Thursday, 12 January 2017

විදුපත්ඉරුව
2016 අගෝස්‌තු 24 බදාදා. www.vidusara.com

ප්‍රභාසංශ්ලේෂකයෝ ද, රසාසංශ්ලේෂකයෝ ද ස්‌වයං ශක්‌ති ජනකයෝ වෙති. එහෙයින් ප්‍රභාසංශ්ලේෂකයන්ට හිරු එළිය ලැබෙන තාක්‌ බිය විය යුතු නො වේ. රසාසංශ්ලේෂකයන් හට හිරු එළිය නොමැති වුව ද ජීවය පවත්වාගෙන යැමේ ගැටලුවක්‌ පැන නො නගී. පරිණාමය එතරම් ම විස්‌මයජනක ය. ප්‍රභාසංශ්ලේෂකයෝ රසාසංශ්ලේෂකයන් ගෙන් පරිණාමය වූවෝ වෙති. මේ හරිතප්‍රදධාරීහු ලොව හිරුඑළිය වැටෙන සැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම පැතිර ගියෝ වෙති. ඔවුහු ජලයේ ද ගොඩබිම ද එක සේ ව්‍යාප්ත ව අතීත පෘථිවියේ විවිධ යුගවල දී ප්‍රමුඛව තව තවත් පරිණාමය වී, අවසන අපුෂ්පකයන් වී "හෙලූ බීජ" තනා එයින් ද නො නැවතී තව තවත් පරිනාමිකව ලොව මලින් සරසන්නට සමත් වෙති. ඒ සපුෂ්පකයන් බිහි කිරීමෙනි. හෙලූ බීජ තැනූ අපුෂ්පකයන් ගෙන් දැන උගත් පාඩම් නිසා "පල බර" එමෙන් ම ලොව "උසස්‌ ම ශාක" බවට පත් වූ සපුෂ්පකයෝ තමා නිර්මාණය කළ ඵලයේ දරු බීජ සඟවා අපූරු ආරක්‌ෂාවක්‌ සලසා දුන්නෝ ය.

ඒ කෙසේ වෙතත් හිරු පවතින තාක්‌ ශක්‌ති අහේනියක්‌ සපුෂ්පකයන්ට නො දැනෙන්නේ වුව ද ඔවුහු පවතින්නා වූ පරිසරය විටෙක තම වර්ධනයට අකුල් හෙළන්නෝ ය. ඒ වර්ධනයට අවැසි ඛනිජ ලවණ ප්‍රමාණාත්මකව ලබා නො දීමෙනි. නයිට්‍රජන් අවශ්‍යතාව ඒ අතර ප්‍රබල සාධකයක්‌ වේ. මේ තත්ත්වය බොහෝ විට ඇත්තේ මඩවගුරුමය පහත් බිම්වල ය. නැත හොත් පසේ ඝනකම ඉතා අඩු මවු පාෂාණ තට්‌ටු මත ය. එනිසා මෙතරම් පරිණාමය වූවන් කෙලෙස නම් එම පරිසරය ජයගෙන ඇත්ද යන්න අප විමසා බැලිය යුතු ම ය.

බොහොමයක්‌ ශාක තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නේ පසේ නිපදවෙන නයිට්‍රජන් අඩංගු සංයෝග ඇසුරෙනි. විදුලි කෙටීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස භෞතිකව නිපදවී පසට එක්‌ වන නයිටේ්‍රට හෝ ක්‌ෂුද්‍රජීවීන් ගේ ක්‍රියාවෙන් මූලගැටිතිවල නිපදවෙන නයිට්‍රෙට ඉතා පහසුවෙන් උරාගැනීමේ හැකියාවක්‌ මොවුන් සතු ව ඇත. පොළොව මතුපිටට නිරාවරණය වූ මවු පාෂාණ තට්‌ටුවල ඛනිජ ලවණ රැෙදන්නට තරම් උපස්‌තරයක්‌ නිර්මාණය නො වීම නයිට්‍රජන් හිඟතාවට හේතු වේ. එමෙන් ම වගුරුමය පරිසරවල නයිට්‍රජන් හිඟ වන්නට ප්‍රධාන කාරණාව වන්නේ එහි පවතින නයිට්‍රජන් වායුව බවට පත් ව පද්ධතියෙන් ඉවත් වීමයි. එය ඔක්‌සිජන් රහිත පරිසරයේ ඉන්නා ක්‌ෂුද්‍ර ජීවීන් පසෙහි රැඳී නයිට්‍රජන් වායුගෝලයට මුක්‌ත කරන බැවිනි.

සජීවීන් ගේ අහිංසකයෝ මේ කරුණේ දී ඉතා රැඩිකල් තීරණයක්‌ ගෙන ඇති බව ඔවුන් ගේ දේහ විලාසය දෙස බැලීමෙන් තේරුම්ගත හැකි ය. ඒ කිසිවක්‌ නො ව තම ජීවය පවත්වාගෙන යැම සඳහා ම "මාංශභක්‌ෂණයට" හුරු වීමයි. විශේෂයෙන් ම මේ පරිසර පද්ධතිවල වෙසෙන සමහර ශාක කෘමි භක්‌ෂණයට පෙලඹී ඇත. එමගින් සතුන් ගේ දේහගත නයිට්‍රජන් උරාගැනීමට මං පාදාගෙන ඇත. මේ සදහා ඉතා සංවිධානාත්මකව විවිධ විකරණයන් සිදු කර ඇත. එහි දී ප්‍රධාන කාරණාව වී ඇත්තේ අදාළ ජීවියා අල්ලාගැනීමයි. විවිධ උගුල් අටවා සතුන් එම උගුලේ පටලා තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නට ඔවුහු බොහෝ සමත්කම් පාන්නෝ ය.

