Sunday 29 November 2020

 කල්‍යාණියෝ ගලා බසිති

භූ සංචාරිතය 34

This article is originally published on Vidusara, 24.11.2020

භූ රූපණය ගැන අධ්‍යනය කිරීමේ දී ඒ සඳහා ගංගා ඇලදොළ මගින් ලබා දෙන දායකත්වය අතිමහත් බව පෙනී යයි. ඛාදනය සීඝ්‍ර කරමින් ද අවසාදිත එක්රැස් කරමින් ද   ඒවා පහත් බිම් කරා ගෙන යමින් ද එහි දී නිධිගත භූ රූපණ බිහි කරමින්ද අවසානයේ සියල්ල සාගරයට අතරිමින් ද මෙවන් වූ ජල පහරවල් අනුපමේය සේවයක් භූ රූපණ වර්ධනය සඳහා කරනා බව තේරුම් ගත හැක.

භූ සංචාරිතයේ යෙදන ඔබ සියලු දෙනාම අත්‍යන්තයෙන්ම ගංගා ඇල දොළ යනාදී ජල මාර්ග වල සංචාරය අධ්‍යනය කල යුතුමය.  කඳුකරයේ ඉහත්තාවෙන්ම පටන් ගන්නා සියුම් උල්පත් ක්‍රමයෙන් වර්ධනය වන්නේ තුරුපත් පිසමින් ඇදහැලෙනා ජල බින්දු එක්කර ගනිමින්. මේ ජල බින්දු උදෑසන හිමිදිරියේ සිතල නිසා බිහි වූ ඒවා වන්නට බොහෝ ඉඩකඩ තිබේ. තුරුපත් අගට රැස්වන මෙවන් ජල බින්දු විසල් ජල මාර්ගයක් තනන්නට හේතුවන බව අපි මොහොතකටවත් නොසිතන්නෙමු.

උල්පත් ජලය කුඩා පහත්බිම් සොය සොයා යන්නේ තම දේහයේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරගනිමින්. ඒ සඳහා යාබද සිහින් ජල පහරවල් ද එක් කරගන්නට උත්සාහ කරන්නේ විටෙක එය ඉබේම විශාල වන ජල පහර සඳහා හේතුවන බැවිනි. කෙසේ වෙතත් වර්ෂා සමයේ මේ තත්වය සපුරා වෙනස් වන අතර වැසි ජලය පිරි ඉතිරි යන්නේ අනන්ත වූ ජල පහර ඇති කරමිහි. ඉතා වේගයෙන් ජලය බි ගත් පාංශු දේහයන් වැඩි කාලයක් නොගසින්ම සංතෘප්ත වන්නේ වැඩි ජලය මතුපිට ගලනය සඳහා යොමුකරමිනි.

ජල ඝට්ටනය ඉතා අධික වැසි කාලයේ පාංශු දේහයේ සියුම් ස්ඵටික ගලවා තම ජලයට එක් කරගන්නා මතුපිට ගලනයන් ක්‍රමයෙන් මෙම අවසාදිත ද සමග සුපුරුදු පහත් බිම් සහ නිම්න සොයා ඇදෙන්නේ තම ගමන ස්ථිර කර ගනිමින්.  ඉහලම කඳුකරයේ බැරෑරුම් බැවුම් සහ ප්‍රපාත හමුවේ තම වේගය වැඩි කරගන්න ජලය අවට පිටේ වූ බොහෝ දේවල් රැගෙන යන්නට උත්සාහ කරයි. යව්වනයේ සුව විදිනා තරුණයෙකුගේ ජවය එළිදක්වන්නා සේ මේ බැවුමේ ගලනා ජල මාර්ගය වේගවත් ගමනක යෙදෙයි.

ගංගාවක ගමන් මග අධ්‍යනය කර ඇත්තෝ එහි ප්‍රධාන අවධි තුනක් හඳුනා ගනී. එනම් තරුණ අවධිය, මැදි අවධිය සහ වෘධ අවධිය ලෙසයි. ගංගාවේ තාරුණ්‍යය සනිටුහන් වන්නේ ඉහල කඳුකරයේ පටන් සීග්‍ර බැවුම් ඉවර වන තෙක්ය. ඉන්පසු හැල්මේ දුවන මැදි අවධියද බොහෝ සෙමෙන් චලනය පෙන්වන  වෘධ අවධියද තම ලක්ෂණ අනුව අපූරු භූ රූපණ නිර්මණය කරන්නට පෙළඹෙයි.

කල්‍යාණි ගංගාව පටන් ගන්නේ ශ්‍රී පාද අඩවියෙන් බවයි බොහෝ දෙනෙකු දන්නේ. එය තරමක් ඇත්ත මුත් කල්යාණියේ මූලය සනිටුහන් වන්නේ එකිනෙකට වෙනස් ප්‍රදේශ දෙකින් පටන් ගන්නා ශාකා දෙකකනි. එකක් වන්නේ අප කවුරුත් හොඳින් දන්නා සීත ගඟුලයි. එය පටන් ගන්නේ සිරිපාද කන්දෙනි. අනෙක් ශාඛාව වන්නේ කෙහෙල්ගමු ඔයයි. එය පටන් ගන්නේ හෝර්ටන් තැන්නේ සීග්‍ර බෑවුමෙන් බවයි සිතියම් අධ්‍යනයෙන් පෙන්නුම් කරන්නේ. මින් කෙහෙල්ගමු ඔයා වැඩ දිගින් වැඩිය. කෙසේවෙතත් මේ ජල ශාඛා දෙකෙහි එකතුවෙන් කල්‍යාණි ගංගා බිහි කරයි,

