Sunday, 25 August 2019

විදු පත් ඉරුව19.04.2019

සිදු වන ව්‍යසනය ද එය සිදු වන්නේ කවර දා දැයි පැවසීම ද වරෙක ආපදාවක්‌ මවන්නේ නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරොවෙන් කපන්නට ඉඩ හැරීමෙන් පමණක්‌ නො ව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් ලෙඩ ඔඩු දිවීම නිසා ද බව මීතොටමුල්ල ෙ€දවාචකය අපට පැහැදිලි කර දෙන සත්‍යයයි. ඩිමෝ බඩියකට අලියකු පැටවීම කොහෙත් ම කළ හැක්‌කක්‌ නො වේ. එවිට සිදු වන්නේ කුමක්‌ දැයි අපට හොඳින් පැහැදිලි වේ. කෙසේ නමුත්, මේ ලියන මොහොත වන තුරු ද සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව කොපමණ දැයි නිශ්චිතව ගණනය කළ හැකි වී නොමැත. මෙවන් අවස්‌ථාවක ආපදා කළමණාකරණය සංවිධානගත වී දැයි ගැටලුවක්‌ ද පැනනගියි. දහවල ද නැවත නැවතත් වළේ වැටෙන්නේ නම් එය එළිය පිළිබඳ ප්‍රශ්නයක්‌ නො ව දැක්‌ම පිළිබඳ ගැටලුවක්‌ බව අප තේරුම්ගත යුතු ය.

මෙරට කුණු ගැන කථා කරන්නේ දශක ගණනාවක සිට ය. විසදුම් සොයන්නේ විද්වතුන් නො ව දේශපාලකයන් ය. විද්වතුන් දේශපාලකයන් වීම කෙතරම් කදිම දැයි අප කල්පනා කළ කාලයක්‌ විය. එහෙත් එවැන්නන් ගෙන ආ අඳුරු ආදර්ශ නිසා අප ගේ සිතිවිල්ල පුස්‌සක්‌ වී ඇති බව මේ වන විටත් පැහැදිලි වී හමාර ය. විද්වතුන් දේශපාලකයන් වීමෙන් සැම විට ම පලක්‌ වන්නේ ද නැත.

කොළඹ කුණු ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්‌ මේ වන තුරුත් ලැබී නොමැත. මෙරට විශ්වවිද්‍යාල බොහෝ පර්යේෂණ සිදු කරමින් කසළ කළමනාකරණයට අවැසි මහඟු සහායක්‌ මේ වන විටත් ලබා දී ඇත. ඒවා ප්‍රායෝගිකව යෙදවීමේ හැකියාවක්‌ ඇති දැයි බැලීමට කුමන හෝ කලක මෙරට බලයට පත් වන රජයක්‌ උත්සාහ කර ඇත් දැයි ඔබට මතකයට නැගිය හැකි ද?

මීතොටමුල්ලට සිදු වූ ෙ€දවාචකය මෙරට තවත් කොහේ හෝ තැනක ගොඩගැසෙන කුණු කන්දකට සිදු විය හැකි ය. එනිසා කුණු ගොඩ ගැසීමට වඩා ගොඩ අඩු කරගන්නා ක්‍රමවේදයන් ගැන සිතිය යුතු ය. මෙරට විවිධ හේතුන් නිසා භාවිතයට ගත හැකි භූමියේ ඉඩ සීමා වෙමින් පවතී. ඉදිරියේ දී එය ද බරපතළ කාරණයක්‌ වනු ඇත. ඉදිරි අනාගතයේ දී ජනගහනය වැඩි වීම නිසා පවතින සැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඔවුන් ගේ පදිංචිය තහවුරු වෙයි. එය මෙරට පම්පෝරි ගසනා නගර නිර්මාණකරුවන් ගේ පිළුණු වූ සංකල්පවල ප්‍රතිඵලයක්‌ වනු ඇත. මෙවැනි තත්ත්වයක්‌ යටතේ ඔවුන් නාමිකව ගෙන එන ආපදා ප්‍රත්‍යස්‌ථ නිවාස ඉදි කරන්නේ කොහේ දැයි කල්පනා කර බැලිය යුතු ය.

නො දිරන කසළ බොහොමයක්‌ නැවත වාරයක්‌ භාවිතයට ගත හැකි ය. විශේෂයෙන් ම වීදුරු සහ යකඩ අත්‍යශ්‍යයෙන් ම නැවත භාවිත නො කරන්නේ නම් නිෂ්පාදනය සදහා අවැසි අමුද්‍රව්‍ය දිනෙක හිඟ වනු ඇත. විවිධ වර්ගවල පොලිතින් ද නැවත භාවිතයට ගත හැකි ය. මේ සදහා නම් මහජනතාව ගේ සහාය අවශ්‍ය වේ. ඉදින් ඔවුන්ට පිරිසිදුවට පොලිතින් ලබා දිය හැකි නම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මොන කඡ්ජක්‌ දැයි සිතේ. කඩදාසි ඉවත ලන්නේ නැවත නිෂ්පාදනයට කැපෙන වෘක්‌ෂ මෙපමණ ප්‍රමාණයක්‌ දැයි අවබෝධයක්‌ ඇති ව නම් නො වේ. ඉතා පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි නැවත භාවිතයට ගත හැකි ය. මෙය ගෘහස්‌ථ කර්මාන්තයක්‌ ලෙස වුව පත්වාගෙන යා හැකි ය. ඉදින් ඔබත් මේ ගැන අවධානය යොමු කරන්නේ නම් ගොඩ ගැසෙන කසළ ගොඩ අඩු කරන්නට කුඩා හෝ දායකත්වයක්‌ හෝ ලබා දිය හැකි ය.

ජීව වායු උත්පාදනය සදහා අපූරු අමුද්‍රව්‍ය කාබනික කසළ මඟින් සැපයෙන බව අමුතුවෙන් විස්‌තර කිරීම අවශ්‍ය නැත. ධන උල්පතක්‌ පාදාගන්නට මේ කදිම අවස්‌ථාව ප්‍රයෝජනයට ගන්නකු නම් නැත. ඒ සදහා මහඟු අවස්‌ථා මෙරට විද්වතුන් එළිදක්‌වා ඇත. මොරටුව විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය අජිත් ද අල්විස්‌ මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක ත්‍රී රෝද රථ ධාවනය සදහා ජීව වායු භාවිතය ගැන අත්හදා බැලූ හ. එය ඉතා සාර්ථක බව පර්යේෂණ ප්‍රතිඵලවලින් පැහැදිලි වී ඇත. එහෙත් මේ ඉවත ලන ටොන් ගණන් වූ කාබනික කසළ භාවිතයෙන් ජීව වායු උත්පාදනය ගැන, පවතින එකදු හෝ රජයක්‌ සලකා නො බලන්නේ මන්දැයි යන්න ගැටලුවක්‌ නො වන්නේ ද?

කුණු ප්‍රශ්නය මෙරටට පමණක්‌ ආවේනික වූ ගැටලුවක්‌ නො ව අනෙක්‌ රටවල ද ඇත්තා වූ ගැටලුවක්‌ බව පවසමින් සමහර උදවිය මෙය තනුක කරන්නට උත්සාහ කරන බව පෙනී යයි. ඒ ඔවුන් ගේ නොහැකියාව වසා ගැනීමට බව ය අපට නම් සිතෙන්නේ. ලෝකයේ අනෙක්‌ රටවල එසේ වුව ද මේ සදහා විසදුමක්‌ සොයා නො ගන්නේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස අප පැරදුණු ජාතියක්‌ වනු ඇත. මේ සදහා ක්‍රියාත්මක වීම බිම් මට්‌ටමේ සිට ම සිදු විය යුතු බව ය අප ගේ හැඟීම වන්නේ.

තම තමන් ගේ නිවාසවල සහ කාර්යාලවල දිනෙක දී ඉවත ලන කෑම ප්‍රමාණය කොපමණ දැයි කල්පනා කර බලන්න. මේ උත්සව කාලයේ ගොඩ ගැහෙන කඳු ගණන් උස ඉවත ලන කෑම කියා පාන්නේ අනවශ්‍ය ගොඩ ගැසීමක ප්‍රතිඵල නො වේ ද? බුදු දහමේ කියා දෙන සංකල්ප ්‍රsaක්‍රියාත්මක කරන්නට සිහි තබාගන්නේ නම් මෙලෙස නො වනු ඇත. තමනට අවැසි ප්‍රමාණය බෙදා ගැනීමට නිතර සිහි තබාගත යුතු ය. 'ඉවතලෑම' අඩු කිරීමට සිහිතබාගත යුතු ය. එය අංක එක විය යුතු ය. සැම විටක ම එම සංකල්පය පිළිපැදීමට සිහි තබාගත යුතු ය.

කෙසේ වෙතත් කොළඹ කුණු සදහා වගකිවයුතු වන්නේ කොළඹ ජනතාව පමණක්‌ නො වේ. දිනකට කොළඹට එන ලක්‌ෂ ගණනක ගේ කුණු ද මේ ගොඩට ම එකතු වේ. එනිසා සුපුරුදු රාජකාරි සදහා කොළඹට පැමිණෙන්නන් ගෙන එන කුණු කොළඹ ඉතිරි නො කරන්නට වගබලාගත යුතු ය.

වල්මත් වූ දේශපාලන පක්‌ෂවල පුද්ගලයන් ගේ උද්ඝෝෂණවලට ද කන් දෙන්නට සිදු වුව හොත් සිදු වන්නේ නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ය. විද්වත් මතිමතාන්තර සැලකිල්ලට ගෙන නිසි දේ ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි විපත් තව දුරටත් සිදු නො වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday, 24 August 2019

විදු පත් ඉරුව
12.04.2017

බක්‌ මහේ විශේෂත්වය ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන සිංහල අලුත් අවුරුද්දයි. කවරකු කෙසේ කීවත්, කවර අර්ථකතන දුන්නත් සිංහලයා ගේ නිර්මාණශීලිත්වය සහ අදීනත්වය හඬ ගා කියන්නේ මෙමගින් බව බොහෝ දෙනකු තේරුම් ගන්නේ නැත. ඉතා කදිම අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරිපුන් සිංහල අලුත් අවුරුද්ද ගෙවී යන වසරේ අවසානයත් එළඹෙන වසරේ ආරම්භයත් සනිටුහන් කරයි.

සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ජලයට ලැබෙන්නේ ද ඉහළ ප්‍රමුඛතාවකි. සැම සුබ කටයුත්තක්‌ ද පටන් ගැන්මේ දී ඉදිරියට එන ජලය පිරි කළය ගෙන එන්නේ සුබ පණිවිඩයකි. ජීවයේ අඛණ්‌ඩතාව රඳා පවත්නේ ජලය මත බව හොඳින් තේරුම්ගත් අපේ මුතුන් මිත්තෝ ජලයට ගෞරව කළ හ. එමෙන් ම එය රැකගැනීම සදහා කදිම සංරක්‌ෂණ ක්‍රමවේද නිර්මාණය කළ හ. ජලය රැස්‌ කර, නැති කල ප්‍රයෝජනයට ගැනීමට උපාය උපක්‍රම ලෙස ඉතා කදිම විස්‌මයජනක වාරි තාක්‌ෂණයක්‌ බිහි කළ හ. සැමට භාවිතයට ගත හැකි ලෙස දියුණු භෞතික මෙන්ම සමාජ ක්‍රමවේද ද ඇති කළ හ. ඒ එතරමට ජලයේ වටිනාකම හඳුනාගෙන තිබූ බැවිනි.

නා නා අයුරින් අපට පිහිට වන ජලයට ප්‍රතිඋපකාර කරන්නට සිංහලයාට වැදගත් වූ සිංහල අලුත් අවුරුද්දේ ඔවුන් අමතක කරන්නේ නැත. සිංහලයා, ඉතා වැදගත් චාරිත්‍රයක්‌ වූ සැමට පළමු සිදු කරන ගනුදෙනු චාරිත්‍රයේ, ප්‍රමුඛතාව දෙන්නේ ජලයත් සමග කරන ගනුදෙනුවට ය. කළයත් රැගෙන යන ගෘහ මූලික කාන්තාව (අම්මා) කළය ජලයෙන් පුරවා ගන්නේ ළිඳට කාසියක්‌ ද අඟුරු කැබැල්ලක්‌ ද එක්‌ කරමිනි. කාසිය මුදල් ගනුදෙනුව පිළිබිඹු කරන අතර අඟුරු කැබැල්ල ප්‍රතිඋපකාරය සංකේතවත් කරයි. අඟරු කදිමට විෂ උරා ජලයෙන් එම විෂ ඉවත් කරන බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කරන්නට අවැසි වන්නේ නැත.

එවැනි සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ අප අද ජලයට කෙතරම් කුරිරු ලෙස සලකන්නේ ද යන්න කතා කළ යුතු ය. අධිරාජ්‍යවාදී පාලන කාලයේ පටන් සිදු වූ සමාජ පෙරළිය මෙරට සංස්‌කෘතිය උඩු යටිකුරු කර ඇති අයුරු රුසියානු ලේඛකයකු වූ මෙරට සංචාරය කළ ඉවාන් බූනින් කදිමට සිය නිර්මාණවල සඳහන් කරයි. පළමුව සිදු වූ මෙරට නාගරික ජනතාව ගේ පෙරළිය ඔහු ගේ නිර්මාණවල පැහැදිලි කර ඇති අයුරු ආකර්ෂණීය ය. පරිසරය තම ජීවයේ කොටසක්‌ ලෙස සලකමින් තිබූ ජාතියක්‌ විනාශ මුඛයට ඇද දමා ඇති අයුරු දැන් දැන් සිදු කරන පාරිසරික දූෂණය අපට පසක්‌ කර දෙන බව පැවසිය යුතු ය.

එලෙස විකසනය වූ කොළඹ අද වන විට නාගරීකරණයේ උච්චතම අවස්‌ථාව පසු කරන බව හොඳින් පැහැදිලි වේ. මතුපිට ජල මූලාශ්‍ර සියල්ල නැවත භාවිතයට ගත නොහැකි ලෙස දරුණු ලෙස දූෂණයට ලක්‌ වී ඇති බව බේරේ වැව දෙස බැලීමේ දී පැහැදිලි වේ. කොළඹ ජනතාව ගේ සියලු කුණු කන්දල් කිසිදු වග විභාගයකින් තොර ව එක්‌ කිරීම නිසා අඳුරු පැහැති ජලයෙන් පිරි බේරේ වැව ද ඒ ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතිය ද අද අපට කියාපාන්නේ අපූරු ජලසංස්‌කෘතියක අවසානයයි. මෙතරම් වටිනාකමකින් යුක්‌ත ජල සම්පත භාවිතයට ගැනීමට නොහැකි වීම තුළ පිටස්‌තර ජල සැපයුම මත ම යෑපෙන්නට අද අපට සිදු වී ඇත. හදිසි ජල විසන්ධි වීම් නිසා නාගරික ජනතාව කෙතරම් අපහසුතාවට පත් වන්නේ ද බව කිව යුතු නො වේ.

දිනෙන් දින වර්ධනය වන ජල දූෂණය නවතාලිය නොහැකි වේ යෑයි අප සිතිය යුතු නැත. මේ සදහා අවැසි වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ පමණි. ඒ තුළ ජල සංරක්‌ෂණයේ වැදගත්කම අවබෝධ කරගත යුතු ය. කොළඹ ඇල වේලි තුළින් ගලා යන ජලය සුපිරිසුදු විය යුතු බව ය අප ගේ හැඟීම.

මේ සදහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මෙහි දී නීතිරීති තදින් ක්‍රියාත්මක කළ යුතු ය. දූෂිත වූ ජලය එකතු කිරීම වහා නතර කළ යුතු ය. නිවෙස්‌වල මෙන්ම ආපන ශාලා ඇතුළු සියලු වෙළෙඳසල්වල එකතු වන අප ජලය පිරිපහදු නො කර බේරේ වැව සහ ඒ අවට ජල මූලාශ්‍රවලට එකතු කිරීම නො කළ යුතු ය. ඒ සදහා පිරිපහදු ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු ය. ඉතා පහසුවෙන් ක්‌ෂුද්‍ර පෙරහන් මගින් ජලයෙන් දූෂකකාරක පෙරා වෙන් කළ හැකි ය. නැත හොත් වෙනත් ක්‍රමවේදයක්‌ උත්පාදනය කළ යුතු ය. නාවෝත්පාදකයන්ට මෙය කදිම අවසථාවක්‌ මෙන්ම අභියෝගයක්‌ ද වනු ඇත.

නැවත නැවත දූෂිත ජලය එකතු වීම නැවැත්වීම තුළ තවදුරටත් මේ ජල නිධිවලට දූෂකකාරක එකතු වීම නවතිනු ඇත. දැන් කළ යුත්තේ එහි වූ දුෂිත ජලය පිරිසිදු කිරීමයි. මේ සදහා විවිධ ස්‌ථානවල සවි කළ හෝ පා වන ජල පෙරණයන් භාවිත කළ හැකි ය. මූලිකව කිසියම් ආකාරයකට බලශක්‌ති වැය වීමක්‌ සිදු වන මුත් එයට වඩා වැදගත් වන්නේ කොළඹ මතුපිට ජල නිධිවල සුපිරිසිදුභාවයයි. ජල පිරිපහදුව සදහා ජෛවීය ක්‍රමවේද වුව භාවිත කළ හැකි ය. මෙරට නවොත්පාදකයන් ගේ දෙවැනි අභියෝගය වන්නේ මෙයයි. දූෂිත මතුපිට ජලය පිරිසිදු කළ හැකි ක්‍රමවේදයක්‌ යෝජනා කර ක්‍රියාත්මක කිරීමයි.