මේ මාංශභක්‌ෂකයන් සතුන් අල්ලාගැනීම සදහා සකස්‌ කර ඇති උගුල් විවිධ ය. සමහරක්‌ ඒ සදහා ම සුවිශේෂී මල්ලක්‌ නිර්මාණය කර ඇත. පත්‍රයේ කෙළවර "මරඋගුල" තැනීම සදහා විකරණය වී ඇති අතර එය අපූරු බඳුනක්‌ වීම විස්‌මයජනක ය. එලෙස සාදන බඳුනේ සතුන් ආකර්ෂණය සදහා ද, ජීර්ණය සදහා ද වැදගත් වන පැණි රසැති දියරයක්‌ පුරවා ඇත. මේ අප කවුරුත් හොඳින් හඳුනන බාඳුරා ශාකයයි. නිවර්තන කලාපයේ රටවල බහුලව දැකිය හැකි මේ ශාක විශේෂ (Nephenthus sp) ගොදුරු කරගන්නේ බොහෝ විට කෘමි සතුන් වන අතර "බාඳුරා පැණිය" වැස්‌සෙන් තනුක වීම වළක්‌වනු වස්‌ ඉහළින් පියනක්‌ ද නිර්මාණය වීම කෙතරම් හොඳින් තම කාර්යය සදහා අනුවර්තනය වී ඇත් ද යන්නට කදිම උදාහරණයක්‌ සපයයි. බඳුනේ කර මතට නගින කෘමි සතුන් ඉතා පහසුවෙන් බඳුන තුළට තල්ලු කරලීම සදහා කරගැට්‌ට සුමුදු කරන්නට ද වගබලාගෙන ඇත. එනිසා බඳුනට එබෙන කිසිදු කෘමියකු යහතින් ආපසු නො යන බව නම් නිසැක ය. විවිධ ලෙස මෙවැනි බඳුන් නිර්මාණය කර සතුන් අල්ලාගන්නා ශාක විශේෂ බොහොමයක්‌ ලොව පවතින අතර අප ගේ වාසනාවට ඔවුන් විශාල සතුන් අල්ලාගැනීම සදහා අනුවර්තනය වී නොමැති ය.

ඉතා වේගවත් චලනයකින් තම ගොදුර ඩැහැගැනීමට විශේෂණය වූ ශාක ද මේ අතර වෙයි. තම පත්‍රයේ කෙළවර බෙදී දෙපෙති තනා උගුල නිර්මාණය කර ඇත. උගුලේ රැඳෙනා කෘමියකු සිර කරගැනීමට මේ ශාකවලට ගත වන්නේ ඇසුරු සැණකි. පත්‍රයේ බාහිර දාරයේ ඇති ඝනකම් රෝම පත්‍රයේ දෙපෙති වැසුණු පසු කෘමියාට ගැලවී යැමට ඇති ඉඩ තවත් අසුරයි. කෘමි සතා ගේ ආගමනය සන්නිවේදනය සදහා පත්‍රය මධ්‍යයේ සියුම් කෙඳි නිර්මාණය වී ඇති අතර කෘමියා එහි ගැටුණු විගස රසායනික සංවේදනයෙන් ඉතා වේගයෙන් පත්‍ර දෙපෙති වසා දමනු ලබන්නේ කෘමියාට ක්‍රියාත්මක වීමට ඉඩක්‌ නො තබා ම ය. "වීනස්‌ ගේ මැසි උගුල" (Venus's flytrap- Dionaea muscipula) මේ බවට කදිම නිදසුනකි.

කෘමි සතුන් ග්‍රහණය කරන්නට ඇලෙනසුලු ද්‍රdව සහිත පෘෂ්ඨ නිර්මාණය කරන්නෝ ද මේ අතර වෙති. මේ සදහා වැදගත් වන මැලියම් වෑස්‌සෙන ග්‍රන්ථි පත්‍රයේ මතුපිට පෘෂ්ඨයේ ඇති අතර පෘෂ්ඨය මත වසන හෝ ගමන් කරන හෝ කෘමි සතා ගේ පාද ද ක්‍රමයෙන් දැඟලීම නිසා මුළු ශරීරය ද ඇලෙයි. එහෙත් විශාල කෘමි සතුනට මේ උගුලෙන් ඉතා පහසුවෙන් ගැලවී යා හැකි ය. කඳුලැස්‌ස (Droseracapensis) ශාකය මෙසේ ඇලෙනසුලු මැලියම් යොදා කෘමීන් අල්ලාගන්නා කෘමි භක්‌ෂකයෙකි. ජලයේ වෙසෙන මාංශ භක්‌ෂකයෝ ද (Utricularia sp) කදිම උගුල් සකසා ඇත. ආසෘතියෙන් ජලය ඉවතට විද රික්‌තයක්‌ තම උගුල් මල්ලේ ඇති කර ජලජ ජීවීන් අල්ලාගැනීමට ඔවුහු සමර්තයෝ ය.

මෙවැනි නානාප්‍රකාර අනුවර්තනයන් ගෙන් සපිරි මාංශභක්‌ෂකයන් මෙලෙස කදිමට පරිසරය ජයගෙන ඇත්තේ අප කවුරුත් සජීවීන් ගේ අහිංසකයන් ගෙන් කිසි දා බලාපොරොත්තු නො වන ක්‍රමවේදයන් ගෙන් වුව ද ඒ සියල්ල දුෂ්කර පරිසරයේ තම ජීවය ගැටගසා ගන්නට පමණක්‌ නො ව තම පරපුරේ අඛණ්‌ඩතාව පවත්වාගෙන යන්නට පමණක්‌ ම බව ද ඉතා හොඳින් මේ සියල්ල විශ්ලේෂණය කළේ නම් අපට පැහැදිලි වනවා ඇත. එය ආත්මාර්ථකාමී මිනිසා ගේ කුරිරු අරමුණුවලින් සදා වියුක්‌ත බව ද ඔබට පැහැදිලි වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදුපත් ඉරුව
2017 ජනවාරි 11 බදාදා        04 බදාදා

මෙම සති අන්තය අතිශය කාර්යබහුල එකක්විය. ඒ අන් කිසිවක් නිසා නොව ගංවතුර උවදුරට ලක් වූ කැළණි ගං මිටියාවතෙහි ජිවත්වන කොළඹ අවට ජනතාවට සිදු වූ හානිය තක්සේරු කිරීමේ දුෂ්කර කාර්යයක් කරන්නට සිදු වීමයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැම විටම මෙවැනි අභියෝගාත්මක කාර්ය සදහා උර දෙන්නට සැදී පැහැදී සිටිනා නිසාත් මෙවැනි දෑ පිළිබඳව ධනාත්මකව සිතනා පිරිසක් එහි ඇති හෙයිනුත් බොහෝ උද්යෝගිමත් ලෙස ද කාර්යශුර ලෙස ද මෙන්ම විනෝදාත්මකව ද එම සමීක්ෂණය සිදු කරන්නට හැකි වූ බව පැවසිය යුතුය.  