ශාඛා දෙක එකතු වීමෙන් ජල බලය වැඩිකරගන්නා  කල්‍යාණි එතැන් පටන් එක හෙලාම වූ සීග්‍ර බැවුම් ඔස්සේ ඉතා වේගයෙන් ගලා යන්නට පටන් ගනී. ඛාදන භූ රූපණ ඇතිකරමින් තරුණ මදයෙන් මත්ව මෙලෙස ගමන් ගන්නා තරුණ කල්‍යාණි අති විශාල ගල්කුළු පවා පහලට තල්ලු කරන්නට පෙළඹී ඇති බව ගමන් මාර්ගය අධ්‍යනය කිරීමෙන් පෙනී යනු කරුණකි. පටු නිම්න ඔස්සේ ගමන් ගන්නා මේ ගංගාව වර්ෂා කාලයේ ලබා ගන්නා අධික ජල ධාරිතාවය නිසා ඉතා ගැඹුරට නිම්න හාරා ගැඹුරු හෙලයන් ඇතිකරන්නේ එලෙස නොහැකි තැන්වල වූ ගල්කුළු වලින් එක හෙලාම ඇදවැටෙමින් බව ඈ ඇතිකරනා අපූරු දිය ඇලි වලින් පෙන්නුම් කරයි.

පටු නිම්න ඔස්සේ වේගයෙන් ඇදී යන ජල දහර රැගෙන යන පාංශු ඛණිකා ස්ඵටික ඉතා තදින් එකිනෙක ගැටෙමින් ද දෙපස නිම්න පාෂාණයේ වදිමින් ද පතුලේ වූ ගංගා අපතු පාෂාණයේ ඇතිල්ලෙමින් ද තම කෝණාකාර හැඩයෙන් යුක්ත ඛණිකා රූපණය ක්‍රමයෙන් දියුණු කරගන්නා බව පෙනී යයි. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඉතා හොඳින් ගෝලාකාර වූ පාංශු ඛණිකා වන අතර මේ තත්වයට ලඟා වීමට යම් ඛණිකාවකට බොහෝ කාලයක් පමණක් නොව බොහෝ දුරක් ද මෙලෙස බාධක හමුවේ ගමන් කරන්නට සිදු වේ. බොහෝ විට මෙවැනි අපූරුවට ගෝලාකාර වූ පාංශු ඛණිකා හමුවන්නේ මැදි අවධියේ අවසාන භාගයේ දී හෝ වෘධ අවධියේ බව සුපැහැදිලි කරුණකි.

කල්‍යාණියේ පටු නිම්නය සදා එලෙස පවතින්නේ නැත. තම ගමන් මාර්ගයේ බැස්ම අඩු වූ තැන තැන්නට පිවිසෙයි. එය බොහෝ විට තාරුණ්‍යයේ අවසානය වන අතර මැදි අවධියේ ආරම්භයයි.  ගැඹුරු බැස්ම සහිත හෙලයේ ඉතා වේගයෙන් ගලා ආ කල්යාණිය තම වෙහස නිවා ගන්නට හුස්මක් කටක් ගන්නට තම වේගයෙන් අඩු කර ගන්නේ කිතුල්ගල බැස්ම අවසන් වන යටියන්තොට ප්‍රදේශයෙනි. එතැන් පටන් බොහෝ සාමකාමී ගමනක් යෙදෙන කල්‍යාණිය වර්ෂා කාලයේදී ඒ කාලයේදී එනම් දශක දෙකකට පමණ ඉහතදී පිරි ඉතිරි පිටාර ගලන්නේ බැස්ම අවසාන වන යටියන්තොට ද ගංවතුරෙන් යට කරමින්. මේ තත්වය අද වන විට සමනය වී ඇත්තේ වැලි ගොඩ දැමීම නිසා  ඇති වූ ගංගාවේ ගැඹුර වැඩිවීම හේතුවෙනි.

තැන්නේ ගල බසින කල්‍යාණිය තම අවසාදිත ගොනුව ක්‍රමයෙන් තැන්පත් කරන්නට උත්සුක වන්නේ ඊට ගැලපෙන ප්‍රදේශ සහ ජල වේගය පවතින විටයි. මේ තත්වය ක්‍රමයෙන් බහුල වන්නේ එය වඩාත් හංවැල්ල වැනි ප්‍රදේශවලට ලඟා වූ විටයි. එය ගංගාවේ වෘධ අවධිය සනිටුහන් කරන ප්‍රදේශයි. ගංගා ජලයේ වේගය ඉතා අඩු වන අතර එනිසාම එමගින් ගෙන ආ ඒ අපූරු අවසාදිත ඛණිකා තම විශාලත්වය අනුව ගඟ අසබඩ වර්ෂා කාලයෙන් පසු පෙළ ගැසෙන්නට පටන් ගනී, මෙය ඉතා කදිම මැටි නිධි සහ වැලි නිධි ඇතිකරන්නට හේතුවක් බව පෙනී යන්නකි.

