Monday, 2 March 2020



මන්නාරම් කලපුවේ ඇල්ගේ කළා
පත්මෙගේ භූ සංචාරිතය 08
This article is originally published on Vidusara, 26.02.2020.

පසුගිය සතියේ අප සංචාරය කලේ මන්නාරම් දූපතේ බව ඔබට මතක ඇති. ඉතා සියුම් වැල්ලෙන් නිර්මාණය වූ මේ කදිම දූපතෙන් සමුගැනීම භූ විද්‍යාඥයකු වන මා හට නම් අසීරු කරුණක්. මේ දූපත එතරම්ම වටිනා භූ සම්පතකි. 

මේ කදිම දූපත ප්‍රධාන දිවයින හා සම්බන්ධ වන්නේ ඉතා පටු වැලි තීරුවකිනි. මේ තීරුව හා සම්බන්ධව වටකුරුව විහිදෙනා මුහුද සහ ගොඩබිම සම්බන්ධ කරන තීරුව නිර්මාණය කරන්නේ තවත් අනර්ඝ භූ රූපණයකි. වෙරළබඩ භූ රූපණ යනු භූ විද්‍යාඥයෙකු විසින් අනිවාර්යෙන්ම හැදෑරිය භූ සංසිද්ධියක් බව මෙහිලා සඳහන් කල යුතුම ය. 

මන්නාරම් කලපුව දඟකාර සාගර තරංග මෙල්ල කරනා අපූරු ස්ථානයකි. එය හරියටම තාරුණ්‍යයේ වූ විසේකාර තරුණයෙකු කල්ගත වෙත්ම පරිණත වීමේදී පෙන්වන තැන්පතු බවට සමාන කල හැක.  ජලයේ වේගය සැමවිටම අවසාදිත තැන්පතු කෙරෙහි ඉතා ප්‍රභලව බලපායි. විසේකාර මුහුදු තරංග ඇතිකරනා මුහුදු රැළි ගෙන එන තරමක් බරැති අවසාදිත ඛණිකා කලපු පරිසරයට ඇතුළුවත්ම සිදුවන වෙනස වටහා ගෙන මෙන් ශක්තිය අඩු තරංග බිහිවන කලපු කටේ දී තමාගේ සියලු බලාපොරොත්තු අත් හරිමින් මුහුදු පත්ල සිප ගන්නේ වෙන කරන්නට කිසිවක් නොමැති නිසාවෙනි. එය එසේ වුවත් අහංකාර සියුම් අවසාදිත ඛණිකා ආඩම්බරයෙන් හිස ඔසවා ගත් යව්වණියෙකු තමාගේ අහංකාර ගමන් විලාසය එලසම තබා ගනිමින් කලපුව තුලට අතුලුවන්නේ එය තමාගේ මහා ගෙදර යැයි සලකමින් බව මේ ක්‍රියාදාමය ඉතා හොඳින් නිරීක්ෂණය කරනා භූ විද්‍යාඥයෙකු හට නම් අරුමයක් නොවේ.

කලපු අවසාදිත භූ විද්‍යාඥයෙකු විසින් අධ්‍යනය කලයුතුම භූ සම්පතකි. නිශ්චල ජලය ඇති මන්නාරම් කලපුව සියුම් අවසාදිත තැන්පත් කරනා මහඟු භූ පරිසරයකි. මිලිමීටරයකින් සියයකින් පංගුවක් පමණ වූ විශාලිත විශ්කම්භයකින් යුක්ත වූ අවසාදිත ඛණිකා තැන්පත් කරන්නට තරම් සමත් මේ පරිසරය ගෙන එන්නේ ඉතා සුවිශේෂී කලපු තැන්පතු බව මෙහි ලා සඳහන් කලයුතුය. ඉතාම සියුම් ඛණිකා කලපු පත්ලේ තැන්පත් කරන්නට මේ පරිසරය වගා බලා ගනී.

ඉතා සියුම් ඛණිකා බොහෝ විට මැටි අංශු බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම මැටි අංශු බිහිවන්නේ පෙල්ඩ්ස්පාර් නම් වූ පාෂාණ කාරක ඛණිජය ජිර්ණයෙනි. මෙවැනි මැටි අංශු කෙලසක හෝ මහා සාගරය වෙත ගෙන එන්නට අපගේ ගංගා පද්ධතිය සමත්වන්නේය. ශක්තිජනක සාගර තරංග හා තරඟ කරමින් කලපුවට ඇතුළුවන මෙවැනි සියුම් ඛණිකා තමාගේ නවාතැන් පල කරගන්නේ ඉතා කැමැත්තෙනි. මේ අතර තවත් අපූරු ද්‍රව්‍යයන් මේ සමග තැන්පත් වන්නට මග බලා හිඳී. ඒ විවිධ ජීවින් විසින් නිපදවනු ලබන කාබනික සියුම් ඛණිකා වෙයි. මෙවැනි කාබනික සියුම් ඛණිකා බොහෝවිට සමන්විත වනුයේ ඉතා සියුම්ව නිමැයුනු ක්ෂුද්‍ර දේහධාරී ජීවින්ගේ මළකුණු වලින් බව අප තේරුම් ගත යුතුය. මෙවැනි නිශ්චල පරිසර බොහොමයක් ක්ෂුද්‍ර ජීවීන්ගේ සුසාන භූමින් බව අප වටහා ගත යුතුය. 

මෙම ක්ෂුද්‍ර දේහධාරීහු කවුරුහු ද? බොහෝවිට මෙවැන්නන් වන්නේ ‘ඩයටම’ (diatom) නම් වූ සිලිකාමය ශරීර ඇත්තන්ය. දිලිසෙන සුළු සිලිකාමය දේහධාරී ඩයටමයන් තමාගේ මරණින් පසු අත්වන ඉරණම ගැන නොදන්නා බව නම් නිසැකව ම පැවසිය හැක. ඩයටමයන්ට අමතරම නීලහරිත ඇල්ගාවන් සහ ක්ෂුද්‍ර ඇල්ගාවන් ද මෙම කලපු සුසාන භුමියේ මිහිදන් වන්නට තරම් වාසනාවන්තයන් වන බව පෙනී යයි. මෙලෙස අනුක්‍රමිකව තැන්පත් වන්නා වූ අකාබනික මඩ සහ කාබනික මඩ නිර්මාණය කරන්නේ අනාගතයේ අපට බොරතෙල් ගෙන දෙන්නා වූ අවසාදිත තැන්පතුවක් බව කිව යුතුය. 

මන්නාරම් කලපුවේ දක්නට ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික පරිසරයේ නිර්මාණය වූ “ඇල්ගේ කළාල” (Algal mat) වලට සමාන වූ ජීවි කාබනික ව්‍යුහයන් බව හඳුනාගත හැක. කලපුව පුරාවට විසිරි පැතිරී ඇති මේ අපූරු සජීවී සංගමය සිහි ගන්වන්නේ පැරණි ලෝකයේ නිර්මාණය වූ ඇල්ගේ කළාලයන් ය. මේ ඇල්ගී කළාල කලිල (මඩ) තැන්පතු හා මිශ්‍ර වී “ඇල්ගේ තලසයන්” (stromatalight) නිර්මාණය කර ඇති බව ප්‍රාග් අවසාදිත තැන්පතු විශ්ලේෂණය කිරීමේ දී ඉතා කදිමට පැහැදිලි වන කරුණකි.  මෙවැනි තැන්පතු අධ්‍යනය කිරීම ප්‍රාග් ජීවය පිලිබඳ යම් අර්ථකතනයන් සඳහා මඟ පෙන්වා ඇත. 