මෙම ගං වතුර උවදුර සිදු වී බොහෝ කල් වුවද පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදුකරන්නට කඩිනම් වැඩපිළිවෙලක් අදාළ වගකිවයුතු ආයතනවලට නොමැති වීම පිළිබඳව කනගාටු වියයුතුවාක් මෙන්ම ඉතා වගකිවයුතු ලෙස ඔවුන්ගේ අවධානය ද මේ කෙරෙහි යොමුවිය යුතු බව පැවසිය යුතුය. මෙවැනි ආපදාවන්ට ලක්ව අවතැන් වන ජනතාව උදෙසා බොහෝ ආධාර උපකාර මුල්ම කාලයේ ලැබෙනා මුත් කල්යත්ම ඔවුන් පිලිබඳ මතකය අමතක වන බැවින් ස්ථිරසාර විසඳුමක් ඉතා කෙටි කලකින් ස්ථාපනය කල යුතුය. එවැනි වැඩපිළිවෙලක් සැකසීම එතරම් අසීරු දෙයක් නොවේ. මන්ද යත් ගං වතුර උවදුර මෙරටට අලුත් දෙයක් නොවනා බැවිනි. සෑම ගං වතුර ආපදා අවස්ථාවකදී ම ලබා ගන්නා අත්දැකීම් ඊළඟ සිදුවීම කළමනාකරණය කර ගැනීම සදහා යොදා නොගැනීම ද මෙහි දී අවාසිදායක තත්වයන් නිර්මාණය කරන බව සිහි තබා ගත යුතුය.    

පසුගිය වසර බොහෝ ආපදා ගෙන දුන් වසරක් විය. ස්වභාවික සංසිද්දීන් හේතුවෙන් හටගත් උපද්‍රව (Hazard) මෙම බොහොමයක් ආපදාවනට (Disasters) හේතු වූ බව පෙනී යයි. පසු ගිය මැයි මාසයේ ක්‍රියාත්මක වූ අසාමාන්‍ය කාලගුණික විපරියසයන් නිසා ගංවතුර උවදුර සහ නාය අනතුරු ද කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්ක බෙහෙවින්ම කළඹවාලන්නට හේතු වූ බව රහසක් නොවේ. ආපදා අවදානම අවම කිරීමේ (Disaster Risk Reduction) බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබුනද ස්වභාවික සංසිද්දීන් නිසා ඇතිවන උපද්‍රවයන් (Natural Hazard) හට අභියෝග කල නොහැකි බව වරින් වර සිදුවන ආපදා මගින් අපට පෙන්වා දෙනු ලබන බව සිතිය හැක.

ගං වතුර උවදුර පිළිබඳව පෙර සුදානමක් තිබුනද මෙවර අනතුරට ලක්වීම පිළිබඳව ජනතාවටද යම් තරමකට දොස් පැවරිය යුතුය. විද්‍යාත්මක ක්‍රමවේද භාවිතාකර සිදුකරනා අනුමානයන් (Predictions) පිළිබඳව ජනතාව සතුටු දායක ලෙස ප්‍රතිචාර දැක්විය යුතුය. මෙවර එලෙස නොකිරීමේ ප්‍රතිපල ඔවුන් පමණක් නොව අප ද බුක්ති විදිනා බව කිව යුතුය. යම් පිරිසකගේ අත්තනෝමතික තීරණ මහාජනතාවගේ මුදල්හදල් පමණක් නොව බොහෝ පිරිසකගේ කාලයද කා දමන බව කිව යුතුය. මෙවර සිදු වූ ගං වතුර උවදුරේදී අදාළ ආයතන ලබා දුන් අනතුරු ඇඟවීම් අනුව ජනතාව ක්‍රියාත්මක වුවා නම් බොහොමයක් අලාභ හානි අවම කරගන්නට තිබුණි.    

මේ තත්වය නාය උවදුර අවම කිරීමේ ව්‍යපෘති කෙරෙහිද ඉතා දරුණු ලෙස බලපාන බව පෙනී යයි. මේ වනවිටත් නාය අනතුර සිදුවිය හැකි යැයි අනුමාන කරන ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ අධි අවදානම්, මාධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙස කලාපකරණයට ලක් කොට ඇත. එම ප්‍රදේශ සිතියම් ගතකර ඇත්තේ භූ විද්‍යාඥයින්ගේ ප්‍රභල සහ කැපී පෙනෙන මැදිහත් වීම මත වන අතර ඔවුන් කැප කල කාලය පමණක් නොව වැය කර ඇති ධනය ද බොහෝ වෙයි.. ඒ සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලද ප්‍රමුඛ දායකත්වය  අතිමහත් බව කිව යුතුය. ඒ සියල්ල මහජනතාවගේ මුදල් වෙයි. යම් ප්‍රදේශයක පාෂාණ වර්ගය සහ එහි ව්‍යුහාත්මක ලක්ෂණ,  භුමියේ ආනතිය, ජලවහන රටාව යනාදී ප්‍රමුඛ කරුණු ගණනාවක් කේන්ද්‍ර කොට සකසන ලද මෙම සිතියම් සැකසීම සදහා භූ විද්‍යාත්මක දැනුම සහ ප්‍රයෝගික භාවිතය අතිශය වැදගත් වේ. ලංකාවේ මධයම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක 13ක් සඳහා නිර්මාණය කරන ලද මෙම සිතියම් සෑම අදාළ පළාත් පාලන ආයතනයක් වෙතම ලබා දී ඇති අතර අවශ්‍ය වේ නම් යම් අයෙකුට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය වෙතින් ද ලබා ගත හැක. නමුත් වැදගත් වන්නේ එම සිතියම් හමස් පෙට්ටියේ දමා පරිස්සම් කිරීම නොව භාවිතයට ගැනීමයි.

