Monday, 30 March 2026

 ශ්‍රී පාදය

ශ්‍රී පාදය මනරම්ය. අලංකෘතය. අපගේ සිත් ඇඳ බැඳ තබා ගන්නා අපුරු භූ රූපණයකි. ශ්‍රී ලංකාවේ උසම කන්ද නොවුනත් මෙයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. වසර දෙදහස් පන්සියයකට පමණ පෙර සිට පැවත එන ආගමික ඉතිහාසය නිසා ශ්‍රී පාදය මෙරට වඩා ප්‍රමුඛ ස්ථානයකට පත් වී ඇත. එනිසාම මෙරට මිනිසුන් අතර ඉතා අධ්‍යාත්මික සංස්කෘතියක් බිහිකරලන්නට සමත් වී ඇත්තේ මෙම කදිම කඳු ගැටය ඇසුරු කරගෙනය.

ආදර්ශ කඳු රූපණය පෙන්වන තුන්හුලස් ස්වරූපය නිසාම අලංකාර පෙනුමක් ගෙන දෙන්නේ අභ්‍යන්තරයෙන් දිවෙන භූ විද්‍යාත්මක පසුබිම හේතුකරගෙනය. උස්බිම් සංකීර්ණයේ වූ විපරීත පාෂාණ වලින් සමන්විත වන මෙම කඳු පන්තිය සුවිශේෂී වන තව කාරණයක් වන්නේ මෙම පාෂාණ කලාපය ඇසුරුකරගෙන නිර්මාණය වී ඇති කඳුකර වනාන්තරයයි.

ග්‍රනිටික් නයිස්  නම් වූ පාෂාණයෙන් නිර්මාණය වී ඇති මෙම භුමිය ඛාදනය සහ ජිර්ණයේ විෂමබව නිසාම අපුරු කඳු ගැටය බිහි වී ඇති බව පෙනී යයි. ක්‍රමයෙන් ඉහල නගින විට බෑවුම වැඩිවන්නේ ලිහිණි හෙළය තිවෘ කරමින්. මහගිරි දම්භය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවෘත වූ පාෂාණ කලාපයක් වන අතර  තිවෘ බෑවුම ඉහල නැග්ම අසීරු කරයි. මෙම පාෂාණ කලාපය මගින්ම මුදුනත සකස් කරයි. මෙම විවෘත පාෂාණ කලාපය ශ්‍රී පාද කන්දට කදිම හැඩතලයක් එක් කර ඇත.

ශ්‍රී පාද කන්දේ කදිම හැඩතලය වඩා හොඳින් දර්ශනය වන්නේ උදය කාලයේ ය. කන්ද නගින කවුරුත් එහි නතර වන්නේ ඉර සේවය නැරඹීමට පමණක් නොවේ. නැගෙනහිරෙන් පායන ඉර නිසා වැටෙන එළියෙන් ශ්‍රී පාද කන්දේ හෙවනැල්ල බස්නාහිර පැත්තේ වූ කඳු පන්තියේ දර්ශනය වන්නේ අපුරු චිත්‍රයක් මවමිනි. එම දර්ශනය කදිමට පෙන්වන්නේ ශ්‍රී පාද කන්දේ අපුරු තුන්හුලස් හැඩ තලයයි. මෙම ලෝ ප්‍රකට දර්ශණය නිර්මාණය කරන්නට ශ්‍රී පාදයේ පාෂාණ සැකැස්ම ප්‍රධාන හේතුවක් බව අප අමතක නොකළ යුතුය. ඉර සේවයත් ශ්‍රී පාදයේ හෙවනැල්ලේ දර්ශණයත් ලෝක උරුමයන් විය යුතු බව මගේ හැඟීමයි.

එක එල්ලේ ඉහල නගින කඳු ගැටය එකතු කරන දිය දහරා ශිත ගඟුල ප්‍රධාන කර බැස යන්නේ ශ්‍රී පාද ගංගා ද්‍රෝණිය සකස් කරමින්. කඳුකර වනන්තරයේ ශාක අතරින් පෙරී පෙරී එකදු මැටි අංශුවක් හෝ රැගෙන නොයන ශිත ගඟුල ඉතා සිසිල් පිරිසිදු ඛණිජලවණ වලින් පොහොසත් ජලය කැලණි ගඟට ද කළු ගඟට ද එක් කරයි.