කලයාණිය කැලණිය ප්‍රදේශයට ලඟා වීමේදී තම වෘධ බව ඉතා හොඳින් පෙන්නුම් කරයි. වර්ෂා කාලයේදී ඇතිවන ගංවතුර තත්වය නිසාවට එය  රැගෙන එන සියුම් ඛණිකාමය අවසාදිත ගං දෙපස තැන්පත් කරයි. මේ නිසා එම ප්‍රදේශවල පස පෝෂණය ලබන අතර වගාව සඳහා ඉතා හොඳ ප්‍රස්තාවක් ලබා දෙයි. කෙසේ වෙතත් මුහුදට තම සියලු ජල ධාරිතාවයම අත් හරින කල්යාණිය ඉහල කඳුකරයෙන් පටන් ගන්නා ජල බින්දුවල ගමනාන්තය එලෙස සනිටුහන් කරයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 

Thursday 19 November 2020

 නවින පුරා විද්‍යා සංරක්ෂණය නිසා බෞද්ධ උරුමය රැකෙනවාද ?

භූ සංචාරිතය 33

This article is originally published on Vidusara 18.11.2020. 

දැනට බොහෝ දෙනා දන්නා පරිදි සහ පර්යේෂණ වලින් මතුකරගෙන ඇති කරුණ වලට  අනුව අනුරාධපුර වසර 2500කට එහා ගිය ඉතිහාසයක් ඇති මෙරට කලෙක අගනගරය වූ ප්‍රදේශයයි. මෙරට සියලුම දෙනාම පාහේ තමාගේ නිරන්තර සංචාරය සඳහා තෝරාගන්නා ස්ථානයක් ඇත්නම් එය බොහෝවිට අනුරාධපුරයම විය හැක. මෙරට සමස්ථ බෞද්ධ ජනී ජනයාගේ අතිශය ගෞරවය ට පාත්‍ර වූ නිරන්තර වන්දනාවට භාජනය වන ප්‍රදේශයක් ඇත්නම් ඒ අනුරාධපුරයම වෙයි.

ප්‍රධන ස්ථුප තුනක් සහ තවත් කුඩා පරිමාණයේ නමුත් වැදගත් ස්ථුප ද සහිත වූ මේ භූමිය අතීත සිහළ ජනයාගේ ශ්‍රී විභූතිය පමණක් නොව බුදු දහමට දැක් වූ සැලකිල්ල සහ ගෞරවය කොතරම් ද යන්න අනුරාධපුරයේ ඇති නටබුන් මනාව විදහා දක්වයි. නටබුන් වූ තවත් ගොඩනැගිලි සමුහයක් මේ අතරේ ඇති අතර ඒවායේ විශාලත්වය සහ ද්‍රව්‍ය භාවිතය පිළිබඳව සැලකිල්ලක් දැක් වූයේ නම් ඉහත කී කාරණය තව තවත් ස්ථිර වනවා අනුමානයි.

නමුත් වර්තමානයේ සිදුකරන පුරාවිද්‍යා සංරක්ෂණ වල දී මෙම නටබුන් වල ප්‍රාථමික භාවිතය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වා ඇති බව පෙනී යයි. පුරාවිද්‍යා උරුමයක් හෝ ලෝක උරුමයක් වන්නට මත්තෙන් මේ සියල්ල බෞද්ධ උරුමයන් බව පිටරට ගොස් විවිධ සංරක්ෂණ ක්‍රම ඉගෙන ගෙන එන්නා වූ බොහෝ විද්වතුන් අමතක කරති. ඉක්බිති ඔවුන් උත්සාහ කරන්නේ ඒ ඉගෙන ගත් පරදෙස් ක්‍රමවේද ගැලපුනා හෝ නැතා මෙරට දී මේ දේවල් සඳහා භාවිතා කරන්නට ය. ඒ තමාගේ දැනුම පෙන්නන්නට මිස අවශ්‍ය කාරිය නිසි පරිදි සපුරන්නට නොවේ. බහුතරයක් විද්‍යත්මක ක්‍රමවේද බටහිර නිර්මාණ බව බොහෝ දෙනාට අමතක වෙන බව ඉතා පැහැදිලි කරුණකි. බොහෝ සංරක්ෂණ ක්‍රමවේද ගැලපෙන්නේ බටහිර පරිසරයට ම බව අප මතක තබා ගත යුතුය. නමුත් මෙරට සංස්කෘතියට ගැලපෙන මෙරට දේශගුණයට ගැලපෙන පරිදි නව ක්‍රමවේද නිර්මාණය කරගන්නට ඔවුන් අසමත් වී ඇත.  

විශාලතම ගඩොලු ව්‍යුහයන්ට හිමිකම් කියන්නට ඉඩ ප්‍රස්තාව මෙරට අතීත ජනයා අපට උරුම කර දී තිබේ. බෞද්ධයාට ඉතා වටිනාම වූ රන්වැලි සෑය නිසි ක්‍රමවේද භාවිතා කර බෞද්ධ උරුමය රැකෙන පරිදි සංරක්ෂණය කර බෞද්ධ ජනතවාට බාර දීම ම කොතරම් විශිෂ්ට කාරියක් දැයි දිනක දී ඇදෙන ජන සංඛ්‍යාවෙන් තහවුරු වේ. මේ තත්වය විශේෂ දිනවල දී වඩා හොඳින් පැහැදිලි වෙයි. ධවල පැහැති ක්‍රමවත්ව ප්‍රතිසංස්කරණය කරන ලද ස්වර්ණමාලි චෛත්‍යය පෙනෙන විට ඇතිවන්නේ අතිශය බුද්ධාලම්භන ප්‍රීතියකි. එහෙයින් එම සංරක්ෂණ විශිෂ්ට කාරියක් ම වන්නේමය.

