Saturday 24 July 2021

ආග්නේය පාෂාණ (Igneous Rocks)

හැඳින්වීම

ලෝකයේ බහුලවම පැතිරුණ පාෂාණ වර්ගය වන්නේ ආග්නේය පාෂාණ යි. පෘතුවි කබොළත් (Crust) හරයත් (Mantle) නිර්මාණය කරන්නා වූ මූලික පාෂාණ වර්ගය වන්නේ ද ආග්නේය පාෂාණ යි. ආග්නේය පාෂාණ ලොව පවතින ප්‍රථමික පාෂාණ (primary rocks)  ලෙස හැඳින්විය හැක. ආග්නේය පාෂාණ සහ විපරිත පාෂාණ (metamorphic rocks) එකතුව කබොලේ 95 % පමණ නිර්මාණය කරයි.

ආග්නේය පාෂාණ ඇතිවන්නේ ද්‍රව බවට පත් වූ පාෂාණ (melted rocks) වලිනි. ලොව පවතින ඕනෑම පාෂාණයක් භූ අභ්‍යන්තරයේ දී අර්ධ ද්‍රව හෝ ද්‍රව බවට පත් වීමේ හැකියාව ඇත්තේය. භූ අභ්‍යන්තරය තුලට කිඳා බසින පාෂාණ භූ අභ්‍යන්තරයේ පවතින අධික තාපය කරන කොටගෙන මෙලස ද්‍රව බවට පත් වීමේ හැකියාව ඇත. මෙලස උණු වූ පාෂාණ ද්‍රවය හඳුන්වන්නේ “ලෝපාතරල” (magma) ලෙසයි. යමහල් විදාරණය (Volcanism) තුලින් භූ මතුපිටට මේ ලෝපාතරලය, සංයුතියේ (composition) සිදුවන වෙනස්කම් මත ලෝදිය (Lava) ලෙස හැඳින්වේ.  

ලෝපාතරලය සහ ලෝදිය (Magma and Lava)

ඉහත පැවසු ආකාරයට ලෝපාතරලය බිහිවන්නේ භූ අභ්‍යන්තරයේ ඇති පාෂාණ අධික තාපයට සහ පිඩන වෙනස්වීම් වලට ලක් වීම හේතුවෙනි. බොහෝ විට මෙම ක්‍රියාවලිය සිදුවන්නේ භූ අභ්‍යන්තරයේ ඉතා ගැඹුරේ වන අතර එම ගැඹුර බොහෝ විට කබොලෙහි පත්ලට ආසන්නව හෝ හරයේ කුමන හෝ තැනක විය හැක. ලෝපාතරලයේ සංයුතිය ද්‍රව වන පාෂාණය මත තීරණය වන අතර, හරයේ පාෂාණ බොහොමයක් අධික ලෙස යකඩ සහ මැග්නීසියම් වැනි මුලද්‍රව්‍ය අඩංගු නිසා හරයේ හටගන්නා ලෝපාතරලයේ එවැනි මුලද්‍රව්‍ය වලින් පොහොසත් වේ. කබොලෙහි පාෂාණ උණු වීමෙන් ඇතිවන ලෝපාතරලයේ සංයුතිය සිලිකා අධික වීමෙන් විශේෂණය වෙයි.

විවිධ ලෝපාතරල

ලෝපාතරල වර්ණය සහ සංයුතිය සහ හටගන්නා ස්ථානය අනුව වර්ග කල හැක. වර්ණය සහ සංයුතිය අනුව වර්ග කරන්නේ නම් වර්ග දෙකක් හැඳිනගත හැක.

1.       කාලක ලෝපාතරල (Mafic magma) 2. ශ්වේතක ලෝපාතරල (Felsic Magma)

වැඩිපුර යකඩ සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය අඩංගු ලෝපාතරලය අඳුරු හෝ කලු පැහැයෙන් යුක්තය එවැනි ලෝපාතරල කාලක ලෝපාතරල නම් වේ. මෙම අඳුරු පැහැය ගෙන දෙන්නේ සංයුතියේ පවතින යකඩ සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය නිසාවෙනි. මෙවැනි කාලක ලෝපාතරල ඇතිවන්නේ බොහෝවිට හරයේ පාෂාණ උණු වීමෙන්.

යකඩ සහ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය හිග වීම තුල සිලිකා ප්‍රමාණය වැඩි වේ. එවිට වන්නේ ලෝපතරලය ධවල පැහැයක් නැතහොත් ලා පැහැයක් ගැනීමයි. එවැනි ලෝපාතරල ශ්වේත ලෝපාතරල ලෙස හැඳින්වේ. බොහෝ විට සිලිකා අධික කබොලෙහි පාෂාණ උණු වීමෙන් නිපැද වේ.

