2015 මැයි 06 බදාදා
පසුගිය කාලේ තිබුණ ත්‍රස්‌තවාදී යුද්ධය නිමාවත් සමග දකුණේ වැසියෝ බුරුතු පිටින් උතුරේ සංචාරවල නිරත වුණා නේ. කිලිනොච්චිය, අලිමංකඩ, පුනරින්, යාපනය, පේදුරුතුඩුව යනාදී බොහෝ තැන් දැක බලාගැනීම තමයි ඔවුන් ගේ බලාපොරොත්තුව වුණේ. බෞද්ධ ජනතාවට වැදගත් වන්නා වූ නාගදීපය, දඹකොළ පටුන, කනද්රෝඩේ වැනි සිද්ධස්‌ථානත් ඒ අතර ප්‍රමුඛව තිබුණා. යාපනය අර්ධද්වීපය තුළ සංචාරය කළ ඇත්තන්ට නම් දැක බලාගත් අමතක නො වන තව බොහෝ තැන් ඇති. ඒ අතර ඉතා චමත්කාරජනක වූ භූ ගැබේ අපූරු නිර්මණ කිහිපයක් ගැන මේ ගමන විදු පත් ඉරුවෙන් මතක් කළොත් හොඳයි කියල හිතුණා. යාපනයේ ජනතාව ගේ ජීවය වැනි ජලය පිළිබඳ විශාල අර්බුදයක් මතු වෙමින් පවතින නිසා මේ ජල සම්පත පවතින වටපිටාව පිළිබඳව සහ දූෂකවල හැසිරීම, මේ භූ නිර්මාණවල ලක්‌ෂණ දැනගැනීමෙන් කිසියම් දුරකට ඔබට දැනගැනීමට හැකි වේ වි.
මම සදහන් කරපු තැන්වලින් එකක් තමයි නිලාවේරායිවල හමු වන "පතුල නො පෙනෙන ළිඳ". විශාල ආවාටයක් වැනි ළිං කටක් සහිත මේ ස්‌ථානය දැනට ඒ අවට ප්‍රදේශයේ මිනිසුන්ට පානීය ජලය සපයන එක ස්‌ථානයක්. නිල් පැහැති ජලය මේ පතුල වසාගෙන ඇති බවයි දුටු පමණින් පෙනෙන්නේ. යාපනය අර්ධද්වීපය සමන්විත වෙලා තියෙන්නේ අවසාදිත පාෂාණ විශේෂයක් වන හුණු ගල්වලින්. භූ විද්‍යාත්මක ඉතිහාසය සලකන කොට මෙයට අවුරුදු මිලියන තිහකට පමණ පෙර, ඒ කියන්නේ මයෝසීන කියන කාලයේ තමයි මේ හුණු මුහුදු පත්ලේ තැන්පත් වෙලා අවසාදිත පාෂණ බවට පත් වෙලා තියෙන්නේ. බොහොමයක් තැන්වල ඒ කාලයේ සිටි මුහුදු ජීවීන් වන විශේෂයෙන් ම මුහුදු බෙල්ලන් ගේ ප්‍රාග්ජීවධාතු මේ පාෂාණයේ හමු වනවා. ඒ පිළිබඳ ඉගෙනගන්නා කෙනකුට නම් යාපනය අර්ධද්වීපය කියන්නේ මහඟු සම්පතක්. ඉතින් මේ හුණු ගල්වල විශේෂ ලක්‌ෂණයක් තමයි වැසි ජලයට ඉතා ඉක්‌මනට දිය වෙලා යනවා. හුණුගල් රසායනිකව කැල්සියම් කාබොනේට් කියලා තමයි හඳුන්වන්නේ. වැසි ජලය ටිකාක් ආම්ලිකයි කියලා ඔයාලා දන්නව නේ. එතකොට මේ ආම්ලික වැසි ජලය කැල්සියම් කාබොනේට් සමග ප්‍රතික්‍රියා කිරීම නිසයි හුණු ගල දිය වෙන්නේ. මේ ප්‍රතික්‍රියාව ගැන විද්‍යාව හදාරන ඔබ සියලු දෙනා ම හොඳින් දන්න බව නිසැකයි. තව ජීර්ණය වන ශාක පත්‍ර වැනි කාබනික ද්‍රව්‍ය එකතු වීමෙන් ජලයේ තවත් ආම්ලික බව ඇති වන නිසා මේ හුණුගල් දිය වීම තවත් පහසු වෙනවා.