නමුත් පසුකාලීනව විවිධ පුරාවිද්‍යා ප්‍රබුද්ධයන් ගෙන එන ලද පුරාවිද්‍යාත්මක සංරක්ෂණ ක්‍රමවේද නිසාවට අනුරාධපුරයේ බෞද්ධ උරුමය දෙකයි පනහට දමා ඇති බව ප්‍රදර්ශනය වෙයි. මේ පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ ජේතවනාරාමය සහ අභයගිරි ස්තුපයන්හි කරන ලද සංරක්ෂණයන් දෙස ඇස යොමුකිරිමේ දීය. මේ ගෞරවණිය බෞද්ධ උරුමයන් හි වටිනාකම තුට්ටුවට දමා කොහෙන්දෝ ඇහිඳාගන්නා ලද අමුතු පුරාවිද්‍යා සංරක්ෂණයක් කර ඇති බව මේ ස්ථුප වන්දනාමානයට ගිය ඔබ හට පැහැදිලි වෙයි. බෞද්ධ උරුමය රැකෙන්නට නම් එම ස්ථුප වල සම්පූර්ණ විය යුතු කරුණු කාරනා සමූහයක් ඇති බව මෙරට වසනා මේ විද්වතුන් වටහා ගත යුතුය. වඩා වැදගත් වන්නේ පුරාවිද්‍යා උරුමය රැකීමද බහුතරයක් වූ මෙරට බෞද්ධයාගේ උරුමය රැකීමද යන්න සැලකිල්ලට ගත යුතුම කරුණකි.

යමකට ලබා දෙන බාහිර පෙනුම දුටු පමණින්ම යම් අදහසක් ගන්නට වැදගත් වෙයි. එනිසා බුද්ධාලම්භන ප්‍රීතිය වඩාත් වැඩෙන්නේ මෙම ස්ථුප බදාමයෙන් වසා ධවල පැහැයෙන් වර්ණ ගැන්වූ විට පමණක් බව මෙලෙස සම්පූර්ණ කරන ලද රන්වැලි සෑය සාක්ෂිදරයි. බෞධයෙක් වූ විට කරුණු කාරණා සොයා බලා අවබෝධයෙන් යුක්තව වැඩකටයුතු කල යුත්තේ මුත් මෙරට මෙවැන්නකට සහභාගී වූ බෞද්ධයෝ නම් එලෙස හැසිරී නැති බවයි පැහැදිලි වන්නේ. මෙරට බෞද්ධයන්ගේ පරම අයිතිය පුරාවිද්‍යාවේ නාමයෙන් අහිමි කර ඇත යන්න කරුණු සොයා බලනා කොයි කාටත් හොඳින් තේරුම් යන්නේමය.

අනුරාධපුරයේ බොහෝ දෙනෙකු සංචාරය කරන්නේ ආගමික කටයුතු සඳහාම බව අප තේරුම් ගත යුතුය. එනිසා බොහෝ දෙනෙකු පුරාවිද්‍යාව ගැන දක්වන්නේ ඉතා අඩු උනන්දුවක් බව අනෙකුත් පුරාවිද්‍යා ස්ථානවලට ඇදෙන ජන ප්‍රමාණය සැලකිල්ලට ගෙන අපට තේරුම් ගත හැක. කොයියම්ම හෝ ආකාරයේ සංරක්ෂණයක් කලද නවතම ක්‍රමවේද භාවිතා කරනා නවතම මිතික ක්‍රම භාවිතා කරනා තාක්ෂණික විද්වතුන්හට අඩුම තරමින්, අතීත ජනයා මේ කිසිවක් නොමැතිව කළා සේ ස්තුපයේ ගැබේ නිවරදි හැඩයවත් නිර්මාණය කරගන්නට නොහැකි වී ඇති බව කදිමට විද්‍යමාන වෙන සත්‍යයකි. එවන් වූ දුර්වල සංරක්ෂණයක් කරන්නට ඇති විශාල මුදල් ප්‍රමණයක් ද නිසැකව ම වැය කරන්නට ඇත. මෙරට ජනතාවගේ හදගැස්ම හඳුනාගන්නට නොහැකි වීමම මෙරට ප්‍රබුද්ධ විද්වතුන්ගේ නොසැලකිලිමත් බව පමණක් නොව එය ඔවුන්ගේ ප්‍රධානම දුර්වලතාවක් බව ද වටහා ගත යුතුය.

පැලැස්තර සංරක්ෂණයේ ප්‍රතිඵල දැන් දැන් පෙනෙන්ට පටන් ගෙන ඇත. දැනටමත් ජේතවන ස්තුපයේ ගර්භයේ යම් යම් පිපිරීම් හට ගෙන ඇති බව වාර්තා වෙයි. උසස් නවතම තක්ෂණික ක්‍රම සහ නවතම සංරක්ෂණ ක්‍රමවේද භාවිතා කරන ලද මෙම සංරක්ෂණය මෙතරම්ම ඉමණින් වියැකී යන්නේ කෙසේද යන්න ගැටලුවකි. මින් පෙනී යන කරුණ වන්නේ ඔවුන් භාවිතා කරන ලද එම ක්‍රමවේද කොතරම් දුර්වල ක්‍රමවේද ද යන්නයි. අනුරාධපුරයේ සංචාරය කරනා ඔබගේ අවධානය මේ කෙරෙහි යොමුවිය යුතුය. අතීත ජනයාගේ භූ සම්පත් පරිහරණය සහ ඒ පිළිබඳව වූ ඔවුන්ගේ දැනුම ඇති විශිෂ්ට බව අනුරාධපුරයේ නටබුන් දැකබලා ගැනීමෙන් පමණක් නොව ඉදිකළ ඇති කෞතුකාගාරයන්හි ඇති පුරාවස්තු අධ්‍යනයෙන් ද මනාව වටහා ගත හැකිය. නයිස් පාෂාණ, මැටිවර්ග, මැණික්, කිරිගරුඬ පාෂාණ,  නිල ගරුඬ පාෂාණ, සිලිකා වැලි, හිමටයිට්, රත්‍රන් වැනි විවිධ ලෝහ වර්ග යනාදී ලෙස  භාවිතයට ගන්නා ලද බොහෝ භූ සම්පත් මෙහිද හඳුනාගත හැක.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 

