මුතුරාජවෙල තෙත්බිමකි.
භූ සංචාරිතය 45
This article is originally published on Vidusara, 10.02.2021.
පසුගිය සතියේ ලෝක තෙත්බිම් දිනය සමරන්නට යෙදුනා
ඔබට මතක ඇති. ඒ පෙබරවාරි මස දෙවනි දා. තෙත් බිම් යනු ඉතා වැදගත් පරිසර පද්ධතියකි.
භූ සංචාරිතයෙන් වරින් වරින් මේ ගැන අප කතා කලා.
රැම්සා සම්මුතිය බිහිවන්නේ තෙත් බිම් අරක්ෂා
කරගන්න. එය ආරම්භ වන්නේ අදින් වසර පනහකට පෙර ඉරානයේ රැම්සා නගරයේ පවත්වන්නට යෙදුන සම්මේලනයකින්.
එහිදී ඇතිකරගත් එකඟතාවයෙන් ලෝකයේ රටවල් බොහොමයක් මේ සම්මුතියට අත්සන් තබන්න තෙත්බිම්
ආරක්ෂා කරගැනීම පරම චේතනාවෙන්. පළමු සැසිය පවත් වූ 1971 වසරේ දී මේ සඳහා රටවල් 7ක් එකඟතාවය පළ කල අතර මේ වනවිට රටවල්
171 ක් එකඟතාවය පළ කරමින් අත්සන් තබා ඇත. මේ අතර ශ්‍රී ලංකාව ද වෙයි.
ශ්‍රී ලංකාව රැම්සා සම්මුතියට එකඟතාවය පළකරමින්
අත්සන් තබන්නේ 1990 දී බූන්දල වනෝද්‍යානය රැම්සා තෙත්බිමක් ලෙස නම් කරමින්. එදා මෙදාතුර
කාලයේ එවන් වූ තෙත්බිම් පහක් සමගින් සියල්ල හයක් ලෙස රැම්සා තෙත් බිම් බවට පත්කරමින්
ජාත්ත්‍යන්තර අවධානය ලබා ගැනීමට හැකි වී ඇත. ආනවිලුන්දාව, මාදු ගං මෝය, වංකලේ,
විල්පත්තුවේ ප්‍රදේශයක් සහ කුමන ජාතික වනොද්යනයන් ද ඒ හය අතර වන බව මතක් කල යුතුය.
තෙත්බිමක් යනු වෙරළාසන්නයේ ජලයෙන් යටවූ පහත්
බිමක් පමණක් නොව ගොඩබිමේ පවතින යම් පහත් බිම් ද අයත් බව අමතක නොකළ යුතුය. තෙත්බිමක්
සදා ජලයෙන් යටවී හෝ තාවකාලික යටවී පැවතිය හැක. ජලය කරදිය හෝ මිරිදිය වන්නට හැක.
පවතින පරිසරය අනුව සුවිශේෂී තත්වයන් එම පරිසරයේ ඇති විය හැකි අතර ඒ පදනම් ව එහි පවතින
ජෛව සංයුතිය අතිශය වෙනස් විය හැක.
තෙත්බිම් වඩා වැදගත් වන්නේ වැඩි ජලය එනම් ගංවතුර
පාලනයේ දී බව මෙහි ලා සඳහන් කල යුතුය. එපමණක් නොව අප ජලය පිරිපහදුව සඳහා කදිම තෝතැන්නක්
බව ද අමතක නොකළ යුතුය. එපමණක් නොව සුවිශේෂී ජෛව විවිධත්වය ගෙන එන්න එම පරිසර පද්ධතියට
අපූරු ආකර්ශනයක්. සතුන්ගේ නිජබිම් පමණක් නොව
සමහරුන්ට අවැසි වන තාවකාලික ලැගුම් හලවල් ලබා දෙන්නට තෙත්බිම් පරිසරය පසුබට වන්නේ නැත.
මිනිසාට වැදගත් වන ඖෂධ සහ ආහාර පාන පමණක් නොව එදිනෙදා ජිව්තයේදී වැදගත් වන සමහර දේ
ලබා දෙන්නට සැදී පැහැදී ඉන්නා බව මතකයේ රඳවා තබා ගත යුතුය.
බටහිර වෙරලේ හමුවන තෙත්බිම් පහත්බිම් අතර මුතුරාජවෙලට
හිමිවන්නේ වැදගත් තැනක්. තවමත් රැම්සා රැකවරණය නොලැබුන නමුත් එය වඩාත් අවැසි තෙත්බිමක්
ලෙස හඳුනාගත හැකි කදිම පරිසර පද්ධතියකි මුතුරාජවෙල. මිගමුව කලපුවේ ආරම්භය බොහෝ විට
කොළඹ සිට මුතුරාජවෙල හරහා ඇති වූ වෙරළ භූ රූපණය හේතු වන්නට ඇත.
මුතුරාජවෙල ද ජෛව විව්ධත්වයෙන් අනූන පරිසර පද්ධතියකි.
ශාක වර්ග 200 ට ආසන්න ප්‍රමාණයක් ද සතුන් ද එවැනිම වූ ප්‍රමාණයක් ද ඒ අතර කුරුල්ලන් 100 ට අධික ප්‍රමාණයක් ද මෙම පරිසර
පද්ධතියෙන් වාර්තා වෙයි.
