18.01.2017
පෘථිවියේ ඇති 'ආනතිය' හේතුවෙන් සුවිශේෂී දේශගුණික කලාපයන් නිර්මාණය වී ඇත. හිරු ගේ කිරණ ලැබෙනා පිළිවෙළ නිසා හිරු ගේ ශක්‌තිය උපරිමයෙන් ලබාගන්නට නිරක්‌ෂයට හැකියාව ලැබී තිබේ. එමෙන් ම ධ්‍රැවාසන්නයට තීව්‍රතාවෙන් අඩු හිරු කිරණ ලැබෙනා බැවින් ඉතා අඩු ශක්‌තියක් ලැබෙන බව එහි දේශගුණික තත්ත්වය නිරීක්‌ෂණයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ.
විවිධ පරිසර ජයගැනීමට මිනිසාට හැකියාව ලැබී තිබෙන්නේ ඇත්තෙන් ම ඒ එම පරිසරයට අනුව ජීවත් වන්නට හැඩගැසීමෙනි. වසර දහස් ගණනක් තිස්‌සේ මෙලෙස සිදු වූ පෙරළිය විවිධ සමාජ සංස්‌කෘතීන් බිහි කරන්නට හේතු වී ඇත.
ධ්‍රැවාසන්න ප්‍රදේශ ශක්‌ති ඌනතාවකින් පෙළෙනා බව පිළිගත යුතු ය. තාප ශක්‌තියේ ඌනතාව ඉතා ප්‍රබල ලෙස බලපාන බව එම ප්‍රදේශවලින් විකසනය වූ සමාජ සංස්‌කෘතීන් විග්‍රහ කිරීමේ දී පෙනී යයි. පවතින දරුණු ශීත දේශගුණික තත්ත්වය ඔවුන් සමනය කරගන්නේ තමන් ගේ මුළු ශරීරය ම බාහිර පරිසරයෙන් වියුක්‌ත කර ගැනීමෙනි. ඒ සදහා ඔවුහු විවිධ උපක්‍රම භාවිත කරති. ඇඳුම් පැළදුම් ඒ අතර ප්‍රමුඛ වෙයි. දෙඅත් මෙන්ම දෙපා ද ආවරණය සදහා මේස් පැළඳීම, දෙකන් වැසෙන සේ හිස් ආවරණ පැළඳීම පමණක් නො ව ගෙල ප්‍රදේශය ශීතලෙන් ආරක්‌ෂා කරගැනීම සඳහා කරපටි පැළඳීම ද ඔවුන් ගේ සිරිත වෙයි. නිසි පරිදි ගෙල ප්‍රදේශය අරක්‌ෂා නො වුණ හොත් පෙනහළු ආශ්‍රිත රෝග වැළඳෙන බව ඔවුහු ඉතා හොඳින් දනිති. එනිසා ගෙල ආරක්‌ෂක ඇඳුම් නොවරදවා ම පළඳින්නට ඔවුහු වගබලාගනිති. බොහෝ විට අඳුරු හෝ කළු පැහැති පැහැති ඇඳුම්වලට මූලිකත්වය හිමි වී ඇත්තේ සියලු ආලෝක කිරණ උරාගැනීමට පහසු වන බැවිනි. අද වන විට මෙවැනි දේ මෝස්‌තරයන් වී විවිධ ඇඳුම් විලාසිතා නිර්මාණය වී ඇත. එහෙත් එහි අත්‍යන්ත අරමුණ වන්නේ ශීතලෙන් අරක්‌ෂා වී ශරීරය උණුසුම් ව තබාගැනීමයි.