Friday 6 November 2020

 වෙරළ භූ රූපණය 2

වෙරළ යනු කුමක්දැයි ඇසුවහොත් ඒ සඳහා ඔබ දෙන පිළිතුර කුමක්ද ? බොහොම සරලව පැවසුවහොත් ගොඩබිමත් සාගරයත් එක්කරන මායිම වන්නේ වෙරළ ලෙස අපට හැඳින්විය හැකිය. එසේත් නොමැතිනම් වෙරළ හා ගොඩබිම හමුවන සංදිස්ථානය ලෙස ද හැඳින්විය හැක.  මේ සඳහා පැහැදිලි අර්ථදැක්වීමක් පෙන්වා නොමැතිමුත් ශබ්ධකොශයන්හි අර්ථ දක්වා ඇති ආකාර කිහිපයක් ඔබගේ දැනගැනීම උදෙසා මෙහි සඳහන් කරමු.

වෙරළ යනු මුහුදට යාබද ගොඩබිම් කොටස ලෙස බොහෝ ශබ්ධ කෝෂ වල ඇති අර්ථ දැක්වීමයි. කේම්බ්‍රිජ් ශබ්දහ්කොශයේ එය දක්වා ඇත්තේ මුහුදට අසන්න හෝ යාබද ගොඩබිම ලෙසයි. ඔක්ස්ෆෝර්ඩ් ශබ්ධකොශයේ සඳහන්ව ඇත්තේ මුහුදට යාබද ගොඩබිම් කොටස ලෙසයි. නැෂනල් ජියෝග්‍රාපිහික් සඟරාව අර්ථදක්වා ඇත්තේ මුහුදට මායිම් වන පටු ගොඩබිම් තීරුව ලෙසයි. කෙසේවෙතත් මේ සැම තැනකම මුහුදට ආසන්න ගොඩබිම් තීරුව යන අදහස ගැබ්ව ඇති බව අමතක නොකළ යුතුය.

වෙරළ හැම අතින්ම කදිම අපූරු පරිසරයක් බව අප සිහියේ තබා ගත යුතුය. පද්ධතියක් ලෙස ගත් කල ඉතා සංවේදී මෙන්ම ජෛව විව්ධත්වයෙන් අනූන මනරම් භූ පරිසරයකි. වෙරළ අධ්‍යනයේ වැදගත්කම වන්නේ එහෙයින් බව ඔබට ඉදිරියේ දී වැටහෙනු ඇත. එපමණක් නොව විවිධ මානව ක්‍රියා වෙරළ පරිසර පද්ධතියට බලපාන ආකාරය අධ්‍යනය කිරීම ඉතා අගනේය වන්නේ එනිසා සිදුවන හානිය තක්සේරු කරමින් ප්‍රතිස්ථායිකරණයට මග පාදන බැවිනි.  වෙරළේ ගතික බව තුලනය කිරීමට අවැසි ක්‍රියා දාමයන්, ශක්තිය සහ ද්‍රව්‍ය සංසරණය මනාව පවත්වාගැනීමට වෙරළ අධ්‍යනය කදිම පසුබිමක් සකසා දෙයි.

වෙරළ භූ රූපණ අධ්‍යනය භූ රූපණ විද්‍යාවේ අතිශය වැදගත් එක් පරිච්චේදයක් පමණක් නොව අනෙකුත් භූ රූපණ අධ්‍යනය සඳහා ද කදිම පසුබිමක් නිර්මාණය කර දෙයි. දසතින් වටවූ සාගරයක් හිමි දුපතක් ලෙස ශ්‍රී ලංකාව එනිසා ලෝකයේ සුවිශේෂී තත්වයක් හිමිකරගනී. මෙරටට අවශ්‍ය මත්ස්‍ය සම්පත ඇතුළු අනෙකුත් භූ සම්පත් ද නෙලා ගැනීම සඳහා අවශ්‍ය වේදිකාව සකසන්නේ වෙරළ යි. එපමණක් නොව සතුරු ආක්‍රමණයකදී පළමු සංග්‍රාමය ආරම්භ වන්නේ ද වෙරලෙනි. එනිසා මෙරටට වෙරළේ හැසිරීම අධ්‍යනය අතිශය වැදගත් සහ තීරණාත්මක සාධකයක් වන බව අප අමතක නොකළ යුතුය.

වෙරළ භූ රූපණ අධ්‍යනය සඳහා අප සුදානම් වන්නේ වෙරළේ ඇති භූ රූපණවල විකසනය, එනම් කාලයට සාපේක්ෂව වෙරළ භූ රූපණ නිර්මාණය වන ආකාරය, නැතහොත්- කාලයට සාපේක්ෂව වෙරළ අවකාශයේ විකාශය (landform evolution) ද, ඒ සඳහා හේතුවන භූ ක්‍රියාදාමයන් (process) ද සහ  කාලීනව වෙරළ භූ රූපණයේ සිදුවන වෙනස්කම් (Changes) ද විමර්ශනය කරමින්. තුන් ආකාරයකට මේ දේ වෙන්කලද මේ සියල්ල එකම පද්ධතියක් තුල හමුවන සහ එකිනෙක බැඳී ඇති දෑ බව මෙහිලා සඳහන් කල යුතුය.