ප්‍රාග් ඇල්ගේ තලසයන් මෙළොව හමුවන පැරණිම ජීවී දේහයන් අධ්‍යනය කිරීමට සුදුසු ඉතා අපූරු අවසාදිත තැන්පතු බව කිව යුතුමය. ලෝකයේ එවැනි වූ පැරණිම ඇල්ගේ තලසයන් හමුවන්නේ ග්‍රීන්ලන්තයෙන් බව භූ විද්‍යාඥයින් සොයාගෙන ඇත. එම ප්‍රාග් තැන්පතු වසර බිලියන 3.7 ක් පමණ පැරණි බව කාලනිර්ණ ක්‍රමවේදයන් මගින් තහවුරු කර ඇත. මෙලෙස කදිමට පාෂාණීභූත වූ ප්‍රාග් ඇල්ගේ තැන්පතු සමන්විතවන්නේ ඇල්ගේ කළාල තට්ටු අතර සිරවූ සියුම් මඩ ඛණිකා තට්ටු වලිනි. ග්‍රීන්ලන්තයේ හමුවන මෙම ප්‍රාග් ඇල්ගේ තලසයන් ඇත්තෙන්ම “ප්‍රාග් ජීව ධාතුන්” බව සඳහන් කළ යුතුය. 

නීල හරිත ඇල්ගාවන් යනු සයනෝ බැක්ටීරියාවන් වේ. මොවුන්ගේ අධ්‍යනය පැරණි කාලගුණික තත්වයන් ප්‍රති නිර්මාණය කරන්නට මාර්ගය පාදන බව අප සිහි තබා ගත යුතුය. ආදී කාලික සයනෝ බැක්ටීරියාවෝ වායුගෝලයට මුලින්ම ඔක්සිජන් සැපයුවෝ වෙති. එකල වායුගෝලයේ ඔක්සිජන් රහිත විය. මේ ඔක්සිජන් වැයවන්නේ සාගරයේ දිය වූ යකඩ ඔක්සිකරණය කරන්නටය.  ඔක්සිකරණය වූ යකඩ සාගරයේ තැන්පත් වන්නේ පාවෙන කලිලත් සමගයි. රක්තවර්ණ අවසාදිත පාෂාණයක් වන රක්ත වර්ණ යමුසු පාෂාණය (banded iron formation) බිහිවන්නේ මෙලසයි. 

කෙසේ වුවත් පවතින තත්කාලීන පාරිසරික තත්ත්ව මත මන්නාරම් කලපුවේ ඇති වූ “ඇල්ගේ කළාල” පවතින ආකාරය මත කලාප තුනකට බෙදා වෙන්කළ හැකි බව මහාචාර්ය අතුල සේනාරත්නයන්ගේ පර්යේෂණ පෙන්වා දෙයි. කෙසේවුවත් ආදී කාලික ප්‍රාග් ඇල්ගේ තලසයන් මන්නාරමේ හමුවන්නේ නැත. මෙවැනි පාරිසරික තත්ත්ව පිළිබඳව තවත් දවසක ඔබට අනාවරණය කිරීමේ අවශ්‍යතාව පැහැදිළිව ඇත. භූ සංචාරිතයෙන් මේ අපූරු සංසිද්ධිය ගැන කතා කරන්නට පසුවට ඉඩ තබා ඔබ සියල්ලන්ටම ආරාධනා කරන්නේ මන්නාරමේ ඇල්ගේ කළාල දැකබලා ගන්නටයි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 27 February 2020


පරණම පරණ මිනිස්සු භාවිතා කල පරණම ලෝහය ; තඹ

This article is originally published on Divaina, 16.02.2020.


වසර දස දහසක් පමණ පැරණි පුරාවිද්‍යාත්මක ලෝහය වන්නේ තඹ (copper) යි. තඹ ලෝහය භාවිතයත් සමග මානව ඉතිහාසයේ නව පරිච්චේදයක් ආරම්ඹ වන අතර එය වසර හයදහසක් පමණ වූ කාලයක් දක්වා වූ මෑත කාලයට පැතිරී යයි. ඊශ්‍රායලය මේ සඳහා පැරණිම සාක්ෂි ලබා දෙන බව විද්‍යාඥයින් පවසයි. ඉතිහාසගත කරුණු එසේ වන්නේ මුත් අපට වැදගත් වන්නේ එහි භූ විද්‍යත්මක, ඛණිජ විද්‍යාත්මක පසුබිමයි.


තඹ ලෝහය ඉතා මෘදු, පහසුවෙන් තැලීමට හැකි එමෙන්ම පහසුවෙන් කැපීමට හැකි රතු පැහැති ඛණිජයක් ලෙස හඳුන්වා දිය හැක. සොබාවික පරිසරයේ තඹ ලෝහය මූලද්‍රවයමය ඛණිජයක් ලෙස හමුවන අතර එයට අමතරව පාෂාණවල තඹ අඩංගු ඛණිජ සමූහයක් ඇත. තඹ සල්ෆයිඩය (sufide) ලෙස ද කබෝනේට (carbonate) ලෙසද  ඔක්සයිඩය (oxide) ලෙසද සොබාවික පරිසරයේ මුණ ගැසේ. කැල්කෝ පයරයිට් (chalcopyarite) යනු තඹ සල්ෆයිඩ යයි. මෙයට ශ්‍රී ලංකවේ දී භාවිතාවන නාමය වන්නේ “දිය රත්රන්” යන්නයි. මැලචයිට් (malachite) යනු තඹ කබෝනේටයකි. කියුප්‍රයිට් (cuprite) යනු තඹ ඔක්සයිඩයකි. ඇසූරයිට් (azurite) සහ බෝනයිට් (bornite) යනු තවත් තඹ අඩංගු ඛණිජ වර්ග දෙකකි. 


වැඩිපුරම තඹ ලෝහය වෙන්කරගන්නේ ඉහත සඳහන් කල සල්ෆයිඩයෙනි. චිලී රාජ්‍යය, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, පේරු රාජ්‍යය, සැම්බියාව, පෝලන්තය වැනි රටවල ඉහත සඳහන් කල ඛණිජ වලින් තඹ ලෝහය නිස්සරණය කර ගනී. තඹ ලෝහය වෙන්කර ගැනීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි. බොහොමයක් තඹ නිධිවල ඇති තඹ ප්‍රතිශතය සියයට  එකක් (< 1%) පමණ වන අතර ඉතිරිය වන්නේ සිලිකේට ඛණිජ වර්ගයි. තඹ ලබා ගැනීම බොහෝවිට සිදුවන්නේ තඹ නිධි විවෘත ආකර ලෙස කැනීම් කරමිනි. 


තඹ ලෝහයක් ලෙස ඉතා වැදගත් වන්නේ විද්‍යුතය සන්නයනයටයි. ලෝකයේ ඇති හොඳම සන්නායකතාව තඹ සතුවන අතර ලෝකයේ මෑත ඉතිහාසයේ එක්තරා කලෙක තඹ විදුලි කම්බි නිෂ්පාදනයේදී ප්‍රමුඛතාව ලබා ගෙන තිබුණි. ඒ වාගේම තාපය ද කදිමට සන්නයනය කරන නිසා විශේෂයෙන්ම ඉවුම් පිහුම් කටයුතු වල දී භාජන නිෂ්පාදනය සඳහා බහුලව යොදාගෙන ඇත. තඹ ලෝහයේ දැඩියාව 2.5 ත් 3 ත් අතර අගයක් ගනී. ලේඛාවේ පැහැය වන්නේ රතු පැහැයයි. 


තඹ නිධි ජනනය ආකාර කිහිපයකි. ඉන් ප්‍රධාන වන්නේ ආගනේය ක්‍රියාවලියයි. කිලෝමීටර කිහිපයක් භූ අභ්‍යන්තරයේ ඇති මැග්මා කුටීර තුල බිහිවන “ගිනියම් ජලීය දියරයන්” (hydrothermal liquid) හා මුසුව ඉහළ නගින තඹ, ආග්නේය පාෂාණ ඇසුරේ ඝනීභවනය වීමෙන් තඹ ලෝහ නිධි  නිර්මාණය වේ. තඹ වලට අමතරව මෙම නිධිවල ආර්ථික වටිනාකමක් ඇති මොලිබ්ඩිනම්, රිදී සහ රත්රන් වැනි ලෝහද පවතින අවස්ථා වාර්තා වෙයි. අවසාදිත තැන්පතු ආකාරයෙන්ද තඹ නිධි හමුවන අවස්ථා ඇත. 


