Monday, 16 August 2021

 15.08.2021

උල්කා සහ උල්කෂ්මවල ඛණිජ සංයුතිය

උල්කා සහ උල්කාෂ්ම යනු අභ්‍යවකාශ පාෂාණ කැබලි බව දැන් ඔබ ඉතා හොඳින් දන්නවා ඇති.  මෙමෙ භූ විද්‍යාත්මක ද්‍රවයන් සෑදී ඇත්තේ බොහෝ විට ඛණිජ වලින් බව ඔබට වැටහේවි. ඛණිජ යනු ඝන රසායනිකයන් බවත් ඒවාට කදිම ස්ඵටිකරූපි සොබාවයක් ඇති බවත් භූ විද්‍යාව හදාරන ඔබ වටහා ගත යුතුය.

උල්කා ඛණිජ සංයුතිය රඳා පවතින්නේ ඒවායේ මුල් ද්‍රව්‍ය එනම් ග්‍රහකවල රසායනය මත පමණක් නොවේ. මේවා සැරිසරන විට පවතින පරිසරයේ උෂ්ණත්වය සහ පීඩනය ද මේ සඳහා හේතු වේ. පෘතුවි වායුගෝලයේ විදගෙන මෙලොවට පතිත වන උල්කා බොහොමයක් ඉතා අධික තාපයකට ගොදුරු වේ. එනිසා තාප විපරිතයට භාජනය වි විපරිත පාෂාන්වලට අවේනික ඛණිජ සමුච්චයක් බිහිකරන්නට සමත් වෙයි. එපමණක් නොව ගැටීමේදී ඇතිවන කම්පනයද ඇතිවන තාපයද මේවායේ ඛණිජ සමුච්චය තීරණය කරන්නට සමත්වෙයි.

මේවනවිට උල්කාෂ්ම හැටදහසක් පමණ සොයාගෙන ඇති අතර ඒවා විශ්ලේෂණයෙන් ඛණිජ වර්ග 470ක් පමණ හඳුනාගෙන ඇත. මෙම ඛණිජ සමුච්චයට විවිධ ඛණිජ වර්ග අයත් වේ. ඒ අතර තනි මුලද්‍රව්‍යය, ලෝහ, සිලිකේට, පොස්පේට,  ඔක්සයිඩ, හයිද්‍රෝ;ක්සයිඩ, කාබයිඩ, සල්ෆයිඩ, සිලිසයිඩ, හේලයිඩ, ටෙලුරයිඩ, ඔක්සලේට, නයිට්‍රයිඩ, ඔක්සිනයිට්‍රයිඩ, කාබෝනේට සහ මොලිබ්ඩේට යනාදී ඛණිජ අඩංගු වේ. මේවා සමහරක් පෘතුවියේ බහුලව හමුවන අතර සමහර ඛණිජ දුර්ලභ වේ.

උල්කා ඛණිජ විශ්ලේෂණය අපව රැගෙන යන්නේ ඒවා අත්විඳි ගිනිය නොහැකි ආකාරයේ විවිධ ක්‍රියාදාමයන් වෙතටයි. ඒවා නම් බොහෝ විට ඉහත විස්තර කල පරිදි,