වෙරළ භූ රූපණය තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. ඒ වෙන කිසිවක් නොව වෙරළේ ශක්තිය ගෙන එන සාගර තරංග සහ වෙරළේ ද්‍රව්‍යයන් වන පාෂාණ ඇතුළු අනෙකුත් අවසාදිත යි. වෙරළට ශක්තිය සපයන සාගර තරංග නිර්මාණය කරන්නේ සුර්යය තාපය වන අතර අසමතුලිත උරා ගැනීම සාගරයේ විවිධ කලාප හරහා සුළං ඇතිකිරීමට හේතු වෙයි. ජල වාෂ්පීකරණය නිසාවට ඇතිවන අඩු පීඩන කලාප පුරවන්නට වැඩි පීඩන කලාප වලින් වාතය ගලා එන අතර මේ ගතික වාතය අප දකින්නේ චාලක ශක්තිය කැටිකරගත් සුළං ධාරා ලෙසයි. -චාලක ශක්තිය කැටිකරගත් මේ සුළං ධාරා එය සාගර ජලයට ලබා දෙන්නේ සාගර ජලය තරංගණය කරමින්. එලෙස ඇතිවූ සාගර තරංග වෙරළට චාලක ශක්තිය ගෙන එන්නට සමත්වන්නේ වෙරළේ ගතික බව තවත් තීව්‍ර කරමිනි. සාගර තරංග වල ශක්තිය දෙආකාරයකින් ක්‍රියා කරයි.

ශක්තියෙන් වැඩි සාගර තරංග වෙරළ ඛාදනයට ලක් කරන අතර ශක්තියෙන් අඩු සෞමය තරංග වෙරළේ අවසාදිත අවසාදනයට සහය පළකරයි. වෙරලේ පාෂාණයේ ගුණාගුණ ජිර්ණයේ අඩුවැඩි බව තීරණය කරන අතර ශක්ති සම්පන්න සාගර තරංග ජීර්ණයට ලක් වූ පාෂාණ කදිමට ඛාදනයට ලක් කරයි. එය විවිධ ඛාදිත භූ රූපණ බිහිකරන්නට හේතුවෙයි. ගොඩබිමෙන් ගෙන එන අවසාදිතත් වෙරළේ පාෂාණ වලින් එකතු වන අවසාදිතත් සාගරය පිරිණමන අවසාදිතත් තැන්පත් වන්නේ ඒ සඳහා සුදුසු පරිසර තත්වයක් නිර්මාණය වන්නේ නම් පමණි. නිසල සාගර ජලයෙන් හෙබි කලාප මේ සඳහා අවකාශය ලබා දෙන්නේ ඉතා කැමැත්තෙනි. මෝසම් සුළං නිසා බිහිවන දිගු දුර දියවැල් පමණක් නොව සාගර තරංග ද මෙහිදී ඉතා වටිනා කාර්යය භාරයක් ඉටු කරනා බව අප අමතක නොකළ යුතුය. වෙරළේ අවසාදිත හැමවිටම සාගර තරංග වල ශක්තිය පිලිබඳ මිනුමක් ලබා දෙන බව ද අප අමතක නොකළ යුතුය.

වෙරළේ ගතික බව භෞතිකව, රසායනිකව මෙන්ම ජෛවියව ද  හඳුනාගත හැකිය. ද්‍රව්‍ය සංසරණය සුලභ වෙරළේ වදින රැල්ල භෞතික ගතික බාවය සටහන් කරයි. සාගර ජලය ද වායුගෝලයේ විවිධ වායුන් ද වර්ෂාවද එක්ව පාෂාණ සහ අවසාදිත ද සමග රසායනිකව ප්‍රතික්‍රියා කරන්නේ ද්විතියික ඛණිජ බිහිකරන්නට ම පමණ නොව අනේක ජාති තව තවත් රසායනයන් බිහිකරන්නට ය. මෙවැනි පරිසර වල රසායනික ගතික බව උත්කෘෂ්ටය. නා නා ප්‍රකාරයේ ජීවින් බහුල සාගර වෙරළ සාගරයේ ජීවයත් ගොඩබිම ජීවයත් එක් කරන්නා වූ සංදිස්ථානය යි. ජෛව විව්ධත්වයෙන් අනුන වූ වෙරළ බොහෝ සතුන් ද ශාකද උදෙසා අවකාශය සලසා දෙයි. 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Thursday 5 November 2020

භූ රූපණ කලාවේ පිකාසෝ පාෂාණ ජීර්ණ ක්‍රියාවලියයි.

භූ සංචාරිතය 32

This article is originally published on Vidusara 04.11.2020

පෘථිවි පෘෂ්ටය මතුපිටට නිරාවරණය වන සෑම දෙයක්ම එක් අත්‍යන්ත භූ ක්‍රියාදාමයකට යටත් වේ. ඒ පාෂාණ ජීර්ණ ක්‍රියාදාමයයි. ඔබ දන්නා සැම පාෂාණ වර්ගයක්ම, ආග්නේය, විපරිත සහ අවසාදිත පාෂාණ සියල්ලම, මේ ඉතා අපූරු ක්‍රියාදාමයට යටත් වන්නට සිදුවේ.  ඒ නිසා ඛණිජ නම් වූ විවිධාකාරයේ ස්ඵටිකීකරණය වූ රසායනික සංයෝග පෘතුවි පෘෂ්ටයේ වන්නා වූ තත්කාලීන පාරිසරික තත්වයන්ට් ගැලපෙන ස්ථාවර ඛණිජ බවට පත්වීමේ ක්‍රියාවලියයි ජීර්ණය.

