Monday, 30 March 2026

 උස්සන්ගොඩ රතු පස්

උස්සන්ගොඩ ශ්‍රී ලංකික භූ පරිසරයේ ඇති ඉතාම ලස්සන ස්ථානයක්. රතු පැහැයෙන් විචිත්රවත් වූ අපුරු ගහකොළ සහිත පරිසරයක්. වෙරළ පරිසරයට ආසන්නයේ දක්නට ලැබෙන මෙම කදිම භුමි භාගය සමුද්‍ර පරිසරයේ බලපෑමටද නිරන්තරයෙන් යටත් වේ.  එකයායට ඇති තැනිතලාවක් වන මෙම ස්ථානය රතු පැහැයෙන් බැබලෙන්නේ එහි වූ සුවිශේෂී භූ ගතිලක්ෂණ නිසාවෙනි.

උස්සන්ගොඩට රතු පැහැය ගෙන එන්නේ එහි පවතින පසෙහි වූ ඔක්සිකරණය වූ යකඩ රසායනය නිසා. එයට අමතරව තැනින් තැන එකට ගුලි වූ හිමටයීට් ඛනිජය ද දක්නට ලැබේ. මෙහි පවතින පාංශු කලාපයට යකඩ අයන එකතුවන යටින් වූ පාෂාණයෙන් බව සිතිය හැක. එම පාෂාණයේ යකඩ බහුල අතර පාෂාණ ජීර්ණය නිසා යකඩ අයන පස්වලට එකතු වේ.

උස්සන්ගොඩ පවතින්නේ සර්පන්ටිනයිට් නම් පාෂාණයකි. මෙම පාෂාණය ළා කොළ පැහැයෙන් යුක්තවන නමුත් අපට දැකගත හැකිවන්නේ දිරාගිය සුදු පැහැති පාෂාණයකි. මෙම පාෂණයේ ජීර්ණය ද ඉතා අපුරුය. මුහුදු ලවණ මිශ්‍රිත ජල වාෂ්පයෙන් තෙතබරිත වන නිසා මුහුදු ජලයේ බලපෑමට ද යටත් වේ.

මෙම සර්පන්ටිනයිට් නම් වූ පාෂාණය අධික ලෙස යකඩ, නිකල්, ක්‍රෝමියම්, කොබෝල්ට සහ මැග්නීසියම් ද බහුල බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. සිලිකා ඇත්තේ අඩු ප්‍රමාණයකි. මෙම පාෂාණය ප්‍රාවරණයේ පවතින ලෝපාතරලයෙන් සකස් වී ඇති බව සඳහන් වේ. එම නිසා මෙම පාෂාණය ලංකාවේ හමුවන ඉතා දුලභ පාෂාණයක් බව කියැවේ. පාෂාණය ජිර්නයෙන් ඉහත කී ද්‍රව්‍ය පාංශු කලාපයට එකතු වේ. මෙම නිසා මෙම විශේෂ පසෙහි වැඩෙන ශාක ද සුවිශේෂී වේ. බොහොමයක් මෙහි පවතින ශාක  නිකල් වැනි බර ලෝහ උරා ගන්නා ශාක වර්ග වේ.

සර්පන්ටිනයිට් නම් වූ මෙම පාෂාණය උස්සන්ගොඩ බිහිවන්නට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්ථානය විජයානු සහ උස්බිම් සංකීර්ණ දෙකෙහි මායිමේ පිහිටීම නිසා විය හැකි බව භූ විද්‍යඥයින් විස්වාස කරයි. විජායානු සහ උස්බිම් සංකීර්ණයේ මායිම කුඩා තල මායිමකට සමාන බව පෙනී යයි. එය දකුණෙන් උස්සන්ගොඩින් ආරම්භ වී උතුරේ ත්‍රිකුණාමලයෙන් කෙලවර වේ. මෙම මායිම ඉතා හොඳින් තහවුරු වී ඇති අතර ඒ ඔස්සේ උණුවතුර ළිං පිහිටා ඇත.

උස්සන්ගොඩ වෙරළ ඛාදිත සහ අවසාදිත යන දෙආකාරයේම භූ රූපණ හමුවේ. එනිසා අධ්‍යන කටයුතු සඳහා ඉතා කදිම ස්ථානයකි. ඉතා අපුරුවට. දරුණු ලෙස ඛාදනයට ලක් වූ පාෂාණය හොඳින් දර්ශනය වේ. එතනම අවසාදනය වන්නා වූ වෙරළ ද දක්නට ලැබේ. වෙරළට ගසාගෙන එන්නා වූ බෙල්ලන්ගේ අවශේෂ ද මෙහිදී එකතු කරගත හැක.

උස්සන්ගොඩ තැන්නේ දකුණෙන් හමුවන වෙරළේ වැලි කඳු ද දක්නට ලැබේ. මෙම වැලි කඳු අවසාන ශිත යුගයේ දී නිර්මාණය වූ ඒවා විය හැක. ඒවාත් සමග පැරණි මානවයන් සිටි බව තහවුරු වන ගල් ආයුධ හමු වූ බවට වාර්තා වී ඇත. මෙම ස්ථානය සුවිශේෂී ස්ථානයක් නිසා පෙරකල සිටම පැරණි මානවයන්ගේ අවධානයට ලක් වූ භූමියක් බව පැහැදිලි වේ.

මෙම ස්ථානය සංචාරයට කදිම ස්ථානයකි. වෙරළේ අසිරියද විඳිය හැකි නිසා සුවිශේෂී තැනකි. සුන්දරත්වය රක ගනිමින් සංචාරක කර්මාන්තය කරගැනීම සඳහා කාලින වැඩපිළිවෙලක් සකස් විය යුතුය

No comments:

  ශ්‍රී පාදය ශ්‍රී පාදය මනරම්ය. අලංකෘතය. අපගේ සිත් ඇඳ බැඳ තබා ගන්නා අපුරු භූ රූපණයකි. ශ්‍රී ලංකාවේ උසම කන්ද නොවුනත් මෙයට හිමිවන්නේ අද්විතීය ...