තඹ භාවිතය පැතිරුණ අංශ කිහිපයකි. ප්‍රධාන වශයෙන් ම විදුලි පරිවහනය කිරීමේදී ඉතා වගකිවයුතු කාර්ය  භාරයක් ඉටු කරයි. ගෘහ විදුලි පරිපථ නිර්මාණය සඳහා නැතිවම බැරි අමුද්‍රවයයකි. ඒ වාගේම විවිධ වර්ග වල විදුලි භාන්ඩ නිහ්ස්පාදනයේදී ද මෙම තඹ ලෝහය යොදාගනී. එයට අමතරව ඔක්සිකරණය සෙමෙන් සිදුවන නිසා නිවාස වල වහල සඳහා ද වැහිපීලී වැනි දෑ නිෂ්පාදනයට ද යොදාගනී. ජලය පරිවහනය සඳහා ද තඹ ලෝහවලින් තැනු පයිප්ප යොදා ගන්නා බව ඉතිහාසයේ වාර්තා වෙයි. නිවසේ  ඉවුම් පිහුම් කටයුතු වලට ද යොදාගෙන ඇත. විවිධ තීන්ත වර්ග නිෂ්පාදනයේ දී, විශේෂයෙන්ම නිල් සහ කොළ පැහැයන් සඳහා තඹ භාවිතා කරන බව වාර්තා වෙයි. එයට අමතරව මැණික් ඛණිජයක් ලෙස භාවිතා වන අවස්ථා ද වාර්තා වේ. ඇසූරයිට්, මැලචයිට්, ටාර්ක්වෝස් (turquoise) වැනි තඹ ඛණිජ කපා හොදින් ඔප දැමීමෙන් ඉතා අපූරු මැණික් ඛණිජ ලබා ගත හැක. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ








 

  













 


Tuesday, 25 February 2020


මන්නාරමේ අනවහිරත වාලුකා ජල නිධි රැකගත යුතුයි

පත්මෙගේ භූ සංචාරිතය 07

This article is originally published on Vidusara, 19.02.2020.


පිටි වැල්ලෙන් (fine sand) නිමැයුනු මන්නාරම් දූපත අලංකාර භූමියක්. ගිනිගහන අව්ව වැටෙන දහවල නම් කාන්තාරයක් සිහිකරවන තරම් වූ මේ දූපත තැනී ඇත්තේ දකුණේ සිට ගලා ආ දිගු දුර දිය වැල් (long shore currents) සමග ගසාගෙන ආ, පසුව අතීතයේ එක්තරා කලෙක වූ කාලගුණික විපරියාසයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අධික සුළං ධාරා නිසා අවසාදනය වූ ඉතා සියුම් වැල්ලෙන්. අසමව වැටෙන ගිනි ගහන අව්ව ඇති කරන සංවහන ධාරා දහවල සාගරය පිසගෙන ගොඩබිමට ගෙන එන්නේ සිහිල් සුළඟක්. කපුටන් කෑ ගසා කියනා කරවල වේලන්නන්ගේ දුක්ඛිත කතන්දරේ නම් එහි යන සියල්ලෝම ඇසිය යුතුමය.

කැල්සයිට් (calcite) ඛණිජයෙන් නිර්මාණය වූ බෙල්ලන්ගේ බෙලිකටු වල රටාව ලොකු කුඩා සැවොම අඩුම තරමින් එක බෙල්ලෙක්වත් ඇහිඳින්නට ඔවුනොවුන්ගේ සිත පොලඹවයි. මුහුදේ ලුණු මිශ්‍රිත වතුර නැවත නැවත වෙරළ වෙත ඇදෙන්නේ එයත් සමග එක රැස්වී එකටම වෙරළට එන සියුම් මුහුදු වැල්ල තවත් ඔප මට්ටම් කරමිනි. වැඩි වශයෙන් තේරුණ තිරුවානා වැල්ල (quartz) ජිර්ණයේ කුරිරුකම් ඉවසන්නේ අද ඊයෙක සිට නොවන බව පැහැදිළි වෙන්නේ මුහුද වැල්ලේ සංයුතිය තනිකරම තිරුවානා වැලි වලින් පමණක් සමන්විත බව එදෙස ඉතා හොඳින් බැලු භූ විද්‍යාඥයෙකුටම පමණි


මන්නාරම් දූපතේ හැටි එලසය. එයනම් භූ විද්‍යාඥයෙකු විසින් අධ්‍යනය කල යුතුම ස්ථානයකි. වැලි කඳු (sand dunes) සැමතැනම විසිරුණ මේ අපූරු කුඩා දිවයින ඉතා පිරිසිදු බීමට හැකි ජලය රඳවා ගෙන සිටින මහාර්ඝ සම්පතකි. ඒ බව පසක් වන්නේ එහි පිහිටීම අධ්‍යනය කරන්නෙකුට පමණි. වටේටම ජලයෙන් වට වුවද බීමට ගත නොහැකි ලුණු වතුර වලින් පෙඟුණ මේ වැලි ගොඩේ කෙලසක නම් මෙවැනි අපූරු පිරිසිදු ජල නිධියක් රැඳෙන්නේ කෙලෙසද යන්න පුදුමයකි. 


පිරිසිදු ජලයේ ඝනත්වය මුහුදු වතුරේ ඝනත්වයට වඩා අඩුය. එනිසා මුහුදු වතුර මත සැමවිටම පිරිසිදු වතුර පාවෙයි. එයම වෙයි මේ වැලි දූපතේ පිරිසිදු ජලය රැදෙන්නට හේතුව. ජලය හිඟ මෙවැනි පරිසරයක මෙලස පිරිසිදු ජලය පැවතීම මහාර්ඝ සම්පතක් නොවන්නේ කෙසේද? නමුත් දූපතේ වෙසෙන්නන්හට නම් එය එලස නොවන බවයි පෙනී යන්නේ. කල්පිටිය අර්ධ ද්වීපය නූතන කෘෂිකර්මය ආක්‍රමණය කර එහි වූ වටිනා පිරිසිදු ජල නිධි විනාශ කලා සේ මන්නාරම් දූපත ද ඔය කියනා බටහිර කෘෂිකාර්මික ක්‍රමවේද වල බලපෑමට යටත් වෙමින් සිටිනා බව 2010  වසරේ සිට මා සිදුකල පර්යේෂණ වලින් හෙළි විය. දැන් තත්වය වඩාත් බරපතල වී ඇතිවාට සැකයක් නොමැතිය.


වැසි ජලයෙන් පෝෂණය වෙන මන්නාරමේ වෙරළාසන්න අනවහිරත වාලුකා ජල නිධිය (unconfined sandy aquifer) දුෂණය වෙමින් පවතී. ඒ කිසිවක් නිසා නොව මිනිසුන්ගේ වගා කටයුතු හේතුවෙන්. එහිදී ඔවුන් භාවිතා කරනා රසායනික පොහොර. කෘමි නාශක සහ වල් පැලෑටි නාශක වැනි නවීන කෘෂිකාර්මික උපාය උපක්‍රම භාවිතා කිරීම හේතුවෙන්. නිරන්තරව ගසනා මුහුද රැලෙන් මනරම් ලෙස ගෝලාකාර වූ මන්නාරම් පිටි වැල්ල (rounded sand grains) භූ විද්‍යාඥයින්ගේ ඇසට නම් කියා පාන්නේ අවසාදනයේ අපුරු කතන්දරයක්. දැනටත් අර්ධ ශුෂ්ක දේශගුණයක් පෙන්වන මන්නාරම අතීතයේ වූ වියලි ශීත දේශගුණික (Ice age) තත්වයට මුහුණ දී ඇති බවයි  එහි නිර්මාණය වී ඇත්තා වූ වැලි කඳු පවසන්නේ. 