ශ්‍රී පාද කන්දේ වූ පාෂාණ කලාපයේ තවත් සුවිශේෂිතාවයක් වන්නේ තැනින් තැන ගැබ් වූ මැණික් ඛනිජ පැවතීමයි. මෙම මැණික් ඛනිජ පාෂාණ කලාපයේ ජිර්නයෙන් පසට එකතු වී ගසාගෙන යන දියදහරා වලට එක් වී පහලට ගසාගෙන යයි. අනාදිමත් කාලයක සිට මේ ක්‍රියාවලිය දිගින් දිටම සිදු වී ඇත්තේ ඉතා විශාල මැණික් ඛනිජ ප්‍රමාණයක් රතනපුර ද්‍රෝණියේ තැන්පත් කරමින්. කළු ගං ද්‍රෝණිය සකස්වන ශ්‍රී පාද බැවුමේ වූ පාෂාණ වල මෙම සුවිශේෂී මැණික් ඛනිජ පිහිටා ඇති බවත් බහුල බවත් අප වටහා ගත යුතුය. එම වාසනාව කැලණි ගං කොමලියට ලබා දෙන්නට ශ්‍රී පාදයේ පාෂාණ මැලිවී ඇති බවයි පෙනී යන්නේ.

 

 

 

 

 

 

 

 

 ශ්‍රී ලංකාව විපරිත පාෂාණ

ශ්‍රී ලංකාව විපරිත පාෂාණවලින් සුසැදි දුපතක් වන්නේ අදින් වසර මිලියන 300කත පමණ පෙරය. ඒ ශ්‍රී ලාංකේය භූ ස්කන්ධය ඉන්දියානු මහද්විපයත් සමග ඈඳි තිබී පසුව අපසාරිය තල මායිමක් ඔස්සේ වෙන් වීමෙන් පසුය. එමකාලය පැන්ජියා සුපිරි මහාද්වීපය ඛණ්ඩනය වන අවධියයි. පැන්ජියාව ගොන්ද්වානලන්තය සහ ලුරේශියාව නම වූ අනූ මහද්වීප දෙකකට වෙන් වන අතර ඉන්දියානු මහාද්වීපය ගොන්ඩ්වානලනතයේ කොටසක් විය.

ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් වෙන්වන්නේ කාවරී ද්‍රෝණිය හරහා වන අතර වසරකට මිලිමීටර එකක් දෙකක් පමණ වේගයකින් ඉන්දියාවෙන් ඈත් වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ විපරිත පාෂාණ ප්‍රාග් කෙම්බ්රියානු යුගයට අයත් වෙයි. ප්‍රාග් කෙම්බ්රියානු යුගයේ ප්රෝටෙරෝසොයික් නම කල වකවානුවේ නිර්මාණය වී ඇත. ශ්‍රී ලාංකේය භූ ස්කන්ධය ලොව පවතින පැරණිම පාෂාණ වලින් සමන්විත වේ.

භූ විද්‍යාඥයින් පවසන අන්දමට ශ්‍රී ලංකාවේ භූ ස්කන්ධය බිහිවන්නේ ලෝකයේ වූ පැරණිම පාෂාණ ඛාදනය වීමෙන් ඇතිවන අවසාදිත සමුද්‍ර ද්‍රෝණිවල තැන්පත් වීමෙන්. ඒම ද්‍රෝණිවලට එකතු වූ අවසාදිත සමග ආග්නේය ලෝපාතරලය මිශ්‍ර වී ඇති අතර පසුව මේ සියල්ල විපරිතකරණය ලක්වී ඇත. ශ්‍රී ලාංකේය භූ විද්‍යඥයින් පවසන්නේ එවැනි විපරිතකරන අවස්ථා පහක්වත් සිදුවන්නට ඇති යන්නයි. මේ විපරිතකරණය ඉන්දියානු භූ තලයත් සමග සිදු වූ බවටද මතයක් පවතී.

