යුතුය. එනිසාම පසෙහි සමස්ථ ජීවයම අතුගා දමන්නට හේතුවක්
වී ඇති බවයි පෙනී යන්නේ. එපමණක් නොව මේ හේතුවෙන් මෙළොව සමස්ථ ජිවයම වඳ වී යන්නට පවා
හේතු විය හැක බව දූර්දර්ශිව සිතන්නේ නම් ඔබට වටහා ගත හැක.
ඛාදනය සහ දූෂණය නිසා මෙරට කඳුකරයේ පාංශු වැස්ම
නැවතත් යථා තත්වයට පත් කල නොහැකි ලෙසම විනාශ වී යනු ඇත. එවිට වන්නේ අනාගතයේ වගා කිරීමට
හැකි සහ ඇති භූමින් අභාවයට යාම් බව ඔබට වටහා ගත හැක. එනිසා මෙරට ආහාර නිෂ්පාදනය පසු
බසිනු ඇත. පසෙහි රසායනික දූෂණය නිසා ද වගා කල හැකි භූමින් හිඟවන අතර මේ හේතුවෙන් සිදුවන
ජල සම්පත් දූෂණයද භාවිතයට ගත හැකි ජලය අපට අහිමි කරලයි. ජලයේ දුෂණය නිසා පිරිසිදු පස
වේගයෙන් දුෂණය කරන්නට හේතු වෙයි.
වගාකළ හැකි භුමින්ගේ අභාවය අහර නිෂ්පාදනයට ඍජුවම
සම්බන්ධ නිසා මෙරටට අනාගතයේ දී ඉතා විශාල ගැටළු ගණනාවකටම මුහුණ පාන්නට සිදුවන් ඇත.
එනිසා මේ සම්බන්ධව ඇති වගකිවයුතු ආයතන පමණක් නොව මෙරට සමස්ථ ජනතාවම මේ පිළිබඳව අවධානය
යොමුකර පසෙහි සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය සඳහා යොමු විය යුතුය. මේ සියල්ල සලකා බැලූවිට
පසෙහි අගය මිල කල නොහැකි අතර භෞතික ගෝලයන්හි සමස්ථ කලමනකරණයම පාංශු ගෝලය මත පැටවී ඇති
බව ඔබට තේරුම් යයි.
ඉතා පැරණි කාලවලදී පවා බිහි වූ පාංශු සහ අවසාදිත
තැන්පතු මෙරට බොහෝ ස්ථාන වල තවමත් දැක ගත හැකිය. ඒවායේ වටිනාකම ද බොහෝය. අතීත කාලගුණික
තත්වයන් සහ පාරිසරික තත්වයන් අනාවරණය කරගැනීම සඳහා පමණක් නොව අතීත ජෛව විවිධත්වය සටහන්
කිරීමටද මෙරට රත්නපුර සහ ඇලහැර වැනි ප්‍රදේශ වල ද මෙරට ගල්ගුහා තුල එකතු වූ පාංශු දේහයන්
ද තබ්බෝවේ සහ ආණ්ඩිගම වැනි ප්‍රදේශවල හමුවන ඉතා පැරණි අවසාදිත තැන්පතු ද යාපනයේ රක්ත
අවසාදිත තැන්පතුද මෙහු ලා ප්‍රමුඛස්ථානයක් ගන්නා බව අමතක නොකළ යුතුය.
ඒ කෙසේවෙතත් පාංශු සහ අවසාදිත ගොනුවල සංරක්ෂණය
කෙරෙහි අපගේ අවධානය මෙරට වඩා වැඩියෙන් යොමුවිය යුතු අතර, දිගුකාලින වැඩපිළිවෙලක් සමග
මෙරට ජනතාව එයට සහයෝගය දැක්විය යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