වැලි නිධියට වහාම යටින් වූ මවු පාෂාණය ඉතා පැහැදිළිවම මයෝසීන යුගයේ ඇති වූ අවසාදිත හුණු ගල් තට්ටුව (sedimentary limestone) විය යුතුමය. හුණු ගල් සමග මිශ්‍ර වන ජලය ගෙන් එන්නේ කිවුල් රසයක් (hard water). හුණු ගලේ ඇත්තාවූ කබෝනේට රසායනය ජලයේ දිය වීම එයට හේතුවයි. නමුත් මන්නාරමේ ජලය එලෙස කිවුල් රසයක් ගෙන් එන්නේ නැත. එයට හේතුව විය හැක්කේ එලෙස මිශ්‍රවන ජලය ඉහල නොපැමිණිමයි. එමෙන්ම වාර්ෂිකව එක් වතාවක් පමණක් ඊසාන දිග මෝසමෙන් ලැබෙනා බොහොමයක් වර්ෂා ජලය ඉතා පහසුවෙන් අධික සවිවරතාවයක් දක්වන්නා වූ වැලි හරහා භූ අභ්‍යන්තර ජල නිධියට තව තවත් ජලය එක් කිරීමෙන් ඇතිකරන තෙරපුම නිසා මුහුදු ජලය සහ පිරිසිදු ජලය අතරේ පවතින මායිම යටටම තල්ලු කර හැරීමයි. 


කාලීනව ඇතිවන වියලි ශුෂ්ක තත්වය හමුවේ වර්ෂා කාලයේ පිරෙනා මන්නාරමේ අනවහිරත ජල නිධියේ ජල මට්ටම අඩුවන අතර දිවයිනේ සිදුවන වගා කටයුතු සඳහා ද භාවිතා කිරීම නිසා විවිධ පාරිසරික ගැටළු ඇතිකරන්නට හේතු වී ඇත. ඒ අතර ප්‍රධානම කරණය වන්නේ ඉහත කී ජල දූෂණය වන අතර නිසි ඇගයීමකට ලක් කර මෙම වටිනා ජල නිධිය ආරක්ෂා කරගත යුතුය. මන්දයත් ශ්‍රී ලංකවේ හොඳම අනවහිරත පිරිසිදු ජල නිධි හමුවන්නේ වෙරළබඩ කලාපයෙන් වන බැවිනි. නිරන්තරයෙන්ම මෙහි වූ භූගත ජලය වගා කටයුතු සඳහා භාවිතා කිරීම විටෙක සෛධාන්තිකව ජල නිධියේ ජල මට්ටම අඩුකරන්නට හේතුවන් මුත්, අධික සවිවරතාව නිසා වැලි මත කල වගාවට යොදන ජලය ක්ෂණයෙන් භූ අභ්‍යන්තරයට කිඳා බසිමින් නැවත ජල  නිධිය පෝෂණය කරයි. එනිසා බොහෝ විට ජල නිධියේ ජල මට්ටම අඩුවන්නේ සුළු වශයෙන් බව පෙනී ගිය කාරණයකි. 


වෙරළබඩ ජල නිධි වල ජල මට්ටම අඩුවීම ජලයේ පිරිසිදු බාවය පවත්වාගෙන යාම සඳහා ගැටළු ඇතිකරන්නට හේතුවෙයි. ඒ ජල මට්ටම අඩුවීම නිසා මුහුදු ජලය පිරිසිදු ජල නිධියට කාන්දු වීමයි. එමගින් ජල නිධිය ජලයේ තත්වය පහත වැටෙයි. මේ තත්වය උග්‍ර වන්නට හේතුවන්නේ අධික ලෙස ජලය, නිධියෙන් උකහා ගැනීමත් ඒ තත්වය වියළි කාලයේ සිදුවීමත් යන කරුණු දෙකයි. එනිසා සැමවිටම මෙවැනි ජල නිධිවල තත්වය මනා කළමනාකරණයකට ලක් කරමින් භාවිතය සිදුකල යුතුව ඇත. කෙසේවෙතත් ශ්‍රී ලංකවේ ජල කළමනාකරණය නිසිපරිදි සිදුවන්නේ නැත. මේ තත්වය දිගටම පැවතුනහොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාවට ජලය ආනයනය කරන්නට සිදුවනු ඇත. 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 24 February 2020


භූ ගත ජලයේ කතන්දරේ..

This article is originally published on Divaina 19th February, 2020.


ජලය නොමැති කල මෙලොව ජීවය රැඳෙන්නේ නැත. ආහාර නොමැතිව සති ගණනාවක් වුව ඉන්නට හැකි මුත් ජලය නොමැතිව එලෙස ජීවය පවත්වාගෙන යා හැකි නොවේ. දැන් දැන් එන්න එන්නටම ජල සම්පත් දුලභ වෙන කාලයක් බව අප අමතක නොකල යුතුය. එනිසාම එහි වැදගත්කම ද භූ විද්‍යත්මක පසුබිම ද ඔබ හමුවේ තැබීම සුදුසු යැයි මම සිතමි. 


එදිනෙදා ජිවිතයට අතවශ්‍ය වන තවත් භූ විද්‍යත්මක සම්පතකි ජලය. රසායනය ගැන කථාකරන්නේ නම් බොහෝ දේවල් සඳහන් කලහැකි මුත් බොහොම සරලව කියන්නේ නම් විශ්වීය ද්‍රාවකය වන්නේ ජලයයි. එහි බොහෝ දේ දිය වෙන අතර එනිසාම ඉතා පහසුවෙන් ජලය දූෂණය වීමේ හැකියාව ද නැත්තේ නොවේ. 


මෙලොව ප්‍රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ ආකාර දෙකකටයි. ඒ මතුපිට ජලය සහ භූ ගත ජලය ලෙසයි. මතුපිට ජලය මෙන්ම භූ ගත ජලය ද ජල ගෝලයේ එක් එක් අවස්ථාවන් වේ. කෙසේ වෙතත් මේ අවස්ථා දෙකම පෝෂණය වන්නේ වැසි ජලයෙන් වන අතර භූ ගත ජලය නිධි ලෙස භූ අභ්‍යන්තරයේ වූ පාෂාණ වල පවතින දැදුරු, කුස්තුර සහ විවරයන් තුල එක් රැස් වී පවතී. වැසි ජලය භූ අභ්‍යන්තරයට කිඳා බැසීම නිසා භූ ගත ජල නිධි පෝෂණය වන අතර මතුපිට භූමි පරිහරණ රටාව ඒ සඳහා තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකරන බව අමතක නොකළ යුතුය.


භූ ගත ජල නිධි පවතින්නේ භූ ගත පාෂාණ ඇසුරු කරගෙන වන අතර එනිසා නිරන්තරව එම පාෂාණ සමග ගැටීම සිදුවේ. ඒ හේතුවෙන් බොහොමයක් පාෂාණයේ ඛණිජ ලවණ ඉතා පහසුවෙන් ජලය සමග මිශ්‍රවීම සිදු වේ. එහි දී විශේෂයෙන්ම ඉතා පහසුවෙන් ජලයේ දියවෙන සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් වැනි කැටායන (රසායන) භූ ගත ජලය සමග එක් වීම සිදුවේ. එලෙස ද්‍රාවනගතවන ඛණිජ ලවණ මිශ්‍රිත භූ ගත ජලය පවතින්නා වූ භූ අභ්‍යන්තරික භූ පාරිසරික තත්ත්ව මත  එම ජලය දිගු කාලයක නිසලව පවතී ද නොඑසේනම් කුස්තුර සහ පැලුම් හරහා වෙනතක් කරා ගමන් කරන්නේ ද යන්න තීරණය වෙයි. 


භූ ගත ජලයේ සාන්ද්‍රණ ගතවූ ඛණිජලවණ සැමවිටම භූ ගත ජලයේ රසායනික තත්වය පාලනය කරන අතර එනිසාම එහි භෞතික ගුණාංග  පාලනයට ද හේතුවේ. එනම් ජලයේ ආම්ලික සහ භාෂ්මිකතාව බොහෝවිට තීරණය කරන්නේ භූ අභ්‍යන්තරික භූ රසායනික තත්වය වන අතර එනිසා කාබනික ද්‍රව්‍ය වැඩි භූ පරිසර ආම්ලික ජලය ඇතිකරන්නට මෙන්ම කාබෝනේට වැඩි පරිසර වලදී භාෂ්මික ජලය ඇති කරන්නට ද හේතු වේ. ෆ්ලොරයිට් වැනි ඛණිජ පවතින ප්‍රදේශවල දී භූ ගත ජලයට ෆ්ලෝරින් එකතු කිරීම නිසා එම ප්‍රදේශවල ජනතාවට දත් වල දුඹුරු පැහැති පැල්ලම් ඇතිකිරීමට හේතුවෙයි. එමෙන්ම බංගලාදේශය වැනි රටවල භූ ගත ජලයට ආසනික වැනි බැර ලෝහ එකතුවීමෙන් විවිධ සෞඛ්‍ය ගැටළු ඇතිකරන්නට හේතු වී ඇත. මින් පෙනී යන කාරණාව වන්නේ භූ ගත ජලය අපගේ සෞඛ්‍ය තත්වය පාලනයට කොතරම් දායක වන්නේ ද යන්නයි. 