1.     ඉපදෙන ග්‍රහලෝකවටා දූදුවිලි වලා ඝනීභවනය ද ,

2.     නෙබුලාවේ අභ්‍යන්තරික ඝනීභවනය ද,

3.     කැල්සියම් සහ ඇලුමිනියම් සහිත ද්‍රවයේ සිදුවන ස්ඵටිකීකරණය ද,

4.     ද්‍රව වූ ක්ෂුද්‍ර ඔලිවින් ඛණිජමය රසායනයේ ස්ඵටිකීකරණය ද

5.     ද්‍රව වූ “බිජු ඛණිකා” තරලයේ ස්ඵටිකීකරණය ද

6.     අභ්‍යන්තරික කැල්සියම් මැග්නීසියම් ඛණිජ ස්ඵටිකීකරණය ද

7.     බිජු ඛණිකා සිසිලනයේ දී සිදුවන වෙන්වීම ද

8.     පාරාන්ධ යක්ක බිජු ඛණිකා ස්ඵටිකීකරණය ද,

9.     සුර්යය නෙබුයුලාවේ අස්ඵටික ද්‍රව්‍ය මෘදුකරණය ද,

10.  මාතෘ ද්‍රව්‍යවල අඩංගු අස්ඵටික ද්‍රව්‍ය මෘදුකරණය ද,

11.  අධිතාප විපරිතකරණය ද,

12.  ජලීය විකෘතය, උණුජල විකෘතය සහ ලෝපාතරල විකෘතය ද,

13.  ග්‍රහක කරිජ්ජයෙන් සිදුවන අවක්ෂේපණය ද,

14.  කම්පන විපරීතකරණය ද,

15.  අභ්‍යවකාශයේ සිදුවන ජීර්ණය ද,

16.   තරල කුටීර තුල සිදුවන ඝනීභවනය ද

17.  අවසාන අඩියේ ඇති දුර්මාරයෙන් සිදුවන ඝනීභවනය ද,

18.  ආග්නේය තරල ස්ඵටිකිකරණය ද

19.  සුර්යය සමිපකයේදී සිදුවන උණුසුම් වීම නිසා ද

20.  සපුරා හෝ භාගිකව වෙන් වූ ග්‍රහ වස්තුවල සිදුවන ස්ඵටිකිකරණය ද ආදී ලෙස නම් කල හැක.

මතුසම්බන්ධයි.......

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පරිශීලන : Meteorite Mineralogyfree, Alan E. Rubin and Chi Ma. Planetary Science, 2020

Sunday, 8 August 2021

 08.08.2021

විශ්ව භූවේදය

උල්කා වර්ෂා

උල්කා යනු යමෙකුට ආකාශ පාෂාණ ලෙස වුව හැඳින්විය හැක. සෑම දිනකම උල්කා පතනය වේ. මේ වන විට විද්‍යාඥයින් ගණනය කර ඇති ආකාරයට දිනක දී ටොන් පනහකට (48.5) ආසන්න ප්‍රමාණයක් මෙලොවට පතිත වෙයි. එක දෙක පතිත වෙනවා මෙන්ම වර්ෂාවක් ලෙස බොහෝ ප්‍රමාණයක් වුව පතිත වන අවස්ථා ඇත. එලෙස පතිත වීම් අපටවරින් වර වාර්තා වේ.

අපගේ වායුගෝලය හරහා ගමන් කරන විට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරමින් බොහොමයක් උල්කා ගිනි ගෙන දැවී විනාශ වී යයි. එනිසා අතරමගදීම තම ගමන නිම කරමින් උල්කා විනාශ වී යයි.

උල්කා වර්ෂා ඇතිවන්නේ බොහෝ විට උල්කා විසිරුණු කලාපයක් හරහා පෘතුවිය ගමන් කරන විටයි. මේවා වල්ගා තරු තම ගමනේදී අත්හරිනු ලැබූ පාෂාණ කැබලි වන අතර බොහෝ විට සාම වසරකම අගෝස්තු මාසයේදී අපට උල්කා වර්ෂාවක් දැක ගැනීමේ වාසනාව හිමි වේ.

උල්කා වර්ෂා මගින් ඇතිකරන බලපෑම කවර ආකාරයේද යන්න මේ වනවිට විද්‍යඥයින් විසින් පර්යේෂණය තුලින් විශ්ලේෂණය කරනා බව වාර්තා වේ. පෘථිවිය තම ගමන් මග මෙන්ම ඒ නිසා ඇති විය හැකි කාලගුණික සහ දේශගුණික බලපෑම ද එනිසාම මෙළොව වෙසෙන ජිවින්ට ඇති විය හැකි බලපෑම ද මේ තුලින්  නිර්ණය කිරීම ඔවුන්ගේ අරමුණ වේ.

තම ගමන නිම කරන්නට සමත් වූ උල්කා බොහෝ ප්‍රමාණයක් මෙළොව මතුපිට විසිරි පැතිරී ඇත්තේය.භූ විද්‍යාඥයින් ලෙස ඔබගේ කාරිය විය යුත්තේ මේවා තම අවට පරිසරය තුලින් හඳුනාගැනීමයි.