ලෝපාතරල හටගන්නා ස්ථානය අනුව ද වර්ග කල හැක.  ඒ අනුව වර්ග තුනකි.

1.       බැසෝල්ටික ලෝපාතරල (Basaltic Magma) 1. ඇන්ඩේසිටික ලෝපාතරල (Andesitic Magma) 3. රියෝලිටික ලෝපාතරල (Rhyolitic Magma)

පළමු ආකාරය වන ඉහත සඳහන් බැසෝල්ටික ලෝපාතරල බොහෝවිට නිර්මාණය වන්නේ හරයේ පාෂාණ උණු වීමෙන්. එනිසා මේවයේ සංයුතිය අනුව යකඩ, මැග්නීසියම් සහ කැල්සියම් වැනි මුලද්‍රව්‍ය වලින් අනුන බවත් පොටෑසියම් සහ සෝඩියම් වැනි මූලද්‍රව්‍ය අඩු බවත් සඳහන් වේ. උෂ්ණත්වය බොහෝ විට ඉතා අධිකය එය සෙල්සියක් අංශක 1000 ක සිට 1200 ක් පමණ පරාසයක පවති. වායු සංඝටක හිඟය. දුස්ශ්‍රාවිතාවය (Viscosity) අඩුය. ගලා යාමට වැඩි කැමැත්තක් දක්වයි.

දෙවැනි ආකාරය වන ඇන්ඩේසිටික ලෝපාතරල බිහිවන්නේ හරයට ඉතා අසන්න කබොලෙහි වන අතර එය ඉහල හරයේ වුව සිදු විය හැක. සංයුතිය බොහෝ විට ඉහත සඳහන් කල සංඝටක වල මධ්‍ය අගයක් ගනී. උෂ්ණත්වය සෙල්සියක් අංශක 800 ත් 1000 ත් අතර පැවති. දුස්ශ්‍රාවිතාවය ද මධ්‍ය අගයක් ගනී.  

තුන්වැනි ආකාරය වන රියෝලිටික ලෝපාතරල බිහිවන්නේ බොහෝවිට කබලෙහි පාෂාණ උණු වීමෙන්. සංයුතිය අනුව ගත්කල මේවායේ යකඩ, මැග්නීසියම් සහ කැල්සියම් වැනි මූලද්‍රව්‍ය හිඟ අතර පොටෑසියම් සහ සෝඩියම් වැනි මූලද්‍රව්‍ය බහුලය. දුස්ශ්‍රාවිතාවය වැඩිය. වායු සංඝටක වැඩිය. උෂ්ණත්වය සෙල්සියක් අංශක 650 ත් 800 ත් අතර පවතී. මෙම ලෝපාතරල නිසා ඇතිවන යමහල් (Volcano), පිපිරීමට (explosive) දක්වන නැඹුරුතාවය වැඩිය. ලෝ දිය ගලායාමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.

ලෝපාතරල බිහිවීම

කුමන හෝ පාෂාණයක් උණු වීමෙන් ලෝපාතරල භූ අභ්‍යන්තරයේ බිහි වේ. ලෝපාතරල බිහිවන පරිසරය බොහෝ විට හරය ආශ්‍රිතව හෝ කබොල ආශ්‍රිතව පවතින භූ තල මායිම් (Tectonic Margins) වලදී ය. ඒ ඒ ස්ථානවල පවතින පාෂාණ උණු වීමෙන් ඇතිවන ලෝපාතරලය ඝනත්වය (Density) අඩු හෙයින් ඉහලට තල්ලු වී හරයේ හෝ කබොලෙහි යම් යම් ස්ථානවල හිර වන අතර මේවා ගබඩා වන ව්‍යුහ “ලෝපාතරල කුටීර” (Magma Chambers) ලෙස හැඳින් වේ.