භූ ගත ජල නිධි භූ අභ්‍යන්තරයේ පවතින ආකාර දෙකකි. එක් ආකාරයක් වන්නේ අනවහිරත ජල නිධි ලෙස වන අතර ඔබ ළිඳක් කපා ජලය ලබා ගන්නේ මෙවැනි ජල නිධි වලිනි. අවහිරත ජල නිධි වල ජලය ලබා ගන්නේ නළ ළිං මගිනි. දැන් දැන් ශ්‍රී ලංකාව තුල ද භූ ගත ජල පරිහරණයට ඉතා විශාල නැඹුරුතාවක් ඇති බව පෙනී යයි. එනිසාම දිනෙන් දින භූ ගත ජලය ලබා ගැනීම සඳහා නළ ළිං ඉදිකිරීමේ වර්ධනයක් ද දැකිය හැකියි. මේ තත්වය සාධනීය ලෙස මතුපිට ජලය හිඟ ප්‍රදේශය වල ව්‍යාප්ත වී ඇත. නමුත් මෙහි දී සැලකිය යුතු කාරණාව වන්නේ භූ ගත ජලයේ සීමිත බවයි. ශ්‍රී ලංකවේ කඳුකරයට ලැබෙන වැසි ජලය භූ අභ්‍යන්තරයට කිඳා බැසීම මගින් භූ ගත ජල නිධි පෝෂණය වන අතර ඒ සඳහා සැහෙන කාලයක් ගත වේ. භූ ගත ජලය නිසි අරපිරිමැස්මකින් තොරව භාවිතා කරන්නේ නම් වැඩි කාලයක් යන්නට මතතෙන් භූ ගත ජල නිධි සිඳී යාමේ තර්ජනයට මුහුණ පාන්නට සිදුවන බව තරයේම මතක් කල යුතු වේ.


භූගත ජල කළමණාකරනය අත්‍යන්තයෙන්ම සිදුකල යුතු කාලය එළඹ ඇත. ඒ නිසා මෙරටේ භූගත ජලයේ ප්‍රාමාණික විශ්ලේෂනයක් සිදුකර කොපමණ ජල නිධි ප්‍රමාණයක් භාවිතයට ගත හැකිව ඇත්තේ ද යන්න මෙන්ම කොපමණ ජල නිධි ප්‍රමාණයක් දූෂණය වී ඇත්දැයි, ඒ කෙසේදැයි, යන්න දැනගත යුතුය. ඒ මත පදනම් ව පවතින පිරිසිදු ජල නිධි අරක්ෂා කරගැනීමට මෙන්ම දූෂිත ජල නිධි නැවත යථාතත්වයට පත් කිරීමේ හැකියාව කෙසේදැයි යන්න කල් නිකුත් නොකර සොයා බැලිය යුතුය.    


ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Thursday, 13 February 2020


සොබා සම්පත් සුරැකිය යුතුයි.....!!!


පත්මෙගේ භූ සංචාරිතය 06

This article is originally publsihed  on Vidusara 12.02.2020.


භූ විද්‍යාව කෙරෙහි වූ මාගේ කැමැත්ත තවත් වැඩිදියුණු කරන්නට හේතු කාරණයක් වන්නේ නිතරම සිදු වූ ක්ෂේත්‍ර චාරිකා. හිටිගමන් සංවිධානය වූ ක්ෂේත්‍ර චාරිකා නිතරම අප සියලු දෙනාම කුල්මත් කරන්නට හේතුවිය. එනිසා බොහෝ නොදුටු, නොගිය ස්ථාන දැක බලා ගැනීමේ වාසනාව අපට උදා විය.  භූ විද්‍යා විශේෂ උපාධිය සඳහා අප තේරුණ පසු උපාධිය ලබන තෙක්ම සෑම වසරකම නේවාසික ක්ෂේත්‍ර කඳවුරු වලට සහභාගී වීමට අපට හැකිවිය. ඒ කඳවුරු තුලින් අප ලද විෂයානු බද්ධ දැනුම ලඝු කොට සලකන්න නොහැකිය. ඒ විතරක් නොවෙයි ඒ තුලින් ලද සමාජීය දැනුමත් අපමණයි. 


ඒ දෙවෙනි වසරේ සිටි අප ඛණිජ සහ පාෂාණ විද්‍යාව හදාරමින් සිටි අවධියයි. මහවැලි ව්‍යාපාරය මූලික කොට රජමාවත ඉදිකිරීමත් සමගම භූ විද්‍යාවට අවැසි අපූරු ක්ෂේත්‍ර බොහෝ ප්‍රමාණයක් එහි ඇති වී තිබුණි. මාර්ග සංවර්ධනයත් සමග ඇති වූ කණ්ඩි වලින් මතු වූ විවිධ භූ විද්‍යත්මක පැතිකඩවල් කදිම භූ විද්‍යාත්මක සංසිද්ධි සදහා අපූරු උදාහරණ සැපයු බව කිව යුතුය. එනිසා බොහෝ කාලයක් යනතුරුම, බොහෝ විට තවමත් ලපටි භූ විද්‍යාඥයින්ගේ දැනුම පෝෂණය කරන්නට හේතු භූත වූ බව සඳහන් කල යුතුය. 


දිනක් එලෙස රජ මාවතේ අපි ක්ෂේත්‍ර චාරිකාවකට සහබාගි වී සිටියෙමු. අරමුණ වූයේ විද්‍යාගාරයේ ලබා ගත් ඛණිජ සහ පාෂාණ පිලිබඳ වූ දැනුම ක්ෂේත්‍රයේ දී නිරීක්ෂණ මගින් තව තවත් මුවහත් කර ගැනීමයි. හැමෝම එක්තරා පිළිවෙලකට සැරසී සිටිය යුතුය. ඒ ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා නියමිත උපකරණ මෙන්ම අනෙකුත් අවැසි දේත් සමගය. ක්ෂේත්‍ර චාරිකාවට සහභාගී වන්නන් හැමෝම සපත්තු පැළඳිය යුතුය. ඒ ගල්වලින් මෙන්ම සර්පයින්ගෙන් සිදුවන අනතුරු වලක්වා ගන්නටය. හිස් වැසුම අනිවාර්ය වේ, තව ද වතුර බෝතලයක් අප සතු විය යුතුය.  ඊට අමතරව ප්‍රධාන කොටම භූ විද්‍යාත්මක මාලිමාව, භූ විද්‍යාත්මක මිටිය වැනි උපකරණ සමග සටහන් පොත ද අප රැගෙන යා යුතුය. 


පාෂාණ කාරක ඛණිජ යනු පාෂාණ නිර්මාණය සඳහා සහභාගී වන ප්‍රධන ඛණිජ සමුච්චයයි. ලොව ඛණිජ වර්ග 4500ක් පමණ තිබුන ද ඒ අතුරින් පාෂාණ කාරක ඛණිජ වන්නේ (ඛණිජ පන්ති) අතලොස්සකි. ඒ ක්වාට්ස්, පෙල්ඩ්ස්පාර්, ඔලිවින්, මයිකා, පයිරෝක්සින්, ඇම්පිබෝල්, කැල්සයිට්, ගානට් වැනි ඛණිජ වෙයි. ශ්‍රී ලාංකේය භුමිය නිර්මාණය වී ඇත්තේ විපරීත පාෂාණ වලිනි. විපරිත පාෂාණ නිර්මාණය වන්නේ ඉතා අධික උෂ්ණත්ව සහ පීඩනයන්ට ලක් වීමෙනි. ඉහළ ශ්‍රේණියේ විපරීත පාෂාණ ගොනුවලින් සකස් වූ ශ්‍රී ලාංකේය භුමි භාගය වැඩිපුරම සමන්විත වන්නේ ‘නයිස්’ නමැති විපරීත පාෂාණ වලිනි. 