විශේෂයෙන්ම අතිතයේ දී පතිත වූ මෙම ආකාශ පාෂාණ අවසාදිත පාෂාණ සමග නොනැසී පැවතිය හැකි බවයි භූ විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. එනිසා මේ පිලිබඳ අවධානය යොමුකරන භූ විද්‍යාඥයින් ඇති පැරණි අවසාදිත පාෂාණ ඇති සුක්ෂම ලෙස අධ්‍යනය කරමින් සිටී. උල්කා වල අඩංගු වන්නා වූ සුවිශේෂී රස්යනයක් වන ක්‍රෝමියම් ඔක්සයිඩය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී ඇත.

පැරණි අවසාදිත පාෂාණ තුල සැඟවුණු උල්කා වල රසායනය පිළිබඳව අවධානය යොමුකළ ලුන්ඩ් වින්ශ්ව විද්‍යාලයේ භූ විදඥයින් අපූරු තොරතුරැ රැසක් අනාවරණය කරමින් සිටි. ඔවුනට අනුව පසුගිය වසර මිලියන 500 ක කාලසීමාව තුල එවන් වර්ෂා 16 වතාවක් පමණ ඇති වී ඇති බව සොයාගෙන ඇත. විව්ධාකරයේ උල්කාෂ්ම දසදහසක් පමණ විශ්ලේෂණය කල ඔවුන් පවසන්නේ එනිසා විවිධ වර්ග වලට අයත් උල්කාෂ්ම හඳුනාගැනීමට හැකි වූ බවයි.

වසර මිලියන 66 කට පෙර මෙලොවට පතිත වූ කිලෝමීටර දහයක් පමණ විශාල වූ උල්කාවක් පෘතුවියේ ගැටීම නිසා ඉතා අවාසනාවන්ත ලෙස මෙළොව විසු යෝධ උරගයන් සපුරා අතු ගා දමන්නට සමත් වූ බව අප හොඳින්ම දන්නා කරුණකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday, 7 August 2021

 07.08.2021...............

උල්කාෂ්මවල ඇරඹුම......තව දුරටත් ...

පාෂාණමය පූර්වජ ග්‍රහලෝක තවදුරත් විශාල වෙන්නට හැකියාව ඇත. සමහර අවස්ථාවල දී මෙම සන්චිතවවීම කරන කොට පූර්වජ ග්‍රහයන් තුල අසීමිත ලෙස උෂ්ණත්වය (තාපය) වැඩිවන්නට පටන් ගනී. පාෂාණමය ද්‍රව්‍යයන්ගේ අධික සංචායනය  විටෙක මෙම තාපයෙන් අභ්‍යන්තරය ආරක්ෂා කරන්නට හැකියාව ඇත. තාපය ඇතිකරන්නේ සොබාවිකව පවතින විකිරණශීලි මූල ද්‍රව්‍ය මගින් යැයි පැවසේ. නෙබුයුලාවේ අභ්‍යන්තරයෙන් පැනනගින චුම්භක රශ්මිය ද හිරුගේ චුම්භක රශ්මියද මේ සඳහා හේතු විය හැක බව විදුඥයින් පවසයි. මෙලෙස ඉහල යන උෂ්ණත්වය මෙම පුර්වජ ග්‍රාහකයන් සෑදී ඇති ග්‍රහක බීජයන් විපරිතකරණයට ලක් කරන්නට සමත් වෙයි. එනිසා මෙම ග්‍රහක බීජ ප්‍රති ස්ඵටිකිකරණයට ලක් වී විශාල ස්ඵටික ද ප්‍රතිඛනිජකරණයට ලක්ව නව ඛණිජ බිහිකරන්නට ද හේතු වෙයි. මෙම ක්‍රියාවලිය උල්කාවල රසායනය සමව පතුරවන්නට හේතු වෙයි. එනිසා මේවා සමජාතී උල්කා හෝ උල්කාෂ්ම ලෙස හදුන්වන්නට හැකිය.