භූ විද්‍යාත්මකව සලකා බලන විට ශ්‍රී ලංකාව ප්‍රධාන විපරිත පාෂාණ කලාප තුනකට බෙදිය හැකිය. ඒවා නම් මධ්‍යම උස්බිම් සංකීර්ණය, උතුරෙන් වන්නි සංකීර්ණය සහ දකුණෙන් විජයානු සංකීර්ණයයි. මෙම සංකීර්ණ අතුරින් පැරණිම සංකීර්ණය වන්නේ උස්බිම සංකීර්ණය වන අතර එය වසර මිලියන 2100 ක් පමණ පැරණි බව සොයාගෙන ඇත. අනෙකුත් සංකීර්ණ දෙක වසර මිලියන 1100 ක් පැරණිය. මෙම පාෂාණ කලාප වල ඇති බහුතරයක් පාෂාණ වන්නේ නයිස් පාෂාණ වර්ග වේ.

ශ්‍රී ලංකාවේ පාෂාණ  උච්ච් විපරිතකරණයට ලක් වූ පාෂාණ ලෙස හඳුනාගෙන ඇත. එනිසාම සමහර පාෂාණ උණු වී සිසිලනය වූ ස්වභාවයක් දක්නට ලැබේ. මෙවනි පාෂාණ මිග්මටයිට් ලෙස හැඳින්වේ. විපරිතකරණයේදී සිදුවන්නේ පාෂාණ තාපයට සහ පිඩනයට නිරවරනය් වීමයි. පාෂාණ උච්ච් තත්ව වලදී අධික තාපයට සහ පිඩනයට ලක්වීම සිදුවේ. තාපයට සහ පිඩනයට ලක්වන විට ක්‍රමයෙන් පාෂාණවල ඛණිජ සංයුතිය වෙනස් වූවත් රසායනික සංයුතිය වෙනස්වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ විපරිත ගොනු අතරේ පවතින අවසාදිත පාෂාණ ගොනු කිහිපයක් ද හමුවේ. ජුරාසික අවධියේ නිර්මාණය වූ අවසාදිත පාෂාණ ආන්ඩිගම සහ තබ්බෝව ප්‍රදේශය හමුවේ. ජුරාසික කාලයේ පැවති ශාකවල ප්‍රාග්ජිව ධාතුන් හමුවන අතර බොහොමයක් ඒවා මීවන වර්ග වේ. නමුත් තවමත් ඩයිනෝසෝරයන්ගේ ප්‍රාග්ජිව ධාතුන් හමු වී නොමැත.

ශ්‍රී ලංකාවේ උතුරුකරය සමන්විත වන්නේ හුණුගල් පාෂාණ වලිනි.  මේවාද අවසාදිත පාෂාණ වර්ගයකි. මේවා කලෙක මුහුදේ අවදානය වූ හුණු ඝන වී අවසාදිත පාෂාණ බවට පත් වී ඇත. මුහුදේ අවක්ෂේපණය වී ඇත්තේ වසර මිලියන විස්සක් තිහක් පමණ පෙරය. එනම් මයෝසින කාලයේ වේ. එයට මතරව චතුර්ථ කාලයේ නිර්මාණය වූ අවසාදිත මෙම පාෂාණ කලාප මතුපිට දක්නට ලැබේ.  

උණුවතුර උල්පත් 

ශ්‍රී ලංකාව භූ සම්පත්වලිනි අනුනය. ඛණිජ සම්පත මෙන්ම ජල සම්පත ද අපට ලැබී ඇති  අනර්ඝ  භූ සම්පත් වේ. ඒ අතර  ශ්‍රී ලංකාවේ පවතින උණුවතුර උල්පත් ගැන ඔබ අසා ඇතිවා නිසැකයි. කන්නියා, මදුනාගල, මහඔය, වහව, කපුරැල්ල සහ නෙළුම්වැව යන ස්ථානවල මෙම උණුවතුර උල්පත් පිහිටා ඇත. බොහොමයක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 සිට 65 දක්වා වූ අගයක වෙනස් වන අතර මෙරට වැසියන්ගේ පමණක් නොව විදේශිකයන්ගේ ද ආකර්ෂණය දිනාගත් සංචාරක ස්ථාන ලෙස මේවා ප්‍රසිද්ධය. බොහෝ දෙනෙකු විශ්මයට පත්වන්නේ මෙවැනි උල්පත් ඇතිවන ආකාරය නිසියාකාර නොදන්නා හෙයිනි. නමුත් ඔවුන් භූ විද්‍යත්මක සත්‍ය දන්නේ නම් විශ්මයෙන් විශ්මයට පත්වනවා නොඅනුමානයි.

