Monday, 30 March 2026

උණුවතුර උල්පත් 

ශ්‍රී ලංකාව භූ සම්පත්වලිනි අනුනය. ඛණිජ සම්පත මෙන්ම ජල සම්පත ද අපට ලැබී ඇති  අනර්ඝ  භූ සම්පත් වේ. ඒ අතර  ශ්‍රී ලංකාවේ පවතින උණුවතුර උල්පත් ගැන ඔබ අසා ඇතිවා නිසැකයි. කන්නියා, මදුනාගල, මහඔය, වහව, කපුරැල්ල සහ නෙළුම්වැව යන ස්ථානවල මෙම උණුවතුර උල්පත් පිහිටා ඇත. බොහොමයක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 සිට 65 දක්වා වූ අගයක වෙනස් වන අතර මෙරට වැසියන්ගේ පමණක් නොව විදේශිකයන්ගේ ද ආකර්ෂණය දිනාගත් සංචාරක ස්ථාන ලෙස මේවා ප්‍රසිද්ධය. බොහෝ දෙනෙකු විශ්මයට පත්වන්නේ මෙවැනි උල්පත් ඇතිවන ආකාරය නිසියාකාර නොදන්නා හෙයිනි. නමුත් ඔවුන් භූ විද්‍යත්මක සත්‍ය දන්නේ නම් විශ්මයෙන් විශ්මයට පත්වනවා නොඅනුමානයි.

ශ්‍රී ලංකවේ භූ ස්කන්ධය සකස් වි ඇත්තේ විපරිත පාෂාණ වලිනි. ප්‍රධාන විපරිත පාෂාණ කලාප තුනකි. ඉන් දෙකක්වන උස්බිම් සංකීර්ණය සහ විජායානු සංකීර්ණය හමුවන මායිම කුඩා තල මායිමක් වැනිය. එය ඉතා පැහැදිලිව සටහන් වී පවතී. මෙම ප්‍රදේශ වල පවතින පාෂාණ වල පවතින කුස්තුර, දැදුරු සහ පැලුම් තල ඔස්සේ මතුපිට ජලය භූ ගත වෙයි. මෙම මායිමට ආසන්නයේ භූ ගතවන ජලය බොහෝ ගැඹුරට කිඳා බසී. භූ අභ්‍යන්තරයට යත්ම උෂ්ණත්වය වැඩිවන අතර එය කිලෝමීටරයක් පමණ යද්දී සෙල්සියස් අංශක 25ත් 30 ත් අතර ප්‍රමාණයකින් වැඩිවේ. මෙම අගය තැනින් තැනට වෙනස් විය හැක. නමුත් මෙවැනි තල මායිමක් යනු පොළොවේ පවතින ගැඹුරු පැල්මක් නිසා එවැනි ස්ථාන තුලින් වැඩි තාපයක් පිටවේ. එවිට අනෙක් ස්ථාන වලට වඩා රත් වේ.

මේ තල මායිමේ හෝ ඒ ආසන්නයේ හෝ තැනකින් ගැඹුරට කිඳා බසින ජලය ඉතා ඉක්මනින් තාපය උරා ගෙන රත් වේ, එවිට ජලයේ උෂ්ණත්වය වැඩි වේ. තාපය උරා ගෙන උෂ්ණත්වය වැඩිවන විට ජලයේ ඝනත්වය අඩුවේ. එවිට අඩු ඝනත්වයකින් යුක්ත ජලය ඉහලට පීඩනයකින් යුක්තවය ගමන් කරයි. මේවා ඉහලට එන්නේ පාෂාණවල පවතින කුස්තුර සහ පැලුම් අතරිනි. පීඩනයකින් යුක්තවය ඉහලට එන නිසා උල්පතක් ලෙස මෙම ජලය ගලා යයි. ඉහත කී ස්ථානවල උණුවතුර උල්පත් ඇතිවන්නේ මේ ආකාරයටයි.  සමහර ස්ථානවල උල්පත් ගණනාවක් දැකිය හැකි අතර ඒ එක එකෙහි උෂ්ණත්වය එකිනෙකට වෙනස් වේ.

භූ ගැඹුරේ සිට මෙමෙ ජලය මතුපිටට පැමිණෙන්නේ නිකම් නොවේ. භූ ගැඹුරේ පවතින පාෂාණවල වූ ඛණිජ සංයෝග දියවන්නේ ජලය උණුසුම් වැඩි නිසයි. එනිසා ඉහලට එන ජලය විවිධ රසායනික සංයෝග දිය වී පවතී. මෙම සංයෝග චර්ම රෝග සුව කරන්නට හේතුවන බව සමහරකගේ අදහසයි. එනිසා මෙලෙස ඇතිවන උණුවතුර ස්නානයට බොහෝ දෙනෙකු ප්‍රියතාවයක් දක්වයි.

මෙලෙස උණුවතුර උල්පත් බිහිවීම ගිනිකඳු අතිවිම්මේ පෙරනිමිත්තක් දැයි සිතා සමහරූ බිය වේ. නමුත් එවැනි අනියත බියක් ඇතිකරගත් යුතු නොවේ, ඉහත පැහැදිලි කල සංසිද්ධිය හේතුවෙන් ඇතිවන උණුවතුර උල්පත් ගිනිකඳු අවධානමක් ගැන අනතුරු අඟවන්නේ නැත.  

උණුවතුර උල්පත් සංචාරක ආකර්ෂණය ඇතිකරන්නට මහඟු උපකාරයක් කරයි. එනිසා මෙවැනි සම්පත් මනා කලමන්කරණයකින් යුක්තව භාවිතා කල යුතු අතර අනාගත පරම්පරාව උදෙසා ආරක්ෂා කල යුතුය. එනිසා සංචාරක කර්මාන්තය උදෙසා නිසි වැඩපිළිවලක් සැකස් විය යුතුය.

 

 

 

 

No comments:

  ශ්‍රී පාදය ශ්‍රී පාදය මනරම්ය. අලංකෘතය. අපගේ සිත් ඇඳ බැඳ තබා ගන්නා අපුරු භූ රූපණයකි. ශ්‍රී ලංකාවේ උසම කන්ද නොවුනත් මෙයට හිමිවන්නේ අද්විතීය ...