මැයි මාසයේ සිදු වූ නාය ආපදා සමීක්ෂණ කටයුතු වලදී පෙනී ගිය කරුණක් වන්නේ මෙම සිතියම් පිළිබඳව ජනතාවගේ ඇති අඩු දැනුවත්බාවයයි. එනිසාම බොහොමයක් ජනතාව නව නිවාස තැනීමේදී මෙම සිතියම් භාවිතාකර තම ඉඩම පිළිබඳව තොරතුරු විග්‍රහ කර නොගන්නා බව පෙනී යයි. නාය අවදානම ඇති දැනට නම් කර ඇති මෙම දිස්ත්‍රික්ක 13 හිම බොහොමයක් ජනතාව මේ පිළිබඳව දැනුවත් කර ඇතත් මෙවැනි දේ ඔවුන්ගේ ග්‍රහණයට හසු වී නොමැති බව විටෙක ප්‍රයෝගිකවම පෙනී ගිය කරුණකි. නමුත් පුදුමය වන්නේ සමහර පිරිසක් ඉතා හොඳින් මෙම තත්වය ග්‍රහණය කරගෙන තිබීමයි. මෙවැනි අනතුරක් සිදුවන අවස්තාවලදී ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඉතා ප්‍රසංශනීය බව කිව යුතුය. මෙහි ලා භූ විද්‍යාඥයින්ගේ කාර්ය භාරය අතිශය තීරණාත්මක බව කිව යුතුය, භූ විද්‍යඥයින් හෝ ප්‍රභලව එම දැනුම ග්‍රහණය කර ගත්තෙකුට හැර අන් අයෙකුට නාය ආපදා පිළිබඳ වූ මූලික සිද්ධාන්ත සාමාන්‍ය ජනතාවට පැහැදිළි කල නොහැකි බව පිළිගත යුතුය. ඔවුනට ඉතා යහපත් ලෙස පවතින සහ ඇතිවන අවදානම පිළිබඳව ඔවුනට මනා අවබෝධයක් ලබා දිය හැක.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 11 January 2017

භූ විද්‍යාව යනු කුමක්‌ ද ?


විදුපත් ඉරුව, විදුසර 2015.11.04

පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්‍යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී අප හොඳින් ම දන්නා ජලගෝලය, වායුගෝලය සහ ශිලාගෝලය අතර ඇත්තා වූ අන්තර් සම්බන්ධතා, ඛනිජ සහ පාෂාණ, ප්‍රාග් ජීව ධාතුන්, මැණික්‌, ඛනිජ තෙල් සහ වායූන්, වැස්‌ස සහ ජල සම්පත්, ගිනිකඳු පිපිරීම්, පා වන මහාද්වීප, භූ කම්පන, නාය යැම් සහ සුනාමි වැනි අනතුරු, පාංශු ඛාදනය සහ ජීරණය වැනි ක්‍රිsයාකාරකම් යනාදී විෂය ඉසව්

රැසක්‌ අධ්‍යයනය කෙරේ. එපමණක්‌ නො ව විශ්වයේ පවත්නා භෘතික වස්‌තූන් පිළිබඳව ද ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මේ විෂය ක්‌ෂේත්‍රය තුළින් සාකච්ඡා කරනු ලබයි. ඉතා පුළුල් පරාසයක්‌ පුරා පැතිරී යන මේ විෂයය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව භෘතික විද්‍යාව යනාදී අනෙකුත් මූලික විෂයන් සමග ද සම්බන්ධකම් පවත්වයි

පෘථිවියෙහි භූ විද්‍යාත්මක පසුබිම

පෘථිවිය ඇතුළු මේ විශ්වයේ පවතින ග්‍රහ වස්‌තූන් නිර්මාණය වී ඇත්තේ ඛනිජවලිනි. ඛනිජ රැසක එකතුවක්‌ පාෂාණ නිර්මාණය කිරීමට හේතු වේ. එක්‌ ඛනිජයකින් පමණක්‌ නිර්මාණය වූ පාෂාණ ද නැත්තේ නො වේ. පෘථිවියෙහි දැනට හඳුනාගත් ඛනිජ වර්ග 3000ක්‌ පමණ ඇති මුත් පාෂාණ නිර්මාණයට දායක වන්නේ ඉන් අතළොස්‌සක්‌ පමණි. පෘථිවියෙහි ඇති බොහොමයක්‌ පාෂාණ සිලිකා (
SiO2) මූලික කරගත් රසායනයකින් හෙබි පාෂාණ වේ.

පෘථිවියෙහි හරස්‌කඩක ප්‍රධාන කලාප තුනක්‌ හඳුනාගත හැකි ය. රවුම් අලිපේර ගෙඩියක හරස්‌කඩක්‌ සිතෙහි මවාගන්න. එහි පිටතින් ම වූ තුනී ලෙල්ල පෘථිවියෙහි "කබොල" වේ. එයට ඇතුළතින් වූ කෑමට ගන්නා මදය පෘථිවියෙහි "ප්‍රාවරණය"යි. ඇතුළෙන් ම වූ අලි පේර ගෙඩියේ බීජය පෘථිවියෙහි "හරය" ලෙස හැඳින්විය හැකි ය. පෘථිවි පෘෂ්ඨයේ සිට මධ්‍යයට යත් ම පාෂාණවල ඝනත්වය වැඩි වන්නේ ඝනත්වයෙන් වැඩි ඛනිජවලින් මේ අභ්‍යන්තර පාෂාණ නිර්මාණය වී තිබීම නිසා ය. එපමණක්‌ නො වේ. අභ්‍යන්තරයට යත් ම උෂ්ණත්වය ද පීඩනය ද ක්‍රමිකව වර්ධනය වේ. එය යම් යම් ගැඹුරු මට්‌ටම්වල දී පාෂාණ ද්‍රව බවට පත් කිරීමට තරම් හේතු වේ. කබොලෙහි වූ පාෂාණ වියළි මඩ තට්‌ටු පිපිරෙන්නා සේ කැබැලි වී පවතී. ඒ හේතුවෙන් ද යටින් වූ ද්‍රව පාෂාණ ස්‌තර හේතුවෙන් ද ගතික (ඔබ මොබ චලනය වන) කබොලක්‌ නිර්මාණය වේ. එය පා වන මහාද්වීප ඇති කරන්නටත්, ඒ නිසා භූ කම්පන සහ ගිනිකඳු නිර්මාණය කරන්නටත් හේතු වී ඇත.

ලෝකයේ පාෂාණ නිර්මාණය කරන මූලික ම ක්‍රියාදාමය වන්නේ ආග්නේය ක්‍රියාවලියයි. ගිනිකඳු නිර්මාණය වන්නේ මේ හේතුවෙනි. එහි දී ද්‍රව වූ පාෂාණ නැත හොත් මැග්මා හෝ ලාවාවලින් පාෂාණ නිර්මාණය වේ. පෘථිවියෙහි මුලින් ම පාෂාණ බිහි වන්නේ මේ ක්‍රියාදාමයෙනි. අනෙකුත් ක්‍රියාදාමයන් වන විපරීතකරණයෙන් සහ අවසාදිතකරණයෙන් සිදු වන්නේ ද්විතීයක පාෂාණ බිහි වීමයි. කලක දී මේ ද්විතීයික පාෂාණ පෘථිවි අභ්‍යන්තරයට ගිලා බසිමින් නැවත ද්‍රවිත පාෂාණ බවට පත් වී මැග්මා බිහි කරයි. එය නව පාෂාණ චක්‍රයක ඇරඹුමයි.