මේ විදියට හුණුගල කාලයක් තිස්‌සේ දිය වීම නිසා තමයි අර වගේ විශාල ළිං එහෙම නැති නම් ආවාට ඇති වෙන්නේ. මේවා ගැඹුරට විහිදිලා යන්න පුළුවන් පාෂාණයේ දුර්වල කලාප ඔස්‌සේ. දිය වීම හේතුවෙන් අභ්‍යන්තරයේ බොහොම විශාල පොකුණු වැනි ව්‍යqහ නිර්මාණය වෙන්නත් පුළුවන්. තවත් සමහර විටෙක එකිනෙක මේවා සම්බන්ධ වෙන්නත් පුළුවන්. වැස්‌ස වහින කොට මෙවැනි විවර ඔස්‌සේ ගිලා බහින ජලය කුහර මගින් ගොස් අභ්‍යන්තර පොකුණු පිරෙනවා. ඒ විදියට තමයි ඔන්න ස්‌වාභාවිකව යාපනය ප්‍රදේශයේ භූගත ජල නිධි නිර්මාණය වෙන්නේ. හුනුගල්වල ඇති ලවණමය ස්‌වභාවය, ඒ කියන්නේ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ ජලයට එකතු වීම නිසා ජලයේ කඨ§නතාව වැඩි වෙනවා. එතකොට මේ ජලය බීමට ටිකක් අපහසු වෙනවා. යාපනයේ තියෙන මේ හුණුගල සම්පූර්ණයෙන් ම හුණුවලින් නො වෙයි සකස් වෙලා තියෙන්නේ. මුහුදු පත්ලේ තැන්පත් වීමේ දී තැනින් තැන අවිධිමත් විදියට සිලිකා වැලි තැන්පත් වීම නිසා නිර්මාණය වූ ජීර්ණයට ප්‍රතිරෝධී ස්‌ථානත් හමු වෙනවා. ඒ වගේ තැන්වල ඇති වන ජල තැන්පතුවල ජලයේ කඨ§නතාව අඩුයි. ඉතින් කොහොම වුණත් ඔබට සිතාගන්න පුළුවන් නේ ද හුනුගලේ මේ දිය වීම නිසා පොළොව අභ්‍යන්තරයේ එක්‌තරා අකාරයකට උමං පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන බව. සමහර උමං එකිනෙක සම්බන්ධයි. සමහර ඒවා සම්බන්ධ නැහැ. ඒ කොහොම උනත් සමහර උමං මුහුදත් එක්‌කත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම තියෙන තැන් හඳුනාගන්න බොහොම පහසුයි. මොකද ළිංවල වතුර එතකොට ලුණු රස වෙනවා නේ.
බොහොම අපූරු, පුදුම සහගත අනෙක් තැන තමයි, කීරමලේ පොකුණ. විශේෂත්වය තමයි සුලබව කඨ§න ජලය හමු වන යාපනයේ සුපිරිසිදු ජලය හමු වන එක ම තැන. ඒ විතරක් නො වෙයි නො නවත්වා ම වතුර ගලා යන දිය උල්පතක්. පෙර විස්‌තර කළ විදියට කොහෙන් හෝ තැනකින් කිඳා බසින වැසි ජලය හුණු සමග මිශ්‍ර නො වී පොළොව අභ්‍යන්තරයේ උමං පද්ධතියක් හරහා තරමක පීඩනයක් යටතේ මේ ස්‌ථානයෙන් එළියට ගලා යනවා විය හැකියි. එහෙම නැතිනම් තවත් බොහොම දුරකින් ඒ කියන්නේ කිලිනොච්චිය, වව්නියාව වගේ ප්‍රදේශවලින් පොළොවට ගිලා බසිනා ජලය සිලිකාමය විපරිත පාෂාණ ඔස්‌සේ ඇති දීර්ඝ පැලුම් ඔස්‌සේ හුණුගල හා සම්බන්ධ වෙමින් මේ කදිම පිරිසිදු ජලය සපයන උල්පත නිර්මාණය කරනවා වෙන්නත් පුළුවන්. මේක නම් මගේ මතයක්.
ඒ කොහොම උනත් මෙවැනි සවිවර, කුහරමය, පාරගම්‍යතාව වැඩි පොළොවක තමයි යාපනයේ ජනතාව බොහෝ කාලයක් තිස්‌සේ ගොවිතැන් කටයුතු කළේ. ඒ හුණුගල් ජීර්ණයෙන් හැදෙන පස බොහොම සාරවත් නිසා. ඔවුන් තමන් ගේ පාරම්පරික ක්‍රමවේද තමයි භාවිත කළේ. මෑත කාලයේ රසායනික ද්‍රව්‍ය භාවිතයත් සමග ගැටලු ගණනාවක් යාපනය අර්ධද්වීපයේ ඇති වෙනවා. රසායනික ද්‍රව්‍ය නිසා පස ද ඉන් අනතුරුව භූගත ජලය ද ඉතා ම පහසුවෙන් දූෂණය වෙන්නේ ඉහත විස්‌තර කරපු අභ්‍යන්තර ව්‍යqහ නිසා. එක තැනකින් ඇතුළු වන දූෂක අප නො සිතන බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර යන්න තියෙන හැකියාව ඉතා ම වැඩියි. දැනටමත් කෘෂිකාර්මික කටයුතු සදහා අධික නයිට්‌රේට් පොහාර භාවිතයෙන් භූගත ජලය නයිටේට්‌වලින් දූෂණය වෙලා. ඒ වාගේ ම තමයි මෑතක දී දැනගන්නට ලැබුණ පරිදි කාර්මික අපද්‍රව්‍යත් භූගත ජලයට එකතු වෙන බව. ඉතින් ඔබට මම අමුතුවෙන් විස්‌තර කිරීම අනවශ්‍යයි නේ එතනින් එහාට මොකද වෙන්නේ කියලා. හොඳ, පිරිසිදු වතුර පිළිබඳ ගැටලුවක් යාපනයේ තිබිය දී මෙවැනි ක්‍රියාකාරම් නිසා මේ ගැටලුව බොහොම බරපතළ තත්ත්වයකට පත් වේ වි. ඒ නිසා වගකිවයුතු ආයතන එකතු වී මේ ගැටලුව නිරාකරණය කරගැනීමට වහා ම පියවර ගැනීම අත්‍යවශ්‍ය වනවා.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