කොළඹ මතුපිට ජල නිධි නැවත යථා තත්ත්වයට පත් වන දවස ගැන අදහසක්‌ නොමැති වුවත් එවැනි සිහිනයක්‌ ගැන වත් අප සිතිය යුතු ය. මෙරට විවිධ පර්යේෂණ ආයතනවල අයාලේ යන පර්යේෂණ සහ මෙරට මරි මෝඩ පාලකයන් ගේ කෙස්‌ පැලෙන තර්ක කිරුළු පළඳින තාක්‌ මෙන්ම මුදල ද, තම පෞද්ගලික අවශ්‍යතාවල ද පමණක්‌ ප්‍රමුඛ කරගත් මෝඩ ඡන්දදායකයන් ද සිටින තාක්‌ මෙය කළ නොහැකි බව පසු ගිය කාල වකවානුව පුරා ම ඉතා කදිම උදාහරණ දෙමින් නැවත නවතත් අප හට ඔප්පු කර ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 23 August 2019

විදු පත් ඉරුව
29.03.2017

පෘථරිවිය බිහි වූයේ මින් වසර බිලියන 4.6 කට පෙර ය. මහා පිපිරුම නිසා විසිරුණු දුහුවිලි වලාවක්‌ ක්‍රමයෙන් සංකෝචනය වීමෙන් පෘථරිවිය සහිත මේ සූර්යග්‍රහ මණ්‌ඩලය නිර්මාණය විය. එහි ජීවයේ නියමුවා වූයේ පෘථරිවියයි. දසත පැතිර තිබූ දුහුවිලි අධික තාපයක්‌ සමග සංකෝචනය වූයේ ඝනැති පාෂාණ නිර්මාණය කරමිනි. ක්‍රමයෙන් සිසිලනයට ලක්‌ වූ පාෂාණ තට්‌ටු වරෙක එක්‌ වෙමින් ද නැවත වෙන් වෙමින් ද නො නවතින ගමනක නිරත වෙමින් පවතී. මේ අතර ජීර්ණයට ලක්‌ වූ මිහිපිට වූ පාෂාණ අවසාදිත නිර්මාණය කරමින් මුහුදු පත්ලේ තැන්පත් විණි. තවත් වරෙක මිහි ලිය ගිලගත් පාෂාණ තට්‌ටු දිය කරමින් ලෝදිය නිපැදවිණි.

එලෙස නිර්මාණය වූ පෘථරිවි තල අතර වූ එක්‌ අපූරු තලයක ය අප රට පිහිටන්නේ. ජුරාසික යුගයේ දී ම ඉන්දියානු තලයෙන් වෙන් ව තනි ව ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය භූ තලය අද දවසේ ඔබ අප ගේ නිවහන වන්නේ ය. දූපතක්‌ ලෙස මෙදින එය දිස්‌ වන්නට හේතු වූයේ එම වෙන් වීමයි. භූ විද්‍යාඥයන් පවසන අන්දමට වසරකට මිලිමීටර එකක පමණ වේගයකින් ඉන්දියාවෙන් වෙන් ව ඕස්‌ටේ්‍රලියාව දෙසට පා වෙමින් පවතින ශ්‍රී ලාංකේය භුමි භාගය කාවරී ෙද්‍රdaණිය කෙමෙන් පුළුල් කරයි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පසුබිම ඔබ අප සියලු දෙනා දැනගත යුතු ව ඇත. ප්‍රොaටෙරොසොයික්‌ යුගය ශ්‍රී ලංකා භුමි භාගය නිර්මාණය කරන්නට හේතු වූ කාලවකවානුවයි. ඒ වසර මිලියන 2000කට පමණ පෙර ය. ලොව බිහි වූ මුල් ම පාෂාණ ගිනිකඳු පිපිරීම් නිසා ද භූ තල ක්‍රියාකාරකම් නිසා ද නැවත නැවත චක්‍රීයකරණය වන්නට විය. මෙහි දී ජීර්ණය ද ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඉටු කළේ ය. එමගින් බිහි වූ අවසාදිත මුහුදු පත්ලේ තැන්පත් වූ අතර වරින් වර පොළෝ අභ්‍යන්තරයෙන් පිපිරී ඉහළට ආ ලෝදිය සමග මිශ්‍ර විය. ශ්‍රී ලාංකේය භූමි භාගයේ නිර්මාණය එසේ ඇරඹුණු අතර එය එතරම් ම සරල සිදුවීමක්‌ නො වන බව ද අප සිහි තබාගත යුතු ය. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදු වන මෙවැනි පෘථිවි ක්‍රියාදාමයන් සැම විට ම සංකීර්ණ වෙයි.

වසර මිලියන පන් සියයක්‌ පමණ වූ කාලයේ සිදු වූ තවත් අපූරු ක්‍රියාවලියක්‌ හේතුවෙන් ෙද්‍රdණිගත වූ ඉහත කී පූර්වජ අවසාදිතවල ද අවසාදිත පාෂාණවල ද සිදු වූ විපරියාසය ශ්‍රී ලංකා භුමිභාගය නිර්මාණයට හේතු විය. එය විපරිතකරණය නම් වේ. පෘථිවි තල අතර වූ තෙරපීම මේ විපරිතකරණය සිදු කරවී ය. අවසාදිතකරණය හේතුවෙන් මුහුදු පත්ලේ නිර්මාණය වූ පූර්වජ අවසාදිත සහ අවසාදිත පාෂාණ මෙනිසා විපරිතකරණය විය. ඒ හා සමග වූ ලෝදියෙන් නිර්මාණය වූ පාෂාණ ද විපරිතකරණයට ලක්‌ විය. විපරිතකරණය මුළුමනින් ම වෙනස්‌ වූ පාෂාණ ගොනු බිහි කරන්නට හේතු විය.

මේ විපරිතකරණයෙන් ශ්‍රී ලකා භුමි භාගය නිර්මාණය කළ පාෂාණ බහුතරයක්‌ විපරිත පාෂාණ බවට පත් විණි. විපරිතකරණයේ අපූරු සිහිවටන එම පාෂාණ තුළ තැන්පත් කෙරිණි. ඝන මාධ්‍යයේ සිදු වූ ප්‍රතිඛනිජකරණය විපරිතකරණය සිදු වන විට තිබූ පාරිසරික තත්ත්වවලට ගැලපුණු කදිමට ඛනිජ බිහි කරන්නට හේතු විය. ඝන මාධ්‍යයේ සිදු වන ස්‌ඵටිකීකරණය විස්‌මයජනක භූ රසායනික ක්‍රියාවලියකි. විපරිතකරණය සිදු වෙද්දී ඇති වන පීඩනය ද අධික තාපය ද මේ ප්‍රතිඛනිජකරණයට මගපාදයි. ඛනිජ යනු රසායනික සංයෝග වේ. ඒවා නිර්මාණය වන්නේ විවිධ මූලද්‍රව්‍ය මිශ්‍රණයෙන් වන අතර විපරිතකරණයේ දී වෙනත් ඛනිජ බවට පත් වීමේ දී මේ මූලද්‍රව්‍ය ද පැරැණි ඛනිජ තුළින් ගිලිහී නැවත මිශ්‍ර ව අලුත් ඛනිජ බිහි කරයි. ඇදහිය නොහැකි කරුණ වන්නේ මේ සියල්ල ඝන මාධ්‍යයේ සිදු වීමයි. විපරිතකරණයේ විස්‌මය එයයි.

විපරිතකරණයේ දී අවසාදිත සහ අවසාදිත පාෂාණ සුවිශේෂී විපරිත පාෂාණ බවට පත් වේ. බොහොමයක්‌ අවසාදිතවලට ලාක්‌ෂණික වනුයේ ඇලුමිනියම් අධික වීමයි. එහෙත් විපරිතකරණයෙන් බිහි වන පාෂාණවල රසායනයේ වෙනසක්‌ සිදු නො වේ. සිදු වන්නේ ඛනිජ සංයුතිය වෙනස්‌ වීමයි. එනිසා ඇලුමිනියම් වැඩි විපරිත ඛනිජ බිහි වනුයේ නව පාෂාණ නිර්මාණය කරමිනි. රබහා, කොරන්ඩම්, සිලිමනයිට්‌ හා කයනයිට්‌ වැනි ඛනිජ ඇලුමිනියම් අධික පාෂාණවල ලාක්‌ෂණික වේ. මේ ඛනිජ බොහොමයක්‌ ශ්වේත වර්ණ වේ.

අවසාදිතවල සහ අවසාදිත පාෂාණවල වූ 'ප්‍රාග් ජීව ධාතුන්' සහ ඒවායේ සටහන් විපරිතකරණය නිසා විනාශ වී යයි. එනිසා සියලු විපරිත පාෂාණවල මෙවැනි 'ප්‍රාග් ජීව ධාතුන්' රැඳෙන්නේ නැත. අවසාදිත පාෂාණවල වූ සියලු ලක්‌ෂණ මෙනිසා ඉතිරි වන්නේ නැත. එපමණක්‌ නො ව, ලෝදිය මගින් නිර්මාණය වූ පාෂාණවල වූ ලක්‌ෂණ ද ඛනිජ සංයුතිය ද වියෑකී යන්නේ විපරිතකරණය නිසාවෙනි. ඓහෙත් රසායනයන්හි නො සිදු වූ වෙනස්‌කම් නිසා විපරිතකරණයෙන් පසු මේ පාෂාණ වර්ග කර හඳුනාගැනීම එතරම් ම අපහසු නො වේ.

ශ්‍රී ලංකාව බිහි කළ බොහොමයක්‌ විපරිත පාෂාණ නයිස්‌ නම් වූ වර්ගයට අයත් වේ. ඉහළ ම තත්ත්වවල දී නිර්මාණය වූ උසස්‌ විපරිත පාෂාණ වන මේ පාෂාණ එයට ලාක්‌ෂණික වන එකිනෙක පරයා සැකසුණු කළු සහ සුදු පැහැ වර්ණ රටාවන් ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ භුමිය නිර්මාණය වන්නේ ප්‍රධාන පාෂාණ සංකීර්ණ තුනක්‌ මගින් වන අතර ඒවායේ පූර්වජයන් ගේ බිහි වූ කාල සීමාව පදනම් කරගත් කාල නිර්ණයෙන් මූලිකව වෙන් කර හඳුනාගනී. ඊසාන-නිරිත දිශානුගත ව විහිදෙන මේ පාෂාණ සංකීර්ණ තුන හඳුන්වන්නේ උතුරේ සිට වන්නි, උස්‌බිම් සහ විජයානු සංකීර්ණ ලෙස ය. මධ්‍යයේ වන උස්‌බිම් සංකීර්ණය වසර මිලියන 2100ක්‌ පමණ පැරැණි අතර ඉතිරි සංකීර්ණ දෙක වසර මිලියන 1100ක්‌ පමණ වෙතැයි ගණනය කර ඇත. ඒ අනුව භූ විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාව පිහිටන්නේ ලොව පැරැණි ම පාෂාණ කලාපයක බව ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 19 August 2019

විදුපත් ඉරුව
08.03.2017

පසුගිය ඉරිදා එක්‌තරා රූපවාහිනි නාළිකාවක විකාශනය වූ ප්‍රවෘත්ති අතර වැදගත් ප්‍රවෘත්තියක්‌ විය. කලාතුරකින් හෝ එවැනි ප්‍රවෘත්ති විකාශනය වීම ගැන සතුටට පත් විය යුතු අතර එමගින් කියවුණේ රජයේ පරිපාලන ආයතන දෙකක්‌ අතර ගැටලුවකි. එහි මූලික කරුණ වී තිබුණේ අලින් 'කුණු' කෑමයි. පහසුවටත් ලේසියටත් ආහාර සොයාගැනීමේ මගක්‌ ඇති කරගත් මේ 'ගොන් අලින්' ද ඔවුන් ගේ වපසරිය ආසන්නයට ගෙනැවිත් දමන මානව කුණු කසළ අවුස්‌සමින් 'මිනිස්‌ ඉඳුල්' ගිල දමන්නට පුරුදු වීම උන් ගේ ම අවාසනාව ය.

තම පරිපාලන ව්‍යqහය තුළ ගොඩගැහෙන කුණුවලට කරගන්නට දෙයක්‌ නොමැති කල කොහේ හෝ ගොස්‌ අතහරින්නට තැත් කරන මෙවන් කලෙක මේ කුණු ගොඩ නිසා අලින්ට සිදු වන්නට යන විපත්තිය අදාළ වගකිවයුත්තන්ට සුළුවෙන් හෝ මතක්‌ වීම කටින් බතල කොළ සිටුවන මැති ඇමතිවරුන් සිටින මෙවන් කලෙක එක්‌තරා අතකට පුදුමයට කරුණකි. කෙසේ වුවත් මේ ගැටලුව විසඳෙන්නට තවත් බොහෝ කලක්‌ ගත වන බව නම් පවතින වර්තමාන පරිපාලන ක්‍රමය තුළ පුදුමයක්‌ නොවේ. එනිසා කුණු බුදින්නට පුරුදු වූ අලින් රැකගැනීම සිහිනයක්‌ විය හැකි අතර දිගින් දිගට ම පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉඳුල් සමග ගිල දැමීමෙන් වැඩි කලක්‌ යන්නට මත්තෙන් ආහාර මාර්ගය සිර වී ඉතා කටුක දුකක්‌ විඳ තම ජීවිතයෙන් සමුගන්නට මේ සතුන්ට සිදු වනු ඇත. ඔවුනට ඒ තත්ත්වය අත් කර දෙන්නට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන, උත්සව දිනයට පමණක්‌ ගහක්‌ සිටුවා ජෛව විවිධත්වය රැකගැනීමේ උදාර මෙහෙයක යෙදී සිටින ශ්‍රී ලංකාවේ කකුල් දෙකේ තිරිසනුන්ට, අලින් මිය ගිය පසු, මෙතුවක්‌ කල් තමන් සිදු කළ ක්‍රියාදාමයේ ප්‍රතිඵල දැකගත හැකි වනු ඇත.

මෙගා කතා කියන උදවිය ගේ දාහක්‌ පොරොන්දු කුණු වී යන්නේ කුණු ප්‍රශ්නයට විසඳුමක්‌ සොයාගත නොහැකි වී ඇති විට ය. පොළොව ඇද වීම නිසා නටන්නට නොහැකි බව දැන් දැන් ඔවුන් පවසන බව පෙනී යයි. මේ සදහා බොහෝ විසඳුම් පොතෙන් ගෙන හැර පානා මුත් ප්‍රායෝගික භාවිතය ගැන කිසිදු අත්දැකීමක්‌ නොමැති වීම නිසා බොහෝ ව්‍යාපෘති සාර්ථක කරගැනීමට නොහැකි ව අත්හැර දැමී ඇත. මේ තත්ත්වය එලෙස ම පවතුණ හොත් ඉදිරියේ දී ද සාර්ථක නො වනු ඇත. දිනෙන් දින වර්ධනය වන පොලිතින් භාවිතය නිසා නො දිරන අපද්‍රව්‍ය තට්‌ටුව ඝනකම් වන්නටත්, එමගින් ලෝකයේ මතුපිට වැසී යන්නටත්, සාගර පිරී යන්නටත් වැඩි කලක්‌ ගත නො වනු ඇත.

මෙවැනි තත්ත්ව ඇති වන්නට බොහෝ විට හේතු වන්නේ ආත්මාර්ථකාමීකම ම බව අමුතුවෙන් සදහන් කරන්නට අවශ්‍ය වන්නේ නැත. එක්‌ එක්‌ පුද්ගලයන් තමන් ගේ වපසරිය තුළ සිදු කළ යුතු කාර්යභාරය මැනැවින් හඳුනා නො ගැනීම ද මෙවැනි විකෘතීන් සදහා හේතු වන බව අප මතක තබාගත යුතු ය. අප සතු වගකීම් මොනවා දැයි යන්න පමණක්‌ නො ව අනාගතයේ බිහි වන දරුවන් ගේ සුරක්‌ෂිතභාවය කුමක්‌ ද හා එය කෙලෙස අරක්‌ෂා කළ යුතු ද යන්න පවා ඉතා ගැඹුරෙන් සිහි තබාගෙන කටයුතු කළ යුතු ය. තම විෂය ක්‌ෂේත්‍රය තුළ තමා සතු වගකීම පැහැර හරිනා, අනුන් ගේ කස්‌තිරමේ ගුණ දොස්‌ විවේචනය කරනා බොහොමයක්‌ දෙනා මේ සමාජයේ මං මුළාවූවෝ වෙති. වර්තමානයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ අතිශය පෞද්ගලික සිදුවීම් පවා විවේචනය කරමින් 'බුකියේ' පෙළහර පානා පඬියන් ගේ ක්‍රියාකලාපය අතිශය හාස්‍යජනක වෙයි. යමකු ගේ පෞද්ගලිකත්වය කුමක්‌ දැයි පවා තේරුම්ගැනීමට නොහැකි මෙවැන්නන් කුණු බුදිනා තවත් සතුන් පිරිසක්‌ නො වන්නේ ද?

කුණු ගොඩගැහෙන, ගහකොළ හිඟ වන සමයක කෙසේ නම් නිසි කල වැසි බලාපොරොත්තු විය හැකි ද? එනිසා ම කඩිමුඩියේ තැනූ ජලාශ හිඳී යන්නට පටන්ගෙන ඇත. සියයට 30ක පමණ ධාරිතාවක්‌ පමණක්‌ ඇති ව හෝ මුළු රටට ම විදුලිය දෙන්නට උත්සාහ කිරීම අගය කළ යුතු ය. අඩුව පුරවන්නට ඩීසල් බලාගාර වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරවන්නට සිදු වේ. එවිට අමතර මුදලක්‌ විදුලිය සදහා වැය වන බව සිහි තබාගත යුතු ය. ඒ වැය වීම රටේ ජනතාවට ආලෝකය ලබා දෙන්නට බව ද අප හොඳින් ම සිහි තබාගත යුතු ය.

මෙවන් සමයක ජනතාව ගේ වගකීම එම වැය වීම් අඩු කරලන්නට කටයුතු කිරීම නො වන්නේ ද? අනවශ්‍ය එකදු හෝ විදුලි පහනක්‌, විදුලි පංකාවක්‌, වායු සිසිලනයක්‌ හෝ නිවා දමා අපට ද ඒ සදහා දායක විය හැකි ය. එය අප ගේ නිල වගකීමක්‌ නො වුව ද ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බව ද වටහාගත යුතු ය. අනවශ්‍ය විදුලි වැය වීම් වළකාලීම තවත් එක්‌ දිනක්‌ හෝ අඳුරේ සිටීමෙන් අප වළකාලයි. බොහෝ දෙනකු තේරුම්ගත යුතු දෙයක්‌ වෙයි. ඒ මුදල් ගෙවා වැඩි වැඩියෙන් විදුලිය භාවිත කරන්නට හැකි වුව ද එය එහි දී වැය වන සම්පත් නැවත ලබා දීමට තරම් හේතු නො වන බවයි.

