ශ්‍රී පාදය
ශ්‍රී පාදය මනරම්ය. අලංකෘතය. අපගේ සිත්
ඇඳ බැඳ තබා ගන්නා අපුරු භූ රූපණයකි. ශ්‍රී ලංකාවේ උසම කන්ද නොවුනත් මෙයට හිමිවන්නේ
අද්විතීය ස්ථානයකි. වසර දෙදහස්
පන්සියයකට පමණ පෙර සිට පැවත එන ආගමික ඉතිහාසය නිසා ශ්‍රී පාදය මෙරට වඩා ප්රමුඛ ස්ථානයකට
පත් වී ඇත. එනිසාම මෙරට මිනිසුන් අතර ඉතා අධ්‍යාත්මික සංස්කෘතියක් බිහිකරලන්නට සමත්
වී ඇත්තේ මෙම කදිම කඳු ගැටය ඇසුරු කරගෙනය.
ආදර්ශ කඳු රූපණය පෙන්වන තුන්හුලස් ස්වරූපය නිසාම
අලංකාර පෙනුමක් ගෙන දෙන්නේ අභ්‍යන්තරයෙන් දිවෙන භූ විද්‍යාත්මක පසුබිම හේතුකරගෙනය.
උස්බිම් සංකීර්ණයේ වූ විපරීත පාෂාණ වලින් සමන්විත වන මෙම කඳු පන්තිය සුවිශේෂී වන තව
කාරණයක් වන්නේ මෙම පාෂාණ කලාපය ඇසුරුකරගෙන නිර්මාණය වී ඇති කඳුකර වනාන්තරයයි.
ග්රනිටික් නයිස් නම් වූ පාෂාණයෙන් නිර්මාණය වී ඇති මෙම භුමිය ඛාදනය
සහ ජිර්ණයේ විෂමබව නිසාම අපුරු කඳු ගැටය බිහි වී ඇති බව පෙනී යයි. ක්‍රමයෙන් ඉහල නගින
විට බෑවුම වැඩිවන්නේ ලිහිණි හෙළය තිවෘ කරමින්. මහගිරි දම්භය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
විවෘත වූ පාෂාණ කලාපයක් වන අතර තිවෘ බෑවුම
ඉහල නැග්ම අසීරු කරයි. මෙම පාෂාණ කලාපය මගින්ම මුදුනත සකස් කරයි. මෙම විවෘත පාෂාණ කලාපය
ශ්‍රී පාද කන්දට කදිම හැඩතලයක් එක් කර ඇත.
ශ්‍රී පාද කන්දේ කදිම හැඩතලය වඩා හොඳින් දර්ශනය වන්නේ
උදය කාලයේ ය. කන්ද නගින කවුරුත් එහි නතර වන්නේ ඉර සේවය නැරඹීමට පමණක් නොවේ.
නැගෙනහිරෙන් පායන ඉර නිසා වැටෙන එළියෙන් ශ්‍රී පාද කන්දේ හෙවනැල්ල බස්නාහිර පැත්තේ
වූ කඳු පන්තියේ දර්ශනය වන්නේ අපුරු චිත්‍රයක් මවමිනි. එම දර්ශනය කදිමට පෙන්වන්නේ ශ්‍රී
පාද කන්දේ අපුරු තුන්හුලස් හැඩ තලයයි. මෙම ලෝ ප්‍රකට දර්ශණය නිර්මාණය කරන්නට ශ්‍රී
පාදයේ පාෂාණ සැකැස්ම ප්‍රධාන හේතුවක් බව අප අමතක නොකළ යුතුය. ඉර සේවයත් ශ්‍රී පාදයේ
හෙවනැල්ලේ දර්ශණයත් ලෝක උරුමයන් විය යුතු බව මගේ හැඟීමයි.
එක එල්ලේ ඉහල නගින කඳු ගැටය එකතු කරන දිය දහරා ශිත
ගඟුල ප්‍රධාන කර බැස යන්නේ ශ්‍රී පාද ගංගා ද්‍රෝණිය සකස් කරමින්. කඳුකර වනන්තරයේ ශාක
අතරින් පෙරී පෙරී එකදු මැටි අංශුවක් හෝ රැගෙන නොයන ශිත ගඟුල ඉතා සිසිල් පිරිසිදු ඛණිජලවණ
වලින් පොහොසත් ජලය කැලණි ගඟට ද කළු ගඟට ද එක් කරයි.
ශ්‍රී පාද කන්දේ වූ පාෂාණ කලාපයේ තවත් සුවිශේෂිතාවයක්
වන්නේ තැනින් තැන ගැබ් වූ මැණික් ඛනිජ පැවතීමයි. මෙම මැණික් ඛනිජ පාෂාණ කලාපයේ ජිර්නයෙන්
පසට එකතු වී ගසාගෙන යන දියදහරා වලට එක් වී පහලට ගසාගෙන යයි. අනාදිමත් කාලයක සිට මේ
ක්‍රියාවලිය දිගින් දිටම සිදු වී ඇත්තේ ඉතා විශාල මැණික් ඛනිජ ප්‍රමාණයක් රතනපුර ද්‍රෝණියේ
තැන්පත් කරමින්. කළු ගං ද්‍රෝණිය සකස්වන ශ්‍රී පාද බැවුමේ වූ පාෂාණ වල මෙම සුවිශේෂී
මැණික් ඛනිජ පිහිටා ඇති බවත් බහුල බවත් අප වටහා ගත යුතුය. එම වාසනාව කැලණි ගං
කොමලියට ලබා දෙන්නට ශ්‍රී පාදයේ පාෂාණ මැලිවී ඇති බවයි පෙනී යන්නේ.