තාපයේ උච්චත්වයට පත් වීම පුර්වජ ග්‍රහයන් තුල තිබෙන පාෂාණමය ද්‍රව්‍යයන් සපුරා උනුකරන්නට සමත් වෙයි. එනිසා තැනින් තැන ලෝපාත්රලය බිහි වෙයි. මේවායේ තිබෙන බිජු ඛණිකා මෙනිසා විනාශ වී යයි. ලෝපාතරලය ප්‍රතිස්ඵටිකිකණය වීමෙන් තරමක් විශාල ස්ඵටික නිර්මාණය කරයි. මෙලෙස ඇතිවන උල්කා “ආග්නේය උල්කා” (achondrites) ලෙස හැඳින්විය හැක. ග්‍රහක පුර්වජයන් ගේ හෝ උල්කාවේ පාෂාණමය ද්‍රවයන් උණුවිම හේතු කොට ගෙන තවත් වෙනස්කමක් ඇති වෙයි. ඒ ඝනත්වය අනුව ද්‍රව්‍යය කලාපනය වන්නට පටන් ගැනීමයි. එනිසා බරවාදී යකඩ සපිරි මාධ්‍යයක් නිර්මාණය වන්නේ ඒ වටා බරින් අඩු සිලිකේට ආවරණය ක් ඇති කරමින්. මෙය සමාන වන්නේ පෘතුවියේ ආරම්භයේ ඇති වූ ද්‍රව්‍යය කලාපනයටමයි. උල්කාෂ්ම අධ්‍යනය වැදගත්වන්නේ මෙවනි කරුණු හේතුකොට ගෙන බව ඔඅබ මතකයේ රඳවා තබා ගත යුතුය. මේ තත්වය විද්‍යඥයින් පවසන ආකාරයට පුර්වජ ග්‍රහයන් තුල ගුරුත්වය ඇතිකරන්නට හේතුවෙයි. මෙම මිශ්‍ර වීම නිසි පරිදි නොවීම ඇතිකරන්නේ යකඩ සහ සිලිකේට මිශ්‍රණයකි. එවැනි උල්කා හඳුන්වන්නේ “යක්සෙල්ල උල්කා” (pallasites) ලෙසයි. මෙතුල ඔලිවින් වැනි යකඩ උච්ච්තාප ලෝහ සිලිකේට ඛණිජ ද නිකල් යකඩ කලාප ද හමු වේ.

මේ ආකාරයට පුර්වජ ග්‍රාහකයන්ගෙන් හෝ ග්‍රහකවලින් හෝ කැඩී යන කැබලි උල්කා බවට පත්වේ.එනිසා ඒවායේ රස්යනය සහ භූ විද්‍යත්මක ස්වරූපය තම මවු ද්‍රව්‍යයේ සොබවයට අනුරූප වේ. අතිවිසල් උල්කා සඳහා වල්ගාතරු දක්වන්නේ අඩු දායකත්වයක් වුවත් ක්ෂුද්‍රඋල්කා සඳහා ඉතා හොඳ දායකත්වයක් දක්වයි.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 

 

 

Tuesday, 3 August 2021

 03.08.2021

උල්කාෂ්මවල ඇරඹුම

අපගේ සුර්යයග්‍රහ මණ්ඩලය ආරම්භ වන්නේ විශ්වය ආරම්භ වී බොහෝ කලකට පසුවය. වසර බිලියන 4.6 කට පමණ පසු අභ්‍යවකාශයේ වූ දූවිලි සහ වායු වලාවක් සංකෝචනය වීමෙන් අපගේ සුර්යයා ඇතුළු ප්‍රමුඛ ග්‍රහ මණ්ඩලය බිහි වූ බව විද්‍යඥයින්ගේ පිළිගැනීමයි. මෙවන් වූ දුවිලි සහ වායු වලාවන් සෙමෙන්  කැරකැවෙමින් පැවතීම එය පැතලි තැටියක් ලෙස අවකාශයේ සකස් කරන්නට හේතු වේ. මෙවන් වූ ව්‍යුහයක් සුර්යය නෙබුයුලාවක් ලෙස හැඳින්වේ. නෙබුයුලාව මධ්‍යයට මෙම දුවිලි සහ වායු වලාවන් සංකේන්ද්‍රණය වීමෙන් තැනින් තැන් ග්‍රහලෝක බිහිකරන්නට සමත් වූ බවත් මාධ්‍යයට එක් වූ හයිද්‍රජන්  වායුව ඒකරාශී වීමෙන් සුර්යයා බිහිකරයි.