අපතේ යන කුණු භාවිත කර ශක්‌තිය ජනනය කරන්නට හැකි බව ලොව බොහෝ රටවල මෙන්ම මෙරට ද වරින් වර පෙන්වා දී තිබේ. ප්‍රත්‍යක්‌ෂ සත්‍යය තුළ මෙය ප්‍රායෝගික බව පෙන්වා දී ඇත. එසේ නම් අප ගේ ප්‍රාදේශීය පරිපාලන ආයතන මේ සදහා ක්‍රියාත්මක නො වන්නේ මන්දැයි යන්න ගැටලුවකි. විසඳුම පෙන්වා දී තිබිය දීත් කුණු ප්‍රශ්නය හිගන්නා ගේ තුවාලයක්‌ බවට පත් වී ඇත් දැයි අයකුට සිතෙන්නට හැකි ය. මෙගා ව්‍යාපෘති නො වුණාට කම් නැත. සුළුවෙන් හෝ පටන්ගෙන කුණු ප්‍රශ්නයට පමණක්‌ නො ව බලශක්‌ති ජනනයට ද සහායක්‌ වන්නට හැකි බව පෙන්වා දෙන්නට හැකි පරිපාලන ආයතන බිහි වේ නම් කොපමණ අගේ දෘ ඒ සදහා අවැසි ඔළුගෙඩි සෙවීම නම් ගැටලුවක්‌ වනු නොඅනුමාන ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday, 18 August 2019

විදුපත් ඉරුව
01.03.2017

ඇස්‌ ඇත්තෝ ලෝකය දකිති. නුවණැස ඇත්තෝ ලෝකය විනිවිද දකිතැයි පැවසෙයි. මේ කිසිවක්‌ නැත්තන් කෙසේ නම් ලෝකය දකින්න ද?

මිනිසා ඇතුළු වානරයෝ කදිමට වර්ණවත් ලෝකය දකිති. එහෙත් ඉතිරි ක්‌ෂීරපායිහු ද, පක්‌ෂීහු ද, උරගයෝ ද, උභයජීවීහු ද, මත්ස්‍යයෝ ද ඒක වර්ණයෙන් හෝ ද්වි වර්ණයෙන් ලෝකය හඳුනාගනිති. කෘමීන් වැනි අපෘෂ්ඨවංශිකයන් හට කදිම වූ අක්‌ෂි පද්ධතියක්‌ ම පිහිටා ඇත. මේ ඇස්‌ තනි තනි ව හෝ සියල්ල එක්‌ ව හෝ ඔවුනට පෙනීම ලබා දෙයි.

අක්‌ෂි පිහිටීම මගින් අපට පරිසරයේ ස්‌වරූපය පහදා දෙයි. අප ගේ අක්‌ෂි පරිසරයේ වර්ණවත් හැඩ තලවල සුසංයෝජනය මැනැවින් පෙන්නුම් කරයි. එහෙත් අක්‌ෂි රහිත ඇත්තන් මෙවැනි දෑ තේරුම්ගන්නේ කෙසේ ද? ඇස්‌ අවශ්‍ය ම බව සිතා සිටින්නේ ඇස්‌ ඇත්තන් පමණකි. තමන් ඉන්නා පරිසරය හඳුනාගැනීමට හෝ තේරුම්ගැනීමට හෝ ඇස්‌ සැම විට ම අවශ්‍ය වන්නේ නැත.

ඇස්‌ ඇත්තන්ට දකින්නට ආලෝකය අවශ්‍ය ම වේ. එනිසා දහවල දී දක්‌නා දේ රාත්‍රියේ නිසි පරිදි සැවොම දකින්නේ නැත. මේ අතර සමහර සත්තු රාත්‍රිය විනිවිද දකින්නට හැකියාවක්‌ ඇත්තෝ වෙති. අප ගේ ජීවිතයේ ආයු කාලයෙන් අඩු ම තරමින් අඩක්‌ වත් සිටින්නට වන්නේ අඳුරේ ය. මේ බව තේරුම්ගත් මිනිසා, හිරු ගේ ආලෝකය නොමැති කල භාවිතයට ගැනීමට කෘත්‍රිම ලෙස ආලෝකය නිපදවා ඇත. එමගින් අද වන විට ලෝකය ආලෝකවත් කර ඇත. එනිසා 'දැකීමට' නම් මිනිසාට රාත්‍රිය වුව ගැටලුවක්‌ නැත. ඒ ඔහු ගේ දියුණු මොළයට පින් සිදු වන්නට ය.

මේ අතර සදා අඳුරේ සිටින්නෝ ද වෙති. ඒ වෙන කිසිවක්‌ නිසා නො ව ඔවුන් වෙසෙන පරිසරයට හිරු කිරණ ගමන් නො කරන නිසා වේ. එපමණක්‌ නො වේ. ඔවුනට කිසි දාක හිරු කිරණ පහස ලැබීමට ද අවශ්‍ය නැත. ඔවුන් හැඩගැසී ඇත්තේ සදා අඳුරේ විසීමට ය. මෙවැනි පරිසර ලෝකයේ බොහෝ වෙයි. භූගත ගුහා මේ අතර සුවීශේෂී වෙයි. එපමණක්‌ නො ව මහා සාගරයේ ගැඹුරු පත්ල ද හිරු එළිය ඉවසන්නේ නැත. භූ අHන්තරයේ වෙසෙන පාංශු ජීවීහු ද ආලෝකයෙන් සැඟව ගියෝ වෙත්. ආලෝකය නොමැති කල මොවුන් දකින්නේ කෙසේ ද?

ඔවුන් ගේ දැක්‌ම නම් පුදුමසහගත වෙයි. ඇස්‌ නොමැති විට එමගින් ලැබෙන තොරතුරු ලබාගන්නට ඔවුහු වෙනත් අවයව භාවිතයට ගනිති. සමහර සත්තු මේ සදහා ඔවුන් ගේ සංවේදක ස්‌ඵර්ශක යොදාගනිති. මේ සංවේදක ස්‌පර්ශක මගින් ඉතා කදිමට පරිසරයේ වෙනස්‌කම් ග්‍රහණය කරගැනීමට ඔවුනට හැකියාව ඇත. ලෝකයේ දැනට හඳුනාගෙන ඇති කෘබේරා-වෙරන්ජා නම් වූ ගැඹුරු ම ගල්ගුහාවේ වාසය කරන තටු රහිත කෘමි විශේෂයක්‌ වන 'සර්පිල නගුටා' (Springtail) නම් වූ සත්ත්වයා තම දැකීම පවත්වාගෙන යන්නේ ස්‌පර්ශක ආධාරයෙන් ලබාගන්නා තොරතුරු මගිනි. එවැනි ම තත්ත්වයක්‌ පෙන්නුම් කරන 'රිදී මසුවා' (Silver fish) නම් කෘමියා ද එක්‌ ගෝනුසු විශේෂයක්‌ ද වෙසෙන්නේ මෙක්‌සිකෝවේ පිහිටියා වූ ගල් ගුහාවක අඩි තුන් දහසක්‌ පමණ ගැඹුරේ ය.

ගැඹුරු සාගර පත්ලේ වෙසෙන ජලජයෝ ද මෙවැනි අනුවර්තන පෙන්නුම් කරත්. ඔවුන් බොහොමයක්‌ අන්ධයන් වන අතර පරිසරයේ සිදු වන පීඩනයේ සහ ගන්ධයේ වෙනස්‌කම් මගින් පණිවිඩ ලබාගන්නට හුරු වී ඇත. මොවුන් ගේ සංවේදනය ඉතා තියුණු වන අතර ඒ සඳහා මූලික හේතුව වන්නේ ඔවුන් වෙසෙන පරිසරයේ සුවිශේෂීතාවයි. ආහාර නිෂ්පාදනය අවම වීම නිසා ඉතා අඩු ඵලදායිතාවකින් යුක්‌ත මේ පරිසරයේ වෙසෙන්නන් හට ලැබෙන කුමන හෝ ආහාරයකින් සෑහීමකට පත් වන්නට සිදු වේ. බොහොමයක්‌ අක්‌ෂි රහිත ජීවීන් ආහාර කරගන්නේ මළ කාබනික ද්‍රව්‍ය වන අතර ඉඳහිට හෝ ලැබෙන සජීවී ගොදුර ඩහැ ගැනීමට තම අවයව ඉතා හොඳින් විශේෂණය කර ඇත.

අඳුරේ වෙසෙන්නට තීරණය කළ ද 'ඇස්‌ අත්හරින්නට අකැමැත්තෝ ද වෙති. ගැඹුරු සාගර පත්ලේ විසූව ද අක්‌ෂි ඇත්තෝ ආලෝක අවශ්‍යතාව සංසිදුවාගන්නේ ස්‌වයං නිෂ්පාදනය මඟිනි. ඒ සඳහා ඔවුන් විශේෂිත වූ අවයව වර්ධනය කරගෙන ඇත. පරිණාමයේ විචිත්‍රත්වය ලොවට හෙළි කරනා 'පිටගෙඩි කාලයකා' (Hampback blackdevil) නම් වූ අපූරු මත්ස්‍යයා තම ගොදුර අල්ලාගැනීම සදහා අලෝකමය 'ඇම' යොදාගනී. ඉතා කුඩා සිහින් ඇස්‌ මගින් ආලෝක ගොදුර වෙත පනින සතුන් ක්‌ෂණයකින් අල්ලාගැනීම සදහා තියුණු දත් සහිත විශාල මුඛයක්‌ පිහිටා ඇත. මොවුන් ගේ මේ 'ආලෝක ඇම' තම හිසට ඉහළින් වර්ධනය වූ සිහින් දණ්‌ඩකට සවි වී ඇත. මුළු ශරීරය ම ආලෝකනය කරගත් මුහුදු පත්ලේ වෙසෙන දිගු නැහැයක්‌ ඇති 'චිමාරා' (Broadnose chimaera) නම් වූ මත්ස්‍යයා ගේ ඇස්‌ ඉතා සංවේදී වන අතර අඩු ආලෝකයේ ඉතා හොඳින් පෙනීමට සකස්‌ වී ඇත. මෙවන් වූ බොහොමයක්‌ සත්ත්වයන් අඳුරු පරිසරවල දැකිය හැකි අතර ඔවුන් බොහෝ දෙනකු දහවල සහ රාත්‍රියේ සුන්දරත්වය අත්විඳින්නේ නැත.

ආලෝකවත් වූ පරිසරවල විසූව ද ඇස්‌ නොමත්තෝ ද වෙති. ඒ පරිණාමික ක්‍රියාවලියේ මූලික අවස්‌ථාවේ සිටින්නන් ය. පරිණාමයේ ඔවුන් ගේ ස්‌ථානය පසු කර ගිය ජීවීන් හට අක්‌ෂි හිමි විය. 'ලොඩියන්' (Jely Fish) ගේ ද, කොරල් පර සාදන ජීවීන් ගේ ද, අක්‌ෂි වර්ධනය වී නොමැත. නෙමටෝඩා ජීවීන් ද පරිසරය ග්‍රහණය කරගන්නේ අක්‌ෂි උපකාරයෙන් නො වේ.

ජීවී ලෝකයේ ඇස්‌ ඇත්තෝ ද ඇස්‌ නැත්තෝ ද ආලෝකය තිබුණ ද, නො තිබුණ ද තම වටපිටාව මැනැවින් හඳුනාගනිති. එම ජීවී ලෝකයේ ම වෙසෙන නුවණැස පහළ කරගත් වර්තමාන මිනිසා ගේ දැක්‌ම අනෙකුත් සියලු ජීවීන් ගේ පැවැත්මට තර්ජනයක්‌ බව ය පෙනෙන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday, 17 August 2019

විදුපත් ඉරුව
22.03.2017

අලින්ටත් ළමයින්ටත් නලියන්ට ම ය හිත. ඔවුනට එක ලෙස එක තැනක සිටින්නට නම් බැරි ය. ඒ වාගේ ම ඔවුන් ගේ දඟකාරකම් නො බලා ඉන්නට අපට ද කොහෙත් ම බැරි ය. ඔවුන් ඉතා විමසිලිමත් ය. පසුගිය දිනෙක එලෙස විමසිලිමත් වූ විදුසර කියවන දයාබර දැරියක්‌ ඉතා කදිම පැනයක්‌ මගෙන් විමසා සිටියා ය. ඒ අප ගේ ව්‍යවහාරයේ ඇති අලි ඇතුනට සම්බන්ධ උපහැරණයක සත්‍යතාව පිළිබඳව ය. යම්කිසි දෙයක ප්‍රතිඵල රහිත බව, හිස්‌, නිෂ්ඵල බව කියා සිටින්නට අවශ්‍ය වූ විටෙක අප හොඳින් දන්නා උපහැරණයක්‌ වන 'අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ' යෑයි අපි පවසමු. අප පැරැන්නන් පවසන පරිදි අලින් දිවුල් නො විකා ගෙඩි පිටින් ම ගිලින බැවින් ගෙඩියේ මදය අලි උදරයේ දී ජීර්ණය වීම නිසා පුහු දිවුල් අලි බෙටි සමග බැහැර වේ.

මේ කුඩා දැරිය මගෙන් විමසා සිටියේ මෙහි සත්‍යතාවයි. අප හොඳින් දන්නා පරිදි අලි ඇතුන් ශාක භක්‌ෂකයන් බැවින් විකා ගිලීම සඳහා කදිමට සකස්‌ වූ අපූරු දන්ත පද්ධතියක්‌ ඇත. ඒ සදහා සාක්‌ෂි දරන්නේ හොඳින් සකස්‌ වූ පුරශ්චාර්වක සහ චාර්වක දත් පන්තියයි. අලි මුඛයේ අගිස්‌සේ එලෙස සකස්‌ වූ යෝධ දත් තල්මහ ගේ දත්වලට වඩා විශාල ය. අලි මුඛයේ ඉදිරියට ඇදෙන දළවලට අමතරව වරක දී දත් 24ක්‌ පවතින බව සඳහන් වේ. පුර්ශ්චාර්වක 3ක්‌ ද, චාර්වක 3ක්‌ ද ලෙස එක්‌ පසෙක ඇති අතර දෙපස 12ක්‌ ද වේ. උඩු ඇන්දේ සහ යටි ඇන්දේ ඒ අනුව එකතුව 24 කි. දළය ලෙස වැඩෙන්නේ උඩු ඇන්දේ රදනක දතයි. නො නවතින ඝන ආහාර ඇඹරීම නිසා ළදරු අවධියේ සිට ම වයස යන තුරු ම වරින් වර සය වතාවක්‌ පමණ පැරැණි දත් වැටී අලුත් දත් ලැබීම කදිම සිදුවීමකි. මුඛයේ අගිස්‌සෙන් බිහි ව එළියට එන දත් ක්‍රමයෙන් ඇන්දේ ඉදිරියට තල්ලු වන අතර එයට පිටුපසින් නව දත් බිහි වන බව විද්‍යාඥයෝ පවසති. දත් ගෙවෙමින් ක්‍රමයෙන් ඉදිරියට යත් ම ඒවා ගැලවී වැටෙන අතර එයට පිටුපසින් වැඩෙන දත් එම ස්‌ථානය අත් කරගනී.

බර කිලෝග්රෑම් 150ක්‌ පමණ වූ ශාක කොටස්‌ දවසක දී පරිභෝජනය කරන්නට පෙලඹෙන මේ යෝධ සත්ත්වයා ළපටි කොළ අතු පමණක්‌ නො ව ගස්‌ කඳන්වල පොතු ද මුල් ද කා දමන බව සොයාගෙන ඇත. විශාල වපසරියක්‌ පුරා ඇවිදිමින් මෙපමණ ප්‍රමාණයක්‌ සෙමින් සෙමින් දිගු නහය ද පාදය ද අධාරයෙන් කඩා ගලවා ගුලි කර මුව තුළට ඔබාගන්නා අයුරු කදිම ය. කාෂ්ඨීය කොටස සමග ම මුව තුළට ඔබාගන්නා ශාකමය ද්‍රව්‍ය ඔවුන් ගේ දත්වල ඇඹරීමේ ක්‍රියාවලියෙන් ගැලවී මුව තුළට රිංගා යන්නට නම් කොහෙත් ම හැකියාවක්‌ ලැබෙන්නේ නැත.

අලි ඇත්තු පලතුරු කෑමට ද රුසියෝ ය. ශ්‍රී ලංකාවේ හමු වන බොහොමයක්‌ පලතුරුවලට ඔවුහු වගකියති. කෙසෙල්, අන්නාසි, කොමඩු වැනි පලතුරු පමණක්‌ නො ව උක්‌ ගස්‌ වැනි සීනි පිරුණ ආහාරවලට ඔවුහු ඉමහත් කැමැත්තක්‌ දක්‌වති. වියළි හෝ අර්ධ ශුෂ්ක කලාපයේ ඉන්නා අලි ඇතුන් ගේ ප්‍රියතම පලතුරක්‌ වන්නේ කාෂ්ඨීය ආවරණයකින් යුක්‌ත දිවුල් ය.

ජන ව්‍යවහාරයේ ඇති කියමනක්‌ වන 'වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කඡ්ජක්‌ දැ'යි අසන්නට සිතෙන්නේ මෙවන් අවස්‌ථාවක ය. එලෙස විසල් අතු සහ ශාක කොටස්‌ තම ආහාරය කරගන්නා අලි ඇතුන් ජීර්ණයේ පහසුව පිණිස කදිමට විකා ගිලිද්දී කුඩා දිවුල් ගෙඩිය පමණක්‌ නො විකා ගිලී දැයි ඔබට අසන්නට සිත් නො වන්නේ ද? අලි ඇතුන් ගේ ආහාර ජීර්ණ රටාව අනුව එලෙස වන්නට කිසි ම හේතුවක්‌ නො වන්නේ ය. අලි ඇතුන් ගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස්‌ වී ඇත්තේ ඉතා හොඳින් ඝන ආහාර ජීර්ණය වන පරිදි ය.

පුහු දිවුල් විවිධ කෘමි සතුන් ගේ ආක්‍රමණයන් නිසා හටගත හැකි ය. මේ පිළිබඳව නිශ්චිත කරුණු කාරණා ගොනු කරගැනීම ඔබට එතරම් අපහසුවක්‌ නො වනු ඇත. ඒ ඔබ ඉතා හොඳින් විමසිලිමත් වුව හොත් පමණකි. බොහෝ දේ පිළිබඳව දුටු පමණින් තීරණවලට එළඹීම එතරම් සුදුසු නො වේ. එලෙස කෘමි සතුන් ගේ ප්‍රහාරවලට නතු වූ දිවුල් ගෙඩියක්‌ අලින් ගේ මළපහ මතට වැටීම අප ගේ පුරාණ මුතුන් මිත්තන් නොමග යෑවුවා විය හැකි ය. කෙසේ වෙතත් යමකු කිවූ පමණින් ම විශ්වාස කිරීම ද කළ යුතු නො වේ.