භූ විද්‍යාඥයා යනු කවරෙක්‌ ද?

භූ විද්‍යාව අධ්‍යයනය කරන්නා භූ විද්‍යාඥයෙකු ලෙස හැඳින්විය හැකි ය. ඉහත සදහන් කළ අති සුන්දර හා කුතුහලය දනවන ක්‍රියාවලීන් භූ විද්‍යාව අධ්‍යයනය කරන්නකුට මුණගැසෙයි. එපමණක්‌ නො වේ. කෙනකුට මෙලොව ජීවිතයේ දී අත්දැකීමට නො ලැබෙන සිදුවීම්වලට මුහුණ දීමට ද, කෙදිනක වත් යා නොහැකි ස්‌ථානවලට යැමට ද භූ විද්‍යාඥයකුට හැකියාව ලැබේ. අත්දැකීම් බහුල භූ විද්‍යාඥයා පෘථිවියේ බොහෝ ස්‌ථාන නිරීක්‌ෂණය කළ තැනැත්තෙකි. එනිසා ම කිසියම් ප්‍රදේශයක ඇත්තා වූ ඛනිජ ද, පස ද, පාෂාණ ද ඔහු ඉතා හොඳින් හඳුනයි. "ඇවිද්ද පය දහස්‌ වටී" යන කියමන සැබෑ භූ විද්‍යාඥයකුට අගනා ආදර්ශ පාඨයකි. භූ විද්‍යාඥයකුට ක්‍ෂේත්‍ර අධ්‍යයනය අනිවාර්ය අංගයක්‌ වන අතර ඔහු සිය ජීවිතයට ද එම නිසා බොහෝ අත්දැකීම් එක්‌ කරගනී.

භූ විද්‍යාවේ විකසනය

මිනිසා ගේ ආරම්භයේ සිට ඔහු තම වටපිටාව පිළිබඳව හොඳින් අවධානයෙන් සිට ඇත. එනිසා ම පරිසරයේ වූ ඛනිජ ද, පාෂාණ ද තම ජීවිතයට සම්බන්ධ කරගෙන ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසා තම ආහාර අවශ්‍යතා සපුරාගනු වස්‌ මෙවලම් නිර්මාණයේ දී භූ සම්පත් ප්‍රයෝජනයට ගෙන ඇත. දඩයම් යුගයේ දී සතුන් මැරීම සදහා ද, ආහාර සකස්‌ කරගැනීම සදහා ද අවශ්‍ය ආයුධ නිර්මාණය කරගත්තේ ඛනිජවලින් බව ඉතා හොඳින් පැහැදිලි වේ. ඔවුන් නිර්මාණය කරගත් ගල් ආයුධ සදහා යොදාගත්තේ තිරුවානා නැත හොත් ක්‌වාට්‌ස්‌ ඛනිජයන් ය. ජීර්ණ ප්‍රතිරෝධී (දිරා යැමට ඔරොත්තු දිය හැකි) මෙන්ම තියුණු දාර සහිත මෙවලම් නිර්මාණය කළ හැක්‌කේ මේ ඛනිජ මගින් බව ඔවුහු හොඳින් වටහාගෙන සිටිය හ. තම ශරීරය අලංකරණය සහ පූජාවන්වල දී හිස්‌කබල් පැහැගැන්වීම සදහා අවශ්‍ය රක්‌ත වර්ණය ඔවුන් උකහාගත්තේ මැග්නටයිට්‌ සහ හෙමටයිට්‌ නම් වූ ඛනිජ භාවිතයෙන් බව පැහැදිලි වේ. එපමණක්‌ නො වේ. භූ පුරාවිද්‍යාත්මක සාක්‌ෂිවලින් මේ සදහා මිනිරන් යොදාගෙන ඇති බවට ද සාක්‌ෂි හමු වේ. දඩයම් යුගයෙන් පසුකාලීනව විකසනය වූ කෘෂිකාර්මික යුගයේ දී පවා ඉපැරැණි මිනිසුන් තම ගොවි උපකරණ නිෂ්පාදනයට අවැසි මෙවලම් නිර්මාණයට භූ සම්පත් යොදාගත් බවට ස්‌ථිරසාර වූ සාක්‌ෂි හමු වේ. තඹ සහ යකඩ ලෝහ භාවිතය මූලික කරගත් සංස්‌කෘතීන් ලෝකයේ ඒ අනුව බිහි විය. මෙලෙස දිගින් දිගට ම භූ සම්පත් පරිහරණය මිනිසා විසින් සිදු කරන ලද බවට නොයෙක්‌ තතු ගෙන හැර පෑ හැකි ය. අතීතයේ සිට ම මිනිසා භූ සම්පත් සහ එහි ක්‍රියාවලීන් පිළිබඳව අවධානයෙන් පසු වූ බව මෙයින් පැහැදිලි වේ.