ක්‍රමයෙන් වැඩිදියුණුවන නෙබුයුලාවේ දුවිලි සහ වායු වලාවන් මගින් මුලින්ම දූවිලිබෝල ඇතිකරන්නට සමත් වේ. මෙම දුවිලි බෝල ලිහිල් ලෙස දුවිලි සහ වායු අංශුන් රඳවා ගනී. නෙබුයුලාවේ සමහර කලාප වල පවතින් මෙම දූවිලිබෝල අධික ලෙස රත්වන්නට පටන් ගනී. එනිසා බොහෝ දේ උණුවීමකට ලක්වන අතර ලෝදිය වැනි ද්‍රවයක් ඇතිකරන්නට සමත් වෙයි. ඒ තුල සිලිකේටයන් ද යකඩ සහ නිකල් වැනි ලෝහ ද අඩංගු වේ. මෙම ද්‍රව්‍ය ක්ෂණිකව සිසිල් වීමකට ලක්වන නිසා අස්ඵටිකමය ද්‍රව්‍යය නිර්මාණය කරන්නට හේතු වෙයි. මේවා ඉතා සියුම් වන අතර ඇසට පෙනෙන නොපෙනන ප්‍රමාණයේ ශිලා ඛණිකා වෙයි. ග්‍රහක සහ ගහලෝක බිහිකිරීමේදී මූලික තැනුම් ඒකක වන්නේ මේවායි. එනිසා මේවා බිජු ඛණිකා” (Chondrules) ලෙස හැඳින්විය හැක. බිජු ඛණිකා සහිත උල්කා හෝ උල්කාෂ්ම  ලෙස ග්‍රහක බීජයන් (Chondrite) හැඳින්වේ. මේවා හමුවීම ඉතා වැදගත් වන්නේ තරු සහ ග්‍රහලෝක බිහි කිරීමේ තිඹිරිගෙයි පරිසරය ගැන කදිම තොරතුරු ගබඩා කරගෙන ඇති බැවිනි.

වරින් වර ඇතිවන තාපයේ විවිධත්වය නෙබුයුලාවේ විවිධ භූ විද්‍යත්මක ද්‍රව්‍යයන් බිහිකරන්නට හේතුවේ. සමහර අවස්තාවල දී ඇතිවන අධික තාපය හේතුවෙන් නෙබුයුලාවේ සමහර දුවිලි සහ වායුන් වාෂ්පීකරණයට ලක් වීමෙන් එසේනොවන අවශේෂ ද්‍රව්‍ය තනි වේ. එමෙන්ම අධිකව සිසිලනයට ලක් වීමෙන් දුවිලි සහ වායු වලාවන් ඝනීභවනය වෙයි.  කලකදී මෙම බිජ ඛණිකා, අවශේෂ ද්‍රව්‍ය සහ ඝනීභවනය වූ ද්‍රව්‍ය වැනි සියල්ල එකට එකතු වීමෙන් නෙබුයුලා අවසාදිත බිහිකරයි. පසුව මේවා ක්‍රමයෙන් ගොඩගැසීමෙන් ඉතා විශාල ග්‍රහක ඇතිකරන්නට එනම් “පුර්වජ ග්‍රහලෝක” (planetesimal) බිහිකරන්නට සමත් වෙයි. මේ දක්වා ලැබී ඇති උල්කාෂ්ම මෙවන් වූ භූ විද්‍යාත්මක පරිසරයක් නියෝජනය කරන බව පෙන්නුම් කරයි. අභ්‍යන්තර සුර්යය මණ්ඩලයේ වැඩිපුර පවතින්නේ මෙවන් වූ ග්‍රහක බීජයන් වේ.

මේවා අභ්‍යන්තර සුර්යය මණ්ඩලය තුල අසමාන අයුරින් විසිරි පැතිරී ඇත. ඇතිවන විවිධ පාරිසරික තත්වයන් හේතුවෙන් අසමාන ලෙස තාපයේ බලපෑමට යටත් වේ. එනිසා විවිධ රසායනික සංයුතින්ගෙන් සහ ව්‍යුහාත්මක සැකැස්මක් ඇති ග්‍රහක බීජයන් උත්පාදනය කරයි. මේවා ආකාර තුනකින් යුක්ත වේ.