විද්‍යා පර්යේෂණයක දී එක්‌ වරක්‌ ලබන ප්‍රතිඵල නැවත නැවතත් ලැබෙන්නේ නම් එමගින් හෙළි වන කරුණුවල සත්‍යතාව සදහා එය හේතු වන බව කිව යුතු ය. යමක්‌ පිළිබඳව, යම් පැහැදිලි කිරීමක්‌ පිළිබඳව, විශ්වාසය තැබිය හැක්‌කේ එවිට ය. යමකු යෝජනා කරන යම් දෙයක්‌, ක්‍රියාවලියක්‌ තවත් අයකුට අත්හදා බැලිය හැකි විය යුතු ය. බුදුන් දේශනා කර ඇති දහමේ ද කියා ඇත්තේ යමකු කිවූ පමණින් ම විශ්වාස නො කොට තමන් අත්විඳ එය තේරුම්ගන්නා ලෙස ය.

සංවර්ධනයේ කුරිරු බලපෑම්වලට නිරන්තරයෙන් ම භාජන වෙමින් තම පැවැත්ම ඉතා අසීරුවෙන් තහවුරු කරගැනීමට වෙහෙසන ශ්‍රී ලාංකේය අලි ඇතුන් ගේ ආරක්‌ෂාව පිළිබඳව නිසි පියවර නො ගන්නා බව දිනෙන් දින මරණයට පත් වන මේ යෝධයන් ගේ ප්‍රමාණය මොනවට පැහැදිලි කරයි. දිනෙන් දින හැකිළෙන තම නිජබිම් ක්‍රමයෙන් අහිමි වීම නිසා ගම් වදින මේ අහිංසකයන් දරුණු වී අපට හානි කරන්නේ මන්දැයි අප තේරුම්ගත යුතු ය. එසේ නො කොට ඔවුනට වෙඩි තබා ඝාතනය කිරීම, ලොව වෙසෙන බුද්ධිමතා ගේ යුතුකම නො වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 16 August 2019

ජෛවචුම්භකත්වය මගින් පාර සොයන ක්ෂුද්‍රයෝ....!!
බැක්ටීරියාවන් ප්‍රාථමික ජීවින් කොට්ටාශයක් වුවත් අපූරු හැසිරීම් ඇත්තවුන් බව පෙනී යනවා. ඔවුන්ගෙන් සමහර විශේෂ පාර සොයාගන්නට භූ චුම්භකත්වය භාවිතයට ගනු ලබන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ඔක්සිජන් තියෙන ඉස්සව්ව නිවරදිව හඳුනාගන්න තමයි ඔවුන් මේ උපක්‍රමය භාවිතා කරන්නේ. මේ සඳහා ඔවුන්ගේ දේහයන්වල තියෙනවා විශේෂ ඉන්ද්‍රියයක්. ඒක හඳුන්වන්නේ චුම්බසෝම (magnetosomes) නමින්. මේ ඉන්ද්‍රියය තුල මැග්නටයිට් (යකඩ ඔක්සයිඩ) සහ ග්‍රිගයිට් (යකඩ සල්ෆයිඩ) නම් ඛණිජ අඩංගු වෙනවා. ‘චුම්භසංචරිත’ (Magnetotactic) බැක්ටීරියාවන් ලෙස හඳුන්වන්නට හැකි මේ ක්ෂුද්‍රයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ දේහයන් තුල ඉහත කි ඛණිජයන් නිපදවන්නට හැකි වීමයි. මේ පිළිබඳව මුලින්ම ලෝකයට නිරාවරණය කලේ 1975 දී.


විදු පත්ඉරුව
18.02.2017

විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විද්‍යාත්මක සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුව ම විචිත්‍රවත් වෙයි. පසුගිය ජනේරුවේ අග භාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක්‌ නිසා විද්‍යා ලෝකය මේ වන විටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් සිටියි.'ලෝහමය හයිඩ්‍රජන්' යනු මෙතුවක්‌ කල් විද්‍යාඥයන් අතර සිහිනයක්‌ ව තිබූ කල්පිත පදාර්ථමය අවස්‌ථාවක්‌ වේ. දැන්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ යන දෙපළ විද්‍යාත්මක පත්‍රිකාවක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිළිබඳ පර්යේෂණ කරන මෙන්ම නිරන්තර අවදියෙන් සිටින බොහෝ විද්වතුන් ගේ අවධානයට ලක්‌ වූ මේ පත්‍රිකාව සමහර ගැටලු නිසා තරමක්‌ විවේචනයට ලක්‌ වුව ද බොහෝ දෙනකු ගේ පැසසුමට ලක්‌ වී තිබේ.

අප දන්නා පරිදි හයිඩ්‍රජන්, ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍යය වේ. සොබාවික පරිසරයේ දී වායුවක්‌ ලෙස හැසිරෙන මේ මුලද්‍රව්‍යය ද්‍රවයක්‌ කිරීමට නම් අධික සිසිලනයකට ලක්‌ කළ යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක -259.16ක්‌ පමණ වෙයි. ඝනයක්‌ බවට පත් කරන්නට අවැසි නම් තව තව සිසිල් කළ යුතුවා මෙන්ම අධික පීඩනයකට ද ලක්‌ කළ යුතු වේ. හාවර්ඩ් සරසවියේ විද්වතුන් දෙපළ හයිඩ්‍රජන් වායුව ලෝහමය තත්ත්වයට පත් කිරීම සදහා ලබා දුන් පීඩනය ගිගා පැස්‌කල් 495ක්‌ පමණ වන අතර එය පෘථිවි මධ්‍යයේ පවතින්නා වූ පීඩනයටත් වඩා අධික බව පෙනී යයි. අවර්ණ හයිඩ්‍රජන් වායුව ක්‍රමයෙන් අධික පීඩනයට ලක්‌ කරන විට මුලින් ම කළු පැහැති ඝනයක්‌ බවට පත් වන බවත් එය අර්ධ සන්නායක ගුණ පෙන්වන බවත් තවදුරටත් පීඩනය වැඩි කළ විට ලෝහමය හයිඩ්‍රජන් නිපදවෙන බවත් පෙන්වා දී තිබේ. එලෙස නිපදවූ හයිඩ්‍රජන්වල ලෝහමය අවස්‌ථාව නිසැකව ම නිශ්චය කරගැනීම සදහා ඉදිරියේ දී ඉලිනොයි සරසවිය වෙත ගෙන ගොස්‌ X කිරණ පර්යේෂණවලට ලක්‌ කිරීමට අදහස්‌ කරන බව පර්යේෂකයෝ දෙපළ පවසති.

මෙලෙස නිපදවන ලෝහමය හයිඩ්‍රජන්වල අනගත පැවැත්ම කෙබඳු වේ ද යන්න විද්‍යාඥයන් කතා බහට ලක්‌ කළ කරුණකි. බොහෝ දෙනකු ගේ අදහස වූයේ වරක්‌ අධික පීඩනයට ලක්‌ කර ලෝහමය හයිඩ්‍රජන් නිපදවූ විට ලබා දුන් පීඩනය සහ උෂ්ණත්වය ඉවත් කළ පසු ද ලෝහමය ස්‌වභාවයෙන් ම පවතින බවයි. මෙවැනි ද්‍රව්‍යයන් 'විරූපණ ස්‌ථායි' (MetaStable) ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒ ඔබ අප දන්නා පෘථිවි මධ්‍යයෙ දී අධික පීඩනයකට ලක්‌ ව උත්පාදනය වන දියමන්ති සහ මිනිරන් පෘථිවි මතුපිට පවතින ලෙසිනි. ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමට හැකි නම් ඉතා විශිෂ්ට වෙනසකට ලෝකය පත් විය හැකි බව ය විද්‍යාඥයන් ගේ අදහස.

අද ලෝකයේ විද්යුතය ගමන් කරවීම සඳහා යොදාගන්නේ ලෝහ බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. විශේෂඥයන් පවසන පරිදි විද්යුතය සන්නයනය කිරීමේ දී අවම වශයෙන් 15%ක්‌ වත් විද්යුතය අපතේ යන බව පැවසේ. සොබාවිකව පවතින ලෝහ අතුරින් රිදී සහ තඹ ඉතා හොඳ සන්නායකතාවක්‌ පෙන්වූව ද එම ද්‍රව්‍යවල ද කිසියම් ප්‍රතිරෝධයක්‌ ඇති නිසා මේ තත්ත්වය උද්ගත වන බව පැවසේ. එහෙත් ලෝහමය හයිඩ්‍රජන් භාවිත කළ හැකි නම් 100%ක්‌ විද්යුතය සන්නයනය කළ හැකි බව ය විද්‍යාඥයන් ගේ අදහස. ඔවුන් පවසන පරිදි හයිඩ්‍රජන් ලෝහය විද්යුතය සන්නයනයට කිසිදු ප්‍රතිරෝධයක්‌ නො පෙන්වන සුපිරි සන්නායක සතු ගුණ පෙන්වයි. ලෝහමය හයිඩ්‍රජන්වල තවත් එක්‌ අපූරු යොදාගැනීමක්‌ ලෙස යෝජනා කෙරෙන්නේ එය අභ්‍යවකාශ යානා ඉන්ධන ලෙස යොදාගැනීමට ඇති හැකියාවයි. එමගින් ඉතා හොඳ ශක්‌තියක්‌ සහ දූෂණය අවම වන ප්‍රතිඵලයක්‌ අත් කර දෙන බව විද්‍යාඥයයෝ පවසති. හයිඩ්‍රජන් ලෝහය ඉන්ධනයක්‌ ලෙස යොදාගැනීමේ තවත් වාසියක්‌ ලෙස ඔවුන් දකින්නේ වෙන දා යොදාගන්නා ද්‍රව හයිඩ්‍රජන්වල ප්‍රමාණයට වඩා අඩු ලෝහමය හයිඩ්‍රජන් ඉන්ධන ප්‍රමාණයක්‌ භාවිත කර වැඩි දුරක්‌ යැමට හැකි වීමයි. කෙසේ වෙතත් ලෝහමය ඉන්ධන මහා පරිමාණයෙන් නිපදවීමට හැකි වන්නේ නම් තවත් නොයෙකුත් යෙදීම් සදහා ඉඩ ප්‍රස්‌ථා මතු වනු ඇත.

ලෝහමය හයිඩ්‍රජන් පිළිබඳ අදහස මුලින් ම ලොවට ඉදිරිපත් කරන ලද්දේ විග්නර් සහ හනින්ටන් නමැති විද්‍යාඥයන් දෙදෙනා විසින් 1935 දී ය. ඔවුන් පැවසුවේ ගිගා පැස්‌කල් 25 දී පමණ හයිඩ්‍රජන් ලෝහමය තත්ත්වයට පත් කළ හැකි බවයි. එදා සිට අද දක්‌වා ම නොයෙකුත් පීඩන තත්ත්වවල මේ පර්යේෂණය සිදු කර ඇති අතර එමගින් විග්නර් සහ හනින්ටන් උපකල්පනය කළ පීඩනයට වඩා ඉතා අධික පීඩනයක්‌ අවැසි බව පැහැදිලි වී ඇත.

මතභේදාත්මක කරුණු කාරණා ඉස්‌මතු වුව ද ඉතා අගය කළ යුතු මෙන්ම ලෝකය පියවර ගණනාවකින් ඉදිරියට ගෙන යන පර්යේෂණයක්‌ ලෙස මෙය හැඳින්විය යුතු ය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද වඩා සතුටු දායක පුවතක්‌ වන්නේ මේ පර්යේෂණයේ සම අයිතිකරුවකු වී ඇත්තේ ද ශ්‍රී ලාංකිකයකු බැවිනි. කාලීන ව ඉතා අපූරු පර්යේෂණ අවස්‌ථාවක්‌ ලැබීමට ආචාර්ය රංග ඩයස්‌ මහතා වාසනාවන්ත වී ඇති බව අප පිළිගත යුතු ය. මන්ද යත් මෙරට දී මෙවැනි පර්යේෂණයක්‌ සිදු කිරීම සදහා අවශ්‍ය වන පසුබිම තවමත් නිර්මාණය වී නොමැති බැවිනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 15 August 2019


එදිනෙදා ජිවිතයට භූ විද්‍යාව




අගස්ති මාල
අපේ ආච්චිලා අත්තම්මලා ඉස්සර බොහොම උජාරුවට කරේ බැන්දේ අගස්ති මාල. අපූරු වයිරමත් එක්ක එන පාට පාට අගස්ති මාල බොහොමයක් ගෙනාවේ ඉන්දියාවෙන්. හැබෑවටම මොනවද මේ අගස්ති. අගස්ති කියන්නේ ඛණිජයක්. රසායනය නම් තිරුවානා වල රසායනයට සමානයි.  ඒ කියන්නේ...එකේ තියෙන්නේ සිලිකන් සහ ඔක්සිජන්. සිලිකන් ඩයොක්සයිඩ් (සිලිකා) කියලා කිව්වනං හරියටම හරි. අගස්ති නිර්මාණය වෙන්නේ බොහොම අපූරු විදියකට. තිරුවානා ඛණිජය තමයි ලෝකේ ජීර්ණයට බොහොම ප්‍රතිරෝධී ඛණිජය. ඒක රසායනිකව වෙනස් වෙලා ද්විතියික ඛණිජයක් බවට පත්වෙන්නේ නැහැ. කොහොමවුනත් ඉතා කුඩා ඇහැට නොපෙනන අංශු වලට බිඳුන සිලිකා ජලයේ  දිය නොවුනත් පා වෙන අංශු ලෙස ප්‍රවාහනය වෙන්නට පුළුවන්. එලෙස ප්‍රවාහනය වෙන සිලිකා අංශු කොහේ හෝ තැනක තැන්පත් වීමෙන් තමයි අගස්ති නිර්මාණය වෙන්නේ. නිදහසේ ගලා යන සිලිකා ද්‍රාවන බොහෝවිට පසේ හෝ පාෂාණ වල ඇති කුහර වල තැන්පත් වීමෙන් කුහරයේ හැඩයම වූ අගස්ති නිර්මාණය වෙයි. කුහරමය නිසා මෙම සිලිකා වලට තරමක් නිදහසේ ස්ඵටීකිකරණය  වෙන්න පුළුවන්. හැබැයි බොහෝවිට හැදෙන්නේ ඇහැට නොපෙනෙන ප්‍රමාණයේ ස්ඵටික. ඒක නිසා තමයි මෙවැනි ඛණිජ “ක්ෂුද්‍ර ස්ඵටික” ලෙස හඳුන්වන්නේ. හැබැයි අන්වීක්ෂයක් මගින් ස්ඵටික බලා ගන්නට පුළුවන්. විවිධ අවස්ථාවන් වල දී විවිධ රසායනයන් මිශ්‍ර වූ සිලිකා තැන්පත් වීමෙන් අපූරු රටා නිර්මාණය වන්නට හැකිවෙනවා. යකඩ ඔක්සයිඩ ඇතිවිට රත් පැහැය ලැබීම ඒකට උදාහරණයක්. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, කළු, සුදු වැනි අපූරු වර්ණ රටා ඇති අගස්ති අපට ස්වභාවයේ හමු වෙනවා. දැන් දැන් අලුත් පරම්පරාවත් මේ අපූරු ගල් මාල පළදින්නට කැමැත්තක් දක්වන බව පේනවා.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 14 August 2019




කඳුකරයේ නිවාස සහ නාය අනතුර .....!!!


වැස්ස ආයෙත් පටන් අරන්. කඳුකරයටත් වහිනවා. ඒක තමයි ලොකුම ගැටළුව. මොකද නාය යාමේ අවදානම තියෙන නිසා. නාය යාමේ අවදානම තියෙන දිස්ත්‍රික්ක මේ වෙනකොට ප්‍රධාන වශයෙන් එකොළහක් නම් කරලා තියෙනවා. ඒ තමයි මොණරාගල, බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට. ඊට අමතරව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කත් නාය අවදානම ඇතිවිය හැකි ප්‍රදේශ ලෙස සලකනවා. ඒකට හේතුව තමයි, මේ ප්‍රදේශවල ඉතා සීග්‍රයෙන් සිදුවන සංවර්ධන කටයුතු නිසා භුමියේ ස්ථාවරත්වය ට සිදුවිය හැකි බලපෑම. මේ නිසා කණ්ඩි කඩා වැටීම් සහ ගිලාබැසීම් වැනි තත්වයන් උද්ගතවන වෙන අතර මෙවැනි ආපදා ඉතාම බහුලව වාර්තා වෙනවා. එම තත්වය කඳුකර ප්‍රදේශ වලත් වැඩි වැඩියෙන් වාර්තා වෙනවා.

වැඩිවෙන ජගහනයත් සමග නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම් වල අවශ්‍යතාවය වැඩිවෙලා. ඒ  නිසා ඉතා සිඝ්‍රයෙන් සංවර්ධන කටයුතු සිදුවෙනවා. නමුත් මේ තත්වය පාලනය නොකළොත් වැඩිකාලයක් යන්නට මත්තෙන් විශාල ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවෙයි. ඒ අතර නාය යාමේ අවදානම ප්‍රමුඛව තියෙනවා. පාංශු ඛාදනය සහ ගංවතුරත් මේ අතර තියෙනවා. එනිසා ඉතා කඩිනම් දිගුකාලින වැඩපිළිවෙලක අවශ්‍යතාව තදින්ම තියෙනවා. විශේෂයෙන්ම කඳුකර ඉඩම් කළමනාකරණය සම්බන්ධව වාගේම පාංශු කළමනාකරණය සම්බන්ධවත්. එපමණක් නොවෙයි ජල පෝෂක ප්‍රදේශ වැඩි දියුණු කිරීම මෙන්ම කඳුකරයේ භූ ජලය කළමනාකරණයත් අත්‍යාවශය කාරණා.

බොහොමයක් දෙනා කඳුකර ප්‍රදේශවල ගෙවල් සෑදීමේ දී අනුගමනය නොකරන කරුණ තමයි තමාගේ ඉඩමට නාය යාමේ අවදානම ඇතිදැයි සොයා බැලීම. මේ කරුණ ඉතා සුවිශේෂී කාරණාවක්. ඉහත සඳහන් කල ප්‍රදේශවල ජිවත්වන ජනතාවට නම් නීති ප්‍රකාරව ම මේ සම්බන්ධව සොයා බැලිය යුතු වෙනවා. 2010 දී නිකුත්කළ කැබිනට් පත්‍රිකාව මගින් ප්‍රකාශ කර ඇත්තේ එම දිස්ත්‍රික්ක වල යම් කිසි සංවර්ධන කටයුත්තක් සිදුවන්නේ නම් ඒ හා සම්බන්ධ භුමියේ ස්ථාවරත්වය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් අනිවාර්යෙන්ම පරික්ෂා කර ගත යුතු බවයි. නිවාස ඉදිකිරිම සඳහා පමණක් නොව යම් ව්‍යාපෘතියක් සඳහාත් මෙය වලංගුයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉහත කී දිස්ත්‍රික්ක එකොළහක තම දිස්ත්‍රික්ක කාර්යාල පවත්වාගෙන යන අතර අදාළ දිස්ත්‍රික්කයේ ජනතාවයට එම කාර්යාල වලට ගොස් අදාළ සේවාව ලබා ගත හැකි වෙනවා.