පසුව ඇති වූ බුද්ධිමය විප්ලවයත් සමග විද්වතුන් සහ දාර්ශනිකයන් මේ පිළිබඳව ගැඹුරෙන් හදාරන්නට පටන්ගෙන ඇත. ලෝකය බිහි වූයේ කෙසේ ද, ජීවය ඇති වූයේ කෙසේ ද, විශ්වය බිහි වූයේ කෙසේ ද යන්න ඔවුන් ගේ ප්‍රධාන මාතෘකා වී ඇත. අතීතයේ විසූ ගී්‍රකයන් මේ පිළිබඳව උනන්දු වූ බවට සාක්‌ෂි ඇත. ක්‍රිස්‌තු පූර්ව 4 වැනි සියවසේ විසූ අප හොඳින් දන්නා ඇරිස්‌ටෝටල් නමැති දාර්ශනිකයා පාෂාණ ජීර්ණය වැනි ක්‍රියාවලීන් පිළිබඳව යම් යම් නිරීක්‌ෂණ සිදු කළ අතර එම ක්‍රියාදාමයන් බොහෝ කාලයක්‌ ගත වන ඒවා බව ද මිනිසා ගේ ආයු කාලයෙන් ඔබ්බට යන බව ද පවසා ඇත. ඔහු ගේ ගෝලයකු වූ තියෝප්‍රස්‌ටස්‌ නැමැත්තා ඛනිජ පිළිබඳව අධ්‍යයනයන් සිදු කර ඇති අතර ඒවායේ භෞතික ගුණාංග පදනම් කරගනිමින් ප්‍රාථමික මට්‌ටමේ වර්ගීකරණයක්‌ ද ඉදිරිපත් කළේ ය. පාෂාණ පිළිබඳව ද ඔහු අධ්‍යයනය කර ඇති අතර කිරිගරුඬ සහ හුණුගල් පිළිබඳව ද ඔහු ගේ පර්යේෂණවල සදහන් කර ඇත. රෝමානු කාලයේ දී "ප්ලිනි" නම් විද්‍යාඥයා ඛනිජවල ස්‌ඵටික ස්‌වරූපය පිළිබඳව අධ්‍යයනයන් සිදු කර ඇති අතර මනා ලෙස දියමන්තිවල හැඩය හඳුනාගෙන ඇත්තේ ය. ඔහු ඇම්බර්, නම් වූ ඛනිජය බිහි වන ආකාරය ඉතා පැහැදිලිව විස්‌තර කර තිබේ. මෑත කාලයේ බිහි වූ "ජුරාසික්‌ පාක්‌" නම් වූ අපූරු සිනමා කෘතියේ ඩයිනොසෝරයන් බිහි කරන්නට හේතු වන්නේ මේ ඇම්බර් නම් වූ ශාක රෙසිනයේ සිර වූ මදුරුවා ගේ ප්‍රාග් ජීව ධාතුවෙන් ලබාගන්නා ජාන බව එය නැරඹවා නම් ඔබේ මතකයට නැෙගනු ඇත.

පර්සියානු ජාතික "ඉබන් සිනා" නම් වූ විද්‍යාඥයා තමා පළ කළ පොතක කඳු නිර්මාණය වන්නේ කෙසේ ද යන්න විස්‌තර කර ඇති අතර ජල චක්‍රයේ පැවැත්මට මේ කඳු පන්ති කොපමණ වැදගත් ද යන්න සාකච්ඡා කර ඇත. ආසියානු සන්දර්භය තුළ වර්ෂ 1031 සිට 1090 දක්‌වා ජීවත් වූ චීන ජාතික "ෂෙන් කුවෝ" භූ විෂමතාව අධ්‍යයනය කළ ප්‍රථමයන් කිහිප දෙනා ගෙන් අයකු වන අතර ඔහු ගේ පර්යේෂණ අවසාදිතකරණය සහ ප්‍රාග් ජීවධාතුන් කෙරෙහි ද යොමු වී ඇත. පාෂාණිභූත වූ උණ ශාක ඇසුරෙන් ඔහු කාලගුණ විපර්යාසයන් ඇති වන්නේ කෙසේ දැයි විස්‌තර කර ඇත.

සෙසු විද්‍යා ධාරාවන් අතර භූ විද්‍යාව

17 වැනි සියවස වන විට භූ විද්‍යාව ස්‌වාභාවික විද්‍යාවන් අතර ඉතා වැදගත් තැනක්‌ හිමි කරගෙන ඇති අතර ප්‍රාග් ජීව ධාතුන් කෙරෙහි වැඩි අවධානය යොමු වී ඇති බව පෙනී යයි. 1696 දී "විලියම් විස්‌ටන්" නැමැත්තා වඩාත් ආගමික මුහුණුවරකින් අවසාදිත නිර්මාණය සහ ප්‍රාග් ජීව ධාතුන් බිහි වීම පිළිබඳව අධ්‍යයනයන් සිදු කර ඇති බව පැහැදිලි වේ. ඔහු විසින් "නව පෘථිවි සිද්ධාන්තය" ඉදිරිපත් කරන ලද්දේ මෙවන් පසුබිමක ය. ලෝකය බිහි වීම පිළිබඳව වූ ආගමික නිර්ණායකයන් සහ විද්‍යාත්මක සංකල්ප අතර ඇති වූ මතභේදාත්මක සංවාද උග්‍ර වූ මේ අවධියේ දී "නිකොලස්‌ ස්‌ටේනෝ" විසින් අවසාදිතකරණය පිළිබඳ ඉදිරිපත් කරන ලද මතය විශිෂ්ට එකක්‌ විය. එනිසා අවසාදිත ස්‌තරායනය පිළිබඳව වඩා විස්‌තරාත්මක සහ විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා මගපෑදිණි. ඔහු ගේ මතය අනුව අවසාදිත ස්‌තර තිරස්‌ ස්‌ථර ලෙස බිහි වන අතර එක ම සංයුතියකින් තිරස්‌ ව පැතිරී යන බව කියෑවිණි. එම අධ්‍යයනයන්ට අනුව ඔහු භූ විද්‍යාවේ දී වැදගත් වන අවසාදිත පිළිබඳ සිද්ධාන්ත තුනක්‌ ඉදිරිපත් කළේ ය. "ස්‌තර අනුස්‌තර නියමය", "ප්‍රභාවි තිරස්‌ මූලධර්මය" සහ "පාර්ශ්වික සන්තතික මූලධර්මය" එම මූලධර්ම තුනයි. භූ විද්‍යාවේ දී පමණක්‌ නො ව පසු කාලීනව බිහි වූ පුරාවිද්‍යාවේ දී ද අවසාදිත අධ්‍යයනයේ දී මේ මූලධර්ම තුන මූලික පදනම වී ඇත.