1.     1. කාබනික ග්‍රහක බීජයන් (carbonaceous chondrites)

2.     2. ඔක්සිහාරිත ග්‍රහක බීජයන් (enstatite chondrites)

3.     3. සාමාන්‍ය ග්‍රහක බීජයන් (ordinary chondrites)

මතු සම්බන්ධයි............

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 2 August 2021

 විශ්ව භූ වේදය

විශ්වයේ සැරිසරන උල්කා සහ උල්කාෂ්ම

අභ්‍යවකාශයේ සැරිසරන වල්ගාතරුවක හෝ ග්‍රහකයක හෝ උල්කාපාතයක කැබලි උල්කා ලෙස හැඳින්විය හැක. ඝන වස්තූන් වන මේවා පාෂාණමය හෝ ලෝහමය හෝ ඒවායේ මිශ්‍රණයක් ලෙස හෝ පැවතිය හැක. පිටත අභ්‍යවකාශයේ සැරිසරන උල්කා කැබලි යම් කිසි ග්‍රහලෝකයක වායුගෝලයට ඇතුල් වී යෙදෙන ගමනේ දී ලබන අනේක විධි වධ වේදනා හමු වේ ඉතිරිවන දේහය ග්‍රහලෝකයේ මතුපිටට ඇදවැටුන පසු උල්කාෂ්මයක් බවට පත්වන බව පැවසේ. මේවායේ ප්‍රමාණය විවිධ විය හැක.

වායුගෝලයේ හරහා ගමන් කිරීමේදී ඇතිවන ඝර්ෂණය ද වායුගෝලීය පීඩනය ද විවිධ වායුන් ගේ බලපෑමෙන් ඇතිවන රසායනික ප්‍රතික්‍රියා ද උල්කාෂ්මයට යම් බලපෑමක් ඇතිකරයි. බාහිර පෘෂ්ටයේ ඇතිවන අධික තාපය ඛණිජ සමුච්චය වෙනස්කරන්නට හේතුවන බව පැහැදිළි වේ. බොහොමයක් උල්කා මෙම ගමනේදී සපුරා විනාශවන නිසා භූ මතුපිටට ඇද වැටෙන්න අතලොස්සකි. ගහලෝකයේ මතුපිටට ලඟා වන්නට තරම් විශාල වූ උල්කා පමණක් මෙලස තම ගමන නිම කරයි.

 සංයුතිය අනුව උල්කාෂ්ම වර්ග තුනකි.

 1.     ලෝහමය (යක්ක ) උල්කාෂ්ම

2.     ශිලාමය ( සෙල්ල) උල්කාෂ්ම

3.     ලෝශිලා (සෙල් යක්ක) උල්කාෂ්ම


උල්කාෂ්මයක් හඳුනාගන්නේ කෙසේද ?

පෘතුවියට පතිත වී සැඟවුන උල්කාෂ්මයක් අපට දැකගත හැකි වන්නේ මෙළොව පවතින අනෙකුත් ඛණිජ සහ පාෂාණ සමගය. එනිසා බොහෝවිට එය එක්වරම හඳුනගත හැකි වන්නේ නැත. නමුත් විශ්වයේ අතීත තතු ගෙන එන මෙම උල්කාෂ්ම ඔබට හඳුනාගත හැකි නම් එය බෙහෙවින්ම වැදගත්වනු ඇත. මන්දයත් විශ්වයේ උපතේ සිට මේ දක්වා සිදු වූ විකාශනයේ යම් අවධියක තතු මෙතුල ගැබ් වී ඇති බැවිනි. භූ විද්‍යත්මක, භූ රසායනික , ජෛව විද්‍යත්මක ක්‍රමවේද භාවිතයෙන් ඉතා වැදගත් වනු කරුණු රාශියක් හෙලිකරගැනීම අපට හැකි වනු ඇත.