ශ්‍රී ලංකවේ භූ ස්කන්ධය සකස් වි ඇත්තේ විපරිත පාෂාණ වලිනි. ප්‍රධාන විපරිත පාෂාණ කලාප තුනකි. ඉන් දෙකක්වන උස්බිම් සංකීර්ණය සහ විජායානු සංකීර්ණය හමුවන මායිම කුඩා තල මායිමක් වැනිය. එය ඉතා පැහැදිලිව සටහන් වී පවතී. මෙම ප්‍රදේශ වල පවතින පාෂාණ වල පවතින කුස්තුර, දැදුරු සහ පැලුම් තල ඔස්සේ මතුපිට ජලය භූ ගත වෙයි. මෙම මායිමට ආසන්නයේ භූ ගතවන ජලය බොහෝ ගැඹුරට කිඳා බසී. භූ අභ්‍යන්තරයට යත්ම උෂ්ණත්වය වැඩිවන අතර එය කිලෝමීටරයක් පමණ යද්දී සෙල්සියස් අංශක 25ත් 30 ත් අතර ප්‍රමාණයකින් වැඩිවේ. මෙම අගය තැනින් තැනට වෙනස් විය හැක. නමුත් මෙවැනි තල මායිමක් යනු පොළොවේ පවතින ගැඹුරු පැල්මක් නිසා එවැනි ස්ථාන තුලින් වැඩි තාපයක් පිටවේ. එවිට අනෙක් ස්ථාන වලට වඩා රත් වේ.

මේ තල මායිමේ හෝ ඒ ආසන්නයේ හෝ තැනකින් ගැඹුරට කිඳා බසින ජලය ඉතා ඉක්මනින් තාපය උරා ගෙන රත් වේ, එවිට ජලයේ උෂ්ණත්වය වැඩි වේ. තාපය උරා ගෙන උෂ්ණත්වය වැඩිවන විට ජලයේ ඝනත්වය අඩුවේ. එවිට අඩු ඝනත්වයකින් යුක්ත ජලය ඉහලට පීඩනයකින් යුක්තවය ගමන් කරයි. මේවා ඉහලට එන්නේ පාෂාණවල පවතින කුස්තුර සහ පැලුම් අතරිනි. පීඩනයකින් යුක්තවය ඉහලට එන නිසා උල්පතක් ලෙස මෙම ජලය ගලා යයි. ඉහත කී ස්ථානවල උණුවතුර උල්පත් ඇතිවන්නේ මේ ආකාරයටයි.  සමහර ස්ථානවල උල්පත් ගණනාවක් දැකිය හැකි අතර ඒ එක එකෙහි උෂ්ණත්වය එකිනෙකට වෙනස් වේ.

භූ ගැඹුරේ සිට මෙමෙ ජලය මතුපිටට පැමිණෙන්නේ නිකම් නොවේ. භූ ගැඹුරේ පවතින පාෂාණවල වූ ඛණිජ සංයෝග දියවන්නේ ජලය උණුසුම් වැඩි නිසයි. එනිසා ඉහලට එන ජලය විවිධ රසායනික සංයෝග දිය වී පවතී. මෙම සංයෝග චර්ම රෝග සුව කරන්නට හේතුවන බව සමහරකගේ අදහසයි. එනිසා මෙලෙස ඇතිවන උණුවතුර ස්නානයට බොහෝ දෙනෙකු ප්‍රියතාවයක් දක්වයි.