දහ අට වැනි ශතවර්ෂයේ දී ඛනිජ සහ පෘථිවි කබොලෙහි සංයුතිය අධ්‍යයනය පිළිබඳව විද්‍යාඥයන් ගේ වැඩි අවධානයක්‌ යොමු වී ඇති බව පෙනී යයි. "භූ විද්‍යාව" යන වචනය මුලින් ම තම පර්යේෂණ ප්‍රකාශන සදහා යොදා මේ විෂය ප්‍රචලිත කිරීමට මූලික වූයේ "ජීන් අන්දෘ දි ලූක්‌" සහ "හොරේස්‌ බෙනඩික්‌ට්‌" නම් වූ විද්‍යාඥයන් දෙපළ ය. 1741 දී ප්‍රංශයේ ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයෙහි භූ විද්‍යාව ඉගැන්වීම සදහා ප්‍රථම තනතුර නිර්මාණය කරන ලද අතර එය ද භූ විද්‍යාවේ විද්‍යාත්මක පසුබිම ප්‍රචලිත කිරීමට ඉවහල් විය. ඒ ශතවර්ෂයේ අවසාන භාගය වන විට විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණ හේතුවෙන් කබොලෙහි පාෂාණවල රසායනික ලක්‌ෂණ පිළිබඳව සාකච්ඡාවට බදුන් විය. එහි දී "ඒබ්‍රහම් වර්නර්" ග්‍රැනයිට්‌ සහ බැසෝල්ට්‌ පාෂාණ නිර්මාණය පිළිබඳව ඉදිරිපත් කළ න්‍යායන් වඩාත් ප්‍රමුඛ වේ. දහ අට වැනි ශතවර්ෂයේ විසූ "ඡේම්ස්‌ හටන්" නම් භූ විද්‍යාඥයා විසින් කබොලෙහි පාෂාණ බිහි වීම ගැන වර්නර් ගේ මතයට විරුද්ධ මතයක්‌ ඉදිරිපත් කරන ලද අතර එමගින් කියවුණේ මේ පාෂාණ ද්‍රව ලාවා ඝනීභවනයෙන් ඇති වූ බවයි. යමහල්කරණය නම් වූ එම භූ ක්‍රියාකාරකම පිළිබඳ වූ මතය එකල වූ ආගමික මත බිඳ දැමීමට සමත් විය. අදට ද වලංගු එම මතයත් සමග ඔහු සිදු කළ තවත් පර්යේෂණ, භූ විද්‍යාවේ නූතන විද්‍යාත්මක ස්‌ථාපිතකරණය සදහා මහත් පිටිවහලක්‌ වූ අතර එනිසා ම ඔහු නූතන භූ විද්‍යාවේ පියා ලෙස හැදින්වේ. "වර්තමානය අතීතයේ යතුර වේ" යන සංකල්පය ඉදිරිපත් කරමින් භූ විද්‍යාත්මක ඉතිහාසයේ ඔහු නො මැකෙන සටහනක්‌ තැබූ අතර භූ විද්‍යාවට අගනා වටිනා සේවයක්‌ කළ විද්‍යාඥයකු ලෙස අදට ද සිහිපත් කෙරෙයි.

19 වැනි ශතවර්ෂයේ දී ඇති වූ කාර්මික විප්ලවයත් සමග විද්‍යාඥයන් ගේ සහ ගවේෂකයන් ගේ අවධානය ඛනිජ සම්පත් වෙත යොමු වූ බව පෙනී යන කරුණකි. බ්‍රිතාන්‍යයේ පළමු භූ විද්‍යාත්මක සිතියම මේ හේතුවෙන් නිමාණය වූ අතර ඒ සදහා "විලියම් ස්‌මිත්" නැමැත්තා ගේ ගවේෂණ කටයුතු හේතු වී ඇත. "ජෝර්ඡ් කුවියර්" සහ "ඇලෙක්‌සැන්ඩර් බෝග්නියර්ට්‌" විසින් අවසාදිත පාෂාණ ගැන සිදු කරන ලද පර්යේෂණ පාෂාණ ස්‌ථරවල සාපේක්‌ෂ කාලනිර්ණය සදහා බෙහෙවින් උපකාරී වී ඇත. එය ඔවුන් සිදු කර ඇත්තේ ප්‍රාග් ජීව ධාතුන් (fossils) අධ්‍යයනයෙන් ලද සාක්‌ෂි මත පදනම් ව ය. මේ අධ්‍යයනයන් එකල වූ භූ විද්‍යාඥයන් අතර බොහෝ ප්‍රචලිත වී ඇත. මේ ශතවර්ෂයේ විසූ "ඡේම්ස්‌ ලයෙල්" නම් වූ භූ විද්‍යාඥයා විසින් ලියන ලද භූ විද්‍යාවේ මූලික සිද්ධාන්ත නම් වූ පර්යේෂණාත්මක ග්‍රන්ථය හට්‌න් ගේ භූ විද්‍යාත්මක න්‍යායන් සහ සිද්ධාන්ත නැවත සපථ කිරීමට තරම් හේතු විය. ඔහු ගේ මේ කෘතිය සදහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය සහ ස්‌පාඤ්ඤය යන රටවල සිදු කළ භූ විද්‍යාත්මක පර්යේෂණවල සොයාගැනීම් පාදක වී ඇත.

අප කවුරුත් හොඳින් දන්නා "ජීවයේ සම්භවය" නම් වූ ලෝ ප්‍රකට පර්යේෂණාත්මක කෘතිය ඉදිරිපත් කළ "චාල්ස්‌ ඩාවින්" ද භූ විද්‍යාඥයෙකි. ඡේම්ස්‌ ලයෙල් ගේ "භූ විද්‍යාවේ මූලික සිද්ධාන්ත" නම් වූ ග්‍රන්ථය අධ්‍යයනය කළ ඔහු ගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ අතර නව මානයකින් ඔහු ඒ දෙස බැලී ය. ගොඩබිම් ඇති වීම සහ ගිලාබැසීම ද, කොරල්පර ඇති වන ආකාරය ද, ප්‍රාග් ජීව ධාතුන් ද ඔහු ගේ භූ විද්‍යාත්මක පර්යේෂණ සදහා මූලික වී ඇත. මේ අධ්‍යයනයන් ද ඔහු ඉදිරිපත් කළ ජීවයේ සම්භවය, ස්‌වාභාවිකවරණය සහ පරිණාමය ගැන වූ මතයන්ට පාදක වී ඇත. මේ කාලයේ දී කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව භූ විද්‍යාත්මක ගවේෂණ සහ පර්යේෂණවල වැදගත්කම ආර්ථික දෘෂ්ටි කෝණයකින් බලා භූ විද්‍යාත්මක සිතියම් නිර්මාණය සදහා ආධාර ලබා දී ඇත. මේ සහයෝගය භූ විද්‍යාව විෂයෙහි ප්‍රගමනය සදහා හේතු වී ඇති බව පැහැදිලි වේ. 19 වැනි ශතවර්ෂයේ අගභාගය වන විට විකිරණශීලී මූලද්‍රව්‍ය භාවිතයෙන් පාෂාණවල වයස නිර්ණය කරන්නට හැකියාව ලැබුණු අතර පෘථිවිය නිර්මාණය වූ ආකාරය පිළිබඳව එනිසා නව කෝණයකින් බැලීමට භූ විද්‍යාඥයන්ට හැකි විය. එය කබොලෙහි වූ මහාද්වීපවල චලනය වන ආකාරය සොයා බැලීමට නව දොරටුවක්‌ විවර කළේ ය.