නමුත් බොහෝ දෙනෙකු එම අවස්ථාව නිසි පරිදි ලබා ගන්නේ නැහැ. ඉඩම් පරික්ෂාකරවා ගැනීම් සඳහා ලැබෙන ඉල්ලීම් සලකා බැලීමේදී පෙනීයන ප්‍රභල කරුණ වන්නේ ජනතාව ස්ව කැමැත්තෙන් එසේ නොකරන බවයි. බොහෝවිට ණයක් ගැනීම වැනි හෝ තමන්ගේ නිවසේ හෝ ඉඩමේ සැලැස්ම ආදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමත කරවා ගැනීම වැනි හෝ කරුණක දී පමණක් එලෙස ඉඩම් පරික්ෂා කරවා ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට එන බවයි. නමුත් විය යුත්තේ එලෙස යම් යම් කොන්දේසි නිසා ඒ කාරිය කරවා ගැනීම නොව, ඇත්තෙන්ම තමනට ඇති අවදානම හඳුනාගැනීමට ක්‍රියා කිරීමයි.

කඳුකරයේ විශේෂයෙන්ම නිවාස ඉදිකිරීමේදී නාය අවදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්. බොහෝ දෙනෙකු ජිවත කාලයක් පුරා එකතුකරගත් තම ධනය වැයකර නිවස සාදාගන්නේ සැනසිල්ලේ ඉන්නටය. එනිසා ඇතිවිය හැකි ආපදා පිළිබඳව සැලකිලිමත් වීම අනිවාර්යෙන්ම කල යුතුය. භුමියේ අස්ථාවරත්වයක් ඇත්නම් එහි නිවසක් සාදා පලක් නොවන්නේම ය. එවැනි ස්ථාන කොයි මොහොතක හෝ අවදානමට ලක් විය හැක.  

බෑවුම් ඉඩම් වල නිවාස ඉදිකිරීමේ දී බෑවුම් කපා තම භුමිය සකස් කල යුතු වේ. පවතින සීමිත ඉඩත් නොදැනුවත් කමත් නිසා බොහෝ දෙනෙකු කපන ලද කණ්ඩියට ඉතා ආසන්නයෙන් හෝ කණ්ඩියට යාව තම නිවස ඉදිකරයි. ඒ වාගේම ඉදිරිපස භුමිය පස් පුරවා සකස් කර ගනී. බොහෝ දෙනෙකු ඒ සඳහා ස්ථාවර බැමි ඉදිකරන්නේ නැත. කපන ලද කණ්ඩිය සමහර විට ගෙටත් වඩා උසය. මේ කරුණු දෙකම එම භුමිය අස්ථාවර කරන්නට හේතුවෙයි. ස්ථාවරව තිබු කණ්ඩිය කැපීම නිසා අස්ථාවර වන අතර පවතින පාංශු වර්ගය සහ පාෂාණ අනුව ස්ථාවරත්වය කොපමණ කාලයක් තිබෙන්නේ ද යන්න තීරණය වේ. කලින් නාය ගිය භූමියක නම් එවැනි කණ්ඩියක පවතින්නේ සුන්පහන් පාංශු ද්‍රව්‍යයි. එවැනි අවසාදිත ඉතා පහසුවෙන් නාය යාමට ලක්විය හැකිය. කණ්ඩියේ දිරපු පාෂාණ ඇත්නම් ඒ ද අවදානම් සහිතය. ඉතා හොඳ අලුත් මව් පාෂාණය මතූ වූ කණ්ඩිවල හොඳ ස්ථාවරත්වයක් තිබුන ද කාලයක් යත්ම පාෂාණ ජීර්ණය නිසා පස් නිර්මාණය වී එම කණ්ඩි ද අස්ථාවර විය හැක. පාංශු ද්‍රවය  හෝ ජිර්ණිත පාෂාණ මතු වූ කණ්ඩි ස්ථාවර කිරීම අතවශ්‍ය කරුණක් බව සිහි තබා ගත යුතුය. භුමියේ පස් පිරවූ ඉදිරි පස කොටස ට නිසි ආරක්ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබා නොදුන්නේ නම් ඒ ද නාය යාමේ අවදානමට ලක් විය හැක. මේ තත්වය වැසි දිනවල වර්ධනය වන්නේ ක්‍රමාණුකුලව ජලය බැස යෑම සඳහා කානු පද්ධතියක් සකස් නොකර ඇති විටයි. ලිහිල් පස් අංශු අතරින් රිංගා යන ජලය ඉතා පහසුවෙන් එවැනි පිරවුම් අස්ථාවර කරන්නේ නිතැතින්ම ය. එනිසා කඳුකරයේ නිවාස තන්නන් මේ කරුණු ඉතා හොදින් සැලකිල්ලට ගත යුතුය.

වර්ෂා දිනවල දී වාර්තා වන බොහොමයක් නිවාසා හානි සිදු වී ඇත්තේ මේ හේතුවෙන් බව අධ්‍යන වලින් හෙළි වී ඇත. මේ තත්වය ඉදිරියේ දී වර්ධනය විය හැකි අතර නිතිය නිසා නොව තම ජිවිතයට ඇති අතවශයතාවය තේරුම් ගෙන නාය අවදානම ක් ඇත්තේ දැයි තහවුරු කර ගත යුතුය.  

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදුපත්ඉරුව
01.02.2017

"ලංකාවේ වැඩි ම වායු දූෂණය වාර්තා වෙන්නේ මහනුවරින් කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුවක්‌ වෙලා තියෙනවා කියලා කියන්නේ මාළිගාව ළඟ පාර වහපු එක ලු. වැව වටේ හිමිහිට වාහන යනකොට කොහොමත් වායු දූෂණය වැඩියි තමයි" මගේ මිත්‍රයෙක්‌ මේ ලඟ දි දවසක පැවසුවේ බොහොම කණගාටුවෙන්. "මේ නුවර ටවුම යටින් උමං මාර්ගයක්‌ හදන්න යෝජනා කරලා තියෙනව ලු. ඇයි දන්නෙ නැහැ තවමත් ප්‍රමාද. ඒක හැදුවා නං මාළිගාවත් බේරාගෙන මහනුවර වායු දූෂණයත් අඩු කරගන්න තිබුණා. අපේ මිනිස්‌සු හොඳ තීන්දු තීරණ ගන්න හරි ම පරක්‌කුයි." ඒ කතාවෙන් ඔහු මගෙන් පිළිතුරක්‌ බලා පොරොත්තු නො වන වගක්‌ හැඟී ගිය නිසයි මා නිහඬ වූයේ.

වායු දූෂණය සිදු වන්නේ වාහනවලින් විතරක්‌ නො වෙයි. කර්මාන්තශාලාවලින් පිට වන දූෂ්‍ය වායූන් ද වායු දූෂණයට ප්‍රධාන හේතුවක්‌. එතකොට නොරොච්චෝලෙන් කරන්නෙත් තදබල දූෂණයක්‌. කෙසේ වෙතත් වායූ දූෂණය සිදු කරමින් අප මේ නැති කරන්නේ මිනිසාට නිදහසේ පිරිසිදු වාතය හුස්‌ම ගැනීමේ පරම අයිතිය නො වේ දැයි ඔබ කී දෙනකු නම් කල්පනා කර ඇත්ද? එපමණක්‌ නො ව, අප මේ උල්ලංඝනය කරන්නේ ඔක්‌සිජන් තම ස්‌වසන කර්තව්‍යය සදහා භාවිත කරන අනන්ත අප්‍රමාණ ජීවීන් ගේ අත්‍යන්ත අයිතිය නො වේ ද? මේ අයුරින් ම ජලය ද පස ද ඉතා ම අප්‍රසන්න ලෙස දූෂණයට ලක්‌ කරන බව මා ඔබට අමුතුවෙන් පවසන්නට අවැසි නො වේ. ඉදින් මෙලෙස මේ අප යන්නේ කුමන ගමනක්‌ දැයි කෙලෙසක වත් සිතන්නට නොහැකි බව ඔබට වැටහේ වි.

මිනිසා සමස්‌ත පරිසරයෙන් කෙතරම් වියුක්‌ත වී දැයි පසුගිය සතියෙක අප සාකච්ඡා කළ බව ඔබට මතකයට නැෙග් වි. එමෙන්ම පාරිසරික සාධකවලට අනුගත ව මිනිසා සංස්‌කෘතීන් බිහි කර ඇති අයුරු ද අපි තරමක්‌ දුරට අප සාකච්ඡාවට ගත්තෙමු. ඒ සියල්ල සැලකිල්ලට ගත් කල, ඉතා දියුණු මොළයක සහ අපූරු ශරීරයක හිමිකරුවකු වී ඇති මිනිසා ගේ වර්තමාන ක්‍රියාකාරකම් කෙතරම් දුරකට ස්‌වාභාවික දැයි යන්න ඉතා ප්‍රබල විමසුමකට ලක්‌ කළ යුතු ගැටලුවකි.

මෙලොව ජීවයේ අත්‍යන්ත අරමුණ වන්නේ එය දිගින් දිගට ම පවත්වාගෙන යැම බව ඉතා හොඳින් පැහැදිලි වන සත්‍යයකි. උභය ජීවීන්, ද උරගයන් ද, පක්‌ෂීන් ද මෙන්ම ක්‌ෂීරපායින් ද ඉහත සඳහන් කළ සත්‍යය තුළ ක්‍රියාත්මක වන බව අපි හොඳින් දනිමු. ඔවුහු දරු පරපුරක්‌ බිහි කර තම පරම්පරාව ඉදිරියට පවත්වාගැනීමේ අසීරු සටනේ කොටස්‌කරුවෝ වෙති. පරිණාමයේ එක්‌ එක්‌ ආංශිකයන් ඔස්‌සේ මොවුහු ඉදිරියට යති. බැක්‌ටීරියා සහ ඇල්ගාවන් වැනි ප්‍රාථමික ජීවීන් ද මේ සන්දර්භය තුළ විවිධ උපක්‍රම භාවිත කර සිදු කරන්නේ මේ දෑ ම ය. තම ව්‍යාප්තිය සාර්ථකව සිදු කරගැනීම උදෙසා ජීවීන් සතු උපාය උපක්‍රම විවිධ ය. විචිත්‍ර ය. එමෙන් ම විටෙක සංකීර්ණ ය. සොබාවිකව හැඩගැසුණු මේ ජෛවීය ක්‍රියාදාමය පරිණාමිකව විවිධ හැලහැප්පීම්වලට ලක්‌ ව විකසනය වෙමින් පවතින බව පෙනී යයි.

බැක්‌ටීරියාවන් ගේ ඒක සෛලය විඛණ්‌ඩනය වීම සර්ව සම දුහිතෘන් බිහි කරන්නට හේතු වෙයි. මෙය ප්‍රාථමික ජීවීන් පෙන්වන සරල ම ව්‍යාප්ති ක්‍රියාදාමයයි.ඉන් ඔබ්බට යත් ම බීජාණු නිෂ්පාදනයත්, දේහයන් කැබැලි වී සිදු වන ව්‍යාප්තියත් අලිංගික ක්‍රමවේදයන් වේ. වර්තමානයේ උසස්‌ ශාකවල ව්‍යාප්තිය අතිශය පරිණාමයට ලක්‌ වී ගොඩබිම ව්‍යාප්තියට හැඩගැසී ඇත. ඇත. ජලයෙන් ගොඩබට ආ ජීවීන් ද මුල් ම කාලයේ ඒ සදහා අවැසි වූ ජලය මත යෑපීම දැන් දැන් අවම කරගෙන ඇත්තේ වසර මිලියන ගණනාවක සිදු වූ පරිණාමයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

උසස්‌ ජීවීන් අලිංගික ව්‍යාප්තිය අත් හැරීම තුළ ඇත්තේ වඩා දියුණු සුරක්‌ෂිත ව්‍යාප්තිය පමණක්‌ නො ව අලිංගික ව්‍යාප්තියේ ඇති දුර්වලකම් මගහැරීමක්‌ ද විය හැකි ය. ද්වි ලිංගිකයන් බිහි වීම සත්ත්ව ලෝකය තුල ව්‍යාප්ත වන්නේ වඩා උසස්‌ සහ අර්බුද අවම ජීවන රටාවක්‌ බිහි කරගැනීම උදෙසා වෙයි. ද්විලිංගික ස්‌වරූපය ශාක ලෝකය ආක්‍රමණය කර ඇත්තේ ඉතා කදිම ආකාරයට ය. සැමට පොදු එහෙත් එක්‌ එක්‌ සත්ත්වයන් ගේ සුවිශේෂිතා විවිධාකාරයෙන් එම සතුන් ව්‍යාප්ත කිරීමට හේතු වී ඇත.

මේ රටාව දැනට ලොව ඇති උසස්‌ ම ව්‍යාප්ති ක්‍රමවේදයයි. එය සැමට ඉහළින් සිටින මිනිසාට ද අනෙකුත් සතුනට මෙන්ම පොදු වූ ධර්මතාව වේ. මිනිසා ඇතුළු සත්ත්ව ලෝකයේ සියල්ලන් ගේ ම ද්විලිංගික ආකර්ෂණයේ අත්‍යන්ත අරමුණ වන්නේ පරම්පරාව ඉදිරියට ගෙන යැම පමණ ය. ජෛව ලෝකයේ පැවැත්ම ආරක්‌ෂා වන්නේ එලෙසිනි. මේ අනුව සොබාවික ලෝකය අනුමත කරන්නේ කුමක්‌ ද යන්න සැමට ඉතා හොඳින් පැහැදිලි වෙයි.

සොබාවිකත්වයෙන් වියුක්‌ත වීම අනුමත කළ නොහැකි වන්නේ ඉන් කෙදිනක වත් ජීවයේ ප්‍රධාන අරමුණ සඵල නො වන බැවිනි. සැමට ඉහළින් සිටින මිනිසා ගේ ඉතා අපූරු සංවේදී සංස්‌කෘතිය තුළ දැන් දැන් විකසනය වන්නේ කෙතරම් දුරකට සොබවිකත්වය අනුගමනය කරන ක්‍රියාදාමයක්‌ දැයි යන්න ගැටලුවකි. දියුණු සංස්‌කෘතීන් හිමි යෑයි පිළිගන්නා මනුෂ්‍ය කොට්‌ටාස පවා සොබාවිකත්වයෙන් මිදෙන්නට උත්සාහ දරන බව පෙනී යයි. ජීවයේ අත්‍යන්ත අරමුණ සාක්‌ෂාත් නො වීම යනු වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් කෙතරම් දියුණු ජීවී කොට්‌ඨාශයක්‌ වුව පෘථිවියෙන් අතුගා දැමෙන්නට ඉතා ප්‍රබල ලෙස බලපාන හේතුවක්‌ බව සංස්‌කෘතියේ සහ සභ්‍යත්වයේ දිග පළල සොයන්නන් මෙන්ම මානව හිමිකම් සහ සත්ත්ව හිමිකම් පටලවාගන්නන් හොඳින් තම මතකයේ රඳවාගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 13 August 2019

විදු පත් ඉරුව
25.01.2017

පෘථරිවියේ ජීවය පවත්වාගෙන යන්නට ප්‍රධාන අනුබලයක්‌ වී ඇත්තේ ජලයයි. ඒ බව ඉතා හොඳින් දැනෙමින් පවතින කාල වකවානුවකි අප මේ ගත කරන්නේ. මෙවර නියඟයක්‌ ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති මොහොහතක ජල සංරක්‌ෂණය සහ බීමට සුදුසු පිරිසිදු ජලය ලබා දීම සඳහා වහ වහා විධිමත් ක්‍රියාදාමයක්‌ දියත් විය යුතු ය. නියඟයේ බලපෑම පෙන්වමින් මේ වන විට විවිධ ගැටලු පැනනැෙගමින් පවතින පෙනී යයි. මහවැලි ගඟේ අවම ජල මට්‌ටම වත් මේ වන විට පවත්වාගෙන යා නොහැකි බව අන්තර් ජලාශ දිය දහරවල් නිරීක්‌ෂණයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ. ජලාශවල ජල මට්‌ටම අඩු වීම විදුලිය නිපදවීම සඳහා ෆොසිල ඉන්ධන දහනය දෙසට අප වඩ වඩාත් තල්ලු කරයි.

නියඟය ගංගා තුළට මුහුදු ජලය කාන්දු වීමට හේතුවක්‌ වෙයි. එනිසා ඒ අවට පිරිසිදු ජල මුලාශ්‍ර මුහුදු ජලය හා මිශ්‍ර වී බීමට ගත නොහැකි තත්ත්වයට පත් කරයි. මේ තත්ත්වය පසුගිය විවිධ කාල වකවානුවල ඇති වූ නියංවල දී කැලණි ගඟේ ද, කළු ගඟේ ද ඇති විය. මෙවරත් කළු ගඟේ මේ තත්ත්වය ඇති වෙමින් පවතින බව පෙනී ගොස්‌ ඇත. මුහුදු ජලය ගංගා ජලය හා මිශ්‍ර වීම ජලයේ දිය වී ඇති අයන මට්‌ටම ඉහළ නංවාලන්නට හේතු වෙයි. එනිසා අයනික සාන්ද්‍රණය ඉහළ යයි. අයන ගෙන එන්නේ ජලයෙහි දිය වූ ලවණ ය. මුහුදු ජලයේ අයන සාන්ද්‍රණය සැලකූ විට එහි බොහෝ විට වඩා ප්‍රමුඛව සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වැනි ධන අයන මෙන්ම ක්‌ලෝරීන්, සල්ෆේට්‌ වැනි Rණ අයන ද දිය වී ඇත. සෝඩියම් සහ ක්‌ලෝරීන් සාන්ද්‍රණ අධික ව ඇති නිසා එමගින් නිර්මාණය වන සෝඩියම් ක්‌ලොරයිඩ් ලවණය මුහුදු ජලයේ ප්‍රමුඛ ලවණය ලෙස හැඳින්විය හැකි ය. මුහුදු ජලයට ලුණු රසයක්‌ එක්‌ වී ඇත්තේ එනිසා ය.