ලෝපාතරල කුටීර වල එක් රැස් වූ මෙම උණු ද්‍රව ප්‍රාග් පාෂාණමය ද්‍රව්‍ය අධික උෂ්ණත්වය නිරන්තරයෙන්ම චලනය වෙමින් පවතී. කුටීරය තුල තාපය උරාගෙන රත්වන ලෝපාතරල ඝනත්වය අඩු වීමෙන් ඉහල නගින්නට පටන් ගන්නා අතර එය ක්‍රමයෙන් ඉහල යාමේ දී එහි තාපය නිදහස් කරමින් ක්‍රමයෙන් ඝනත්වය වැඩි කරගැනිම නිසා නැවත කුටීරයේ පතුලට බහින්නට පටන් ගනී. නැවත පතුලේදී තාපය උරාගෙන ඉහල නගින මෙම ලෝපාතරල කුටීරය තුල චක්‍රී චලනයක් ඇති කර ගනී. මේවා සංවහන ධාරා (Convection Currents) ලෙස හැදින් වේ. මෙවැනි චලනයන් නිසාත් අධික තාපය නිසාත් කුටීරය තුල ලෝපාතරලයේ පීඩනය වැඩි වීමෙන් ඉහලින් පවතින පාෂාණවල දුර්වල කලාප ඔස්සේ ඉතා වේගයෙන් මතුපිටට දෙසට විදින්නට (Injection) පටන් ගනී. මේ සඳහා අවට පරිසරයේ තාපය අධික වීමත් පීඩනය අඩුවීමත් මේ සඳහා හේතුවන බව විද්‍යඥයින් විසින් සොයාගෙන ඇත. ලෝපාතරලය මතුපිටට විදීමෙන් යමහල් ඇතිවන අතර අභ්‍යන්තරයේ සිරවන ලෝපාතරල පතාල පාෂාණ (Intrusive rocks or Plutonic rocks) බිහි කරන්නට හේතු වේ.

භූ තාපය (Geothermal Energy )

ලෝපාතරල බිහිකරන්නට අවැසි තාපය විකිරණශීලි මූලද්‍රව්‍යවල  විකිරණය මගින් ලබා දෙයි. පාෂාණ ද්‍රව වීම සඳහා හරයේ හෝ කබොලෙහි ඇතිවන පීඩන වෙනස ද බලපානු ලබයි. එයට අමතරව අධික තාපයට ලක්වන භූ අභ්‍යන්තරයේ පවතින සමහර රසායනයන් ගේ උත්ප්‍රේරණය ද මේ සඳහා හේතුවන බව සොයා ගෙන ඇත. භූ අභ්‍යන්තරයට යත්ම යත්ම ක්‍රමයෙන් උෂ්ණත්වය වැඩිවන අතර එය සෑම කිලෝමීටරයක් යාමේ දී සෙල්සියස් අංශක 25ත් 30 ත් අතර පරාසයකින් වැඩි විය හැක. මෙම අනුක්‍රමණය  (Geothermal Gradient) අඩු වැඩි විය හැක. කෙසේවෙතත් ඉහත කි විකිරණයත්, තවමත් ගබඩා වී ඇති මහා පිපිරුමෙන් ඇති වූ අධික තාපයත් මෙම භූ තාපය ඇතිකරන්නට හේතුවෙන බව විද්‍යඥයින් පවසයි.

ලෝපාතරල භූ අභ්‍යන්තරයේ කුටීර වල පවතිමින් සුදුසු අවසථාවන් වලදී විදාරණය (Explosion) වෙයි. මෙය “ලෝපාතරලයනය” (Magmatism) ලෙස හැඳින් විය හැක. භූ මතුපිටට පැමිණි පසු ලෝ දිය බවට පත් වේ. මෙලස වෙනස් නාමකරණයක යෙදෙන්නේ මේ අවස්ථා දෙකෙහි යම් යම් වෙනස්කම් හඳුනාගත හැකි බැවිනි. මෙම වෙනස්කම් පහත වගුවේ සඳහන් වේ.

 

 

ලෝපාතරලය

ලෝදිය

1

භූ අභ්‍යන්තරයේ පවතී

භූ මතුපිට පවතී

2

බොහෝ විට කාලක වර්ණයෙන්/සංයුතියෙන් යුක්තය

ශ්වේතක වර්ණයෙන්/සංයුතියෙන් යුක්තය

3

ඝනත්වයෙන් වැඩිය

ඝනත්වයෙන් අඩුය.

4

සිලිකා ප්‍රමාණය අඩුය

සිලිකා ප්‍රමාණය වැඩිය

5

උෂ්ණත්වය වැඩිය ( 800 – 1200 ත් අතර )

උෂ්ණත්වයෙන් අඩුය (650 ත් 800 ත් අතරය)

6

දුස්ශ්‍රාවීතාවය අඩුය

දුස්ශ්‍රාවීතාවය වැඩිය

 

වගුව : ලෝපාතරලයේ සහ ලෝදියෙහි වෙනස්කම්

 

ආග්නේය පාෂාණ වර්ග

ආග්නේය පාෂාණ නිර්මාණය වන පරිසරය අනුව ප්‍රධන වර්ග දෙකකි. ඒ අනුව නිපැදෙන පාෂාණය සංයුතියෙන් සහ වයනයෙන් (Texture) සපුරා වෙනස් විය හැක. බොහෝවිට පාෂාණයේ වයනය මෙමගින් බලපෑමට ලක් වේ. මෙහිදී පරිසරය ලෙස හැදින්වෙන්නේ පාෂාණ නිර්මාණය වන්නා වූ ස්ථානය වන අතර එය ලෝපාතරලය සිසිලනය (Cooling) වන්නා වූ හෝ ලෝපාතරලය ස්ඵටිකීකරණය (Crystallization) වන්නා වූ පෘතුවියේ කුමන හෝ ස්ථානයයි. එය පෘතුවි අභ්‍යන්තරය හෝ මතු පිට පෘෂ්ටය විය හැක.