ශීත රටවල ඇඳුම් පැළඳුම් පමණක් නො වේ ආහාර පාන ද, ආහාර පාන ගන්නා ආකාරය ද හැඩගැසී ඇත්තේ සැම විට ම උණුසුම රඳවාගනිමින් ශීතලෙන් මිදෙනා පරිදි ය. රත් කර උණුසුම් ව වහ වහා අනුභවය ඔවුන් ගේ සිරිතයි. දෙඅත් සේදීම සඳහා ජලය භාවිතයෙන් මිදෙන්නේ කෝටු කැබැලි හෝ හැඳි හෝ ගෑරුප්පු වැනි මෙවලම් භාවිතයෙනි. එවිට දෙඅත් සේදීම අවශ්‍ය වන්නේ නැත. ජල පානය අසීරු බැවින් ඒ වෙනුවට සුප් වැනි දියරමය ආහාර හෝ වයින් වැනි මද්‍යසාර මිශ්‍රිත පානයන් ඔවුන් ගේ සංස්‌කෘතියේ විකල්ප වේ. එමෙන් ම ශීත කාලයේ නිතර ම ගෘහාශ්‍රිත ව ජීවත් වන්නට ඔවුහු තැත් කරති. තවත් බොහෝ ක්‍රියාකාරකම් සහ උපකරණ මොවුන් ගේ සංස්‌කෘතිය තුළ දක්‌නට ලැබෙන්නේ ඒ හැම දෙයක් ම ඉලක්‌කගත වී ඇත්තේ අවසානයේ දී ශීතලෙන් මිදී උණුසුම ආරක්‌ෂා කරගත හැකි වන පරිදි ය. එය ඔවුනට ඒ තරමට වැදගත් සහ අත්‍යවශ්‍ය බැවිනි.
සමකසාන්නයේ ජීවත් වන්නන්ට පිරී ඉතිරී යන්නට උණුසුම ලැබෙනා බැවින් උණුසුම රඳවාගන්නට අවැසි වන්නේ නැත. ඔවුනට වැදගත් වන්නේ වැඩි උණුසුම පිට කර සමනය කර ගැනීමට ය. එනිසා ම ඇඳුම් විලාසිතා මුළුමනින් ම එහි වෙනස් ය. අඩු ඇඳුම් ප්‍රමාණයක් මෙන්ම ඝනකමෙන් අඩු තුනී ඇඳුම් සදහා මෙහි දී ප්‍රමුඛතාව ලැබේ. සුදු පැහැය අත්‍යන්තයෙන් ම සියලු ආලෝක කිරණ පරාවර්තනය කරනා බැවින් ශරීරයේ උණුසුම අඩු කරගැනීමට මහඟු සහායක් ලබා දෙයි. දෙපා ආවරණය වන පරිදි පාවහන් පැළඳීම අවශ්‍ය වන්නේ ද නැත. හැඳි ගෑරුප්පු කිසිවක සහාය ද අවැසි වන්නේ නැත. ජලය භාවිතයේ අපහසුතාවක් කිසි විටෙකත් පැන නො නගින බැවින් ද ශරීර සිසිලනය සදහා අත්‍යවශ්‍ය සාධකයක් බැවින් ද ජලය මූලික කරගත් සංස්‌කෘතියක් බිහි වන්නට මෙය හේතු වී ඇත. බොහෝ ක්‍රියාකාරකම් එළි පහළියේ සිදු කරන්නට ඔවුන් පෙලඹී ඇත.
දේශගුණයේ ඇති වන වෙනස්‌කම් මෙලෙස එකිනෙකට වෙනස් සංස්‌කෘතීන් බිහි කරන්නට හේතු වී ඇත. එනිසා එකිනෙකට වෙනස් විටෙක පරස්‌පර විරෝධී සිතුම් පැතුම් පමණක් නො ව චාරිත්‍ර වාරිත්‍ර ද හමු වෙයි. මේ වෙනස මෙරටේ බොහෝ දෙනකු තේරුම් නො ගෙන ඇති බව ඉතා සරල දෑවලින් පෙනී යයි. ඉහින් කනින් දාඩිය බේරෙන දහවලේ කරපටි ද කබා කුරුත්තා ද ඇඳ උජාරුවට යන මිනිසුන් මෙරටේ හමු වන්නේ පාරිසරික සහ දේශගුණික වෙනස තේරුම් නො ගන්නා බැවින් යෑයි සිතේ. මෙය මුළුමනින් ම විහිළුවක් බවට පත් වී ඇත්තේ ඔවුන් ශිෂ්ට සම්පන්න බව මැනීමට යොදාගන්නා ප්‍රධාන නිර්ණයක් බවට එවැනි දෑ පත්කරගැනීම ද හේතුවෙනි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