විද්යුතය සන්නයනය කරන්නට අවැසි වන්නේ ඉල්ක්‌ට්‍රොaන වන අතර ධන සහ සෘණ අයන ඇත්නම් ඒ ද විද්යුතය සන්නයනය සදහා කදිම ය. ජලීය ද්‍රdවණ තුළින් විද්යුතය ගලා යන්නේ මේ ධන සහ සෘණ අයනවල ක්‍රියාකාරිත්වයෙනි. යම් ලවණයක්‌ ජලයේ දිය වී අයනවලට වෙන් වීම මේ කාරිය සදහා බෙහෙවින් ඉවහල් වෙයි. අධික ලවණතාව නිසා මුහුදු ජලය ඉතා හොඳින් විද්යුතය සන්නයනය කරයි. එනිසා මුහුදු ජලය ඉතා හොඳ විද්යුත් සන්නායකයක්‌ ලෙස හැඳින්විය හැකි ය. පිරිසිදු ජලය ඉතා අඩු ලවණ ප්‍රමාණයකට හිමිකම් කියයි. එනිසා ලුණු රසයක්‌ ගෙන දෙන්නේ නැත. විද්‍යාගාරයේ භාවිත කරන සංශුද්ධ ජලය නිපදවෙන්නේ එහි ඇති බොහොමයක්‌ අයන ඉවත් කිරීමෙනි. ප්‍රති ආසෘතියෙන් නිපදවෙන්නේ ද ලවණ හෝ අයන අඩු ජලයයි.

ද්‍රdවණයක ගැබ් වී ඇති හෝ දිය වී ඇති ලවණ හෝ අයන ප්‍රමාණය නිශ්චය කිරීම සදහා භාවිත කෙරෙන එක්‌ මිනුමක්‌ වන්නේ එහි සන්නායකතාව මැනීම ය. සන්නායකතාව යනුවෙන් හැඳින්වෙන්නේ යම් ද්‍රdවණයක්‌ තුළින් ගමන් කරවිය හැකි විද්යුත් ප්‍රමාණය වේ. "ඒකීය දුරක්‌ ගමන් කරන විද්යුත් ධාරාව" ප්‍රකාශ කෙරෙන ඒකකය වන්නේ 'සීමන්ස්‌' (Siemens) නම් වේ. 'සීමන්ස්‌' යනු ඒකීය විභව අන්තරයක්‌ (1V) ඇති විට නිපදවෙන ඒකීය විද්යුත් ධාරාව (1A) ලෙස හැඳින්විය හැකි ය. සම්මතයන්ට අනුව එවිට සන්නායකතාව ප්‍රකාශයට පත් කෙරෙන්නේ 'මීටරයට සිමන්ස්‌' (S/m) ලෙසිනි. මේ සම්මතයෙන් බිඳී 'මීටරයට මිලි සීමන්ස්‌' (mS/m) ලෙස හෝ 'මීටරයට මයික්‌රෝ සීමන්ස්‌' (μS/m) ලෙස ද යෙදෙන අවස්‌ථා ඇත. 'ප්‍රතිරෝධකතාව' සන්නයකතාවයේ පරස්‌පරය වේ. කෙසේ වෙතත් අප හොඳින් සිහි තබාගත යුතු කරුණ වන්නේ සන්නායකතාව වැඩි වීම යනු කිසියම් හෝ ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රdවණයක්‌ හෝ තුළ විද්යුත් ශක්‌තිය ඒකරාශි වීමක්‌ නො වන බවයි. නැත හොත් වැඩි සන්නයකතාවකින් යුක්‌ත ද්‍රdවණ යනු විද්යුතය ගැබ් වූ ද්‍රdවණ නො වන බවයි. අත්‍යන්තයෙන් ම ඉන් හැඟවෙන්නේ එහි පවතින අයන හෝ ලවණ හෝ සාන්ද්‍රණය පිළිබඳ මිනුමක්‌ පමණි.

සංශුද්ධ ජලයේ සාමාන්‍ය සන්නායකතා අගය වන්නේ 5රැ5µSරැප වන අතර බීමට ගන්නා ජලයේ එය 5-50 පීරැප අතර පමණ වූ අගයක්‌ ගනී. එම ප්‍රමාණය සංශුද්ධ ජලයේ සන්නායකතාව මෙන් දහස්‌ ගුණයක්‌ වෙයි. මුහුදු ජලය සැලකූ විට සන්නායකතාව 5 Sරැප පමණ වන අතර එම ප්‍රමාණය සංශුද්ධ ජලයේ මෙන් මිලියන ගුණයක්‌ පමණ වේ. මුහුදු ජලයේ ද එක්‌ එක්‌ සාගරවල සන්නායකතාව වෙනස්‌ වෙයි. වැඩි ම සන්නායකතාවක්‌ පෙන්වන්නේ මළ මුහුදෙහි ය. ගංගාවල වුව ද සන්නායකතාව අඩු වැඩි වෙයි. ගංගාවක පටන් ගැන්මේ ඇති ජලයෙහි සන්නයකතාවට වඩා වැඩි සන්නායකතාවක්‌ එහි පහළට යත් ම නිරීක්‌ෂණය කළ හැකි වේ.

ගංගාවක ජල මට්‌ටම අඩු වන්නට නියඟය ප්‍රබල ලෙස බලපායි. එමෙන් ම ගඟෙහි ගැඹුර වැඩි වීම ද එම තත්ත්වය වර්ධනය කරන්නට හේතු වෙයි. මෙනිසා මුහුදු ජලය රට තුළට කාන්දු වීමේ හැකියාව වැඩි වෙයි. වර්තමානයේ ගංගාවල ගැඹුර වැඩි කරන්නට හේතු වී ඇත්තේ ද අධික ලෙස වැලි ගොඩ දැමීමයි. ඒ හා සමගාමීව ගංගා ජලයේ වේගය අඩු වීම ද මුහුදු ජලය රට තුළට ගෙන ඒමට හේතු වන බව පැවසිය යුතු ය. එපමණක්‌ නො ව දිගුකාලීන ව ගත් කල මුහුදු මට්‌ටම ඉහළ යැම ද මේ සදහා හේතු වෙයි. ඉඩෝරය නිසා ජලයේ සාන්ද්‍රගත වීම ද, ලවණ මිශ්‍රිත ඛනිජ නිධි ජලයේ දිය වීම ද මතුපිට සහ භූගත ජලයේ සන්නායකතාව වැඩි කිරීමට හේතු විය හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
දැඩියාව වැඩිම දියමන්ති නොවෙයි..?
ලෝකයේ දැඩියාව (hardness) වැඩිම ඛණිජය දියමන්ති ලෙසයි අපි දන්නේ. ඔන්න මේ ජනේරුවේ ඊශ්‍රායලයෙන් අලුත් ඛණිජයක් සොයාගෙන තියෙනවා 'කාර්මෙල්ටාසයිට්' (Carmeltazite) කියලා. ඒකේ දැඩියාව භූ විද්‍යාඥයින් කියන අන්දමට දියමන්ති වලටත් වඩා වැඩියි. මැණික් පතලකින් සොයාගත් මේ අපුරු අලුත් ඛණිජය එහෙ මැණික් වෙළෙන්දෝ හඳුන්වන්නේ නම් “කාර්මෙල් නිල්” කියලා. මොකද එහෙ වැඩිපුරම ලැබෙන්නේ නිල්, රතු, කහ වැනි කොරන්ඩම් කුලයේ මැණික්. කොරන්ඩම් තමයි දෙවනියට වැඩිම දැඩියාවක් ඇත්තේ.
ඊශ්‍රායලයේ සෙව්ලුන් (Zevulun) නිම්නයෙන් තමයි මේ අලුත් ඛණිජය ලැබෙන්නේ. මේ ප්‍රදේශය ආග්නේය පාෂාණ ඇති පැත්තක්. පෙනුමෙන් සහ රසායනයෙන් නිල් සහ රතු මැණික් වලට සමානයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ මැණික් වල පැහැය කළු, නිල්, කොළ සහ තැඹිලි පැහැයෙන් හමුවන බවයි පෙනී යන්නේ. ඩයිනොසෝරයන් රජකළ ක්‍රිටේසියස් යුගයේ හට ගත් ගිනිකඳු හේතුවෙන් මේවා බිහිවන්නට ඇතැයි භූ විද්‍යාඥයින් විශ්වාස කරනවා.




Sunday, 11 August 2019

විදුපත්ඉරුව
18.01.2017

පෘථිවියේ ඇති 'ආනතිය' හේතුවෙන් සුවිශේෂී දේශගුණික කලාපයන් නිර්මාණය වී ඇත. හිරු ගේ කිරණ ලැබෙනා පිළිවෙළ නිසා හිරු ගේ ශක්‌තිය උපරිමයෙන් ලබාගන්නට නිරක්‌ෂයට හැකියාව ලැබී තිබේ. එමෙන් ම ධ්‍රැවාසන්නයට තීව්‍රතාවෙන් අඩු හිරු කිරණ ලැබෙනා බැවින් ඉතා අඩු ශක්‌තියක්‌ ලැබෙන බව එහි දේශගුණික තත්ත්වය නිරීක්‌ෂණයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ.

විවිධ පරිසර ජයගැනීමට මිනිසාට හැකියාව ලැබී තිබෙන්නේ ඇත්තෙන් ම ඒ එම පරිසරයට අනුව ජීවත් වන්නට හැඩගැසීමෙනි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මෙලෙස සිදු වූ පෙරළිය විවිධ සමාජ සංස්‌කෘතීන් බිහි කරන්නට හේතු වී ඇත.

ධ්‍රැවාසන්න ප්‍රදේශ ශක්‌ති ඌනතාවකින් පෙළෙනා බව පිළිගත යුතු ය. තාප ශක්‌තියේ ඌනතාව ඉතා ප්‍රබල ලෙස බලපාන බව එම ප්‍රදේශවලින් විකසනය වූ සමාජ සංස්‌කෘතීන් විග්‍රහ කිරීමේ දී පෙනී යයි. පවතින දරුණු ශීත දේශගුණික තත්ත්වය ඔවුන් සමනය කරගන්නේ තමන් ගේ මුළු ශරීරය ම බාහිර පරිසරයෙන් වියුක්‌ත කර ගැනීමෙනි. ඒ සදහා ඔවුහු විවිධ උපක්‍රම භාවිත කරති. ඇඳුම් පැළදුම් ඒ අතර ප්‍රමුඛ වෙයි. දෙඅත් මෙන්ම දෙපා ද ආවරණය සදහා මේස්‌ පැළඳීම, දෙකන් වැසෙන සේ හිස්‌ ආවරණ පැළඳීම පමණක්‌ නො ව ගෙල ප්‍රදේශය ශීතලෙන් ආරක්‌ෂා කරගැනීම සඳහා කරපටි පැළඳීම ද ඔවුන් ගේ සිරිත වෙයි. නිසි පරිදි ගෙල ප්‍රදේශය අරක්‌ෂා නො වුණ හොත් පෙනහළු ආශ්‍රිත රෝග වැළඳෙන බව ඔවුහු ඉතා හොඳින් දනිති. එනිසා ගෙල ආරක්‌ෂක ඇඳුම් නොවරදවා ම පළඳින්නට ඔවුහු වගබලාගනිති. බොහෝ විට අඳුරු හෝ කළු පැහැති පැහැති ඇඳුම්වලට මූලිකත්වය හිමි වී ඇත්තේ සියලු ආලෝක කිරණ උරාගැනීමට පහසු වන බැවිනි. අද වන විට මෙවැනි දේ මෝස්‌තරයන් වී විවිධ ඇඳුම් විලාසිතා නිර්මාණය වී ඇත. එහෙත් එහි අත්‍යන්ත අරමුණ වන්නේ ශීතලෙන් අරක්‌ෂා වී ශරීරය උණුසුම් ව තබාගැනීමයි.

ශීත රටවල ඇඳුම් පැළඳුම් පමණක්‌ නො වේ ආහාර පාන ද, ආහාර පාන ගන්නා ආකාරය ද හැඩගැසී ඇත්තේ සැම විට ම උණුසුම රඳවාගනිමින් ශීතලෙන් මිදෙනා පරිදි ය. රත් කර උණුසුම් ව වහ වහා අනුභවය ඔවුන් ගේ සිරිතයි. දෙඅත් සේදීම සඳහා ජලය භාවිතයෙන් මිදෙන්නේ කෝටු කැබැලි හෝ හැඳි හෝ ගෑරුප්පු වැනි මෙවලම් භාවිතයෙනි. එවිට දෙඅත් සේදීම අවශ්‍ය වන්නේ නැත. ජල පානය අසීරු බැවින් ඒ වෙනුවට සුප් වැනි දියරමය ආහාර හෝ වයින් වැනි මද්‍යසාර මිශ්‍රිත පානයන් ඔවුන් ගේ සංස්‌කෘතියේ විකල්ප වේ. එමෙන් ම ශීත කාලයේ නිතර ම ගෘහාශ්‍රිත ව ජීවත් වන්නට ඔවුහු තැත් කරති. තවත් බොහෝ ක්‍රියාකාරකම් සහ උපකරණ මොවුන් ගේ සංස්‌කෘතිය තුළ දක්‌නට ලැබෙන්නේ ඒ හැම දෙයක්‌ ම ඉලක්‌කගත වී ඇත්තේ අවසානයේ දී ශීතලෙන් මිදී උණුසුම ආරක්‌ෂා කරගත හැකි වන පරිදි ය. එය ඔවුනට ඒ තරමට වැදගත් සහ අත්‍යවශ්‍ය බැවිනි.

සමකසාන්නයේ ජීවත් වන්නන්ට පිරී ඉතිරී යන්නට උණුසුම ලැබෙනා බැවින් උණුසුම රඳවාගන්නට අවැසි වන්නේ නැත. ඔවුනට වැදගත් වන්නේ වැඩි උණුසුම පිට කර සමනය කර ගැනීමට ය. එනිසා ම ඇඳුම් විලාසිතා මුළුමනින් ම එහි වෙනස්‌ ය. අඩු ඇඳුම් ප්‍රමාණයක්‌ මෙන්ම ඝනකමෙන් අඩු තුනී ඇඳුම් සදහා මෙහි දී ප්‍රමුඛතාව ලැබේ. සුදු පැහැය අත්‍යන්තයෙන් ම සියලු ආලෝක කිරණ පරාවර්තනය කරනා බැවින් ශරීරයේ උණුසුම අඩු කරගැනීමට මහඟු සහායක්‌ ලබා දෙයි. දෙපා ආවරණය වන පරිදි පාවහන් පැළඳීම අවශ්‍ය වන්නේ ද නැත. හැඳි ගෑරුප්පු කිසිවක සහාය ද අවැසි වන්නේ නැත. ජලය භාවිතයේ අපහසුතාවක්‌ කිසි විටෙකත් පැන නො නගින බැවින් ද ශරීර සිසිලනය සදහා අත්‍යවශ්‍ය සාධකයක්‌ බැවින් ද ජලය මූලික කරගත් සංස්‌කෘතියක්‌ බිහි වන්නට මෙය හේතු වී ඇත. බොහෝ ක්‍රියාකාරකම් එළි පහළියේ සිදු කරන්නට ඔවුන් පෙලඹී ඇත.

දේශගුණයේ ඇති වන වෙනස්‌කම් මෙලෙස එකිනෙකට වෙනස්‌ සංස්‌කෘතීන් බිහි කරන්නට හේතු වී ඇත. එනිසා එකිනෙකට වෙනස්‌ විටෙක පරස්‌පර විරෝධී සිතුම් පැතුම් පමණක්‌ නො ව චාරිත්‍ර වාරිත්‍ර ද හමු වෙයි. මේ වෙනස මෙරටේ බොහෝ දෙනකු තේරුම් නො ගෙන ඇති බව ඉතා සරල දෑවලින් පෙනී යයි. ඉහින් කනින් දාඩිය බේරෙන දහවලේ කරපටි ද කබා කුරුත්තා ද ඇඳ උජාරුවට යන මිනිසුන් මෙරටේ හමු වන්නේ පාරිසරික සහ දේශගුණික වෙනස තේරුම් නො ගන්නා බැවින් යෑයි සිතේ. මෙය මුළුමනින් ම විහිළුවක්‌ බවට පත් වී ඇත්තේ ඔවුන් ශිෂ්ට සම්පන්න බව මැනීමට යොදාගන්නා ප්‍රධාන නිර්ණයක්‌ බවට එවැනි දෑ පත්කරගැනීම ද හේතුවෙනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 9 August 2019

විදුපත්ඉරුව
11.01.2017


ඉකුත් සති අන්තය අතිශය කාර්යබහුල එකක්‌ විය. ඒ අන් කිසිවක්‌ නිසා නොව ගංවතුර උවදුරට ලක්‌ වූ කැලණි ගං මිටියාවතෙහි ජීවත් වන කොළඹ අවට ජනතාවට සිදු වූ හානිය තක්‌සේරු කිරීමේ දුෂ්කර කාර්යයක්‌ කරන්නට සිදු වීමයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැම විට ම මෙවැනි අභියෝගාත්මක කාර්ය සදහා උර දෙන්නට සැදී පැහැදී සිටිනා නිසාත්, මෙවැනි දෑ පිළිබඳව ධනාත්මකව සිතනා පිරිසක්‌ එහිඇති හෙයිනුත් බොහෝ උද්යෝගිමත් ලෙස ද කාර්යශූර ලෙස ද මෙන්ම විනෝදාත්මකව ද එම සමීක්‌ෂණය සිදු කරන්නට හැකි වූ බව පැවසිය යුතු ය.

මේ ගංවතුර උවදුර සිදු වී බොහෝ කල් වුව ද පශ්චාත් ආපදා කළමනාකරණ කටයුතු නිසි පරිදි සිදු කරන්නට කඩිනම් වැඩපිළිවෙළක්‌ අදාළ වගකිවයුතු ආයතනවලට නොමැති වීම පිළිබඳව කණගාටු විය යුතුවාක්‌ මෙන්ම ඉතා වගකිවයුතු ලෙස ඔවුන් ගේ අවධානය ද මේ කෙරෙහි යොමු විය යුතු බව පැවසිය යුතු ය. මෙවැනි ආපදාවන්ට ලක්‌ ව අවතැන් වන ජනතාව උදෙසා බොහෝ ආධාර උපකාර මුල් ම කාලයේ ලැබෙනා මුත් කල් යත් ම ඔවුන් පිළිබඳ මතකය අමතක වන බැවින් ස්‌ථිරසාර විසඳුමක්‌ ඉතා කෙටි කලකින් ස්‌ථාපනය කළ යුතු ය. එවැනි වැඩපිළිවෙළක්‌ සැකසීම එතරම් අසීරු දෙයක්‌ නො වේ. මන්ද යත් ගං වතුර උවදුර මෙරටට අලුත් දෙයක්‌ නො වනා බැවිනි. සැම ගං වතුර ආපදා අවස්‌ථාවක දී ම ලබාගන්නා අත්දැකීම් ඊළඟ සිදුවීම කළමනාකරණය කරගැනීම සදහා යොදා නො ගැනීම ද මෙහි දී අවාසිදායක තත්ත්වයන් නිර්මාණය කරන බව සිහි තබාගත යුතු ය.