පෘතුවි පෘෂ්ටය මතුපිටට පැමිණ ලෝදිය බවට පත්ව නිපැදවෙන පාෂාණ වර්ගය වන්නේ `නිශ්ක්‍රාන්ත පාෂාණ (Extrusive rocks) වන අතර ඒවා යමහල් පාෂාණ (Volcanic rocks) ලෙස ද හැදින්වේ. ලෝපාතරලය භූ අභ්‍යන්තරයේ යම් කිසි තැනක සිර වී සිසිලනය වීමෙන් හට ගන්නේ පාතල පාෂාණ (Plutonic Rocks) යි. ඒවා අක්‍රාන්ත පාෂාණ (Intrusive rocks) ලෙස ද හැඳින් වේ.

යමහල් පාෂාණ (නිශ්ක්‍රාන්ත පාෂාණ)

යමහල් විදාරණය (Volcanism) නිසා ලෝපාතරලය පෘතුවි පෘෂ්ඨය මතුපිටට පැමිණීමේ හැකියාව ඇත. ඉතා අධික පීඩනයකින් සහ උෂ්ණත්වයකින් යුක්තව පෘතුවි  පෘෂ්ඨය බිඳ දමමින් වේගයෙන් පැමිණෙන ලෝපාතරලය පිපිරෙන යමහල් ඇතිකරන්නේ ක්ෂණයකින් ඝනීභවනය (Rapid Cooling) වන ලෝදිය ඇතිකරමින්. ලෝ දිය විවිධ ලෙස ගලයන අතර විටෙක ඒවා පිපිරෙමින් අහසේ ඉතා වේගයෙන් පාවෙමින් පතිත වීමට ද හැකිය.

ලෝදිය බාහිරයට පැමිණේමේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 700 ත් 1250 ත් අතර පවතින අතර බාහිර පරිසරයේ උෂ්ණත්වය එයට වඩා බෙහෙවින් අඩුය. මෙ නිසා ලෝදියත් පරිසරයත් අතර ඇතිවන උෂ්ණත්වය අන්තරය විශාලය, වැඩිය. මෙලෙස උෂ්ණත්වය අන්තරය වැඩි වීමේ ප්‍රතිඵලය වන්නේ ලෝදිය ඉතා වේගයෙන් සිසිලනයට ලක් වීමෙන් ඝනීභවනය (Solidification) වීම යි. වේගවත් ඝනීභවනය සඳහා ලක්වන ලෝදිය රසායනිකයන් හෙවත් ප්‍රාග් ස්ඵටික ද්‍රව්‍ය ස්ඵටිකීකරණයට ලක්වන්නේ නැත. ක්ෂණික ඝනීභවනය හේතුවන්නේ අස්ඵටික ඝනයක් ඇති කරන්නටය. මෙලෙස ඇතිවන පාෂාණ යමහල් පාෂාණ නැතහොත් නිශ්ක්‍රාන්ත පාෂාණ ලෙස හැදින්වේ.

යමහල් පාෂාණ වල සුවිශේෂිතා කිහිපයකි. ඉතා වේගයෙන් ඝනිභවනය වන  නිසා ස්ඵටික හමුවන්නේ නැත. නැතහොත් ඉතා සියුම් ස්ඵටික (Fine crystals) සුළුවශයෙන් හමු වේ. ඉතා සියුම් (කුඩා- ඉඳිකටු වැනි) ස්ඵටික අස්ඵටික (Amorphous)  ඝනයේ ගිලි පවතී.  ඒ වාගේම ලෝපාතරලයේ ගිලුණු වායුමය(Gases) සංඝටක නිදහස් වීම හේතු කොට ගෙන ඇතිවන්නා වූ සිදුරුමය සොබාවය 9Cavities or voids) අතිශය ප්‍රමුඛය. බොහෝ අවස්ථාවලදී පාරිසරික උෂ්ණත්වය අන්තරය ඉහල නිසා ඔබ්සිඩියන් වැනි ( සොබාවික වීදුරු) සපුරා අස්ඵටිකමය පාෂාණ නිර්මාණය වීමේ හැකියාව ඇත.