මෙලෙස උණුවතුර උල්පත් බිහිවීම ගිනිකඳු අතිවිම්මේ පෙරනිමිත්තක් දැයි සිතා සමහරූ බිය වේ. නමුත් එවැනි අනියත බියක් ඇතිකරගත් යුතු නොවේ, ඉහත පැහැදිලි කල සංසිද්ධිය හේතුවෙන් ඇතිවන උණුවතුර උල්පත් ගිනිකඳු අවධානමක් ගැන අනතුරු අඟවන්නේ නැත.  

උණුවතුර උල්පත් සංචාරක ආකර්ෂණය ඇතිකරන්නට මහඟු උපකාරයක් කරයි. එනිසා මෙවැනි සම්පත් මනා කලමන්කරණයකින් යුක්තව භාවිතා කල යුතු අතර අනාගත පරම්පරාව උදෙසා ආරක්ෂා කල යුතුය. එනිසා සංචාරක කර්මාන්තය උදෙසා නිසි වැඩපිළිවලක් සැකස් විය යුතුය.

 

 

 

 

 උස්සන්ගොඩ රතු පස්

උස්සන්ගොඩ ශ්‍රී ලංකික භූ පරිසරයේ ඇති ඉතාම ලස්සන ස්ථානයක්. රතු පැහැයෙන් විචිත්රවත් වූ අපුරු ගහකොළ සහිත පරිසරයක්. වෙරළ පරිසරයට ආසන්නයේ දක්නට ලැබෙන මෙම කදිම භුමි භාගය සමුද්‍ර පරිසරයේ බලපෑමටද නිරන්තරයෙන් යටත් වේ.  එකයායට ඇති තැනිතලාවක් වන මෙම ස්ථානය රතු පැහැයෙන් බැබලෙන්නේ එහි වූ සුවිශේෂී භූ ගතිලක්ෂණ නිසාවෙනි.

උස්සන්ගොඩට රතු පැහැය ගෙන එන්නේ එහි පවතින පසෙහි වූ ඔක්සිකරණය වූ යකඩ රසායනය නිසා. එයට අමතරව තැනින් තැන එකට ගුලි වූ හිමටයීට් ඛනිජය ද දක්නට ලැබේ. මෙහි පවතින පාංශු කලාපයට යකඩ අයන එකතුවන යටින් වූ පාෂාණයෙන් බව සිතිය හැක. එම පාෂාණයේ යකඩ බහුල අතර පාෂාණ ජීර්ණය නිසා යකඩ අයන පස්වලට එකතු වේ.

උස්සන්ගොඩ පවතින්නේ සර්පන්ටිනයිට් නම් පාෂාණයකි. මෙම පාෂාණය ළා කොළ පැහැයෙන් යුක්තවන නමුත් අපට දැකගත හැකිවන්නේ දිරාගිය සුදු පැහැති පාෂාණයකි. මෙම පාෂණයේ ජීර්ණය ද ඉතා අපුරුය. මුහුදු ලවණ මිශ්‍රිත ජල වාෂ්පයෙන් තෙතබරිත වන නිසා මුහුදු ජලයේ බලපෑමට ද යටත් වේ.

මෙම සර්පන්ටිනයිට් නම් වූ පාෂාණය අධික ලෙස යකඩ, නිකල්, ක්‍රෝමියම්, කොබෝල්ට සහ මැග්නීසියම් ද බහුල බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. සිලිකා ඇත්තේ අඩු ප්‍රමාණයකි. මෙම පාෂාණය ප්‍රාවරණයේ පවතින ලෝපාතරලයෙන් සකස් වී ඇති බව සඳහන් වේ. එම නිසා මෙම පාෂාණය ලංකාවේ හමුවන ඉතා දුලභ පාෂාණයක් බව කියැවේ. පාෂාණය ජිර්නයෙන් ඉහත කී ද්‍රව්‍ය පාංශු කලාපයට එකතු වේ. මෙම නිසා මෙම විශේෂ පසෙහි වැඩෙන ශාක ද සුවිශේෂී වේ. බොහොමයක් මෙහි පවතින ශාක  නිකල් වැනි බර ලෝහ උරා ගන්නා ශාක වර්ග වේ.