පසුගිය වසර බොහෝ ආපදා ගෙන දුන් වසරක්‌ විය. ස්‌වාභාවික සංසිද්ධීන් හේතුවෙන් හටගත් උපද්‍රව (Hazard) මේ බොහොමයක්‌ ආපදාවනට (Disasters) හේතු වූ බව පෙනී යයි. පසුගිය මැයි මාසයේ ක්‍රියාත්මක වූ අසාමාන්‍ය කාලගුණික විපර්යාසයන් නිසා ගංවතුර උවදුර සහ නාය අනතුරු ද කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්‌ත්‍රික්‌ක බෙහෙවින් ම කළඹවාලන්නට හේතු වූ බව රහසක්‌ නො වේ. ආපදා අවදානම අවම කිරීමේ (Disaster Risk Reduction) බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද ස්‌වාභාවික සංසිද්ධීන් නිසා ඇති වන උපද්‍රවයන් (Natural Hazard) හට අභියෝග කළ නොහැකි බව වරින් වර සිදු වන ආපදා මගින් අපට පෙන්වා දෙනු ලබන බව සිතිය හැකි ය.

ගංවතුර උවදුර පිළිබඳව පෙර සූදානමක්‌ තිබුණ ද මෙවර අනතුරට ලක්‌ වීම පිළිබඳව ජනතාවට ද යම් තරමකට දොස්‌ පැවරිය යුතු ය. විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කර සිදු කරන අනුමානයන් (Predictions) පිළිබඳව ජනතාව සතුටුදායක ලෙස ප්‍රතිචාර දැක්‌විය යුතු ය. මෙවර එලෙස නො කිරීමේ ප්‍රතිපල ඔවුන් පමණක්‌ නො ව අප ද භුක්‌ති විඳින බව කිව යුතු ය. යම් පිරිසක ගේ අත්තනෝමතික තීරණ මහජනතාව ගේ මුදල්හදල් පමණක්‌ නො ව බොහෝ පිරිසක ගේ කාලය ද කා දමන බව කිව යුතු ය. මෙවර සිදු වූ ගං වතුර උවදුරේ දී අදාළ ආයතන ලබා දුන් අනතුරු ඇඟවීම් අනුව ජනතාව ක්‍රියාත්මක වූවා නම් බොහොමයක්‌ අලාභ හානි අවම කරගන්නට තිබිණි.

මේ තත්ත්වය නාය උවදුර අවම කිරීමේ ව්‍යාපෘති කෙරෙහි ද ඉතා දරුණු ලෙස බලපාන බව පෙනී යයි. මේ වන විටත් නාය අනතුර සිදු විය හැකි යෑයි අනුමාන කරන ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ අධි අවදානම්, මාධ්‍ය අවදානම් සහ අඩු අවදානම් ලෙස කලාපකරණයට ලක්‌ කොට ඇත. එම ප්‍රදේශ සිතියම්ගත කර ඇත්තේ භූ විද්‍යාඥයන් ගේ ප්‍රබල සහ කැපී පෙනෙන මැදිහත් වීම මත වන අතර ඔවුන් කැප කළ කාලය පමණක්‌ නො ව වැය කර ඇති ධනය ද බොහෝ වෙයි. ඒ සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලද ප්‍රමුඛ දායකත්වය අතිමහත් බව කිව යුතු ය. ඒ සියල්ල මහජනතාව ගේ මුදල් වෙයි. යම් ප්‍රදේශයක පාෂාණ වර්ගය සහ එහි ව්‍යqහාත්මක ලක්‌ෂණ, භූමියේ ආනතිය, ජලවහන රටාව යනාදී ප්‍රමුඛ කරුණු ගණනාවක්‌ කේන්ද්‍ර කොට සකසන ලද මේ සිතියම් සැකසීම සදහා භූ විද්‍යාත්මක දැනුම සහ ප්‍රායෝගික භාවිතය අතිශය වැදගත් වේ. ලංකාවේ මධ්‍යම කඳුකරය ඇතුළු දිස්‌ත්‍රික්‌ක 13ක්‌ සඳහා නිර්මාණය කරන ලද මේ සිතියම් සැම අදාළ පළාත් පාලන ආයතනයක්‌ වෙත ම ලබා දී ඇති අතර අවශ්‍ය වේ නම් යම් අයකුට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය වෙතින් ද ලබාගත හැකි ය. එහෙත් වැදගත් වන්නේ එම සිතියම් හමස්‌ පෙට්‌ටියේ දමා පරෙස්‌සම් කිරීම නො ව භාවිතයට ගැනීමයි.

මැයි මාසයේ සිදු වූ නාය ආපදා සමීක්‌ෂණ කටයුතුවල දී පෙනී ගිය කරුණක්‌ වන්නේ මේ සිතියම් පිළිබඳව ජනතාව ගේ ඇති අඩු දැනුවත්භාවයයි. එනිසා ම බොහොමයක්‌ ජනතාව නව නිවාස තැනීමේ දී මේ සිතියම් භාවිත කර තම ඉඩම පිළිබඳව තොරතුරු විග්‍රහ කර නො ගන්නා බව පෙනී යයි. නාය අවදානම ඇති දැනට නම් කර ඇති මේ දිස්‌ත්‍රික්‌ක 13හි ම බොහොමයක්‌ ජනතාව මේ පිළිබඳව දැනුවත් කර ඇතත් මෙවැනි දේ ඔවුන් ගේ ග්‍රහණයට හසු වී නොමැති බව විටෙක ප්‍රායෝගිකව ම පෙනී ගිය කරුණකි. එහෙත් පුදුමය වන්නේ සමහර පිරිසක්‌ ඉතා හොඳින් මේ තත්ත්වය ග්‍රහණය කරගෙන තිබීමයි. මෙවැනි අනතුරක්‌ සිදු වන අවස්‌ථාවල දී ඔවුන් ගේ ක්‍රියාකාරිත්වය ඉතා ප්‍රශංශනීය බව කිව යුතු ය. මෙහි ලා භූ විද්‍යාඥයන් ගේ කාර්යභාරය අතිශය තීරණාත්මක බව කිව යුතු ය. භූ විද්‍යාඥයන් හෝ ප්‍රබලව එම දැනුම ග්‍රහණය කරගත්තකුට හැර අන් අයකුට නාය ආපදා පිළිබඳ වූ මූලික සිද්ධාන්ත සාමාන්‍ය ජනතාවට පැහැදිලි කළ නොහැකි බව පිළිගත යුතු ය. ඔවුනට ඉතා යහපත් ලෙස පවතින සහ ඇති වන අවදානම පිළිබඳව මනා අවබෝධයක්‌ ලබා දිය හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 8 August 2019

විදුපත්ඉරුව
04.01.2017

ඔබ සියලු දෙනාට ම ලැබුවා වූ නව වසර ඔබ ගේ ප්‍රඥාවේ අභිවෘද්ධියට හේතු වන නව වසරක්‌ වේවායි පතමින් ම මේ අවුරුද්දේ මා මේ තීරය ඔස්‌සේ තබන පළමු සටහනයි මේ. එහෙත් මෙය ඔබට කියවන්නට ලැබෙන්නේ නව වසර ආරම්භ වී දින හතරක්‌ ම ගෙවී ගොස්‌ අවසාන වූ විටයි.

පළමු වැනි දා ඉරිදා වූ බැවින් බොහෝ දෙනකු ලැබූ අලුත් අවුරුද්දේ සතුට විඳිමින් විවේකයෙන් ගත කරන්නට ඇති. දෙවැනි දා වූ සඳුදා, අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කළ ප්‍රථම දිනය නැත හොත් අලුත් අවුරුද්දේ ඔබ ගේ පළමු පාසල් දිනය. කාර්යාලයේ නම් එදින අවුරුදු සැමරුම් සමග කිරිබත් ඇතුළු කැවිලි මේස, තේ පැන් සංග්‍රහ, සුබපැතුම් සහ අනුශාසනාවලින් අඩුවක්‌ නො වන්නට ඇති. තුන්වැනි දා සුපුරුදු පරිදි කාර්යාල කටයුතු ඒ අයුරින් ම වෙන දා පරිදි සිදු වන්නේ අතරින් පතර අලුත් අවුරුදු සුබපැතුම් ද එක්‌ කරමින්. ජනවාරි මාසය එලෙස ගෙවී යද්දීත් පෙබරවාරිය එළෙඹෙදදීත් අප බොහෝ කාර්ය බහුල වී හෝ ගැටලුවලට මැදි වී දින වකවානු ගත වන බව අමතක වේ වි. දෙසැම්බරය ලබද්දී මෙතරම් ඉක්‌මනට ම අවුරුද්ද ගෙවී ගිය බව සිතමින් ඔබ පුදුමයට පත් වේ වි. එවිට ගෙවුණු වසරේ සිදු කළ දෑ මොනවා දැයි යන්න පැහැදිලිව ආවර්ජනය කළ හැකි වන්නේ ද?

දින 365ක්‌ ගත වී නව වසරක්‌ ලබන්නේ නව බලාපොරොත්තු ද ජීවිතයට ළං කරමින්. එම බලාපොරොත්තු සාක්‌ෂාත් කරගැනීමට වෙර දැරීම සහ ඒ ස`දහා මාර්ග පාදාගැනීම විවිධ අයුරින් සිදු වන්නේ පුද්ගල හැකියාව මත බැවින් සමූහයක ජයග්‍රහණ පවා ධෛර්ය සම්පන්න මිනිසුන් ගේ නායකත්වය මත රඳා පවතින බව සුපැහැදිලි කරුණක්‌. එය රටක, ජාතියක, ආයතනයක සාධාරණ දියුණුව දිගුකාලීනව සාර්ථක වන්නට ද එනිසා ම රටෙහි, ආයතනයෙහි, ජනතාව ගේ පුද්ගල සාර්ථකත්වය නංවාලන්නට ද හේතු වන බව කිව යුතුයි. රටක, ආයතනයක නායකත්වය සාමකාමී, සාධාරණ, අවංක සහ නීතිගරුක වන විට එහි ජනතාව ද නිතැතින් ම එම නිවැරැදි මාවත තෝරාගන්නා බව අත්දුටු දෙයක්‌. එලෙස ම අවංක සහ සාධාරණ සමාජයක්‌ තුළින් බිහි වන්නේ ද එවැනි නායකත්වයක්‌ බව සිහි තබා ගත යුතුයි. බොරුවට සහ රැවටීමට සැම කල්හි ම දීර්ඝායුෂ නොමැති හෙයින් එතුළින් බිහි වන නායකත්වය ද කෙටි කාලීනයි. මෙවැනි කරුණු මේ නව වසරේ සිහි තබාගැනීම අප සියලු දෙනා ගේ ම සාර්ථකත්වයට හේතු වනු ඇති.

ලැබුවා වූ නව වසර ගත වන ආකාරය කලින් සැලසුම් කළ හැකි නම් එය ඉතා පහසුයි. එහෙත් සැම විට ම එසේ වන්නේ නැහැ. අහඹු සහ අවිනිශ්චිත සිදුවීම් ස`දහා කොතෙකුත් අවස්‌ථාවන්වල මුහුණපෑමට අපට සිදු වනවා. විටෙක ඒවා ජීවිතයේ මුහුණ දෙන්නා වූ අභියෝග. එවැනි අභියෝගයන් හට සාර්ථකව මුහුණ දීමට හැකි වන්නේ ක්‌ෂණිකව ප්‍රතික්‍රියා කිරීමෙන් නො ව දෙතුන් වරක්‌ සිතා බලා ප්‍රතිචාර දැක්‌වීමෙන්. ලබන සැම දිනක්‌ ම ඊට පෙර දින සැලසුම් කළ යුතුයි. අවිනිශ්චිත අභියෝගවලට මුහුණ දීමට කුමන මොහොතක දී හෝ සිදු වන බව සිත්හි රඳවාගැනීම ද, ඒ පිළිබඳව නිරතුරු ව ම බලාපොරොත්තුවෙන් සිටීම ද, මුහණ දීමට සිදු වන අභියෝගය කුමක්‌ වුව එයට සූදානම් වීම ද එහි ලා සාර්ථකත්වයට ම`ගපාදයි.

දිනෙන් දින සැලසුම් කිරීම සාර්ථක සතියක අවසානයයි. සති හතරක සාර්ථකත්වය මාසයක දියුණුවට ම`ගපෙන්වයි. ආවර්ජනය සිදු කළ වැරැදි පෙන්වා දෙනු ලබන අතර නිති සැලසුම් ම`ගින් එම වැරැදි නිවැරැදි කරගන්නට අවස්‌ථා ලබා දෙයි. පුද්ගලයකු ගේ පමණක්‌ නො ව රටක, ආයතනයක පවා සාර්ථක ගමනකට පසුබිම සැකසෙන්නේ එලෙසින්. නිති සැලසුම් සහිත දිනයන් ඇත්තකුට නව වසර එළඹීම ද තවත් එක්‌ දිනයක්‌ පමණක්‌ වනු ඇත්තේ එනිසාවෙන්. මෙහි දී බලාපොරොත්තුව සැම විට ම සාර්ථක ජීවන ගමනකට අවැසි ගාමක බලය ලබා දෙන අතර බලාපොරොත්තු කඩ වීම් යනු පසුබැසීම් නො ව නව සැලසුම් සහිත නව මාවතකට යොමු කිරීමක්‌ බව අප ඉතා හොඳින් සිත්හි ධාරණය කරගත යුතුයි.

අවිනිශ්චිත නො වූ මුත් හොඳින් හඳුනාගත් අභියෝග රැසක්‌ ලෝ වැසියන් වන අප ඉදිරියේ ඇති බව අමතක කළ යුතු නැහැ. සජීවී ප්‍රාග් ජීව ධාතුවක්‌ (live Fossil) ලෙස වුව ද නම් කළ හැකි හෝමෝ සේපියන්ලා වන අප වඳ වී යැමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින බව ඔබ නො දන්නවා ඇති. ඒ කිසිවක්‌ නිසා නො ව අප ම සිදු කර ඇති අතිශය අනුවණ සහ නො ගැලපෙන ක්‍රියාකාරකම් නිසාවෙන්. උදාහරණයකට අපට මුහුණ දීමට සිදු වන අංක එකට ඇති අභියෝගය වන්නේ නුදුරේ දී ඇති වන ආහාර හිඟයට පිළිතුරු සෙවීමයි. එපමණක්‌ නො ව පිරිසිදු වතුර ස`දහා වන අභියෝගය එයට දෙවැනි නො වෙයි. පිරිසිදු වාතය අපට පමණක්‌ නො ව අනෙකුත් පාරිසරිකයන්ට තම ජීවිතය රැකගැනීමට බෙහෙවින් ම ඉවහල් වෙයි. එනිසා පිරිසිදු වායුගෝලයක්‌ පවත්වාගැනීම අප හමුවේ ඇති තෙවැනි අභියෝගය වෙයි. එපමණක්‌ නො ව අප ගේ සහෝදර සහෝදරියන් සේ හිඳින සතුන් සහ ශාක ප්‍රජාව රැකගැනීම ද අප සතු තවත් අභියෝගයක්‌ වනුයේ අප ගේ පැවැත්මට ද මොවුන් ගේ පැවැත්ම අතිශය තීරණාත්මක වන බැවින්.

මේ වසර තනි තනි පුද්ගලයන් ලෙස ද මේ අභියෝග ජයගැනීම ස`දහා දායක වන්නට අප තීරණය කළ යුතුයි. ආහාර අපතේ නො යෑවීම, පෝච්චියක වුව පලතුරක්‌, එළවළුවක්‌ වගා කරගැනීම, ජලය අපතේ නො යෑවීම සහ අපිරිසිදු නො කිරීම, කුණු කසළ නිසි පරිදි බැහැර කිරීම, පොලිතින් වැනි කෘත්‍රිම දෑ භාවිතය අත්හැරීම, යන්නට ඇති සුළු දුර ඇවිදීමට පුරුදු වීම, විදුලිය අරපරෙස්‌සමෙන් භාවිත කිරීම වැනි කරුණු කාරණා අප ගේ දෛනික ජීවිතයට එක්‌ කරගැනීම ම අප හමුවේ ඇති ඒ විසල් අභියෝග ජයගන්නා මාවත විවර කරනු නොඅනුමානයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 7 August 2019

විදුපත්ඉරුව
14.12. 2016

පසුගිය මාස කිහිපයේ බොහෝ වාර ගණනක්‌ යාපනය අර්ධද්වීපය කරා යන්නට මට සිදු වූයේ එහි සිදු කරමින් පවතින විශේෂ පර්යේෂණයක්‌ උදෙසා s. පසු ගිය ජනවාරියේ අච්චුවේලි ප්‍රදේශයේ වගා බිමක සිදු වූ ගිලා බැසීමට (Sunsidence) හේතුව කුමක්‌ දැයි සෙවීම එහි මූලික අරමුණ විය. එය කේන්ද්‍ර කරගනිමින් විවිධ පර්යේෂණ ක්‍රමවේද යොදාගෙන අප ගේ පර්යේෂණය මේ දිනවල දියත් කෙරෙමින් පවතියි.

භූ අභ්‍යන්තරයේ සිදු වූ විපර්යාසයන් අනාවරණය කරගැනීම සදහා දුරස්‌ථ භූභෞතික ක්‍රමවේද (Remote sensing techniques) යොදාගන්නට හැකි අතර මේ ප්‍රදේශය ගවේෂණය සදහා විවිධ ක්‍රමවේද තුනක්‌ යොදාගන්නා ලදි. 'විදුලි ප්‍රතිරෝධකතා තාක්‌ෂණය' (Resistivity technology), 'භූ කම්පා තරංග තාක්‌ෂණය' (Seismic technology) සහ 'මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය' (Ground penetrating radar- GPR) මේ ප්‍රදේශයේ භූ අභ්‍යන්තර සැකැස්‌ම නිර්ණය කිරීම සදහා අප යොදාගත් අතර එමගින් අපූරු කරුණු රාශියක්‌ එක්‌ රැස්‌ කරගත හැකි විය. අප මෙහි දී යොදාගත් 'මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය' අපට නවමු අත්දැකීමක්‌ එක්‌ කළ අතර එය ශ්‍රී ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට එක්‌ කළ නවතම පර්යේෂණ ක්‍රමවේදයක්‌ විය. මෙය 'මිහි විදුම්' සදහා වන විකල්පයක්‌ ද වෙයි.

