විදුපත් ඉරුව
12.02.2017
ප්‍රාස්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් ඇති බව
පෙන්නීමට විද්‍යාගාරයේ සිදු කරනා හුණු දියර පරික්ෂාව ඔබට මතක ඇති. විදුරු බටයෙන්
එතුලට පිඹීමෙන්, සාදාගත් අවර්ණ හුණු දියර කිරිපැහැ ගැන්වෙන බව ඔබ නිරීක්ෂණය කරන්නට
ඇති. මෙහිදී, ජලයේ දිය වූ කැල්සියම් ඔක්සයිඩ් ජලීය කැල්සියම් හයිඩ්රොක්සයිඩ් බවට
පත් වන අතර, ප්‍රාස්වාස වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර ජලයේ අද්‍රාව්‍ය
කැල්සියම් කාබෝනෙට් බවට පත් වේ. මෙම
පරීක්ෂණය ඉතා සරලමුත් බොහෝ කරුණු කාරණා මේ වටා එතී ඇති බව පෙනී යයි. එමන්ම අපට විසල්
දැනුම් සම්භාරයක් ගෙන හැර පෑමට එය පාදක වෙයි.
කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට එකතු කරනා
එක් ආකාරයක් වන්නේ ජිවින්ගේ ස්වසනය බව මෙමගින් පැහැදිළි වේ. නමුත් වායු ගෝලයට
කාබන්ඩයොක්සයිඩ් වායුව එක් කරන්නේ ස්වසනය මගින් පමණක් නොවේ. ගිනිකඳු පිපිරීම්
මගින්ද, ඵෛන්ද්‍රිය ද්‍රව්‍ය වියෝජනයෙන් ද, කාබනික ද්‍රව්‍ය දහනය මගින් වායුගෝලයට
කාබන්ඩයොක්සයිඩ් එක් කෙරේ. කාබනික ද්‍රව්‍ය දහනය සීඝ්‍ර වූයේ කාර්මික විප්ලයත් සමග
වීම අත්‍යන්තය සත්‍යකි. ඒ විශාල වශයෙන් ගල් අඟුරු, බොර තෙල් සහ ඛණිජ වායු කර්මාන්ත
සදහා භාවිතයත් සමගයි.
වායුගෝලයේ එක් රැස් වන කාබන්ඩයොක්සයිඩ්
වායුව ගිල ගන්නේ හරිතප්‍රදධාරීන් වන ශාක තුල සිදුවන ප්‍රභා සංස්ලේෂණ ක්‍රියා
දාමයයි. එම නිසා ස්වභාවික ක්‍රියාවලිය තුල වායු ගෝලයේ රැඳෙනා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය
අඩු වැඩි වශයෙන් නියත අගයක් ගනී. දිගු කාලීනව එම සාන්ද්‍රණයේ යම් යම් වෙනස්කම්
සිදු වී ඇති බව කාබන්ඩයොක්සයිඩ් වායුවේ “ප්‍රාග් සාන්ද්‍රණ” අධ්‍යනය තුලින් පෙනී
යයි. නමුත් කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලය තුල අධිකව සාන්ද්‍ර ගත වීම මෙවර
සිදුවන්නේ මිනිසාගේ ක්‍රියා නිසා බව ඉතා හොඳින් ගම්‍ය වේ. කාබන්ඩයොක්සයිඩ් වායුව ගිල
ගන්නා අනෙක් ස්වභාවික ක්‍රියාවලිය වන්නේ පාෂාණ ජිර්ණයයි.
හුණුගල් සහ කිරිගරුඬ මෙරටට ආර්ථික
වටිනාකමක් එක් කරනා පාෂණ වර්ග වේ. ඒවායේ රසායනික සංයුතිය පවසන්නේ එම පාෂාණ කැල්සියම්
කබෝනෙට් වලින් සමන්විත බවයි. හුණුගල් හෝ කිරිගරුඬ පිලිස්සීමෙන් ගොඩනැගිලි
කර්මාන්තය සදහා අවැසි “හුණු” නිෂ්පාදනය කර ගනී. මේ සදහා හුණුගල් හෝ කිරිගරුඬ පාෂාණ
පිලිස්සිමකට ලක් කල යුතුයි. මෙහිදී “අළුහුණු” නිපැදවෙන අතර කාබන්ඩයොක්සයිඩ් වායුව
වායුගෝලයට නිදහස් කෙරේ. මාතලේ, දිගන වැනි ස්ථාන වල ඇති හුණු
පෝරණු අසලින් යාමේදී කාබන්ඩයොක්සයිඩ් වායුවේ ආවේනික ගන්ධය ඔබට ආඝ්‍රහණය කල
හැක. මෙම අත්දැකීම විඳ ඇත්තෙකුට එහි ගන්ධය
ක්ෂණයකින් මතකයට නැගේවි.