පාෂාණ ජීර්ණය ප්‍රධාන ආකාර දෙකකි. භෞතිකව සිදුවන්නා වූ ජීර්ණය සහ රසායනිකව සිදුවන්නාවූ ජීර්ණය යනු ඒ ආකාර දෙකයි. භූ සංචාරිතයෙන් අද ඔබව රැගෙන යන්නේ මේ අපූරු ක්‍රියාවලිය නිසා පෘථිවි පෘෂ්ටයේ නිර්මාණය වන අලංකාර භූ රූපණ ගැන දැනුවත් කරන්නටයි. භූ රූපණ හුදු ජීර්ණ ක්‍රියාවලියේ පමණක් තනි උත්සහයක ප්‍රතිඵලයක් නොවේ. භූ රූපණ හැඩ කරන්නට ඛාදන ක්‍රියාවලියයි අනුපමේය මෙහෙයක් ඉටුකරන බව අමතක නොකළ යුතුය.

බොහොමයක් පාෂාණ නිර්මාණය වන්නේ කාමර උෂ්ණත්වයේ හෝ එම පීඩනයේ නොවේ, එයට වඩා  වැඩි උෂ්ණත්ව සහ පීඩන වල පෘථිවි පෘෂ්ටය නිර්මාණය කරන පාෂාණ බිහිවෙන බව මෙහි ලා සඳහන් කල යුතුය. එනිසා එම තත්වය වලට අනුරුප ඛණිජ සමුච්චයක් පාෂාණයේ හට ගන්නා අතර විවධ තත්ත්ව වලදී බිහිවන ඛණිජ සමුච්චයන් වෙනස් බව අමතක නොකළ යුතුය. පෘථිවි මතුපිටටදී මේවා අස්ථාවර වන අතර ජිර්ණයෙන් වඩා ස්ථාවර ඛණිජ බිහිකරයි.

ශ්‍රී ලාංකික භූ ස්කන්ධයෙන් සියයට අසුවක් පමණම සැකසී ඇත්තේ විපරිත පාෂාණ වලිනි. ඉතිර්යේ වැඩි ප්‍රමාණයක් ආවරණය කරන්නේ මයෝසින යුගයේ නිමයුන විපරිත හුණුගල් වලින් වන අතර තැන්තැන් වල විසිරුණ ආග්නේය පාෂාණ ස්කන්දයන් ද හමුවේ. පාෂාණ වර්ගය ජීර්ණය කෙරෙහි ඉතා පැහැදිලි සම්බන්ධයක් දක්වන බව ඔබ නොදන්නවා ඇති. ජීර්ණයට ප්‍රතිරෝදී ඛණිජ වන තිරුවානා වැනි ඛණිජ වලින් සමන්විත වූ පාෂාණ බොහෝ කාලයක් පරිසරයේ නොනැසී පවතියි. එනම් එවැනි පාෂාණ ජීර්ණයට ඉතා අඩු ප්‍රතිචාරයක් දක්වයි. නමුත් පෙල්ඩ්ස්පාර් වැනි ඛණිජ වලින් හෙබි පාෂාණ වඩා වැඩි වේගයකින් ජීර්ණයට ලක්වෙයි. කැල්සයිට් නමි වු ඛනිජයෙන් යුක්ත හුණුගල් සහ කිරිගරුඬ පාෂාණ ද ජීර්ණයට වැඩි නැඹුරුතාවයක් දක්වයි. එනිසා එවැනි පාෂාණ වලින් යුක්ත භූ කලාප වැඩි වේගයකින් ජීර්ණයට ලක් වී පහත් බිම් නිර්මාණය කරන්නට හෙත්වූ වෙයි.

පාෂාණයේ දුර්වල බව වැඩිකරන්නේ එහි පවතින පැලුම් මගිනි. පාෂාණයේ පවතින පැලුම්,දැදුරු සහ විභේධ මේ තත්වය දරුණු අතට හරවයි. වඩා වැඩි පැලුම් රටාවක් පෙන්වන පාෂාණ අනෙකුත් පාෂාණවලට වඩා වැඩි වේගයකින් ජීර්ණයට ලක් වෙයි.ජීර්ණයට උදවු කරන ජලය සහ වාතය මේ පැලුම් සහ දැදුරු තුලින් පාෂණ අභ්‍යන්තරයට රිංගා අභ්‍යන්තරයේ ජීර්ණය ආරම්භ කරයි.

ජීර්ණයට ප්‍රතිරෝදී පාෂාණ වලින් සමන්විත භූ කලාප ඉතා අඩුවෙන් ජීර්ණයට ලක්වන නිසා ඒවා පෘතුවි පෘෂ්ටය බිඳ ගෙන ඉහල නගින භූ ස්කන්ධ ලෙස ඉහල එසවී දක්නට ලැබේ. ඇත්තෙන්ම එහිදී සිදුවී ඇත්තේ අවට පිටාවේ වූ දුර්වල පාෂාණ ඉක්මනින් ජීර්ණයට සහ ඛාදනයට ලක් වී පහත් බිම් නිර්මාණය කිරීමයි. සාපේක්ෂව අඩුවෙන් ජීර්ණයට ලක් වූ භූ ස්කන්ධ උස බිම් ලෙස පරිසරයේ වැජඹේ.