මෙරට භූ විද්‍යා ක්‌ෂේත්‍රයට මෙය නව අත්දැකීමක්‌ වුව ද ලෝකයට නම් එය අලුත් දෙයක්‌ නො වේ. මන්ද යත් මේ තාක්‌ෂණය භාවිතයට ගැනෙන්නේ ශත වර්ෂයකට අධික කාලයක සිට බැවිනි. රේඩාර් තාක්‌ෂණයේ දී භාවිත කෙරෙන්නේ ගුවන් විදුලි තරංග ය. දහ නව වැනි ශතවර්ෂයේ අගභාගයේ දී ජර්මානු ජාතික විද්‍යාඥයකු වන 'හෙයින්රිච් හර්ට්‌ස්‌' විසින් ගුවන් යානා සහ ජෙට්‌ යානා වැනි විවිධ දුරස්‌ථ වස්‌තූන් අනාවරණය කරගත හැකි බව ලොවට පැහැදිලි කරන ලදි. ඒ සදහා මුලින් ම උපකරණ නිපදවූවෝ රුසියානුවෝ ය. දෙවැනි මහා ලෝක යුද්ධය මුල් කරගෙන වැඩි දියුණු කරන ලද මේ තාක්‌ෂණය නිසා රුසියානුවන්ට බොහෝ වාසි අත් විය. අහසේ ද පොළොවේ ද මුහුදේ ද ගමනාගමනය ඔවුනට පහසු කරවන්නට හේතු විය.

රේඩාර් තරංග මගින් භූ අභ්‍යන්තරයේ වන විවිධ වස්‌තුන් සහ ව්‍යqහයන් පිළිබඳ යම් චිත්‍රයක්‌ අනාවරණය කරගත හැකි බව ගොතෙල්µa ලෙම්බැක්‌ සහ හෙයින්රික්‌ ලෝවී විසින් 1910 දී ලොවට හෙළි කරන ලදි. රේඩාර් තාක්‌ෂණයේ දී යොදාගන්නා ක්‌ෂුද්‍ර තරංග වන ගුවන් විදුලි තරංගවල සංඛ්‍යාතය අනුව විනිවිද යන ගැඹුර තීරණය වේ. රේඩාර් තරංගයේ සංඛ්‍යාතය අඩු වන විට වැඩි ගැඹුරකුත්, වැඩි වන විට අඩු දුරකුත් විනිවිද යා හැකි බව ය පෙනී යන්නේ. ඒ අනුව සම්ප්‍රේෂණය සහ ග්‍රහණය සදහා යොදාගන්නා 'ඇන්ටෙනා'වල දිග ද තීරණය වේ. සංඛ්‍යාතය අඩු තරංග නිපදවීම සදහා දිගු ඇන්ටෙනා ද, සංඛ්‍යාතය වැඩි තරංග නිපදවීම සදහා කුඩා ඇන්ටෙනා ද යොදාගනී.

'මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය' බොහෝ දේ සදහා යොදාගත හැකි ය. මෙහි යෙදීම් විශේෂයෙන් ම භූ විද්‍යාවේ දී ද, ඉංජිනේරු අංශවල දී ද, පුරාවිද්‍යාවේ දී ද අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරයි.

අවසාදිත සහ පසෙහි ගැඹුර සහ මවු පාෂාණයට ඇති ගැඹුර නිර්ණය සදහා ද ඛනිජ සම්පත් ගවේෂණය සදහා ද, භූ අස්‌ථාවරත්වයන් නිර්ණය සදහා ද යොදාගත හැකි බව භූ විද්‍යාඥයන් පෙන්නුම් කර ඇත. මේ සදහා තාක්‌ෂණය පිළිබඳව පමණක්‌ නො ව භූ විද්‍යාව පිළිබඳව ද හසළ දැනුමක්‌ තිබීම ඉතා අතවශ්‍ය කරුණකි. අච්චුවේලි ප්‍රදේශයේ ගිලා බැසීම බොහෝ විට සිදු වන්නට ඇත්තේ භූ අභ්‍යන්තරයේ වන කුහර කඩා වැටීම නිසා විය හැකි බව අප අනුමාන කරන අතර මේ කුහර නිර්මාණය වන්නට ඇත්තේ අවසාදිත හුණුගල්වල අධික දිය වීම නිසා වේ. රේඩාර් තරංග භූ අභ්‍යන්තරය විනිවිද ගොස්‌ මේ කුහර ඇති ස්‌ථාන පෙන්වා දෙනු ලබයි.

රේඩාර් තරංගවල වේගය එක්‌ එක්‌ මාධ්‍යයේ දී වෙනස්‌ වේ. වාතයේ දී ඉතා හොඳින් ගමන් කරන රේඩාර් තරංග ජලයේ දී ඉතා දුබල වේ. මැටි වැනි අපාරගම්‍ය මාධ්‍යයක්‌ හමුවේ ද ඉතා දුබල වන මේ තරංග වැලි වැනි මාධ්‍යයක දී ඉතා කදිමට වේගය පවත්වාගනී. එනිසා විවිධ මාධ්‍යවල දී ඇති වන මේ වෙනස නිසා ඇති වන ප්‍රතිවර්ත්‍ය තරංග මගින් අපට කදිම චිත්‍රයක්‌ මවා දෙයි. භූ විද්‍යාත්මක දැනුම ද, තරංගවල හැසිරීම ද හොඳින් ග්‍රහණය කරගත් විට භූ අභ්‍යන්තරික ව්‍යqහයන් සහ සැකැස්‌ම මැනැවින් නිර්ණය කළ හැකි වේ.

ඉංජිනේරු තාක්‌ෂණයේ දී ද මිහි විනිවිදුම් රේඩාර් තාක්‌ෂණය භූ අභ්‍යන්තරික ව්‍යqහයන් සහ ඇතිරීම්වල නිමාව නිර්ණය කිරීම යොදාගත හැකි ය. එමෙන් ම භූ අභ්‍යන්තරයේ එලන විවිධ නළවල පැතිරීම නිර්ණය සදහා ද යොදාගත හැකි ය. මෙහි දී වඩා වැදගත් වන්නේ මාර්ගවල අභ්‍යන්තරයේ එලා ඇති නළවල පැතිරීම නිගමනය කිරීමයි. එපමණක්‌ නො ව ගොඩනැගිලි තුළ වූ නළ මාර්ග ද, බිත්තිවල විවිධ අස්‌ථාවරත්වයන් ද නිගමනය මෙමගින් කළ හැකි වේ.

පුරාවිද්‍යාවේ දී ද කාලයත් සමග භූ අභ්‍යන්තරයේ සැඟව ගිය පුරාවිද්‍යාත්මක ස්‌ථාන සහ භාණ්‌ඩ සෙවීම සදහා කදිම ප්‍රස්‌තාවක්‌ මෙමගින් ලබා දෙයි. ඉතා අඩු ගැඹුරක්‌ සදහා භාවිත කළ හැකි වීම මෙහි සුවිශේෂීතාවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතු ව ඇති මේ මිහි විනිවිදුම් රේඩාර් උපකරණය මගින් මීටර 30ක පමණ ගැඹුරක්‌ අනාවරණය කළ හැකි ය. ඉදිරියේ දී නාය යැම් පර්යේෂණ සදහා මෙය යොදාගැනීමට නියමිත අතර එමගින් නව පර්යේෂණ ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය අරමුණ වේ. යාපනය ප්‍රදේශයේ සිදු කරන පර්ය්ෂණ මගින් ගිලාබැසීම් ආපදා සදහා නවතම සිතියම් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් ඉදිරියේ දී සිදු කරන ගොඩනැගිලි ඉදිකිරීම් සදහා අවශ්‍ය වන භූ විද්‍යාත්මක උපදේශනය උදෙසා කදිම ප්‍රවේශයක්‌ සපයයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday, 4 August 2019

විදුපත් ඉරුව
07.12.2016

"ඊයේ දුටුව හීනය නම් ඉතා නරක එකක්‌. මොකක්‌ වෙන්න එනව ද කියලා හිතාගන්න බෑ." මෙවැනි දෑ බොහෝ දෙනෙකුට අලුත් අත්දැකීමක්‌ වන්නට නම් නුපුළුවන. නින්දට යන බොහෝ දෙනකුට හොඳ හෝ නරක, ස්‌වප්නයන් පෙනෙන බව සත්‍යයකි. එහෙත් ගැටලුව වන්නේ උදෑසන අවදි වන විට බොහෝ දෙනකුට එම ස්‌වප්නයන් අමතක වී යැම ය. වර්තමාන ඇතැම් විද්‍යාඥයන් ගේ මතය නම් ස්‌වප්නයන් ඔස්‌සේ අනාගතය පිළිsබඳ යම් යම් පණිවිඩ ගෙන එන බවයි. බොහෝ විට අප ලද අත්දැකීම් මූලාශ්‍ර කර එම සිද්ධීන් ගලපා අපූරු කතාවක්‌ නිර්මාණය කරන බව ඔවුහු පවසති. බොහෝ විට එම කතාව නිර්මාණය කරන්නේ අයකු ගේ යටි සිත බවත් යටි සිතට එක්‌තරා ආකාරයකට අනාගතය දැකීමේ හැකියාව ඇති බවත් ඇතැම් බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

යටි සිත බොහෝ බලසම්පන්න බව අද වන විට ඉතා හොඳින් ම තහවුරු වී ඇති කරුණකි. යම් අයකු ගේ යටි සිතෙහි බලය අවදි කර ඇත්නම්, භෞතිකව ග්‍ර්‍රහණය කරගත නොහැකි බොහෝ පාරිසරික කරුණු අතීතයටත් අනාගතයටත් අදාළ වන පරිදි දැකීමේ හැකියාව පවතී. තමා ගේ ම යටි හිත ස්‌වප්නයන් මගින් පණිවිඩ ලබා දෙද්දී අවදි වූ යටි සිත් ඇත්තන් හට තවත් අයකුට පණිවිඩ ලබා දීමේ හැකියාව පවතින බව ඇතැම් බටහිර විද්‍යාඥයන් ශතවර්ෂ දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ සිදු කළ පර්යේෂණවලින් හෙළි වී තිබේ.

සිතෙහි බලය මුවහත් කරන්නන්ට නම් ඒ සදහා විවිධ ප්‍රගුණ කිරීම් කළ යුතු ය. ඒ සදහා විශේෂයන් ම භාවනාව උපයෝගී කරගත යුතු වීම ඉතා සුවිශේෂී කරුණකි. ඔබ බොහෝ දෙනකු නො දන්නා නමුත් විස්‌මයජනක මානසික බලයකින් යුක්‌ත වූවෙකි "එඩ්ගාර් කේසි" නම් වූ ඇමෙරිකානු ජාතිකයා. විසිවැනි ශතවර්ෂය මුල් භාගයේ ජීවත් වූ ඔහු මේ හැකියාව උපතින් ම උරුම කරගත්තෙකි. අනාගතය දැකීමේ විස්‌මයජනක හැකියාවකින් යුක්‌ත වූ කේසි හට ලෙඩ සුව කිරීමේ හැකියාව ද වූ බව පැවසේ. බටහිර විද්‍යාවට එකල හසු නො වූ මේ විෂය ක්‍ෂේත්‍රය අද වන විට ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින් බව ශ්‍රී ලාංකික අපට අලුත් දෙයක්‌ වුව ද ලොවට නම් එය නොරහසකි. එඩ්ගාර් කේසිට තම තරුණ අවධියේ දී කතා කිරීමේ හැකියාව අහිමි වන අතර මෝහන ක්‍රියාවලියකින් එය නැවත යථා තත්ත්වයට පත් කරගත හැකි විය. මෝහනය ද එක්‌තරා ආකාරයකට අතීතය සහ අනාගතය දැකීමේ දී සිතට යම් යම් බලපෑම් කළ හැකි ක්‍රමවේදයක්‌ ලෙස ද මානසික ප්‍රතිකාර ක්‍රමවේදයක්‌ ලෙස ද යොදාගනිමින් ඇත.

අධිමානසික විද්‍යාවේ ලෙසින් බටහිර විද්‍යාඥයන් අතර ගොනු වෙමින් දියුණු වන මේ විෂය ක්‍ෂේත්‍රය මේ වන විට සැලකිය යුතු දියුණුවක්‌ මෙන්ම ස්‌ථාවරත්වයක්‌ ද අත්පත් කරගෙන ඇති බව පෙනී යයි. අනෙකුත් බටහිර විද්‍යා විෂයන් සමග සමගාමී ව පැවතෙන්නට තරම් වූ විද්‍යාත්මක කරුණු රාශියක්‌ මේ වන විටත් හෙළි වී තිබීම එයට හේතුවයි. භෞතික විද්‍යාවට හෝ මනෝ විද්‍යාවට හෝ හසු නො වන ගුප්ත විෂය කරුණු මෙහි දී සාකච්ඡාවට බඳුන් වන අතර ඒවා මිථ්‍යාවට ඔබ්බෙන් වූ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සදහා මාර්ගය පාදනු ලබයි.

මේ විෂය ක්‍ෂේත්‍රයේ කතා බහට ලක්‌ වන අංශ දෙකකි. පළමු වැන්න වන්නේ අතීන්ද්‍රිය ඥානයයි. (Extra Sensory Perception- ESP). දෙවැන්න අධිමානසික බලයයි (Psychokinesis- PK). පංචෙන්ද්‍රිය භාවිතයෙන් තොර ව හුදෙක්‌ ම සිතෙහි බලයෙන් පමණක්‌ තොරතුරු රැස්‌ කරගැනීමේ හැකියාව අතීන්ද්‍රිය ඥානයයි. දිවැස්‌ (Clairvoyance), පරසිත් කියවීම (Telepathy) සහ අනාගතය දැකීම (Precognition) ලෙස හැඳින්වෙන්නේ අතීන්ද්‍රිය ඥානයේ ආකාර ත්‍රිත්වයයි. 'දිවැස්‌' තුළ ශබ්දයන් ලෙස කනට ද රූප ලෙස ඇසට ද පණිවිඩ ලබාගත හැකි බව බටහිර විද්‍යාව තුළ තහවුරු වී ඇත. පරසිත් කියවන්නන් ඇසුරෙන් සිදු කළ පර්යේෂණ ද එහි ඇති සත්‍යතාව මැනැවින් ගම්‍ය කර ඇත. එඩ්ගාර් කේසි වැන්නවුන් හට අනාගතය දැකීමේ හැකියාව වූ බව පුදුමයක්‌ නො වන බව එහෙයින් පෙනී යයි.

අධිමානසික බලයක්‌ (PK) ඇත්තකුට මානසික බලයෙන් පමණක්‌ භෞතික ලෝකයට බලපෑම් කළ හැකි බව බොහෝ වාර ගණනක්‌ විවිධ ක්‍රියාකාරකම් මගින් තහවුරු වී ඇත. යුරි ගෙලර් නම් වූ ඊශ්‍රායෙල් ජාතිකයා සතු වූ අධිමානසික හැකියාව මේ සදහා කදිම නිදසුනකි.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඩියුක්‌ විශ්වවිද්‍යාලයය මේ විෂය පථය ස්‌ථාපනය කරන්නට බොහෝ දායක වී ඇත. මේ වන විට දශක නවයක පමණ කාලයක සිට සිදු කළ පර්යේෂණ මේ ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට බොහෝ හේතු වී තිබේ. එය මේ විශ්වවිද්‍යාලය තුළ ඒ සදහා වූ ස්‌වාධීන අංශයක්‌ ස්‌ථාපනය කරන්නට හේතු වන්නට තරම් මෙය කදිම විෂයක්‌ බව අපට ඒත්තු ගන්වයි.

බටහිර විද්‍යාව තුළ මේ විෂය ස්‌ථාපනය වී තවමත් ගත වී ඇත්තේ දශක දෙකක්‌ පමණි. එහෙත් ආසියාතික සංස්‌කෘතිය තුළ විශේෂයෙන් ම වසර දෙ දහස්‌ පන් සියයක්‌ පමණ පැරැණි බුදු දහම හා ඊටත් වඩා පැරැණි හින්දු දහම ප්‍රචලිත රටවල මේ හැකියාවන් ගෙන් ඵල ලබාගන්නන් ඉන්නා බව නොරහසක්‌ වුව එය බොහෝ දෙනකු ගේ අවධානයෙන් ගිලිහෙන කරුණකි. ඒ කෙසේ වෙතත් වර්තමානයේ පවතින රටාව අනුව බටහිර විද්‍යාව ජනප්‍රිය වී ඇති කලෙක වුව ද අප තවමත් කරපින්නාගෙන ඇත්තේ බටහිර යල් පැනගිය, පිළුණු වී ගිය චින්තනයන් බව සඳහන් කිරීමට සිදු වේ. දැනටත් චරපුරුෂ සේවයට පවා මේ විෂය යොදාගන්නා බටහිර ලෝකය, අනාගතයේ දවසක ලොව පාලනය කරන්නේ ද මේ තුළින් ම බව අප මතක තබාගත යුතු ය.

කෙසේ වෙතත් අධිමානසික විද්‍යාව ලේබලයට මුවා වී, පිළිගත හැකි පදනමක්‌ නොමැති ව මේ විෂය පිළිබඳ විශාරදයන් ලෙස පෙනී සිටින්නන් පිරිසක ගේ අමනෝඥ ක්‍රියාකලාපයන් නිසා මේ විෂය ක්‌ෂේත්‍රය විද්‍යාත්මක පදනමකින් ගවේෂණය කිරීම සහ පිළිගැනීමට ලක්‌ වීම තවදුරටත් පමා වී ඇති බව ද කණගාටුවෙන් වුව සඳහන් කළ යුතු ය. සිදු කෙරී ඇති විද්‍යාත්මක අධ්‍යයනයන්හි වටිනාකම් පවා මෙවන් පිරිස්‌ නිසා හෑල්ලුවට ලක්‌ වෙයි. විද්‍යාත්මක ප්‍රජාව පවා මේ සම්බන්ධයෙන් එළිපිට අදහස්‌ දැක්‌වීමෙන් වැළකී සිටින්නේ තමන් ද හාස්‍යයට ලක්‌ වේ ය යන බියෙන් විය හැකි ය.

එනිසා මේ මානසිකත්වයෙන් අත්මිදී මෙකී විෂය පථය ලෝක ප්‍රජාව ගේ අභිවෘද්ධියට යොදාගැනීම සඳහා එකී බඩගෝස්‌තරවාදීන් හා අවස්‌ථාවාදීන් පිරිස ගෙන් එල්ල වී ඇති බාධකය ද ජයගත යුතු ව තිබේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...