Saturday, 26 September 2026

 

වතුර විදින විස්මිත ගල් කුහරය; හුන් මානය

මහා සාගරයේ රළු රළ පහරවල් ගල් පර්වත අතරින් රිංගා, එකවරම මහා හඬින් අහස උසට ජලය විදින අපූරු දසුනක් ඔබ දැක තිබෙනවාද? දකුණු පළාතේ මාතර, කුඩාවැල්ල වෙරළ තීරයේ පිහිටා ඇති "හුන්මානය" (Blowhole) කියන්නේ සොබාදහමේ එවැනි අපූර්ව නිර්මාණයක්. ලෝකයේ තියෙන මෙවැනි ස්වභාවික පිහිටීම් අතරින් දෙවැනි ස්ථානය ගන්නා මේ හුන්මානය පිටුපස තියෙන්නේ ඇත්තටම දන්නා අයට හරිම රසවත්, නොදන්නා අයට හරිම පුදුම භූ විද්‍යාත්මක කතාවක්.

මෙම සංසිද්ධිය තේරුම් ගන්න නම් අපි මුලින්ම කුඩාවැල්ලේ වෙරළාශ්‍රීත පාෂාණ ගැන බලන්න ඕනේ. මේ ප්‍රදේශයේ තියෙන්නේ වසර මිලියන ගණනක් පැරණි, ඉතාමත් දැඩි විපරිත පාෂාණයි.මේවා පහසුවෙන් ජීර්ණයට සහ ඛාදනයට ලක් වෙන්නේ නැහැ. නමුත් වසර දහස් ගණනක් තිස්සේ නොනවත්වාම වෙරළට ගැසූ ප්‍රබල මුහුදු රළ නිසා, මේ දැඩි පාෂාණ පර්වත කාලීනව භෞතික සහ රසායනික ජීර්ණයට ලක්විය හැක.

මේවායේ ස්වභාවිකවම පිහිටි කුස්තුර සහ සියුම් පැලුම් සහිත ස්ථාන පවතින අතර කාලයත් සමඟ මුහුදු රළ මේ පැලුම් ඇතුළට ගලා යමින් පාෂාණ කුහර තව තවත් හාරා පාදමින් විශාල කර ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ පර්වතය ඇතුළතින් තිරස් අතට විහිදුණු දිගු ගුහාවක් හෝ උමගක් නිර්මාණය වීමයි. මේ උමගේ කෙළවර කෙළින්ම මතුපිට පොළොව දෙසට විහිදුණු කුඩා සිරස් සිදුරකින් අවසන් වෙනවා. අපි උඩ ඉඳන් බලද්දී දකින්නේ අන්න ඒ සිදුරයි.

හුන්මානය ක්‍රියා කරන්නේ හරියටම අපේ නිවෙස්වල තියෙන "පීඩන උදුන” (Pressure Cooker) ක්‍රියා කරන සරල සිද්ධාන්තයටමයි. මුහුදේ සිට එන වේගවත්, විශාල රළ පහරක් අර අපි මුලින් කියපු තිරස් උමග තුළට එකවරම කඩා වදිනවා. උමග ඇතුළට යන්න යන්න ඉඩකඩ පටු වෙන නිසා, ඒ තුළ තිබෙන වාතය සහ ඇතුළු වුණු වතුර තදින්ම තෙරපීමකට ලක් වෙනවා. මෙන්න මේ වෙලාවට උමග ඇතුළේ අධික පීඩනයක් ගොඩනැගෙනවා. මේ පීඩනය දරාගන්න බැරිම තැන, වතුර කඳ සහ හිරවුණු වාතය එකවරම අර පර්වතය මුදුනේ තියෙන කුඩා සිරස් විවරයෙන් ඉහළට විදාරණය වෙනවා. ජලය ඉහළට විදින්න හරියටම මොහොතකට පෙර මහා හඬක් ඇසෙන්නේ, අධික පීඩනයෙන් යුත් වාතය කුඩා සිදුරෙන් පිටවෙද්දී ඇතිවන ඝර්ෂණය නිසයි. "හුම්" ගාන හඬක් නඟන මානය "හුන්මානය" වුණේ ඒ නිසයි.

හුන්මානයේ සැබෑ චමත්කාරය බලන්න නම් යන්න ඕනේ නිරිතදිග මෝසම් කාලයටයි. ඒ කියන්නේ මැයි ඉඳන් සැප්තැම්බර් වෙනකම් කාලයයි. මේ දවස්වලට දකුණු මුහුද ගොඩක් රළුයි, රළ පහරවල් විශාලයි. රළ ප්‍රබල වන තරමට උමග ඇතුළේ හැදෙන පීඩනයත් වැඩියි. ඒ නිසා මේ කාලයට හුන්මානයෙන් වතුර අඩි 40 සිට 80 දක්වා (සමහරවිට ඊටත් වඩා) ඉහළට විදින අපූරු දසුන දැකගන්න පුළුවන්. හැබැයි මුහුද නිසල කාලෙට නම් මේ පඩනය හැදෙන්නේ නැති නිසා හුන්මානය නිහඬයි.

කෙටියෙන් කියනවා නම්, කුඩාවැල්ලේ හුන්මානය කියන්නේ පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන ගිනිකඳු ක්‍රියාවලියක් වැනි දෙයක් නෙවෙයි. එය මහා සාගර රළ සහ වෙරළබඩ පාෂාණ ව්‍යුහය එකිනෙක ගැටීමෙන් උපන්, සොබාදහමේ අපූර්ව භූ විද්‍යාත්මක ශිල්පීය දස්කමක්. එනිසාම  මෙම ස්ථානය භූ සංචාරිතය සංධා කදිම තෝතැන්නක්.

 

  පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි පුල්මුඩේ ප්‍රදේශය කියන්නේ ලෝකයේම අවධානය දිනාගත්ත සුවිශේෂී ...