නයිස් පාෂාණ වල අනිවාර්ය ඛණිජ සමුච්චය වන්නේ ක්වාර්ට්ස් සහ පෙල්ඩ්ස්පාර් නම් වූ ඛණිජ ද්විත්වයයි. එයට් අමතරව අතිරේඛ ඛණිජ ගණනාවක්ම එම පාෂාණ වල තිබිය හැක. බොහෝවිට නයිස් පාෂාණවල ඇති අතිරේඛ ඛණිජ වන්නේ ගානට්, හෝන්බ්ලෙන්ඩ්, මයිකා වැනි ඛණිජයි. නයිස් පාෂාණයක සුදු සහ කළු පැහැති සිත් ගන්නා සුළු වයිරමක් දක්නට ලැබෙන අතර එම වයිරම ඉතා කුඩා මිලිමීටර ප්‍රමාණයේ සිට මීටර ප්‍රමාණය දක්වා වෙනස් විය හැක. සුදු පැහැති වයිරම සකස්වන්නේ ක්වාර්ට්ස් සහ පෙල්ඩ්ස්පාර් වලින් වන අතර කළු පැහැති වයිරම බොහෝවිට සකස්වන්නේ ඉහත සඳහන් අතිරේඛ ඛණිජ වලිනි. බොහොමයක් නයිස් පාෂාණ වල මෙම වයිරම ඉතා සංකීර්ණ ලෙස දඟර ගැසී ඇති අතර එම දඟර වලිතවීම් ලෙස හඳුන්වයි. දඟර ගැසුන වයිරම නයිස් පාෂාණයක ආවේණික ලක්ෂණයක් වෙයි. එනිසා නයිස් පාෂාණය හඳුනාගැනීම එතරම් අපහසු කාරියක් නොවේ. ඉතා කදිමට දඟර ගැසුන වයිරම කඩුගන්නාව ප්‍රදේශයේ ඇති නයිස් පාෂාණවල දැකගත හැක. 


විපරීතකරණය විශ්මයජනක භූ ක්‍රියාවලියක් වන අතර එනිසා ප්‍රාථමික පාෂාණය වෙනත් පාෂාණයක් බවට පත්කරයි. ඉතා පුදුම සහගත කරුණ වන්නේ මෙහිදී සිදුවන සියලුම වෙනස්කම් සිදුවන්නේ ඝන අවස්ථාවේ වීමයි. උෂ්ණත්වය සහ පීඩනය ඉහල යාම නිසා එම තත්ත්ව වලට ගැලපෙන ලෙස හැඩ ගැසීම සඳහා පාෂාණයේ ඛණිජ සංයුතිය ස්ථායි ඛණිජ සමුච්චයක් බවට පත්වෙයි. අනිත් විශේෂත්වය වන්නේ මේ සෑමවිටකම ඛණිජ සංයුතිය වෙනස් වුවත් පාෂාණයේ රසායනික සංයුතිය වෙනස් නොවීමයි. නියත රසායනික සංයුතියක පිහිටමින් මෙලෙස විවිධ ඛණිජ වර්ග බිහි කිරීම ඉතා විශ්මය ජනක මෙන්ම අපූරු භූ ක්‍රියාවලියකි. 


එකිනෙකට වෙනස් ඛණිජ වර්ග මෙන්ම ඒවායින් සකස්වූ එකිනෙකට වෙනස් විපරීත පාෂාණ එකතුකර ගැනීමට අප බොහෝ උනන්දු වූ අතර එය බොහෝ තරඟකාරී විය. ක්ෂේත්‍රයට යන්නා වූ බොහෝ ලපටි භූ විද්‍යාඥයින්ගේ ගමන් මලු පිරෙන්නට ඛණිජ සහ පාෂාණ කැබලි විය. නැතහොත් කලිසමේ සාක්කු පුරවා තිබුනේ එවැනි එලෙස එකතු කරගත් නිදර්ශ වලිනි.

රජ මාවතේ එක්තරා ස්ථානයකදී බසයෙන් බැස ගත් අපි ඒ අසල වූ පාෂාණ කඩනා තැනකට සේන්දු විය. එහි වූ විශේෂත්වය වන්නේ ඉතා විශාල ප්‍රමාණයේ ගානට් ස්ඵටික දැක බලා ගත හැකි වීමයි. වසර ගණනාවක් තිස්සේ මෙම ස්ථානය භූ විද්‍යාව හදාරන්නන්ගේ භූ විද්‍යා දැනුම උකහා ගන්නා නැවතුම් පලක් විය.  වැඩි වෙලාවක් ගත නොවිය. මිටිවවලින් ගල්වලට තඩි බානා හඬ ඇසෙන්නට විය. අපේ කට්ටිය වැඩ පටන් අරන්. මිටි හඬ දිගටම ඇසුනි. මද වෙලාවකින් ගුරුතුමා හිසේ අත ගසාගෙන හනික ගල් කඩනා ස්ථානයට කඩා පැන්නේය. “මොකද මේ කරන්නේ??. අවුරුදු ගණනවක් තිස්සේ බලපු තැන විනාශ කරන්නද හදන්නේ?”. අපගේ මිත්‍රයා තුෂ්නිම්භූත වී සිටියේ කිසිවක් කර කියාගත නොහැකිවයි. “මෙතන තමයි අපිට ගොඩක් ලොකු ගානට් හම්බ වෙන තැන. එක හින්දා ඕක කඩලා විනාශ කරන්න එපා. අනාගතයටත් ඉතුරු කරන්න”.


අපගේ මිත්‍රයා එතන වූ අති විශාල ගානට් ස්ඵටිකයක් අත්පත් කර ගැනීමේ පරම චේතනාවෙන් එලෙස මිටි පහර දී ඇත. නමුත් පාෂාණයේ වූ භෞතික ස්වරුපය එයට ඉඩ දුන්නේ නැත. නමුත් ඔහු ද අත හරින්නට නොකැමැතිය. දිගටම මිටි පහර දීම නිසා සැහෙන ප්‍රමාණයකට ඒ අපූරු ගානට් ස්ඵටිකයට හානි වී තිබුණි. අප සියලු දෙනාගේම නිදර්ශ ගැනීම එතනින්ම අවසන් විය. මාස ගණනාවක් ගතවනතුරු ගානට් කැඩීම අප සියල්ලන්ට ම රස බර මාතෘකාවක් විය. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 12 February 2020


සවි ශක්තියට නැතිවම බැරි යකඩ
This article is originally published on Divaina 12.02.2020


“අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා” පුංචි කාලේ අහපු අපි හැමෝටම මතක කවියක්. යකඩ යකා කියන්නේ කෝච්චිය. කෝච්චි හදලා තියෙන්නේ යකඩෙන්. කෝච්චි විතරක් නොවෙයි එදිනෙදා ජිවිතයේ අප නිතර භාවිතාවන බොහොමයක් දේ  නිමයලා තියෙන්නේ යකඩෙන්. එදිනෙදා ජිවිතයට නැතිවම බැරි යකඩ අපට බොහොම වැදගත් වන ලෝකයේ බහුලවම භාවිතා කරන ලෝහයක්.


ලෝහයක් ලෙස යකඩ වල ඇති භූ විද්‍යත්මක පසුබිම කුමක්ද යන්න අපි සොයා බලමු. යකඩ නිස්සරණය කරන්නේ යපස් වලින්. ඉන් අදහස් වෙන්නේ යකඩ අඩංගු ඛනිජ සහිත පස් යන්නයි. කොහොම වුනත් යකඩ, රත්‍රන් සහ රිදී වැනි මූලද්‍රවමය ලෝහ වාගේ අමිශ්‍ර මූලද්‍රව්‍යයක් ලෙස සොබාවික පරිසරයේ මුණ ගැහෙන්නේ නැහැ. සොබාවික පරිසරයේ යකඩ අපට මුණ ගැහෙන්නේ ඔක්සයිඩ, හයිඩ්රෝක්සයිඩ, සල්ෆයිඩ සහ කාබෝනේට වැනි ඛණිජ ලෙසයි. භූ පරිසරයේ හමුවන මොනවද මේ යකඩ අඩංගු ප්‍රධාන ඛණිජ?