මේ සඳහා කදිම උදාහරණයක් වන්නේ සීගිරියයි. මේවා හුදකලා කඳු නැතහොත ශේෂ කඳු ලෙස හඳුන්වන අතර මධ්‍යම කඳුකරයේ ජිර්ණිත දිගුවන් ලෙස ද අපට හැඳින්විය හැක. සීගිරියට ඔබ්බෙන් වූ පුදුරංගල  දිඹුලාගල,  තෝනිගල, තොප්පිගල යනාදිය ඔබ අප හොන්දින දන්නා ශේෂ කඳු කිහිපයකි. සීගිරියේ දැවැන්ත බවත් එහි අලංකාරයත් ලඟට හොඳින් පෙනෙන්නේ නැත. පිදුරන්ගලට නැගී කල්හි පෙනෙන සිගිර්යේ දර්ශනය ප්‍රදේශයේ භූ රූපනයේ චමත්කාර ජනක බව කියා දෙයි.

සිගිගිර්ය නිර්මාණය කරන පාෂාණ වන්නේ විපරිත ඇපාෂාණ වර්ගයි. නයිස් පාෂාණ නමින් හඳුන්වන මෙම පාෂාණ කුට්ටි ජීර්ණයට දක්වන ප්‍රතිරෝධය මේ අපූරු පාෂාණ ස්කන්ධය ශේෂ කරන්නට හේතු වී ඇත. රසායනිකව වෙනස් නමුත් ජීර්ණයට ප්‍රතිරෝධී ඛනිජවලින් සමන්විත සිගිරිය තනත පාෂාණ වර්ග තුනකි. ඒවා එකිනෙක මත ගොඩනැගී ඇති බව පැහැදිලි වේ. පාන් පෙති තුනක් එකමත තැබුවාක් වැනි ඒ ව්‍යුහය සීගිරියේ කදිම හැඩය තීරණය කර ඇත.

සමහර පුද්ගලයන් සිතා සිටින්නේ සිගිරිය ගිනිකන්දක් නිසා ඇති වූ ව්‍යුහයක් බවයි. නමුත් එය අතිශය සාවද්‍යය  කරුණක් බව අමතක නොකළ යුතුය. ජිර්නයේත් ඛාදනයේත් ප්‍රතිඵලයක් වූ විවිධ ප්‍රමාණවල හස්තිකූට පාෂාණ තැන තැන විසිරි පෙන්වන්නේ මෙම ක්‍රියාදාමයේ අතිශය සොබාවික බවයි. පසුකාලීනව මානව ශිෂ්ටාචාරයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට මේ අපූරු ශේෂ කන්ද සමන්විත වී ඇති බව සාමාන්‍ය දිනෙක මෙය නරඹන්නට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය කදිම සාක්ෂියකි.

මහනුවර පසුකරමින් උතුරට දිවෙන කඳුකරය ශේෂ වන්නට පටන් ගන්නේ මාතලේ ප්‍රදේශයෙන් බව අඟලේ සිතියම බලන ඔබට ඉතා හොඳින් නිරීක්ෂණයේ වෙයි. මෙයට ප්‍රශ්න හේතුව වන්නේ පාෂාණයේ වර්ගය වෙනස් වීම බව භූ විද්‍යාව හොඳින් හදාරන්නෙකුට කදිමට පැහැදිලි වෙයි. තිරුවානා ඛනිජයෙන් පොහොසත් නයිස් පාෂාණවල රිද්මය වෙනස්වන්නේ කැල්සයිට් ඛනිජයෙන් සමන්විත වූ කිරිගරුඬ පාෂාණය හසුකරගන්නා විටයි, නමුත් ඒ රිද්මය පවත්වාගෙන යන්නට කිරිගරුඬ පාෂාණය සමත්වන්නේ නැත. එය හේතුවෙන් පහත්බිම් නිම්න කලාපයක් එකවිට බිහිවෙයි. විශේෂයෙන්ම රසායනික ජිර්ණයේ වර්ධනයක් මේ ප්‍රදේශයේ පාෂාණවල දැකිය හැකි ගුණාංගයකි.

එලෙස පටන් ගන්නා කඳුකරයේ ශේෂ වීම ඉතා පැහැදිළිව පෙන්නුම් කරමින් උත්තරව දිවෙන ශේෂ කඳු යාය ඉතා අලංකාරයක් මෙම ප්‍රදේශයට එක් කරන බව අමතක නොකළ යුතුය. මේ තත්වය අනුරාධපුර දක්වාම දිවෙන අතර අනුරාධපුරයේ පූජා භුමියේ හමුවන වෙස්සගිරිය පිළිබිඹු කරන්නේ ශේෂයේ ශේෂයක් බව භූ රූපණ නිර්මාණය ගැන අධ්‍යනය කරන්නෙකුට හොඳින් පැහැදිලි වන කරුණකි. පාෂාණ ජීර්ණය එක්තරා ආකාරයකට විනාශකාරී ක්‍රියාදාමයක යෙදි සිටියත් එහි ප්‍රතිඵලය වන්නේ අපූරු භූ රුපණයන් බිහිකිරීම බව අපට පෙනී යයි. එනිසා විවිධ භූ රූපණ ගොඩනගිමින් භූ පරිසරය හැඩ කරන්නට පාෂාණ ජීර්ණය අනුපමේය මෙහෙයක් ඉටුකරන බව පැහැදිලි සත්‍යයකි. එනිසා භූ පරිසරයේ පිකාසෝ වන්නේ ජීර්ණ ක්‍රියාවලියයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...