අළුහුණු ජලයේ දියකර ගැනීමෙන් හුණු දියර
නිපදවා ගත හැක. අළුහුණු ජලයේ දියවීම තාපදායි ප්‍රතික්‍රියාවකි. එනිසා නග්න දෑත් හෝ
දෙපා අළුහුණු ජලයේ මිශ්‍ර කිරීම සඳහා භාවිතා නොකළ යුතුය. නැතහොත් අත්පා පිලිස්සිමකට
ලක් විය හැක. දියකර සාදා ගත් හුණු දියරය බිත්ති ආලේපනය සදහා භාවිතා කරයි. විවිධ
වර්ණ එක් කිරීමෙන් එය වර්ණවත් කරගත හැක. අවර්ණ හුනුදියරය බිත්ති ආලේපනයෙන් පසු ටික
වෙලාවක් ගතවීමෙන් අපූරු සුදු පැහැයක් ගෙන දෙන බව ඔබට මතක් වේවි. ඒ සදහා හේතුවන්නේ
වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් මෙම හුණු දියරය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් නැවත
නිපැදවෙන කැල්සියම් කාබෝනේට නිසායි.
සිමෙන්ති නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍යක්
ලෙස හුණුගල් භාවිතා කරයි. ලංකාවේ පුත්තලමේ සිට බටහිර වෙරළ තිරයේ ඉහලටද මුළු යාපනය අර්ධ
ද්විපයද නිර්මාණය වී ඇත්තේ මයෝසින යුගයේ අවසාදනය වූ හුණුගල් වලිනි. සිමෙන්ති
නිෂ්පාදනය සදහා මෙම හුණුගල් දශක ගණනාවක සිටම භාවිතා කරන අතර කන්කසන්තුරේ ඇති ගල්වල
වර්තමානයේ භාවිතා වන්නේ නැත. හුණුගල් ලබා ගැනීම සඳහා භාවිතා වන එකම ස්ථානය වන්නේ
පුත්තලමේ අරුවක්කාරු ගල්වලයි. සිමෙන්ති නිෂ්පාදනයේදී ද කුඩු කරගත් හුණුගල් අනෙකුත්
ද්‍රව්‍ය සමග අධික තාපයකට ලක් වෙයි. එහිදී හුණුගල් වියෝජනය වීම නිසා
කාබන්ඩයොක්සයිඩ් වායුව නිදහස් වන අතර එනිසාම හරිතාගාර වායු නිපදවන ප්‍රධාන පෙලේ
කර්මනතයක් ලෙසට සිමෙන්ති කර්මාන්තය නම් කල හැක.
ගොඩනැගිලි ඉදිකිරීමේදී සිමෙන්ති භාවිතා
වන්නේ ජලය සමග මිශ්‍ර කිරීමෙන් සදා ගන්නා බදාම වැනි මිශ්‍රණ ආකාරයෙනි. සිමෙන්ති වල
අළුහුණු අඩංගු වන නිසා ජලයත් සමග තාපදායි ප්‍රතික්‍රියාව සිදු වන අතර පසුව මිශ්‍රණය
ඝන වීමේදී වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගෙන ශක්තිමත් වේ. මේ සිදු වීම
කෙරෙහි ඔබ විමසිලිමත් වුවහොත් ඔබට වැටහේවි මෙයත් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් උරා
ගන්නා එක් ආකාරයක් බව. පසු ගිය සතියේ විදුසරෙහි පළවූ එක් ප්‍රවෘතියක සදහන් වුයේ
සිමෙන්ති කර්මාන්තයේදී නිපැදවෙන කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් හරි අඩක්ම නැවත මේ
හේතුවෙන් උරා ගන්නා බවයි. එය කදිම සොයා ගැනීමක් වූවත් ඉතිරි අඩ වායුගෝලයේ රැඳීම නවතාලන්නට
විකල්ප සොයා ගත යුතුය.
“බැසෝල්ට්” යනු ආගනේය පාෂණයකි. මෙය
නිර්මාණය වන්නේ බැසෝල්ට් ලාවා මගිනි. මෑත කාලයේ සිදුකරනා ලද පර්යේෂණයකින් හෙළි වී
ඇත්තේ, මෙම බැසෝල්ට් ලාවා වල ඇති සුවිශේෂී රසායනික සංයුතිය වායුගෝලයේ
කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගන්නට සමත් බවයි. බැසෝල්ට් ලාවා කාලයක් ගතවෙද්දී ක්‍රමයෙන්
කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගෙන පාෂාණයක් බවට පත් වේ. බැසෝල්ට් ලාවා වල ඇත්තේ කුමන ආකාරයේ රසායනික
සංයුතියක් දැයි දැන් ඔබට වටහා ගත හැකි වේවි. එමෙන්ම කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගෙන
සිදුවන ප්‍රතික්‍රියාව කුමක් දැයි අනුමාන කල හැකි වේ. කෙසේ නමුත් මෙම පර්යේෂණය හරිතාගාර
වායු අවශෝෂණය සදහා සුභදායි එකක් වී හැකි බව අපට නිගමනය කල හැකි වූවත් පෘතුවි අභ්‍යන්තරයට
කාබන්ඩයොක්සයිඩ් වායුව මුදාහැරිමට නම් උසස් තාක්ෂණයක් අවැසි වේවි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