හිමටයිට්, මැග්නටයිට්, ගොතයිට්, ලිමොනයිට්, සිඩරයිට්, පයරයිට්, ඉල්මනයිට් යනු යකඩ අඩංගු ප්‍රධාන ඛණිජ වර්ගයි. එයට අමතරව යකඩ අඩංගු වෙන තවත් බොහොමයක් ඛණිජ වර්ග භූ පරිසරයේ තියෙනවා. එම ඛණිජ දිරාපත් වීමෙන් අවසානයේදී හිම්ටයිට් යන ද්විතියික ඛණිජය බවට පත් වෙනවා. හිම්ටයිට් ඕනෑම පරිසරයක හමුවන යකඩ ඔක්සයිඩයක් වන අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි ඛණිජයක්. අපි කවුරුත් හොඳින් දන්නා “බොරැල්ල, එහෙම නැතිනම් බොරළු කැට” කියන්නේ මේ හිම්ටයිට් ඛණිජයට. සුදු පැහැති සෙරමික් කැබැල්ලක අතුල්ලා කුඩුවල වර්ණය නිරීක්ෂණයෙන් හිම්ටයිට් බොහොම පහසුවෙන් හඳුනාගන්නට පුළුවන. හිම්ටයිට් කුඩු රතු දුඹුරු පැහැති යි. 


භූ පරිසරයේ ඇති යකඩ ඔක්සයිඩයක් වන මැග්නටයිට් ඛණිජය ද බහුලව හමුවන අවස්ථා ඇත. කාන්දම් කැබැල්ලකට ආකර්ෂණය වීම මෙම ඛණිජයේ ඇති විශේෂත්වයයි. කුඩුවල වර්ණය බොහෝ විට තද දුඹුරු හෝ කළු දුඹුරු පැහැයක් ගන්නවා. මෙය හිමටයිට් වලින් පැහැදිලිව හඳුනාගත හැකියි. මැග්නටයිට් ඛණිජය සාපේක්ෂව තරමක් බරැති ඛණිජයක්. 


යපස් වල යකඩ ඛණිජ වලට අමතරව තවත් සිලිකාමය මැටි ඛණිජත් අඩංගු වෙනවා. යකඩ නිස්සාරණයේදී මෙම සිලිකා ඛණිජ ඉවත් කල යුතු අතර යකඩ ඛණිජයේ බන්ධන කඩා යකඩ ලෝහය වෙන්කර ගත යුතුයි.  මෙම ක්‍රියා දාමය ඔක්සිහරණ ක්‍රියාවලියක් වන අතර ඔක්සිහරණයේ සහයෝගය සඳහා කාබන් රසායනය යොදා ගනී. එමගින් යකඩ ඔක්සයියේ ඇති ඔක්සිජන් ඉවත් කරන්නේ කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙනි. මේ සඳහා යපස් ඉහළ උෂ්ණත්වයකට රත්කළ යුතු අතර එම උෂ්ණත්වය සෙල්සියක් අංශක 1538  පමණ වෙයි. ඒ යපස් වල වැඩිපුරම අඩංගු වන්නේ හිමටයිට් වන විටයි. මැග්නටයිට් සඳහා එම උෂ්ණත්වය සෙල්සියක් අංශක 1597  පමණ වෙයි. 


යකඩ නිස්සාරණ ක්‍රියා දාමයේදී අදාළ උෂ්ණත්වය පැමිණි කල යකඩ ඛණිජය ඔක්සිහරණය වී බරැති යකඩ ලෝහය අඩියට බැස වෙන්වන අතර සැහැල්ලු සිලිකාමය පාංශු අපද්‍රව්‍යය යකඩ මිශ්‍රණයේ ඉහලින් පාවෙයි. එම සිලිකාමය පාංශු කොටස් හැදින්වෙන්නේ ‘යබොර’ (slag) ලෙසයි. යබොර අපද්‍රවය ලෙස වෙන්වුවත් ඉතිහාසයේ වාර්තා වන අන්දමට ඒවා වීදුරු පබළු නිර්මාණය සදහා යොදා ගෙන ඇත. ඔක්සයිඩ නොවන යකඩ ඛණිජ භාවිතා කරන්නේ නම් ඒවා පළමුව යකඩ ඔක්සයිඩය බවට පත්කර ගනී. ඒ සඳහාද එම ඛණිජ තදින් රත්කරන අතර ඉන්පසු සාමාන්‍ය ලෙස නිස්සාරණ ක්‍රියාදාමයට යොමු කරයි. 


ලෝකයේ බොහොමයක් රටවල ඉහත කී යකඩ ඛණිජ පැවතියත් මේ සෑම රටක්ම ආර්ථිකමය ආයෝජනයක් ලෙස යකඩ නිස්සාරණය කරන්නේ නැත. ලෝකයේ යකඩ නිස්සාරණය කරන ප්‍රමුඛ රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, චීනය ඉන්දියාව, රුසියාව, දකුණු අප්‍රිකාව සහ යුක්රේනය වැනි රටවල් ය. ශ්‍රී ලංකාවද අතීතයේ යකඩ නිස්සරණය අකර යම් යම් කර්මාන්ත සඳහා භාවිතා කළා පමණක් නොව ලෝක වෙළඳපොළට යකඩ අපනයනය කල රටකි. එවකට ලොව තිබූ ඉතා කදිම යකඩ නිපදවන රටක් ලෙස කීර්තියක් අත්කරගෙන තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 6 February 2020

ගං පත්ලේ කළු වැල්ලෙන් පෙරා ගන්නා රත්රන්

පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 5
This article is originally published on Vidusara, 05.02.2020


මහා වංශය ඉතා අපූරු කෘතියක්. සමහරුන් කියනා පරිදි එය පබැඳුමක්. ඇත්ත එහි නොවේය යැයි සැලකෙන්නේ. කෙසේ වෙතත් භූ විද්‍යාඥයෙකු වන මා හට නම් මහාවංශය ඉතා කදිම භූ විද්‍යා තොරතුරැ උකහා ගත හැකි ග්‍රන්ථයකි.  


මහාවංශයේ වැඩි පිටු ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ දුටුගැමුණු රජතුමා වෙනුවෙන්. දුටු ගැමුණු රජ එළාර පරාද කොට අනුරාධපුරයේ රජ වූ පසු ඔහුගේ ඊළඟ කාර්යය වූයේ රුවන්වැලි සෑය සාදා නිමා කිරීමයි. ඒ සඳහා රජු ජනයා පෙලීමට කැමැත්තක් නොදැක් වූ බවයි මහාවංශයේ සඳහන් වෙන්නේ. ඒ අතරේ අනුරාධපුරයට ඊසාන දිගින් එතැන් සිට යොදුන් තුනක් පමණ වූ දුරකින් පිහිටි “ආචාර වීදි” (ආකර විත්ති) නම් වූ ගමෙහි රන් නිධියක් මතු වූ බව මහාවංශය පවසයි. එහි වූ ජනයා වියතක් පමණ විශාල වූත් මෙම රන් බිජු (කැබලි) රජ හමුවට පමනුවා ලු බව මහාවංශයේ විසි අට වන පරිච්චේදයේ කිය වේ. 


ඒ ශ්‍රී ලංකවේ රන් නිධි පිළිබඳව කියවෙන පළමු ඓතිහාසික සාක්ෂිය බව මගේ හැඟීමයි. ඒ කොහොම වුවත් මින් පෙනී යන කරුණ නම් ශ්‍රී ලංකාව මුතු මැණික් යකඩ තඹ වලින් පමණක් නොවෙයි රන් වලින් පවා පොහොසත් ව තිබු බවයි. එහෙම නම් ඇයි දැන් රත්තරන් හම්බ වෙන්නේ නැත්තේ?