සර්පන්ටිනයිට් නම් වූ මෙම පාෂාණය උස්සන්ගොඩ බිහිවන්නට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්ථානය විජයානු සහ උස්බිම් සංකීර්ණ දෙකෙහි මායිමේ පිහිටීම නිසා විය හැකි බව භූ විද්‍යඥයින් විස්වාස කරයි. විජායානු සහ උස්බිම් සංකීර්ණයේ මායිම කුඩා තල මායිමකට සමාන බව පෙනී යයි. එය දකුණෙන් උස්සන්ගොඩින් ආරම්භ වී උතුරේ ත්‍රිකුණාමලයෙන් කෙලවර වේ. මෙම මායිම ඉතා හොඳින් තහවුරු වී ඇති අතර ඒ ඔස්සේ උණුවතුර ළිං පිහිටා ඇත.

උස්සන්ගොඩ වෙරළ ඛාදිත සහ අවසාදිත යන දෙආකාරයේම භූ රූපණ හමුවේ. එනිසා අධ්‍යන කටයුතු සඳහා ඉතා කදිම ස්ථානයකි. ඉතා අපුරුවට. දරුණු ලෙස ඛාදනයට ලක් වූ පාෂාණය හොඳින් දර්ශනය වේ. එතනම අවසාදනය වන්නා වූ වෙරළ ද දක්නට ලැබේ. වෙරළට ගසාගෙන එන්නා වූ බෙල්ලන්ගේ අවශේෂ ද මෙහිදී එකතු කරගත හැක.

උස්සන්ගොඩ තැන්නේ දකුණෙන් හමුවන වෙරළේ වැලි කඳු ද දක්නට ලැබේ. මෙම වැලි කඳු අවසාන ශිත යුගයේ දී නිර්මාණය වූ ඒවා විය හැක. ඒවාත් සමග පැරණි මානවයන් සිටි බව තහවුරු වන ගල් ආයුධ හමු වූ බවට වාර්තා වී ඇත. මෙම ස්ථානය සුවිශේෂී ස්ථානයක් නිසා පෙරකල සිටම පැරණි මානවයන්ගේ අවධානයට ලක් වූ භූමියක් බව පැහැදිලි වේ.

මෙම ස්ථානය සංචාරයට කදිම ස්ථානයකි. වෙරළේ අසිරියද විඳිය හැකි නිසා සුවිශේෂී තැනකි. සුන්දරත්වය රක ගනිමින් සංචාරක කර්මාන්තය කරගැනීම සඳහා කාලින වැඩපිළිවෙලක් සකස් විය යුතුය

සොබාවික ජල උල්පත්

ජලය නොමැතිව ජිවය පවත්වාගෙන යා නොහැකිය . පෘථිවි ගෝලය 70% ක් ජලයෙන් ආවරණය වුවත් භාවිතයට ගතහැකි ජලය ඇත්තේ ස්වල්ප ප්රතිශතයකි. මතුපිට ජලාශවල පමණක් නොව භූ ගතවද ජලය පවති. මේවා භූ ගත ජලනිධි ලෙස හදුන්වයි. වර්ෂාව මගින් මතුපිට ජලාශ පමණක් නොව භූ ගත ජල නිධිද පෝෂණය කරයි.

භූ ගත ජල නිධි පෝෂණය වන්නට ජලය භූ අභ්යන්තරයට රිංගා යායුතුය. මෙලස භූ ගතවන ජලය පස් අංශු අතරින් ගොස් ජල නිධි ප්රතිපෝෂණය කරයි. සමහරක් ජලය පස් අතරින් ගොස් මවු පාෂාණයේ වූ කුස්තුර සහ පැලුම් අතරින් ගලා යයි. ගංගා ද්රෝණි මේ සඳහා අනගි සහයක් ලබා දෙයි. මවු පාෂාණයේ කුස්තුර සහ පැලුම් ජලය ගබඩා කරන ජල නිධි ලෙසද ක්රියාත්මක වේ.