උල්කාෂ්ම අනෙකුත් පෘතුවි පාෂාණ වලට වඩා වෙනස් ගුණාංග පෙන්වන බව අමතක නොකළ යුතුය. උල්කාෂ්ම බොහෝවිට යකඩ සහ නිකල් වැනි ලෝහ වලින් සමන්විත නිසා ඒවායේ බර වැඩිය. එනම් ඝනත්වය (ඒකක පරිමාවක බර) වැඩිය. අතට ගත පසු බර වැඩි බව ඔබට දැනෙනු ඇත.

උල්කාෂ්ම නිකල් සහ යකඩ වැනි ලෝහ අඩංගු නිසා, විශේෂයෙන්ම යකඩ අඩංගු වීම චුම්භක ගුණ පෙන්වන්නට හේතු වේ. චුම්භකය එයට ආකර්ෂණය වේ. නමුත් ශිලාමය උල්කාෂ්ම එලෙස නොවණු ඇත. ඒවා බොහෝවිට එල්ලූ චුම්භකයේ යම් චලනයක් පෙන්වන්නට හැකි බව විද්‍යාඥයෝ පවසයි.

උල්කා අපගේ වායුගෝලය තුලින් පතිත වීමේ දී ඝර්ෂණය හේතුවෙන් ඇතිවන රත්වීම නිසා එහි බාහිරය උණුවේ. එනිසා ඒවායේ උණු වී නැවත ක්ෂණික සිසිලනය වීමෙන් ඇතිවන අස්ඵටික බාහිර ස්ථරයක් හමුවනු ඇත. එමෙන්ම උණු වූ සොබාවය කදිමට හඳුනාගත හැක. හොඳම උදාහරණය වන්නේ ඔබ යබොර දැක ඇත්නම් එහි මතුපිට නිරීක්ෂණය කර ඇත්නම් එය කොයි වාගේ ද යන්න පසක් වනු ඇත.

උල්කාෂ්ම තුල තිරුවානා වැනි ඛණිජ හමු නොවේ. එනිසා ශ්වේත වර්ණයක් හෝ එවැනි පැල්ලම් හමු නොවනු ඇත. තිරුවානා ඛණිජය මෙළොව පාෂාණ වල බහුලවම හමුවන ඛණිජයකි. බොහොමයක් උල්කාෂ්ම විකිරණශීලී ගුණ නොපෙන්වයි.

වායු බුබුළු තිබු ස්ථාන හමුවන්නේ බොහෝවිට ආග්නේය පාෂාණ වලය. නැතහොත් යබොර වලය. නමුත් උල්කාෂ්ම කැබලි වල එවැනි විවර හෝ සිදුරුමය සොබාවයක් දක්නට නොමැත. නමුත් කෘත්‍රිමව සාදන ලද සිදුරක් තුලින් අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේදී සියුම් ලෝහමය පතුරු (ස්ඵටික) දැක ගත හැකිය.

බොහොමයක් ඛණිජ වල කුඩුවල කුමන හෝ පැහැයක් ඇත. විශේෂයෙන්ම හිමටයිට්, මැග්නටයිට් වැනි ඛණිජ වල කුඩුවලට රතු දුඹුරු හෝ කළු දුඹුරු පැහැයක් ඇත. එය පිගන් ගඩොල් කැබැල්ලක අතුල්ලු විට ඔබට දැක ගත හැකිය. නමුත් උල්කාෂ්ම කුඩු එලෙස වර්ණ නොදෙන බව විද්‍යඥයෝ පවසයි.

උල්කාෂ්ම සැමවිටම වරකුරු හෝ ගෝලාකාර බව පෙන්වන්නේ නැත. විවිධ හැඩති උල්කාෂ්ම හමු විය හැක. දැනට හමු වී ඇති පැරණිම උල්කාෂ්මය වසර බිලියන 4.56 ක පමණ පැරණි බව වාර්තා වී තිබේ. චන්ද්‍රයාගෙන් ලැබෙන උල්කාෂ්ම වසර බිලියන 2.9 සිට 4.5 දක්වා පැරණි බව සොයාගෙන ඇත.

මෙවැනි උල්කාෂ්ම හඳුනාගැනීමේදී භූ විද්‍යත්මක සහ ඛණිජ විද්‍යාත්මක දැනුම මහඟු උපකාරයෙකි.

 

  ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 

 

 

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...