වසර 2002 දී මා සේවය කලේ රත්නපුර ප්‍රදේශයේ. ඒ මැණික් සම්පත හා බැඳුනු පර්යේෂණයක් සිදු කරමින්. ඒ පිළිබඳව විස්තර අප වෙනත් වතාවක කතා කරමු. මේ පර්යේෂණය සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු කාරණා ගොනු කර ගැනීම සඳහා බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ අතර, ඒ සම්බන්ධව බොහෝ කරුණු කාරණා ගොනු කර ගැනීමට අපහට හැකි විය. කල්තොට ප්‍රදේශය බොහෝ සොබා සම්පත් වලින් අනූන ප්‍රදේශයක් බව එහිදී අපහට පසක් විය.  එක පසකින් ගලා යන වලවේ ගඟ එක් අවස්ථාවකදී හෙලකට ඇදහැලෙමින් ඉතා මනරම් අලංකාර දුවිලි අල්ල නිර්මාණය කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ බොහෝ දිය ඇලි අප නිරීක්ෂණය කරන්නේ එය පහල සිට වුවත් මේ සුවිශේෂී දිය අල්ල ඉහල සිට නැරඹීමේ අවස්ථාව හිමි වීමයි. 


මිණි කැට දියයට හංගා යන තවත් එක ගංගාවක් වන්නේ වලවේ ගඟයි. බොහොමයක් ප්‍රදේශවාසින් ගංගාවේ ඉවුරේ පතල් කැපීමේ කාරියේ නිරත වී සිටින බව අප කල සංචාරයේ දී දැක ගන්නට හැකි විය. සීතල ජල පහරේ පහස වින්ද පසු බඩකට පුරා කන්නට වාඩි බතක් ද සරි කර දෙන්නට තරම් දූවිලි ඇල්ලට ඉහලින් වූ ප්‍රදේශයේ මෙම පතල් කරනා ජනයා අපහට මහත් කාරුණික විය. මහදවාලේ තැනින් තැන ඉල්පී තිබු ගල් කුට්ටි මත රඟන්නට තරම් නොබිය වූ දියබල්ලන් දෙදෙනෙකු දැක ගැනීමේ වාසනාව ද එහිදී අපට හිමි විය. ඒ වසර විස්සකට පමණ පසු වීමත් දහවලේ ඔවුන් දැකීමත් ඇත්තෙන්ම පුදුම දනවන සුළු විය. 


“මහත්තයෝ අපි ඉතින් කීයක් හරි හොයාගන්නේ මේ කරුමාන්තේ කරලා තමයි” කුඩා රෙදි පැසක බහා තිබු මැණික් ගල් කිහිපයක් ගෙනහැර පාමින් තම හඬ අවදි කලේ පතලේ ප්‍රධානියායි. ඔහුගේ අතේ කුඩා ප්‍රමාණයේ නිල් සහ ගෙවුඩ ගල් කිහිපයක් විය. විශාල එකක් වූ අතර එහි පලුද්දක් තිබුණි. ඒ අතර ඔවුන් කියා සිටියේ එම පලුද්ද නොතිබුයේ නම් ඔවුන් ට විශාල මුදලක් ලබා ගත හැකිව තිබු බවයි. ඉතින් වෙන මොනවද හම්බ වෙන්නේ?


“ඇයි මහත්තයා දන්නේ නැද්ද, මේ ගඟේ රත්තරනුත් හම්බ වෙනවා නේ” ඉන් මා පුදුමයෙන් පුදුමයටත් මහත් සතුටටත් පත් වූයේ භූ විද්‍යාඥයකු ලෙස කලක පටන් මගේ හිතේ තිබූ ගැටලුවකට පිළිතුරු ලැබීම හේතුවෙන්.  “ගඟේ පහලට වෙන්න මිනිස්සු රත්තරන් ගරනවා මහත්තයෝ”.


ප්‍රධාන පාරෙන් ගොස් ගඟ මුණ ගැහෙන ඉස්සව්ව තෙක් ගිය අපහට ඒ කරුණ මනාව පසක් වූ අතර මේ පිලිබඳ තවත් කරුණු දැන ගැනීමේ අටියෙන් අපි ඔවුන් වෙතට ලං වූයෙමු. අප එහි යන නියා දැන් ගත් ඔවුන් (පිරිමි)  සියලු දෙනා හිස් ලූ ලූ අත දුවන්නට වූ අතර අප “දුවන්නට එපා” යැයි කී කල ඔවුන්ගේ වේගය තවත් වැඩිවිය. කෙසේ වෙතත් ගං ඉවුර වෙතට පැන ගත් අපට හමු වූයේ ගඟේ රෙදි සෝදමින් සිටිනා කාන්තාවන් පමණකි. “ එයාලා හිතලා තියෙන්නේ මහතැන්ලා සංස්ථාවෙන් කියලා ඒකයි දිව්වේ”. ටික වෙලාවකින් අපගෙන් කරදයක් නොමැති බව දැනගත් ඔවුන් අප වෙත පැමිණි අතර ඔවුන් සතු වූ රත්තරන් අපට පෙන්විය.

“කළු පාට වැල්ලක් තියෙනවා ගඟ පතුලේ. ඒ වැල්ලත් එක්ක තමයි රත්තරන් තියෙන්නේ. ඒවා හරියට වී පොතු වගේ” එක අයෙකු තමා සතු වූ රත්තරන් පෙන්නමින් විස්තර කරන්නට විය. කැරට් විසි හතරේ පිරිසිදු රත්තරන් වලවේ ගගෙන් හම්බවිම ම මොන තරම් අගනේ ද. මේ පිලිබඳ තවත් කරුණු සෙවීමේදී පැහැදිලි වූයේ දිනකට මංචාඩි දෙකත් තුනත් අතර ප්‍රමාණයක් මේ මිනිසුන් ගරා ගන්නා බවයි. හාල් ගරනා නෑම්බිලිය රැගෙන එන ඔවුන් එමගින් ගං පත්ලේ වූ කළු වැල්ල ගෙන එය නැම්බිලියේ ලා ගරා රත්තරන් වෙන් කර ගනී. එය කොතරම් සරල ක්‍රියා දාමයක් ද?


ශ්‍රී ලංකේය භූ තලයේ රත්තරන් නිර්මාණය වී ඇත්තේ නිධිගත වීමෙන් නොව පවතින විපරිත පාෂාණ ගොනුවේ තැන තැන විසිරී පැතිරී ය. එනිසා නිධියක් ලෙස ලබා ගැනීමට නොහැකි වී ඇති අතර පර්යේෂණ තුලින් පවා තාමත් රත්තරන් නිධියක් පිලිබඳ ඉඟියක් ලැබී නොමැති බවයි පැහැදිලි වෙන්නේ. කෙසේවෙතත් විසිරුණු රත්තරන් ඇති පාෂාණ දිරා පත් වීමේ දී පසට රත්තරන් එකතුවන අතර ඛාදනය මගින් ජලපහරවලට එකතු කෙරේ. වලවේ ගඟේ පමණක් නොව කැළණි, කළු සහ මහවැලි ගඟේ ද මෙලස රත්තරන් හමුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ මහාචාර්ය නවරත්න මහතා විසින් සිදුකල අධ්‍යන වලින් පෙන්වා දී තිබේ. රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් වලින් ද  මෙලස රත්තරන් ලැබෙන බව පසුගිය කාලයේ තොරතුරු වාර්තා වී අත. 


කොහොම වුනත්, රන් පිළිබඳව සිදුකල ඇති පර්යේෂණ ප්‍රමාණවත් නොවන බවයි මාගේ හැඟීම වන්නේ. දිනක රන් සෙවීම සඳහා වලවේ ගඟේ ගත කරන කාල සීමාව ආර්ථික අතින් කොතරම් වටනේ ද යන්න සොයා බැලිය යුතුව ඇත. ඒ සඳහා විධිමත් පර්යේෂණ සිදුකර ආර්ථිකමය වශයෙන් ගංගා පතුල හැරීම ප්‍රායෝගිකදැයි සොයා බැලිය යුතුය. මන්ද යත් සැමවිටම ගංගාවේ කළු වැල්ලේ ඔය කියනා රන් හමු නොවන බැවිනි.  එපමණක් නොව එය ද තවත් පාරිසරික ගැටලුවකට මුල් පිරීමක් ම විය හැක.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ


පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...