ලෝපාතරලය මතුපිටට විදාරණය වීම හේතු කොටගෙන ලෝදිය ලෙස මේවා පෘතුවි පෘෂ්ටයේ මතුපිට වේගයෙන් ගලාගෙන යයි. ලෝදිය ගලන වේගය ඒවායේ රසායනික සොබාවය මත රඳා පවතී.  ලෝදිය ගලායාම නිසා ද විවිධාකාරයෙන් යුක්ත රූපණ සහිත පාෂාණ නිර්මාණය වේ. යමහල විදාරණය වීමේ දී ඇතිවන පිපිරිම් නිසා දසත විසිරෙන දුම් සහ අළු හේතුකොට ගෙන ද යමහල් පාෂාණ ඇති වේ.

යමහල් පාෂාණ වර්ග

මේවා වර්ග කෙරෙන්නේ රසායනික සංයුතිය, ඛණිජ සංයුතිය සහ වයනය මෙන්ම යමහල් පිපිරීමේදී ඇතිවන්නා වූ කැබිලි කොටස් අනුව ද වර්ග කල හැක. පහත වගුවේ දැක්වෙන්නේ යමහල් පාෂාණ වර්ග කිහිපයකි.

 

යමහල් පාෂාණ වර්ගය

ලාක්ෂණිකතා

1

ඔබ්සිඩියන් ( සොබාවික වීදුරු)

සපුරා අස්ඵටික කාල වර්ණ පාෂාණයකි.

2

ටූෆ්

යමහල් අළු නිසා ඇතිවන සුදු පැහැගත් ඉතා සැහැල්ලු පාෂාණයකි. වා සිදුරු බහුලය

3

බැසෝල්ට්

කාල වර්ණ පාෂාණයකි. යකඩ මැග්නීසියම් බහුලය , සිලිකා ප්‍රමාණය අඩුය.වා සිදුරු ඇත.

4

ස්කෝරියා

රක්ත වර්ණ පාෂාණයකි.. යකඩ අධිකව අඩංගු වේ. වා සිදුරු බහුලය.; බරැති පාෂාණයකි.

5

ඇන්ඩේසයිට්

තරමක් සුදු පැහැති පාෂාණයකි. සිලිකා බහුලය 

6

රියෝලයිට්

සුදු පැහැති පාෂාණයකි. සිලිකා අතිශය බහුලය. වා සිදුරු ද බහුලය.

7

පුමයිස්

අස්ඵටික වීදුරුමය පාෂාණයකි. සුදු පැහැතිය. වා සිදුරු අධිකව අතිශය සැහැල්ලු පාෂාණයකි.

 වගුව : යමහල් පාෂාණ කිහිපයක තතු

 

පාතල පාෂාණ (ආක්‍රාන්ත පාෂාණ)

භූ අභ්‍යන්තරයේ සිර වූ ලෝපාතරල සිසිලනයෙන් ඝනීභවනය වීමෙන් නිර්මාණය වන පාෂණ මෙනමින් හැඳින් වේ. ඝනත්වයේ සිදුවන වෙනස්කම් වාගේම රැකවරණය සලසන පාෂාණයේ දුර්වල කලාප දුලබත්වය සහ පීඩනය වැනි සමහර භෞතික ගුණාංග ද මෙලෙස භූ අභ්‍යන්තරයේ ලෝපාතරලය සිරකරන්නට වාතාවරණය සකස් කරනු ලබයි.  

ලෝපාතරලයත් එය සිරවූ පාෂාණමය වටපිටාවත් අතර උෂ්ණත්වය අන්තරය අඩුය. එනිසා ස්ඵටිකීකරණය සඳහා යහපත් තත්වයක් ඇතිකරයි. ඉතා සෙමෙන් සිසිලනය (Slow Cooling) වීම  කදිමට ස්ඵටික නිර්මාණය වීම සඳහා අවැසි න්‍යෂ්ටි නිර්මාණය විමත්, ස්ඵටික සම්පුර්ණ වීම සඳහා අවැසි අදාළ රසායනයන් ලබා ගැනීමට හැකි වීමත් නිසා කදිමට සකස් වූ විශාල විටෙක අතිවිශාල වූ ද ස්ඵටික (Large crystals) බිහි වෙයි.