වසර 5000 ට පමණ පෙරකළ මෙරට මුහුද මට්ටමේ ඇති
වූ සීග්‍ර වෙනස්වීම මත එකල මේ වෙරළ ආසන්නයේ වූ විශාල වනාන්තරයක් කරදියෙන් යට වීම හේතු
කොට ගෙන මෙම අපූරු තෙත්බිම වර්ධනය වී ඇත. එනිසා මෙරට හමුවන විශාලම පීට් නිධිය මෙහි
ඇත. කරදිය මිශ්‍ර වූ අවසාදිත වලින් යට වූ එකල බිහි වූ විසල් ශාකා ප්‍රාග්ජීව ධාතුන්
බවට පත් වී සංරක්ෂණය වී ඇත. තවමත් ක්‍රමයෙන් පීට් බවට පත් වෙමින් තිබෙන බවයි පර්යේෂණ
පෙන්වා දෙන්නේ.
පීට් සහ බොරතෙල් ඇතිවන්නේ දෙආකරයකටයි. පීට් වල
අවසානය සනිටුහන් වන්නේ ගල් අඟුරු බවට පත් වීමෙන්. බොරතෙල් ඇතිවන්නට හේතුවන්නේ සාගර
ජීවීන්ගේ නිධිගත වීමෙන් සහ එම කාබනික නිධි ක්‍රමයෙන් අවසාදිත පාෂාණ බවට පත් ඉව්මේදී
ය. එහිදී වැඩිවන උෂ්ණත්වය සහ පීඩනය හමුවේ මුහුදු ජීවීන්ගේ දේහයන් ක්‍රමයෙන් හයිද්‍රජන්
මිශ්‍රිත කාබනික සංයෝග බවට් පත් වේ. මේවා හයිද්‍රෝකාබන ලෙස හඳුන්වයි.
පීට් සහ ගල් අඟුරු බිහිවන්නට හේතුවන්නේ ගොඩබිම
ශාක, අවසාදිත සමග මිශ්‍රිතව නිධිගත වීමයි. මේ සඳහා බොහෝ කාලයක් ගතවන අතර පීට් නිධිවල
ඇත්තාවූ ප්‍රාග්ජිව්ධාතුන් බවට් පත් වූ ශාක විශේෂ මොනවා ද යන්න හඳුන්ගත හැක. මුතුරාජවෙල
හමුවන මෙවැනි ශාක කඳන් සමහරක් තවමත නිසි පරිදි අවම වශයෙන් පීට් බවට හෝ පත් වී නොමැති
බව ක්ෂේත්‍ර නිරීක්ෂණ වලදී පැහැදිලි වේ.
බොහෝ කලකට ඉහතදී රජ දවස මේ පහත් තෙත් බිම වගා
කටයුතු සිදුකල මුතු වැනි සහල් නිෂ්පාදනය කල භූමියක් බව ඉතිහාසගත වාර්තා පවසයි.
කාලීනව සිදු වූ පාරිසරක වෙනස් වීම මත වගා කටයුතු වලින් මිදී ක්‍රමයෙන් සොබාවික ශාක
සන්තතියක් බවට පත් වී ඇත. ඒ අවම වශයෙන් වසර දාහක පමණ කාලයක සිට විය හැක.
පාංශු දේහයන් හි අධික කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක්
පැවතීම ප්‍රදේශයේ භූ ගත ජලයේ සංයුතිය රසායනිකව වෙනස්කරන්නට හේතු වී ඇත. කාබනික ද්‍රව්‍ය
සමග මිශ්‍රව පවතින ගෙන්දගම් වැනි රසායනිකයන් නිසා භූ ගත ජලයට දැඩි ආම්ලික බවක් අත්කර
දී ඇත. එනිසා මෙම ප්‍රදේශයේ බොහෝ ස්ථාන වල ජලය සොබාවිකවම ආම්ලික ලක්ෂණ පෙන්නුම් කරයි.
මුතුරාජවෙල සංරක්ෂණය කල යුතු භූ විද්‍යාත්මකව
වැදගත් වන භූමියකි. මෙහි භූ විද්යාත්මක, රසායනික සහ ජෛව විද්‍යාත්මක හැදැරීම් තුලින්
පැරණි කාලගුණික තත්වයන් පමණක් නොව ශාක සහ සතුන්ගේ අගමනයන් ද අධ්‍යනය කල හැකි බව මෙහි
ලා සඳහන් කල යුතුය. එපමණක් නොව වසර 2000ක් 3000ක් පමණ කාලයේ වර්ධනය වූ මෙරට සංස්කෘතික
කවරක් ද යන්න උකහා ගැනීමට පවා කදිම තෝතැන්නක් බව බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ නැත.
තෙත්බිමක් ලෙස ඉතා ඉහල වටිනාකමින් යුක්ත මේ භුමිය
රැම්සා තෙත්බිමක් බවට පත් කිරීම තුලින්ඒ සඳහා වැඩි අවධානයක් ලබා ගැනීමට හැකි වේ. ඒ
අයුරින් හෝ මේ කදිම තෙත් බිම අරක්ෂා කරගැනීම අනාගතයේ දී බොහෝ වැදගත් විය හැක.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