කඳුකරයට ලැබෙන වර්ෂාපතනයෙන් යම් ප්රමාණයක් භූ ගත වෙයි. මෙලෙස  භූ ගතවන ජලය නිම්න කලාප ඔස්සේ පහත් බිම් කරා රැගෙන එන්නේ මවු පාෂාණය තුලිනි. පහත් බිම් වල සිට මෙම ජලය මවු පාෂාණයේ වූ කුස්තුර සහ පැලුම් පුරවමින් ක්රමයෙන් ඉහලට ජලය තැන්පත් කර ගනී. මෙය භූ ගත ජල නිධි වල ජල පීඩනය වැඩි කරන්නට් හේතු වෙයි.

මවු පාෂාණය සහ පස හරහා ගලා යන ජලය පහත් ස්ථානවලින් එලියට මතුවන අවස්ථා දැකිය හැකි වේ. මේවා ජල උල්පත් ලෙස හදුන්වයි. මෙවැනි ජල උල්පත් බොහෝ ප්රමාණයක් මෙරට හමු වේ. බොහොමයක් ළිං වලට ජලය ලැබෙන්නේ මෙම ජල උල්පත් මගිනි. මෙවැනි සොබාවික ජල උල්පත් මගින් ඇල දොළ ගංගා ප්රතිපෝෂනය් වේ.

සොබාවික ජල උල්පත් යනු භූ ගතවන ජලය මතුපිටට ගෙන එන එක් ආකාරයකි. වැසි කාලවලදී මෙම උල්පත්වල ජලය වැඩිවන අතර ඉඩෝර කාලවලදී ගලායන ජල ප්රමාණය අඩුවේ. නමුත් සමහර ජල උල්පත් ඒකාකාරිවම ජලය ලබා දෙයි. වැසි කාලවලදී තාවකාලික ජල උල්පත් බිහිවීම දකිය හැකිය. මේවා වර්ෂාවෙන් පසු සිඳී යයි.

 පස සහ මවු පාෂාණය තුලින් ගලා යන නිසා ඒවායේ අඩංගු ඛණිජ ලවණ එකතු වීම සිදුවේ. එනිසා උල්පත් ජලය ඛණිජ ලවණ වලින් පොහොසත්ය. එය ශරීරයට අවශ් බොහෝ ඛනිජලවන ලබා දීමට හේතු වේ. පස සහ මවු පාෂාණය තුලින් ගලා එන නිසා ජලය හොඳින් පෙරීමකට ලක් වේ. එනිසා උල්පත් ජලය පිරිසිදුය, බීමට හොඳය.

වර්තමානය වන විට බොහෝ උල්පත් වලට නරක කල දසාවක් උදා වී ඇති බව පෙනීයයි. ගංගා ද්රෝණි මගින් සිදුවන ප්රතිපෝෂණය ක්රියාදාමය අකර්මන් වීම මෙයට හේතුවයි. ගංගා ද්රෝණිවල ඉහල කලාප වල වන වැස්ම ඉවත් කිරීම මෙයට එක් හේතුවකි. එයට අමතරව කඳුකරය ක්රමයෙන් ජනාවාස වීම, සඳහා අවශ් යටිතල පහසුකම් නිර්මාණය කිරීම සඳහා භුමිය පරිහරණය කිරීම ආදී කරුණු නිසා ජල භූගත වීම අඩු වී ඇත. එනිසා ජල උල්පත් සිඝ්රයෙන් සිඳී යාමට ලක් වෙමින් තිබේ

එයට අමතරව විවිධ කර්මාන්තශාලා නිසා පසට සහ ජලයට එකතුවන විවිධ රසායනික ද්රව් ජල උල්පත් අපිරිසිදු කරන්නට හේතු වේ. පාංශු දුෂණයේ තවත් එක අහිතකර බලපෑමක් වන්නේ මෙවැනි ජල උල්පත් දුෂණය වීමයි. එනිසා මෙරට ඇති ජල උල්පත් පිලිබඳ වඩා වැඩි අවධානයක් ලබා දීම වැදගත් වේ.

  ශ්‍රී පාදය ශ්‍රී පාදය මනරම්ය. අලංකෘතය. අපගේ සිත් ඇඳ බැඳ තබා ගන්නා අපුරු භූ රූපණයකි. ශ්‍රී ලංකාවේ උසම කන්ද නොවුනත් මෙයට හිමිවන්නේ අද්විතීය ...