ලෝපාතරලයේ සංයුතිය මත බිහිවන පාෂාණය ද තත්කාලීන උෂ්ණත්වය ද එහි අඩංගු විය යුතු ඛණිජ සමුච්චය (Mineral Assemblage) තීරණය කරනු ලබයි. පවතින උෂ්ණත්වය අනුව ද සංයුතිය ද අනුව ක්‍රමානුකුලව බැසයන උෂ්ණත්වය මත පදනම් ව ඛණිජ ශ්‍රේණියක් (Mineral Series) බිහි කිරීමේ හැකියාව පවති. ඒ අනුව තත්කාලීන උෂ්ණත්වය මත ඒ ඒ ඛණිජ සමුච්චය බිහිකරන්නට සමත් වෙයි.

භූ අභ්‍යන්තරයේ ලෝපාතරල කුටීර තුල පැසෙමින් පවතින ලෝපාතරල කෝෂයක (Magma Flumes) ආකාරයට පෘතුවි කබොලෙහි ඉහලට තල්ලු වෙමින් පාවෙන්නට පටන් ගනී. ලෝපාතරල කෝෂය තම ගමන අත්හිටවන පරිසරය අනුව පවතින උෂ්ණත්වය අන්තරය හේතුවෙන් ස්ඵටිකීකරණයෙන් ඛනිජකරණයට ලක්වන ඛණිජ වල  සංයුතිය සහ වයනය තීරණය වන අතර භූ මතුපිටට අසන්න වත්ම උෂ්ණත්ව අන්තරය ඉහල යන හෙයින් ස්ඵටිකවල ප්‍රමාණය කුඩා වන්නට හැකිය. නමුත් තවමත් ඉතා හොඳින් නිර්මාණය වන බව මෙහි දී මතකයේ රඳවා ගත යුතුය. ස්ඵටික වල විශාලත්වය සහ හොඳින් කදිමට නිමැයුන ස්ඵටික හැඩ පාතල පාෂාණ හඳුනා ගැනීමට ඇති හොඳම ලක්ෂණයි.

ස්ඵටික නිර්මාණය වීමේදී පාතල පාෂාණවල දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණය වන්නේ අවධි දෙකක නිර්මාණය වූ ප්‍රමාණ දෙකක ස්ඵටික දක්නට ලැබීමයි. එලෙස වයනයන් දෙකක පාෂාණ බිහිවන්නට හේතුවන්නේ භූ අභ්‍යන්තරයේ එක් ගැඹුරක ලෝපාතරල සිර වී කලක් ගත වූ පසු නැවත වතාවක් ලෝපාතරල කෝෂය ඉහල තල්ලු වී ඉහල තැනක සිර වීම නිසාවෙනි.

පාතල පාෂාණ නිර්මාණය වන ගැඹුර සහ එහි පාරිසරික තත්වය, සංයුතිය, වයනය සහ හැඩය අනුව ද වර්ග කල හැකිය. කාලක ලෝපාතරලයෙන් මෙන්ම ශ්වේතක ලෝපාතරලයෙන් ද පාතල පාෂාණ බිහි විය හැක.

 

පාතල පාෂාණ වර්ග

විවිධ සංයුතීන්ගෙන් යුක්ත සහ වයනයන්ගෙන යුක්ත රාශියක් පාතල පාෂාණ කුලකයට අයත් වේ. ඉන් සමහරක් පහත වගුවේ දක්වා ඇත.

 

 

පාෂාණ වර්ගය

ලාක්ෂණිකතා

1

ගැබ්‍රෝ

කාල වර්ණය කාලක ලෝපාතරලයෙන් බිහි වේ. සිලිකා සාපේක්ෂව හිඟය.

2

ඩයරයිට්

තරමක් ලා පැහැයක් ගනී. කාලක සහ ශ්වේතක ලෝපාතරල වල අතර මැදි සංයුතියකි.

3

ග්‍රැනෝ ඩයරයිට්

ලා පැහැයක් ගන්නා පාෂාණයකි. වැඩිපුරම ඇත්තේ කැල්සියම් සහ සෝඩියම් සහිත පෙල්ඩ්ස්පාර් නම් වූ ඛණිජයයි. ශ්වේතක ලෝපාතරලයෙන් බිහි වේ.

4

ග්‍රැනයිට්

ලා පැහැයක් ගනී.  රෝස පැහැගත් පොටෑසියම් සහිත ෆෙල්ඩ්ස්පාර් නම් වූ ඛණිජය නිසා රෝස රතු පහයක් ගනී. ශ්වේතක ලෝපාතරලයෙන් බිහිවේ.

5

පෙග්මටයිට්

ශ්වේතක ලෝපාතරලයේ අවසාන කොටසින් බිහි වේ. බොහෝ ආර්ථික ඛණිජ හමු විය හැක. ලා පැහැගත් පාෂාණයකි.