20 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ විසූ ගවේෂකයෙකු මෙන්ම කාලගුණ විද්‍යාඥයකු ද වූ "ඇල්ෆ්‍ර‍රඩ් වැග්නර්" මහාද්වීපවල ගතිකය (චලනය) සිදු වන්නේ කෙසේ දැයි පැහැදිලි කරමින් "මහාද්වීපික ප්ලාවිතය" නම් වූ නව භූ විද්‍යාත්මක න්‍යායක්‌ 1912 දී ලොවට ඉදිරිපත් කළේ ය. ඒ සදහා විවිධ මහාද්වීපවල තිබූ ප්‍රාග් ජීව ධාතුන් ගෙන් ලද සාක්‌ෂි ද, ග්ලැසියර චලනයෙන් පාෂාණවල සටහන් වූ සාක්‌ෂි ද ඔහු යොදාගත්තේ ය. ඔහු ගේ මතය අනුව එක්‌ කලක දී මේ මහාද්වීප පෘථිවි තලය පැන්ජියාව නම් වූ සුවිසල් ගොඩබිමක්‌ ලෙස පැවතී පසුව කැබැලි වී වෙන් වීමේ ප්‍රතිඵලය බව කියවේ. එමෙන් ම කඳු පන්ති බිහි වන ආකාරය ගැන ද එහි දී ඉදිරිපත් විණි.

1947 සිට 1960 දක්‌වා වූ කාලයේ දී විද්‍යාඥයන් සාගරික කබොල ගැන සිදු කළ පර්යේෂණ සාගරික කබොල විස්‌තාරණය වෙමින් නව සාගරික තල නිර්මාණ වන බව පැහැදිලි කළේ ය. "රොබට්‌ ඩයිට්‌ස්‌" සහ "හැරී හේස්‌" ගේ පර්යේෂණ මෙහි ලා වැඩි ප්‍රමුඛතාවක්‌ ගනී. එනිසා ම ගතික කබොල විස්‌තර කරන නව මතයක්‌ භූ තල කාරක මතය නමින් බිහි විය. භූ භෞතික ක්‍රමවේද මගින් සිදු කරන ලද පර්යේෂණ මගින් සාගරික කබොල මහාද්වීපික කබොලට වඩා අඩු ඝනත්වකින් යුක්‌ත බව සොයාගන්නා ලදී. මේ පර්යේෂණවල ප්‍රතිඵල පසුව භූ චුම්බකත්ව පර්යේෂණ සදහා මගපෑදුණු අතර ක්‍රමිකව තැන්පත් වූ සාගරික කබොලෙහි පාෂාණවල වූ චුම්බක ගුණ පෙන්වන යකඩ වැනි ඛනිජවල දිශානතිය අනුව භූ චුම්බක ක්‍ෂෙත්‍රය (උතුර-දකුණ) අතීතයේ විවිධ පැතිවලට දිශාගත වී ඇති බව භූ විද්‍යාඥයන්ට පැහැදිලි විය.

විසිවැනි ශතවර්ෂය භූ විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවක්‌ සහ ප්‍රචාරණයක්‌ ඇති වූ ශතවර්ෂයකි. සමගාමීව සිදු වූ විද්‍යාත්මක උපකරණ, සිද්ධාන්ත සහ ක්‍රමවේදවල දියුණුවත් සමග මෙය වඩාත් පහසු වී ඇත. වර්තමානය වන විට චන්ද්‍රිකා තාක්‌ෂණයේ පිහිටෙන් භූ විද්‍යාත්මක ගවේෂණ කිරීමට තරම් වූ දියුණු තත්ත්වයකට පත් වී ඇත. වඩා පෘථුල පරාසයක්‌ පුරා පැතිරෙන්නට වූ භූ විද්‍යාත්මක පර්යේෂණ ග්‍රහලෝකවල භූ විද්‍යාත්මක පසුබිම අධ්‍යයනයට ද, පුරාවිද්‍යාත්මක ගැටලු විසදීමට ද, වෛද්‍ය ක්‍ෂෙත්‍රයට ද, ඉංජිනේරු ක්‍ෂෙත්‍රයට ද, අධිකරණ විද්‍යවේ දී ද ඉතා ප්‍රබල ලෙස භූවිද්‍යාව අදාළ කරගැනෙන බව නොරහසකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ


විද්‍යාව මා සිත් ගත්තේ කුඩා කල සිටයි. විජය පත්තරෙන්ද ඉන් පසු විදුසර පත්තරෙන් ද මාගේ විද්‍යා දැනුම මුවහත් වූ බව ඉමහත් ප්‍රීතියකින් යුක්තව කිව යුතුයි. පාසලේදී ලද දැනුම ද විශ්ව විද්‍යාලයෙන් ලද දැනුම ද විද්‍යාවේ පරතෙරට යාමට තරම් නොවූවද අඩුම තරමින් එහි ගැඹුර කුමක්දැයි සිතන්නට තරම් ප්‍රමාණවත් විය. තාර්කික ඥානය පුබුදු කරවාලන මෙම විෂය දහරාව ඇත්තෙන්ම එකල්හි විශ්මය ජනක වූවද දැන් දැන් එහි භාවිතය කොතරම් අගනේදැයි සිතේ.

සෑම තැනකම ඇත්තේ විද්‍යාවයි. එය ලෝකය විනිවිද දකින්නට අපව පොළොඹවාලයි.   බටහිරෙන් මතු වුවද සෑම සංස්කෘතියක් තුලම එයටම මුල් බැස ගත් විද්‍යාවක් ඇති බව අප වටහා ගත යුතුය. එනිසා උතුම් වන්නේ හෝ ඉහළින් වැජඹෙන්නේ මෙයයි තර්ක කිරීම සාධාරණ නැත.

විද්‍යා වින්දන තුලින් මා උත්සාහ කරන්නේ මා ලද දැනුම ද මා නිර්මාණය කරනා දැනුම ද ඔබ ඉදිරියට ගෙන එන්නටයි. යමෙකු ඒ තුල එකඟ නොවන්නට පුළුවන. ඔබට ඒ වෙනුවෙන් තර්ක කිරීමට ද පුළුවන. නිවැරදි තොරතුරු වෙනුවෙන් සෑම විටකම ඔබට පෙනී සිටිය හැක.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...