වගුව : පාතල පාෂාණ කිහිපයක තතු

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Wednesday 28 April 2021

 භූ සංචාරිතයේ නිමාව....!!!

භූ සංචාරිතය  50

This article is originally published on Vidusara.

මේ වසන්තය ලබන කාලයයි. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියාගේ වසරක සංචාරය අවසන් කර නව සංචාරයක් ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ පත්මෙගේ භූ සංචාරිතය අවසාන කලයුතු යැයි සිතේ. වසරකට ආසන්න කාලයක් සංචාරිත ලිපි පනහක් ඇතුලත් වූ  භූ විද්‍යාත්මක සාර සංග්‍රහය ඔබ සියල්ලටම නවමු අත්දැකීමක් වන්නට ඇතැයි සිතමි.

භූ විද්‍යාඥයෙකු ලෙස පසුගිය දශක දෙකක කාලය තුල මෙරට බොහොමයක් තැන්වල කරක් ගසන්නට ඒ ඒ කාලවලදී ලද රැකියාවල රාජකාරි නිසාවට මා හට අවස්තාව ලැබීම මා ලද පරම භාගයක් ලෙස සලකමි. එනිසාවට විශ්ව විද්‍යාලයේ දී මා ඉගෙන ගත් විෂය කරුණු වලට අමතරව මෙරට භූ විද්‍යාවේ බොහෝ දේ මෙන්ම නවතම කරුණු රාශියක අත්දැකීම ද විඳගන්නට මාහට හැකියාව ලැබුණි. මේ ලිපි පෙළෙහි අන්තර්ගතය වූයේ එලෙස මා ලද අත්දැකීම් වන අතර මෙරට ජනතාවට යම් කිසි ප්‍රමාණයකට භූ විද්‍යාව පිලිබඳ මෙරට බහුතරයකගේ භාෂාවෙන් ඉදිරිපත් කරන්නට මම අදහස් කළෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ සිතුවිලි ද ඇතුලත්ව යම් කිසි ප්‍රමාණයකට විෂය කරුණු ද සහිතව මාගේ අත්දැකීම් සමග භූ විද්‍යත්මක දෑ සහ ස්ථාන පිළිබඳව රචනා කරන්නට සමත් වූයේ යැයි සිතමි.

මෙය නවමු අත්දැකීමක් ම වූයේ මා පවසන දෑ සරල භාෂාවෙන් ඉදිරිපත් කරන්නට සිදු වීමයි. එය අතිශය අභියෝගාත්මකය. සමහර විද්‍යත්මක වචන තේරෙන භාෂාවෙන් ලියන්නට බොහෝ වෙහෙසක් ගන්නට සිදු විය. ඒ සඳහා සමහර අලුත් වචන පවා පබදින්නට මාහට සිදු විය. යමක් ලියන්නට මත්තෙන් සමහර විෂය කරනු හොඳින් විග්‍රහ කරමින් ඒ කරුණු තහවුරු කරගන්නට මාහට සිදුවිය. ඔලුවට එන සැම දේම ලියන්නට නොහැකිය. මේ විද්‍යත්මක විෂය කරුණු ඉදිරිපත් කිරීමේ දී සැමවිටම තර්කනය පදනම් කරගන්න මා හට සිදු විය. එමගින් යම් කිසි අයෙකුට මා ඉදිරිපත්කරන කරුණු වලට අභියෝගාත්මක සාකච්චාවකට අවස්තාව හිමි වූ නමුත් මෙරට විදුසර කියවන බහුතරයක් විද්වතුන් ඒ සඳහා ඉදිරිපත් නොවූ බව නම් සැබෑවකි. ඉන් ගම්‍ය වන්නේ මා පවසන දෙයෙහි සියල්ල ඔවුන් පිළිගන්නා බව නම් නොවේ.

විවිධ අවස්තාවන් වලදී මා රාජකාරි කල ක්ෂේත්‍රයන්හි යම් යම ක්‍රියකලාපයන් සහ තීන්දු තීරණ ද විවේචනයට ලක් කරන්නට මැලි නොවූ අතර ඒ සිදුකරන ලද්දේ හුදෙක්ම සද්භාවයෙන් යුක්තව ඒ ඒ ක්ෂේත්‍ර වල අභිවෘධිය සඳහාම පමණක් බව ඔබ පිළිගත යුතුය. කිසිදු ආකාරයක පෞද්ගලික මඩ ගැසීමක් හෝ ක්‍රෝධය පිරිමසාගැනීමේ පරමාර්ථය එහි නොවූ බව කරුණාවෙන් සැලකිය යුතුය. මන්දයත් මා වැඩකළ කිසිදු ක්ෂේත්‍රයක අයෙක් මා කිසිදු වෙලාවක මාගේ සතුරෙක් ලෙස මා නොසලකන බැවිනි.

මෙරට භූ විද්‍යාව ස්ථාපනය වී වසර හැටකට වැඩිය. මහාචාර්ය විතානගේ මහතා තැබූ පියවර ඔස්සේ අද සියගණනක් භූ විද්‍යාඥයින් පා තබනා බව පෙනී යයි. ඒ කෙසේ වෙතත් සමහර ක්ෂේත්‍ර තවමත් කෝපි කාලේය. ඒ අතරම නව අදහස් ඇති පරපුරක් ද බිහිවෙමින් පවති. සෑමතැනකම කුහකත්වයෙන් පිරි මිනිසුන් ඇත. ඔවුන් නිසා ඒ අදාල ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් දැකිය නොහැක. නව සිතුවිලි සහිත නව පරපුරක් බිහි වන්නට ඔවුන් සෙවනේ අවකාශ නොලැබේ. සියල්ල කලයුත්තේ තමා හෝ තමාගේ අනුකාරකයන් යැයි සිතන පිරිසක් ද ඒ අතර වෙයි. වාසනාවකට අපහට ඉතා වටිනා ගුරුවරු කිහිප දෙනෙකුගේ ආශ්‍රය සහ ආභාෂය ලබන්නට වාසනාව ලැබුණි. එමගින් අපගේ ගමන් මග ආලෝකමත් කරගන්නට හැකි විය. එපමණක් නොව ඔවුන් නිසා මෙරට භූ විද්‍යාවක්ෂේත්‍රය ආලෝකමත් වී ඇත.  

මේ ලිපි පෙළෙහි මුඛ්‍ය පරමාර්ථය වූයේ භූ විද්‍යාව මෙරට ජනප්‍රිය කර ලීමයි. එහි දී කොතරම් දුරට මා සාර්ථක වුවාදැයි දැනගන්නට තවමත් මාහට අවස්තාව ලැබී නොමැත. සමහර විට මෙහි සාර්ථකත්වය එළිවන්නට තවත් වසර ගණනාවක් ගත වනු ඇත. මේ ලිපි පෙළ කියවන පොඩිත්තෝ භූ විද්‍යාව ගැන දැනගෙන එය හදාරන්නට අවස්තාව ලබන්නට කාලයක් ගත  වේ. මේ ලිපි පෙළෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබ භූ විද්‍යාව ඉගෙන ගන්නට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීටයට ඇතුලත් වන්නට සිතනු ඇත. නැතහොත් පිටරටක් ගොස් ඒ සඳහා අවස්තාව ලබනු ඇත. නැතහොත් ඉදියේදී මෙරට වෙනත් විශ්ව විද්‍යාලයක් ආරම්භ වන භූ විද්‍යා පාටමාලාවකට ඇතුලත් වන්නට හැකි වනු ඇත. ඒ කෙසේවෙතත් මේ ලිපි පෙළෙහි ඇතුලත් කරුණු ඔබගේ සංචාරයන්හි දී ප්‍රයෝජනයට ගන්නට මෙය කියවන සෑම අයෙකුටම හැකි වන ඇත. වෙනදා යම් යම් ස්ථාන නරඹන්නට යන ඔබ මේ ලිපි පෙළ කියවා ඇත්නම් නව මුහුණුවරකින් ඒ අදාළ ස්ථාන නරඹන්නට හැකි වනු ඇත.

පුරා වසරකට ආසන්න කාලයක් මාහා භූ සංචාරයේ යෙදුනු ඔබ සියලු දෙනාට වැදගත් යමක් එක් කරන්නට අවකාශය හිමි කර දුන් විදුසර පුවත්පතෙහි ප්‍රධාන කතෘ මා මිතුරු කුලසිංහ මහතා ඇතුළු විදුසර කාර්ය මණ්ඩලයට මා බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි. එමෙන්ම මේ ලිපි පෙළත් සමග මා හා රැඳුනු ඔබ සියලු දෙනාටම කෘතන්ඥ වන්නෙමි. මෙහි පළවූ ලිපි සියල්ලම මාගේ බ්ලොගය වන “විද්‍යාවින්දන” හි නැවත වතාවක් පළ කර ඇත. එයට පිවිසෙන්නෙකුට ඒ ලිපි නැවත නැවතත් කියවන්නට හැකිය.  මෙවන් වූ තවත් ලිපි පෙලකින් ඔබව හමුවන අරමුණෙන් යුතුව මා දැනට නවතින අතර ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමි. සුභ නවවසරක වේවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...